
අරමුණක් හමුවූ විට විඥාණ,සංඥා, වේදනා යන නාම ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය ඔබ දැන් දනී. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ට අරමුණක් හමුවූ විට පළමුව ඒ පිළිබඳ දැනීම් මාත්‍රයක්, ඉන්පසු එම අරමුණ හඳුනා ගන්නා සංඥාවක්, එම සංඥාවට අනුකූල වූ වේදනාවක් ජනිත වේ. මෙහිදී වේදනාව ඇතිවූ පසු නැවත නැවත සංඥාවන් ජනිත වේ. සංඥාව නිසා වේදනාවත්, වේදනාව නිසා සංඥාවත් ලෙසින් අති වේගයෙන් මෙම නාම ධර්ම ක්‍රියාත්මක වේ. වේදනා ස්කන්ධයේ පහළ වීමත් සමඟම, සුඛ වේදනාවක් නම් එයට ඇලීමද, දුක් වේදනාවක් නම් ගැටීමද ලෙසින් අනෙකුත් නාම ධර්ම සමඟම අත්වැල් බැඳගෙන සිතිවිලි ගලන්නට පටන් ගනී. මෙය සංස්කාර ස්කන්ධයේ පහළ වීමයි.
සංස්කාර යන වචනය ධර්මයේ විවිධ තැන් වල විවිධ අර්ථයෙන් යෙදේ. පංචස්කන්ධ ක්‍රියාවලියේදී සංස්කාර යනු සිතිවිලියි. කුසල්, අකුසල් හෝ ඕනෑම සිතිවිලි ධර්මයක් සංස්කාරයි.
සුඛ වේදනාවක් ඇතිවූ විට එයට ආශා කරමින්, ඇලීමෙන් යුතු සිතිවිලි සිතේ ඇතිවෙයි. සාමාන්‍ය පෘථග්ජන සත්වයා සිතනුයේ ඒ සිතිවිලි ඇතිවූයේ බාහිර අරමුණ නිසා බවය. ඇත්තෙන්ම ඒවා ඇතිවූයේ තමන්ගේම වේදනා ස්කන්ධයට ආශා කිරීම හේතුවෙනි. සුඛ වේදනාවක් ගෙන දුන් බාහිර අරමුණ කෙරෙහිම දුක් වේදනාවක් ඇතිවූ විට පහළ වන්නේ තරහ සිතිවිලිය. පටිඝය ගැබ්වූ සංස්කාර ගැලීමක් එහිදී සිදුවේ. එකම බාහිර අරමුණ හඳුනාගත් ආකාරය අනුව පහළ වූ වේදනා ස්කන්ධය නිසා , සංස්කාර ජනිත වීම වරින් වර වෙනස් වේ.
උදාහරණයක් ලෙස අප අකැමැති, අපේ තරහකාරයකු ලෙසින් අප හඳුන්වන කෙනෙකු පිළිබඳව ඇතිවන්නේ තරහ, ඊර්ෂ්‍යාව, ගැටීම ආදී සිතිවිලිය. නමුත් අප ක්‍රමයෙන් මෛත්‍රී භාවනාව පුරුදු කොට එම පුද්ගලයා කෙරෙහිත් මෙත් සිත පැතිරවීමට හැකිවූයේ නම්, කලින් හතුරකු ලෙසින් ද්වේෂයෙන් යුත් සිතිවිලි ඇති වූ කෙනා කෙරෙහිම, හිතමිතුරු හැඟීමෙන් යුත් සිතිවිලි ඇතිවේ. එම පුද්ගලයාගේ කිසිඳු වෙනසක් නැතිව වූවද, අපගේ සිතිවිලි වෙනස් වූ ආකාරය බලන්න. මෙයින් අප අවබෝධ කරගත යුත්තේ මේ එකඳු නාම ධර්මයක්වත් බාහිර අරමුණු විසින් අපට ඇතිකර දෙනවා නොව, අපේ නාම ධර්මයන්ගේ ක්‍රියාවලිය පමණක්ම බවය. අපට සිතිවිලි ඇතිවන්නේ අප ඒ දෙස බලන ආකරය අනුවය. හතුරාත්, මිතුරාත් දෙදෙනාම සිටින්නේ අපගේම නාම ධර්ම තුළය.
