අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..
සම්මා වායාම : සම්මා වායාමයට කුශල් පැත්තෙන් කොටස් දෙකකුත්, අකුශල් පැත්තෙන් කරුණු දෙකකුත් දේශනා කර තිබෙනවා.
මේ දක්වා කරලා නැති අකුශල් ඉදිරියේදීත් නො කර සිටීමට උත්සාහ ගැනීමත්, මේ දක්වා යම් යම් අකුශල කර්ම තමා අතින් සිදුවුණා නම්, ඒ අකුශල් මීට පසුව නො කර සිටීමටත් උත්සාහ ගැනීම අකුශල පැත්තෙන් දේශනා කර ඇති කොටස් දෙක. මේ දක්වා තමා විසින් කර නැති කුශල් දියුණු කර ගැනීමට උත්සාහවත් වීමත්, මේ දක්වා තමා විසින් කර ඇති කුශල් තව දුරටත් වැඩියෙන් වැඩියෙන් කිරීමටත් උත්සාහ ගැනීමත් කුශල පැත්තෙන් දැක්වෙන කරුණු දෙක යි.
භාවනාවට අදාළ වන හැටියට නූපන් කුශල ධර්ම තේරුම් අරගෙන ඒවා දියුණු කිරීමට උත්සාහ ගත යුතු යි. මේ දක්වා තමාගේ සිත තුළ සිත එකඟ කර ගන්නට නො හැකි නම් එය නූපන් කුශල ධර්මයක්. තමාගේ සිතේ සමාහිත බවක් නැත්නම් , සිතේ සමාධිය වැඩී නැත්නම්, රූපාවචර පළමුවෙනි ධ්‍යානයවත් මේ දක්වා ඇතිවී නැත්නම් ඒවා නූපන් කුශල ධර්ම . ධ්‍යාන සිතක් උපදවා ගෙන ඇති කෙනකුට එයින් එහාට ඇති ධ්‍යාන සිත් නූපන් කුශල ධර්ම. අඩු වශයෙන් සිතේ එකඟබවවත් ඇති කර ගැනීමට භාවනාව මුල සිට පුරුදු කරන අය උත්සාහ ගත යුතු වනවා.
විදර්ශනා පැත්තෙන් බලන විට මේ දක්වා තමාගේ සිත තුළ ඇති නොවූ ධර්ම රාශියක්ම තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යය , සමුදය සත්‍යය, මාර්ග සත්‍යය ගැන නිවන් දැකීමට සුදුසු මට්ටමේ අබබෝධයක් බොහෝ දෙනකුට නැහැ . බොහෝ දෙනෙක් සසරේ ගමන් කිරීමට අවශ්‍ය දේවලම නිරත වනවා විනා සසරින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පූරණය කිරීමට කටයුතු නො කරන්නේ දුක්ඛ සත්‍යය ගැන නිසි අවබෝධයක් නැති නිසා.
“මහණෙනි, ඔබලා සසරේ විඳින ලද දුක දන්නවා නම්, ඔබලාගේ ඇඳගෙන සිටින රෙදි ගිනි ගත්තත් ඒ ගිනි නිවන්නට නො වෙයි ඔබලා උත්සාහ ගන්නේ, අවබෝධ නො කළ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට යි” කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.
මේ දක්වා සසර පුරා කොච්චර නම් දුකක් විඳලා තිබෙනව ද, සතර අපායන්ට වැටී කොච්චර නම් දරුණු දුක් වින්ද ද, සෝවන්වත් නො වුණොත් කොච්චර නම් කාලයක් සසරේ ඉදිරියේ දීත් දුක් විඳින්නට සිදුවෙයි ද කියලා තරමක හෝ හැඟීමක් ඇතිකර ගන්නට උත්සාහවත් වන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මනුෂ්‍යයකුට මැරුණාට පස්සේ සුගතියක උපදින්නට ලැබෙන්නේ නියපොත්තක් උඩට ගත් පස් ටිකක් වගේ සුළු දෙනකුට පමණ යි, පොළවේ පස් තරම් වාගේ බොහෝ දෙනෙක් උපදින්නේ දුගතිවල කියලා. කොච්චර නම් අවදානම් තත්ත්වයක ද ඔබ සිටින්නේ කියලා තේරුම් ගන්න.
