
සෝවාන් වූ අයෙක් හඳුනා ගන්නේ කෙසේද ?
නිතර දෙවේලේ මෙම ප්‍රශ්නය දකිනා බැවින් ඒ ගැන සටහනක් තබන්නට සිතුවෙමු. ප්‍රායෝගික වශයෙන් ඒ කරුණු ගොනු මෙසේ ගොනු කරමු.
ඇත්තෙන්ම ඉහත පැනයට කෙටිම පිළිතුර එසේ හඳුනා ගත නොහැකිය යන්නයි. සෝවාන් වූ කෙනෙක් තබා, රහතන් වහන්සේ කෙනෙක් වූවද බාහිර වශයෙන් හඳුනා ගත නොහැකිය. බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටි එක්තරා උසින් අඩු රහතන් වහන්සේ නමකට ( ලකුණ්ඨ භද්දිය මහ රහතන් වහන්සේ) උන් වහන්සේ රහතන් වහන්සේ නමක් බව නොදත් සාමාන්‍ය ජනයා උන් වහන්සේට කුඩා සාමණේර නමක් ලෙසින් සැලකූ බව සඳහන්ය. සවණක් ඝන රැස් වළල්ලෙන් තොරව සාමාන්‍ය ආකාරයෙන් වඩිනා කළ බුදු රජාණන් වහන්සේ පවා එසේ විශේෂ වශයෙන් හඳුනා ගත නොහැකිය. ආධ්‍යාත්මික වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නා දෙයක් එසේ බාහිරින් ප්‍රකට නොවීමය.එය උදාහරණයකින් මෙසේ සිතන්න. ඉතාමත් උගත් මහාචාර්යවරයකුද, සාමාන්‍ය මිනිසෙක්ද එකට සිටිනා කල්හි, මේ උගත් කෙනාය, මේ නූගත් කෙනාය කියා ස්ථිරව පිටින් බලා කිව හැකිද.එසේ වූවද මේ කරුණ සඳහන් කරනු කැමතිය.යම් ආධ්‍යාත්මික දියුණුවක් ලැබූ කෙනෙක් සාමාන්‍ය වශයෙන් බාහිරින් ප්‍රසන්නය. මන්දයත් සීල, සමාධි වඩන බැවිනි. ලස්සන නොව, යම්කිසි ප්‍රසන්න බවක්, හික්මුණු බවක්, ආදිය ඇතැම් විය ප්‍රකට විය හැක. නමුත් එයට මාර්ග ඵලයක් ලැබීමම අවශ්‍ය නොවේ. පෘථග්ජන කෙනෙක් වූවද නිති මෙත් සිත වඩයි නම්, සමාධිය වඩයි නම් ,සීලය වඩයි නම් ඔහු කෙරෙන්ද ඒ බාහිර ස්වභාවය ප්‍රකට වේ. එය මාර්ග ඵල වලට විශේෂ වූවක් නොව වඩනා මානසික ස්වභාවයට අනුව රූප කලාපයන්ගේ වෙනස්වීම හේතුවෙන් ඇතිවන්නකි.ඇත්තෙන්ම සෝවාන් වීමේදී සිදුවන්නේ කුමක්ද යන්න ඔබට න්‍යායාත්මක අවබෝධයක් ඇතිවා විය හැක. මේ ලිපියෙන් ඒවා දීර්ඝව විස්තර නොකෙරේ.
සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි, විච්කිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම තුන නැවත නූපදින ලෙසින්ම නිරුද්ධ වී යයි. මෙය ප්‍රායෝගිකව අත් දකින්නේ , විඥාන නිරෝධයක් ලෙසිනි. එනම් පංචස්කන්ධයේ ඇතිවීම් නැතිවීම් බල බලා විදර්ශනා භාවනාවක යෙදී සිටිනා කෙනෙක්ට යම් මොහොතක විදර්ශනා ප්‍රඥාව නිසි පරිදි වැඩී ඇති විට ඒ පංචස්කන්ධයේ ත්‍රිලක්ෂණය මැනවින් අවබෝධ වී ඒ වාගේ නිරෝධය අත්දැකිය හැකි වනු ඇත. එය දුක්ඛ නිරෝධ සත්‍ය අත්දැකීමයි. කවර මාර්ග ඵලයක් වුව ලබන්නේ චතුරාර්‍ය සතය්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරමිනි. නිරෝධ සත්‍ය පසක් වන්නේ නාම රූප නිරෝධය අත්දකිද්දීය. එනම් ක්‍රමයෙන් රූප ස්කන්ධයේ නිරෝධයත්, නාමස්ක්න්ධයේ නිරෝධයත් අත්දකිමිනි. ඒ ඒ මාර්ගඵලයට අනුව ඒ ඒ සංයෝජන ධර්ම නිරුද්ධ වේ. නැවත සංසාරයේ කිසිම දිනෙක ඒ නිරුද්ධ කරන ලද සංයෝජන ධර්ම ඇති නොවේ. මාර්ග ඵල අවබෝධය, නිවන් අවබෝධය යනුවෙන් හඳුන්වන්නේ ඒ සංයෝජන ධර්මයන්ගේ නැති කිරීමයි.සෝවාන් ඵලය සාක්ෂාත් කරමින් නිවනට සිත පත් කර ගන්නා කෙනා අත්දකින්නේ තමාගේ කයේ හා සිතේ නිවී යාමයි. එනම් කය සිතට අරමුණු නොවී සිතින් නිරුද්ධ වී යයි. අපට මේ ලොකයේ පවත්නා සෑම දෙයක්ම අරමුණු වන්නේ සිතිනි. සිතින් එය ගොසින් ස්පර්ශ කළේ නැතිනම් ඒ අරමුණ සිතට අනුව නිරුද්ධය. එනම් ඕනෑම දෙයක් අපට අරමුණක් වන්නට නම් මනෝ ස්පර්ශය ඇතිවිය යුතුමය.විදර්ශනා භාවනාව වඩමින් සමාධිමත් සිත ප්‍රගුණ කරන ඔබ කයේ යථා ස්වභාවය අවබෝධ වත්ම, එය හේතු ඵලයක් බව දකිත්ම ඒ රූපය සිතින් ගිලිහී යයි.
තමාගේ සමාධි ප්‍රඥා මට්ටම් අනුව ඒ ලබන අත්දැකීම් වල ත්‍රීව්‍රතාවය බලවත්ය. කය මුළුමනින්ම සිතෙන් ගිලිහී කය නොමැතිව සිත පමණක් පවත්නා බඳු තත්වයක් සිතට උද්ගත විය හැක. මෙහිදී කය නැතිවනවා නොව, කය සිතට නොපෙනී යාම සිදු වේ. එනම් රූප අපේ සිතට ගැට ගැසී තිබූ මනෝ ස්පර්ශය ගිලිහී යාමය. එවිට රූපය යනු මම, මගේ , මට අයත් නොවන දෙයක් බව ඉතාමත් ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකී. මෙතෙක් කල් මම , මගේ ලෙසින්, මගේ මූණ, මගේ ඇඟ ආදී ලෙසින්, මට ඕනෑ පරිදි හසුරුවා ගත හැකියි සිතා සිටි ඇඟ, රූපය, පිළිබඳ දැනීමක්වත් නැතිව එය සිතට නොපෙනී නොදැනී යද්දී , මෙතෙක් කල් සිටි මුලාව හදවතින් ප්‍රත්‍යක්ෂ වෙයි. එනම් ආත්මීය වශයෙන් බැඳී සිටි ආත්ම දෘෂ්ටිය සිදී යයි. රූපය යනු අනාත්ම දෙයක් බව ප්‍රත්‍යක්ෂව අද්දකී. එය අවබෝධයක්, දැනීමක් නොව, අත්දැකීමකි. මෙවැනි අත්දැකීමකට පත්වූ පසු දැනෙන්නේ සිත පමණක් ක්‍රියාත්මක වන බවය. තව දුරටත් විදර්ශනා භාවනාව ඉදිරියට කරගෙන යා යුතුය. ත්‍රිලක්ෂණය දකිමින් භාවනාව වැඩිය යුතුය. එනම් අනිත්‍ය බව, දුක් වව, අනාත්ම බව නාම ධර්මයන් තුළ ක්‍රියාත්මක වන භාවය දකිමින් විදර්ශනා භාවනාව කරගෙන යා යුතුය. නිවන් ලබා ගැනීමට ඇති සියළුම බලාපොරොත්තු, අපේක්ෂා සියල්ල සිතින් ගිලිහී ඇති මොහොතක අනපේක්ෂිතවම, ඉතිරිව පැවති නාම ධර්මයන්ගේද නිරෝධය අතදකින්නට හැකි වනු ඇත. එනම් පැහැඳිළිවම සංඥා, වේදනා, සංස්කාර, විඥාණ යන නාම ධර්මයන් පහනක් නිවුනාක මෙන් එක් වරම නිවී යබු ඇත. එයින් පසුව උදා වන්නේ ඵල සිතයි. නිවන යනු එයයි. සියළු සංස්කාර නිවී ගිය, ශාන්ත වූ, ස්මාහිත වූ, බැලූ බැලූ අත කෙළවරක් නොමැතිව පැතී ගිය අචල, ශාන්ත සුවදායී, නො ඇලුණු, නොගැටුණු අමා ශාන්තී වූ නිර්වාණයයි..
