මොහසම්බන්ධනො ලොකො – 3 කොටස

15726466_572076019655017_8423125391720286392_n

මේ විදියටම කනට ඇසෙන ශබ්ද ගැනත් කල්පනා කරන්න. තමන්ගේ කන අරගෙන ඒ කන සම්බන්ධයෙන් මම කියන හැඟීම, මගේ කියන හැඟීම කන හා සම්බන්ධව පවතිනවද. මේ කන අනිත්‍යය ධර්මයක්ය කියලා තමන්ගේ සිත තුළ අවංකවම අදහසක් සිත තුල තියනවද? නිකම් මේවා “අනිත්‍යයයි-අනිත්‍යයයි” කියලා හිතන එක නෙවෙයි. අවංකවම කන දිහා බලනකොට සිතින් , සිතට පේනවා නම් මේක අනිත්‍ය දෙයක් ,නිත්‍ය ධර්මයක් නෙවෙයි, මේක මගේ එකක් නෙවෙයි, මට අයත් ධර්මයක් නෙවෙයි. මේක අනාත්ම දෙයක්. මේක ඒකාන්ත වශයෙන්ම, දුක්වූ දෙයක් දුක් ලබාදෙන දෙයක්. මේක දුක්ඛ සත්‍යයක් , දුක්ඛ සමුදය සත්‍යයක්, කියලා අවබෝධ වෙනවද කියලා බලන්න.

කනට ඇහෙන ශබ්ද නිසා තමන්ට කොයිතරම් නම් දුක් සංසාරය පුරා විඳින්නට සිදු වුණාද, අනාගතයෙත් එහෙම්මම විඳින්නට සිදුවෙනවා. තමන් අප්‍රිය කරන ශබ්ද වලට ගැටීම නිසා දුක් වින්ඳා, ඒ වගේම ප්‍රිය කරන ශබ්ද වලට ඇලීම නිසාත් නොයෙක් දුක් විඳින්නට සිදුවෙනවා. ඔය ජාතක කතා වල තියනවා උඩින් යන බෝධි සත්වයෝ සෘද්ධි අභිඥ්ඥා සහිතව, පොළොවේ සිටින ගැහැණු කෙනෙක් කියන කවියක් අහලා ඒ සෘද්ධි නැති කරගෙන ඇවිල්ලා අනන්තවත් දුක් ඒ ජීවිතයම පුරාම ඒ කාන්තාව පෝෂණය කර කරා දුක් විඳපු හැටි ඒ ජාතක කතා වල දැක්වෙනවා. මේ විදියට පමණක් නෙවෙයි එදිනෙදා ජීවිතයේදි නොයෙක් ආකාරයේ ශබ්ද වලට ඇලීම නිසා කොයිතරම් නම් දුකකට පත් වුණාද , සංසාරයේ කොච්චර දුක් වින්දාද කියලා තේරෙනවාද කියලා තමන්ම විමසා බැලිය යුතුයි. මම අද මේ කියන්නේ තමන්ගේ සිත තමන්ම විමසා බැලිය යුතු ආකාරයක්. එහෙම බැලිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වනවා. රාහුල හාමුදුරුවන්ට එහෙම විවිධ තැන් වලදී එහෙම දක්වලා තියනවා. තමන්ගේ අඩුපාඩු තමන්ම විමස විමසා බැලිය යුතුයි කියන කාරුණ.

