සචිත්ත පරියො දපනං

බොහෝ දෙනෙක්ට නිවන , මාර්ග ඵල, ධ්‍යාන, ආදී දේ ගැන ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. හදවතින්ම නිවන් දකින්නට ඕනෑ කෙනෙක් වූවද නොයෙක් වියවුල් වලින් සිත පුරවාගනී. එහෙයින් ඉතාමත් සරලව යමක් ඒ පිළිබඳව පළ කරමු.

ඇස් ඇර අවට බැලූ විට අපට පෙනෙන දේවල් කොතෙක්ද? පණ ඇති, පණ නැති දේවල් බොහෝමයක් අපේ ඇස් සීමාවේ අපට දැකිය හැකිය. එලෙසින්ම කණට ඇසෙන දේවල්ද වේ. නාසයට දැනෙන ගඳ සුවඳ වේ. දිවට දැනෙන රසයන් වේ. කයට දැනෙන ස්පර්ශයන් වේ. ඒවාට අමතරව වට පිටාවේ නැති දෙයක් වුවද මනසින් ගොස් මෙනෙහි කිරීමටද හැකිවේ. මෙසේ ඇස, කන, නාසය , දිව , ශරීරය, මනස තුළින් ග්‍රාහණය කරන ලෝකය දිගින් දිගට පැවතගෙන යයි. අපත්, ලෝකයත් මෙසේ නොයෙක් වෙනස්වීම් වලට බඳුන් වෙමින් දිගින් දිගටම පැවතීගෙන යයි. ආරම්භය කොතනද, අවසානය කොතනද කියා සිතා ගත නොහැකිය.
එක් එක් කාලයෙන් කාලයට බාහිර ලෝකය වෙනස් වෙමින් දිගින් දිගට යයි. සත්වයන්ට බඩගිනි දැනෙයි. රාගය ඇතිවෙයි. දුක දැනෙයි. සතුට දැනෙයි. බලාපොරොත්තු ඇතිවෙයි. ආශාවන් ඇතිවෙයි. ඊර්ෂ්‍යාව ඇතිවෙයි. කරුණාව ඇතිවෙයි. මෛත්‍රිය ඇතිවෙයි. බය දැනෙයි. මේ ආදී නොයෙකුත් සිතුම් පැතුම්, හැඟීම් කෙළවරක් නැතිව සිතේ පහළ වෙයි. මට විතරක් අමුතු හැඟීමක් දැනුණා කියා විශේෂ දෙයක් කිසිවකුට නැත. අද ඔබට මට මේ දැනෙන සෑම හැඟීමක්ම සෑම දෙනාටම පොදුය. අප සියල්ලන්ම එකම සත්ව කොට්ඨාශයකි. මෙසේ නොනැවතී දිගින් දිගටම මේ ලෝකය පැවතගෙන යද්දී, ඒවා මැනීමට කාලය නම් දෙයක් මිනිසුන් විසින් සම්මත කර ගැනුණි. එය යම් දිනෙක යම් කෙනෙකු විසින් ස්ථාපිත කරන ලද මිනුම් දණ්ඩකි. උදාහරණයක් ලෙස දිග රේඛාවක් ඇද එහි තැන් දෙක ලකුණු කර, මේ දුරට ” මීටරය” ලෙසින් කියමු, යනුද එවැනිම සම්මුතියකි. දින දර්ශන ආදිය බිහිවුණේ එලෙසිණි. තත්පර, මිනිත්තු, පැය, දින, මාස, වසර ආදී සියළු සම්මුතු බිහිවූයේ මිනිසාගේ ජීවත් වීමේ පහසුව උදෙසාය. එලෙසින්ම පුද්ගල නාම, නගර, රටවල් ආදී සියලු සම්මුති නාම බිහිවුණි.