“ඒතං සන්තං ඒතං පණීදං යදිදං සබ්බ සාංකාර සමථො සබ්බූපදි පටිනිස්සග්ගො තණ්හක්කයො විරාගො නිරෝධො නිබ්බාණන්ති” යන්න අත්දකි.. ඒ ඵල සිතේ කිසිඳු සංස්කාරයක් නොමැත. නිවන අත්දකිනා ඉතාමත්ම සියුම් විඥාණ මාත්‍රයක් ඇත. පරමාර්ථ වශයෙන් ලබනා අත්දැකීමක් සම්මුති වචන වලින් විස්තර කිරීම අසීරුය. ඒ නිවන අත්දකිනා සිතට, ඵල සිතට පෙරාතුව සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කරමින් සිදු කරන්නා වූ භාවනාමය මාර්ගය , මාර්ග සිතයි. මෙසේ සෝවාන් ඵලයට පත් වූ කෙනාට ඒ ඵල සිතේ කැමති කාලයක් සිටිය හැක. එය වෙනස් වන්නේ සමාධි, ප්‍රඥා, ආදී දේවල් මතය. ඇතැමුන්ට ඒ උදාවූ ඵල සිතේ වැඩි වේලාවක් සිටිය නොහැක. ඒ සමාධියෙන් ලැබෙනා අනුග්‍රහය සීමිත බැවිනි. මේ ඵල සිත ධ්‍යාන සිතින් වෙනස් වන්නේ ධ්‍යාන සිතකත් සංස්කාර පවතී. සුඛය, ප්‍රීතිය ආදී අංග ක්‍රියාත්මක වෙයි. අරූපාවචර ධ්‍යාන සිතක වුවද සංස්කාර පවතී. ඒ ධ්‍යන අංග ක්‍රියාත්මක වේ. නමුත් ඵල සිතක ස්වභාවය ඊට වඩා වෙනස්ය. එහි කිසිඳු සංස්කාරයක් නැත. අත්‍යන්තයෙන්ම පවිත්‍රය. සියල්ල නිවී ගොස්ය.
උසස් සමාධි, ප්‍රඥා ඇති කෙනෙක්ට ඵල සිතෙන් නැඟී සිටි පසුද ඒ නිවන් සුවයේ ශාන්තිය නිවීම බොහෝ වේලාවක් පවතී. බොහෝ වේලාවක් දිය ස්නානය කරමින් පැමිණි කෙනෙක්ට ඒ සීතල සුවදායි බාවය බොහෝ වේලාවක් පවතින්නාක් මෙනි. ඇතැම් සෝවාන් පුද්ගලයන්ට වුව ඵල සිත මහත් සේ ප්‍රකට නොවී පවතිනු ඇත. ඒ ඔවුන්ගේ සමාධි ප්‍රඥා වල අඩුපාඩු හේතුවෙනි. නමුත් නිසි පුහුණුවෙන් පසු කැමති විටෙක ඵල සිතට සමවැදීමට කැමති වේලාවක් එහි සිටීමට හැකි වනු ඇත. පිරිසක් සමඟ කතා බස් කරමින් සිටින විට වුවද කැමති නම් ඵල සිතට පත් විය හැක. එය රඳා පවතින්නේ සමාධි ප්‍රඥා දියුණු කරන ප්‍රමාණය මතය. මෙසේ සෝවාන් වන කෙනාට ඒ සෝවාන් ඵලයට පත් වීම, බණ අසමින් සිටින විට වුව සිදු විය හැක. භාවනා කරන විටද සිදු විය හැක. සක්මන් කරන විටද සිදු විය හැක. මන්දයත් එය ආධ්‍යාත්මික වශයෙන් සිදුවන්නකි. නමුත් අනිවාර්යයෙන්ම නාම රූප නිරෝධය අත්දැකීම සිදු වේ. අද කාලේ බොහෝ ස්වාමින් වහන්සේලා මතයක් ක්‍රියාත්මක කරමින් යන්නේ සෝවාන් වන්නේ භාවනා කර නොව, බණ ඇසීමෙන් යන්නයි. එය ඉතාමත් හරසුන් කතාවකි. බණ අසමින් සිටින විට සෝවාන් විය හැක. නමුත් බණ අසමින් සිටින විටදී පමණක් සෝවාන් වේ යන මතයේ පදනම කුමක්ද යන්න නොතේරේ. අවශ්‍ය වන්නේ ත්‍රිලක්ෂණය ප්‍රතක්ෂ කොට නිරෝධ සත්‍ය අත්දැකීමයි.
