අතීතයේ පහළව සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ නමකට, අභිබූ නම් සෘධියෙන් අග තැන්පත් අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ නමක් සිටියෝය.
දිනක් සිඛී බුදු රජාණන් වහන්සේ සෘධියෙන් බ්‍රහ්ම ලෝකයට වැඩි අවස්ථාවක, “බුදුවරයකුගේ සෘධි බලය නම් මේ සා අප්‍රමාණ වුවද, ශ්‍රාවකයන්ගේ සෘධි බලය කොතෙක් වේද නොදන්නෙමු” යන සිතිවිලි බ්‍රහ්මයන්ට පහළ විය. මේ සිතිවිලි ඇති වූ විගසම අභිබූ මහ රහතන් වහන්සේට එය දැකිය හැකි විය. එකෙනෙහිම උන් වහන්සේ සෘධියෙන් බ්‍රහ්ම ලෝකයට වැඩි සේක. එවිට සිඛී බුදු පියාණන් වහන්සේ ” මොවුනට දැනෙන්නට යම් කිසිවක් කරන්න” යැයි පවසද්දී දස දහසක් සක්වලට ඇසෙන සේ උන් වහන්සේ ;
“ආරභථ නික්ඛමත – යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං – නාලාගාරං ච කුඤ්ජරො”
( අරඹන්න – නික්මෙන්න …
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
හස්ති රාජයෙකු බටවනය සි-ඳින්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!! )
යන ගාථාව දේශනා කරන ලද සේක. නැවත මහ පොළොවට පැමිණි සිඛී බුදු පියාණන් සෙසු ශ්‍රාවකයන්ගෙන්, අභිබූ මහ රහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට දේශනා කරන ලද ගාථාව ඇසුණේදැයි විමසන විට, එය ඇසුණු බව ඔවුහු ස්ථිර කළ සේක.
පසුව ආනන්ද තෙරුන් විසින් මෙම කතාව අප ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් විමසා, “බුදු කෙනකුට කොපමණ ලෝකවල සිටින සත්වයන්ට ඇසෙන්නට කතා කළ හැකිදැයි ” විමසා සිටි සේක.
දෙවරක්ම ඇසූ නමුත් බුදු රජාණන් වහන්සේ පවසා සිටියේ,
” ආනන්ද ඒ ශ්‍රාවක සෘධි බලයයි.. බුද්ධ විෂය අචින්තයි” ලෙසින්ය.
තුන්වන වර විමසද්දී, බුදු රජාණන් වහන්සේ පැවසූයේ
“කෝටි ලක්ෂයක් සක්වළට ඇසෙන්නට වුවද, අවශ්‍ය නම් එතනින් එහාට ඇසෙන්නට වුවද බුදු කෙනකුන්ට කතා කළ හැකි බවයි”.
පළමුව සෘධියෙන් ආලෝකය යවා එම කෝටි ලක්ෂයක් සක්වළ ඒකාලෝක කළ ඉන්පසු ඒ ලෝක සියල්ලේම සිටින සත්වයන්ට ආමන්ත්‍රණය කරන බව බුදු පියාණන් වහන්සේ විස්තරාත්මකව දේශනා කරද්දී, ආනන්ද ස්වාමින් වහන්සේගේ සිත තුළ බුදු රජාණන් වහන්සේගේ බුද්ධ විෂය පිළිබඳව ශ්‍රද්ධාව උතුර උතුරා ගලන්නට විය.
උන් වහන්සේ බුදු රජාණන් වහන්සේ පාමුළ ඇද වැටී ” අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ” යැයි තම ගෞරව, ආදර,භක්ති ප්‍රණාමය පුද කර සිටිද්දි බුදු රජාණන් වහන්සේ පැවසූයේ,
” ආනන්ද දැන් ඔබගේ සිත තුළ බුදුන් වහන්සේ කෙරෙහි ඇතිවූ අග්‍ර වූම ශ්‍රද්ධාව හේතු කොටගෙන ඔබ අග්‍රවූම මහා කුසලස්කන්ධයක් රැස් කර ගන්නේය. එය කෙසේද යත් ඔබ විසින් නැවත දුගතියකට නොගොස් මේ සා කල්ප ගණනක් සක්විති රජ පදවියද….” ආදී ලෙසින් එම මහත්වූ කුසලයේ විපාකය විස්තර කළ සේක.
