
නිවන් දකිනවා යනු මෝහය දුරු කරමින් ලබන ප්‍රඥාව හේතුවෙන් සිතේ ඇතිවන නිවී යාමයි. මෝහය මුළුමනින්ම ගිලිහී යාම තුළ පැවැත්ම නිම වේ.. එහි විලෝමය නම් පැවැත්ම යනු මෝහයේ ප්‍රතිපලයයි. යමෙක් සසර තුළ පවතිනවා යනු ඔහු සිත තුළ මෝහය පවතිනවා යන්නයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන මාර්ගඵල වලදී මෝහය ක්‍රමයෙන් අඩුවී, නැත්තටම නැති වී යයි. රහත් වූ පසු නැවත ලෝකය තුළ පැවැත්මක් නැත. මේ අවිද්‍යාව, මෝහය, මෝඩකම ආදී නම් වලින් හඳුන්වන දෙයෙහි නිරවශේෂ වශයෙන් නිරුද්ධ කිරීමයි. නමුත් එතනින් මෙහා සසරේ ජීවත්වන සත්වයන්ගේ මෝහය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙයි. එකම සත්වයා වුවද සසරේ විවිධ භවයන්හි ප්‍රඥාව අඩු වැඩිව ඉපදේ. මන්දයත් සියල්ල අනිත්‍ය වී යන සංස්කාර ධර්මයන් බැවිනි.
මෝහය හේතුවෙන් සත්වයා රැස් කරගන්නා පව් ප්‍රමාණය නිමක් නැත. තිරිසන්, ප්‍රේත, නිරය ආදී තැන් වල උපත ලැබූ විට පිනක් කිරීමට අවස්ථාවක් පවා නොලැබෙන තරම්ය. මෝහයෙන් අන්ධ වී ගොස් ය. ඊට සාපේක්ෂව මිනිසත් බවක් ලබා උපත ලැබූවිට පව් කිරීමෙන් වැළකී සිටිය හැක. ඊටත් වඩා බෞද්ධ වී ඉපීම තුළඳ සාපේක්ෂව බොහෝ කුසල් රැස් කරගත හැකිය. මන්දයත් නොදරුවාගේ කාලයේ පටන් වැඩිහිටියන් පව් පින් කියා දෙන බැවිනි. හොද නරක යන දෙකම සැම විටම පින් පව් වශයෙන් සැලකිය නොහැක. මන්දයත් පින් පව් වලට බලපාන්නේ චේතනාවය. නමුත් හොද නරක බෙදා දක්වන්නේ ක්‍රියාවෙන්, වචනයෙන් පමණි. චේතනාව පිටට නොපෙනෙන බැවිනි. ඉතාමත් දූෂිත සිතින් වුව හොද ක්‍රියාවන් කළ හැක. එය සම්මුතියෙන් හොඳ වුවද රැස් වන්නේ අකුසලයකි. විපාකය අයහපත් එකකි. බොහෝ දෙනා නොදන්නා කම නිසාම පව් රැස් කරගන්නා ආකාරය ඉතා සුලබය.
වැළකී පළා යා හැකි සරල දේවල් වලට පවා නොදන්නාකම නිසා විශාල වශයෙන් පව් රැස් කරගනී.
තර්කයට, තමාගේ දැනුමට , නුවණට කර්මය ගෝචර වන්නේ නැත. එය පෘථග්ජන අයට පමණක් නොව මගඵල ලාභියකුටද, රහතන් වහන්සේ කෙනෙකුටද, සැරියුත් මහ රහතන් වහන්සේටද මුළුමනින්ම අවබෝධ කළ නොහැක. එය මුළුමනින්ම අවබෝධ කොට හැක්කේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට පමණි.
