යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති

ධර්ම මාර්ගයේ යාමට, නිවන් අවබෝධ කිරීමට හැම දෙනාටම සිත් පහළ වන්නේ නැත. එසේ සිත් පහළ වූවද නොනැවතී අරමුණ සඵල වන තෙක් වීර්යය වැඩීමටද හැම දෙනාටම අසීරුය. ලෝකයේ බිලියන ගණනක් මිනිසුන් අතරින් විමුක්තිය උදෙසා එනම් නිවන උදෙසා සත්‍යය ලෙසම වීර්යය කරන්නේ ගණන් කළ හැකි තරම් සුළු පිරිසකි. පාරමී ඇතිව උපන් බොහෝ දෙනා මේ වන විට සසරින් නික්ම ගොස් අවසන්ය. ජීවමාන බුදු රජාණන් වැඩ සිටි කාලයේ බුදු පියාණන් ව සියැසින් දැක, සම්මුඛව ධර්මය ශ්‍රවණය කොට කෙලෙස් නසා අරිහත්භාවයට පත් වූයේ මහත් වූ පාරමී ශක්තියක් ඇති ප්‍රාර්ථනා පුරමින්, ගුණ පුරමින් පැමිණි පින්වතුන්ය. අද වන විට ඉතිරිව ඇති පිරිස ඉතාමත් සුළු වශයෙනි. ඔවුන් අතරින් වුව ද පාරමි බහුල අය සිටී. සම්බුදු සසුන නැතිවී යන කාල වලදී මතුව එය එළි පෙහෙළි කරමින් පාරමි ඇත්තන්ට ධර්ම මාර්ගය පෙන්වා දෙමින්, තමන්ද අවබෝධ කරගෙන අන් අයටද අවබෝධ කරවීමටම විශේෂයෙන් පෙරුම් පුරන උතුමන්ද බුද්ධ පරිනිර්වාණයෙන් පසුව විවිධ කාලය වලදී මෙලොවට බිහි වෙති.

කෙසේ වූවද මෙවන් කාලයක වුවද නිවන් අවබෝධ කර ගැනීමට යම් කෙනෙකුගේ සිත තුළ ඡන්දයක් ඉපදෙන්නෙ නම්, ඔහු පින්වන්තයෙකි. ලොව කවර තැනක ඉපදී සිටියද තමාගේ පුණ්‍ය ශක්තිය විසින්ම ඔහුව ධර්මය කරා යොමු කරවයි. නමුත් ධර්මය පෙනි පෙනි වුවද පින දුර්වල නම් නිවන් මග ඔහුට ඇහිරී යයි. වෙනත් දෘෂ්ටීන් අදහමින්, ලොව දියුණු යැයි කියනා රටවල ඉපිද හැදි වැඩි සිටියද, කාමයේ නිරර්ථක බව ස්වයංව සිතට වැටහී ධර්මය සොයා ගොස් සසුනට ඇතුළත්ව හෝ ගිහිව සිට හෝ නිවන් මඟ ගමන් කරන අය බොහෝ සිටිනවා මෙන්ම, ධර්මය අතට ලැබී තිබුණද එය මඟ හැර ගන්නා පිරිස් අති බහුලය.

ඔබත් එසේ වූ පින්වන්තයෙක් නම් මේ ලිපිය ඔබටය. මේ ජීවිතය තුළඳීම නිවන් අවබොධ කරගන්නට සත්‍ය වශයෙන්ම කැමැත්තක් හදවතින්ම ආ කෙනෙක් නම්, ඔබ මේ ලිපිය කියවීම සුදුසුය. එසේ නොමැති කෙනෙක්ට මෙය කියවීමෙන් ඵලක් වනු ඇතැයි නොසිතේ.

නිවන යනු තමාගේ හදවතින් අවබෝධ කරගන්නා සත්‍යයි. මේ ලෝකයේ අප මේ සිටින්නේ මුලාවක පැටළීය. ඇත්ත ඇති සැටියෙන් නොදකිමින්ය. ඇසින් දක්නා දේ, කනින් අසනා දේ, නාසයෙන් විඳිනා දේ, දිවෙන් රස බලනා දේ, කයෙන් ලබනා නොයෙකුත් ස්පර්ශයන්, මනසින් සිතනා නොයෙක් සිතිවිලි මේ සියල්ලක්ම අපව සසර පුරා සැරිසරවන්නට සමත් වූයේය. ඇත්ත ඇති සැටියෙන් දකින්නට නොහැකි කම නිසා සත්වයා මේවාට ඇලෙයි. ගැටෙයි. නමුත් සත්‍ය අවබෝධ කරගත් පසු සිත පහනක් නිවුණාක් මෙන් නිවී යයි. නිවන අත්දකිනවා යනු එයයි. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඔබට යම් තරමින් හෝ තේරෙනවා ඇත.

