කුඩා දරුවන් බොහෝ විට සිටින්නේ ඒ මොහොතේය. ඔවුන්ගේ සිත තුළ අතීතය ගැන හෝ අනාගතය ගැන හෝ පවත්නා සිතිවිලි අඩුය. මේ මොහොතේ වන දේවල් අනුව ප්‍රතිචාර දක්වමින්, දුක හා සතුට විඳීයි. සමාජ ආශ්‍රය අවම නිසා ඔවුන්ගේ ලෝකය කුඩාය. හිත් තැවුල්, අනවශ්‍යය ප්‍රශ්න අවමය. ගෙදර හා පාසලට ඔවුන්ගේ ලෝකය බොහෝ විට සීමා වී ඇත. නමුත් ක්‍රමයෙන් වැඩෙත්ම අප ඇසුරු කරන, දකින ලෝකය පුළුල් වත්ම සිත් වලට එන යන සිතිවිලි ප්‍රමාණය වැඩිවේ. සාපේක්ෂව මැනීම්, උස් පහත් බව, තරඟකාරී බව ක්‍රමයෙන් සිත් වලට කා වදියි.
ඉගෙන ගන්නා කාලයේ අපට ඇති අභියෝගය හොඳින් ඉගෙන ගෙන, විශ්ව විද්‍යාලයට ගොස් අනතුරුව සමාජය පිළිගත්, මුදල් හොඳින් ලැබෙනා රැකියාවක් කිරීමය. සියළු දෙනාගේම ඉලක්කය එයයි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල විභාග ආදී අති තරඟකාරීම විභාග වලට මුහුණ දුන්නද, එකිනෙකා කෙරෙහි ඉරිසියාවක් ඇති නොවූ, එකට කොපි කර ගණන් හැදූ, ළාමක හිත් වලින් යුත් කාලයක් අප සියල්ලෝම පසු කර ඇත. එක ලකුණකින් මුළු ජීවීතයම වෙනස් කරන උසස් පෙළ ආදී විභාග වලට මුහුණ දුන්නේ ඉතාමත්ම සහයෝගයෙනි. එක් කෙනෙක් කපා තමා පමණක් සමත් වීමේ මානසිකත්වය තිබුණා නම් එසේ වූයේ ඉතාමත්ම අතළොස්සක් වූ ළමුන්ට පමණි. ඔවුන්ටද විහිළු තහළු කරමින් ඉතාමත්ම සුන්දර පාසල් හා විශ්ව විද්‍යාල සමයකට සමුදෙමින් අප රැකියා නම් බිමට පිවිසෙන්නෙමු.
ලෝකය සැබවින්ම හමුවන්නේ එහිදීය. අප විසින් අපේ ජීවන බර කරට ගන්නේ එතැන් පටන්ය. පාසලේදී විශ්ව විද්‍යාලයේදී අපට හමුවූ සුන්දර මිනිසුන් වෙනුවට එක් අයකුට වළ කපා තමන් පමණක් ඉහළට යන, තව කෙනෙක් දෙස ඊර්ෂ්‍යාවෙන්, කුහක කමෙන් බලන සමාජයකට අප අවතීර්ණ වන්නෙමු. මිතුරු මිතුරියන් රංචු පිරිවරා සිටි අප සැබවින්ම තනිවන්නේ දැන්ය. සියල්ලන්ම ජීවන තරඟයේ හැල්මේ දුවන තනි පුද්ගලයන්ය. සාමුහිකත්වය, සහෝදරත්වය ඔවුන් තුළ නැත. විවාහ වී, දරුවන්, නිවෙස් තනා තමන්ටම වූ ලෝකයක් ගොඩ නඟා ගැනීමේ නොනවතින තරඟයට නිරායාසයෙන්ම තල්ලු වී ගොස් හමාරය. “අපේ සෙට් එක”, “අපේ යාලුවෝ” ලෙස දුකේදීත්, සැපේදීත්, එකාවන්ව සිටි මිතුරන් අද තනිවම ජීවීත අරගලයකය. උදේට වැඩට යයි, සවසට නිවෙස් වලට එයි. දිනපතාම නොවෙනස් එකම රාමුවකය. ඉඳහිට විනෝද චාරිකාවක්, උත්සවයකට ගොස් කමින්, බොමින් නටමින් ප්‍රීති වෙයි.
මෙම චක්‍රය සියල්ලන්ටම පොදුය. යම් යම් අයුරින් වෙනස් වූවද, සියල්ලන්ම දිනපතා සිදු කරන්නේ එකම දේවල්ය. අද දවස ගත කරන ආකාරයටම හෙට දවසත් ගත කරමින් දුක් සැප අතර දෝළනය වෙමින් ජීවතය පවත්වා ගැනීමේ අරුත කුමක්ද යන්න ඔබට එක් වරක් හෝ සිතී ඇතුවා නො අනුමානය. ජීවීතය යනු කුමක්ද යන්න යම්තාක් මුහුකුරා යන ඥානයක් ඇති වූ විගස අප සියල්ලන්ටම වාගේ හිතට නැගෙන ස්වභාවික ප්රශ්නයකි. ඉපදුණා නම් ජීවත් විය යුතුමය. අප කැමති වූවත් අකමැති වූවත් ජීවීතය අප විසින් පවත්වා ගත යුතුය. සියලු දෙනාටම කැමති වූ සිහින මවන ජීවීතයක් ඇත. ඒ සිහිනය වෙනුවෙන් සියල්ලෝම වෙහෙසෙති. බොහෝ දෙනා මැරෙන තෙක්ම ඒ තමන් දුටු සිහින ජීවීතයට ළඟා කර නොගනිති.
අන් අයගේ දේවල් හැම විටම තමන් සතු දේවල් වලට වලට වඩා ලස්සනට , හොඳට පෙනෙයි. ඔවුන්ගේ නිවස මගේ නිවසට වඩා සැබවින්ම ලස්සනය පිළිවෙලය. ඔවුන්ගේ දරුවන් අපේ දරුවන්ට වඩා හොදය, දක්ෂය, කිකරුය. ඔහුගේ/ ඇයගේ බිරිඳ/ සැමියා සුළු දෙයකින් හෝ තමාගේ සහකරු/සහකාරියට වඩා බොහෝ විට හොඳය. ඇත්තෙන්ම මෙය මිනිස් සිතේ පවතින ස්ව්භාවයකි. ලද දෙයින් සතුටු වීමත්, සෑහිමකට පත් නොවීමත් සිතේ පවතින තෙක් අපට හැමදා අන් අයගේ දේවල් හොද, වටිනා, උසස් දේවල් සේ පෙනෙයි. ඒවා කෙරෙහි දැඩි ලෙස ආශා කරයි. අසහනයට පත්වෙයි, ඊර්ෂ්‍යා කරයි. තමන්ටත් ඒවා ලබා ගැනීමට පීඩාකාරී ලෙස වෙහෙසෙයි. මෙසේ ජීවීතය නැමැති අරගලය පවත්වා ගැනීමට තම තමන්ගේ බුද්ධි මට්ටමට අනුව සියල්ලෝම වෙහෙසෙති.
ඇත්තෙන්ම මේ ජීවීතය යනු කුමක්ද?
ඇයි අප ජීවත් වන්නේ, කුමක්ද මෙහි අරුත?
අප ඉපදුණේ අපේ උවමනාවට නොව. ඉපදුණා නම් මේ ජීවිතය පවත්වා ගත යුතුය. එය වඩාත් හොඳ අන්දමින් ගත කිරීමට ඉපදුණදා සිට අප වෙහෙසෙමු. මැරෙන මොහොත දක්වාම වෙහෙසෙමු. ඇතැම් අයගේ මුළු ජීවීතයම දුකකි. භෞතිකව සැප සම්පත් බුක්ති වින්ඳද බොහෝ දෙනා අතෘප්තිකර, නොසන්සුන් මනසින් දිවි ගෙවයි. මේ ජීවීතය නිම වූ පසු නැවත නැවත ඉපදෙමින් මැරෙමින් සංසාරය පුරාම මෙලෙසින් අප ගමන් කළ යුතුය. මෙය ඉතාමත්ම වෙහෙසකාරී, කෙළවරක් සීමාවක් නැති ගමනකි. මේ ජීවීතයේ සිදු කරන දේවල් අප මේ සංසාරයේ අනන්ත වාර ගණන් සිදු කර ඇතුවාට සැක නැත. නමුත් අපට පෙර ජීවිත දැන් අමතකය. නමුත් පෙර භව දැකීමේ ඥාණය ඇති ඇතැම් මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් ඇත. ඔවුන්ට අපට වඩා මේ සසරේ නිසරු බව පෙනෙනවා ඇත.