බුදුවරු එසේ සුලබව ලෝකයට පහළ වන්නේ නැත. සෑම කෙනෙකුටම බුද්ධත්වය ලබන්නට බැරිය. එදා බුදු රජාණන් වහන්සේ දෙව්ලොවට අභිධර්මය දේශනා කොට සංකස්ස පුරයෙන් පොළෝ තලයට වඩිනා කල ඒ අසිරිය දුටු , “මමත් බුදු වෙම්වා” යැයි ප්‍රාර්ථනා නොකළ කිසිවකු නොවීය. ඒ සියළු දෙනාම බුදු වන්නේ නැත. බුද්ධත්වය කරා ලඟා විය හැක්කේ ඉතාමත්ම ඉතාමත්ම ඉතාමත්ම විරල යුග පුරුෂයකුට පමණි. තම නැණ පමණින් අවබොධ කරගත යුතු කරුණකි. ප්‍රඥාව කොතෙක්ද විරල බව දුෂ්කර බව කොතෙක්ද යනුවෙන් අවබෝධ වනු ඇත. බුද්ධත්වය තබා අවම සෝවාන් මාර්ගඵලය ලබා ගැනීමට පවා ලෙහෙසියෙන් කෙනෙකුට නොහැකි කළ , අනෙක් තත්වයන් ගැන කවර උපමාද..!
සම්මා සම්බුදු වීමද, ඒ හා ආශ්‍රිත අනෙක් චරිත සියල්ලද කල්ප කෝටි ගණන් සසරේ පාරමී පුරමින් ගුණ ධර්ම වඩමින්, ප්‍රඥාව වඩමින් සපැමිණි අති දුර්ලභ චරිතයන්ය.
යශෝධරා දේවිය, රාහුල කුමරු, ප්‍රජාපති දේවිය, මහමායා දේවිය, සුදොවුන් රජු, ආනන්ද ස්වාමින් වහන්සේ ආදී ලියා නිම කළ නොහැකි සියළු උත්තම චරිත අහඹු ඒවා නොවේ. කල්ප ගණන් ප්‍රඥාව වඩවමින් පාරමී පුරමින් සපැමිණ තත්වයන්ය.. සාමාන්‍ය ඕනෑම කෙනෙකුට ඒවා සඳහා ප්‍රාර්ථානා කොට, පාරමි පුරා ලබා ගත හැකිය. නමුත් සාමාන්‍ය කෙනෙක් ඒ තත්වයන් සසරේ බුදු කෙනෙක්ගේ සාසනය තුළ ලබගන්නා තෙක්, ඔවුන් පවා ඒ චරිතයන්ට සම නොවේ.
දළඹුවෙකුට සමනළයෙක් විය හැක. නමුත් දළඹුවා සමනළයා හා සම නොවේ.
බුදු කෙනෙක් පිට කරන වචන බුද්ධ වචනය. කිසිදා හිස්, පරුෂ, කේලාම් ආදී මිච්ඡා වදන් ඒ බුදු මුවින් පිට නොවේ. ඇතැම් විට වල කවියන් , බුදු රජාණන් වහන්සේ හිටියානම් මෙසේ කියයි යැයි කවි ලියයි. ඒවා සුළුවෙන් සලකා , ලස්සන පද වැල් නිසා බොහෝ ජනප්‍රිය වේ. නමුත් ඒවා බුද්ධ වචන නොවේ. බුදු මුවකින් පිටවන එක් වදනක ඇති ගම්භීරත්වය අවබෝධ වනවා නම් එසේ ළාමක කවි ගී නොලියවෙනු ඇත. ඒවායින් සිදුවන අකුසලය කොතෙක්ද..
පින් පව් තීරණය වන්නේ ඔබේ චේතනාව මත පමණක්ම නොවේ. පින් හා පවෙහි ප්‍රබලත්වය එයට සම්බන්ධ වන්නාගේ ගුණ සම්පත්තිය මත ඉතා ප්‍රබල ලෙස වෙනස් වේ.
සාමාන්‍ය කෙනෙක්ට ඔබ බොරුවක් පවසනවා යැයි සිතන්න. එම බොරුවම සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් යන මගඵල ලාබින්ටද පිළිවෙලින් පවසනවා යැයි සිතන්න. ඔබ කරන්නේ එකම ක්‍රියාව වුව විපාකය වෙනස්ය. සම්බන්ධ වන කෙනාගේ ගුණ සම්පත්තිය මත එය වෙනස් වන්නේ එලෙසිනි.
