පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ
කුඩා කල පටන්ම ගිහි ජීවිතයෙන් සමු ගෙන පැවිදි බිමට ඇතුල් වීම ධම්මරතන හිමියන්ගේ එකම අභිලාශය විය. එහෙත් තම පියාණන්ගෙන් අවසර නො ලද හෙයින් ගිහි ජීවිතයේ රැඳී සිටිමින්ම භාවනා ක්‍රම පුරුදු පුහුණු කිරීම ඔහු විසින් අරඹන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහල විධායක නිලයක් දරමින්ම ඊට සමගාමීව භාවනාව සඳහා යොමු වුවත් ඒ සඳහා ලද කාලය මඳ වීම නිසාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහුට නො හැකි විය.
තම පියාණන්ගේ අභාවයෙන් පසුව 1983 වසරේදී ඔහු පැවිදි බිමට ඇතුල් වූයේ මේ ලද මිනිස් ආත්ම භාවයේදීම නිවන සාත්ක්ෂාත් කර ගැනීමේ පරම පවිත්‍ර අභිලාශයෙන්ම ය. 1984 වසරේදී ධම්මරතන හිමියන් විසින් තම උපසම්පදාව ලබා ගන්නා ලද අතර ඉන්පසුව නිරන්තරව හා ක්‍රමානුකූලව සමථ හා විදර්ශනා භාවනා ක්‍රම පුරුදු පුහුණු කරන ලදී. නොයෙක් විවිධ ක්‍රම අත් හදා බලමින් වසර දහයකට ආසන්න කාලයක් උන් වහන්සේ තම නිරන්තර උත්සාහයේ නිරත විය.
මෙසේ බොහෝ භාවනා අත්දැකීම් වලින් පරිපූර්ණ වූ පසු ත්‍රිපිටක හා සූත්‍ර පොත් කියවීමට යොමු වූ උන්වහන්සේට තමා භාවනාවෙන් ලද අත්දකීම් සියල්ලක්ම පාහේ මුලුමනින්ම බුදු වදනට අනුකූලව ගැලපී යන බව පසක් කොට ගත හැකි විය.
උන්වහන්සේ 1993 සිට ශ්‍රී සද්ධර්මය හා තම ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් අන්‍යන්ටද උත්තරීතර නිවන් සුව ලගාකරගැනීමට මග පෙන්වීම ඇරබීය .
සම්බුදු සසුන’ඹර එකාලෝක කරමින් පුරා තිස් වසකට අධික කාලයක්, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ජීවමාන කරමින් ධර්මධර ,මාර්ගඵල ලාභීන් බිහි කරමින්, සුවහසක් අසරණ සත්වයන්ට ඒකායන නිර්වාණ මාර්ගය විවර කළ ඒ මහා යතිවරයාණන් වහන්සේ 08-10-2018 දිනයේ පිරිනිවී වදාළ සේක.
මෙම වෙබ් අඩවියේ පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් ඇතුලත්ය. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත.
මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ගේ අනුදැනුම ඇතුව ආරම්භ කර පවත්වාගෙන ආ අතර, උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ගත් සහ උන්වහන්සේගේ දේශනා අනුව භාවනා පුහුණු කරන පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබයි.