ධර්මයේ අනුහස

ඔබ නිවැරදිව ධර්ම මාර්ගයේ ගමන් කරන්නේද නැද්ද හෝ, ඔබට නිවැරදි ධර්මය මුණ ගැසී ඇත්ද යනු පරීක්ෂා කළ හැක්කේ ඔබටමය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කිසිඳු අඩුපාඩුවක් නැත. නමුත් ශාසනය විනාශ වන්නවුන් බිහිවන්නේ ශාසනය තුළින්ම බැව් බුදු පියාණන් වහන්සේ දෙසූ සේක.

බුදු රජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්යයි. එනම් දුක, දුකට හේතුව, දුක නිවීම හා ඒ මාර්ගයයි. ඔබට ඒ ධර්මය මුණ ගැසී ඇත්නම් එය දැකගත හැක්කේ ඔබ තුළින්මය.

එනම් ක්‍රමයෙන් ඔබේ හදවත තුළ සැනසීම ස්ථාවර වෙයි. ශාන්තිය උදා වෙයි. සිත නිවීමකට, පත් වෙයි. එතුළින්ම ඔබේ ඉන්ද්‍රියන්ද සංවර වෙයි. ඔබේ සිත තුළ පෙර පැවති ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, ආදී අකුසල් සිත් ක්‍රමයෙන් අඩු වී යයි.
මානය, උඩඟු බව, අහංකාර බව වෙනුවට නිහතමානී බව, ඇතිවෙයි. නමුත් ධර්මය කෙරෙහි සෘජු බව පිහිටයි. සීලය කෙරෙහි සෘජු බව ඇතිවෙයි.
මේ ලෝකය කෙරෙහි, මේ නාම රූප ධර්මයන් කෙරෙහි අවබෝධයෙන්ම කළකිරීම ඇතිවෙයි. විරාගය ඇතිවෙයි..

මේවා බලෙන් ඇති කරගන්නවා නොව ධර්මය තුළට ඇතුළුවත්ම නිරායාසයෙන්ම සිත තුළ පහළ වන විපර්යාසයන්ය. මෙසේ සිත පිරිසිදු වත්ම, සිත තුළින් සැනසීම උදා වෙයි. දුක ක්‍රමයෙන් පහවී යයි. මන්ද යත් දුකට හේතුව අල්ලාගැනීම බව ප්‍රත්‍යක්ෂව වටහාගන්නා බැවිනී. හදවත තුළින් ක්‍රමානුකූලව අතහැරීම පුරුදු වෙයි.

සියළු සත්වයන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය, මුදිතාව, පෙරට වඩා ඇතිවෙයි. අෂ්ට ලෝක ධර්මයන් කෙරෙහි උපේක්ෂා වෙයි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව අවබෝධයෙන්ම වර්ධනය වෙයි. සංස්කාරයන්ගේ යථා ස්වරූපය නුවණින් විමස විමසා දෛනික කටයුතු කිරීමට සිත පෙළබෙයි, යෝනිසෝ මනසිකාරය එයින්ම සිත තුළ වර්ධනය වෙයි. හිස් සම්ප්‍රප්පලාප දොඩමින්, නිස්සාර වචන වෙනුවට කළණ මිතුරු ඇසුරේ සිට ධර්මය පිළිබඳ කතා ප්‍රිය කරයි. දහම් ශ්‍රවණය ප්‍රිය කරයි. මේ නිස්සාර ලෝකය තුළින් නික්මීමට සිත තුළ වීර්යය, ඇතිවෙයි. ලෝකය පිළිබඳ ආශාව, එහි රැඳී සිටීමට ඇති ආශාව ක්‍රමයෙන් අඩුවී යත්ම ,භාවනාවකින් ලැබෙන නිරාමිස අතහැරීම ප්‍රිය කරයි. සිතේ සතිය, සමාධිය වර්ධනය වන බව තමාටම අත්දැකිය හැකිවේ.. ගැටි ගැටී, ඇලි ඇලී සිටී සංස්කාර ලෝකය කිසිඳු වටිනාකමකින් තොර දෙයක් බව ක්‍රමයෙන් පසක් වීමට පටන් ගනී. එනයින්ම විරාගය, පටිනිස්සග්ගය වර්ධනය වේ.

මේ සෑම ධර්මතාවයක් කෙරෙහිම අවබෝධය වර්ධනය වත්ම සිතේ ප්‍රඥාව අවධිවේ.
මේවා තමාටම අත්දැකිය හැකි ධර්මතාවයන්ය. බලෙන් ඇතිකරගෙන, බලෙන් හුවා දැක්වීමට අවශ්‍ය නොවේ. ධර්මයේ සංදිට්ඨික ගුණය යනු මෙයයි. තමා තුළින්ම අත්දැකිය හැකි බවයි.

අවසානයේ සියළු නාමරූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂව අත්දැක නිවනට සිත පත්වීමද ප්‍රත්‍යක්ෂව අත්දකිනා දෙයකි. යළි සැක උපදවා ගත යුතු දෙයක් නොවේ.
තමා යම් මාර්ගඵලයකට සිත පත්කර ගත්තේ නම්, කවර අවස්ථාවකදී හෝ එම ඵලයට සිත පත් කරගත හැක. කැමති තාක් කාලයක් එම ඵල සිතේ, ඵල සමවත් සුව විඳිමින් සිටිය හැක. තමා සෝවාන්, සකදාගාමී ආදී යම් ඵලයකට පත්වූවේ නම්, එම ඵලයට සිත පත්වන අවස්ථාවේ ක්‍රියාත්මක වූ ධ්‍යාන සිත ප්‍රත්‍යවේක්ෂා කළ හැක. නිරුද්ධ කළ සංයෝජන ධර්ම බැලිය හැක. එම ඵලයට පත් වීමට පෙර පැවති මාර්ග සිත ප්‍රත්‍යවෙක්ෂා කල හැක.

බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නම්, තමා තුළින් අත්දැකිය යුතු දෙයකි.
ධර්මය ඇසීමෙන් සැනසීම උදා කර ගත හැක. ධර්මය පිළිපැඳීමෙන් සැනසීම උදා කර ගත හැක. නමුත් එම ධර්මය ප්‍රත්‍යක්ෂව අත්දැකීමෙන් සැනසීම, සාමය ස්ථිරව අත්දැක, නිවී යා හැක.

ඔබ ධර්ම මාර්ගයට බැස ඇති අයකු නම්, මෙම ධර්මතාවයන් ඔබ තුළ සුළුවෙන් හෝ වැඩෙමින් පවතිනවාද යන්න විමසමින්, සංසුන් මනසින් මාර්ගයේ ගමන් කරන්න.

සුවපත් වේවා…!!!

~~~ අමා සුව ~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.