ශ්‍රද්ධාව , ප්‍රඥාව හා නිර්වාණය

විවිධ දේවල් කෙරෙහි විවිධ හැඟීම් අප සිත් තුළ ඇති වේ. විවිධ පුද්ගලයන් කෙරෙහි කැමැත්ත, අකමැත්ත පෙරටු කොට ගත් අනේකාවිධ හැඟීම් ඇති වේ. ගුරුවරුන්, මව්පියන් කෙරෙහි ස්නේහය, ගෞරවය, භක්තිය මිශ්‍ර වූ හැඟීම් ඇති වේ. එසේ ඇතිවෙන්නේ ඒ පුද්ගලයා අප සිතට කෙතරම් සමීපද, අප ජීවිතයට කෙතරම් බලපෑමක් කර ඇතිද යන්න මතයි.

බුදු රජාණන් වහන්සේ කෙරෙහිද අප සිත් තුළ ගෞරවයක්, භක්තියක්, ස්නේහයක් මිශ්‍ර හැඟීම් සමුදායක් ඇතිවේ. එයට හඳුන්වන නම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව යන හැඟීම ඉතා පිරිසිදු හැඟීමකි. එය තුළ, ගෞරවය, භක්තිය, විශ්වාසය, ස්නේහය, පිළිගැනීම, ආදී හැඟීම් ඇත.

සාමාන්‍යයෙන් බුදු රජාණන් වහන්සේ ගැන පළමුව අප සිත තුළ ශ්‍රද්ධාව ඇතිවන්නේ උන් වහන්සේගේ රූපයක්, පිළිමයක් දැකීමෙනි. මන්ද යත් එය ඉතා ප්‍රසන්න, කරුණාබරිත, නිකෙලෙස් , මෘදු බවකින් යුතු නිසාය. සාමාන්‍යයෙන් කෙනෙකුගේ රූපය යනු හදවතේ කැඩපත වැනි ය. එබැවින් එලෙස ප්‍රසන්න, පියකරු රූපයක් දුටු මතින් ඒ හදවත කෙතරම් නිකෙලෙස්, කාරුණික ඇත්දැයි අපට සිතේ. අපගේ සිත නිවී යන ඒ බුදු රුව, පිළිමය කෙරෙහි පැහැදීමක් ඇතිවේ.

ඉන් පසු අපට ඒ බුදු රජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව අසන්නට ලැබේ. උන් වහන්සේගේ චරිතය තුළ ඇති අප්‍රමාණ ගුණ සමුදායන් ගැන දැන ගන්නට ලැබෙන විට හදවත තුළ ඉතාමත් ගෞරවයක්, විශ්වාසයක්, පිළිගැනීමක්, ශ්‍රද්ධාවක් ඇති වේ. උන් වහන්සේ පාරමී පුරන කාලයේ පටන් වඩන ලද ගුණ ධර්ම සමුදාය අසන විට, මිනිසෙකුට මෙසේ කරන්නට හැකිද සිතෙන තරමින් අපේ හදවතද මෘදු වී යයි. අප තුළද නිරායාසයෙන් ඒ ගුණයන් වැඩේ. අප වැඩි වැඩියෙන් ඒ ගුණ ගැන දැන ගද්දී, අප තුළඳ ඒවා වැඩෙන්නට පටන් ගනී.

උන් වහන්සේ දීර්ඝ කාලයක් පුරා සසරේ එකදු බොරුවක් වත් නොකියා සත්‍ය පාරමිතාව පිරූ බව අසද්දී එය කොතරම් අති උතුම් දෙයක්ද කියා අපේ හදවතට වැටහේ. සාමාන්‍යයෙන් මෙවැනි කාලයක බොරුවක් නොකියන කෙනෙක් සොයාගන්නට නැති තරම්ය. ඇතැම් අය ඇත්ත කියන්නේ කලාතුරකින්ය. මෙවැනි හෝ මීටත් වඩා ගුණ ධර්මයන්ගෙන් හීන මිනිසුන් සිටිය කාලවලදි වුව උන් වහන්සේ ජීවිතය වෙනුවෙන් වත් එකම එක බොරුවක් වත් නොකියා සිටිය බව සිතද්දී අප හදවත තුළින් උන් වහන්සේ ගැන ඇතිවන ශ්‍රද්ධාව අපමණය.

