
මිනිස් පියවි ඇසට පෙනෙන රූප මෙන්ම නොපෙනෙන රූපද ඇත. උදාහරණ ලෙස අමනුෂ්‍යන්, දෙවියන් ආදී රූප අපේ දෘෂ්ටි පරාසයට හසු නොවේ. රූපය සහ නාමය යන දෙකින් රූපය යන්න විමසීමේදී අපේ සාමාන්‍ය ඇසට එය අත්, කකුල්, බඩ, පපුව ලෙසින් වෙන් වෙන්ව අප හඳුනා ගැනීමට හැක. රූපය මෙසේ විමසමින් යන විට තවත් සියුම් ලෙස දෙතිස් කුණප ලෙසින් වුව දැකිය හැක.
යම්කිසි රූපයක් ගෙන එය කුඩා කොටස් වලට වෙන් කරගෙන වෙන් කරගෙන යත්ම, තවත් නොබිඳියම හැකි අවස්ථාවට පත්වෙයි. උදාහරණයක් ලෙස කේක් කෑල්ලක් සෑදී ඇත්තේ මොනවායින්ද යන්න විශ්ලේෂණය කරගෙන යත්ම, සීනී, පිටි, බටර්, බිත්තර ආදී ලෙසින් මූලිකව වෙන් කළ හැක. තවත් මේ එක එක වෙන් කරගෙන යත්ම පදාර්ථ, අණු, පරමාණු, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ලෙසටම බෙදා වෙන් කළ හැක. විද්‍යාවට අනුව සොයාගෙන ඇති කුඩාම අංශුව නම් ඉලෙක්ට්‍රෝනය වෙයි. නවතම පරීක්ෂණ අනුව පරමාණුවද බෙදා ක්වාක්ස්, ලෙප්ටෝන්ස් යන ඒවා කුඩාම නිමවුම් අංශුව බව සොයා ගෙන ඇත. භෞතික වශයෙන් පරීක්ෂණ , අධ්‍යයන කොට කිසියම් කෙනකුට යාහැකි දුර එපමණ වන නමුදු, ලෝකය විනිවිද දක්නා වූ ගැඹුරු වූත්, පෘථුල වූත් සර්වඥතා ඥාණයෙන් හෙබි බුදු ඇසට එබඳු වූ කුඩාම ඒකකයද තවත් සියුම් ලෙස බෙදා වෙන්කර දැකිය හැක. බුදුරජාණන් වහන්සේට ඒ සඳහා අන්වීක්ෂ අවශ්‍ය නොවේ. ඒ සඳහා උන්වහන්සේ යොදගන්නේ සර්වඥතා ඥාණය නම් වූ, අන්වීක්ෂ කෝටියකටවත් සමකළ නොහැකි තරම් වූ අති තීක්ෂණ , සියුම් , විචක්ෂණ, සමාධිමත් සිතයි.
සෑම රූපයකම මූලිකම දෙය වන්නේ මෙම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ඒවායි. ඒවා යළි බෙදා වෙන් කළ නොහැකි, මූලිකම දෙයයි. සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවේ යන අදහසින් ඒවා ධාතු ලෙසින් හඳුන්වයි. සතර මහා ධාතු ලෙසින් එම හතර හඳුන්වන්නේ එබැවිනි.
පඨවි යනු ඝන ස්වභාවයයි.
ආපෝ යනු දියරමය/ ගලා යන ස්වභාවයයි.
තේජෝ යනු උෂ්ණත්වයයි. (රස්නය හෝ සීතල) .
වායෝ යනු වායුමය/පිම්බුණු ස්වභාවයයි.
ඉතාමත්ම කුඩා රුප කලාපයක වුව මෙම ධාතු හතරම අනතර්ගත වේ. පරමාණුවකද මෙම ධාතු හතරම යුක්ත වේ.