ඒවා ලෞකික බුද්ධියෙන් සිතා ගත නොහැකි බුදු ඇසින්, සර්වඥතා ඥාණයෙන් දැක දෙසන ලද ඒවාය. ඔබ විහිළුවට පවසන, ලියන , කියන බොහෝ දේ ඔබ බොදැනුවත්වම ඔබේ නිවන් මඟ වසා දමනු ඇත. අපා දොරටු විවෘත කරනු ඇත.
බොහෝ විට එවැනි දේවල් වල විපාකය ලැබෙන්නේ තමන් භාවනාවක් කොට නිවන් ලබන්නට උත්සාහ කරන විටය. කොතෙක් උනන්දුවෙන් භාවනා කොට නිවන් ලබන්නට මාර්ගයට පිවිසෙන බොහෝ අය නතර වන්නේ හිටි තැනෙනුත් පහළට වැටිලාය. තමන් සීලයක් රකින්නට වීරිය වඩන කළ සිල් රැකීමට වීරිය දරන්නටට, සිලයක් රකින අයට කරන කියන ලද දෙයෙහි විපාකය විදින්නට සිදුවේ. එකට නිවන් මඟ යන්නට ආරම්භ කර බොහෝ අය අතරින් ඇතැම් අය වේගවත් වන්නේත්, ඇතැම් අය ඒ මඟින් තමාටත් හොරා ගිලිහී යන්නේත්, ඇතැම් අය කොතෙක් කළත් එකම තැන වන්නේත් පාරමී ශක්තියේම අඩුවක් නිසා නොව, කම්මාවරණ හේතු වන්නටත් හැක. කොතෙක් උත්සාහ කළද මගඵල නොලබන්නට කර්මයන්ගෙන් තමන්ගේ නිවන ඇහිරී තිබෙන්නට හැකිය.
අතීත සංසාරයේ අප කළ කී දෑ දැන් අපට මතක නැත. ඒවා මතක නම් අප මෙසේ නැවත නැවත කම් සැපයටම ඇලෙමින් කල් නොමරනු ඇත. අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත් කළ යුතු කාමයන් පසුපස සසර පුරාම දිවූ අප දැනුදු ඒවාම පසුපස දුවයි. මේ දුවන දිවිල්ලටම අපායේ ගිනිදැල් මැද එහා දොරටුවක් විවෘථ වන තෙක් එක් පැත්තකට දුවයි. ගිනි ගෙන දැවෙන පොළොවේ නහර ඇට කටු වලින් දුම් දමමින් පිළිස්සෙද්දී නැවත යොදුන් ගණන් අනිත් පැත්තේ දොරටුව වෙත දුවයි. සංසාරයම දුවයි.. ගිණිදැල් මතින් දුවයි. අද සැප පුටුවක වාඩි වී වායු සමීකරණයේ උෂ්ණත්ව ගැන වද වන අපි, මරණෙන් මතු අපායේ ගිණි දැල් වලින් බේරෙන මං නොමැතිව විලාප තබනු ඇත. එයත් දවසකට දෙකකට නොවේ. කල්ප කෝටි ගණනකටය. ඇතැම් විට වරද නොදැනුවත්ව වැරදි කෙනෙක් අරඹයා ගිලිහුණු වදනක් විය හැක. සිතිවිල්ලක් විය හැක.
“මහණෙනි අපායේ සත්වයන් විදින දුක මට උපමාවකින්වත් විස්තර කල නොහැක” යැයි දේශනා කළේ සර්වඥයන් වහන්සේය . “මහණෙනි නුඹලා විසින් අතීත සංසාරයේ විදින ලබන දුක දන්නේ නම් හිස ගිනි ගත්තත් ඒ ගින්න නොනිවා අවබෝධ නොකළ ධර්මාවබෝධයට වෙහෙසෙනු ඇත” . මේවා ලඝු කොට සිතන්නට හැකිද. එසේ නිවන හැර වෙනත් දෙයක් ප්‍රමුඛ වෙනවානම් එතන ඇති ශ්‍රද්ධාවේ අඩුව දකින්න. දුක්ඛ සත්‍ය අවබෝධයේ හීන බව දකින්න.