හදවතින්ම මතුව ආ කැමැත්තක් ඇති කෙනෙකුට විනා බලෙන් කාගෙවත් කීමට, අන් අයට පෙනෙන්නට ආදී ලාමක අර්ථයෙන් නිවන් මඟ සම්පූර්ණ කළ නොහැක. නිවන, නිවන් මර්ගය; යනු ඔබේ හදවත සමඟ කරන ගනුදෙනුවකි. එය ඔබ තුළින්ම යන ගමනකි. සත්‍ය සොයා යන ගමනකි. අන්ධකාරය තුළින් නික්මී, ආලෝකය දකින්නට යන ගමනකි. මහා ඝන අන්ධකාරයක සිටිනා කෙනෙක් පියවරෙන් පියවර ආලොකය දෙසට ගමන් කරද්දී, ඈතින් ඔහුට ආලෝකය යම් විටෙක පෙනෙයි. එයින්ම ඔහුට තමන් යන මාර්ගය නිවැරදි බවට හැඟීමක් ඇති වෙයි. එයින්ම ඔහුට වීර්යය ඇති වෙයි.

නිවන් මාර්ගයත් මෙපරිදිය. නිවැරදිව ගමන් කරද්දී ඔබට ඈතින් ආලෝකය පෙනෙන්නට පටන් ගනී. එය ප්‍රමාද වන්නට පුළුවන. ඔබ සත්‍යයෙන් කොතරම් ඈතක සිටියාද යන්න එයින් අවබෝධ කරගන්න. නමුත් ඔබ ගමන් කළ යුතුමය. ධර්මය සාන්දිට්ඨිකය. ඔබ යන මඟ නිවැරදි නම් ආලෝකය ඔබට පෙනේවාමය.

දෙපස ඇස පිනවන, කන පිනවන, කය පිනවන දහසකුත් දේවල් අතරින්, සිත සීරුවෙන් තබාගෙන ඔබ මේ යන්නෙ උතුම් අරමුණක් වෙනුවෙනි. කණා මැදිරියන්, පළගැටියන් ගින්දරට වැටී දැවී මිය යන බව ඔබ දන්නවා නම්, ඔබ ඒ ළාමක ආශාවන් ඉදිරියේ ඒවාට අසු නොවී වීර්යයෙන් සිත අරමුණෙන් ඉවතට නොගෙන මාර්ගයේ ගමන් කළ යුතු බව අධිඨන් කර ගන්න. දවසින් දෙකෙන්, මාසයෙන්, අවුරුද්දෙන් නොව… ඇතැම් විට කල්ප ගණන් වුව මාර්ගය තුළ ගමන් කරන්නට සිදු වනු ඇත. බුදු රජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමි පිරූ සේක. මේ මාර්ගයේ යන්නට නම් නොසැලෙන වීර්යයක් අත්‍යවශ්‍යමය.

අප මෙතෙක් සසර පුරා පැමිණියේ ‘මම’ කියා කෙනෙක් ඇතැයි යන වැරදි හැඟීම සිතේ පවතිනා නිසාය. එය වැරදි සිතිවිල්ලකි. අපට නිතරම ‘මම’- ‘මගේ’ යන හැඟීම සිතේ ඇත. ඒ හැඟීම වැරදි බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක, ඒ හැඟීම සිතෙන් සහමුලින්ම නැතිවී යන්නට අප වීර්යය කරන ගමනකි; මේ නිවන් මාර්ගය. එය සුළුවෙන් සැලකිය නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇත. ‘මම’ යන හැඟීම නැත්තටම නැතිවී ගිය කල පවතින්නට කිසිම හේතුවක් නැති වේ. එවිට මේ සසර ගමන සහමුලින්ම නැති වී යයි. මහා මුලාවකට හසු වී අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් පැමිණි ගමන සඳහටම නිමා වෙන්නේ එවිටය. බුදු රජාණන් වහන්සේ නමක් පහළව ලෝකයාට කියා දෙන්නේ ඒ උතුම් වුත් ශ්‍රේෂ්ඨ වූත් ධර්ම මාර්ගයයි.