යමක පැවත්ම දිගින් දිගට තිබීමට නම් එයට අවශ්‍ය හේතුන් තිබිය යුතුය. ගස් කොළං ආදීයේ පැවත්මට අවශ්‍ය හිරු එළිය, වාතය, පස, ජලය ආදී සාධක ලැබෙන විට ඒවා පරම්පරා ලෙස පවතී. ජීවී ලෝකය ගත් කළ, සත්වයන් තුළ සිතක්ද පවතින බැවින්, සිතේ සහ කයේ පැවතීම යන දෙකම තිබූ විට පරම්පරා වශයෙන් සත්වයාගේ පැවැත්මද සිදුවේ.
කයේ පැවැත්මට හෙවත් රූපයේ පැවැත්මට අවශ්‍ය හේතු නම් ආහාර, සෘතු, සිත හා කර්මයයි. එනම් මූලිකවම කයේ පැවතීමට සිතක් තිබිය යුතුය. එලෙසින්ම අතීත කර්ම ශක්තියද, දෙශගුණය ආදී හිතකර පරිසර සාධකද, අප ගන්නා ආහාරද හේතුවෙන් මෙම රූපයේ පැවැත්ම පවතී. සිතේ පැවැත්මට හේතුව නම් තණ්හාවයි. ( තණ්හාවට හේතුව අවිද්‍යාවයි.)
කර්ම, චිත්ත, සෘතු, ආහාර යන දේවල් ලබෙන ආකාරය අනුව රූපයේ බාහිර ස්වභාවය වෙනස් වුවද, නිමවීම් මුලය අතින් සියල්ලක්ම එකම වේ. උදාහරණයක් ලෙස ජලය ගනිමු. එහි පදාර්ථයේ ව්‍යූහය අනුව අවස්ථා තුනකි. හුමාලය, ජලය, අයිස් ලෙසිනි. නමුත් සෑම විටම එහි පවතින්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නම් පරමාණුයි. මේ නිර්මිත වීම විවිධ වීම නිසා ඒවායේ ආයු කාලයද විවිධ වේ. එනමුත් මේ සෑම ජීවී අජිවී රූපයකටම පොදු ලක්ෂණය නම් ඒවා වැය වී යාමයි. පියවි ඇසට නොපෙනෙන අති විශාල වේගයකින් මෙම රූප කලාප නිරන්තරයෙන් වෙනස් වෙමින්, මිය යයි. එක රූප කලාපයක් මිය ගිය පසු නැවත එයම ඉපදෙන්නේ නැත. පෙර නොතිබූ රූප කලාපයක් ඉපිදෙයි. ලොකු වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවට පත්වෙනවා, උස යනවා, මහත් වෙනවා, කෙට්ටු වෙනවා, සුදු වෙනවා, කළු වෙනවා ආදී ලෙසින් අප ව්‍යවහාර භාෂාවෙන් හඳුන්වන්නේ මෙම රූප කලාප වල මිය යෑම හා ඉපදිමයි.
නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇති කැමරා ආදීයෙන් මෙම වෙනස්වීම් යම්තාක් දුරකට අපට දැක බලා ගත හැක. උදාහරණයක් ලෙස මලක් පිපී පරවෙන ආකාරය අපට දැක බලා ගැනීමට හැක. බුදු ඇසින් මෙම සියළු රූප කලාපයන්ගේ විපරිණාමය දැක, එය ලෝකයාට ප්‍රකාශ කළ සේක. අනිත්‍යයට පත්වීම, වැය වීම , නිරුද්ධ වීම ලෙසින් අප ධර්මයේ දක්වන්නේ එයයි. මෙය සෑම රූපයකටම පොදු ධර්මතාවයකි.