මෙසේ පැවතෙන ලෝකයේ අර්ථය කුමක්ද? නැවතීම කවදාද? ඇයි අප පවතින්නේ? මේවා කලින් කලට මිනිසුන්ගේ සිතට නැගුණු ප්‍රශ්නය. ඒවාට එක් එක් අය තම තමන්ගේ බුද්ධි මට්ටම් අනුව න්‍යායාත්මක උපකල්පන, මත ආදී දේවල් ඉදිරිපත් කර ඇත. පරිණාමවාදය ආදී ප්‍රකට මතයන් උදාහරණයි. මේ සියල්ල ඒ ඒ අයගේ බුද්ධියේ සීමාව මත රඳා පවතියි. නමුත් ලෝක සත්‍ය යනු එයමදැයි කිසිවකු නොදනී. මන්දයත් එය තවමත් විශ්ලේෂණය කරමින් පවතින දෙයකි. නැවතීමක් නැති සොයාගැනීමකි.

ප්‍රඥාවෙන්, බුද්ධියෙන් හීන වූ තිරිසන් සතුන් එවෙලෙට කෑමට යමකින් කුස පුරවාගෙන, රාගය සන්තර්පණය කරගෙන ජීවත් වුණිද බුද්ධියෙන් උසස් මිනිසාට මෙහි අර්ථය සොයන්නට අවශ්‍ය වූ නිසා ඒ පිළිබඳව ගවේෂණය කරන්නට විය. කුතුහලය යනු බොහෝ සෙයින් මිනිසා නැමැති සත්වයාට ප්‍රකට ලක්ෂණයකි. ඇතැම් අය ලෝකය, දේශයන් ගවේෂණය කරමින් චාරිකා කර අතර, ඇතැම් අය මනස ගවේෂණය කළහ. ඔවුන් මේ ජීවිතය පවතින්නේ ඇයි, ආරම්භය අවසානය කුමක්ද යන දේවල් විමසන්නට වූහ. එහිදී සිතේ ඇති ශක්තීන් පිළිබඳව ඔවුන් දැනගන්නට වූ අතර, සිත වැඩිය හැකි ක්‍රම සොයාගෙන ඒවා අනුගමනය කරන්නට වූහ. මෙසේ පැවැත්ම පිළිබඳව ගවේෂණය කරන ලද අය ඇතැම් විට සිත දියුණු කර ගනිමින් පෙර ජීවිත දෙස ආපස්සට බලමින් ආරම්භය සොයන්නට වූවද ආරම්භයක් නොදකින්නට විය. ආරම්භය දෙවියන් විසින් මවන ලද්දාක් යැයි පිළිගැනීමෙන්ම නතර වන්නට වුයේ එහෙයිනි. ආරම්භය එසේ වූවද, අවසානයක් දැකීමට වෙහෙසුණ ඔවුහු නොයෙකුත් පටිපදාවන් වල නිරත වූහ. මෙසේ මානසික ප්‍රබෝධයක් තිබුණු කාලයක බුදුවරයකු ලොවට පහළව ඒ සෑම දෙයකටම විසඳුමක් ලබා දුන් සේක.