දුක්ඛ සමුදය සත්‍යය ( නැවත නැවත ඉපදෙමින් සසර දුක් විඳින හේතුව ) එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාත්මක වන හැටිත්, සසර දුක නැති වී නිවන් ලැබෙන මාර්ගය වූ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ය සත්‍යයත් තේරුම් ගැනීමට ද උත්සාහ ගන්න. පොත්වල මේ පිළිබඳව තිබෙන කරුණු කියවා මතක තබා ගත් පමණින් මේවා අවබෝධ කර ගත්තා කියා රැවටෙන්නට එපා.
රූප- වේදනා- සංඥා-සංස්කාර- විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් ගේ යථා ස්වරූපය තමා විසින්ම අවබෝධ කර ගත යුතු වනවා. පංචස්කන්ධය නිරන්තරයෙන්ම වෙනස් වන අනිත්‍ය දෙයක් බවත්, පංචස්කන්ධය පවතින තාක් කල් ඒ තුළින් දුකක්ම ඇතිවන බව හා පංචස්කන්ධයම දුක්ඛ සත්‍යයක් මෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වන බවත්, ඒවා තමාට ඕනෑ විධියට පවතින්නේ නැති හේතුඵල ක්‍රියාදාමයක් විනා ඒවා තමාගේ හෝ තමාගේ ආත්මයක් නො වන බවත් තමන් විසින් ම අවබෝධ කර ගත යුතු යි. වෙනත් කෙනකු කියන දෙයක් අසාගෙන සිටි පමණින් හෝ ඒ ගැන සිත-සිතා සිටි පමණින් නිවන් දැකීමට ලැබෙන්නේ වහවහා නිවන් දැකීමට හැකි වන සේ පාරමී පුරා ඇති කෙනකුට පමණක් බවත් තේරුම් අරගෙන ඒ කරුණු තමා විසින්ම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වනවා.
පංචස්කන්ධ පැවතීම කෙරෙහි කලකිරීමක් (නිබ්බිදාවක්), ඒවා කෙරෙහි නො ඇල්මක් (විරාගයක්) ඇති වී පංචස්කන්ධ ධර්ම සිතින් ගිලිහී යාම (නිරෝධය) ප්‍රත්‍යක්‍ෂ ලෙස භාවනාවෙන් අත්දැක ඒවා සම්පූර්ණයෙන් ම සිතින් අතහැරී යාමෙන් (පටිනිස්සග්ගයෙන්) කෙනකුට නිවන මේ ජීවිතයේදී ම වුවත් අත්දකින්නට පුළුවන්.
පංචස්කන්ධ ධර්ම වශයෙන් එසේ බැලීමට නො හැකි කෙනකුට ඒවා නාමරූප ලෙසින් හරි, පඨවි- ආපෝ- තේජෝ -වායෝ- ආකාශ- විඥාන ධාතු වශයෙන් හරි, ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන (චක්ඛායතන ආදී) වශයෙන් හරි, බලන්නට පුළුවන්. තවත් බැලිය හැකි වෙනත් ආකාරත් තිබෙනවා.
