පැවැත්ම නතර කළ යුත්තේ ඇයි?

බුදු දහමේ කෙළවර නම් නිර්වාණයයි.. පැවැත්ම දෙසට පවතින ලෝකය තුළ පැවැත්ම නතර වීමයි. ලෝකයේ පැවත්ම තිබෙන්නේ තෘෂ්ණාව පවතින තාක් පමණි. තෘෂ්ණාව ගිලිහී ගිය විටක යළි පැවැත්මක් නැත.

පැවැත්ම නතර කළ යුත්තේ ඇයි?

බොහෝ දෙනෙක් එය අසන්නටවත් කැමති නැත. මන්දයත් එතරම්ම ඔවුන් සිත තුළ තෘෂ්ණාව පවතින බැවිනි. එතරම අප මේ සසරට , ජීවීතයට ආශා කරන බැවිනි.

අප ඇයි මේ සසරට ආසා කරන්නේ?

යම් දෙයක් කෙරෙහි අප තුළ ආශාවක්, ඇලීමක් හට ගන්නේ එයින් අපට ලැබෙන සතුටක්, සුවයක් , තෘප්තියක් හේතුවෙනි. දුක ජනිත කරවන දෙයක් කෙරෙහි අප ඇලෙන්නේ නැත. එය කාටත් සර්ව සාධාරණ දෙයකි. ජීවීතයේ පොදුවේ ගත් කළ අප සිතන්නේ සැප දුක සමබර වේ කියාය. දුකත් සැපත් එක ලෙස ලැබෙනවා කියාය. මෙහි සත්‍යයක් නැතුවාම නොවේ. උදේ නැගිටි වෙලේ සිට අපට දුකම විඳින්නට නොවේ.

අප ආදරය කරන අය, අපට ආදරය කරන අය අප අවට සිටී. ඔවුන් හා ඇසුර අපට සතුටකි. අප කැමති කෑම බීම්, ගමන් බිමන්, චිත්‍රපට, නාට්‍ය, ක්‍රීඩා ආදීය අපමණය. ඉතින් දුකක්ම නොවේ. සතුට ලැබෙන විදි අපමණය.

ඒ සතුට ලැබෙන දේවල් වලින්ම අපට දුකද ලබා දේ. අප ආදරය කරන, අපට ආදරය කරන අය නිසා ඇතිවන සිත් වේදනා ,පීඩා අනන්තය. ආදරය කරන අය නොසිතූ විරූ ලෙස මිය යා හැක. වෙනස් විය හැක. ඇතැම් විට මානසිකව අප බොහෝ දුබල වී උමතු බාවයකට විව පත් විය හැක. අප කැමති ආහාර පානම විශ වී, අපව රෝගාතුර කළ හැක. විනෝදය පිණිස කරන ක්‍රීඩා,චාරිකා නිසා ඇතැම් විට හදිසි අනතුරු, ජීවිත හානි පවා විය හැක. මෙසේ බැලූ කල සතුට සමඟම දුක, බියද අසලම පවතී. නමුත් අප දුක ගැන හිතන්නට කැමති නැත.

මිනිස් සිතේ, එසේ නැත්නම් සත්වයාගේ සිතේ ස්වභාවය සිත සතුටු කරවන අරමුණකම එල්ලී පැවතීමය. එය තෘෂ්ණාවේ ස්වභාවයය. අප කෙනෙක්ගෙන් ප්‍රශංසා ලබන්නට කැමතිය. එය බොරුවක් වූවද කමක් නැත. නමුත් නින්දාව කෙරෙහි මැදහත් වන්නට බැරිය. ගැටීම ඇතිවෙයි. දුක ඇතිවෙයි. එනිසා අප සෑම විටම සිතට සතුට දෙන අරමුණු පසුපසම යයි. සත්‍ය වූවද දුක් දෙන අරමුණු මඟ හරියි.