ඒවා එසේ වැයවීම අපට නතරකළ නොහැක. කෘතීම වශයෙන් තාවකාලිකව යම් යම් දේ කළ හැකි නමුත්, ස්වභාවය නම් වැයවී නිරුද්ධ වී යෑමයි. මෙසේ මේවා විපරිණාමයට පත්වීම අප සිත් තුළ දුකක් ඇති කිරීමට හේතු වේ. කිසිවක්ම වෙනස් නොවී පවතී නම්, නිරුද්ධ වීමක් සිදු නොවේ නම්, ඉපදීමක්, ලෙඩ වීමක්, මිය යාමක්ද නොවේ. එසේ නම් දුකක්ද නැත. අපට ඕනෑ ලෙසින් පවත්වා ගත නොහැකිය. සිතූ විට සුදු වීමට, කළු වීමට, කෙට්ටු වීමට, ලෙඩ නොවීමට, නොහැකි ඒවා වැයවිම අපෙන් ස්වායක්තය.
එසේ හෙයින් මේ ධාතුන්ගේ ඇති වීමද, පැවතීමද, නැතිවීමද බුදු ඇසින් දැක ඒවායේ පවතින ලක්ෂණ තුනක් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. එනම් අනිත්‍ය බව, දුක් බව සහ අනාත්ම බවයි. වෙනස් වීම, දුක් සහිත බව, තම වසඟයේ නොපැවතීම ලෙස සරලව අර්ථ දැක්විය හැක.
සිතේ පැවත්මට බලපාන හේතුව තෘෂ්ණාව බව දක්වන ලදී. සිත යනු භෞතිකව අල්ලා බලා දැක ගත හැකි දෙයක් නොවේ. එය යම්කිසි ශක්තියකි. සිත ලෙස හැඳින්වූවද එය බුදු ඇසින් චිත්තක්ෂණ ආදී ලෙසට තව තවත් ගැඹුරින් සර්වඥතා ඥාණයෙන් විස්තර කර ඇත. අභිධර්මයේ බහුලව දැක්වෙනේ මේ සිත පිලිබඳ ඒ විග්‍රහයයි. සිත යනු විඥාණ, සංඥා, වේදනා, සංස්කාර ලෙසින් හඳුන්වන නාම ධර්මයි.
ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට බාහිර අරමුණක් හමුවූ විට මේ නාම ධර්ම ක්‍රියාත්මක වන ආකාරය පෙර ලිපි වලින් දක්වා තිබේ.
සිතේ ස්වභාවයද මොහොතක් පාසා අනිත්‍යට යෑමය. එක් සිතක් මැරී ඒ හේතු කොට ගෙන තවත් සිතක් උපදී. චිත්ත පරම්පරාවක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. තරහ ගිය සිතක් එක් වරම මෛත්‍රියට හැරවිය නොහැක. උදාහරණයකට වේගයෙන් ක්‍රියාත්මක වන විදුලි පංකාව විදුලිය විසංධි කළ විට යම්කිසි කාලයකට පසුව සම්පූර්ණයෙන්ම නැවතෙනවාක් මෙනි. සිතේ වේගය පවතින නිසා, එය නිවීමට යම්කිසි කාලයක් ගතවෙයි. එයට හේතුව කලින් සිත, අලුතින් ඇතිවන සිතට හේතුවක් වෙන බැවිනි. හේතුවක් සහ ඵලයකි. මිය යන මොහොතේ හටගන්නා අන්තිම සිතට අනුව ඉළඟ ජීවීතයේ උපත සිදුවීම තීරණය වන්නේ එබැවිනි.
සිත මොහොතක් පාසා අනිත්‍යට , නිරෝධයට පත්වෙයි. ඒ සිත මත පිහිටා වෙනත් සිතක් හට ගනී. එමෙන්ම සිතේ පැවතීම දුකකි. සිතිවිලි කිසිත් නැති නම්, කිසිඳු ඇලීමක්, ගැටීමක්, වේදනාවක්, ආශාවක් නැත. එහෙයින් කිසිඳු දුකක් නැත. කයට දැනෙන සියළු දුක් දැනෙන්නේ මනසටය. මුළු දුක්ඛ සත්‍යම නම් සිතේ පැවතීමමය.. එමෙන්ම අපට ඕනෑ පරිදි නොපවතියි. අපට කැමති ලෙසට මෛත්‍රි කරුණා, විරාගී සිතෙන් සිටිය නොහැක. අරමුණු අනුවම වෙනස් වෙයි. නිරන්තර සලිත වෙයි. රාගය එන අරමුණු ආ විට , රාගය පැන නඟී. ගැටීම, ලෝභය ආදී සෑම එකක්ම එපරිදිය. එසේ හෙයින් සිත අනාත්මය. මෙසේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය උරුම කරගත් සිත සහ කය නොනවතින ගමනක යෙදී සිටියි. සසර යනු සිතේ පැවැත්මමය.