එලෙසින්ම ජීවිතය යද්දී පවා සීල පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, ඉවසීම, කරුණාව , උපේක්ෂාව ආදී ගුණයන් පූරණය කරන ලද බව අසද්දී ඇතැම් විට ඇඟ කිළි පොළා යයි. මේවා දැන ගන්නට දැන ගන්නට බුදු රජාණන් වහන්සේ ගැන ඇතිවන පැහැදීම, ගෞරවය, ශ්‍රද්ධාව අපිරිමිතය.

මෙසේ ඇතිවන ශ්‍රද්ධාවට පසුව අපට ඇති වන්නේ උන් වහන්සේ දේශනා කරන ලද ධර්මය නිසා ඇතිවන ශ්‍රද්ධාවයි. ඉතාමත්ම ස්ථිරසාර, ගැඹුරු, මහා ශ්‍රද්ධාවක් ඇති වන්නේ උන් වහන්සේ ඒ දේශනා කළ ධර්මය ගැන දැනගන්නා විටය. කිසිම කෙනෙකුගේ මඟපෙන්වීමකින් තොරව, ස්වයංභූත ඥාණයෙන්ම මේ ලෝකයේ තතු, සිතේ තතු අඩුවක් නැතුව අවබෝධ කරගත් බව අසද්දී අපට උන් වහන්සේගේ මහා ප්‍රඥාව ගැන ශ්‍රද්ධාව ඇති වේ.

නිමාවක් නැතිව මේ යන සංසාර ගමන තණ්හාව හා අවිද්‍යාව හේතුවෙන්ම නිසා බවත්, ඒ අවිද්‍යාව මුළුමනින්ම නසන ආකාරයත් එය නසා බුද්ධත්වයට පැමිණ සියළුම සත්වයන්ටත් ඒ ධර්මය කියා දුන් බව සිතද්දී අපේ සිත තුළ ශ්‍රද්ධාව ජනිත වේ. අපට කියා දුන් ඒ මාර්ගයේ ක්‍රමයෙන් ගමන් කරද්දී, අපත් ඒ ප්‍රතිපදාව පුරද්දී ඒ ධර්මයන් අපත් එලෙසින්ම අත්දකිද්දී ඒ බුදු රජාණන් වහන්සේ කියා ඇත්තේ කොපමණ සත්‍යයක්ද යන්න ප්‍රත්‍යක්ෂ වද්දී හදවත තුළින් අපමණ ශ්‍රද්ධාවක් ජනිත වේ.

මගේ ආත්මය, කියා කෙනෙක් ඇතැයි සිතා අප බොහෝ දෑ මගේ කරගෙන තදින් ග්‍රාහණය කරගෙන සිටිමු. අපිට ඕනෑ ආකාරයට පවත්වා ගන්නට හැකියි යන අදහස හිත තුළ තදින්ම කා වැදී තිබේ. නමුත් ඒ කිසිවක් අපේ වසඟයේ නැති බව, අනිත්‍ය බව, එබැවින්ම දුක් සහගත බව බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. එය ස්ථිරවම අපට අත්දකින්නට මාර්ගයද කියා දී ඇත. ඒ මාර්ගය පිළිපඳිද්දී අප සිත තුළින් ක්‍රමයෙන් ආත්ම දෘෂ්ටිය දියවී යන ආකාරය, නිත්‍ය යන හැඟීම දියවී යන ආකාරය, සුඛ යැයි සංඥාව ගැලවී යන ආකාරය අපටම අත්දකින්නට ලැබේ. එවිට අපේ සිත ක්‍රමයෙන් සැහැල්ලුවට පත් වේ. තදින් යමක් අල්ලා සිටින විට අපේ අතට වේදනාවක් දැනේ. ක්‍රමයෙන් එය ලිහිල් කරද්දී සුවයක් දැනේ.

එපරිදිම සිතෙන් දැඩිව අල්ලාගෙන සිටින දේවල් ගිලිහී යද්දී මහා සතුටක් සැනසුමක් ලැබේ.

