
යම්කිසි දෙයක් සිදුවීමට බලපානා නියාම ධර්ම පහක් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, උතු නියාම, චිත්ත නියාම යනුවෙනි.
අඹ ඇටයකින් අඹ පැළයක්ම බිහි වේ. දරුවන් සාමාන්‍යයෙන් දෙමාපියන්ගේ ස්වරූපයම ගනී. මේවා බීජ නියාමයයි. කාලයත් සමඟ ස්වභාවිකව සිදුවන වයසට යෑම්, සම රැලි වැටීම්, කොණ්ඩය සුදු වීම් ආදිය ධම්ම නියාමයයි. රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු ගැටුණු කල කිසිවකුගේ සංවිධානයක් නැතිවම ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමයය. කර්මයක් සිදු කළ විට එයට සුදුසු පරිසරය ඇති කල්හි විපාක දීමේ ශක්තියක් ඇත. ඇතැම් විට මේ භවයේත්, නිවන් දක්නා තෙක්මත් විපාක ශක්තීන් බල පැවැත්වේ. එය කම්ම නියාමයයි. දේශගුණික හා කාලගුණික විපර්යාසයන් හා සමඟ ඇතිවන හා විඳින්නට වන දෑ උතු නියාමයයි. නියඟයකදී වතුර හිඟ වීම ආදිය උදාහරණයි. මේ නියාම ධම්ම පහට අමතරව ගති සම්පත්, ගති විපත්ති, උපධි සම්පත්, උපධි විපත්ති, කාල සම්පත්, කාල විපත්ති යන ඒවා නිසාද කර්මය විපාක දීමේ ශක්තීන් වෙනස් වේ. තවද නිස්සන්ද ඵල වශයෙන්ද විඳින්නට සිදුවන දෑ වෙනස් වේ.
අපට දෙයක් විඳින්නට සිදුවන විට එය නිසැක වශයෙනම කුමන නියාම ධර්මයට අනුව වනවාදැයි බුදු රජාණන් වහන්සේ නමකට පමණක්ම නිසැකව ස්ථිරව නිවැරදිව දේශනා කළ හැක. කම්ම විෂය, බුද්ධ විෂය, ලෝක විෂය අචින්ත්‍ය වන බැවිනි. බොහෝ විට කර්ම ශක්තියේ ප්‍රබලතාවය මත බොහෝ දෑ සිදුවන බව අපට අවබෝධ කළ හැක. සියළු සත්වයන් කර්මය දායාද කර සිටී. අප සිත උපේක්ෂාවට පත් කර ගැනීමේදීද, අනාත්මය නම් ධර්මතාවය අවබෝධ කර ගැනීමේදීද, මෙම කර්මය කෙරෙහි සිතේ පවත්නා අවබෝධය ඉස්මතු වෙයි. මේ කර්ම ශක්තියේ ස්වභාවයත්, අනාත්ම ස්වභාවයත් නම් වූ අති ගම්භීර ධර්මය සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සර්වඥතා ඥාණයටම ගෝචර වන, උන් වහන්සේ විසින්ම පසක් කර ලෝකයාට දේශනා කරන ධර්මයන් ය.
මේ සියළු නියාමයන් , ධර්මතාවයන් ඉක්මවා යෑමේ හැකියාවක් සිතට ඇත. බුදුවරයකු ලොවට පහළ වන්නේම ඒ මාර්ගය පෙන්වා දී සත්වයා සසරින් එතෙර කරවීමටයි. එනම් ස්වභාව ධර්මය වෙනස් කිරීම නොව ස්වභාව ධර්මතාවය ඉක්මවා යමින් සසරින් නිදහස් වීමයි. අනිත්‍ය, දුක, අනාත්මය ලෝක ධර්මතාවයයි. කිසිවකුටත් මේ ස්වභාවයෙන් මිදී බේරී සිටිය නොහැක. සජීවී අජීවී සියළු වස්තූන් මෙයට යටත්ය .. නමුත් මේ ස්වභාවය අවබෝධ කරගනිමින් ඒවා ඉක්මවා යමින් නිර්වාණය නම් වූ අනිත්‍ය, දුක්, අනාත්ම ලක්ෂණයෙන් මිදුණු නිවීම සාක්ෂාත් කර ගැනීමට බුදු, පසේ බුදු ,මහ රහතන් වහන්සේලාට හැකි විය. අපද ගමන් කරන්නේ ඒ මාර්ගයේය.