වඩන ලද පාරමී, ඉන්ද්‍රිය ධර්මයන් ඇති කෙනාට , නිතර ඒවා යෝනිසෝ මනසිකාරයෙන් දකිමින් සිටිනා කෙනාට බණ අසමින් සිටින විට පමණක් නොවේ, වෙන වැඩක නිරත වෙමුන් සිටින වුවද ඒ අත්දැකීම ලබා ගත හැකි වනු ඇත. මෙවැනි හිස් කතා වලට නොරැවටී සිටීමට නම් ඔබ තුළ විචක්ෂණ නුවණ තිබිය යුතුමය. ඔබ බසයකට ගොඩ වූවා සිතන්න. ඔබ සිටගෙන සිටියද, ඉදගෙන සිටියද, පා පුවරුවේ සිටියද ගමනාන්තයට යයි. පාපුවරුවේ යද්දී පමණක් ගමනාන්තයට ළඟා විය හැකි යැයි කීවොත් එය මොන තරම් මෝඩ සහගතද.. සුවසේ වාඩි වී යාමට ඔබට හැකියාව තිබියදී , ඔබ එය නොකර පාපුවරුවේ එල්ලී දුක් විඳිනු ඇත. ඔබට අවශ්‍ය තරම් පාරමී නොවේ නම් ඔබ භාවනාවකින් සමාධිය වඩවා නොගන්නේ නම් ඔබට සිදුවන්නේ සැමදාම බණම අසමින් සිටින්නටය. අනෙක් අතට ඔබ අසන්නේ එවැනි ස්වාමින් වහන්සේලාගේ බණ නම් නිවන යනු මේ ජිවිතයේදී පමණක් නොව කල්ප ගණනකට ඔබට දුර දෙයක් වනු නො අනුමානය.මන්දයත් සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම යනු මේ මොහොතක උදාවන සම්මා දෘෂ්ටිය නොවේ. එය ප්‍රත්‍යක්ෂ අත්දැකීමකින් පසුව උදාවන යලි නොසෙල්වෙන සම්මා දෘෂ්ටියකි. ඔබට ධර්ම දැනුම තිබුණද නොතිබුණද ඔබේ පාරමි වැඩී ඇත්නම් ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ඇත්නම් ඔබට නිවන අත්දැකිය හැක. අන්ධ පුද්ගලයකුට රස ඇපල් ගෙඩියක් කන්නට දෙනවා යැයි සිතන්න. ඔහු කිසිදා ඇපල් නොදන්නවා යැයි සිතන්න. එසේ වූවද ඔහුට ඒ ඇපල් රසය දැනේ. ඔහු එය විඳී.
