සංඥාව

සංඥාව යනු හඳුනා ගැනීමයි. මේ ජීවිතය පුරා මේ වන තෙක් අප විසින් හඳුනා ගන්නා ලද දේවල් ප්‍රමාණය මෙතැකැයි කියා ගණනය කළ නොහැක. සංසාරය පුරාම කොතෙක් නම් හඳුනා ගැනීම් සිදුකරන්නට ඇත්ද? සංඥා ස්කන්ධය ලෙස එය හඳුන්වන්නේ එබැවිනි.

වර්ණ වශයෙන්, හොද නරක වශයෙන්, ලස්සන, කැත, උස,කොට නම්, ආදී නොයෙක් ලෙසින් අප හඳුනා ගැනීම් කරන්නෙමු. ඇසට දකින රූප හඳුනා ගන්නෙමු. කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මනසට එන අරමුණු ආදී ලෙසින් ඉන්ද්‍රියන්ට ලැබෙන අරමුණු සියල්ල අප විසින් නොයෙක් ආකාරයෙන් හඳුනා ගනී.

සංඥාව ඇතිවීමට නම් ඵස්සය ඇතිවිය යුතුය. ඇසත්, බාහිර රූපයත්, විඥානයත් එකතුව ඵස්සය ඇතිවීමෙන් අනතුරුව සංඥාව ජනිත වේ. සංඥාව ඇතිවීමට බලපාන අනෙක් ප්‍රාධනම දෙය නම් සිත තුළ පවතින අවිද්‍යාවයි. අප විසින් හඳුනා ගන්නා ආකාරයට අනුව වේදනාව ජනිත වේ.

නොයෙකුත් දේවල් හඳුනා ගන්නා ආකාරය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වේ. ඔහු විසින් අතීතයේ දැනගෙන සිටින ආකාරය, ඔහුගෙ මනසේ ස්වභාවය, ඔහුගේ චරිත ලක්ෂණය ආදී කරුණු මත සංඥාව වෙනස් වේ. අප විසින් මෙලොව අපට අසන්නට දකින්නට විඳින්නට ලැබෙන සියලූම දේට සංඥා අලවා, ඒවා නැවත හඳුනාගැනීමේදී එම සංඥාවන් භාවිතා කරයි. ඒවා පරම්පරාවෙන් පරම්පරාවට , සංසාරයෙන් සංසාරයට යයි.

පුද්ගල නාම, රටවල්, නගර, පරම්පරා නාම, රැකියා නාම ආදී සියල්ල සංඥාවන් වේ. මාස, අවුරුදු , දින, අංක, බඩු මුට්ටු වල නම්, මේවා සියල්ලත් හඳුනා ගැනීමේ පහසුව පිණිස , භාවිතයේ පහසුව පිණිස යොදන ලබන සංඥාවන්ය.

භාෂාවක් යනු තනිකරම සංඥාවන් ගොඩකි. ඇතැම් විට එකම වචනයට විවිධ භාෂාවන්හි එන අර්ථය වෙනස්ය. එවිට ඒ ඒ රටේ මිනිසුන්ට එම වචනය ඇසීමේදී සිතට දැනෙන දේ වෙනස්ය. එය සංඥාවේ මුළාවයි. අප ඉගෙන ගන්න සියළු දේ සංඥාවන්ය.

අලුත ඉපදුණු දරුවකුගේ සිත තුළ සංඥාවන් ඉතාමත් අල්පය. බාහිර අය විසින් ඔහුට නොයෙකුත් සංඥාවන් උගන්වයි. හොද නරක ලෙසින් දේවල් උගන්වයි. ඇතැම් වචන හොදද, නරකද යන්න ඔහුට අවබෝධයක් නැත. ඒ එයින් අප ගන්නා සංඥාව එම දරුවා නොගන්නා හෙයිනි.