මේ ලෝකය පවතින්නේ ඇයි යන පැනය එනයින්ම විසදුණි. ඒ පැවැත්මෙන් මිදෙන්නේ කෙසේද යන්න විසදුණි. එසේ නම් බුදුවරයකු ලෝකයට පහළ වන්නේ මේ සත්වයාගේ පැවැත්ම නිම කරලීමේ මාර්ගය පෙන්වා දීමටයි. සරලව දක්වනවානම් එයයි. එසේ පැවැත්ම නතර කරවාලිය යුත්තේ ඇයිද යන්නත් උන් වහන්සේ හේතු සාධක සහිතවම දේශනා කරයි.
මේ ලෝකය දිගින් දිගටම පවතින්නේ හේතු ඵල දහම නම් වූ ස්වභාවික නියාමයට අනුවය. හේතුව ඇති කල්හි, පලය ඇතිවෙයි. හේතුව නැසූ කල පලය නැසී යයි. උන් වහන්සේ හේතුව නසන ආකාරය පැහැදිළිවම ඉදිරිපත් කළ සේක. මේ පැවතීම නතර කර යුත්තේ එය දුකක් වන බැවිනි. ඒ දුක අප මේ සිතා සිටිනා දුක නොවේ. මේ විශ්වය සීමාවකින් දැක්විය නොහැකි තරම් විශාලය. සත්වයාගේ පැවැත්ම අති දීර්ඝය. සීමාවක් නැත. මහා විශාල දුරකින් මිලිමීටරයක් දැක ඒ මුළු දුරම අවබෝධ කළ නොහැක. සසර තුළ අපාය ආදී භව වල සත්වයන්ට ඉපිද අනන්ත අපමණ දුක් විදින්නට සිදුවේ.දිව්‍ය බ්‍රහ්ම යන ලෝක වල සැප විඳිය හැක, එසේ නමුත් සසර පුරා විඳින ලද හා විඳින්නට වන දුක අහස තරම් නම් සැප ඉදිකඩු තුඩක් මෙනි. එසේ හෙයින් පැවතීම යනු දුක් විඳීමට තවත් නමකි. (මෙම ලිපියෙන් දුක විස්තර නොකරයි.) එසේ හෙයින් ඇත්තේ එකම විසදුමකි. පැවතීම නවතාලීමයි. නැවත නොඉපදීමයි. දුක නැසූ කළ පැවැත්ම නැතිවන්නේද, පැවැත්මක් නැති විට දුකක් නැතිවන්නේද, පැවැත්මම දුකක් බැවිනි. මහා කාන්තාරයකදී ක්ෂේම භූමියකට සැපත් වූ කල ඉන් මිදෙන්නට මඟක් සෙවීම බුද්ධිමතාගේ ලක්ෂණයයි. සුගති බවයක් ලැබුණු විගස කළ යුත්තේ එයයි. මහා ගින්නකට මැදිව සිටියදී ලැබෙන අස්වැසිල්ලෙන් එයින් මිදෙන්නට මාර්ගය නොසොයා, විවේක ගත්තොත් වෙන දේ ඔබ දනී. මේ ජීවිතය එලෙසය. අප්‍රමාදීව සසරින් මෙදෙන්නට කටයුතු කළ යුතුය.

එසේ මිදෙන්නේ කෙසේද? සසර පවතින්නේ , කයේ සහ සිතේ නොනවතින පැවැත්ම හේතුවෙනි. මේ ජීවිතයේ කය මේ ජීවිතය තුලඳීම වෙනස් වෙමින් පවති. නමුත් වෙනත් භවයකට ගිය පසු ඉඳුරාම වෙනස් රූපයක් ලැබෙයි. සිතත් මොහොතක් පාසා වෙනස් වෙයි. වෙනත් භවයකදී ඉඳුරාම වෙනස් ලෙස හැසිරිය හැක. කෙසේ හෝ වෙනස් වෙමින් වෙනස් වෙමින්, නොනැවතී පැවතෙයි. මෙයට හේතුව තෘෂ්ණාව හෙවත් තණ්හාව නම් කෙලේශය සිතේ ක්‍රියාත්මක වන හෙයිනි. එනම් පැවතීමට ඇති ආශාව, සැප විඳින්නට ඇති ආශාව ආදි නොයෙකුත් ප්‍රභේද වලින් දැක්වූවද සරලම තණ්හාව සිතේ ක්‍රියාත්මක වන බැවින් නතර වීමක් සිදු නොවේ. ජල කරාමය විවෘතව පවතින තාක් ජලය ගලා යාම සිදු වනවා මෙනි. මෙසේ තණ්හාව සිතේ ක්‍රියාත්මක වීමට බලපාන හේතුවක් ඇත. එනම් අවිද්‍යාවයි. සරලවම කියනවානම් මෝඩකමයි. මේ අවිද්‍යාව අතුපතර විහිදී ගිය මහා විශාල වෘක්ෂයකි. සැකෙවින්ම පවසනවානම් සිත් අවිද්‍යාවෙන් වැසී ඇත. එක් තැනකට කැටිකොට බුදුපියාණන් වහන්සේ එය දැක්වූවේ, චතුරාර්‍ය සත්‍ය පිළිබඳ නොදන්නාකම අවිද්‍යාව ලෙසයි. එනම් මේ සසරේ ඇති දුක පිළිබඳව ඥානයක් ද, එය ඇතිවන හේතුවද, එය නැති කරන්නේ කෙසේද යන්නද, එය නැති කිරීම ගැනද නොදන්නා කමයි.