එහෙයින් මේ ජීවිතයේ සත්‍ය වූ දුක පිළිබඳ අප සිතන්නට කැමති නැත. එය අමතක කොට දමා සතුට පසුපස හැල්මේ දුවයි. නමුත් අප බුද්ධිමත්ව සිතා බැලුවහොත් සතුටට වඩා වැඩි දුක බව පසක් වෙයි. සතුට අපට ඉබේ ලඟා වෙන්නේ නැත. එය ඉතාමත් වෙහෙස වී සපයා ගත යුතුය. නමුත් දුක එසේ නොවේ. අප කිසි දෙයක් නොකර හිටියොත් ඇතිවන්නේ දුක පමණි.

එය හරියට උදාහරණයකින් දක්වනවා නම්, විලක ස්වභාවය නිසලව පැවතීමය.. නමුත් සුළඟ වැනි බාහිර සාධක නිසා එය සසල වෙයි. මෙපරිදිම ජීවීතයේ ස්වභාවය දුකයි. අප විසින් බාහිරව සපයන දේවල් නිසා සතුට ලැබෙයි..

උදාහරණ ලෙස..

අප ඉරියව් මාරු නොකර එකම ආකාරයෙන් නොසෙල්වී සිටියහොත් අපට ඇතිවන්නේ දුක්ඛ වේදනාවකි. හිටගෙන එකම ආකාරයකට සිටිය නොහැක. ඉදගෙනත් බැරිය. සැතපීගෙනත් නොසෙල්වී සිටියහොත් දරුණු වේදනා පැමිණේ. එලෙසින් සුඛය පිණිස අප විසින් ඉරියව් මාරු කළ යුතුය. එනම් අප බාහිරින් දෙයක් කළ යුතුය. ගත වාරු නැති වූ කල, ඇඳ වණ ආදිය ඇතිවීම තුළින් එසේ ඉරියව් මාරු නොකිරීමේදී ඇතිවන දුක අවබෝධ වනු ඇත.

කුසගින්නද දුකකි . දින කීපයකට වඩා කුසගින්න අපට දරාගත නොහැක. අප විසින් පාන වර්ග, ආහාර වරග සැපයිය යුතුය. එවිට අපට සතුට ලැබේ. සීතල විට ඇඟ උණුසුම් කළ යුතුය. නැතිනම් දුකය. උණුසුම් විට සිසිල් කළ යුතුය. නෑවිය යුතුය. පිරිසිදු කළ යුතුය. මේවා අප පුරුද්දට මෙන් කරන මුත් ඒවා නොකළ සිටියහොත් ඇතිවන්නේ දුකකි.

මෙසේ බැලු කළ අපගේ ජීවන රටාවම ගොඩ නැගී ඇත්තේ ස්වභාවයෙන්ම ඇත්වන දුක මැඬ ගෙන යම්තම් හෝ සතුටක් ලබා ගැනීම පිණිස වෙහෙසීමටය.

මුදල් සෙවීමට කරන වෙහෙස ගැන කිවීමටවත් නුවුමනාය.

එසේ වුවද අපට මෙය දුකක් බව අවබෝධ කර නොගන්නේ, අපගේ ඇති මෝඩකම නිසාමය. නැතිනම් යම්තම් විමසිල්ලෙන් සිතා බැලුවහොත් ජීවීතයේ ස්වභාවයම දුකක් බව පසක් වේ. නමුත් තෘෂ්ණාව විසින් ඒ දුක යටපත් කරයි. කෑම සොයන්නට, උයන්නට විඳින දුක, කෑම කන විටදී අමතක වෙයි. නමුත් විනාඩි 10 කින් කා අවසන් වන කෑමක් වෙනුවෙන් දින ගණනාවක් මහන්සි වේ. නමුත් ඒ දුකට වඩා ලැබෙන ආශ්වාදය විසින් දුක අමතක කරවයි.