දහම් දැනුම නොතිබුණද ඉන්ද්‍රිය ධර්මයන් වැඩී තිබේ නම්, අනිත්‍ය, දුක්ඛ , අනාත්මය හදවතින් දක්නා නිමේශයේ ඔහු නිරෝධ සත්‍ය පසක් කරගනී. එදා සිටි බොහෝ දෙනා එක බණ පදය අසන විට මාර්ග ඵල ලබා ගත්තේ එසේය. විසාකා උපාසිකාව අවුරුදු හතේදි සෝවාන් වූවේ එසේය. එක් බණ පදය අසා රහත් වූ අයද මේ ශාසනයේ සිටී. එසේ නම් මේ දැන් කියනා බණ අසා සෝවාන් වන්නේ කියන කරුණ බණ අසා රහත් වන්නේ කියා කීමටද හැකිය. නමුත් ඔවුන් කියන්නේ බණ අසා සෝවාන් වී ඉන් පසුව භාවනා කොට ඉතිරි මාර්ගඵල සාක්ෂාත් කළ යුතුය යන්නය. එය කෙතරම් පටු ආකල්පයක්ද යන්න ඔබට අවබෝධ විය යුතුය. නිවනට ඇත්තේ එකම ක්‍රමයකි. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමයි. සෝවාන් වන්නට වෙනම මාර්ගයකුත් ඉතිරි මාර්ග ඵල සඳහා වෙනම මාර්ගයකුත් නැත. සියළු මාර්ග ඵල සාක්ෂාත් කිරීම පිණිස ඇත්තේ එකම පටිපදාවකි. ඒ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි සම්මා සමධිය යනු භාවනාව වැඩීමයි. ඔබව නිවනින් වළකන මෙවැනි මාර පාක්ෂික ධර්ම සඳහා අසු නොවී සිටීමටත් පෙර පිනක් තිබිය යුතු බව අපේ පුද්ගලික විශ්වාසයයි.. කලින් සඳහන් කර පරිදි ප්‍රත්‍යක්ෂ අත්දැකීමකින් සෝවාන් ඵල සිත උදා කරගත් පසු ඔහු පෘථග්ජන භූමියෙන් එපිට ආ ආර්‍ය පුද්ගලයකු ලෙසින් හඳුන්වයි.
ඔහුගේ සීලය ආදිය පිළිබඳ න්‍යායාත්මක කරුණු ගෙන හැර නොදක්වා ප්‍රායෝගික පැත්ත ගැන කතා කරන්නේ නම්…; ඔහු තම නැණ පමණින් චතුරාර්‍ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කොට, ධර්මය ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකි කෙනෙකි. තම නැණ පමණින් කියා දැක්වූයේ ඉහළ ඉහළ මාර්ග ඵල සාක්ෂාත් කිරීමේදී අත්දක්නා ධර්මය වඩාත් පෘථුල හේතුවෙනි. එසේ නමුත් මේ පංචස්කන්ධය මගේ ආත්මය ලෙසින් ගෙන සිටි දෘෂ්ඨිය මුළුමනින්ම කැඩී යාම නිසා ඔහු ඒ බුදු රජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍ය, දුක්ඛ , අනාතම ධර්මය ප්‍රත්‍යක්ෂයෙනම සත්‍යතාවය අත්දැක ඇත්තෙකි. කවුරුන් යළි කෙසේ කීවද ඔහුගේ දැක්ම වෙනස් නොවේ. ඒ ධර්මය කෙරෙහි, ඒ ධර්මය දේශනා කළ බුදු රජාණන් වහන්සේ කෙරෙහි, ඒ මඟ යන සංඝ රත්නය කෙරෙහි යළි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඔහුගේ සිත තුළ පිහිටයි. නිවන් ලබා ගැනීමට ඇති එකම ක්‍රමය මෙ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය බව පසක් වී හමාර බැවින්, විමුක්තිය පිණිස වෙනත් දෘෂ්ටීන් පසු පස යෑම යළි කිසිඳා සිදු නොවේ. මේවා යළි කිසිඳා සිදු නොවේ යන්න, මේ ජීවිතයට පමණක් අදාළ වෙන ඒවා නොව, මුළු සංසාරයටමය. මේවා විශ්ව ධර්මතාවයන්ය. සිල් ගුණ දම් රකිනා කෙනෙක් ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව පවතිනු ඇත. නමුත් මේ ජීවිතයේදීම හෝ සසරේ කවදා හෝ ඒ ශ්‍රද්ධාව බිඳී යන්නට හැක. ඒ සඳහා වරෙන්තුවක් නැත. නමුත් සෝවාන් වූ කෙනෙක් තුළ පිහිටන ශ්‍රද්ධාව යලි සසරේ වෙනස් නොවේ. ඒවා ධර්මතාවයන්ය. හිත හිතා කරන දේවල් නොවේ. නියත ගති පරායණ තත්වයට පත් වනවා යනු එයයි. එනම් යළි කිසිඳා දුගතියට නොයයි. භව හතක් තුළ රහත් භාවය අනිවාර්යයෙන්ම සාක්ෂාත් කොට සසර දුක් කෙළවර කරයි.