මෙවැනි ව්‍යසන කාලයක අප විසින් අකුසල කර්ම ශක්තීන් ඉස්මතුව පැමිණ අපට විපත් සැලසීම හැකි පමණින් යටපත් කළ යුතුය. කිනම් හෝ කර්මයක විපාක ශක්තිය ඉස්මතු වන්නේ එය විපාක දීමට අවශ්‍ය පරිසරය සකස් වූ කල් හි ය. අප විසින් අතිත සංසාරයේ ගෙවා පැමිණි ජීවිත 100, 10000, 1000000 ක් නොවේ. බිලියන, ට්‍රිලියන ගණනින්ද ප්‍රමාණ කළ නොහැක. එය අසංඛ්‍යය ගණන් ය. මේවා ප්‍රකාශ කරන්නේ සම්මුති සංඥා දැනුම් මාත්‍රයක් ඇති විද්‍යාඥයන් නොවේ. සර්වඥතා ඥානයකින් යුතු සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්මය. ඒ ගෙවා පැමිණි අති දීර්ඝ සසර තුළ අප විසින් නොකළ පවක් නොමැත. එහෙයින් ගෙවන්නට ඇති විපාකයන්ද නිමක් නැත. සුදුසු පරිසරය සකස් වූ කල ඒවා විපාක දීම කිසිවකුටත් නැවැත්විය නොහැක. එය සර්ව සාධාරණ වන්නේ එබැවිනි. අප විසින්ම කළ කර්ම අපම බුක්ති විඳි. සෑම මොහොතකම අප විසින් අපටම රැස් කරගනිමින් පමණක්ම සිටී. එබැවින් එය සාධාරණය. චේතනාවම කර්මය බව බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක.
අප විසින් සෑම මොහොතකම අපව කුසල සිතකින්ම ආරක්ෂා කර තබා ගත යුතුය.
නිතර ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මානයෙන් , දුකෙන්, බයෙන් නම් සිත පිරී පවතින්නේ අපේ චිත්ත ශක්තිය අතිශයින්ම දුබලය. අතීත අකුසල කර්මයන්ට විපාක දීමට අප විසින්ම පරිසරය සකස් කර දී ඇත.
අප මෙයින් මිදී සිත සුවපත් කරගත යුතුය. නිතර සිත යහපත් අරමුණක රඳවා තබා ගත යුතුය. වේගවත් බව, කලබලය, අසිහිය, බිය මේවා අකුසල සිත් ය. සිතේ ශක්තිය වැඩි වන්නේ එය සතියෙන් හා සමාධියෙන් නිවීමක පවත්නා කල්හිය. සිතේ නිවීමට, සමාධියට හා කුසල සිතිවිලි වල උත්පාදනයට අපේ කායික හා වාචසික භාවිතය මහත් බලපෑමක් ඇති කරයි. සීලය, සමාධිය හා ප්‍රඥාවට කලින් වැඩිය යුතු වන්නේ එබැවිනි. සීලය නම් කය වචනය දෙකේ සංවර භාවයයි. සීලය පිරිසිදු වත්ම සමාධිය වැඩේ. සමාධිය තුළ ප්‍රඥාව අවධි වේ. ඒ මාර්ගය ක්‍රමවත්ය.
අප විසින් මේ කාල වකවානුවේ හැකි තරම් ආධ්‍යාත්මය ගොඩනඟාගැනීමට වීර්යය කළ යුතුය. ඒ සඳහා ඔබ විසින් අනිවාර්යෙන්ම මේවා අත් හදා බලන්න. දිනපතා අවම වශයෙන් උදේ සවස බුදු පහන දල්වන්න. පැය 24 ම දැල්වෙන පහනක් තබන්නට හැකි නම් එසේ කරන්න. බුදු කුටිය සරල, සිත නිවී යන, පිරිසිදු තැනක් කරන්න. බුද්ධ වන්දනාව අනිවාර්යයෙන්ම කරන්න. ඔබේ කුසල ශක්තිය අනිවාර්යෙන්ම බලවත් වනු ඇත. දිනකට පැයක්වත් පිරිත් සජ්ජායනය කරන්න. පිරිත් දැමීම නොව, අර්ථය මෙනෙහි කරමින් ඔබ විසින්ම පිරිත් සජ්ජායනය කරන්න. පංච ශීලය සතියෙන් යුතුව රකින්නට උත්සාහ කරන්න. අවම වශයෙන් දිනකට පැය භාගයක්වත් මෛත්‍රී භාවනාව වඩන්න. ඔබට පහසුවෙන්ම අකුසල ශක්තිය යටකර, කුසල ශක්තිය බලවත් කරගත හැකි වනු ඇත.
