
සිත ගිනි ගනිමින් සිටි දිනෙක මම උන් වහන්සේ හමුවට ගියෙමි. බැලූ බැලූ සෑම අතම මහා කළු වළාවකින් වැසී ගියාක් මෙනි. ජීවත් වීමට අරමුණක් සොයමින් සිටියෙමි. සතුට යන වචනයත් ඈතය.
කුටියට ඇතුළුව උන් වහන්සේ පාමුල මා නමස්කාර කළේ
“ස්වාමින් වහන්ස මට සැනසීමක් දෙන්න” යන සිතිවිල්ලෙනි… ඒ උත්තම පාද නමස්කාර කරද්දී ඇති වූ ශ්‍රද්ධාවටත්, මාගේ අසරණ කමටත් මා නෙතින් කදුළු කඩා හැළුණි..
“සුවපත් වේවා…!!!!!!!! “
ඒ කාරුණික වචන, කදුළු නතර කරන්නට තරම් ශක්තිමත් විය…
මා උන් වහන්සේ අසල කෙටි බැම්මේ වාඩි වූයේමි.
මට ඇතෙතෙන්ම කියන්නට දෙයක් නොවුණි.. මාගේ සිත මහා දුකකින් වෙළී ඇති බව පමණක් දනිමි. මම දෙ අත් එක් කර වැඳගෙනම සිටියෙමි.
උන් වහන්සේ මගෙන් කිසිවක් විමසුවෙත් නැත. මගේ මුව විවර වූයේද නැත. ඈත ගේට්ටුවෙන් එපිට හිස් අහස දෙස මොහොතක් බලා සිටි උන් වහන්සේ, එක් වරම මා දෙස බැලූ සේක. ඒ බැල්මේ පිරී තිබූ කරුණාව, දයාව, සෘජු බව මට කිසිදා අමතක නොවේ…
“නිවන තමයි ළමයෝ එකම සැනසීම…! “
මගේ හදවත පසාරු කරගෙන ඒ වචන මගේ ඇතුළාන්තයේ මහා ගින්න , සීතල ජල කඳක් ඉසුවාක් මෙන් නිවා දමන්නට තරම් බලවත් විය.. ඒ උතුම් සත්‍යවාදී වචනයේ බලයයි..
එදා බුදු පියාණන් ඉදිරියට ඇඳිවතත් අහිමිව සිහි විකල්ලෙන් පැමිණි පටාචාරාවට,
” නැගණිය සිහි එලවා ගන්න ” යැයි ඒ බුදු මුවින් පිටවත්ම පියවි සිහියට එන්නට ඇත්තේ කෙසේද යන්නත්…
බුදු හිමි පසු පස ක්‍රෝධයෙන් කඩුව අමෝරා දිව ආ අංගුලිමාලයන්ට,
” මම නැවතී සිටිමි… ඔබත් නවතින්න !“
යන වදන් වැකෙත්ම බුදු පාමුළ වැඳ වැටී දියවී ගිය අයුරුත්… මට ප්‍රත්‍යක්ෂ විය.. ඒ නිකෙලෙස් හද මඬලේ මහා කරුණාවේ බලය අසමසමයි..
මට උන් වහන්සේ දුන්නේ ඒ අවවාදය පමණි.. මම සිහි එළවා ගතිමි.. සිත වෙළා තිබූ අඳුරු වළාව එක් ක්ෂණයකින් නැතිවී ගියේය…
මාගේ සිහිය උපැද්දවූ ඒ වචනය මාගේ හිස් මුදුනේ තබා මා ජීවිතය පුදමින් උන් වහන්සේට නමස්කාර කළේ ” මම ඒ සැනසීම කොහොමහරි උදාකරගන්නවා ස්වාමින් වහන්ස” යන අධිෂ්ඨානය, ප්‍රතිඥාව මගේ හදවතට ලබා දෙමිනි.
මගේ ජීවිතය, සංසාරය වෙනස් කළේ එදා ඒ හමුවීමයි.. ඒ සුන්දර සත්‍යවාදී වචන පෙළයි..
එදායින් පසු ජීවිතයේ ප්‍රශ්න කරදර මොනවාද යන්නවත් මට සිහි නොවුණි.. විටෙක බැලූ විට ප්‍රශ්න , තිබූ අයුරින්ම තිබෙනවා විය හැක. මා දන්නේ නැත.. මට පලක් නැත.. මාගේ සිත වෙනස්ය.. බාහිර ලෝකය මගෙන් ගැලවී ගොස් හමාරය..
මම ඇතුළතින් සැනසීම සොයා ගත්තෙමි..!
මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය ස්වාමින් වහන්ස…. ඔබ වහන්සේ එදා ඒ කියූ සුවය සැනසීම මා අත්දකිමි.. ඔබ වහන්සේ හමුවට නැවත කිසිඳා දුකකින් නොයන්නට තරම් ඒ වචන සත්‍යවාදී කරන්නට, ප්‍රතිපත්තියේ යොදන්නට තරම් මට පුණ්‍ය ශක්තියක් තිබුණි.. එසේ නොවන්නට ඔබ වහන්සේ මට එදා එසේ නොකියනු ඇත..
මාගේ මිතුරනි, ඔබලා ඔය ගැටෙන්නේ බාහිර ලෝකයක් සමඟ නොවේ.. ඔබේම කෙලෙස් සමඟය.. එය පසක් වන දිනට ඔබට ඉතිරි වන්නේ සිනාසෙන හදවතක් පමණි…!!!
මාගේ ගුරු පරම පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේට ගුරු පඬුරක් ලෙස මේ සටහන තබමි. මෙය කියවා එක් අයෙකුට හෝ නිවන් මඟ වඩා ඒ උතුම් සුවය අත්දකින්නට වීර්ය සිතක් උදාවේවා යන්න ප්‍රාර්ථනා කරමි…!!!