සසර ගමනේ පැවැත්ම හෙවත් ‘මම’ කියා අප සිතනා කෙනාගේ සම්පූර්ණ නැතිවී යාම පරිනිර්වාණයයි. එතනින් පසු නැවත කිසිදා ඉපදීමක් නැත. ‘මම’ කියා ‘මගේ’ කියා ‘අපේ’ කියා දේවල් නැත. ‘ලෝකය’ කියා දෙයක් නැත. සියල්ල එතනින් නිමාවට පත් වේ.

තණ්හාවෙන් සිත වැසී සිටිනා, නොයෙකුත් බැඳීම් වලින් ඇලී සිටිනා අයට, මෙය සිතට ආශා දෙයක් නොවනු ඇත. දුක් විඳ විඳ වුවද එතනම සිටින්නට ආශා කරන අයට ‘නිවන දැන්ම එපා’ කියා සිතෙනු ඇත. එය මෝහය ප්‍රබල නිසා සිදුවන්නක් පමණි. අසූචි ගොඩේ සිටින්නටම කැමති කෙනෙක්ට සිතෙනා හැඟීමක් වැනි දෙයකි. සසරේ ස්වභාවය නොදන්නා නිසා ඇතිවන දෙයකි. පළමුවෙන්ම සසරේ ස්වභාවය අවබෝධ කරගත යුත්තේ එබැවිනි.

සතර අපායන්, දිව්‍ය ලෝක, බ්‍ර්හ්ම ලෝක ආදිය පවතින බවත් මැරෙන මොහොතේ පහළ වන සිතට අනුව එවැනි ඕනෑම තැනක ඉපදිය හැකි බවත් මනා සේ අවබෝධ කරගන්න. මේ විදින සෑම දෙයක්ම ඉතා ඉක්මනින් අවසන් වේ. අප ආශාවෙන් අල්ලාගෙන සිටින සියළු භෞතික හා මානසික දේවල් අත හැර දමා යන්නට සිදුවේ. ගිය ආත්මයේ සිටි අය අප දැන් දන්නේ නැත. අම්බලමෙන් අම්බලමට මාරු වෙමින් යන මේ සසර නිසරුය. මහා දුක් වලින් පිරී ඇත. ‘සතර අපාය’ අප වැඩිපුරම සිටිනා තැනය. එහි දුක බුදු රජාණන් වහන්සේ දැක බලා විස්තර කොට තිබේ. භාවනාවෙන් සිත දියුණු කරගත් අයට මේවාගේ සත්‍ය බව දැකිය හැක. ප්‍රේත ලෝක, යක්ෂ , අපා ලෝක ආදියේ සත්වයන් විලාප දෙන මහා භයානක හඩ ඔබට එක් වරක් ඇසුණොත් එපමණක්ම ඇතැම් විට ප්‍රමාණවත් වනු ඇත මේ සසර ගැන කළ කිරෙන්නට. මේ මඟ වඩන්නට…

අවාසනාවකට අපට පෙනෙනා- ඇසේනා දේ සීමිත පරාසයකටය. ඔබ මෙය කියවන විට, මා මෙය ලියන විට අප අවට ඇසට නොපෙනෙන කී දෙනක් රැස්ව සිටිනවාද.. ඔබේ සිතේ ස්වභාවය අනුව දෙවියන් විය හැක. අමනුෂ්‍යන් විය හැක. සාමාන්‍යයෙන් දෙවියන් වැනි උසස් අය ළඟා වන්නේ, සීලයෙන්, ගුණයෙන් උසස් අය සමීපයටය. දෙවියන් යනු උසස් අයය. ඔවුන්ගේ සිත් බොහෝ විටම පිරිසිදුය. එබැවින් එවැනි අය ළඟා වද්දී අවට පරිසරය තුළ වුවද සුවයක්, සුඛයක් දැනී යනු ඇත. නිරායාසයෙන් සිතට ප්‍රීතියක්, සහනයක්, සුවයක් දැනෙනු ඇත. මන්දයත් දෙවියන්ගේ සිත් ප්‍රභාෂ්වර බැවිනි. සිත් දියුණු අයට ඇසට පවා දෙවියන් දර්ශනය වේ. එලෙසින්ම ප්‍රේතයන්, අමනුෂ්‍යන් ආදි අයද අප අවට ඕනෑ තරම් සැරිසරයි. ඔවුන්ගෙ සිත් කෙලෙස් වලින් බරිතය. කුසල සිතක් නැති තරම්මය. දුක, බය, තරහ, පළිගැනීම, කෑදරකම ආදී දේ හැරෙන්නට වෙනත් දෙයක් නැති තර්ම්මය. එබැවින් ඔවුන් අප අසල සැරි සරන විට බොහෝ විට දුර්ගන්ධයක් දැනෙනු ඇත. කයට සිතට බරක් අපහසුවක් දැනෙනු ඇත. සිතිවිලි වලට වුව බලපෑම් කරන්නට සමත්ය.