මෙහෙම බලන කොට කන කියන එකත් ඒකාන්ත වශයෙන්ම දුකක් හා දුක්ඛ සමුදයක්. තමන්ට ඕන විදියට පවතින දෙයක් නෙවෙයි. සෝත විඤ්ඤාණය ගත්තොත් එහෙම මේක “මම අසනවා, මගේ ඇසීම” කියලා හිතනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. දැනීමක් ඇතිවි ඇතිවී – නැතිවි නැතිවි යනවා පමණක් හැර මෙතන වෙන දෙයක් තියනවද කියලා බලන්න. රූපයක් බලනවා කියන්නේ දැනීමක් ඇතිවි ඇතිවී නැතිවි නැතිවී යාමක්. ශබ්දයක් අසනවා කියන්නේ ඒකත්, දැනීමක් ඇතිවි ඇතිවී – නැතිවි නැතිවී යාමක්. තමන්ගේ කැමැත්තට හෝ අකමැත්තට අනුව ඒ දැනීම් ඇතිවුණා හෝ නැතිවුණා නෙවෙයි. හේතු නිසා ඇතිවෙලා නැතිවෙලා යන ඵල ධර්මතාවයක්. මේක හරියට අවබෝධ වෙනවානම් මේවායේ තියන සාරය මොකක්ද කියලා කල්පනා කරන්න. මේවායේ තියන සාරය හරය මොකක්ද ? ඉස්සෙල්ලා ඇහැ ගැන කතා කරද්දි කිව්ව චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙන ආකාරය. ඒවා ඇතිවුණා – පැවතුණා – නැතිවුණා එච්චරයි. නැතිවෙලා ගියාට පස්සේ මොකක්ද ඒකේ හරයක් වශයෙන් ගන්නට තියෙන්නේ. ඇහැට රූපයක් දැකලා රාගයෙන් ඇලි ඇලී බැඳි බැඳී හිටියා කියලා ඒ සිතිවිලි ටික නැතිවුණා, එච්චරයි. ඊට පස්සේ මොකක්වත් නෑ.ඒක කෙරෙහි ගැටි ගැටී හිටියයි කියලා හිතමු, ඒ සිතිවිලි ටික ඇතිවුණා, නැතිවුණා, එච්චරයි. ඒ වගේම තමයි, කනට ශබ්දයක් ඇහිලා ඇලි ඇලී හිටියාම ඒ ඇලීම ටික එතනම නැතිවුණා එච්චරයි.ශබ්දයත් නැතිවුණා, ඇලීමත් නැතිවුණා. නැත්නම් ඒ අසන ලද ශබ්දය කෙරෙහි ගැටීමක් ඇතිවුණා නම් ඒ ශබ්දයත් නැතිවුණා, ගැටීමත් නැතිවුණා, එච්චරයි.මේවා පිළිබඳව තමන්ගේ සිත තුළ යම්කිසි චිත්ත සංස්කාර ඇතිවෙනවා නම් ඒ සියළුම චිත්ත සංස්කාර ධර්ම ඇතිවෙනවා-පවතිනවා-නැතිවෙනවා.

මේවා ඔක්කොම සිදුවන්නේ, මේවා ඔක්කොම උපාදාන කරන්නේ, මම – මගේ කියලා හිතන්නේ, මේවා කෙරෙහි මෝහයෙන් බැඳෙන්නේ, ඒ වගේම උපධි වලින් බැඳෙන්නේ, තනිකරම අවිද්‍යාව තියන නිසා. ඒ අවිද්‍යාව කියන එකත් සිත තුළ තියන චිත්ත සංස්කාර ධර්මයක්. ඒකත් ඇතිවෙනවා-පවතිනවා-නැතිවෙනවා. නිරන්තරයෙන් තියන දෙයක් නෙවෙයි. අවිද්‍යාව කවදා සිත තුළට ඇතුල් වුණාද කියන කතාව කිසිකෙනකුට කියන්නට බැරිදෙයක්. ඒක බුදු හාමුදුරුවොත් එක්තරා සූත්‍රයක දක්වලා තියනවා. අවිද්‍යාව නිරන්තරයෙන්ම සිත තුළ ක්‍රියාත්මක වන්නේත් නෑ. එහෙම නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවානම් ප්‍රඥාවට ක්‍රියාත්මක වන්නට තැනක් නැතිව යනවා.ඒක නිසා ප්‍රඥාව ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාව නැහැ. අවිද්‍යාව පවා අනිත්‍යයට යන සංස්කාර ධර්මයක්.තමන්ගේ සිතින් තමයි මේ විදියට රුප,ශබ්ද, ගන්ධ,රස, පොට්ඨබ්බ කියන සියළුම සංස්කාර ධර්මයන් උපාදාන කරන්නේ. මෝහයෙන් බැඳෙන්නේ. මේවම තමයි තමන්ගේ සිත තුළ සිතිවිලි ධර්ම ඇතිකර දීමට හේතු පාදක වන්නේ. ඇහැ, ඇහැට පෙනෙන රූප.එහෙම නැත්නම් චක්ඛු විඤ්ඤාණ ඇතිවන්නේ නැහැ. කන, කනට ඇහෙන ශබ්ද. එහෙම නැත්නම් සෝත විඤ්ඤාණ ආදී නාම ධර්ම පහළ වන්නේ නැහැ. මේ විදියට ඉන්ද්‍රියන් සහ බාහිර අරමුණු හමුවුණේ නැත්නම් තමන්ගේ සිත ක්‍රියාත්මක වන්නේ නෑ.ක්‍රියාත්මක වන්නට හැකිකමක් නැහැ.