සම්මා සති : බොහෝ විට බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සතිය විස්තර කර ඇත්තේ කාය-වේදනා-චිත්ත-ධම්ම කියන සතර සතිපට්ඨාන ධර්මයන් වශයෙන්. සම්මා සතිය දියුණු කර ගැනිම, සම්මා සමාධිය දියුණු කර ගැනීමටත් ඉතාමත් ම අවශ්‍ය වනවා. සම්මා සමධිය අනිවාර්යයෙන්ම අවශ්‍යයි සම්මා දිට්ඨිය තුළින් දැකිය යුතු පංචස්කන්ධ ආදී ධර්මයන්ගේ යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගන්නට. සම්මා දිට්ඨිය තුළිනු යි නිවන් දැකිය හැක්කේ. සම්මා සමාධියෙන් ලැබිය යුතු අනුබලය සම්මා දිට්ඨියට ලැබෙන්නට ඕනෑ අනිවාර්යයෙන් ම නිවන් දැකීමට නම්.
සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කිරීමට පෙර සම්මා සතිය දියුණු කර ගැනීම සඳහා , පහසුවෙන් සිත එකග කර ගැනීමට හැකිවනු පිණිස ඒ ඒ පුද්ගලයාට සුදුසු ගැළපෙන පරිකර්ම වචනයක් එදිනෙදා ජීවිතයේ දී භාවිතා කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වනවා. සැම දෙනාටම වාගේ ගැළපෙන පරිකර්ම වචනයක් තම යි තායිලන්තයේ බොහෝ භාවනා මධ්‍යස්ථානවල ප්‍රගුණ කරනු ලබන ” බුද්ධෝ” කියන වචනය. මෙය බුදුගුණ භාවනාවක් නො වෙයි.
එදිනෙදා ජීවිතයේ දී කායික ක්‍රියා කරන විට ‘බුද්ධෝ-බුද්ධෝ-බුද්ධෝ….’ කියා සිහි කරමින් ඒ ක්‍රියාවන් සිදුකරන්නට පුළුවන්. ලෝභ, දෝෂ ආදී නොයෙකුත් දේවල් සිත-සිතා ඒ කායික ක්‍රියා මෙතෙක් කල් කරමින් සිටියත්, මේ අයට පුළුවන් එලෙසින් එදිනෙදා ජීවිතයේ දී කායික ක්‍රියා කරන විට ‘බුද්ධෝ-බුද්ධෝ-බුද්ධෝ….’ කියා සිහි කරමින් ඒ ක්‍රියාවන් කරන්නට. ඒ වගේම එදිනෙදා ජීවිතයේ දී තරහ සිතක් ඇතිවන විටම ‘තරහක් තරහක් තරහක්… ‘ කියා සිහිකර, ඒ එක්කම බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියා වැඩි වෙලාවක් සිහිපත් කළ විට ඒ ඇතිවූ පාපකාරී තරහව නැති කර ගෙන සිත කෙලෙස් වලින් මුදා ගෙන සිටින්නට පුළුවන්.
මේ වගේම රාගයක්, ඊර්‍ෂ්‍යාවක්, දැඩිලෝභයක් , අමනාපයක්, නුරුස්නා ගතියක්, නොසතුටක් වැනි කවර ආකාර හෝ අකුශල් විතර්ක ඇතිවූ විට රාගයක්-රාගයක්-රාගයක්, ඊර්‍ෂ්‍යාවක්-ඊර්‍ෂ්‍යාවක්-ඊර්‍ෂ්‍යාවක්, දැඩි ලෝභයක්-දැඩි ලෝභයක්-දැඩි ලෝභයක්…… කියා සිහි කර, බුද්ධෝ කියන වචනය හැකි තරම් වේලාවක් සිහි කළහොත්, මේ අයට හැකියාව ලැබෙනවා කෙලෙස් වලින් සිත මුදා ගෙන , පිරිසුදු සිතක් ඇතිව, සැනසිලිදායක ලෙසින් ජීවිතය පවත්වා ගෙන යන්නට. මෙහි දී සිදු වන්නේ අකුශල විතර්ක, කුශල විතර්ක තුළින් මැඩ ගැනීමක්.