” නමුත් ආනන්ද ඔබ විසින් මේ ආත්ම භාවය තුළඳීම සියළු කෙලෙස් නසා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරමින් නැවත උපතකට නොයන සේ පරිනිර්වාණය වීමට නියමිත බැවින්, ඒවා අහෝසි වී යන්නේය.” ලෙසින් පවසන ලදී.
බුදුවරයකු පිළිබඳව ඇතිවන ශ්‍රද්ධා මාත්‍රයක විපාකය එලෙසිනි. උන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් හයසීයක් ගෙවුණද උන් වහන්සේ දෙව්, මිනිස් , බ්‍රහ්මයන්ගෙන් ලබන අපමණ පුද පූජා, වන්දනා මාන ප්‍රමාණ කොට බැලිය නොහැක. උන් වහන්සේ පරිහරණය කර වස්තූන් පාරිභෝගික වස්තූන් ලෙසින්ද, උන් වහන්සේගේ ශරීරයේ ඉතිරි වූ ධාතූන් වහන්සේලා ආදියද, දෙව් මිනිසුන්ගේ අපමණ ගරු බුහුමන් මැද වැඩ සිටී.
බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී දේහය දැවීමෙන් ඉතිරි වන ධාතු කොටස් මේ ශාසනයේ අවසානය තෙක් නොනැසී පවතින්නට අධිෂ්ටාන කළේ හුදු ජනී ජනයාට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට සතුටු සිතින් වන්දනා මාන කොට කුසල් රැස් කර ගැනීමට අවස්ථාව සලසා දීමටය. දිනකට සූවිසි අසංඛ්‍ය වාරයක් මහා කරුණා සමාපත්තියට සම වැදී අද දිනයේ පිහිට වන්නේ කාහටදැයි විමසමින්, පසල් ගම් දනව් සිසාරා සෘධියෙන්ද, පා ගමනින්ද වැඩි තථාගතයාණන් වහන්සේගේ මහා කරුණා සාගරය අප වැනි පෘථග්ජනයන්ට විෂය නොවේ.
ප්‍රඥාවන්තයන්ට පමණක්ම ගෝචර වන අති ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මයන්, චතුරාර්‍ය සත්‍ය ධර්මයන්, අනිත්‍ය -දුක්ඛ -අනාත්ම ආදී ධර්මයන් අතැඹුලක් සේ විවර කරමින් කිසිදු සංස්කාර ධර්මයකට නො ඇලී, නොගැටී සිටීමින්, සියළු උපාදාන දුරු කරන, අත හැරීමේ කෙළ පැමිණෙන මහා ධර්මස්කන්ධයක් ලෝකයාට දේශනා කළ උන් වහන්සේ, තමන් වහන්සේගේ ශරීරයේ ධාතු කොටස් පන්දහසක් වසර සුරැකිව තිබීමට අධිෂ්ඨාන පිහිටුවන්නේ කුමක් නිසාදැයි ඔබ සිතුවේද?
ජීවත්ව සිටියදී තමන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී දේහය දෙස බලා සිටීමේ ආසාවෙන් මහණ වූ වක්කලී තෙරුන්ට උන් වහන්සේ “මේ කුණු කයේ බලන්නට ඇත්තේ මොනවාද වක්කලී” යනුවෙන් ප්‍රතික්ෂේප කළ සේක.
ආශාව, බැඳීම ක්ලේශයකි.
නමුත් ශ්‍රද්ධාව කුසලයකි.
