
මායාවකින් වැසී ඇති මේ ලෝකයේ යථා ස්වභාවය යථා පරිදි පෙන්නුම් කර දීමට හැකි යම් දෙයක් මේ මුළු විශ්වයේම පවතී නම් ඒ එකම දෙයක් පමණි. එනම් ධර්මස්කන්ධයයි. නිත්‍යය, සුභය, ආත්මීයය, සදාකලියකය ආදී මිථ්‍යා මත වලින් ඉතාම සුළු පිරිසකගේ හැර අන් සියළු ලෝක සත්වයාගේ සිත් වෙලා ගැනීමට අවිද්‍යාව නමැති භයංකාර ධර්මතාවයට හැකිවී ඇත. දෙවියකු, මනුෂයකු, බ්‍රහ්මයකු පමණක් නොව සමථ භාවනා වලින් දියුණු, අභිඥා පවා ඇති සමහරක් සත්වයින්ගේ පවා ප්‍රඥා ඇස් වසා දමා විවිධ විවිධ වැරදි දෘෂ්ටීන්ගෙන් සිත් වසා දැමීමට අවිද්‍යාවට හැකිය. මේ අවිද්‍යා අන්ධකාරය පරදවා මේ ලෝකයේ ඇති යථා ස්වභාවය, භයංකර බව, සත්වයින්ට නිරතුරුව මුහුණ දීමට සිදු වන ඇත්ත තත්වය යම් දෙයකට පෙන්වා දිය හැකි නම් එය කෙතරම් උතුම් දැයි සිතා බැලිය යුතුය. සර්වඥතා ඥානයෙන් යුතු බුදුරජණන්වහන්සේලා පවා ධර්මස්කන්ධය තම ගුරු තනතුරේ තබා ගන්නේ ඇයි දැයි යන්න අපට යම්තම් හෝ වැටහිය යුතුය. මේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස පවතින, ලෝක සත්වයාට දුකින් මිදීමට මග පෙන්වන, කුලයක්, ජාතියක්, වයසක් ආදී කිසි භේදයක් නැතිව කෙනෙකුට අවබෝධ කල හැකි, මොන වැරදි ක්‍රියා සිදු කලද වෙනස් නොවන මව් කෙනෙකුගේ සෙනෙහසකින් බඳුව ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඇතුළු වීමට දොර විවර කර ඇති මේ උත්තම ධර්මස්කන්ධයේ ගුණ අනන්තය, අප්‍රමාණය, සිතා නිම කල නොහැකිය.
මේ මහා ධර්මස්කන්ධය තුලින් ලොව පවතින ඕනෑම දෙයක් පහදා දිය හැකිය. නමුත් එය සාමාන්‍ය කෙනෙකුට විෂයය නොවේ. එය විෂය වන්නේ බුදු කෙනෙකුට පමණි. ඉතාමත් දැකුම්කළු උයනකට ඇතුල්වන අසාද්‍ය රෝගියකුට බෙහෙතක් සොයා ගැනීමට උපදෙස් ලැබී ඇති නම් ඔහු කල යුතු වන්නේ උද්‍යානයේ සිරි නැරඹීම නොව හැකි ඉක්මනින් එම බෙහෙත සොයා ගැනීමය. අනන්ත සසර පුරාවටම ලෙඩ වුනු සිතකින්ම පැමිණෙන අපද කල යුතු වන්නේ මේ රමණීය වූ ධර්මය තුලින් අවශ්‍ය දෙය උකහා ගෙන අප සිත සදාකාලික සුවයට පත් කිරීමමය. බෝදිසත්වයාණන් වහන්සේලා අනන්ත සසර පුරා අනන්ත කැප කිරීම් කරන්නේ ඒ සඳහාය. නිවනට සිත පත් කරගැනීමට කෙනෙකු අවබෝධ කල යුතු ධර්මය සමහරක් විට එක ගාථාවක් විය. එක ධර්ම දේශනයක් විය. බුදු රජාණන් වහන්සේ අවබෝධ කල ධර්මය සහ උන්වහන්සේ දේශනා කල ධර්මස්කන්ධය උන්වහන්සේම කී පරිදි ඇට්ටේරියා වනය සහ එම වනයෙන් අතට ගත් කොළ හා සමාන ප්‍රමාණයක් නම් ඉනිදු එක ගාථාවක් යනු කොපමණ ස්වල්පයක්ද? නමුත් ඒ කෙටි ගාථාවක් තුලින් මතු වන්නේ ධර්මස්කන්ධයේ මුදුන් මල් කඩය. සත්වයාගේ සසර දුක නිවන, දුක් බැමි ගලවා දමන උතුම්ම සාරයය.