වයසින් වැඩෙත්ම සංඥාවන්ද ඇතැම් විට වෙනස් වේ. පෙර හොද යැයි ගත් දේ පසුව එසේ නොවේ. පෙර ලස්සන යැයි සිතූ දේ පසුව වෙනස් වේ. කැමති ලෙසින් හඳුනා ගත් අය පසුව අකැමැති වේ. මෙසේ සංඥාව වෙනස් වන විට ඒ අනුව ඇතිවන වේදනාවද, සංස්කාරද වෙනස් වේ.

ඇත්ත වශයෙන්ම නැති දෙයක් සඳහා සංඥාවන් යොදා, ඒවාට වටිනාකම් දී, උපාදානයන් ඇතිකරගනී. එය මෝහය නිසා සිදුවන්නකි. මැණිකක් යනු වටිනා දෙයක් වන්නේ එයට කවා ඇති සංඥාව නිසාය. ඒවා ඉහළ අගයකට විකිණේ. නමුත් අවිද්‍යාව දුරු කළ රහතන් වහන්සේ කෙනකුට, මැණිකක් යනුද සාමාන්‍ය ගල් කැටයක් වැනිම දෙයකි. උන් වහන්සේට එහි ඇති අමුතු වටිනාකමක් නොමැත.

තවද මැටියෙන් පිළිමයක් සාදා අලංකාර ලෙසින් වර්ණ ගන්වා, එය දෙවි කෙනෙක්ගේ ආකෘතියක් ලෙසින් වන්දනාමාන කර සිත ප්‍රීතිමත් කර ගැනීමට හැකිය. එම පිළිමයටම එම වන්දනාව හෙළා දකින කෙනෙක් නම්, නිග්‍රහ කර ද්වේශයක් ඇතිකර ගත හැක. ඇත්තෙන්ම එතන ඇත්තේ මැටි, වතුර සහ වර්ණ සායම් පමණි. ඉතිරි සියල්ල ඇත්තේ එම පුද්ගලයන්ගේ සිතේය.

බෞද්ධ ජනතාවට රුවන්වැලි සෑය, බුදු පිළිම, බෝ ගස, බෞද්ධ කොඩි ආදී දෑ සිහිපත් කරන විට එන සංඥාවත්, ඉන් පසු සිතට එන හැඟීම්ද, අන්‍ය ආගමික අයට ඒවා කෙරෙහි ඇතිවන සංඥාත්, හිත් වලට එන හැඟීම්ද අහසට පොළොව මෙනි.
පරමාර්ථ වශයෙන් ගත් කළ සතර මහ ධාතුන් හැර කිසිවක් එහි නොමැත. නමුත් එක් එක් අය ජනිත කරගත් සංඥාවන් අනුව ඇතිවන වේදනාවන්, සංස්කාරයන් වෙනස් වේ. හොද යහපත් ලෙසින් සංඥාවන් ජනිත කරගත් කෙනා, සතුටක්, ශාන්තියක් ලබන අතර, ඒවා කෙරෙහි ගැටුන අය ද්වේශයක් සකස් කර ගනී. එකම දෙයක් කෙරෙහි මෙසේ වෙනස් වූ ආකල්ප ඇතිවන්නේ ඒවා බාහිර රූපය තුළ නොව, එක් එක් පුද්ගලයාගේ සිතේම පවතින දේවල් නිසාය.

පිරිමියකුට ස්පර්ශයක් ලැබුණ විට එය පිරිමියකුගේ නම් උදාසීන හැඟීමකුත්,එය කාන්තාවකගේ නම් රාග සිතිවිලිත් ජනිත වන්නේ මෙලෙසින් සංඥාව ක්‍රියාත්මක වන ආකාරය මතය. කාගේ ස්පර්ශයක්ද නොදැන සිටින තාක් ඇති නොවන හැඟීම, එම ස්පර්ශය කාන්තාවකගේ බව දැනගත් පසු ඇතිවේ. එය සංඥාව නිසා වේදනා ස්කන්ධයේ ක්‍රියාත්මක වීමයි.