සාමාන්‍ය කෙනෙක්ට සංසාරය තුළ විඳින්නට නියමිත දුක් ප්‍රමාණය මහ සයුර තරම් නම්, සෝවාන් වූ කෙනෙක්ට ඒ දුක් ප්‍රමාණය මහ සයුරෙන් ඉඳිකඩු තුඩකට ගත් දිය ප්‍රමාණය තර්ම්ය. ඒ මාර්ග ඵල සාක්ෂාත් භාවයත් සමඟම ඉදිරියේදී විඳින්නට තිබූ ඒ අති විශාල දුක් ප්‍රමාණයක් අහෝසි වී යයි. යම්තාක් අපායගාමි අකුසල විපාක ශේෂව පැවතුණද ඒ සියල්ල අහෝසී වී යයි. ඒවා ධර්මතාවයන්ය.එසේ සෝවාන් වු කෙනෙක්ට එදිනෙදා ජීවිතයේදී සිත ක්‍රියාත්මක වන විට අත්දකින්නට ලබෙන වෙනස්කම් මෙසේ වේ. තමාගේ ශ්‍රද්ධාව බෙහෙවිනම වැඩිවී ඇති බව අත්දැකිය හැක. ත්‍රිවිධ රත්නය කෙරෙහි ජීවිතය පූජා කරන්නට තරම් ශ්‍රද්ධාවක් සිතේ ඇති වී තිබෙනු අත්දැකිය හැකි වනු ඇත. තණ්හාව යම් ප්‍රමාණයකට අඩු වී ඇති බව වැටහෙනු ඇත. එනම් ආශාවන් නැතිවී ගොස් නොව… නමුත් යථා ස්වභාවය හදවතට දැනෙමින් පැවතීමයි. කිසි විටෙක ඒ සත්‍යතාවය අමතක නොවේ. අලුත් කාර් එකක් ගන්නට ආසාවක් පැන නොනඟිනවා නොවේ. අලුත් නිවසක් තනන්නට ආසාවක් ඇති නොවෙනවා නොවේ. නමුත් ඒ සියල්ලේම අනිත්‍යතාවය, දුක් බව, අනාත්මය ගැන හදවතින් ගිළිහී නොයන අවබෝධයක් නිරතුරුව ක්‍රියාත්මක වෙමින් පවති. කාමරාග, පටිඝ සිඳී නොගොස් ඇති බැවින් ලිංගික කටයුතු කෙරෙහි වුව ආශාවන් වෙනස් නොවී පවතිනු ඇත. දරුවන් සෑඳීම්, විවාහ, ව්‍යාපාර කිරීම්, රැකියා කිරීම් ආදිය වෙනසක් නැතිව කරන්නට හැක. ඒ සඳහා ආශාවද තිබේ. එසේ වූවද ඒ කිසි අරමුණක අතරමං නොවේ. යථා ස්වභාවය යථා පරිදි දක්නා ප්‍රඥාව පහළ වී ඇති බැවිනි. අරමුණු තුළ අතරමං වන මුලාව යම්තාක් දුරකට සිඳී ඇති බැවිනි.
මෙහිදිද එක් දෙයක් කිව යුතුය. සෝවාන් වන පුද්ගලයන්ද එකිනෙකට වෙනස් ය. ඔවුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ඇති ආකාරය වෙනස්ය. ඒවා අනුවම ඇතැම් සෝවාන් අය ස්ථිරවම ඉතිරි මාර්ග ඵල මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගෙන රහත් ඵලයෙන් සැනසෙනු ඇත. ඇතැම් අය තව ආත්ම භව දෙකක් ඇතුළත නිම කරනු ඇත. තවත් අය ඉතිරි ආත්ම හතම සසර ගමන් කොට හත්වන ආත්මයේ රහත් වනු ඇත. එසේ වර්ග කිරීමක් පවතී. විසාකා උපාසිකාව, අනේපිඬු සිටුතුමා ආදී අධික කාමභෝහී ජීවිත ගත කළ සෝවාන් උතුමන් ඉතිරි ආත්ම හතම සසරේ ගමන් කොට හත්වන ආත්මයේ රහත් වන බව සඳහන්ය. එසේ හෙයින් සෝවාන් වූ සෑම දෙනාම එකම ආකාරයෙන් මනසිකාර පවත්වන්නේ නැත. ඇතැම් අය සෝවාන් වූ පසුද කාමයන් බහුලව පරිහරණය කරමින් සාමාන්‍ය පෘථග්ජන අයෙක් මෙන්ම කාමභෝගි ජීවිතයක් ගත කරනු ඇත. ඇතැම් අය මේ ජීවිතයේදීම ඉතිරි මාර්ගඵල සාක්ෂාත් කිරීමම වෙනුවෙන් ලෞකිකත්වය දෙවෙනි තැනට තබමින් ඉදිරියට ගමන් කරනු ඇත. මේ සියල්ල ඔබගේ ඉන්ද්‍රිය ධර්මතාවයන් වැඩී ඇති ආකාරය අනුව වෙනස් වනු ඇත.රහත් වූවද පෙර සසර පුරුදු කරන ලද පුරුදු ඒ ආකාරයෙන්ම පවතිනු ඇත. එහෙයින් සෑම මාර්ගඵල ලාභියෙක්ම එකිනෙකාට බාහිරින් වෙනස් වේ. ගති පැවතුම් වෙනස් වේ. එසේ වූවද සම්මා සම්බුදු රජාණන් වහන්සේලා එසේ නොවේ. වාසනා ගුණයත් ඉතිරි නොවී බුද්ධත්වයට පත්වන බැවින් සෑම සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්ම එකම ලෙස බාහිරින් වුව සමානය. අසම සම ලෙසින් අප බුදුවරුන් හඳුන්වන්නේ එබැවිනි. සෙසු ලෝකයාට සමාන නොවන බැවින් අසම ද, අන් බුදුවරුන්ට සමාන වන බැවින් සම ද බැවින් අසමසම ලෙසින් හඳුන්වයි. බුද්ධත්වය එසේ වූවද අනෙක් මාර්ගඵල වලදී එසේ නොවේ.
සාමාන්‍යයෙන් ඒ පුද්ගලයා කුඩා කළ සිට හෝ පෙර සසර පුරා පුරුදු කර ඇති ඇවතුම් පැවතුම් විදි ස්වභාව බොහෝ විට එසේ පවතී. ඔබ බලාපොරොත්තු වන සංසුන්, නිවුණු සෝවාන් ඵල ලාභියා ඔබට දක්නට නොලැබෙනු ඇත. එසේ වූවද සීලයෙන් , සමාධියෙන් , ප්‍රඥාවෙන් එන හික්මීමක්, ඉන්ද්‍රිය සංවරයක් දිනෙන් දින් දියුණුවට පත්වීමක් බොහෝ විට දක්නට හැකි වනු ඇත. සෝවාන් වූ කෙනෙක් වුව උත්සවයකදී නටන්නට, ගයන්නට හැක. නමුත් සුරාවෙන් වැළකීම ස්ථිරය. ඒ ඔහු තුළ පිහිටන ස්ථිර සාර වූ සීලය හේතුවෙනි. ක්‍රීඩා කිරීම්, සතුටු වීම් ආදී බොහෝ සාමාන්‍ය ක්‍රියාකරකම් වල යෙදෙමින් සාමාන්‍ය ජන ජීවිතයක් ඔවුන්ද ගත කරයි. ස්වාමින් වහන්සේලා නම් උන් වහන්සේලා රකිනා ශීලය අනුව ඒ ජීවිත ගත කරයි. මෙහි අරුථ නම් සෝවාන් වූ වා කියා බාහිරින් වෙනසක් නොවන බවත්, එය හුදෙක් ආධ්‍යාත්මික දියුණුවක් බවත්ය. ඒ ආධ්‍යාත්මික දියුණුවත් සමඟ එකිනෙකා තමන්ගේ බාහිර ඇවතුම් පැවතුම් වෙනස් කර ගනී. එය වෙනම දෙයකි.