ධර්මයේ හරය වන චතුරාර්ය සත්‍ය තුලින් සත්වයාට ප්‍රකට සහ සියුම් ලෙස පවතින දුක්ඛ සත්‍ය පෙන්නුම් කර දෙයි. එවැනි දුක් ඇති වීමට හේතු වන කරුණු කාරණා පෙන්නුම් කර දෙයි. ඉන් පසු ඉන් මිදීමේ මාර්ගයත් එම මග යාමෙන් අත්දැකිය හැකි දුකින් මිදීමත් පෙන්නුම් කර දෙයි. අනන්ත සසර පුර දුකම අල්ලාගෙන බදාගෙන සිටි අප කල යුතු වන්නේ දුකෙන් මිදෙන මග යාම මිස තව දුරටත් දුකම ඇති වන කරුණු සොයා යාම නොවේ. සියුම් ප්‍රඥාවකින් දකින කෙනෙකුට ධර්මය ක්‍රියාත්මක වන අයුරු වටහා ගත හැකිය. ධර්මය කිසිදිනක කිසවකුට අසාධාරණ නැත. දුක ඇති කරුණු මෙලෙසය, මේවයින් වලකින්න කියා ඇති විට ඒවා පසු පසම කෙනෙකු යයි නම් ඔහුට අයත් වන්නේ දුකමය. දුක ඇති හේතු පසු පස ගොස් කෙනෙකු සැපක් බලාපොරොත්තු වනවා නම් ඔහු තවමත් සිටින්නේ අඳුරේය. දුක නැති කරන මග යන්නාගේ ගමන සමහර විටක අපහසු වුවද ඔහුට එහි ප්‍රතිපල දිනක ලැබෙනු ඇත. එහිදී තිබුනේද හේතුවක් සහ ඵලයක් පමණි. විශේෂ වරප්‍රසාදයක් එහි නොමැත. යම් දුකක් ඇති කරන හේතු මුලිනුපුටා දැමූ කෙනෙකුට නැවත එම දුක් ඇති වන්නේ නැත. එයද ධරමයේ ස්වභාවයයි.
චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට බලාපොරොත්තු වන කෙනෙකු මේ ජීවී අජීවී සියල්ලේ ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවයන් මැනවින් හදවතින් වටහා ගත යුතුය. දෙවියකු වුවද , මනුෂයකු වුවද, බ්‍රහමයකු වුවද අජීවී කවර දෙයක් වුවද නිතැතින් වෙනස් වෙමින් යාමක් පවතී. නිරන්තරයෙන් අනිත්‍ය ස්වභාවය නිසා වෙනස් වීමට පත් වේ. දිනක නැත්තටම නැතිවී යයි. අප කිසි දිනක සබන් බෝලයක්, පෙන පිඩුවක් වැනි දෙයක් සදා කාලිකව පවතීය කියා සිතන්නේ නැත. එය එසැනින්ම නැසී යන ස්වාභාවය අප දන්නා නිසා අප එසේ නොසිතමු. අපගේ ශරීර සහ සිතද මෙලෙසමය. සබන් බෝලයක තරම් වත් ආයුෂ නොමැත. නමුත් සාමාන්‍ය සත්වයාට මෙය නොදැනේ. අවබෝධ නොවේ. ඒ සඳහා සමාධි ප්‍රඥා අවශ්‍යමය. ඉතින් මේ දේ නොදන්නා කම නිසා පොඩි ළමයින් සබන් බෝල පස්සේ යන ලෙසින් අපද මේ ශරීර, සිත අල්ලාගෙන මෝඩකමින් යුතුව කටයුතු කරමු. මේ මුළු විශ්වයම අනිත්‍යට යටය, කිසිම සත්වයකු හෝ දෙයකට මින් මිදීමක් නොමැත යන්න අවබෝධ වන්නාගේ සිත තුල අවදිවීමක් සිදුවනු ඇත. මේ මෙතෙක් නොපැවති ප්‍රඥාවේ අවදි වීමයි. දිගින් දිගට විමසා විමසා බලන ඔහුට කොහේ කුමන දෙයක් බැලුවද අනිත්ත්‍යයෙන් මිදීමක් නම් නොමැති බව දිගින් දිගටම වැටහීමට පටන් ගනී. මෙලෙස වැටහීමෙන් යුතුව කරුණු විමසීමේදී මේවයේ හරයක් සාරයක් නොමැති බව වැටහීමට පටන් ගනී. නිරන්තයෙනේ නැතිවී නැතිවී යන, වෙනස් වන දෙයක කුමන නම් සාරයක් ද? වටිනාකමක්ද?කුමන සැපක්ද? ඒ සිත තුල නිබ්බිදාව ඇති වීමට පටන් ගනී.
