ගෙවුණු වසර

වසරක් ගෙවී වසරක් උදාවෙයි. ආපසු ගත නොහැකි දේවල් තුනක් වේ. එනම් ගෙවුණු කාලය, පිටකරන ලද වචනය, ජලයට විසි කරන ලද ගල.
පසුතැවීමක් ඇති නොවන අයුරින් මේවා භාවිතා කල යුත්තේ එබැවිනි.

සම්මුතියේ පිහිටා, සංඥාවන් මගින් වසර වල්, මාසයවල්, දිනයවල් නම් කොට තිබුණ්ද, සැබවින්ම සිදුවූයේ කුමක්ද? සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත්වීමයි..අනිත්‍යයෙන් නිරෝධයට පත්වීමයි.
වෙන කිසිඳු දෙයක් පරමාර්ථ වශයෙන් සිදුවුණේ නැත. ඇතිවීම, පැවතීම, නැතිවීම පමණි. අපගේ රූපය සහ නාම ධර්ම මෙසේ ඇතිවෙමින් නැතිවෙමින් යයි.

සැබෑම බෞද්ධයකු වශයෙන් අප කළ යුත්තේ ගතවූ කාලය තුළ අප මෙලොව, පරලොව වශයෙන් ජිවීතය, සසර පිළිබඳ කළ කී දෑ විමර්ශනයට ලක් කොට,සම්මුති වශයෙන් උදාවන නව වසරට සුබවාදීව මුහුණ දීමයි. ධර්ම මාර්ගය තුළ සවිමත්ව ගමන් කිරීමයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරමින්, භාවනා වඩන ඔබ විසින් සෑම විටම ප්‍රත්‍යවේක්ෂාව කළ යුතුය. එනම් කරන ලද , කියන ලද, සිතන ලද දේවල් පිළිබඳව නැවත නැවත විශ්ලේෂණය කර බැලීමයි. එය ඔබේම දියුණුවට හේතු වන දෙයකි.

අප ගැන අප තරම් දන්නා කෙනකු නොමැත. බුදුරජාණන් වහන්සේ නම් අප ගැන අපටත් වඩා දන්නේය. නමුත් එතනින් මෙහා, අප ගැන දන්නේ අපය. පිට ලෝකයේ අය අප ගැන දන්නේ, අප ඔවුන්ට පෙන්වන දේ පමණි.
කවුරුත් කැමති, අන් අය තමන් හොද කෙනකුන් ලෙස දකිනවාටය. හැමෝම ප්‍රිය කරන කෙනෙක් බවට පත්වන්නටය.
නමුත් ඇතැම් විට අප කරන, කියන, සිතන දේවල් වලට අපම වුවද කැමති නැත. එසේ වූවිට අප ඒවා ලෝකයේ අන් අය දැනගන්නවාට කැමති නොවෙමු.

බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණයේ එක් අදහසක් වනුයේ උන් වහන්සේ රහසින් වත් පවක් නොකළ බවයි. අන් කෙනෙක් මේ දේ දැන ගන්නේ නැත්නම් හොද යැයි සිතන එකම කායික,වාචික, මානසික ක්‍රියාවක් උන් වහන්සේගේ ජීවීතය තුළ නැත. සිත බැලීමට හැකි දෙවිවරු, බ්‍රහ්මවරු, සෘධි සම්පන්න මිනිසුන් එකලද ඕනෑ පමණ වී නමුදු, ඒ කිසිවකුටවත් උන් වහන්සේගෙන් එවැන්නක් නොදැකිය හැකි විය.

පෘථග්ජන පුද්ගලයන් වශයෙන් අපට සෑම විටම එලෙසින් අති පිරිසිදුව සිටීමට නොහැකි වූවද,
සම්බුද්ධ ශ්‍රාවකයන් ලෙස අපද උන් වහන්සේගේ ගුණ හැකි පමණින් අපේ ජීවීතයට ළඟ කරගත යුතුය. නියම ශ්‍රාවකයන් වන්නේ එවිටය.

අනෙක් අතට ධර්මාවබෝධයට පත්වීමට නම් අපේ සිතට අප අවංක විය යුතුය. කොතෙක් අන් අය රැවටීමට හැකි වුවද, අපේ හෘදසාක්ෂිය රැවටීමට අපට නොහැක. බොරුවෙන්, වංචාවෙන් ලොවක් දිනීමට හැකිමුත්, අපේ සිත දිනිය නොහැක. කර්මයට සැඟවිය නොහැක. නියම බුද්ධ ශ්‍රාවකයා නිර්භීත විය යුතුය. මන්දයත් ඔහුගේ සීලය පිරිසිදුය. ඔහු විසින් අන් අයට අයහපතක් වන දේ නොකරන්නට සෑම විටම උත්සාහ කරයි. අන් අයටද උදව් කරමින් තමාද ධර්ම මාර්ගයේ යහපත්ව ගමන් කිරීමට උත්සාහ කරයි.