තිරිසන් ලෝකය ගැන විස්තර කිරීමට අවශ්‍ය නැත්තේ අපට දර්ශනය වන බැවිනි. නමුත් කොතරම් දර්ශනය වුවත්, ඒ ලෝකයෙ ඇති දුක පෙනෙන්නේ ද නුවණැතියන්ට පමණය. ඇසට ඇන ඇන පෙන්නුවත් සත්‍ය මෝඩයන්ට නොපෙනේ. උතුම් මිනිසත් බවක් ලබාගෙන සතුන් වෙන්නට ආශා කරන අයත් අප අතර සිටී. කතා කරන්නට, කන්නට දෙයක් ඉල්ලන්නට නොහැකිව, මරණ බයෙන් ජීවත් වන සත්ව ලෝකයේ දුක දැකිමටත් ප්‍රඥාවක් අවශයය.

බ්‍රහ්මයන් යනු උසස් පිරිසක්ය. ඔවුන් සැම විටම වාගේ සිටින්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන බ්‍රහ්ම විහාර වලිනි. ‘සතර බ්‍රහ්ම විහරණ’ යනුවෙන් ඒවා හඳුන්වන්නේ ඔවුන්ගේ විහරණය එය බැවිනි.

නිරයන්හි සිටින සත්වයන් දරුණුම දුක විදින අයයි. එහි ඇති දුක විස්තර කිරීමට උපමා දක්වන්නට පවා අසීරු බව බුදු රජාණන් වහන්සේම දේශනා කොට ඇත. ඇඟවල් ගිණි අගුරු වල පැසෙද්දී, සා පිපාසාවෙන් දැවෙද්දී, කටට ලෝහ ගුලි වැටෙද්දී, රත්වූ යකඩ මත එහා මෙහා දුවද්දි, කල්ප ගණන් එතනම එතනම මැරි මැරී ඉපදෙමින් සිටින්නට ඒ සත්වයන්ට සිදු වේ.

මේ සැම දුකක්ම අප සියල්ලන්ම විඳ ඇත. මේවා කෙනෙක් නොපිළිගන්නවා නම්, තව අවුරුදු කිපයකින් මිය ගොස් ඉහත විස්තර කර, කවර භවයක හෝ උපත ලැබූ කල සත්‍ය අසත්‍යතාවය තමන්ම අත්දකින්නට ලැබේ.

මෙවන් වූ සසරක ඉපදෙමින් මැරෙමින් යන නිසරු ගමන නිමා වන්නේ නිවන් දැකීමෙනි.

මේ සිතෙන්ම උපදින සිතිවිලි අනුව සැම විටම අප කර්ම රැස් කරමින් සිටිමු. ඔබට මේ මොහොතේ ඉපදෙන සිතිවිල්ලේ ස්වභාවයට ඔබ වචනයෙන් – ක්‍රියාවෙන් සිදු කරනා දෙයට අනුව ඔබ ඉදිරි භවය සකසයි. ඒ ඒ අනුව විපාකය සැකසෙයි. අප මේ දැන් ගෙවන්නේද අතීත සංසාරයේ රැස් කරන ලද විපාක ශක්තියයි. ඒ විපාක වලට නැවත අප විසින්ම ඇලෙයි; ගැටෙයි. නැවත රැස් කරයි. අපම රැස් කරමින් – අපම ගෙවා දමමින් යන හිස්ම හිස් ගමනකි. සිතේ පවත්නා මෝඩකම නිසා මේවා නොතේරේ. බොහෝ දෙනා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ බාහිර ලෝකයේ ඇති භෞතික දේවල් ගැන පමණි. නමුත් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන තමාගේ සිතේ ස්වභාවය තේරුම් ගන්නට කිසිවකුත් නොසිතයි. නමුත් කෙනෙක් තමාගේ සිතේ ස්වභාවය අවබෝධ කරගන්නට වීර්යය කරයි නම්, ඔහුට එහි ඇති මුලාව තේරුම් ගන්නට හැකියාව ලැබී, ඒ මුලාව අත් හරින්නට සිත් පහළ වෙයි.