භාවනාව තුළින් සමාධිමත් සිතකින් මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අත්දකිනා කල අවබෝධ වන සත්‍ය නම්, ඇත්ත වශයෙන්ම අප අල්ලාගෙන සිටින්නේ බාහිර ලෝකයේ දෙයක් නොව, අපේම සිතිවිලිය. අප විසින් ඇලෙන්නේ ගැටෙන්නේ අපේම සිතිවිලි වලටය.

අප සිතන ආකාරය අනුව අපේ සිතේ අතීතයේ සිට පවත්වාගෙන ආ දැනුම් ආකල්ප අනුව අප දේවල් ගැන සිතන ආකාරය වෙනස් ය. ඒ අනුව අපට වේදනාවල් ඇති වේ. වැරදි දේවල් හරි දේවල් කියා අප සිතින් සංඥා දමාගෙන සිටිමු. ඒවාට අනුව අප සිත තුළ දුක සතුට මැදහත් බව ඇතිවේ. සිතිවිලි ජනිත වේ. අප ඇලෙන්නේ ගැටෙන්නේ ඒ වේදනාවටය. ඒ සංඥාවටය. ඒ සිතිවිලි වලටය.

බාහිර ලෝකයේ දෙයක් අප සිතට සම්බන්ධ වන්නේ අපේ සිත හරහාය.

අප ඉදිරියේ කෙනෙක් සිටගෙන සිටිනවා කියා සිතන්න. අප සිටින්නේ ඇස් දෙක වහගෙන නම්, එවිට කෙනෙක් ඉන්නවා කියා දන්නේ නැති නිසා අපේ සිත තුළ , කෙනෙක් විද්‍යාමාන නොවේ. ඔහුත් අපත් අතර කිසිම සම්බන්ධයක් ඇති නොවේ. දැන් අපි ඇස් අර බැලූ විට කෙනෙක් ඉන්නවා කියා දැන ගනිමු. එවිට විඥානය (චක්ඛු විඥාණය ) පහළ වේ. විඥාණය යනු යමක් අප දැනගන්නා බවයි. පළමුවටම පහළ වන දැනීමයි. ඒත් සමඟම මේ මනුස්සයෙක්, සතෙක්, බඩුවක් ආදී ලෙසින් ඔහුව අපි හඳුනා ගන්නෙමු. එය සංඥා වයි. “මිනිහෙක්” කියා හඳුනා ගන්නා විටම සංඥාව පහළ වෙයි. අපට එසේ සංඥාව පහළ වන්නේ අපේ අතීත දැනුම මතය. මිනිසා, සත්තු, බඩු, ගස් කොළන් ආදී කිසිම දෙයක් මින් පෙර දැක නැති කෙනෙක්, මේ මනුස්සයෙක් කියා හඳුනා ගන්නේ කෙසේද… ඔහුට මිනිසෙක් කියන සංඥාව පහළ නොවේ. යම්කිසි දෙයක් තියනවා කියන සංඥාව පමණක් පහළ වේ. අප මීට පෙර මිනිසා, සතා, ගස්, බඩු ආදී දේවල් දන්නා නිසා, මිනිස් රූපයක් දකින විටම, ” මිනිසෙක්” කියන සංඥාව පහළ වූයේ එබැවිනි. අප සිත තුළ අතීත දැනුමෙන්ගොඩ නැඟුණු සංඥා තව බොහෝ ඇත. ගැහැනියෙක්, පිරිමියෙක් කියා හඳුනා ගනී. ලස්ස්න්න කැත කියා හඳුනා ගනී. හොද නරක කියා හඳුනා ගනී. මෙසේ අප සිත තුළ සංඥාවන් විශාල ප්‍රමාණයක් ඇති වේ. සංඥා ස්කන්ධය කියන්නේ රාශියක් නිසාය. ඔබ මීට පෙර කවදාවත් දැකලාවත් නැති කෙනෙක් නම් මැදහත් සිතක් ඇති වේ. ඔබ දන්නා ප්‍රිය කෙනෙක් නම් සතුටක් ඇති වේ. අප්‍රිය නම් දුකක් ඇති වේ. මේ වේදනා ස්කන්ධයයි. ඉන් පසු ඒ දැකපු දේ ගැන නොයෙක් සිතිවිලි ගලා යයි. ඒ සංස්කාර ස්කන්ධයයි. අප ඇලෙන්නේ හෝ ගැටෙන්නේ මේ අපේ සිතින් අප අර රූපය දැකපු ආකාරයට අනුවය. අප එය හොඳ විදියට හඳුනා ගත්තා නම් අප සිත තුළ ඇලීමක්ද, නරක විදියට හඳුනා ගත්තා නම්,ගැටීමක්ද අපේ සිතෙ ඇතිවේ. අප ඇලෙන්නේ අපේ සිතේ ඇතුළේ වන ක්‍රියාවලියකටය. භාවනාවෙන් අප සමාධිය වඩවාගෙන සිටිද්දී මේ ක්‍රියාවලිය අපට ඉතා පැහැඳිළිව පෙනෙයි. දැන් අපට මේ කියවාගෙන යද්දී ඇතිවන්නේ උඩින් ඇතිවන අවබෝධයක්ය. භාවනාවේදී අපේ ප්‍රඥා ඇසට මේවා දර්ශනය වෙද්දී, මෙන්න විඥාණය පහළ වීම, සංඥාව, වේදනාව, සංස්කාර කියා පැහැඳිළි අවබෝධයක් ඇති වේ. ඒත් සමඟම එහි සත්‍ය ස්වභාවයද පෙනෙයි. එනම් ඒ සෑම නාම ධර්මයක්ම අනිත්‍ය බවයි.. ඇතිවෙන වේගයටත් වඩා වැඩි වේගයකින් නැතිවී යන බවයි. ඉතාමත්ම ඉතාමත්ම අධික වේගයකින් විනාශ වී විනාශ වී යයි, සෑම නාම ධර්මයක්ම. එක් එක් ස්කන්ධ වෙන වෙනම හෝ සිතක් වශයෙන් එකට හෝ, නාම ස්ක්නධ කීපයක් හෝ අපේ ප්‍රඥාවේ, සමාධියේ, සතියේ තියුණු බව අනුව දැකිය හැක.

