නමුත්; ඒ බැඳීමට තව ඇත්තේ ඉතා සීමීත ආයුෂ ප්‍රමණයක් පමණි !

යම්තම් තේරෙන වයසේ පටන්, මම ඇයට ප්‍රිය කළෙමි. ආශා කළෙමි. මේතාක් කාලයක් මගේ ජීවීතයම වාගේ කැප කළේ ඇය වෙනුවෙනි. ඇත්තෙන්ම එය ප්‍රේමයකි. මා ඇය වෙනුවෙන් කළ කී දෑ පොත් දාහක් පුරා සටහන් කළද නිමාවක් නම් නොවනු ඇත.

මා සෑමවිටම සිතුවේ පැතුවේ ඇගේ සැපතය. සුඛ විහරණයය. ඇයට සුළුවෙන් හෝ දුකක් දීමට මා කැමති නැත. ඇය ලස්සනට, නීරෝගීව සිටිනු දැකීම තරම් සතුටක් මට නොමැති තරම්ය.

මා ඇයට කැමති ඇඳුම් පැළඳුම් ගෙන දුන්නෙමි. කැමති කෑම බීම ලබා දුන්නෙමි. ඇතැම් අවස්ථා වල මා ඇය ආශා කරන ඇඳුම් පැළඳුම්, සපත්තු, කෑම බීම ආදීය සොයා රට පුරා ඇවිද ඇත්තෙමි. රටවල් වලට පවා ගොස් ඇත්තෙමි. ඇය යන්නට, දකින්නට ආශා කරන තැන් වලට ඇය ගෙන ගොස් ඒවා බලන්නට දුන්නෙමි. ඇය ආශා කරන්නේ කුමක්ද මා කෙසේ හෝ එය ඇයට රැගෙන දුන්නෙමි. චිත්‍රපටි, සංගීත සංදර්ශන, නාට්‍ය, කානිවල්, පෙරහැර, එකි මෙකී නොකී ඈ ආශා කරන සෑම දෙයක්ම මම ලබා දුන්නෙමි. මා ඉපයූ මුදල් වලින් වැඩි කොටසක් වෙන් වූයේ ඇයට කීවොත් නිවැරදිය.

ඇයට මා නැතිව කිසිවක්ම තනිවම කරගත නොහැකිය. කන බොන දේ පවා මා ඇයට කළ යුතුය. කැවිය යුතුය. පෙවිය යුතුය. නෑවිය යුතුය. වැසිකිළියට පවා ගෙන යා යුත්තේ මාය. ඇය අපිරිසිදුව සිටිනු දැකීම මට මහත් අප්‍රියතාවයක් ගෙන දෙන්නක් බැවින් මා නිතරම වෙහෙසුනේ ඇයව පිරිසිදුව ලස්සනට තබන්නටය. ඇයගේ ලස්සන ගැන මා තරම් වෙහෙසුණ කෙනෙක් නොමැත. ක්‍රීම්, පව්ඩර්, ලිප්ස්ටික් ආදියට මා කිසිඳු ලෝබකමකින් තොරව මුදල් වැයකොට ඇත. ඇතැම් විට මාගේ දෙමාපියන් මට දොස් නඟද්දී, මා ඔවුනට හොරෙන් පවා, ඇය වෙනුවෙන් මුදල් වියදම් කොට ඇයගේ ලස්සන ගැන වෙහෙසුණෙමි.
ඇයට මා ලබා දුන්නේ ඉස්තරම්ම දේවල්ය. ආභරණයක් දුන්නද එසේමය. කෑම බීම පවා මිලෙන් අධික ඒවා ගෙන දුන්නෙමි. එකඳු මොහොතක්වත් ඇයව කුසගින්නේ තබා නැත. ඇය ලෙඩ වන විට මට දරාගත නොහැක. එහෙයින් විටමින් ආදියද නො අඩුව ලබා දෙමින් මා සෑම විටම වෙහෙසුණේ ඇයව නීරෝගීව තබනටය.

මේ සෑම සියළු දේ, මට හැකි උපරිමයෙන් කළඳ, ඇයගෙන් මට පෙරලා ලැබෙන දෙයක් මට නොපෙනේ. මා ඇයට පණ මෙන් ආදරය කළඳ ඇය මට විටෙක සලකන්නේ හතුරෙකුට මෙනි. පොඩ්ඩ වැරදුණ තැන ඇය බලා සිටින්නේ මගෙන් පළිගන්නටය. ඇය කැමති කිසිඳු වැඩක් පළක් නොකර ඔහේ සිටින්නටය. මා මදක් හෝ විවේකීව සිටියහොත් ඇය මගේ අතට පයට ගසමින් වඳ දෙයි. මා හිඳගෙන සිටියහොත් මට වඳ දී මා එතනින් නැඟිටවීමට උත්සාහ කරයි. මම එහාට මෙහාට ඇඹරෙමින් ඇතැම් විට පාලනය කර ගනිමි. හිටගෙන සිටින විටකදී ඇය මට වැඩි වේලාවක් එසේ සිටීමට පවා ඉඩ නොදෙයි. මා එක දිගට එකම ලෙසින් සිටිනවාට ඇය අකමැතිය. මා ඇය රිදවන්නට ඇති අකමැත්ත නිසාම ඇයට කැමති ලෙසින්ම වෙනස් වෙමි.