උන් වහන්සේ මහත් වූ සර්වඥතා ඥාණයෙන්ද , මහා කරුණාවෙන්ද යුක්ත වූ සේක. සියළුම සත්වයන්ට එක වර නිවන් අවබෝධ කළ නොහැකි බව උන් වහන්සේ දත් සේක. එය එසේ වී නම් උන් වහන්සේ විසින් එය සිදු කරන්නට තිබුණි. නියසිලට ගත් පස් වැනි ප්‍රමාණයක් සත්වයන් නිවන් දකිද්දී, මහ පොලොවේ පවතින පස් වැනි වූ සත්වයන් ප්‍රමාණ ඉතිරි සියළු සත්වයෝ මේ අනවරත සසරේ කුසල් අකුසල් අතර දෝලනය වෙමින්, දිව්‍ය, බ්‍රහ්ම, මිනිස් ,නිර ලෝකයන්හි සැරිසරන බව උන් වහන්සේ දත් සේක. එයිනුත් සතර අපාය සත්වයාගේ මහ ගෙදර වැනි බව උන් වහන්සේ දුටු සේක.
මහා කාරුණිකයන් වහන්සේ නිවන් අවබෝධ කිරීමට ප්‍රඥාව ඇති අනාගතයේ පහළ වන සත්වයන්ටද, එසේ නොමැති සත්වයන්ට සසර ගමන සුඛිත කරවනු වස්, අග්‍ර වූම කුසල් රැස් කර දෙන චේතනාවෙන් එසේ ධාතූන් වහන්සේලා ශේෂ වීමට අධිෂ්ඨාන පිහිටුවන සේක.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදි උන් වහන්සේ ජේතවනාරාමයෙන් පිටතට වඩින අවස්ථාවන්හීදී මිනිසුන්ට උන් වහන්සේ සංකේතවත් කරමින් වන්දනා කිරීම පිණිස බුදු රජාණන් වහන්සේගේ අනු දැනුමින්, ආනන්ද ස්වාමින් වහන්සේ විසින් ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී.
සෑම කෙනාටම එක ලෙසින් බුදු රජාණන් වහන්සේ ගුණ තුළින්, ධර්මය තුළින් දකිමින් වන්දනා කිරීමේ ශක්තිය නැත. මිනිසුන්ගේ ඉන්ද්‍රිය බල ධර්මතා වැඩි ඇති ආකාර විවිධය. එසේ හෙයින් සංකේතාත්මකව එසේ වන්දනා කිරීමට ශාරීරික, පාරිභෝගික, උද්දේශික ලෙසින් නම් කළ චෛත්‍ය වර්ග තුනක් වේ.
බුදු රජාණන් වහසේගේ ශ්‍රී දේහයේ ඉතිරි වූ කොටස් වූ ධාතුන් වහන්සේලා, ඒව තැන්පත් කොට නිමවූ චෛත්‍ය ආදිය ශාරීරික චෛත්‍ය ලෙසත්,
උන් වහන්සේ විසින් පරිහරණය කල භාණ්ඩ, ශ්‍රී මහ බෝධීන් වහන්සේ හා එහි අංකුර, ආදිය පාරිභෝගික චෛත්‍ය ලෙසත්,
බුදු පිළිම, පින්තූර, සිරි පතුල් ආදිය උද්දේසික චෛත්‍ය ලෙසත් වර්ගීකරණය වේ.
මෙසේ වර්ග වූවද , “ජිවමාන බුදු පියාණන් වහන්සේ නමස්කාර කරමි”යි යන චේතනාවෙන් යමෙක් ශ්‍රද්ධා සිතින් වන්දනා කරන්නේ නම් ඔහුගෙ පින එලෙසින් වර්ග නොවේ.
එය අග්‍ර වූ කුසලයක්ම වන්නේය…
බුදු රජාණන් වහන්සේ, බුද්ධත්වයට පත්වී දින සතක් මුළුල්ලේ ශ්‍රී මහ බෝධීන් වහන්සේට නෙත් පියුමෙන් කෘතගුණ දැක්වූ සේක. එය ඉතා උත්තම අති පිරිසිදු නික්ලේශි සිතකටම කළ හැකි දෙයකි. අද කාලයේ නම් ගස් වදිනව යනුවෙන් බෝධී වන්දනාව හෙළා දකින මිනිසුන්ට මෙය ගළපා ගැනීමටවත් හැකි වේදැයි සැක සහිතය.