ඒ මුලාව අත් හරින්නට නම් ලෙහෙසියෙන් නොහැකිය. කල්ප ගණන් පුරා සිතට කැවී ඇති මේ ආශ්‍රව නම් වූ දේවල් අත් හරින්නට අසීරුය. නමුත් කළ හැකිය. කළ නොහැකි දෙයක් නම් බුදු රජාණන් වහන්සේ අපට කිසිදා නොකියන සේක. රහතන් වහන්සේලා මෙලොව පහළ වූයේ මේ කරන්නට අසීරු දෙය කළ හැකි දෙයක් වූ නිසාමය.

සීල, සමාධි, ප්‍රඥා යනු කෙටියෙන්ම ඒ මාර්ගයයි. පළමුවෙන්ම අවම වශයෙන් හෝ “පංච සීලයවත් සුරැකීම” අනිවාර්ය දෙයකි. සීලයෙන් තොරව සමාධිය නොවැඩේ. සමාධියෙන් තොරව ප්‍රඥාව නොවැඩේ . සීලය මහ පොළොව මෙනි. එය සෙසු මාර්ග අංගයන් දරාගෙන සිටිනා භූමිය වැනිය. සීලය අපිරිසිදු නම් සමාධිය දුර්වලය. සිත ප්‍රීතිමත් නැත. ඔබ සිටින්නේ කවර තැනකද යන්න ඔබ තීරණය කරන්න.

මේ සීලයත් රැකිය යුත්තේ ප්‍රඥා සම්ප්‍රයුක්තවය. අනවශ්‍ය ලෙස උපාදාන නොකොට, මාන්නයෙන් තොරව, විවිධ දෘෂ්ටි වලින් තොරව, සැහැල්ලු මනසිකින් සිල් රකින්න. “ඉන්ද්‍රිය සංවර සීලය” නිවන් මගට අවශ්‍ය වන සීලයයි. එනම් ඇස- කන- නාසය- දිව- ශරීරය- මනස යන ආයතන සංවර කර ගැනීමකින් තොරව ඒවාම පිනවමින් සිට නිවන් දැකිය නොහැක. සමාධිය ඔබට දුර්වල නම් ඔබ පරීක්ෂා කොට බැලිය යුත්තේ ඊට පෙර අංගයයි. එනම් සීලයයි. බොරු- කේලාම්- සම්ප්‍රප්පලාප දොඩමින්, පරුෂ වචන භාවිතා කරමින්, අන් අය අපහසුවට පත් කරමින්, ද්වේෂය අවුලමින්, නිවන් මාර්ගයට අදාල නොවන දෑ කියමින් -කරමින් – සිතමින් නම් වැඩි පුරම කාලය ගත කරන්නේ ඔබේ ඉන්ද්‍රිය සංවර ශීලය දුර්වලය. දවසේ පැය විසිහතරම මෙය රැකීමට අපහසු නමුත් අප වීර්යය කරනවා, මාර්ගය වඩනවා යනු එයයි. දවසින් දවස දියුණු වෙනවා යනු එයයි. කන්නට ආශා දේවල්ම සොයමින් රසම සොයමින් යනවා නම් එය පාලනය කරන්න. ප්‍රඥා සම්ප්‍රයුක්තව ඒවායේ නියැලෙන්න ඔබ ගිහි අයෙක් නම්.

සෑම විටම සතියෙන් යුක්තව සිතන්න “මෙය මාගේ නිවන් මගට උදව්වක් වෙන දෙයක්ද නැති දෙයක්ද” කියා. “සිත විසුරුවන දෙයක්ද , සිත සමාහිත වන දෙයක්ද” කියා නුවණින් බලන්න.