ගෙවුණ වසර තුළ ඔබ විසින් වඩවා ගත් ගුණයන් එකින් එක මෙනෙහි කරන්න. ඔබ විසින් අත් හරින ලද නුගුණයන්ද මෙනෙහි කරන්න. ඔබ විසින් ඇතැම්විට භෞතිකව ලබන ලද දියුණුවක් නොතිබෙන්නට පුළුවන. නමුත් ආධ්‍යත්මික වශයෙන්, ගුණයන් අතින් ඔබ පෝෂණය වන්නට ඇත. වඩා වටින්නේ එයයි. ඔබ භෞතිකව රැස් කරන සියළු දෑ මේ ජීවීතයේ සුඛ විහරණය පිණිස පමණි. නමුත් ආධ්‍යාත්මිකව වඩවා ගන්නා ලද දේ ඔබේ සංසාරයම සුඛිත මුදිත කරයි .

ශ්‍රද්ධාව , වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව ඔබ විසින් දියුණු කරගත්තේ නම් ගෙවුණු වසර පිළිබඳව පසුතැවෙන්නට දෙයක් නැත. ඔබ සිත තුළ අතහැරීම වැඩි නම්, ඔබ විසින් පෙර වටිනාකම් දී තිබූ භෞතික දේවල් වල වටිනාකම් දැන් අඩුවී ඇත්නම් ඔබේ සිතේ සතුට, සැහැල්ලුව වැඩි වී ඇත්නම් ඔබ නිවැරදි ඉලක්කයක් කරා ගමන් කරන්නෙකි. මෙය ඔබට වෙනත් කෙනකු විසින් පිටින් බලා දෙන නිගමනයක් නොව, ඔබ විසින්ම ඔබගේ සිත ප්‍රත්‍යවේක්ෂ කර ගනිමින් දක්නා දෙයකි.

ඇතැම් විට ධර්මය ලෙසින් වංචනික ධර්ම රැසක් ඔබ අල්ලාගැනීමටද ඉඩ ඇත. ඔබේ සීලය , සමාධිය දියුණු වත්ම ඔබේ ගුණයන් වැඩි දියුණු වත්ම ඔබට සමාජයෙන් මහත් කීර්ති ප්‍රශංසා ගලා එන්නට පටන් ගනී. එය ධර්මයේ ස්වාක්ඛාත ගුණයකි. ධර්මයේ හැසිරෙන්නාට දෙවිවරුන් පවා නමස්කාර කරති. නමුත් සියුම් ලෙස ඔබ තුළ මාන්නය වැඩී ඇත්දැයි බලන්න. අන් අයගේ කීර්ති, ප්‍රශංසා, කෙරෙහි ඔබ තුළ ආසාවක්, ගොඩ නැඟෙනවාදැයි විමසන්න. මෙය විමසීම අසීරුය. මන්ද යත් රහත් නොවූ සෑම කෙනෙක් තුළම මාන්නය ක්‍රියාත්මක වන බැවිනි. රාගය, ද්වේශය ආදී දේවල් හඳුනා ගැනීම පහසු වුවද, සියුම් ලෙස ක්‍රියාත්මක වන මාන්නය හඳුනා ගැනීම ඉතාමත්ම අපහසුය.

තවත් කෙනකුට නොපෙනෙන ඔබ තුළ ඇති කෙලෙස් හඳුනා ගන්නට හැකියාව ඇත්තේ ඔබටමය. ගෙවුණු කාලය තුළ ඔබ ලබා ඇති දියුණුව මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කොට, ඔබ ලබා ඇති සැහැල්ලුව, ප්‍රීතිය ධර්මය නිසාම ලබුණු දේවල් බව දකිමින්, තව තවත් ධර්මය තුළ ශක්තිමත්ව ගමන් කිරීමට එළබෙන වසරේ අධිෂ්ඨාන කරන්න.

ලෝකය පිළිබඳව අප වෙහෙස වීමෙන් පලක් නැත. දිනෙන් දින රාගය, ද්වේෂය, මෝහය තුළටම යන ලෝකයාගෙන් පිරුණු ලෝකය තුළ හිඳිමින් අප විසින් නිවීම ශාන්තිය සැනසීම පසක් කරගත යුතුවේ. ලෝකය වෙනස් කිරීමට වෙහෙසුණු සෑම දෙනාම අවසානයේ මෙලොවින් නික්මී ගියේ හිස් අතිනි. ලෝකයා ඉදිරියේ දිනූ ඔවුන්ගේ ආධ්‍යාත්මය බෝහෝ විට පරාද වී ඇත. බොහෝ උගත් යැයි ප්‍රසිද්ධ අයද, ව්‍යාපාර ලෝකයේ ඉහළටම ගොස් සිටි ලෝක පූජිත අයද, අවසානයේ කියා සිටියේ , තමන් රැස් කළ කිසිඳු දෙයකින්වත් පලක් නොවූ මුත්, සිතට සහනය ලබාගත හැකිවූයේ සැහැල්ලු ජීවීතයක් තුළ පමණක් බවය. ඒ බොහෝ විට ඔවුන් ප්‍රමාද වී හමාරය.