අතට පත් නිවන හැර පියා, සියළු සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන්, “මම බුදු වි සියළු සතුන්ද සසරින් එතෙර කරවමියි” මේ දුක්ඛිත සසරට බට උන්වහන්සේ, ඇස් ඉස් මස් ලේ දන් දෙමින් , ජීවීත දන් දෙමින් පාරමිතා පූරණය කළේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටමය. එපමණකින් නොවේ. අසංඛ්‍යක් බුදු වරුන් සමීපයේ මනසින්ම බුදු බව පතමින් මනෝ පණිධාය පූරණය කළ සේක. මේවා වචන මාත්‍ර නොව, ශ්‍රද්ධාව වැඩී ඇති අයට නම් හදවත පළාගෙන උතුර උතුරා මෙනෙහි කරමින් ජීවිතය පුද කරන්නට තරම් ශ්‍රද්ධාවක් ජනිත වන දේවල්ය.
එසේ බුදු බව පැතූ උන් වහන්සේ, බුදු වන ආත්මයේ සය වසක් දුෂ්කර පටිපදාවට බැස ගත්තෝය. තමන්ගේම අසූචී මල මුත්‍ර වළඳමින්, ප්‍රාණය ගැටගහගනිමින් බුදු වීමට බවුන් වැඩි සේක.
උන් වහන්සේ දිනක් ආනන්ද ස්වාමින් වහන්සේට පවසන්නේ,
“ආනන්ද මේ ලෝකයේ යම්තාක් උග්‍ර වූ වත් ඇත්තේද ඒවායින් මා හා සම වන්නට කෙනකු නැත්තේය ” ලෙසිනි.
එලෙසින්ම කල්ප ගණන් තමන් වහන්සේ පිරූ පාරමිතා පිළිබඳව මෙනෙහි කරන උන් වහන්සේ පවසන්නේ,
” ආනන්ද දානයෙන් මා හා සමවන්නට සමත් කිසිවකු මේ ලෝක ධාතුවේ දක්නට නොලැබෙන්නේය ” ලෙසිනි..
උන් වහන්සේගේ ශ්‍රී නාමයට අදද උතුර උතුරා දානයන් ලැබෙන්නේ මන්ද යන්න ඔබට වැටහෙනු ඇත. තමන්ට කන්න නැතද , බුදු වරයකු වෙනුවෙන්, ඒ නාමය වෙනුවෙන් තමන් සන්තක ආහාරය පූජා කිරීමට ජනයාට සිත් නැවෙන්නේ උන් වහන්සේගේ දාන පාරමිතාවේ ප්‍රබලත්වය හේතුවෙනි. ඒවා දකිමින් ” අහෝ බුද්ධෝ, ” කියා සාධුකාර දෙමින් ශ්‍රද්ධා මාත්‍රයක් ජනිත කර ගැනීමට ඔබට හැකි නම් ඔබ සසර තුළ අසරණ නොවූ පොහොසතෙකි.
එදා දීපංකර බුද්ධ පාමුලදී නියත විවරණ ලබද්දී, බුදු වීම පිණිස සිදු කළ යුතු පාරමිතා ප්‍රමාණය මෙනෙහි කරද්දීද….., සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ඒවා පූරණය කර ශ්‍රී මහ බෝධි මූලයේ සිට එය සපථ කරද්දී ද…. මහ පොළොව ගුගුර ගුගුරා කම්පිත විය.
එදින නියත වශයෙන්ම බුදුවන බව දත් දෙව්, බඹුන් උන් වහන්සේ වට කරගෙන සිටියද, මාර ගර්ජනා හමුවේ භිය වී පළා යන්නට ඔවුනට සිදු විය. තනි වූ උන් වහන්සේ මාරයා පරාජය කරමින්, තමන් වහන්සේගේ කෙලෙස් මාරයන්ද පරාජය කරමින් උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක.
මාරයාට උන් වහන්සේගේ ශරීරයට තබා, බෝධි පත්‍රයකටවත් හානියක් කිරීමට නොහැකි වූයේ උන් වහන්සේගේ අපිරිමිත පාරමී ශක්තිය හේතුවෙනි.
එසේ තමන් වහන්සේට බුදු වීමට සෙවණ දුන් මහා බෝධි වෘක්ෂයට උන් වහන්සේ ස්වකීය නෙත් පහසින් පිදුම් කළ සේක.
බුදුවරයකුගේ නෙත් පහස දරාගන්නට මේ විශ්වයේ සියළු දැයට එක ලෙසින් නොහැකිය. වරක් එක් බුදුවරයකුගේ අග්‍ර ශාවකයකුට කරදර කළ පාපි මාරයා, උන් වහන්සේගේ හිසට පහරක් ගසන ලදී. එයින් එම ශ්‍රාවකයාණන් වහන්සේගේ හිසින් ලේ ගලන්නට විය. එවිට ඉදිරියෙන් වැඩි එම බුදු පියාණන් වහන්සේ ,
“පවිටු මාරය ඔබ අද පමණ ඉක්මවා ගියා” යැයි පවසා හැරී මාරයා දෙස බැලූ සේක. එම බැල්ම දරා ගත නොහී මාරයා එවිගසම මහ පොළොව පලාගෙන අපාගත වූයේය.
බුදු කෙනකුන්ගේ නෙතු කැල්මේ බලය එපමණ වේ. මාරයා යනුද එසේ මෙසේ කෙනකු නොවේ. බුදු රජාණන් වහන්සේම පවසන පරිදි,
” මේ ලෝකයේ මැඩලීමට අපහසු බලයන් අතරින් මාර බලය ප්‍රමුඛ වේ ” යන්නය. එසේ වූ ප්‍රබල කෙනකුද එක් නෙතු කැල්මකින් අපා ගත වන්නේ නම්, එය තුල කොපමණ නම් ශක්තියක් ගැබ්ව ඇතිවාද…
එවැනි පාරිශුද්ධ නේත්‍ර පහස දින හතක් පුරා එක දිගට ලැබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ තුළ කොපමණ නම් ශක්තියක් කැටි වන්නට ඇත්ද…
උන් වහන්සේ අප වෙනුවෙන් උන් වහන්සේගේ මෛත්‍රී, කරුණා, අධිෂ්ඨාන ශක්තීන් ඒ තුළට කවවන්නට ඇති බව නො අනුමානය. කාලාන්තරයක් පුරා සැදැහවතුන්ගේ, අසරණ සත්වයාගේ පුද සත්කාර ලබන මේ බෝධි වෘක්ෂයද, එහි අංකුරද උන් වහන්සේ එදා දිවැසින් දක්නට ඇතුවාට සැක නැත. එසේ වන්දනා කරන සත්වයන්ට පෙරළා පිහිටක් ලබන්නට හැකි වන සේ උන් වහන්සේ අධිෂ්ඨාන ශක්තීන් කැටි කරවන්නට ඇති බව නො අනුමානය.. අදටත් කරදරයක්, සිත් පීඩාවක් වූ තැන අසරණයන් පිහිට පතා බෝධීන් වහන්සේ වන්දනා කරන්නේ, ඔවුනට පිහිට උපකාර ලැබී අති නිසාවෙන් නොවේද?
ඇතැමුන් පිහිට පතා බෝධි වන්දනා කරද, එය හැල්ලුවට ලක් කිරීමට කිසිවකුටත් අයිතියක් නැත. බෝධීන් වහන්සේට ඖෂධ, ආදීය පූජා කිරීම ඇතැමුන් දකින්නේ වැරදි විදියටය. නමුත් ජීවමාන බුදු රජාණන්ට පුද කරනු සේ සිතා ඔවුන් එසේ කිරීමෙන් කොපමණ නම් කුසල් රැස් කරගන්නේද..
නමුත් ශ්‍රී තථාගත ධර්මයේ හරය නම්, කුසලයත් අකුසලයත් ඉක්මවූ නිර්වාණයයි..
” නච කිංචි ලෝකේ උපාදියතී ”
(කිසිවක් උපාදානය නොකරන්න) ලෙසින් බුදු පියාණන් වහන්සේ වඳාල සේක.
