ගමනාන්තය !

නොයෙක් ගමනාන්ත ඇත.. එකම ගමනාන්තයට යෑමට විවිධ මාර්ග ඇත. එක් එක් ගමනාන්ත්යේදී ලැබෙනා දේ විවිධය.. එක් එක් මාර්ගයේදී ලැබෙනා අත්දැකීම් විවිධය. ඇතැම් මාර්ග කටුකය. දුෂ්කරය. ඇතැම් මාර්ග කෙටිය. මේ සියළු ගමනාන්ත මාර්ග අපව කැඳවාගෙන යන්නේ දුකක්ම පිණිසය. කෙටි කාලීනව සැපක් සේ පෙනෙන සියළු ගමන් හා ගමනාන්ත ඇත්තෙන්ම දුකය. ඒ බව වැටහෙන්නේවත් නැතිව මුලාවක සිටීම එහි ඇති ලොකුම දුකය… බයංකර බවය…!

සියළු ගමනාන්ත ඇත්තෙන්ම ගමනාන්තයක් නොවේ. නමුත් නිවන නම් වූ ගමනාන්තය සැබවින්ම ගමනාන්තයකි. එය එසේ මේසේ ගමනානතයක් නොව සදාකාලික නිමාවකි… අති දීර්ඝ සංසාරයක නිමාවකි. වචනාර්ථය ඉක්මවා ගිය සුවයකි. සැපයකි. සැනසීමකි. ඒ ගමනාන්තයට ඇත්තේ එකම මඟකි. ඒ මඟ සැපය. සුවදායකය. මුලාවීම් වැරදීම් නැත. ඒ මඟට පිළිපන් කෙනා දිනෙන් දින නිසැක වශයෙන්ම ගමනාන්තයට ළඟාවීම නිසැකය. එය වැළැක්වීමට කිසිවකුටත් නොහැකිය. ඒ මාර්ගයේ ගමන් කළ යුත්තේ කිසිවකුගෙන් අසා නොව තම හදවතින්ම අසා ගෙනය. වැරදෙන විට තමන්ටම තේරෙයි.. එසේ තේරෙන්නේ අවංක වූ විට පමණි.

ඒ ගමන් මාර්ගය නම් , ඒකාන්ත මාර්ගය නම්, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ මාර්ගය පළමුවරට සොයාගැනීම ඉතාමත් අපහසුය. ඒ මාර්ගය සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ අති විශේෂ පුද්ගලයකුට පමණි. ඒ සඳහා අපට සිතා ගත නොහැකි තරම් අති දීර්ඝ කාලයක් සසරේ ඉපිද මැරෙමින් වීර්යය අත් නොහරිමින් ප්‍රඥාව පිරිය යුතුය. සිත පිරිසිදු කරගත යුතුය. පාරමිතා පිරිය යුතුය. ඒ මාර්ගය සොයා ගත හැකි වන්නේ එසේ ජීවිත පරිත්‍යාගයෙන් පාරමී පුරන ලද සම්මා සම්බුදු රජාණන් වහන්සේ නම් වූ අති උතුම් මනුෂ්‍ය රත්නයකට පමණි . ඒ මාර්ගය නොමැතිව අනන්ත වූ කාලයක් පුරාවට සියළුම සත්වයන් මහා මුලාවක පැටළී සිටිති. ඉපිද මැරීම නම් වූ ප්‍රවාහයට අනන්ත අප්‍රමාණ වාරයක් යටත්ව දුක් විඳිති.

ඒ මාර්ගය යහපත් දැකීමය.. යහපත් සිතිවිලිය.. යහපත් වචනයය..යහපත් ක්‍රියාවය. යහපත් දිවි පැවැත්මය, යහපත් වීර්යය, යහපත් සතිය, සහ යහපත් සමාධිය නම් වූ අංග අටකින් යුතු මාර්ගයයි.. මේ මාර්ගය ප්‍රධාන අංග අට මෙසේ බෙදා දක්වා තිබේ. ඒ මාර්ගයේ ඉදිරියට ගමන් කරද්දී මේ අංග අටම හෝ කිහිපයක් හෝ එක විටම වැඩෙමින් ඉදිරියට ගමන් කරයි. දිනෙන් දින නිවනට ළං වෙයි..