මෙය අවබෝධ නොවන්නේ සිතේ අවිද්‍යාව පවතින හෙයිනි. අවිද්‍යාවද සංස්කාර ධර්මයකි. තණ්හාව, උපාදානයද සංස්කාර ධර්මය. අවිද්‍යාව හේතුවෙන් මෙම යථාර්ථය දක්නට නොහැකි කම නිසා රහත් නොවූ සෑම කෙනෙක්ම බාහිර රූප කෙරෙහි ඇලීමද, ගැටීමද ඇතිකර ගනී.
ඇලීම හා ගැටීම ඇතිවූයේ තමාගේම වේදනා ස්කන්ධය කෙරෙහිම බව නොදත් නිසා බාහිර රූප, ශබ්ද , ගන්ධ, රස , ස්පර්ශ කෙරෙහි ඇලෙයි. ගැටෙයි. නමුත් එම අවිද්‍යාව දුරු කරන ලද රහතන් වහන්සේ කෙනකුට බාහිර එකඳු අරමුණක් කෙරෙහිවත් ඇලීමක් හෝ ගැටීමක් ඇතිවන්නේ නැත. ගැඹුරින් සිතා බැලූ විට , සත්‍ය ලෙසම බාහිර අරමුණු වල කිසිම වැදගත් බාවයක් නැත. අපට සුඛ වේදනාවක් දෙන අරමුණු කෙරෙහි මහත් වටිනාකමක් දීමට අප පෙළඹෙයි. වාහන වලට ආශා කරන කෙනා ඒවාට මහත් වටිනාකමක් දෙයි. එයින්ම ඔහු සිත තුළ ඇලීම උපදියි. ඒ නිසා මානසික වාචසික කායික ක්‍රියා සිදු කරයි. සසර දිගු කරගනී. එක් එක් අය වටිනාකම් දෙන දේවල් විවිධය. බොහෝ දෙනා ලෞකික වස්තූන් කෙරෙහි ඇලීමෙන් ඒවා කෙරෙහි වටිනාකම් දී ඒවා ලබාගැනීම පිණිස කැපවෙයි. තවත් අය කීර්ති, ප්‍රශංසා, ගෞරවය ආදීයට ඇලෙයි. ඇතැම් අය ධර්මයට ඇලෙයි.
නමුත් මේ සියළු ඇලීම් වලින් මිදුණු රහතන් වහන්සේ කෙනෙක් තුළ යළි කිසිදු ඇලීමක්වත් , ගැටීමක්වත් නැති , සංස්කාර විරහිත වූ තත්වයකට සිත පත්වෙයි. එනම් නිරුත්සාහකව, ඉබේ සිතිවිලි ගලනයක් සිදු නොවේ. අවශ්‍ය නම් සිතිවිලි ඇති කරගන්නට හැක. නමුත් සාමාන්‍ය අයට මෙන් නොයෙකුත් අරමුණු ඉදිරියේ ඉබේ සිතිවිලි පහළ නොවේ. නිතරම සිත ඡලංග උපේක්ෂාවකින් පවති. අවිද්‍යාව නිරුද්ධ කර බැවින් අත්දකිනා ඵලයකි එය. පටිච්ච සමුප්පාදයේ “අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධා” ලෙසින් දක්වන්නේ එයයි.
සංස්කාර ස්කන්ධයේ පහළ වීම ඒකාන්ත දුකකි. වෙහෙසකි. භාවනා වඩන යෝගියකුට සිත සංස්කාර විරහිත තත්වයකට පත් කරගෙන සිටීමට තාවකාලිකව හැකියාවක් ලැබේ. එනම් සිතිවිලි ගැලිමකින් තොරව සිත සමාධියෙන් පවත්වා ගත හැකිය. මාර්ගඵල ලාභී අයකුට ඵල සිතට පත්වී සිතට සිතිවිලි නොගලන සේ පවත්වා ගත හැක. මෙලෙස අත්දකිනා කෙනකුට සිතිවිලි වල පැවැත්ම කොපමණ දුකක් වෙහෙසක්, කරදරයක්ද යන්න, එම සිතිවිලි වලින් තොර සිතේ ඇති සැනසීම, සුවය සමඟ සසඳා බැලිය හැක. කොපමණ වස්තු, කාම සැප ලබා දුන්නද ඒවා එම සුවය හා සැසැඳීමටවත් නොහැකි බව එවැනි කෙනකුට අත්දැකිය හැක. සාමාන්‍ය අයකුට වුවද ඇතැම් විට, සිතට තරහ, රාගය ආදී සිතිවිලි පවතින විට අත්වන දුක අත්දැකිය හැක. ඊර්ෂ්‍යාව, භය, දුක, ආශාව ආදී කවර සිතිවිලි පවතිද්දී වුවද සිතට දැනෙන අසහනය, අත්විඳිය හැක. එවැනි අයකුට ඒ සිතිවිලි වලින් මිදී, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ආදී සිතිවිලි පවතිද්දි දැනෙන සැනසීම අත්දැකිය හැක. මේ මොනම සිතිවිල්ලක් වත් නැතිවූ විට කොපමණ නම් සුවයක් එසේ නම් දැනවා ඇත්ද ?