දිය ඇල්ලක් ළඟට ගොස් එදෙස බලා සිටිද්දී ඔබට කුමක්ද අවබෝධ වන්නේ. ඒ ගලා යන ජල ප්‍රවාහය ස්ථිරයි කියා සිතෙනවාද… ඔබගේ පාලනයේ ඔබට ඕනැ විදියට පහළට වැටෙනවා කියා සිතෙනවාද .. හෙමින් පහළට වැටෙනවා කියා සිතෙනවාද.. එක ජල බුබුළක් “අනේ නැති නොවී මෙතන නවතීවා” කියා සිතුවොත් එය නවතිනවාද.. ඒ දිය බුබුළට ඔබ ආශා කරා නම් එය බිඳී යද්දී දුක සිතෙනවා නොවේද…

මෙලෙසින්ම ඔබට අවබෝධය පහළ වෙයි. ප්‍රඥාව පහළ වෙයි.

නාම ධර්මයෝ අති වේගයකින් ඇති වේ… ඇති වූ විගසම නැති වේ. වේගය සිතා ගත නොහැක. එකක්වත් පවතින්නේ නැත. නැතිවී නැත්තටම නැති වීයයි. අනිත්‍ය ඔබ ප්‍රඥා ඇසින් දකියි.

ඒ නාම ධර්මයෝ මා විසින් ඇති කරගත්තේ නැත. හරියට ජල පහර පහලට ඇඳ වැටුණා වගේමය. හේතු ඇති නිසා එය එසේ වුණි. මම ඇති කරගත්තේ නැත. එය හේතු ඵලයකි. එය මම අති කරගත්තේත් නැත. මම නැති කරගත්තේත් නැත. මට ඕන විදියට පැවතුණේත් නැත. අනාත්මය ප්‍රඥා ඇසින් දකි..