ප්‍රශ්නයක් ඇති බව දැනගත්තොත් පමණක් එයට විසඳුමක් සෙවිය හැක. අඩුම තරමේ ප්‍රශ්නයක් තිබෙන බවවත් දන්නේ නැති නම්, විසදුම පේන මානයේ නැත. එසේ නම් දුක නම් වූ භයානක දෙයක් මේ සසර ක්‍රියාත්මක වන බව දැනගත යුතුය. ඒ දුක ඇතිවන්නේ සසරේ රැඳී සිටින නිසාය. එසේ සසරේ රැඳී සිටින්නේ තණ්හාව නිසාය. එසේ නම් එය නැති කළ යුතුය. මේ තණ්හාව නැති කරන දාට ප්‍රඥාව පහළ වෙයි. අවිද්‍යාව පළා යයි. නැතහොත් විද්‍යාව පහළ වූ කල තණ්හාව පළා යයි. එසේ තණ්හාව නැති කරන්නට කරන්නට දේවල් තිබේ. එසේ කළ යුතු දේ නිවන් මාර්ගයයි. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි. බුදු කෙනෙක් පහළ වී ලොවට මාර්ග සත්‍යය හෙළි කරනවා යැයි පවසන්නේ මේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය විවර කිරීමයි. එය සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකටම පමණක් කළ හැකි දෙයකි. උන් වහන්සේගේ සුවාසු දහසක් වූ ධර්මස්කන්ධයෙහිම අන්තර්ගතය මේ නිවන් මාර්ගයයි.
ඒ මාර්ගය පිළිපැඳ අවිද්‍යාව දුරු කොට, විද්‍යාව උපදවා, තෘෂ්ණාව මුළිනුපුටා දමා සසර ගමන නවතා දැමූ පිරිස කෝටි ගණන්ය.

අති දීර්ඝ සංසාර ගමනේ එසේ බුදුවරු හැම කල්හිම පහළ වන්නේ නැත. මන්ද යත් බුද්ධත්වය ලැබීම යනු මෙලොව ඇති අති දුෂ්කරම කාර්යයි. උපමා, වදන් එය ලිවීමට විස්තර කිරීමට නුසුදුසුය. එතරම්ම එතරම්ම අසීරුය. ලියන මගේ ප්‍රඥාවද, කියවන ඔබේ ප්‍රඥාවද ඒ පිළිබඳව සිතන්නට තරම් වත් අහලකවත් නොවන බැවිනි. ඒ සඳහා අති දීර්ඝ වූ කාල සංසාරයේ දුෂ්කර පාරමී පිරිය යුතුය. අපේ ප්‍රඥාවට ගෝචර නොවන සීමවන් බොහෝමයකි. සසරේ දීර්ඝ බව කීවාට අපේ ප්‍රඥාවට එය හසුවන්නේ නැත. කුඩා ළමයෙක්ට සල්ලි කෝටියක් දෙන්නම් කීවොත් ඔහුට දිග පළල වැටහෙන්නේ නැතුවාක් මෙනි. එසේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව, ගුණ ආදීය සම්පූර්ණයෙන් අපේ ප්‍රඥාවෙන් දැකීමට කිසිසේත්ම නොහැකිය. එසේම බුදුවීමට කළ යුතු දෑද එලෙසින්ම අපට ගෝචර වන්නේ නැත. අපට කළ හැක්කේ යම් කිසි සංඥාමය අවබෝධයක් ලබා ගැනීම පමණකි. එසේ දුෂ්කර වූ මාවතක පැමිණ බුද්ධත්වය ලබා, ගත හැකි ශ්‍රේෂ්ට පුද්ගලයන් ගණන සීමිතය. එසේ පහළ වන බුදුවරුද පහළ වන්නේ අති දීර්ඝ කාල වලිනි. බුදුවරු පහළ වන කාල පරතර වසර වලින් මැනිය නොහැක. කල්ප ගණන් වලින් පමණක් මැන අදහසක් ගත හැක. එසේ වූවද මේ අති දීර්ඝ සංසාරය තුළ බුදුවරු අනන්ත ප්‍රමාණයක් වැඩ සිට ඇත. එසේ නම් මේ සංසාරයේ දීර්ඝ බව ගැන, සත්වයන්ගේ ගණන ගැන යම්කිසි හෝ අවබෝධයක් ගන්නට බලන්න. ඒ සත්වයන් , ඒ සසර, ඒ ලෝක ගැන අඩුවකින් තොරව දත්… ඒ සියළුම සත්වයන්ගේ ඉපිද මැරෙන සිත් දැකිය හැකි… ඒ ඒ සත්වයන් ඉපිදමින් මැරෙමින් නැවත ඉපදේන තැන්, පෙර භව, අසුරු ගසණ ක්ෂණයක දැකිය හැකි ඒ මහා ප්‍රඥාව ගැන සිතා ගන්නටවත් හැකිද… එසේ දුර්ලභව පහළ වන බුදුවරු සසරින් නික්මෙන මාර්ගය කියාදෙයි. ඒ අනුව කෝටි ගණන් සත්වයන් ඒ මාර්ගය පිළිපඳියි. ඒ බුදුපියාණන් වහන්සේ බුද්ධ ශාසනයක් පිහිටුවයි. ඒ දිගු කාලයක් පුරා ධර්මය පවතින්නටය. වැඩි පිරිසක් නිවන් දැකීමටය. වැඩි පිරිසක් දුකින් එතෙර කරවාලීමටය.