ගිහි අය ප්‍රඥාවෙන්, වංචනික ධර්මයන්ට හසු නොවී මේවා සතියෙන් පුහුණු කළ යුතුය. ඉන්ද්‍රිය සංවර ශීලය ගැන දේශනා අසා ඒ අනුව පුහුණු වන්න. ඔබ ක්‍රියාන්විතයක නියැළී සිටින සෙබළෙක් මෙනි. ඔබට අරමුණක් තිබිය යුතුය.ඉලක්කයක් තිබිය යුතුය. කාල සටහනක් මුල් අවධියේ තබා ගන්න. සතිය වැඩුණු පසු, ප්‍රඥාව වැඩුණු පසු සත්‍ය දැක දැකාම ලෝකය ඇසුරු කරන්නට , ලෝකය දකින්නට මනස සමාහිත වූ කල ගෙවෙන සෑම මොහොතක්ම ධර්මයෙන්ම ගෙවන්නට හැක. නමුත් මුලදී සිත ආශාවන්ට යටත් ව කාලය අපතේ යාම වළක්වා ගන්නට කාල සටහනක්වත් තබා ගත්තාට වරදක් නැත.

සමාධිය අනිවාර්යයෙන්ම වඩන්න. සමාධිමත් සිතකින් තොරව ප්‍රඥාව දළුලන්නේ නැත. ප්‍රත්‍යක්ෂ අත්දැකීම් ලැබෙන්නේ නැත. භාවනාව දවසකට “අඩුම පැයක්” හෝ පුහුණු කරන්න. සමාධිය වැඩෙන්නේ සතිමත් සිතකය. සතියෙන් තොරව සීලය රකින්නටත් නොහැකිය. සතිය යනු පදනම වැනිය. සෑම විටම සතියෙන් ජීවිතය ගත කර යුතුය. නොයෙකුත් බාහිර ලෝකයේ දේවල් සොය සොයා- සිත සිතා සිටිමින් නිවන් දැකීම නම් අසීරු බව කිව යුතුය. විශේෂයෙන්ම මේ කාලයේ මාර ධර්මයට හසු වී ඇති පිරිස් අපමණය. හසු නොවූ පිරිස අල්පය. එය ලෝක ස්වභාවයයි. සිතේ ස්වභාවයයි. නමුත් ඉක්මනින් සිහිය එළබා ගන්න. ඔබට තිබෙන අනතුර වටහාගන්නට අවශ්‍ය වන්නේ එබැවිනි. ඔය කුමන දේ ආවත් නොසැලෙන සිතක් සදා ගත්තේ නැත්නම් ඔවැනි දේවල් සසර පුරාම උරුමය. අරගල, හර්තාල්, රැස්වීම් ආදී දේ නිවන් මඟ යන්නන්ට සුදුසුද නැත්ද කියා ඔබේම හදවතින් මතුව ආ යුතුය. සීලය හදවතේ ඇති නම් එය ඔබට දැනෙනු ඇත. වචනය, ක්‍රියාව, සිත සංවර කරගත යුතුය. කලින් කලට රෝග පීඩා, දේශපාලන කලබල, සතුරු කරදර පැමිණේ. එය ලෝක ස්වභාවයයි. ඒවාද ගෙවී ඉවර වී යයි. ඔබට අනිත්‍ය -අනාත්ම – දුක යන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂව අවබෝධ වී නැති නම්, මේවා යෝනිසෝ මනසිකාරයෙන් හෝ ගත යුතුය. අප හැමදාම එකා තැන සිටිය නොහැකිය. අප උඩුගම් බලා පිහිනිය යුතුය.

සැම විටම ක්‍රියාත්මක වන්නේ දුක්ඛ සත්‍යයයි. කලින් කලට නොයෙක් දේ පැමිණේ. ඒවාද අනිත්‍ය වී යයි. අනාත්ම සංස්කාර පිණ්ඩයන්ය. රෝග දුක්, දුර්භික්ෂ විපත්, පාලකයන්ගේ විෂමතා ආදිය කෙරෙහි උපේක්ෂාව ඇති කර ගත යුතුය. සසර නම් මෙයයි. මේවා අප මුහුණ දෙන පළවෙනි අවස්ථාවත්, අවසාන අවස්ථාවත් මෙය නොවේ. ඒ ඒ වෙලාවට අපට ඒ ඒ දේවල් මහත් දේවල් සේ පෙනෙන්නේ අප ඒවා උපාදාන කරන ආකාරය අනුවමය. එකම උවදුර වුවද එක් එක්කෙනා සිතට ගන්නා ආකාරය වෙනස් ය. පිළිකාවකින් දරුණු ලෙස පිඩා විඳින කෙනාට, අන් දුක් දෙවෙනි තැනට වැටේ. ප්‍රිය විප්‍රයෝගයක් විඳින කෙනාට ඒ දුක ප්‍රබලය. කන්න නැති කෙනාට ලොකු ඒ දුකය . කන්න තිබී පෙට්‍රොල් නැති කෙනාට ඒ දුක ප්‍රබලය. මේවා සියල්ලම නැතිව වුවද සුවසේ මානසික සුවය විඳින කෙනාට මේ සියල්ලම ලෝක ස්වභාවයක් පමණි.