මගේ පාලනයේ නැති, ක්ෂණයක් වත් නොපැවතී විනාශ වී යන මේ නාම ධර්ම “මම- මගේ” කියා සිතූ නිසා මට දුක ඇති විණි. දුක ප්‍රඥාවෙන් දකී.

අනිත්‍ය, දුක්ඛ , අනාත්මය ඔබ සමාධිමත් සිතින් ප්‍රඥා ඇසින් දකි.. අල්ලාගන්නට මගේ කියා කියන්නට කුමක්ද පවතින්නේ. කිසිවක්ම නැත. ත්‍රිලක්ෂණය ප්‍රකට ය. මේ සත්‍ය දකින විට ආලෝකය පහළ වූවා වැනිය. ප්‍රඥාවේ පහළ වීමය.. මම මගේ කියා අල්ලා සිටින්නේ මේ නාම ධර්මයන්ය.. සිතිවිලිය. එහි අල්ලන්නට සිතන විටත් එය නැතිවී ගොස් ඉවරය. දිය ඇල්ලේ උපමාව මෙනෙහි කරන්න. හරස් කඩක් අසල බලා සිටිනවා යැයි සිතන්න. අල්ලන්නට අත දිගු කරන විටත් එය නැතිවී ගොස් ඉවරය. වතුර බිංදුව පහළට ගියා නොවේ. එතනම බිඳී ගියේය. එලෙසින්ම නාම ධර්මයෝ එතනම බිඳී ගියෝය. කිසිවක්ම ඉතිරි නොවේ. සියල්ලම නිරුද්ධ වී යයි. මේ නිරෝධය ප්‍රඥා ඇසට පෙනෙද්දීම සියල්ලම පහනක් එකවරම නිවී ගියාක් මෙන් සිත නිවී යයි. නිරෝධ සත්‍ය යනු මෙයයි. සිතේ කිසිඳු නාම ධර්මයක් නොපෙනී යන පරිදි සිත නිවී යයි. ලෝකයම නිවී යයි. මහා කළුවරක, මිය ඇදුනු ලෝකයක “මමත් නැති- මගේ කියා දේවලුත් නැති” තැනකි. උපාදාන නොමැති සංස්කාර විරහිත ඒ සිතේ ඇති ශාන්තිය, සැනසීම, උපමාවකින් කිව නොහැකිය..

මහා බාරය නිදහස් වන්නේ එලෙසිනි. මෙතෙක් ලොකයේ, ජීවිතයේ විඳි සියළු සතුටවල්, සැපයන් අසූචි වනිය.. මහා බර දේවල් ය.. මෙතන කිසිත් නැත. කිසිත් නැත කියා හැඟීමකුත් නැත. නිවී ගිය සිතක් පමණි. ඉන්ද්‍රිය බල ධර්මයන් වැඩී ඇති පමණට සංයොඑජන ධර්මයන් යළි නූපදින්නට නැති වී යයි. සෝවාන් ඵලයට නම් සිත එලෙසින් පත්වූයේ; ඔහු භාවනාවෙන් නැඟි සිටිය පසු වුවද යළි කිසිඳා භාවනා නොකළද ඔහු තුළ සක්කාය දෘෂ්ටියක්, ආත්මීය හැඟීමක් නොපිහිටයි. නමුත් ඒ ඵල සිතට ඔහුට ඕනෑම වේලාවක සමවැදිය හැකියි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ගැන කිසිඳු සැකයක් නොපිහිටයි. විචිකිච්චාව නැත්තටම නැති වී යයි. විමුක්තිය පිණිස අනුගමනය කළ යුතු නොවරදින එකම මාර්ගය මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයම බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගනී. එබැවින් යළි කිසිඳා විමුක්තිය නිවන සොයා වෙනත් දෘෂ්ටීන්, ලබ්ධීන් පසු පස නොයයි. සීලබ්බත පරාමාස නැති වී යයි. මේ ආකාරයෙන්ම සකදාගාමී, අනාගාමී වන විට කාම රාගය පටිඝය යන සංයෝජන ධර්මයන්ද රහත් වන විට අවිද්‍යාව සම්පූර්ණයෙන්මද නැතිවී සසර ගමන නිමා කරයි.

ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේ දකින්නේ සැබවින්ම තම හදවත තුළිනි. මෙවැනි ධර්මයක් නොවේද උන් වහන්සේ දේශනා කළේ කියා හදවත තුළ උතුර උතුරා නැඟෙන යළි නොබිඳෙන ශ්‍රද්ධාවක් පිහිටයි. මරණින් මතු වුවද එය නොබිඳේ. ධම්ම රත්නයත්, සංඝ රත්නයත් ගැනද පිහිටන්නේ එවැනිම අචල ශ්‍රද්ධාවකි. එවැනි කෙනෙක්ට සංඝ රත්නය යනු එක් ස්වාමින් වහන්සේ නමක්, කිහිප නමක් නොවේ. අනෙක් අය සංඝ රත්නය ගැන කරන චෝදනා, බැනුම්, වර්ග කිරීම්, එවැනි කෙනෙක්ට අදාල නොවේ. එයින් අදහස් කරන්නේ හරි වැරදි නොපෙනෙනවා නොව, ශ්‍රද්ධාවේ අවබෝධාත්මක බව හා පුළුල් බව පමණි. සිතින් පමණක් නොව, වචනයෙන් පමණක් නොව, ක්‍රියාවෙන්ද ශ්‍රද්ධාව පිහිටන්නේ ධර්මය දැකීමෙන් අනතුරුවය. මුළු ලෝකයේම දැන් සිටින ස්වාමින් වහන්සේලා සියළු දෙනාම අන් අයව අපහදන දේවල් කළා කීවත්, ශ්‍රද්ධාව පළුඳු නොවේ. එය මෙලෙස විස්තර කළ නොහැක. මන්දයත් ශ්‍රද්ධාව ඉන්ද්‍රිය බල ධර්මයක් ලෙස වැඩී ඇති විට ඇතිවන තත්වයකි. නමුත් ඒ ශ්‍රද්ධාවද රහත් වන තෙක්ම තව වැඩේ. එය වැඩෙන්නේ ධර්මය දකින්නට දකින්නටය.

ශ්‍රද්ධාව හා ප්‍රඥාව අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වන්නකි. ශ්‍රද්ධාව යනු සංකේතාත්මක දෙයක් නොව. බාහිරින් අලවගන්නා දෙයක් නොව, හදවත තුළින් මතුව එන ප්‍රවාහයකි.

ශ්‍රද්ධාව සිත විකසිත කරයි; ප්‍රභාශ්වර කරයි; පිරිසිදු කරයි; ප්‍රමෝධයට පත් කරයි; මෘදු කරයි; සංවර කරයි; වීර්යයට පත් කරයි; සතිමත් කරයි; සමාධිමත් කරයි; සීලයට අත්තිවාරම දමයි; ප්‍රඥාව නැඟී සිටින්නට පසුබිම සකසයි.

මේ කියූ සැම දෙයක්ම ඔබ තහවුරු කරනවා නිසැකය. මන්ද යත් මේ ලිපිය මේ දක්වාම යමෙක් කියවනවානම්, ඔහු ශ්‍රද්ධාවත්, ප්‍රඥාවත් ඇති අයෙක්මය. ඔබ මේ කියන දේවල් ශ්‍රද්ධාවෙන් අත්දැක තිබෙනු නිසැකය. එහි ගැඹුර එක් එක් අයට වෙනස් ය. නමුත් ශ්‍රද්ධාව තරම් සිත සීතල කරවන, පහදවන හැඟීමක් වෙන නොමැත..

බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය එවැනි හදවතකින් යළි පළවා හරින්නට සමත් කිසිවෙකුත් මේ විශ්වයේ නොමැත . අනිත්‍ය, දුක්ඛය, අනාත්මය හදවත තුළ නිරන්තරයෙන් රජ කරවයි. බුදු රජාණන් වහන්සේ යනු මේ විශ්වය සේය. බුදු රජාණන් වහන්සේගේ ගුණ නිරන්තරයෙන් හදවතින් දකිමින් ජීවත් වෙයි. ඒ ගුණ කඳ නිමක් නොවන බැවිනි. ලෝකයම සසල වූවත් බුදු රජාණන් වහන්සේ ගැන ඇති ශ්‍රද්ධාව හේතුවෙන්ම ඇතිවූ ප්‍රඥාවෙන්ම මේ සංස්කාර ලෝකයේ යථා ස්වභාවය දකිමින් ජීවත් වන නිසා සිත කම්පා විරහිත වේ. සැපයක් කියා දුකම සොයන, දුකම රැස් කරන මේ අනන්ත අප්‍රමාණ වූ ලෝක සත්වයා කෙරෙහි උපේක්ෂාවම පතුරවන්නේ, අපද මේ අනන්ත සසරේ මේ තාක් දුර ගෙවා පැමිණියේ එවැනිම වූ මෝහාන්ධකාරයකින් වෙළී නොවේද යන්න හදවතින්ම දකින නිසාය..

මේ දීර්ඝ සසරේ බුද්ධ ශාසනයක් හමුවන්නේ කොයිතරම් දුර්ලභවද කියා ඔබ දන්නවාද…

එය ඔබට වැටහෙන්නේ ධර්මය ඔබ හදවතින් දකින විටය..

මේ දිර්ඝ සංසාරය තුළ බුද්ධ ශාසනයක් මුණ ගැසීම හා නිවන් අවබෝධය උපමාවකින් දක්වන්නේ නම්..;

මහා ඝන අඳුරු රැයක, අකුණු සැරයක් ගසන විටදී ඇතිවන ආලෝකයෙන් ඈත තිබෙන අශ්ව කෙන්දට ඔබ අත ඇති දුන්නේන් ඊතලය ඉල්ලකය වෙත මුදා හැරීමක් වැනිය. එතරම්ම දුර්ලභය… දුෂ්කරය…

මහා ඝන අඳුරු රැය නම් කල්ප ගණන් දීර්ඝ මෝහයෙන් වැසී ආ සංසාරයයි..

ක්ෂණයකට වදින අකුණු සැරය නම් අති දුර්ලභව ලද බුදුවරයකුගේ පහළ වීමයි.. ආලෝකයේ පහළ වීමයි.

ඔබ අත පවතිනා දුන්න හා ඊතලය නම් ඔබට ලැබුණු ක්ෂණ සම්පත්තියයි.. ඔබ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ අර ගත හැකි පරිදි සතර අපායට නොයා, අංග විකල නොවී ආදී ලෙසින් සම්පූර්ණව ලද මනුසත් භවය නම් වූ ක්ෂණ සම්පත්තියයි…

ඈතින් පෙනෙන අශ්ව කෙන්ද නම් වූ ඉලක්කය…. නිර්වාණයයි…!

ඔබ සතුව දැන් සියල්ල ඇත..

ප්‍රමාදී නොවී ඉලක්කය වෙත ඊතලය මුදා හරින්න.. ක්ෂ්ණය ගෙවී යාමට ආසන්නය.. අකුණු සැර නම් වූ ආලෝකය නිවී ඔබ යළිත් ඝන අන්ධකාරයටම වැටෙන්නට තව ඇත්තේ ඉතා ස්වල්ප කාලයකි..

අප්‍රමාදීව ඉලක්කය වෙත නොවරදින සේ ඊතලය මුදා හරින්න..!

ඒ සඳහා ඔබට බීජය වන්නේ ශ්‍රද්ධාවයි…!

මේ බුද්ධ භූමියේ, බෞද්ධයකු වී උපත ලබන්නට ඔබ පෙර ජීවිත වල මහත් පාරමී පුරා ඇත..

ධාතුන් වහන්සේලා වැඩ සිටින බුද්ධ මන්දිරයක් වූ මේ උතුම් පින් බිමේ උපත ලැබූ ඔබ එහි අග්‍ර ඵල නෙළා ගන්නට තවත් පමා නොවන්න..

ඔබ සියළු දෙනාට ඒ උතුම් නිවන් මඟ නොවරදීවා කියා අවංක හදවතින්ම මෙත් සිතින්ම ප්‍රාර්ථනා කරමි..!!!

තෙරුවන් සරණයි..!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.