ඒක නිසා ඉන්ද්‍රියන් සහ අරමුණු නිසා පහළ වන මේ සිතිවිලි ධර්ම කෙරෙහි ඇලීම් බැඳීම් ආදී චිත්ත සංස්කාර ධර්ම ජනිත වන්නේ. ඒවාගේම ඒවා කෙරෙහි අවිද්‍යාව ජනිත වන්නේ තමන්ගේම තියන නොදත්කම නිසා. වෙන එකක් නිසා නොවෙයි. මේ සියල්ලම, ඇතිවෙනවා – පවතිනවා – නැතිවෙනවා. සිතින් මේ මුළු විශ්වයක්ම තමා අල්ලාගෙන සිටින්නේ. අපි යම්කිසි දෙයක් ගැන සිත්විලි ඇතිකර ගත්තේ නැත්නම්,ඒ දෙය අපගේ සිත තුළ පවතින දෙයක් නෙවෙයි.විද්‍යමාන වෙන දෙයක් නෙවෙයි. ඕනෑම දෙයක් ගැන සිතිවිලි සිතුවොත් පමණයි ඒ දේ අපගේ සිත තුළ පවතින ධර්මයක් බවට පත්වන්නේ. සිත තුළ දර්ශනය වෙනවා -විද්‍යමාන වෙනවා. නැත්නම් ඒවා නෑ.
මේ අය ඕනම අවස්ථාවකදී නිවෙස් වලට ගියාට පසුව, අපි හිතමු තද බල රාග සිතක් ඇතිවුණාය කියලා, වෙනත් පැත්තකට මේ සිතිවිලි යොමු කරලා බලන්න, එතකොට මේ රාග සිතිවිලි නැතිවෙලා යනවා. ද්වේශ සිතිවිලි ටිකක් ඇතිවෙනවා කියලා හිතන්න. ඒකට පටහැණි වෙනත් පැත්තකට සිතිවිලි ටිකක් සිතන්න. නැත්නම් වෙන මොනවා හරි කායික ක්‍රියාවක නිරතවන්න.රෙදි සෝදනවා-ගෙයක් දොරක් අතුගානවා, මොනවා හරි කායික වැඩක නිරතවන්න. අරවා ඔක්කොම එතනම නැතිවී යනවා. මොකද සිතින් තමයි මේ සෑම ධර්මයක්ම අල්ලන්නේ. සිතින් තමයි මුළු ලෝකයක්ම අල්ලන්නේ. එතකොට මේ සිතේ ස්වරූපය මොකක්ද ? ඒකත් හේතුඵල මත ඇතිවෙන නැතිවෙන ක්‍රියාදාමයක්. තමන්ට ඕන ව්දියට ඇතිවෙන්නෙත් නෑ, පවතින්නේත් නෑ – නැතිවෙන්නෙත් නෑ. මොළේ සෛලයන්ගේ ක්‍රියාදාමය ආදී විවිධ හේතුන් මත සිතක් පහළ වන්නේ. සිත නැතිවන්නේත් ඒ ඇතිවන හේතූන් ඇන්තිවෙන නිසා. එතකොට සිතත් තනිකර අනාත්ම ධර්මයක්. සිතින් තමයි මේ බාහිර ලෝකයක්, තමන්ගේම පංචස්කන්ධ ලෝක අල්ලගන්නේ.