දවසේ වැඩි කාලයක් මෙලෙසින් කටයුතු කරන විට, සතිය දියුණු කර ගන්නටත්, එම නිසාම සිත එකග කර ගෙන සිතේ සමාහිත භාවයක් ඇතිකර ගැනීමටත් බොහෝ දෙනකුට හැකිකම තිබෙනවා. සමහර අයට පමණක් සිතේ සමාධිය ඇති කර ගන්නට පුළුවන්. තීක්‍ෂණ ප්‍රඥාවක් ඇති කෙනකුට බුද්ධෝ කියන වචනයේ අර්ථය හදවත තුළින් මතුවි-මතුවී එමින්, බුදුරජාණන් වහන්සේ කුමන කුමන ධර්ම තමන් වහන්සේ විසින්ම අවබෝධ කර ගෙන , කොයි කොයි ආකාර වලින් ඒ ධර්ම ලෝක සත්ත්වයාට අවබෝධ කර දුන්නා ද ආදී කරුණු තමාගේ හදවත තුළින් ම ගැඹුරින් අවබෝධ වෙමින් විදර්ශනා භාවනාව පැත්තට නිරායාශයෙන් ම හැරෙන අයුරු අත්දකින්නට පුළුවන්. නිවන අත්දැකීමටත් එය හේතු වනවා.
සම්මා සමාධිය : සම්මා සමාධිය කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් උපදවා ගත් රූපාවචර පළමුවෙනි, දෙවැනි, තුන්වැනි සහ හතරවන ධ්‍යානවලට. අරූපාවචර ධ්‍යාන හතරත් සම්මා සමාධියටම යි ඇතුළත් වන්නේ . ධ්‍යාන සිතක් උපදවා ගන්නට භාවනා කළ යුතු ම යි. අද කාලෙත් ධ්‍යාන ලාභීන් සිටින බව අවබෝධ කර ගෙන සම්මා සමාධිය ඇති කර ගැනීමට උත්සාහවත් විය යුතු යි.
ඒ සඳහා තමන්ට පහසුවෙන් කළ හැකි, ඒ වගේම වගේම පහසුවෙන් සිත එකඟ කර ගත හැකි භාවනා අරමුණක් තෝරාගෙන කිරීම යි වඩා සුදුසු. පළපුරුදු කර්මස්ථානාචාර්ය වරයකුට මෙය තරමක් හෝ නිවැරැදි අයුරින් තීරණය කළ හැකි විය හැකි වුණත්, එවැනි කෙනකු සොයා ගැනීමට තමන්ට නො හැකි නම්, භාවනා කිරීමට ප්‍රථමයෙන් බොහෝ දෙනකු විසින් කරනු ලබන බුදුගුණ, මෛත්‍රි, අසුභ, මරණ කියන චතුරාරක්ඛ භාවනා එකිනෙකක් කර, ඒ අතුරෙන් වඩා පහසුවෙන් තමන්ට කළ හැකි භාවනා ක්‍රමය වැඩි වේලාවක් ප්‍රගුණ කරන්නට පුළුවන්.
භාවනා කරන විට, හරි අත්දැකීමක් නො ලබාම සම්මා සමාධියයැ’ යි මිච්ඡා සමාධියකට මුලා විය හැකි අවස්ථා ඇති බැවින් එවැනි අවස්ථාවල දී සුදුසු කෙනකුගෙන් උපදෙස් ලබාගැනීම කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රතිවිරුද්ධ කරුණු අටට ප්‍රකාශ කර ඇත්තේ ‘අට්ඨ මිච්ඡත්ත’ කියල යි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නො වෙයි, මිච්ඡා දිට්ඨිය; සම්මා සංකප්ප නොවෙ යි, මිච්ඡා සංකප්ප…. මේ ආදී වශයෙන් දැක්වෙන නිවැරැදි මාර්ගයට ප්‍රතිවිරුද්ධ අංග අටට.
මේ දක්වා කීවේ ත්‍රිශික්‍ෂාව සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව ඉතා කෙටි හඳුන්වාදීමක්.
මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ලිපියක් ඇසුරෙනි..