කුමන ආකාරයෙන් හඳුනාගත්තද, සංඥාව අනිත්‍ය වේ. දුක් වේ. අනාත්ම වේ.
පෙර හඳුනා ගත් සංඥා එතනම නිරුද්ධ වී ගොස් ඇත.
එකම දෙය එකම ආකාරයෙන් හඳුනා ගත්තද, දැන් ඇතිවන්නේ පෙර ඇතිවූ සංඥා ස්කන්ධය නොවේ. ඒ සිතිවිලි එතනම නිරෝධයට පත් විය. දැන් ඇතිවන්නේ වෙනම සිතිවිලිය. ඇතැම් විට පෙර ඇතිවූ සංඥාවන් , දැන් සහමුළින්ම වෙනස් වී ඇත. පෙර ප්‍රිය ලෙසින් හඳුනා ගත් දේ, දැන් අප්‍රිය වී ඇත. පෙර ලස්සන දේ දැන් කැත වී ඇත.

ඇතැම් විට අප සංඥාවෙන් මෙනෙහි කරන දෙයෙහි යථා ස්වරූපය තනිකරම වෙනස් වී ඇතිවා විය හැක. අපගේ පාසල් මිතුරකු අප දැන් මතක් කරන විට, අපගේ සිතට ඔහුව නැඟෙන්නේ බොහෝ විට අවසන් වරට දුටු රූපය සංඥාවකිනි. නමුත් ඔහු දැන් හාත්පසින්ම වෙනස් රූපයකට බඳුන්වී ඇත. එහෙයින් සංඥාවෙන් අප හඳුනාගත් දෙය තනිකරම මුලාවකි.

තවද සංඥාව මහා දුක් සාගරයකි. එක් එක් දේවල් එක් එක් ආකාරයෙන් හඳුනාගත් නිසා අපට ලැබුණු වේදනා අනන්තය. ඒවා නිසා සසර දික් ගැසුණු අතර, සසර පුරා අනන්ත දුක් විඳ ඇත. බුදු පිළිම කඩා බිඳ දමන අන්‍ය ආගමික අයකු, එසේ කරන්නේ ඒවා නරක ලෙසින් හඳුනා ගෙන, ඒවා කෙරෙහි ද්වේශයක් ජනිත කරගත් බැවිනි. නමුත් ද්වේශ සිතින් ඔහු කල දෑ ඔහුට කොපමණ නම් විපාක සකස් කර දෙයිද.. මෙසේ ගත් කල සංඥාව මහත් භයංකාර දෙයකි. සසර දුගතියට ඇඳ දමන දෙයකි. එම නිසා මෙම සංඥාවට භිය විය යුතුය.

තවද සංඥාව අපට කැමති පරිදි ඇති කර නොගෙන සිටීමට නොහැක. එය අපේ පාලනයේ නැත. අවිද්‍යාව ඇතුළු අනෙකුත් හේතු ඇති කල්හි, ඵස්සය ඇති කල්හි, සංඥව නිරුත්සාහකව ඇතිවේ. එම නිසා එය අනාත්මය.

මෙසේ සංඥා ස්කන්ධය තුළ පවත්නා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝධ කරගත යුතුය.
සංඥාව නිසා සසර මුලාවට පත්වන ආකාරය අවබෝධකරගත යුතුය. එවිට සංඥාවට ආස කරමින්, එය උපාදාන කරමින් , කුසල් අකුසල් සංස්කාර රැස් කිරීම නතර කිරීමේ මාර්ගයට බැසගත හැක.

සමාධිමත් සිතින් මෙම සංඥාවේ ඇතිවීම් නැතිවීම් දකිමින්, එහි නිරෝධය අත්දකිමින් , සංඥාවත් ඇතුළුව සියළු නාම ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂව අත්දකිමින්, නිවනට සිත පත් කර ගැනීමට එවිට හැකිවනු ඇත.
ඒ සඳහා පියවරෙන් පියවර මෙලෙසින් නාම ධර්මයන්ගේ යථා ස්වරූපය අවබෝධ කරගැනීම කළ යුතු වන්නේය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.