පාසලක් වුව නියමිතව පවත්වා ගෙන යා හැක්කේ නීතිරීති අනුවය. ඕනෑම තැනක විනය පවත්වාගෙන යා යුතුය. එසේම මේ බුදු සසුනේ චිරස්ථිතිය පිණිස විනය නීති සම්පාදනය කර සේක. ඒ සාසනයට ඇතුළත්ව ධර්මය වැළඳගෙන, සිව්වණක් පිරිසක් බිහිවිය. බුදුපියාණන්ගෙන් පසුව ඒ ඒ රහතන් වහන්සේලා, සංඝ රත්නය කලින් කලට උවදුරු බාධා මැද සාසනය පවත්වා ගෙන එන්නේය. විනය යනු ශාසනයේ ආයුෂයයි.
ඉඳින් ඒ බුදුරජාණන් වහන්සේ එළි කළ මාර්ගය, මෙසේ වසර ගණනාවක් පුරා පැවත එන විට එක් එක් අයුරින් එක් එක් දුර්මත කලින් කලට හිස එසවෙන්නට විය. ඇතැම් විට නිවන් මාර්ගය වෙනුවට, වෙනත් වෙනත් මත ඉලිප්පෙන්නටද විය. අද මේ පැටලවිලි බොහෝමයක් ඇතිවී තිබීම අප පුදුම විය යුතු නැත. ඕනෑම දෙයක් කාලයක් පැවත ඒමේදී එක් එක් දෑ කලින් කලට එකතු වෙයි, නොයෙකුත් හැල හැප්පීම් වලට ගොඳුරු වීම ස්වභාවිකය. ගඟක් වූවද මහ ගල් පර මැඳින් ගලයි. එයට කුණු එකතු වෙයි. නමුත් ගඟේ ජලය කෙසේ හෝ ගලා ගෙන යනවා මිස ගඟ නැවතෙන්නේ නැත. බුදුවරයකු විසින් පහළව දෙසන මාර්ගයේ සත්‍යතාවය අත්දකිනා පිරිස විසින් ඒ ගංගාව ඉදිරියට ගලා යෑමට උපකාර දෙයි.ශාසනය යනු අපයි. අප විසින් ධර්මය පිළිපඳින තාක් සාසනය රැකෙනු ඇත.