සරලව නොසිතන්න. සසර ස්වභාවය අති භයංකාරය. හැකි තරම් පිරිසිදු කාය, වචී, මනෝ කර්මයන්ගෙන් යුතු වන්න. තමාට වැදගත් වන්නේ තමන් සිතන කියන කරන දෙයයි. අන් අය කරන කියන සිතන දේවල් වලට ඔබ සම්බන්ධ නොවී සිටීමට ප්‍රවේසම් වන්න. බිය විය යුතු දෙයට බිය නොවන්නේ නම් එය මෝඩකමක් මිස වීර කමක් නොවේ. සුළු වරදෙහි වුව බිය දකින්න. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය නිතර ශ්‍රවණය කරන්න. සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයම සොයා යන්න. සිත කිළිටි කරවන ඇසුරෙන් දෙවරක් නොසිතා මිදෙන්න. මන්ද නාස්ති කිරීමට කාලයක් නොවන බැවිනි. රැය දාවල් ගෙවී යන්නේ මහත් වේගයෙනි. මරණ මංචකයේ කිසිවකුත් සතුටින් නික්ම ගියේ නැත. එසේ නිකම ගියා නම්, මහපොළොවේ පස් අතරින් නිය සිළට ගත් ප්‍රමාණයක් හැර සියල්ලෝම දුගති කරා නොයනු ඇත. සතර අපාය සත්වයාගේ මහ ගෙදර නොවනු ඇත. මහා මුලාවේ ගිලී නොසිටින්න. ඔබ වීරත්වයෙන් සැලකූ බොහෝ දෙනා අද අපායන්ගි, ප්‍රේත ලෝකයන්හි, තිරිසන් ලෝකයන්හි හීන ධීන බාවයන්ට පත්ව දුක් විඳිනවා විය හැක. සක්විති රජ නොවූ එකම කූඹියෙක් වත් නොවන, කූඹි රැලක් පවා වේ නම්, මේ සසරේ අනියත බවට තවත් උපමා අවශ්‍යද..! මෝහ අන්ධකාරයෙන් වැසී ඇති ලෝක සත්වයාට ප්‍රඥා ආලෝකයක් දල්වන්නේ කෙලෙසකදැයි එදා බුදු පියාණන් වහන්සේ පවා සිතු සේක. එතරම්ම ඝන බහුලව මෝහයෙන් වැසී ඇත. හීන වීර්යය ඇත්තන්ගෙන් මිදෙන්න.. කාමයන් පසු පස දුවන්නන්ගෙන් මිදෙන්න. සතියෙන් තොර වූවන්ගෙන් මිදෙන්න. සමාධිය නොවඩන්නන්ගෙන් මිදෙන්න. ශ්‍රද්ධාවෙන් හීන වූවන්ගෙන් මිදෙන්න. ඔබව ලෝකය දෙසට ගෙනයන්නන්ගෙන් මිදෙන්න. අවංකව ධර්මය වඩන්න. ධර්මයෙන් සිත පිරිසිදු වන්නට වන්නට දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය ඔබට ලැබෙනු ඇත. ධර්මයේ ශක්තිය මහා පවුරක් මෙන් ඔබට දැනෙනු ඇත. නිරන්තර මහා බලයක් මෙන් ශීලය ඔබව සුරකිනු ඇත. නිසල සමාධිය ඔබව ප්‍රීතියෙන් පුරවනු ඇත.
අප්‍රමාදීව සසර බියකරු බව, නිසරු බව අවබෝධ කරගන්න. දුහුවිල්ලක් තරම්වත් අගය කළ යුතු වර්ණනා කළ යුතු පැසසිය යුතු දෙයක් මේ කාම ලෝකයන්හි නොමැති බව දකින්න. ආදීනවය දකින්න. නිරාමිස නිවන් සුව ඉදිරියේ අසූචි සුඛයක් මෙන් බුදු රජාණන් වහන්සේ මේ කාම සුව පෙන්වා දුන් සේක.
ඒ මාර්ගයේ ගමන් කරන්න. එවිට ඔබට වරදින්නට හේතුවක් නොවනු ඇත…
🙏🙏🙏
LikeLike