සිත අනාත්ම වනකොට සිතින් අල්ලා ගත්ත දේවල් ඔක්කොම අනාත්ම විය යුතුයි. සිත අනාත්ම වෙනකොට සිතින් අල්ලගත්ත මුළු විශ්වයම අනාත්මයි. කිසිතැනක ආත්මයි කියලා ගන්නට දෙයක් නෑ. සිතින් නේ ආත්ම කියලා ගත්තේ. සිත අනාත්ම නම් ඔතන කිසිදෙයක් ආත්ම කියලා ගන්නට නෑ. සිතින් තමයි මම, මගේ කියලා සිතන්නේ. සිත මගේ නොවනවනම්, මම මගේ කියලා ගන්නට කිසිම දෙයක් නෑ. මේක හොඳට තේරුම් ගන්න. මේක හරියට භාවනා දියුණු කෙනෙක් ඔය තත්වය අවබෝධ කළොත්, මුළු විශ්වයම හිස් වී යන ශූන්‍ය දර්ශනයකට සිත පත්වී යනවා. ඒ ශූන්‍ය දර්ශනය පවා මම හෝ මගේ කියලා හිතනවා නම්, නැත්නම් ඒක කෙරෙහි ඇලීමක් හෝ ඒක මම හෝ මගේ කියලා සිතනවා නම් ඒකත් සිතේ තියන ධර්මයක්.

එම නිසා මේ විදියට තමාගේ සිත මෝහයෙන් වැසී ගොස් ඇති ආකාරය පැහැඳිළිවම අවබෝධ කරගත යුතුයි, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හා ඒ හා සම්න්ධව පවත්නා වූ සිතිවිලි ධර්ම ඇසුරු කරගෙන. ඒ කියන්නේ ඇස, ඇසට දකින රූප, ඒ නිසා පහල වන චක්ඛු විඤ්ඤාණ , රූප සංඥා, රූප විතක්ක, රූප විචාර, ආදී යම්තාක් දේවල් තියනවා නම් සිතිවිලි ධර්ම මේ ඔක්කෝම පිළිබඳව , ඒ වගේම කන, කනට ඇසෙන ශබ්ද, ඒ නිසා පහළ වන සිතිවිලි ධර්ම. අනෙක් ඉන්ද්‍රියන් හා ඒවාට හමුවන අරමුණු නිසා පහළ වන සිතිවිලි ධර්මයනුත් තුළ පවත්නා වූ , ක්‍රියාත්මක වන්නා වූ තමාගේ සිතේ පවතින අවිද්‍යා අඳුර දෙස බලන්න . තමාගේ සිත අඳුරින් වැසී ගොස් ඇති ආකාරය දකින්න. මේක දකිනකොට ප්‍රඥාවක් මතුවන්නේ. එහෙම දකිනකොට මේ සියල්ලම අනාත්ම ලක්ෂණයැයි හරියටම තමාට වැටහෙනවා නම්, තමන්ගේ සිත අනාත්ම නම් මුළු ලෝකයම, මුළු විශ්වයම අනාත්මයි කියලා හිතනවා නම් මෙතෙක් කල් මේවා ආත්ම වශයෙන් අරගෙන, උපාදාන කරගෙන මේවට ඇලිලා බැඳිලා, සංසාරය පුරා දුක්ඛ සත්‍යම නැවත නැවත උපදවා ගත්ත එක කොයිතරම් නම් මෝඩකමක්ද, මේ සියල්ලම මම දැන් සිතින් අතහරිනවා කියලා ඒ වෙලාවට සිතින් ඉබේම අත හරින්නට පුළුවන්. ඉබේම අතහැරී යනවා.