ඒ බුදුපියාණන් දේසනා කල අවිද්‍යාව නසන මාර්ගය සැකෙවින්ම දක්වනවානම්, මේ කයේ සහ සිතේ පැවැත්ම නතර කරන්නට නම් එයට ඇති තණ්හාව සිඳිය යුතුය. ඒ සඳහා ඒ කය සහ සිත මනා සේ අවබෝධ කර ගත යුතුය. ඒ කය විනිවිද අවබෝධ කරගත යුතුය. ආදීනව දකිමින් එය කළ හැක. මෙයින් එය කියා දෙන්නේ නොවේ. නමුත් කළ යුත්තේ, විය යුත්තේ එයයි. කයට හා සිතට ඇති ආශාව දුරුකර යුතුය. එය ලේසි දෙයක් නොවේ. සසරේ කල්ප ගනන් පැමිණියේ තණ්හාව කරපින්නාගෙනය. ඒ තණ්හාව සිතෙන් මුළිනුපුටා දමන්නට අප විසින් වීර්යය කළ යුතුය. බුදු රජාණන් වහන්සේ ඒ සඳහා ඉතා විශාල ක්‍රම ගණනාවක් කියා දී ඇත. බාලාංශ පංතියේ සිටම අරඹන ඕනෑම කෙනෙකුට ගැලපෙන ලෙසින් මේ ධර්මය උන් වහන්සේ ඉදිරිපත් කොට ඇත. එය හිණිමඟක් වැනිය. තමන්ගේ සිතට අවංකව තමාගේ සිත පිරික්සමින් යන්නෙකුට මේ මාර්ගය වරදින්නේ නැත. කෙලෙස් අඩුවන මාර්ගය නිවන් මාර්ගයයි. සිතේ කෙලෙස් දකින්නට නම්, කයේ යථා ස්වභාවය දකින්නට නම් සිත සමාධිමත් විය යුතුය. උඩින් කය දෙස බැලූ විට අප ඇදන් සිටින ඇදුම, අත පය ආදී දේ පෙනෙයි. නිවන් දැකීමට අවශ්‍ය වන්නේ එවැනි දැකීමක් නොවේ. කය විනිවිද දැකීමකි. කය විනිවිද දැකපු කෙනා මේ කයට ඇති ආශාව දුරු කර ගනී. සිත විනිවිද දකින විට සිතට ඇති ආශාව දුරු වීයයි. සිත දකිනවා යනු මට දැන් තරහක් ආවා, දුකක් ආවා, සතුටක් ආවා, ආදී දෙය දැකීම නොව. මේ සිතේ ස්කන්ධ ධර්මයන් විනිවිද දැකීමයි. ඒවායේ උදය වැය දැකීම, නිරෝධය දැකීම ආදියයි. කාර් එකක් දකිනවා යනුත්, එය මනා සේ දන්නව යනුත් වෙනස් දෙයකි. ඇතුළ ගලව ගලවා බැලිය යුතුය. එපරිදිම සිතේ නාම ධර්මයන් විමස විමසා බැලිය යුතුය. ඒවා දකින්නට නම් සමාධිමත් සිතක් තිබිය යුතුය. ඒ සමාධිය වඩන්නට නම් කළ යුතු දේවල් වෙනම දක්වා ඇත. ඒ සමාධිය වඩන්නට ප්‍රවිෂ්ඨ වෙන හැටි. වඩන හැටි, වැඩූ සමාධි පිරිහෙන හැටි ආදී අඩුවක් නැති පරිපූර්ණ ධර්මයක් අදත් ජීවමානය. ඒ සමාධිය වඩන්නට නම් සිත සසල බව අඩු කර ගත යුතුය.ඉපදුණු ගමන් ඇවිදින්නට බැරුව මෙන්, එක්වරම භාවනා කොට සමාධි ළඟා කර ගත නොහැකිය. ඒ සඳහා කයත් හික්මවා ගත යුතුය. වචනයත් හික්මවා ගත යුතුය. අප සැවොම මේ ජීවිතයේ එකම තැනින් පටන් ගන්නවා නොවේ. අනන්ත පෙර සසර කරන ලද වඩන ලද දෑ එක් එක්කෙනාගෙන් වෙනස්ය. ඇතැමෙක්ට පෙර වඩා ඇත්නම් පළමුවන දිනයෙන්ම සමාධි ලැබෙනු ඇත. එසේ එක් එක්කෙනාට හරියන ආකාරය විවිධය. තමන්ට හරි ගිය ක්‍රමය සැම දෙනාටම හරිනොයනු ඇත. එහෙයින් උපදෙස් ලබාගත යුත්තේ එසේ විවිධ භාවනා ක්‍රම වැඩූ නිදහස් චින්තනයක් ඇති කම්මට්ඨානාච්‍රයෙක්ගෙනි.