මෙසේ වූ නිරර්ථක සසරින් නික්මීමට නම් ඇති එකම මාර්ගය ධර්මයයි. බුදුවරයකු ලොවට පහළ වී පෙන්වා දෙන්නේ මේ නිරර්ථක වූත්, හිස් වූත්, දුක් සහිත වූත් සංසාර ගමනෙන් මිදී යන ආකාරයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් එම මාර්ගයයි.
නමුත් එකම දේ නැවත නැවත සිදු කළඳ අප නිවන් දැක සසරින් එතෙර වීමට කැමති නැත. කොතරම් දුක් පීඩා වින්දද නැවත නොඉපිද සිටීමට අකැමැතිය. සුනාමි විපත ඇස් දෙකට පෙනි පෙනී වුවද මිනිසුන්ට සසර භය පැමිණියේ නැත. එවන් විපතක් නොවේවා කියා ප්‍රාර්ථනා සිදු කළ පමණින් , එවැනි බිහිසුණු කර්ම වලින් වැළකී සිටීමට නොහැක. තම දරුවන් මිය ගොස් දරු දුක වාවා ගත නොහී හඬා වැළපෙන මව් පියන්, යලි සසරේ මෙවන් ප්‍රිය විප්පයෝග නොවේවා යැයි පතති. නමුත් යලි යලි දරුවන් පතති. දරුවන්, ප්‍රියයන් යනුම දුක් බව අවබෝධයෙන් නොදකිති. ප්‍රියයන් සිටියා නම් ප්‍රිය විප්පයෝගය උරුමය. ජීවීතය ලැබුවා නම්, ව්‍යාධි, මරණ දුක් උරුමය. “අනේ අපට නොවේවා” කියා පැතූ පමණින්, සියල්ල ඉටු වන්නේ නැත. කැමති දේවල් නොලැබීම යනු අප ආසා කැමක් බීමක් නොලැබීම නොවේ. අප ආදරය කරන කෙනා නොලැබීම පමණක් නොවේ. එසේත් නැතිනම් අප කැමති කෙනා අපට කැමති නැති වීම පමණක් නොවේ. එසේ සරලව ගත හැකි දෙයක් නොවේ.
ලෙඩ වූ, ව්‍යාධියට පත් වූ, මරණය උරුම වූ කෙනෙකු දැක “අනේ මට නම් මෙසේ නොවේවා” කියා සිතුවද, අපට එය වළකාලිය නොහැක. අනාත්මය යනු එයයි. අප ලද මේ ජීවීතය අප විසින්, අපේ දෙමාපියන් විසින් උරුම කර දුන්නා නොව, කර්මය විසින් උරුම කර දෙන ලද්දකි.
“සියළු සත්වයෝ කර්මය දායාද කර සිටින්නෝය”. ඇත්තෙන්ම අප සතු දායාදය අපේ කර්මයයි. අප සිතුවාට “මම මෙසේ වේවා” කියා, ඒවා එලෙසින් වීමට කර්මයක් නැත්නම් එය ඉක්මවා යාමට නොහැකිය. උත්සාහය වීර්යය සිදු නොකර සිටීමට නොව, සිත දුකට පත්වීම වළක්වා ගැනීමට නිරන්තරයෙන් කර්මය ගැන මෙනෙහි කරමින්, සිත උපේක්ෂාවට පත් කළ ගත යුතුය.