නමුත් අප සැබවින්ම වාසනාවන්තය. තථාගත සමිඳුන්ගේ ලයෙන් උපන් දරුවන් වූ අපට ඒ ධර්මය උපතින්ම දායාද වී ඇත. සොය සොයා වෙහෙසීමට දෙයක් නැත. සැබෑ සැනසීම නිවීම ඇත්තේ කොතනකදැයි අපි ඉඳුරා දනිමු.
ලෝකයා යන පරිදිම අපද ඒ භෞතික දේවල් පසුපස හඹා යා යුතු නැත. ලද දෙයින් සෑහීමකට පත්ව, අධික තණ්හාවෙන් මිදී අප අපගේ ආධ්‍යාත්මික සහනය සොයා ගත යුතුය.
වසරින් වසර, යුගයෙන් යුගය, ජීවීතයෙන් ජීවීතය ගෙවී යයි. ධර්මයද තව වැඩි කල් පවතින්නේ නැත. සියල්ලක්ම ලෙසින් එයද අනිත්‍ය වී යයි.
එසේ හෙයින් අප්‍රමාදීව ධර්මය සාක්ෂාත් කර නොගතහොත්, කල්ප ගණන් එන අබුද්ධෝත්පාද කාල හමුවේ, අසරණව අපා දුක් විඳීමට සිදුවන බව අප දත යුතුය. එදිනට අපට පිහිට වීමට කිසිවකුත් නැත. සෝවාන් වත් නොවී මිය ගියහොත් එම භියකරු ස්වභාවයෙන් ඔබත් මමත් මිදී නැතිබව අප සිහියේ තබා ගත යුතුය.

සසර යනු රැඳී සිටිය යුතු තැනක් නොව, නික්මී යා යුතු තැනකි. ඔබත් මමත් මේ සිටින්නේ සතුටින් පිරි උද්‍යනයක නොව, කනට නෑසුණද කෝටිගණන් සත්වයන් අපා දුක් විඳිමින් ලතෝනි දෙන සොහොන් පිට්ටනියකය. ඔබේත් මගේත් පෙර මව, පියා, ආදරවන්තයන්ගේ එම විලාපය අපට නැසුනද, එම දුක් සුසුම් මේ විශ්වය පුරා මේ මොහොතේද පැතිර ඇත.
ඔබ අද මලක් පූජා කර සතුටු වූවද, අත්දෙක එකතු කර වන්දනා කිරීමට නොහැකිව ඔබේ ආදරණීයයන් පසුතැවෙනවා ඇත. ඔබ පිරිසිදු ඇඳුම් හැඳ, රසවත් බොජුන් වැළඳුවද ඔබේ පෙර මව, පියා නිර්වස්ත්‍රව, නිරාහාරව අසූචි වළක දුක් විඳිනවා විය හැක. ඔබ අද ඔබේ ආදරවන්තයා සමඟ පෙම්සුව වින්දද , ඔබේ පෙර ආදරවන්තයා ඔබ කෙරෙහිම ඇතිවූ රාගය නිසා අත්පය කපා කොටා දමමින් වධකයන්ගේ වධ වලට ලක්වෙමින් නිරා දුක් විඳිනවා ඇත.
සසර එතරම් භියකරුය. ඔබේත් මගේත් ලෝකයාගෙත් ඇස් අන්ධ වී ඇත. අප සතුටු වන්නේ මේ ඇසට පෙනෙන ලෝකය දෙස බලාය. නමුත් අප සැබවින්ම සිටින්නේ අන්ධකාරයේය.
නමුත් ආලෝකය වැඩි ඈතක නොවේ. නමුත් ඔබට හිමි කාලය අල්පය. එය අසුරු සැණකි.මේ සසර සමඟ බැලීමේදි මේ ඔබ ගෙවා දමමින් සිටින්නේ ඔබේ සංසාරය තුළ ලැබුණු වටිනාම ක්ෂණයයි.

අප කෙරෙහි කරුණාවෙන් බුදු හිමියන් අපට පහන දල්වා තබා ඇත. අපට ඇත්තේ මේ අන්ධකාරය තුළින් ඒ ආලෝකය දෙසට යෑම පමණි.
හිස ගිනි ගත්තද ඒ ආලෝකය නිවෙන්නට පෙර අප ගොඩබිම වෙත යාත්‍රා කළ යුතුමය.

මේ දුක්ඛ ගංගාවෙන් එතෙරව, සසරින් නිවී ගිය පිරිස අල්පය.
ඒ ස්වල්ප පිරිස අතරට එක්වීමට ඔබටද, මටද වහ වහා හැකිවේවා…!!!
අප්‍රමාදී වේවා…!!!!

~~~ අමා සුව ~~~

One thought on “ගෙවුණු වසර

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.