මෙසේ ප්‍රඥාවෙන් විමස විමසා බැලූ විට ඇත්තේ දුකක් පමණක් බව පසක් වෙයි. මෙම දුක නොපෙනෙන්නේ අවිද්‍යාව නිසාය. අවිද්‍යාව යනු නොදන්නාකමයි. මෝඩකමයි. සත්‍ය වසන් කරමින් අවිද්‍යාව රජ කරයි. එසේ හෙයින් සත්වයා සසරට ආශා කරයි.

නමුත් සිත තුළ ක්‍රමයෙන් විචක්ෂණ බුද්ධිය, ප්‍රඥාව දළුලත්ම දුක පිළිබඳ අවබෝධය ප්‍රබල වී, තෘෂ්ණාව යටපත් වෙයි. එවිට “මේ දුක් දෙන සසරේ කුමට නම් රැඳී සිටිම්ද” යන අවබෝධය මතුවෙයි.

අප මිනිස් දිවියක් ලබා ඇත්තටම සාපේක්ෂව මේ විඳින්නේ සැපකි. මිනිස් ලෝකය යනු සුගතියකි. නමුත් සතර අපායවල් වල නම් සැපක් නැත්තේමය.. දුකම පමණි. එවිට ඔවුන් සැප යන වචනය නොදක්නේය. නමුත් විමුක්තිය සොයා යාමට අවස්ථාවක් නැත. විමුක්ති මාර්ගයක් දිස්වන්නේ නැත. අද මිනිස් ලෝකයේ බොහෝ දෙනාද, සැපවත්ව දිවි ගෙවද්දී දුක අමතක වී යයි. මෝහයෙන් සිත වැසී යයි. ඔවුන් තව තවත් මුදල් පසුපස, සුඛය පසුපසම යයි. එවිට අවබෝධය අඩු වී යයි. අතහැරීම අපහසුවෙයි. දිව්‍ය ලෝකවලදීද මෙසේ දුක ගැන අවබෝධ කරගැනීමට අවස්ථාව අඩුය. නමුත් පින් බලය, ප්‍රඥා බලය හේතුවෙන් ඔවුන් විමුක්ති මාර්ගයට බසී.

බුදු දහම යනු මේ දුක් ලබා දෙන සසරට සදාකාලික නැවතුමක් ලබා දෙන දර්ශනයක් අඩංගු දහමකි. එය නම් මෝහය මුළුමනින්ම නැති කර දමන මාර්ගය කියනා සම්‍යක් දර්ශනයකි.

එහි අග්‍ර ඵලය නිර්වාණයයි. නිවන් සුව මේ ජීවීතයේදීම අත්දැකිය හැක. එය ඊළඟ භවයකදී අත්දකින දෙයක් නොවේ.

සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ගඵල වලට සිත පත්වෙද්දී ඒ තැන් වලදීත් නිවන් සුවය අත්දැකිය හැක . රහත් වීමෙන් මුළුමනිනම තණ්හාව ක්ෂය කොට නිවන් සුවයෙන් සැනහී යළි නොඉපදී සිටිය හැක.

නිවන යනු අප්‍රමාණ සුවයකි.

මේ ලොව මෙතෙක් ප්‍රථග්ජන සත්වයන් විසින් විඳින ලද උසස් යැයි සම්මත සියළු සුව ඉක්මවා යන සුවයකි.

සෝවාන් වූ කෙනෙක්ටද නිවන් සුව විඳිය හැක. නමුත් ක්‍රමයෙන් ඉහළ මාර්ගඵල වලට පත් වීමේදි අත්දකින නිවන් සුවය අතිමහත්ය.