කුසලයක් කිරීමද, අකුසලයක් කිරීමද යනු පංචස්කන්ධයේ ඇතිවී නැතිවී යාමක් හැර අන් දෙයක් නොවේ. දෙකින්ම සිදුවන්නේ සසර දික් වීමය..
ශ්‍රද්ධාව බීජය වන්නා සේම අනෙක් අතට නිවන් දකින්නේ ශ්‍රද්ධාවෙන් නොව ප්‍රඥාවෙන්ය..
ශ්‍රද්ධාවත් අනිත්‍ය වී යන ධර්මයක්ය..ධර්මයත් අනිත්‍ය වී යන්නේය. ඔබත් මමත් අවබෝධ කරගත යුතු ධර්මතාවයකි එය..
කුසලයට ඇලීමත්, අකුසලයට ගැටීමත් නොව, ඒ දෙකම ඇතිවීමට හේතුවන උපාදානය සිඳලිය හැකි නම්, මේ පංචස්කන්ධය ලෝකය අලලා පැතිර ඇති අවිද්‍යා අන්ධාකාරය සිඳ දමා, සසරින් නික්මීමට හැකි නම්, ඔබත් මමත් නියම ලෙසින්ම බුදු රජාණන් වහන්සේ දැක ඇත.
එවිට ඔබ බුදු රජාණන් වහන්සේ සිටිනුයේ බාහිරය තුළ නොව තමන් තුළ බව දකිනු ඇත.
බුදු ගුණ යනුද තම සිතිවිලිය. අවිද්‍යාව යනුද තම සිතිවිලිය. මේ සසරක් , ලෝකයක් ගොඩනැගුවේ අන් කවරක්වත් නොව තම සිතිවිලිම බව ඔබ දකිනු ඇත.
” චිත්තේන නීයතී ලෝකෝ..”
ලෝකයක් ඇද ගෙන යනු ලබන්නේ සිතින්ම හැර අන් කිසිවකින් නොවේ.
සිතින් මිදුණු ඔබ, දැලෙන් මිදුණු කුරුල්ලෙකු මෙන් මේ සසරින් පියඹා යනු ඇත.
එතෙක් මේ සම්මුති ලෝකය තුළ සම්ප්‍රදායන් තුළ හිඳිමින් ඒවාට ගරු කරමින් සිටිය යුතු වේ.
ඔබ ධර්මයෙන් ඉහළට යන්නේ යම් තාක් ද, ඔබ තුළ මානය ක්‍රමයෙන් සිදී යා යුතුය. ධර්මය තුළින් ඔබ තුළ වැඩෙන්නේ මමත්වය නොවිය යුතුය. අනුන් වැරදී මා පමණක් හරී යැයි සිතමින්, අපහාසයෙන්, උපහාසයෙන් හෝ ද්වේෂයෙන් කටයුතු කිරීමට සිත නැවෙන්නේ නම්, එය නුසුදුසුය.
මේ ලෝකයේ , මේ කයේ සිතේ යථා ස්වරූපය සැබවින්ම අවබෝධ වන්නට වන්නට , මමයා ක්‍රමයෙන් පළා යන අයුරු ඔබ අත්දැකිය යුතුය .
ධර්මය යනු තමා තුළින්ම දැක ගත හැකි දෙයකි. තමා දෙස බලමින්ම පිරිසිදු විය යුතු ධර්මයකි. තමාගේ සරණ පිහිට තමා විසින්ම සකසා ගත හැකි ධර්මයකි.
මේවා ප්‍රත්‍යක්ෂව අත්දකිනා නිකෙලෙස් රහත් උතුමන් තමාගේ පිහිට සරණ තමා තුළින්ම සකසා ගනිමින්, ලෝකය හා නො ඇලී, නොගැටී මඩෙන් උඩට ආ, මඩෙහි නොගෑවී විකසිත වී සුපිපෙන පියුමන් මෙන් හුදෙකලා වන්නේ එබැවිනි.
එසේ වූ උතුම් ආරක්ෂිත ක්ෂේම භූමිය වෙත යෑමට මෙම ලිපිය කියවන ඔබ සැමටත් ශක්තිය ලැබේවා….!!!
~~~අමා සුව ~~~