තෘෂ්ණාව හේතුවෙන් නැවත නැවත අරමුණු අභිනන්දනය කරමින් නැවත නැවත සිත් පරම්පරාවන් ඇති කරවමින් නොනවතින ලෙස මේ සිත ක්‍රියාත්මක වෙයි. එක් භවයක රූපය නිමවුණිද, ( මරණය) යළි සිත ගොස් වෙන රූප කලාපයක එල්බ ගන්න බැවින් නාමයත් රූපයත් අඥ්ඥ මඥ්ඥ ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙමින් ( එකිනෙකට අනෝන්‍ය වශයෙන් උපකාරී වෙමින් ) නොකඩවා නාමයත් රූපයත් පවතී. මෙසේ සිත අඛණ්ඩව පැවතීමට කර්ම ශක්තිය බලපායි.
කර්මය යනු සිතින් රැස් කරගන්නා දේවල් ය. අප සිත මූලික කරගෙන කරනා සියළුම කායික වාචසික, මානසික ක්‍රියාවල් වල ඵලයක් ලෙස යම්කිසි ශක්තියක් රැස් කරයි. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇති බැවින් මේ ශක්තිය විපාක ශක්තියක් ලෙස පවති.එය කර්ම විපාක ශක්තියයි. එය කිසිවකුගෙ මෙහෙයවීමකින් නොව ස්වභාව ධර්මයෙන්ම සිදුවන මෙම පැවැත්මේ ක්‍රියාවලියයි. එසේ රැස් කරගන්නා කර්ම විපාක ශක්තිය සුදුසු අවස්ථාව පැමිණි විට විපාක දෙයි. දස මාසයක් පිරුණු විට දරුවකු බිහිවීම ආදිය කිසිවකුගේ මෙහෙයවීමෙන් නොව, සුදුසු පරිසරය සැකසුණු විට ක්‍රියාවට නැගෙන්නාක් මෙනි. මෙසේ මෙම සිතේ ක්‍රියාවලියට කර්මයද බලපායි. කර්මය අතිවන්නේ සිත තුළ තෘෂ්ණා, අවිද්‍යා පවතිනවානම් පමණි. අවිද්‍යාව දුරු කළ සිතක යළි තණ්හා, දිට්ඨී, මානයෙන් (කෙලෙස් සිතිවිලි) හට නොගන්නා බැවින්, තෘෂ්ණාව මුළුමනින්ම වියළවා බීජය මරා දමා ඇති හෙයින් චේතනා මූලික කරගෙන සිතිවිලි ජනනය වීමක් සිදු නොවන බැවින් කර්ම සංස්කාර රැස් වීමක් සිදු නොවේ. එහෙයින් අතීත සංස්කාර වල විපාක ශක්තියක් පමණක් ක්‍රියාත්මක වෙයි. ඒවා නිමවූ විට යළි අලුතෙන් රැස් කරගත් දෙයක් නොමැති බැවින්, යළි සිතක පහළ වීමක් නොවේ. එනම් යළි සසරක පැවැත්මක් සිදු නොවේ.