නිවන දැකීමට අවශ්‍ය නම් මේ මාර්ග අංග වඩවා ගැනීමකින් තොරව කිසිදා නිවන් දැකිය නොහැකිය.
සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැක්ම සම්පූර්ණත්වයට පත්වන්නේ රහත් ඵලයෙනි. නමුත් මේ මාර්ගය ආරම්භ වන්නේද සම්මා දිට්ඨියෙනි. අප නිවන් දැකිය යුතුය යන අවබෝධයට පත්වන්නේද සම්මා දිට්ඨියේ ප්‍රතිඵලයක් ලෙසිනි. සසරේ රැඳී සිටීමේ භයානක බව, නිරර්ථක බව සුළුවෙන් හෝ අවබෝධ වී නිවන් දැකීමට වෙහෙසීම සම්මා දිට්ඨියට ඇතුළත්ය. සසර පිළිබඳ අවබෝධය පුළුල් වත්ම දුක්ඛ සත්‍ය පුළුල්ව අවබෝධ වේ. අප ජීවිතයේ නොයෙක් ආකාරයේ දේවල් වලට ප්‍රමුඛතාවය දෙමින්, නටමින් ගයමින් විනෝදයෙන් කල් ගත කළේ වතුර රත්වන තෙක් නටන කකුළුවන් මෙනි. තාවකාලිකය. සුළු මොහොතකින් වැටෙන්නට යන ආගාධය අපට නොපෙනේ. සම්මා දිට්ඨිය තුළින් ඒ අවධානම අපට අවබෝධ වෙයි. අප වහ වහා නිවන් මඟට අවතීර්ණ වෙයි. එයවත් නොමැති නම් සම්මා දිට්ඨියේ මූලික තැනවත් කෙනෙක් නොසිටී..

නිවන් දැකීමට නම් අප අවබෝධ කරගත යුතු දේ බොහෝය. පංචස්කන්ධය ගැන ත්‍රිලක්ෂණය ගැන පටිච්ඡ සමුප්පාද ධර්මයන්, ආයතන ආදී දේ ගැන ශෘතමය, චින්තාමය හා ප්‍රත්‍යක්ෂමය වශයෙන් අවබෝධ කරගත යුතුය. මේවා අවබෝධ කරගන්නට වීර්ය වඩද්දී ප්‍රඥාව පුළුල් වෙයි. ප්‍රඥාව පුළුල් වද්දී මේවා පහසුවෙන් අවබෝධ වෙයි. සිත නිරතුරුව අපිරිසිදු තත්වයේ පවතින නිසා පැහැඳිළි පිරිසිදු සිතකට පමණක් මේ සත්‍ය ධර්මයන් අවබෝධ වෙයි. ඒ සඳහා සම්මා සමාධිය තිබිය යුතුය. එනම් භාවනාව වැඩිය යුතුය.. භාවනාව වැඩෙන්නේ සතිමත් සිතකය. එනම් සම්මා සතිය තිබිය යුතුය. සතිය කුඩා කුඩා පියවර වලින් ආරම්භ කළ හැක. නමුත් සතිය හා සමාධිය වැඩීමට නම් තමන්ගේ සීලය පිරිසිදු විය යුතුය. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය යන අංග වැඩිය යුතුය. තමන්ගේ කායික , වාචසික ක්‍රියාවන් පවිත්‍ර විය යුතුය. බොරු කේලාම් පරුෂ වචන, සම්ප්‍රප්පලාප ආදීය ඔබේ සතිය දුර්වල කරයි. සිත අපිරිසිදු කරයි. සමාධිය දුර්වල කරයි. සම්මා වාචා වැඩීම අනිවාර්යය වන්නේ එනිසයි. එසේම ප්‍රාණඝාත, සොරකම්, වැරදි කම්සැප විඳීම්, මත් වතුර වැනි දෑ පානය කිරීම්, අන්සතු දේ ගැනීම් ආදීය කරමින් කිසිදා නිවන් මගක් විවෘත වන්නේ නැත. ඒ කායික පවිත්‍ර භාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුය. පිරිසිදු ලෙස අවංකව ජීවන වෘත්තියක යෙදිය යුතුය. පව් රැස් වන රැකියාවන් නොකළ යුතුය. කරන රැකියාව ධාර්මිකව කල යුතුය. මෙය සම්මා ආජීවයයි.