ඇයව මා රැක බලා ගන්නේ කුඩා දරුවකු බලා ගන්නවාටත් වඩා පරෙස්සම්වය. මන්දයත් මට මෙලොව ඇති එකම වස්තුව ඇය බැවිනි. නමුත් යම්තම්වත් කෑම බීම ප්‍රමාද වුවහොත් ඇය මට සලකන්නේ හතුරෙකුට මෙනි. දිනක් ඇය මගේ හිසට එල්ල කළ පහරින් මා ක්ලාන්තව ඇඳ වැටුණි. මට පිහිට වී ඇත්තේ නාඳුනන මිනිසුන් පිරිසකි. පිට මිනිසුන්ට මා ගැන තිබූ අනුකම්පාවවත් ඇයගෙන් මට ලැබෙන්නේ නැත. නොවැළක්විය හැකිම තැනකදී ඇයව අව්වේ ගමනක් බිමනක් එක්ක යාමට මට ඇතැම් විට සිදුවේ. ඇය එවිට නිහඬව හිඳී. නමුත් එහි පළිය ගන්නේ පසුවය. දින දෙක තුනක් නැඟිට ගැනීමටවත් නොහැකි ලෙස ඇය මාගේ හිසට දැඩි ලෙස පහරක් එල්ල කළේය. එදායින් පසු මා ඇයව අව්වේ රැගෙන නොයමි. මඳ වැස්සකට තෙමුණද, උණ හෙම්බිරිස්සව සාදා ගැනීමට ඇය දක්ෂය. නැවත එවිට දුක් විඳිය යුත්තේ මා බැවින් මා ඇය ඒවායින්ද පරෙස්සම් කරමි.
ඇතැම් විට ඇයට ඕනෑ දේවල්, ඉල්ලන දේවල් දීම වෙනුවෙන් මා අවට මිනිසුන් සමඟද හිත් අමනාපකම් ඇති කරගන්නට සිදුවූ වාර ඇත.

මට, ඇය සිදු කරන ලද අකටයුතුකම් ගැන මෙසේ පෙර කෙදිනකවත් සිතී නැත. නමුත් මා ඇයත් කැටුව දිනක් ධර්ම දේශනාවකට සහභාගී වුණෙමි. ඇය නම් එය කණකටවත් ගත්තාදැයි මට විශ්වාස නැත. නමුත් මට එය තදින්ම සිතට දැනුණි. බැඳීම් වල ඇති විපාකය ගැන ස්වාමින් වහන්සේ එදා කියා දෙන ලදී. ඇත්තෙන්ම මා කල්පනා කොට බැලුවෙමි. මා ඇයට තරම් වෙන කාටවත් බැඳී නැත. මා ඇයට බැඳී ඇත්තේ දාසයකු මෙනි. ඒ බැඳීම නිසාම මට ඇයගෙන් ලැබුණු ආදීනවයන් මෙතෙක් කල් පෙනුණේ නැත. වෙනත් අය මට සුළුවෙන් දෙයක් කළ විට පවා පෙනුණද මට ළගින්ම සිටි ඈ දුන් දුක් වේදනා මට පෙනී නැත.

ඇත්තෙන්ම මා ජීවත්වී ඇත්තේ අන්ධයෙකු මෙනි. ඇස් පෙනුනද මා අන්ධයෙකු මෙනි.
දැන් දැන් මට සිතෙන්නේ ඇය මට ලැබී ඇත්තේ මගේ පෙර පවකටදැයි කියාය. මට ඕනෑ වුවද මට ඇයගෙන් දැන් මිදෙන්නට නොහැකිය. මට එසේ ඇය දමා යා නොහැකිය. ඇයද මෙතරම් ආදරයෙන් සලකන මා දමා නොයන බව ස්ථිරය. ඉල්ලන ඉල්ලන දේ ලබා දෙමින්, ආශා කරන සියල්ල දෙමින්, මැණිකක් මෙන් ඇයව රැක බලා ගන්නේ වෙන කවුද..! ඇයගෙන් මා පෙරළා කිසිවක් කිසිදින බලාපොරොත්තු නොවූවද , යම්කිසි හෝ කෙළෙහිගුණයක් ඇතැයි මා සිතුවෙමි. එයද මුලාවකි.
වරක් මට ඩෙංගු සැදී කිසිවක්ම කර කියා ගත නොහැකිව සිටියදී පවා ඇය කළේ මට තව තවත් වේදනාවන් දීම පමණි. මා වෙනුවෙන් සිටියේ පිට මිනිසුන්ය. ලෙඩ ඇඳේ සිටියද ඇය බලාපොරොත්තු වන්නේ මා ඇයව රැකබලා ගත යුතු බවය. මා මේවා කෙරෙහි පෙර දුක් වූයේ නැත. මෙසේ සිතුවේද නැත. මන්ද ඇය මගේ ප්‍රාණය සරි වූ බැවිනි.