සක්කාය දෘෂ්ටිය හෙවත්, ආත්මය ලෙසින් නිත්‍ය වශයෙන් පවතින දෙයක් ඇතැයි යන මෝඩකම සිතින් ගිලිහී සෝවාන් ඵලයට පත්වන කෙනෙක්ටද ඵල සිතක් උදා වේ. එනම් ඔහු විසින් ඒ සංස්කාර වල අනිත්‍ය, අනාත්ම බව පසක් කොට දැක, නිරෝධ සත්‍ය අත්දකිත්ම ඔහුගේ සිත ආත්ම දෘෂ්ටිය නම් ගැට ගැසීම් වලින් ඒ මොහොතේ මුලුමනින්ම මිදී මහත් වූ නිදහසකට පත්වේ. හිරකරගෙන සිටි කුරුල්ලෙක් කූඩුවෙන් මිදී යන්නාක් මෙනි. තද කොට බැඳ තැබූ දෙයක් ලිහිල් කළාක් මෙනි. ඒ ඵල සිතේ කිසිඳු ගැට ගැසීමක් බැඳීමක් නැත. උඩට පහළට දස දිසාවන්ට යොමුකරන සිත කිසිවක පැටළෙන්නේ නැත. පැටළෙන්නට සංස්කාරයක් දක්නට නොමැත. එය අරූපාවචර ධ්‍යානයන්ට වඩා වෙනස්ය. අරූපාවචර ධ්‍යාන සිත් වල පවා සියුම් වශයෙන් ක්‍රියාත්මක වන සංස්කාර ඇත. නමුත් අවම වශයෙන් ගත් කළ සෝවාන් ඵල සිතකවත් කිසිඳු සංස්කාරයක් නොපවතී. සංස්කාර වලින් සිත මිදීමම අප්‍රමාණ සැනසුමකි. නිවීමකි..

” ඒතං සන්තං ඒතං පණීධං යදිදං…සබ්බ සංඛාර සමථෝ..” යනාදි ලෙසින් දක්වන සංස්කාර නිවී ගිය, සීතිභූත වූ සමාහිත සිතේ නිවන් සුවය අපිරිමිතය..එය සියළු ලෞකික සුව ඉක්මවා යයි..

එතෙක් විඳි සියළු ලෞකික සුව,අසූචි සුව ලෙසින් හැඟි යයි.. ඒවා ඇත්තෙන්ම සුවයවල්, සැපතවල් නොව..ගිනි ගෙන දැවීම් පමණකි..

සකදාගාමි, අනාගාමි ආදී ඵලයන්ට පත්ව නිවන් සුව අත්දකිනා සිතක් තුළ, රාගය, පටිඝය තුණී වී(සකදාගාමී) හෝ මුළුමනින්ම නැතිවී( අනාගාමි ) ඇත. රාගයෙන් බැදී මෙතෙක් ජීවීතයේ විඳි කාම සුඛයන් යනු මොනතරම් ගින්නක්ද යන්න පසක් වන්නේ එවිටය. පටිඝය යනු ගැටීම්ය.. දුක, තරහ, කළකිරීම, ඊර්ෂ්‍යා ආදී සියල්ල පටිඝ මූලික සිත්ය.

සියළු ගැට ගැසීම් වලින් මිදී සිත රාගයෙන් හා පටිඝයෙන් මිදී උදාවන අප්‍රමාණ සුව ඇති ඵල සිතේ ගිලී බැසී පවතිද්දී අත්විඳින, අත්දකින දෙය වචන වලට කැටි කරන්නට නොහැකි වනු ඇත.