මේ අංග සුළුවෙන් තැකීම කිසිවිටෙකත් කල නොහැක. භාවනා කිරීම යනු එක් අංගයකි. මේ අනෙක් අංග දුර්වල නම්, පළුදු වී ඇත්නම් නිවන නොලැබේ. මේ සියල්ලම කළ හැක්කේ වීර්යයවත් කෙනෙකුට පමණි. කායික වීර්යය මෙන්ම ප්‍රධානව අවශ්‍ය වන්නේ මානසික වීර්යයි. මාර්ග අංග අට වැඩීම සමගාමීව සිදු කල යුතුය.
භාවනාව පමණක් ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට භාවනාව වැඩෙන්නේ අනිත් දේවල් පිරිසිදු නම් පමණි.

ඔබට භාවනාව නොවැඩේ නම් ඔබ බැලිය යුත්තේ ආපස්සටයි. මෙසේ බැලීමට නම් අවංක හිතක් තිබිය යුතුය. නිවන අවබෝධයට උවමනා ප්‍රධානම දෙය නම් තමන්ට තමන් අවංක වීමයි. ප්‍රථිපල ලැබෙන්නේ තමන්ටය. මෙය සිතත් සමඟ යන ගමනකි. කිසිවකුත් නොදැන මේ ලොකයෙන් නිවී ගිය රහතන් වහන්සේලා ගණන කොපමණක් වන්නට ඇත්ද… මෙය නිහඬ ප්‍රතිපදාවකි. ලෝකයට විවෘත කරමින් සිදු නොකරන පටිපදාවකි.. සිතෙන් යන පටිපදාවකි. ඔබ නිවන් මාර්ගය වඩන කෙනෙක් බව ඔබ සමීපතමයා නොදනී.. ඔබ නිවන් අවබෝධ කළ බව ඔබෙ එහා පැත්තේ සිටින කෙනා වුව නොදනී. එය තමන් තුළින් දකින තමන් තුළින් යන ගමනකි. පිටත ලෝකයක් නැත. තම සිත දෙසට හැරී බලන්න.
භාවනාව නොවැඩේ නම්… සිත පිට යන්නේ නම්… පලමු හේතුව… සම්මා සතිය දුර්වල බවයි.. ඒ සඳහා කළ යුතු ක්‍රම ගණනාවක් ඇත.. සතිය දුර්වල වන්නේ සීලය අපිරිසිදු වීම නිසාද විය හැක. අධික තණ්හාව, ලෝභය ආදිය දේ නිසාද සතිය දුර්වල වේ. ලද දෙයින් සතුටු වී, අල්පේච්ඡ වී නිවන් මඟ වඩන්න. ප්‍රතිඵල ලැබෙන්නේ බලා සිටියදීය..

මිනිසුන් සිතන්නේ මේ ජීවිතය ලැබී ඇත්තේ සල්ලි ඉපයීමට බවය. දරුවන් සැදීමට බවය. ඉගෙන ගැනීමට බවය. මෝඩකම නිසා මෙසේ දෘෂ්ඨි ගත වෙයි. සංසාරයේ මේ දේවල් කළ ප්‍රමාණය මහා සාගරයේ , මහා පොළොවේ වැලි කැට ගණනටත් වැඩිය.. මේ විශ්වයට පහල වූ බුදු වරු ගණන ගංගා නම් නදියේ වැලි කැට ගණනටවත් උපමා කල නොහැකි තරම් වැඩි බව අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඒ සෑම වතාවකම අපත් සසරේ ඉගෙන ගනිමින්, කම් සැප විඳිමින්, අපා දුක් විඳිමින් සිටින්නට ඇත. මේ කුඩා තිතක් සඳහා වෙහෙසෙන ප්‍රමාණය, දුක් වෙන ප්‍රමාණය, නිවන් මාර්ගය පෙනි පෙනී කාමාශාවන්ට , යට වෙන ප්‍රමාණය…, මෝඩකමේ ප්‍රමාණයයි..!