සෝවාන් වූ කෙනෙක් බොහෝ විට සමාන්‍ය අයට වඩා බණ අසන්නට, භාවනා කරන්නට, ලැදිය. මන්දයත් ඔහුගේ වීර්යය ද ඉන්ද්‍රිය ධර්මයක් ලෙසුන් වැඩී ඇත. සෝවාන් වූවාට පසු තමාගේ සතිය, සමාධිය, ප්‍රඥාව , වීර්යය සැලකිය යුතු අන්දමින් වැඩී ඇති බව අත්දකින්නට හැකි වනු ඇත. නමුත් තව බොහෝ වැඩිය යුතුය. නිෂ්ඵල ලෞකික කතා වලට තිබූ ප්‍රිය භාවය, ඇලීම වෙනුවට ධර්මය පිළිබඳව කතා කරන්නට ඒ ධර්මය පිළිපඳින ගිහි පැවිදි කළණ මිතුරන් ආශ්‍රය කරන්නට වැඩි නැඹුරුවක් යෙදේ. සියළු රස පරදා ධර්ම රසයම උසස් බව හදවතින්ම අත්දකී.අෂ්ඨ ලෝක ධර්මතාවයන් කෙරෙහි පෙරට වඩා උපේක්ෂිත බවක් අත්දකී. දුක, තරහ, බිය, සතුට, ඊරෂ්‍යාව සිතට නොදැනෙනවා නොව පෙරට වඩා ඉක්මනින් ඒ කෙලෙස් වලින් සිත මුදා ගැනීමට හැකියාව ලැබේ. සෝවාන් වූ කෙනෙක් යළි කිසිවක්ම නොකර සිටියද ඔහුට යළි අටවන භවයක් නොවේ. මෙයින් අපට ගම්‍ය වන්නේ කුමක්ද ? ඔහුගේ සිතේ ස්වභාවික ගලායෑම උඩුගම් දිශාවට බවයි. පොඩි පොඩි කාල වකවානුවලට ලෞකික සැපයට යටවී සිටින සෝවාන් ඵල ලාභියා වූවද, ඔහුගේ ස්වභාවික සිතේ ක්‍රියාවලිය නිබ්බිදාව, විරාගය, නො ඇල්ම දෙසටය. එය ධර්මතාවයයි. ධර්මයෙහි ඇති අති ප්‍රබල වචනාර්ථය ඉක්මවා ගිය ප්‍රබලත්වයයි. උතුම් බවයි.
මේ ලොව නොව මේ විශ්වයේ යම්තාක් බලවත් දෙයක් වේද… ධර්මයේ බලවත් භාවය ඉදිරියේ ඒවා දූවිලි මෙනි.. යමෙක් ඒ ධර්මයෙ හැසිරී.. ඒ විමුක්ත පරිපාචනීය ධර්ම වඩමින්…ඔහුද ධර්මයෙන් බලවත් වේ නම්.. ඔහුගේ බලයද එසේය… එවන් බලවත් වූ ධර්මයක් ලොවට හෙළි පෙහෙලි කළ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා වෙනුවෙන් නොඑසවෙන වන්දනීය දැත් වලින් කුමන ඵලයක්ද….ඒ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ඉදිරියේ නොනැමෙන හිසින් කුමන ඵලයක්ද….ධර්මයෙහි ගැඹුර අත්දකින්නට අත්දකින්නට එහි ගම්භීර බව, බලවත් බව අවබෝධ වෙයි.අනවබෝධයෙන් වුව ඒවා කෙරෙහි පැහැදීමෙන් දිව්‍ය සැප ආදිය ලැබේ නම්…අවබෝධයෙන්ම පැහැදීමෙන් ඔබට අත්වන කුසලය කොපමණද….!
සැතපුම් දහස් ගණනක ගමනක ආරම්භය එක පියවරකිනි. මේ ධර්ම මාර්ගයද ඔබ එසේ ඇරඹිය යුතුමය. මට බෑ, මට වෙලා නෑ, යැයි හෙටට නොව….ඊළඟ මිනිත්තුවට වත් කල් නොදැමිය යුතු දෙයකි මේ ධර්මය…
උදෑසන අවදි වූ විට.. ඔබ ඔබටම ස්තූතිවන්ත වන්න.. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ ඔබේ සිතේ සනිටුහන් වී ඇත්නම්….ඒ පැහැදීමම පමණි කවදා හෝ ඔබට එකම සරණ වන්නේ.. සද්ධාය තරථී ඕඝං… ඕඝයන් තරණය කරන්නේ ශ්‍රද්ධාවෙනි.. බීජය ශ්‍රද්ධාවය... ශ්‍රද්ධාවෙන් ඇරඹෙන ගමන නිමාවන්නේ ප්‍රඥාවෙනි. එසේ වු … විශ්වයට අති දුර්ලභ….
සත්වයාට කාලාන්තරයකින් මුණ ගැසෙන. .. මේ සම්බුදු සසුනේ අග්‍ර ඵල නෙළන්නට ඔබටත් මටත් හැකි වේවා….!!!තෙරුවන් සරණයි…!