කළුවරේ ඇති දෙයක් කණා මැදිරි එළියෙන් දැකිය හැක.. විදුලි පන්දම් එළියෙන් දැකිය හැක. සඳ එළියෙන් දැකිය හැක. එක් එක් එළියෙන් පැහැඳිළිව දක්නා ආකාරය වෙනස්ය. නමුත් දකින්නේ එකම වස්තුවය. නිවන් සුවයද එපරිද්දෙනි. සෝවාන් ඵල සිතෙහි පවත්නා සුවයට, නිවීමට වඩා වැඩි වූ නිවීමක් සුවයක් සකදාගාමී ඵල සිතක් තුළඳ, ඊටත් වඩා සුවයක්, නිවීමක් අනාගාමී ඵල සිතකද ඇත. ඒ සෑම ඵලයකම අවබෝධය අතිශයින්ම වෙනස් වේ.. කණාමැදිරි එළියෙන් දකිනා වස්තුව ගැන ඔබ දන්නා දේට වඩා වැඩි අවබෝධයක් එම වස්තුවම සඳ එළියෙන් දැක ගන්නා විට ලැබේ..

දකින්නට දකින්නට මේ සංස්කාර ලෝකයෙන් මිදෙන්නටම එවැනි අයට සිත් පහළ වේ.

රාග, ද්වේෂ ආදී කෙලෙස් වලින් මිඳී සියළු ආකාර රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච් ආදී කෙලෙස් වලින් මිදී, මෝහය මුළුමනින්ම ප්‍රහාණය කොට උපදිනා අර්හත් විමුක්ත සිතක් තුළ පවත්නා සුවය සමකරන්නට මේ ලොව තුළ කිසියම්ම හෝ දෙයක් නැත.

එය අනන්තය.. අප්‍රමාණය..අසීමිතය..

එහි කිසිවක්ම නැත..

කිසිඳු වේදනාවක්, උපාදානයක්, අල්ලා ගැනීමක්, මැනීමක්, කිරීමක්, සම කිරීමක් නැත.

එවැනි උතුමන් වහන්සේලා සිය සංසාර ගමන මුළුමනින්ම නිමා කරන්නට එළබෙන දිනය තෙක් උපේක්ෂාවෙන් යුතුව මේ ලෝකය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන්, මුදිතාවෙන්, මෛත්‍රියෙන් වැඩ සිටිති. යළි කිසිඳු සංස්කාරයක් කෙරෙහි ඇලීමක් නැත. ගැටීමක් නැත. දුකක් පරිළාහයක් නැත. ඇත්තේ එකම එක සුවයකි. එය විමුක්ති සුවයකි. නිදහස් වීමේ සුවයකි. අතහැරීමේ සුවයකි.

එවන් සිතක බලය අසීමීතය.

දෙවියන් , බඹුන් දුර සිට නමස්කාර කරති.

මේ ලෝකය මුළුමනින්ම දුක්ඛ පිණ්ඩයක් බව එකළා අවබෝධ කරගත් එවන් උතුමන් මේ බුද්ධ ශාසනයේ අග්‍ර ඵලය නෙළාගෙන අවසානය.

අනන්ත ගුණ පිරි, නිකෙලෙස් අමා මෑණී බුදු පියාණන්ට නමස්කාර වේවා..!!!

ඒ ස්වාක්ඛාත වූ ධර්ම රත්නයට නමස්කාර වේවා..!!!

අතීතයේ වැඩ විසූ එවැනි නිකෙලෙස් උතුමන්ට නමස්කාර වේවා…!!!

දැන් වැඩ සිටිනා එවැනි උතුමන්ට නමස්කාර වේවා..!!!

සෝවාන්, සකදාගාමි, අනාගාමි මාර්ගඵල ලාභී උතුමන්ට නමස්කාර වේවා..!!!

සියළු ධ්‍යාන ලාභී උතුමන්ට නමස්කාර වේවා..!!!

මේ නිවන් මාර්ගය වඩමින්, ගුණ ධර්ම පූරණය කරනා උතුමන්ට නමස්කාර වේවා..!!!

අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා, සිත, කය, වචනය යන තුන් දොරින්, දැන හෝ නොදැන බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්ටද, එවැනි උතුමන්ටද සිදු වුණා වූ සියළු පමා දෝෂයන්ට සමා වන සේක්වා.!!

සියළු සත්වයෝ සුවපත්ම වෙත්වා…!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.