විශ්වයට බුදුවරු පහල වන්නේ කල්ප කෝටි කෝටි ගණනකට පසුවය.. ලොවට නිවන් මාර්ගය විවෘත වන්නේ කල්ප කෝටි ගණනකට පසුවය.. මේවා හදවතට නොදැනෙන්නේ ඔබේ අවිද්‍යාව නිසාය.
කල්පය කොපමණද යන්න දැන ගන්න. අනු කල්ප, මහා භද්‍ර කල්ප, සක්වල ආදී දේ ගැන දැන ගන්න. බුදු වරු පහළ වීමේ දුර්ලභ බව අවබෝධ කරගැනීමට එක පැයක් යොදවන්න… ඔබ ඉකිගසා හඬනු ඇත… මේ දුර්ලභ බවට මා අසුවූයේ කෙසේද යන්න දැන ගත් විට ඔබ විශ්මයට පත්වනු ඇත. මේ ක්ෂණ සම්පත්තියට මාද අසුවුණා නොවේද යැයි ඔබ පුදුමයට පත් වනු ඇත..

මේ විශ්වයේ අනන්ත සංසාරයක් පසු කරමින්, සක්වල කෝටි ගණනක් අතරින් මේ සසරින් නික්මෙන ප්‍රතිපදාව දේශනා කරන මේ ක්ෂණය ඔබට අත්වීමේ උපමාව…. ,
මහා ඝන අන්ධකාරයක… දුන්නත්, ඊතලයත් ඔබ අත ඇත්නම්… ක්ෂණයකට ගසන අකුණු සැර එළියෙන් ඉලක්කයට විඳීම වැනිය…

දුන්න ඔබ අතය… ඊතලය ඔබ අතය…. කල්ප කෝටි ගණන් දුක් විඳ ඔබ එය ලබා ගත්තේය… මහා භද්‍ර කල්ප, සක්වල ගණන් පසු කරමින් ඝන අන්ධකාරය නිම කරවමින්… අකුණු සැරය දැන් පහළව ඇත… එනම් ලෝකය ඉක්මවා යන මඟ… මේ සිර මැදුරෙන් මිදෙන මඟ… අන්ධකාරය ඉක්මවා සම්මා සම්බුදු පියාණන් නම් වූ ආලෝකය උදා වී ඇත…
දුන්නත්, ඊතලයත් අතැතිව, ආලෝකයක් නොමැතිව ඉලක්කය වරද්දවා ගත් වාර ගණන අසංඛෙයිය ගණන්ය… අකුණු සැර ගැසුවද දුනු ඊතල නොමැතිව අසරණව සිටි කාල අපමණය…

එනමුත් දැන් දුන්න ඔබේ අතය… ඊතලය ඔබේ අතය… අකුණු සැරය දැන් පතිතව ඇත…ඒ ක්ෂණයක් බව ඔබ දනී… ඉලක්කය ඈතින් පෙනෙනවා නොවේද….
වීර්යය ගන්න…අධිෂ්ඨානය ගන්න… ඈතින් පෙනෙන ඉලක්කය වෙත දැඩි අධිඨනින් ඊතලය මුදා හරින්න…. ඔබට එය හැකිවනු ස්ථිරය…
මේ අකුණු සැරය නිවී යාමට නොදී කල්ප ගණන් ….සදාකාලිකව…. මහා ඝන අන්ධකාරයේ සිරගත නොවන්න….
අතහරින්න ඔබ වටිනාකම් දී ඇති සියළු දේ…

බුදු බණ අසන්න.. වේගයෙන් ගෙවී යන මේ ක්ෂණය….වචන වලින් විස්තර කල නොහැකියි…. එය ඔබ හදවතටම දැනී යා යුතුය.. අප්‍රමාදී වන්න…

අප්පමාදේන සම්පාදේත….!!!!

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.