සිතට සැබෑම විවේකයක් ලැබෙන්නේ සිතිවිලි වලින් තොරවූ විටයි. නමුත් ස්ථිරව එම නිදහස , සුවය අත්දැකීමට නම් රහත් බාවයට පත්විය යුතුය. එතනින් මෙහා ඵල සිතක් අත්දකින කෙනකුට එම ඵල සිතට පත්වූ විට පමණක් එම තත්වයට තාවකාලිකව අත්දැකිය හැක. මෙලෙසින් සංස්කාර ස්කන්ධයේ දුක් ස්වභාවය අවබෝධ කරගත යුතුය. තවද මෙම සංස්කාර ස්කන්ධයේ පහළ වීම නිසා සසර දික්වෙයි. කුසල්ද , අකුසල්ද ජනිත වන්නේ සිතේය. එම නිසා සංස්කාර ස්කන්ධයේ පහළ වීම සසර දුක පැවතීමට හේතුවකි.
මෙම සිතිවිලි ඇතිවූ විගස නැතිවී යයි. එනම් ඒවා අනිත්‍යයි. යම් යම් දේවල් පිළිබඳව අපට කලින් තිබූ සිතිවිලි දැන් තනිකරම වෙනස්ය. දීර්ඝ කාලිනව බැලූ විටද, මේ මොහොතේ බැලූ විටද සිතිවිලි වල වෙනස්වීම අත්දැකිය හැක. එකම අරමුණ කෙරෙහි මොහොතින් මොහොත විවිධ වූ සිතිවිලි ඇතිවේ. මේ මොහොතේ ප්‍රීතියෙන් යුත් සිතිවිලි ඇති නමුත්, ඊළඟ මොහොතේ ද්වේශයෙන් යුත් සිතිවිලි ඇතිවිය හැක. මෙය සංස්කාර ස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයයි.
තවද මෙම සිතිවිලි හේතු අනුව ඉබේ පහළ වේ. මට ඕනෑ විට ඇතිකරගැනීමටත්, නැතිකර ගැනීමටත් නොහැක. රාගයක් පැමිණි විට ගලන සිතිවිලි නවත්වා ගැනීමට ඕනෑ වූවද,ඒවා එලෙසින් නොනැවතේ. තරහ, ඊර්ෂ්‍යාව , දුක, ආදී කවර සිතිවිලි වුවද අපට ඕනෑ පරිදි වළක්වාගත නොහැක. ඒවා ඇත්වීමට හේතූ වූ දේ පවතින තාක් ඒවා ඇතිවෙයි. එම හේතුව නැතිවූ විට එම සිතිවිලි නැතිවෙයි. එනම් මගේ පාලනයේ නොපවතින, මම, මගේ නොවන, අනාත්ම දෙයකි. මෙලෙසින් සංස්කාර ස්කන්ධයේ අනාත්ම ස්වභාවය නුවණින් මෙනෙහි කළ යුතුය.
මේ ආකාරයෙන් පංචස්කන්ධයේම අනිත්‍ය, අනාත්ම, දුක් බව නිතර මෙනෙහි කරමින්, ඒවා දකිමින් යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් විය යුතුය.
ධර්ම දේශනා, ලිපි පරිශීලනය කරන මොහොතට පමණක් සීමා නොවී නිතර මෙම යථාර්ථය නුවණින් විමසමින් ජීවත්විය යුතුය. භාවිතාය, බහුලීකථාය ලෙසින් බුදුරජාණන්වහන්සේ දැක්වූයේ එයයි. සමාධිය වැඩීම අනිවාර්යෙන්ම කළ යුතුය. පංචස්කන්ධයේ අනිත්‍ය, දුක්, අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ ලෙසම භාවනාවෙන් අත්දැකීමෙන්, ඒවායේ නිරෝධය දකිමින් සිත නිවනට පත් කරගැනීමට, ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා වැඩී ඇති යෝගාවචරයකුට හැකිවනු ඇත.