අතහැරී ගියේ නැත්නම් මේ සියල්ලම මම සිතින් අතහරිනවා කියලා අතහරින්න. අත හැරියොත් එහෙම සම්පූර්ණයෙන්ම තමාගේ සිත හිස් භාවයකට පත්කර ගන්නට පුළුවන්. ඒ හිස් භාවයට පත්වෙච්ච පුද්ගලයාගේ සිත තුළ කිසිම කිඤ්චනයක් නෑ; බැඳීමක් නෑ. මොකද යථාභූත ඥාණ දර්ශනයකින් මේ පංචස්කන්ධ ලෝකයම දැක්කේ.”පස්සතො නත්ථි කිඤ්චනන්” කියලා ඒකනිසා මේ ගාථාවේ දැක්වෙනවා අවසානය වශයෙන්.ඇත්ත ඇති සැටියෙන් දකින පුද්ගලයාගේ සිත තුළ ඔය බැඳීම් මොකක්වත් නෑ. ” රාගො කිඤ්චනං, දොසො කිඤ්චනං, මොහො කිඤ්චනං” ඒ ශූන්‍ය භාවයට පත්වූ සිත තුළ රාගයකුත් නෑ, ද්වේශයකුත් නෑ, මෝහයකුත් නෑ, වෙනත් කිසිම චිත්ත සංස්කාර ධර්මත් නෑ.
එතන තියෙන්නේ සියුම් දැනීමක් පමණයි.ඒ දැනීම පවා තමාගේ දෙයක් නෙවෙයි, තමාට අයත් දෙයක් නෙවෙයි. තමා නෙවෙයි, තමාට අයත් දෙයක් නෙවෙයි. ඒකත් නිරන්තරයෙන්ම පවතින දෙයක් නෙවෙයි, අනිත්‍ය දෙයක්. ඒකත් අභිසංඛත, අභිසංචේතීථ ධර්මයක්. ඒ කියන්නේ තමන් මේ විවිධාකරයෙන් ඒක ලැබීමට සුදුසු ආකාරයෙන් සිතලා සිතලා නිසි පරිදි අවබෝධයන් ඇතිකර ගැනීම තුළින් ජනිත කරගත්තු දෙයක්. ඒකයි, අභිසංඛතං, අභිසංචේතිථං කියන්නේ. “යංකිඤ්චි අභිසංඛතං, අභිසංචේතිථං තද නිච්ඡං නිරෝධ ධම්මං” යම්කිසි දෙයක් ඒ ආකාරයෙන් අභිසංඛත වෙනවා නම්, අභිසංචේතිථ වෙනවා නම්, ඒක අනිත්‍යයි. නිරුද්ධ වී යන ධර්මයක්. ඒ තත්වය හරියට දකින කෙනා ආශ්‍රවයන් ක්ෂය කරනවා ඒ ඒ මාර්ගයට සුදුසු සුදුසු පරිදි. මේක දැකීමෙන්ම ආශ්‍රවයන් ක්ෂය කරලා නිවන් ලබන්නට පුළුවන්, තමන් නිවන් ලැබීමට අවශ්‍ය වන ආකාරයෙන් සතිය, සමාධිය, ප්‍රඥාව, ආදී ඒ නිවන් ලැබීමට අවශ්‍ය සියලුම කරුණු සම්පූර්ණ කරලා තියනවානම්. චතුරාර්‍ය සත්‍යය් ධර්මයන් පිළිබඳ අවබෝධය, පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ අවබෝධයන් ආදි කරුණු තියනවා. ඒවා පිළිබඳ මේ අයට පසුගිය දේශන වලදී අවශ්‍ය කරුණු ඉදිරිපත් කරලා තියනවා. ඒවා ගැන පැහැඳිළි අවබෝධයකුත් තියනවා නම් මේ විදියට කටයුතු කිරීම තුළින් මේ ක්‍රියාදාමයම වුවත් මේ අයට ප්‍රමාණවත් වේවී නිවන් සුව ලබා ගැනීම සඳහා.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.