සෑම විටම ඔබේ සිත ආරක්ෂා කර ගන්න. රූපවාහිනිය, ප්‍රවෘත්තී ආදී සිතට කෙලෙස් දනවන සිතේ ශක්තිය හීන කරවන දේවල් වලින් ඈත් වන්න. හිස් දේවල්, කෙලෙස් දේවල් කතා බහ කරන අය ක්‍රමයෙන් ඈත් කරන්න. නිවන් මඟ වඩන වීර්යවන්ත, ශ්‍රද්ධාවන්ත සති සම්පජන්නයෙන් ජීවත් වන අය ඇසුරු කරන්න. ආශ්‍රය ඔබේ ජීවිතයම, සංසාරයම වෙනස් කරන බලවත් ධර්මයකි. මේ සම්බුද්ධ ශාසනයම කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය මත රඳා පවතින බව බුදු රජාණන්වහන්සේ දේශනා කළ සේක. ඔබට නිවන් මඟ වඩන, ශ්‍රද්ධාවන්ත, සිල්වත්, වීර්යවන්ත, සතිමත් මිතුරන් සිටී නම් ඔබට මේ කියන දෙයෙහි බලය හා සත්‍යවාදී බව අත්දැකීමට හැකි වනු ඇත. ලෞකික මිල මුදල් බලය ආදී බාහිරත්වයටම නැඹුරු අයගේ ඇසුර හැකි තරම් අවම කරන්න. අල්පේච්ච බව, ප්‍රීතිමත් බව පිරුණු දැහැමි වීර්යවත් අයගේ ඇසුර ඔබේ නිවන් මාර්ගය වේගවත් කරයි.
මේ සිදුවන සෑම දෙයක්ම අප විසින් උපේක්ෂාවෙන් මුහුණ දිය යුතුය. මේවා බුදු පියාණන් වහන්සේ විසින් නොදක්නා ලද නොදන්න ලද දේවල් නොවේ. සර්වඥතා ඥාණයෙන් මේවා මේ ආකාරයෙන්ම උන් වහන්සේ දක්නා ලද සේක. තව කල්ප විනාශයට බොහෝ කල් ඇත. මේ කාල මෙසේ නම් ඒ කාලවලට සත්වයා තුළ මෘග ලක්ෂණ පහළ වද්දී ලෝකය කෙතරම් බියකරු තැනක් වනු ඇත්දැයි සිතන්න. ධර්මතාවය දකින්න. මොහොතක්වත් සසරේ රැදී සිටීමට ප්‍රාර්ථනා නොකරන්න. තවත් දුක් විඳ විඳම සසරම ප්‍රාර්ථනා කරන ඔබේ මෝහය පිරී සිත කෙරෙහි කරුණාව දක්වන්න. ඔබ විසින් ඔබටම කරුණාව දක්වන්න.
ලෝකය යහපත් තැනක් නොවේ. අප යහපත් කරගත යුත්තේ අපේ සිතයි. ඒ අන් කිසිවකටවත් නොව බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා මෙන්ම සදාකාලිකවම නිවී යෑම සඳහාමය. ඒ සඳහා කරන්නට ඇති දේවල් විශාලය. දැරිය යුතු වීරිය අප්‍රමාණය.
හැකි තරම් වීර්ය කරන්න. අපට ලැබී ඇති කාලය සීමිතය. ගිනි ගන්නා නැවක සිටින මඟීන් මෙනි.
ඔබේ ශ්‍රද්ධාව ඔබම මැන ගන්න. බුද්ධ වචනයට ඔබේ හදවතේ දී ඇති ඉඩ කොපමණද යන්න විමසන්න.
“සියළු සංස්කාරයන් නැසෙන සුළු බැවින් අප්‍රමාදීව කටයුතු කරන්න. ” හිස ගිනි ගත්තකු සේ වීර්යය කරන්න…
🙏🙏🙏
LikeLike