වෙනදා කෙනෙක් දකින විට, සුදු, කලු, උස, මහත, කෙට්ටු, ලස්සන, කැත හෝ නම් වශයෙන් දුටු ඔබ දැන් ඒ රූපය දැකීමට සිත පුරුදු කළ යුත්තේ විදර්ශනා ඇසකින්ය. එනම් දෙතිස් කුණප ලෙසින් හෝ මූල ධාතු හතරක් ලෙසින්ය. නිර්මිත සංයුතිය අනුව විවිධ වෙනස්කම් මතුපිටින් පෙන්වූවද අභ්‍යන්තර යථා ස්වරූපය එකමය. ගැහැණියක හෝ පිරිමියකු ලෙසින් අප හඳුනා ගන්නා රූපයේ පිට සම ඉවත් කළ විට අභ්‍යන්තරයේ කිසි වෙනසක් නැත. කවර රූපයක් වුව ක්‍රමයෙන් වැය වී විනාශයට පත්වෙයි. හේතු ඇති කල්හි ඒවා ඇතිවී හේතුව නැතිවී ගිය කල්හි නැතිවී යයි. මේ රූපයද හේතුවක් හා ඵලයකි. බුදුරජාණන් වහන්සේ කෙනකු විසින් ලොවට පහළ වී දේශනා කරන්නේ මෙම පැවත්ම නතර කරවන විද්‍යාවයි. ස්වභාවිකත්වය ඉක්මවා යන , ධර්මතාවය ඉක්මවා යන දර්ශනයයි. එය උඩුගම් බලා යෑමකි. රාග , ද්වේශ, මෝහ මූලයන් ගලමින් පවත්නා සිත ක්‍රමානුකූලව පුහුණු කරමින්, එම උල්පත් වියළවා දමන ක්‍රමයයි.
කාමයන්ට ඇලෙමින්, භවයට ඇලෙමින්, නොයෙකුත් දෘෂ්ටීන්ට බැඳෙමින්, ආශ්‍රව ධර්මයන් වඩවමින් සත්වයා සසර පුරා ගමන් කරයි. මේවා කෙරෙන් මිදෙන්නට නොහැකි වූයේ, ඒවායෙ යථා ස්වරූපය නොදන්නා හෙයිනි. එනම් ලැබෙනා සුළු ආශ්වාදයට යටවීමයි. තණ්හාව ආශ්වාදජනකය. එය සිත ආනන්දයට පත්කරයි. තෙත් පොළොවකට බීජයක් දැමූ විට රෝපණය වන්නාක් මෙන්, ආශ්‍රවයන් සහිත සිතකට අරමුණක් හමුවූ විට රාග, ද්වේශ ගලයි. මේ කයේ සහ සිතේ පැවැත්මේ භියජනක බව, දුක් සහිත බව, ආශාවන්ට යටවී කම් සැපතට යටවිමේ ආදීනව ආදී දේවල් ලෝකයාට එළි පෙහෙළි කර දෙන්නේ සම්මා සම්බුදුවරයකු පමණි. එම දුකෙන් මිදීම සඳහා, සිතෙන් මිදීම සඳහා සිතම මෙහෙයවිය යුතු ආකාරය සත්වයාට පෙන්වන්නේ බුදුවරයකු පමණි. ළිඳට වැටුණු මිනිසා ළිං කටෙන්ම ගොඩට ආ යුතු පරිදි, සිත නිසා සසර දුකට පත්වුණු අප සිතම උපයෝගී කරගනිමින් සිතෙන් මිදිය යුතුය.
මේ නාමරූප ධර්මයන් කෙරෙහි නො ඇලෙන නොගැටෙන, විරාගී වන, කළකිරීම, උපේක්ෂාව, නිරෝධය, පටිනිස්සග්ගය ලබා දෙන යම් දහමක් වේද , ඒ උතුම් බුද්ධ දේශනාවම පමණි. ඇලෙන, බැඳෙන, ගැටෙන, හිස් වූ ලොව තුළ, විරාගීව , සිටීමට සිත පුහුණු කරන්නේ ද එයින් මිදීමට අවශ්‍ය පාර පෙන්වන්නේද මේ දහම පමණි.