විදර්ශනා භාවනා හැඳින්වීමක්

ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් අයට මේ දක්වා ආනාපාන සති සමාධි භාවනාව සමථයක් වශයෙන් කරනු ලබන ආකාරය පිළිබඳව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුව පිළිපැඳපු අයට බොහෝ දුරට තමාගේ සිත මේ වන විට එකඟ වෙන්නට ඇති. ඒ සිතේ එකඟ භාවය, සිත සමාධිය අපගේ භාවනාවට ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්.කෙසේ වෙතත් ඒ සමාධිය සමථ භාවනාව තුළින්ම ලබාගතයුතු නෑ. විපස්සනා භාවනාව කිරීමෙනුත් සමාධියක් ලබාගන්නට පුළුවන්. නිවන් යාමට අවශ්‍ය ප්‍රමාණයට ඒ සමාධිය විපස්සනා භාවනාව තුළිනුත් දියුණු වෙනවා.
එම නිසාම අද සිට මේ අයට ආනාපාන සති සමාධි භාවනාව විපස්සනාවට නඟමින් භාවනාවට නඟන ආකාරය ගැන ඉගැන්වීමටයි අප අදහස් කරන්නේ. අද මේ විපස්සනාව ගැන හඳුන්වාදීමක් කෙටියෙන්, සරල වශයෙන් කීමට අප බලාපොරොත්තු වෙනවා.
විපස්සනාව කියන්නේ විශේෂයෙන් දැකීම කියන එක. දර්ශනය කියන්නේ, දැකීම. ” වි” කියන උපසර්ගය යෙදීම නිසා “විශේෂයෙන් දැකීම” නැත්නම් ඇත්ත ඇති සැටියෙන් දැකීම යනුවෙන් අපට විස්තර කරන්නට පුළුවන්. අප බොහෝවිට දකින දේවල් දකින්නේ, ඇත්ත ඇති සැටියෙන් නොවේ. නැති දෙයක් ඇති ආකාරයෙන් අපි බොහෝවිට දකින්නේ.සාමාන්‍යයෙන් පියවි ඇහැට අපි දකින දේවල් තුළ අපි දකින්නේ අන් කිසිවක් නොවෙයි, ඒ දකින දෙයෙහි පාට සහ එහි හැඩයයි.
අන් කිසිවක් අපට පියවි ඇහින් දකින්නට බැහැ. යමක වර්ණය දකිනවා, එහි හැඩය, ස්වරූපය අපට පෙනෙනවා. එච්චරයි.එහි යථා තත්වය ,නියම තත්වය, නියම පරිදි දකින්නට හැකියාවක් නැහැ. ඉතාමත්ම සරල උදාහරණයක් මේ අයට කිව්වොත් , අපි වැලි ගොඩක් දෙස බලලා යම්කිසි කෙනෙක් මේක “වැලි ගොඩක් – වැලි ගොඩක්” කියන හැඟීම ඇති කරගත්තා නම් ඒක නියම දර්ශනයක් නෙවෙයි. “යථාභූත ඥාන දර්ශනය ” කියනවා ඇත්ත ඇති සැටියෙන් දැකීමට. ඒ ඇත්ත ඇති සැටියෙන් දැකීමක් නෙවෙයි, ඒ “වැලි ගොඩ” කියන සංඥාවේ පිහිටලා අපි ඒ විදියට ඒ අදහස් ඇතිකර ගන්නවා නම්. එහෙම ගත්තොත් එතන ඇත්ත ඇති සැටියෙන් දැකීමක් නැහැ. තව කෙනකුට අවශ්‍ය නම් හිතන්න පුළුවන් “මේ වැලි කැට එක එකක් එක එකක් එකතුවෙලා මේ වැලිගොඩ හැදිලා තියෙන්නේ මෙතන තියෙන්නේ වැලි කැට සමූහයක්” කියලා. එහෙම “වැලි කැට සමූහයක්” කියලා දකින දැකීම අර වැලි ගොඩ එකට ගෙන , අර ඝන වශයෙන් අරගෙන දකින දැකීමට වඩා ටිකක් උසස්. නමුත් ඒකත් ඇත්ත ඇති සැටියෙන් දැකීමක් නෙවෙයි. තව ඊටත් එහා නුවණ තියන කෙනකුට කල්පනා කරන්නට පුළුවන් “වැලි කැට රාශියක් වුණත්, මේ සෑම වැලි කැටයකම තියෙන්නේ එකම ධර්මතාවයක්.ඒක නිසා මේ වැලි කැටයක් යැයි කීවට මේ වැලි කැටය අපි පිටි කළොත්, කුඩු කළොත් එහෙම මෙතන වැලි කැටයක් දර්ශනය වන්නේ නැහැ නේද” කියන අවබෝධය ඇතිවුණොත් ඒ දැකීම, අවබෝධය අර අනිත් අයට වඩා උසස් එකක්.

තවත් කෙනෙක් ඊටත් එහා දියුණු නම් ඒ වැලි කැටය පිටි කළාට පසුව, කුඩු කරලා පිටි තත්වයට පත් කළාට පසුව “මෙතන තියෙන්නේ මූල ධාතු හතරක් හැර අන් කිසිවක් නෙවෙයි” කියලා දැකීමක් ඇතිකර ගත්තා නම් අර හැමදෙනාටම වඩා උසස් දැකීමක් අර පුද්ගලයා ඇති කර ගන්නවා. තවත් කෙනෙක් ඊටත් එහා ගිහින් මේ තියෙන්නේ මූල ධාතු හතරක්, මේ මූල ධාතු හතරේ ස්වරූපය නිරන්තරයෙන්ම වෙනස් වෙන එක , නිතර එක විදියට පවතින ධර්මතාවයක් නෙවෙයි කියලා අවබෝධ කරනවා නම් සැම දෙනාටම වඩා උසස් දර්ශනයක්, ඇත්ත ඇති සැටියෙන් දැකීමක් ඒ පුද්ගලයා ඇති කර ගන්නවා. එතකොට අර වැලි ගොඩ කියලා එකපාරටම දකින දැකීම නැති දෙයක් ඇති ලෙසින් අපි වටහා ගැනීමක්. විදර්ශනාව තුළින් අපි කිරීමට බලාපොරොත්තු වන්නේ නියම තත්වය නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීමට. ඒක අවශ්‍යයි නිවන් යෑමට.
ඒ යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති සැටියෙන් දැකීම අපට ඉතාමත්ම අවශ්යයි නිවන් යාමට.
කුමක්ද මේ “ඇත්ත ඇති සැටියෙන්” කියන්නේ? මේ සංස්කාර ධර්ම වල නියම ස්වරූපය අවබෝධ කරගැනීම. සංස්කාර කියන වචනය විවිධ අවස්ථා වල විවිධ අර්ථ දැක්වීම සඳහා උපයෝගී කරගන්නවා. මෙහිදී මේ සංස්කාර කියන වචනය අපි ප්‍රකාශ කළේ හේතු වලින් හටගත් සංඛත ධර්ම වලට. නිවනින් මෙහා තියන සෑම ධර්මයක්ම සංස්කාර ධර්ම. ඒතකොට ඒ සෑම ධර්මයකම නියම තත්වය කුමක්ද, ඒ නියම තත්වය අවබෝධ කරගැනීමයි විදර්ශනාව තුළින් සිදුවන්නේ.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

සම්පූර්ණ දේශනය ශ්‍රවණය කරන්න.

One thought on “විදර්ශනා භාවනා හැඳින්වීමක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.