සීලය යනු එසේ සමාධිය වඩන්නට පෙර කය වචනය හික්මවනවාට කියන නමයි. අද බොහෝ අය මේ පටිපදාව වෙනස් කරන්නට හදන්නේ තමන්ට කෙටියෙන් හරිගිය නිසාය. එසේ මෙය අවශ්‍ය නොවේ යයි කියා බැහැර කළ නොහැකිය. බුදුරජාණන් වහන්සේ නමක් පිහිටවූ ශාසනය, සර්වඥතා ඥාණයෙන් දැක බලා, මහා කරුණාවෙන් පිහිටවූ ශාසනය එසේ වෙනස් කරන්නට හැකි අයෙක් පෙරද , දැන්ද, මතුද නොවන්නේය.
අප එක වසර පන්තියේදි අකුරු ලියන්නට ඉගෙන ගන්නා විට එක් එක් ළමයි දක්වන දක්ෂතා විවිධය. එක ළමයෙක් වේගයෙන් ඉගෙන ගත්තා කියා, එසේ නම් මේ කෑල්ල අනවශ්‍යයි කියා ගුරුවරයෙක් යම් ඉගැන්වීම් කොටසක් ඉවත දමන්නේ නම් එය වැරදිය. එලෙසින්ම මේ ධර්මයද බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් පරිදි අනුගමනය කළ යුතුය.

නිවන් දකින ආකාරය විවිධය. කෙනෙක් ධ්‍යාන වඩා ධ්‍යාන නිෂ්‍රය කර නිවන අත්දකියි. තවත් කෙනෙක් කෙළින්ම විදර්ශනා භාවනාවම වඩයි. කොයි ක්‍රමයෙන් ගියද අවසානයේ සංස්කාරයන්ගේ අනිත්‍යය බව, අනාත්ම බව , දුක් බව තමන්ගේම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දැකිය යුතුය. එසේ සත්‍ය දකින කල්හි මුලාව වැළලී යයි. කිසිවකුටවත් තමා ප්‍රත්‍යක්ෂයෙන් අත් නොදැක, හිතට එන මති මතාන්තර, තර්ක අනුව පමණක් මේවා අවශ්‍ය නෑ, මේවා කිව්වේ මේ නිසා ආදී ලෙසින් කිව නොහැකිය. බුදු සිතක් අවබෝධ කළ හැක්කේ තවත් බුදුවරයකුටම පමණි.
තර්කානුකූලව වාග් මාලාව ලස්සන වනු ඇත. ඔබේ තර්කය නිවැරදි වනු ඇත. නමුත් ධර්මය වෙනස් කිරීමට ප්‍රවේශම් විය යුතුය. තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයම වූවද, මහා සාගරයෙන් දිය දෝතක් පමණක් වන බව අප සිහියේ තබා ගත යුතුය. කෑල ගස එක් එක් කාලයේදී දිස්වන ආකාරය වෙනස්ය. ඒ වෙනස් කාල වලදි කෑල ගස දුටු අය ඒ ගස විස්තර කරන්නේ තමා දැකපු ආකාරයටය. සියල්ලෝම දකින්නේ එකම කෑල ගස නමුදු තමන් දැකපු ආකාරය වෙනස්ය. නිවන දැකපු අය වුවද අත්දකින්නේ එකම නිවන වූවද, ඒ සඳහා ගමන් කළ මාර්ගය එකම වූවද, අවබෝධයේ ප්‍රමාණයන් වෙනස් විය හැක. විභාගයකදී සමත් වන සියල්ලන්ගේම ලකුණු මට්ටම එකම නොවේ. කෑල ගස පිළිබඳව නිවැරදිම විස්තරය කළ හැක්කේ සෑම කාලයකදීම ගස දකින ලද කෙනෙක්ට පමණමය. බුදුරජාණන් වහසේට පමණක්ම නිවනෙහි සහ නිවන් මාර්ගයෙහි සියළු දෑ ගෝචර වන්නේය. ධර්මය අත්නොදක්නා කෙනෙක් නිවන විස්තර කිරීමම නම් අන්ධයන් ඇතුගේ විස්තර කීවාක් මෙනි. ධර්මය දැනගැනීමම යනු ධර්මය දැකීම නොවන බැවිනි.