නමුත් දැන් මට ටිකෙන් ටික ඇය එපාවී ඇත. කවදා නම් නිදහසක් ලබන්නදැයි මට වරෙක සිතේ. ඇය රැක බලා ගැනීම මට ඇත්තෙන්ම දැන් වදයකි. ඇය නැත්නම් මට දැන් විඳින්නට සිදුව ඇති දේවල් වලින් බාගෙට බාගයක්ම නැතිවන්නට ඉඩ තිබේ.
නමුත් මට ඇය හැර දමා යන්නට තරම් හිත ශක්තිමත් නැත. මා එතරම්ම තදින් ඇයට බැඳී ඇත. මා තවමත් ඇයට ආශා කරමි. තවමත් බලන්නේ ඇයගේ සුඛයමය. නමුත් පෙර මෙන් මා අන්ධ නැත. ඇය මට කරන වද මා දැන් හඳුනමි. ඒවා දකිත්ම මට ක්‍රමයෙන් ඇය කෙරෙහි ඇති බැඳීම අඩුවී යනු මටම දැනේ. ඇයට නම් ඒවා ගැන තේරෙන්නේ නැතුවා වන්නට ඇත. එය මට කමක් නැත.

මා ටිකෙන් ටික ඇගෙන් නිදහස් වීමට සිත සකසා ගනිමි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය මට එයට නිසි මාර්ගය පෙන්වන්නේය. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ගැනද මට ආදරයක් බැඳීමක් තිබුණද මේ තරම් නැත. අනෙක් අතට ඔවුන් කිසිවෙකුත් මට මේතරම් වදයක් වන්නේද නැත. විටෙක මට සිතෙන්නේ මේතාක් ජීවීතයේ මා සතුරන් ලෙසින් සිතා සිටි කවරකුවත් මට ඇය තරම් වදයක්, දුකක්, පීඩාවක් දී නැති බවයි. ඇය මට මානසිකවද, කායිකවද එක සේ දුක් වේදනා ලබා දෙයි.

ඉතින් මේ බැඳීමෙන් නිදහස් වන්නට හැකි නම් මට මහත් සැනසුමක් දැනෙණු ඇත.
මෙය ක්‍රමයෙන් මා සිතට දැන් අවබෝධ වෙමින් පවති. කොතෙක් බැඳී සිටියද ඇය මා ළඟ සිටින්නේ තව වසර කීපයකි. මගේ පණ ඇති තෙක් පමණි. එතෙකින් පසු ඇය නැවත සසරේ කෙදිනකවත් මට දකින්නටවත් නොලැබේ. මා අද ආදරය කරන ඇගේ මුහුණ, ඇඟ නැවත සසරේ කිසිඳා මට දක්නට නොලැබේ. මගේ ජීවීතයද තව අවුරුදු කීයක් වේදැයි මා නොදනිමි. ඇතැම් විට ඊළඟ මොහොතේ විය හැක.
එසේනම් ඇය වෙනුවෙන් මේ ඇති ආදරයේ, බැඳීමේ පලය කුමක්ද.. සසරේ මට නැවත ඇය ගැන මතකයක්වත් ඇති නොවනු ඇත. පෙර සසරේ මෙසේ මා අසල සිටි කෙනා මට දැන් හඳුනාගන්නවටවත් නොහැක. මට ඒ ගැන හැඟීමක්වත් නොමැත. ඉතින් මැයටත් වන්නේ එයම නොවේද.. මෙසේ ඇලී බැඳී ඇයටම මෙහෙවර කරමින් සිටීමෙන් වන්නේ මා සසරේ ප්‍රමාදයට වැටීම පමණකි. ආශාවටම යටවීම පමණකි. මාන්නය ගොඩනැංවීම පමණකි. ආත්ම දෘෂ්ටියම වඩවාගැනීම පමණකි.

ඉතින්.. මට ඔබ අත හරින්නටම ඕනෑය..
නමුත් තවමත් මා ඔබට බැඳී ඇත..
නමුත් ඒ බැඳීමට තව ඇත්තේ ඉතා සීමීත ආයුෂ ප්‍රමණයක් පමණි….!

ඇය කවරකුත් නොව…
ඇය මම වෙමි…!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.