පිටතින් සැපක් සේ පෙනෙන මේ ජීවීතය විමස විමසා බැලූ විට ඇතුලත පිරී පවතින්නේම දුකකින් බව අවබෝධ කළ හැක. තෘෂ්ණාව විසින් දුක නම් වූ සත්‍යය යටපත් කර ඇති විට, යළි යළි සංසාර ඕඝයටම ඇඳ දමන විට, විදර්ශනා ඇසකින් විමස විමසා බලමින්, වැසී ඇති දුක හදවතින් මතු කර දැකිය යුතුය. දුක්ඛානුපස්සනාව යනු එයයි. මේ ලෝකයේ දුක පිළිබඳ ඥානය උපරිමයටම ඇත්තේ සම්මා සම්බුදු රජාණන් වහන්සේටය. එසේ හෙයින් උන්වහන්සේ දුක පිරිසිඳ දකිමින් දේශනා කළේ, “මේ ලෝකයේ, වැලි කැටයක තරම් වත් සැපයක් තිබේ නම්, මා මේ ලෝකය දුකයි කියා දේශනා නොකරන බවය”. තෘෂ්ණාව මුළිනුපුටා දැමූ රහතන් වහන්සේලා පවා දේශනා කළේ මේ දුකින් පිරුණු සසරින් වහා එතෙර වීමට වීර්යය කරන ලෙසයි.
එසේ වූ ප්‍රඥාවන්තයන්ට කළකිරීමටත්, අපට දුක නොපෙනී ඇලීමටත් හේතූ වූයේ කුමක්ද?
අන් කවරක්වත් නොව හිතේ පවතින අවිද්‍යාවයි. දුක් දේ සැපක් ලෙසින් ගන්නා මුලාවයි. අවිද්‍යාව හේතුවෙන් සකස් වූ මමත්වයයි. ඒ නිසා උපාදානය ඇතුළු සියලු කෙලෙස් ධර්මයන්ගෙන් සිත් වැසී ඇත.
ප්‍රඥා ආලෝකයක් දල්වන්නේ කෙසේ දැයි එදා බුදු පියාණන් වහන්සේ පවා කල්පනා කළ බව දක්වා ඇත. තණ්හා, දිට්ඨි, මාන යන කෙලෙස් වලින් එතී වෙළී බැඳී ඇති සත්වයා, දුක්ඛිත සසර “සැපයි සැපයි” කියා පයේ වූ වණයක් කසමින් ඒ වේදනාව සුඛයක් සේ ගන්නා මෝඩ පුදගලයන් බවට පත්වී ඇත.
කෙතරම් සම්මුති වශයෙන් උගත් යැයි සැලකූවද, විදර්ශනා ප්‍රඥාවකින් තොර ,තණ්හා, දිට්ඨි, මානයෙන් වෙළී ඇති ඒ සංඥා මාත්‍ර සියල්ලම දිනෙක හිරු දුටු පිණි මෙන් අනිත්‍ය වී යන්නේය. සම්මුති ලෝකයේ උගත්කම් යනු, සංඥාවන් ගොඩ ගසා ගැනීමේ ඇති දක්ෂභාවයයි. ඔවුන්ගේ මතක ශක්තියේ, චින්තන හැකියාවේ ප්‍රමණයයි. නමුත් සංස්කාර වල යථා ස්වභාවය විමස විමසා බැලීමට ඒ දැනුමෙන් පලක් වන්නේ නැත.
සියල්ල ඇඟිලි තුඩු අතරින් ගිලිහී යන දිය පොදක් මෙන් අනිත්‍ය ව, විනාශ වී යන බව දැක, උදෑසන කෙළ පිඬක් සේ, ඉවත් කොට දමා, මේ සංසාර ඕඝයෙන් එතෙරට යැමට කෙනෙක්ට සිත් පහළ වේද ඔහුම මේ අනර්ථ වූ ජීවීතයේ අර්ථයක් මතු කර ගත් කෙනෙක් වේය.
එබඳු වූ අර්ථවත් මිනිසකු වන්නට මේ ශාසනය තුළඳීම, ඔබට හැකියාව ලැබේවා…
~~~අමා සුව~~~