බොහෝ දෙනා තමන්ගේ සිත පිරිසිඳ දකිමින් එය පිරිසිදු කරන්නට වෙහෙසෙනු විනා, කරන්නේ අනෙක් අයගේ සිත පිරික්සන්නට යෑමය. අන් අයව අධ්‍යයනය කරන්නට යෑමය. ඔහු සෝවාන් වෙලාද, රහත් වෙලාද.. සෝවාන් වුණා නම් මෙහෙම කියයිද කරයිද…රහත් වුනා නම් ඔහොම ඉදීද,,, ඔහොම කියයිද..කරයිද… ගැටළු එන්නේම අන් අය ගැනය. තමන්ගේ ඇති සියළු අඩුපාඩු සිතට නොපෙනී, සාධාරණීකරණය වන්නේ එබැවිනි. එක් එක් අය ගන්නා මාර්ගඵල, නිවන්, ධ්‍යානයන්හි සුවය ඔවුනටය. ඒවා ගැන වදවීම අපේ සීමාවෙන් එපිට දෙයකි.

අන්‍ය පුද්ගලයන්ගේ චරිතයන් උඩින් බලා විමසීමට ගිය මිගසාලා නම් කාන්තාවට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ,

“ආනන්දය, පුද්ගලයෝ දස දෙනෙක් ලෝකයෙහි විද්‍යමානවෙත්.
ආනන්‍දයෙනි, ඒ පුද්ගල වෙනස තථාගතයන් හැර කවරෙක් දන්නේ ද?
ආනන්‍දයෙනි, බාල අව්‍යක්ත ස්ත්‍රියක් වන ස්ත්‍රී ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව පුද්ගලයන් තෝරා කීමේ නුවණෙහි කවරෙක්ද?
ආනන්‍දයෙනි, මේ දස පුද්ගලයන්ම ලෝකයෙහි විද්‍යාමාන වෙත්.”

අප යම් ගුරුවරයෙක් තෝරාගත්තේ නම්, ඒ දේශනා කරන ධර්මය බුද්ධ දේශනාවට අනුකූල නම්, එය පිළිපැඳීමෙන් තමාගේ සීල, සමාධි, ප්‍රඥා වැඩීමක් සිදුවේ නම් ඒ මාර්ගයේ ගමන් කරන්න. නිවන, මාර්ගඵල , ධ්‍යාන යනු මොනවාදැයි , බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මයේ හරය කුමක්දැයි න්‍යායාත්මකව හෝ දැනගන්න. එසේ නොකරන්නේ නම් තව තවත් මුලාවන්නටම සිදුවේ.

කොඩි පූජාව කළ යුතුද, බුද්ධ පූජාව කළ යුතුද, භාවනා කළ යුතුද, බෝධි පූජා කළ යුතුද..ආදී අපමණ ගැටළු ඔබ ඔබේ සිත දෙස බලන්නට ගත් පසු නැතිවී යනු ඇත. සිත දකින්නට නොහැකි වූ කළ, ලෝකයේ සෑම ප්‍රශ්නයක්ම ප්‍රශ්නය. තමන්ගේ සිත දකින්නට පුරුදු වූ කළ අද මේ තියන සෑම ප්‍රශ්නයක්ම විසඳී යනු ඇත.

“සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානුසාසනං”
ඉතා ගම්භීර වූ පාඨයක සරල අදහස,
“තමාගේ සිත දමනය කරගන්න. එය සියළු බුදුවරයන්ගේ අනුශාසනාවයි…”

යහපතෙහි පිහිටුවා ගත් තමාගේ සිත තරම් සුව දෙන අන්දෙයක් ලොවෙහි නැත. ඒ උතුම් සිත තනා ගත හැක්කේද අපටමය.

“අත්‌තදීපා, භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා.”

පින්වත් මහණෙනි, සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන් තමා ව පිහිට කර ගන්න. තමා ව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නො කර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ නො කර ගෙන සිටින්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.