ඔබේ ගෙදර සිටින සුරතලාට මේ කිසි දෙයක් නොව ප්‍රශ්නය.. ඔබද මාද ඊළඟ මොහොතේ මිය ගොස් එම නිවසේම සුරතලාගේ කුසේ ඉපදීමට හැක. මෝඩ බොළඳ සිත් ඇති අයට මේ ධර්මය ගෝචර නොවේ. ප්‍රඥාවෙන් යථාර්ථය දැකීමට හැකි අයෙක්ට නම් මෙය කියවද්දී සත්‍යය හදවතින් මතු වී ප්‍රඥා ඇස විවර වනු ඇත.

මේ ගෙවෙන මොහොතම මෙතනම නිරුද්ධ වී අවසානය. සිතෙන් අල්ලා ගෙන මෙනෙහි කරමින් නැවත සංස්කාරම ජනිත කරගන්නවා විනා වෙනත් දෙයක් නොමැත. ලෝකය උපදින්නේ ඔබේ සිත තුළය. වැල්ලේ ඇදි ඉරි මෙන්, ජලයේ ඇඳි ඉරි මෙන්, උඩු සුළඟක් මෙන් ඇති වූ විගසම නැති වී ඉවරය. ඉස්සරහට යෑමක් නොවේ මේ… එතනම නිවී යාමකි. විදර්ශනා ඥාණයන් පහළ වද්දී උදයවය, භවතුපට්ටාන ආදී ඥානයන් හදවතේ ඇති කෙනෙක්ට “මිනිස්සු මේ අල්ලාගෙන දගලන්නේ තමන්ගේම සංස්කාර ටිකක් පමණක් නොවේද” යන සත්‍යය හදවතින් මතු වී එයි. ධර්මය ඇත්තේ පොත් වල නොව හදවතේය.

සමාධිමත් සිතක් ඔබ ඇතිකරගත යුත්තේ සමාධියෙන් තොරව ධර්මය අත් දැකිය නොහැකි බැවිනි. නිතරම “ඉතිපිසෝ ගාථාව” වත් සිතින් සජ්ජායනය කරන්න. එය එක් අතකින් අකුසල් සිත් යට කර කුසල් සිත් උපදවන බැවින් ද, සතිය පිහිටුවන්නට උපකාර කරන කමටහනක් ලෙසින්ද ක්‍රියාත්මක වන බැවිනි. එසේත් නැත්නම් ” බුද්ධෝ” යන පරිකම්ම වචනය භාවිතා කරන්න. බහුලීකරණය කරන්න. රූපවාහිනි, ප්‍රවුත්ති ආදිය නැරඹීමේදි ඔබේ සිත දූෂණය වන බව ඔබේ නුවණට තේරේ නම් ඒවා නවතා දමන්න. කවුරුත් කීවාට මේවා සිදු කළ නොහැක. ඔබටම අවබෝධ විය යුතුය. මාර්ගය – අමාර්ගය තෝරා ගැනීමේ ප්‍රඥාව නැති කෙනාට නිවන් ලැබීමට තරම් ප්‍රඥාවක් තිබේ යැයි සිතිය නොහැක.

සතිය සම්පූර්ණ වන්නේ ඉතාමත් ඉහළ මාර්ග ඵල ලබන විටදී බැවින් දැඩි වීර්යයකින් සතිය දියුණු කිරීමට වීර්යය කළ යුතුය.

බොහෝ දෙනා නිවන් මාර්ගයේ ගමන් කරනවා කියා සිතා සිටියත් සැබවින්ම ඔවුන් සිටින්නේ මුලාවක, වංචනික ධර්මයක පැටළී සසර දිග්ගස්සවන මාර්ගයක පමණය. දේශනාවක් ඇසුවාට, ධර්ම පොත් පත් කියෙව්වාට , පින් කම් කළාට කෙනෙක් ධර්ම මාර්ගයේ යනවා කියා කියන්නට බැරිය. ඔවුන් කුසල් රැස් කරනවා කීම නිවැරදිය. ධර්ම මාර්ගයේ යනවා යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමයි. ප්‍රතිපත්තියේ නියැලීමයි. සිත දමනය කරන මාර්ගයෙ බැස සිටීමයි. එවැනි මාර්ගයක නොසිටින අය හැකි තරම් දුරින් ඇසුරු කළ යුතුය. සැම විටම උදව් උපකාර කළ යුතුය. නමුත් අප වෙහෙසිය යුත්තේ අපට වඩා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන්, සතියෙන්, වීර්යයෙන් යුතු අය ඇසුරු කිරීමටයි. බුදු රජාණන් වහන්සේගේ බුදු ගුණ ඔබට අවශ්‍ය ශක්තිය නිරන්තරයෙන් ලබ දෙනු ඇත. එය විශ්වාස කරන්න.

ප්‍රඥාව යනු ගෙවෙන මොහොතක් පාසා වඩවා ගත යුතු දෙයකි. සෑම දෙයක් දෙසම ප්‍රඥාවෙන් දකින්නට පුරුදු කරන්න. මස් ඇසින් නොව, ප්‍රඥා ඇසින් සංස්කාරයන් කෙරෙහි ඇතිව නැතිවී යන ස්වභාවය දකින්න. සැම විටම යෝනිසෝ මනසිකාරයෙන් සිටින්න. “සත්‍යය” යනු ඔබ බලෙන් සිත සිතා ගන්න සිතිවිලි නොව… නිරායාසයෙන් ඔබ තුළ පහළ වන හදවත ඇතුළාන්තයෙන්ම එන ප්‍රත්‍යක්ෂ අවබෝධයන්ය. නමුත් මනසිකාරයද වැදගත්ය. ඔබට පෙනෙනා මේ ලෝකය මුලාවක් බව සිතිවිලි වලින් පමණක් නොව, කවුරුත් කීවාට නොව, ඔබගේම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දකිනා දවසක් නිසැකවම එළබෙනු ඇත. එදිනට මේ මුලාව දකිනු ඇත. සසරක් පුරාම දිගින් දිගට පවත්වා ගෙන ආ මේ මෝහය හදවතින්ම දකින දිනයක් ඔබටත් මටත් නිසැකවම එළබෙනු ඇත. අවංකවම හදවතින්ම බුද්ධ- ධම්ම- සංඝ රත්නය කෙරෙහි බැති ශ්‍රද්ධා උපදවා යන මේ ගමන තුළ අවසානය ඒ සත්‍යයෙන් හදවත නිවී යාමයි.

මුලාව දකින විට එය හිතෙන් ගිලිහී යන විට, පරම සත්‍යය දොරගුළු විවර කර හදවතට ගලා එන විට…. බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් නිකෙලෙස් සිත අප දකිනු ඇත. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරමින් අනේක විද දුක් ගැහැට විඳිමින් ඔබට මට පෙන්වන්නට උත්සාහ කළේ මේ පරම සත්‍යය නොවේද යන්න අපේ හදවතින් මතුව එන දවසක් නිසැකවම එළබෙනු ඇත. මේ සත්‍යය ඔබටත් මටත් පෙන්වා දී සසර දුකෙන් අප මුදවන්නට කැප කිරීම් කළ ඒ මහා මුනිදුන්ට ජීවිතය පූජා කළ හැකි වන්නේ සැබවින්ම එදිනටය.

“යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති ” අප දිනෙක සම්පූර්ණ වශයෙන්ම, සත්‍ය වශයෙන්ම ධර්මය දකිද්දී, සත්‍ය දකිද්දී

” අහෝ බුද්ධෝ – අහෝ බුද්ධෝ – අහෝ බුද්ධෝ” කියා හදවත පතුළෙන්ම නමස්කාර කරනු ඇත.

කල්ප ගණන් සසරේ අපට බුදුවරු මුණ ගැසෙන්නට ඇත. බණ අසන්නට ඇත.. නමුත් මේ ගෞතම බුදු පියාණන්ගේ ශාසනය ඒසේ වරදවා ගන්නට, මඟ හැර යන්නට පෙර සතිය උපදවා ගන්න.

“යළි නො ඇරෙන්නටම දෑස පියා ගන්නට” අප්‍රමාදීව වීර්යය කරන්න…

තෙරුවන් සරණයි..

One thought on “යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.