මෙලෙසින්ම දුක්ඛ සත්‍යද අවබෝධ වීමට පටන් ගනී. තම ශරීරය තුලින් කොපමණ නම් දුක් වින්දාද? අතීතයේ විඳි දුක කෙළවරක් නොමැත. අනාගතයේ විදීමට සිදුවන දුකද කෙළවරක් නැත. ධර්ම කතා සිත තුලින් මතුවී මතුවී ඒමට පටන් ගනී. මේ මේ ය දුක් විඳි ලෙස මට දුක් විඳීමට තව දුරටත් බැහැ කියා සිතට වැටහීමක් ඇතිවේ. තමන් අවට සිටින ය විඳින දුක තමන්ට විඳීමට සිදු වුනහොත්? මෙවැනි කරුණු තුලින් දුක්ඛ සත්‍ය අවබෝධ වන්නට පටන් ගනී. අවට ඇති ජීවී අජීවී සියල්ල තුලින් තම සිතට දුක ඇති වන අයුරු වැටහීමට පටන් ගනී. තම සිතේ පැවතීමම දුකක් යයි අවබෝධ වන තුරුම දුක පිලිබඳ විවිධ අවබෝධ ලැබීමට පටන් ගනී. කරුණු කාරණා විමසීමේදී මේ දුක්ඛ සත්‍යයේ කෙළවරක් නම් නොමැති බව සිතට වැටහීමට පටන් ගනී. තව තවත් නිබ්බිදාව, නොඇල්ම ඇති වී මේ සසරින් ගැලවීමටම සිත යොමු වේ.
මේ ලෙසින් කරුණු විමසන කෙනාට ලොව ඇති අනාත්ම ස්වභාවය ක්‍රමයෙන් වැටහෙන්නට ගනී. මේ ලෝකයේ කිසිම දෙයක් නිත්‍ය නොමැත. මට ඕන විදියට පවතින්නේ නැත. නිරන්තරයෙන්ම වෙනසීමට ගනී. මගේ වසඟයේ නැත. මේ ශරීරය නිරන්තරයෙන් වෙනස් වේ. කෙට්ටු වේ, මහත් වේ. රැලි වටේ, ජරා ජීර්ණ වේ. මරණයට පත්ව පොලවට පස් වේ. නැවත තැනක උප්පතියක් ඇති වේ. මව් පියන් ගේ රුප කොටස් වලින් ඇතිවන , ආහාර , ජලය , වාතය තුලින් නිමවෙන දිනක නැවත පස් බවට පත්වන මේ ශරීරය මම නම් මගේ නම් ඒ මම මගේ බව පවතින්නේ අහර වලද? ජලයේද ? වතයේද? පොලවේ පස් වලද? මෙලෙසින් සිතේ අවබෝධ ඇති වන විට සිත තුල තිබුණු ආත්මයක්ය , පුද්ගලයෙක්ය , ඒකීය දෙයක්ය යන මුලාවන් ක්‍රමයෙන් අඩු වීමට ගනී. මේ සිතිවිලි නිරන්තරයෙන් වෙනස් වේ. පෙර සසරේ සිතු කිසිවක් දැන් නොමැත. විනාඩියකට පෙර ඇති කරගත් සිතිවිලි පවා දැන් නොමැත සියල්ල නිරුද්ධ වී ගොසිනි. බැලු කල කිසවක් නොමැත. ඇත්තේ හිස් බවකි. එසේ නම් ඒ සිතිවිලි ඒ සිතපු කෙනා දැන් කොහෙද? ඒ සිතිවිලි වල මමෙක් , ආත්මයක් තිබුනා නම් දැන් ඒ මම කියා ගත කෙනා කොහෙද? මමය නිරන්තනයෙන් වෙනස් වනවාද? එසේ නම් කලින් සිටපු කෙනා සහ දැන් කෙනා අතර ඇති සම්බන්දය කුමක්ද ? දිනක මරණයට පත්ව මේ ශරීරය පොලවට පස්වී, සිත නැත්තටම නැතිව ගිය කල්හි ගැනීමට කුමක් ද ඉතිරි වන්නේ? මේවැනි ප්‍රශ්න කිරීම හමුවේ
සිත තුල ප්‍රඥාව වැඩෙන්නට ගත කල මෝහය ක්‍රමයෙන් අඩු වනු ඇත. කලකිරීම, නිබ්බිදාව, විරාගය නිතැතින් මතු වනු ඇත.
අප කිසි දිනක තවත් අයකුට අයත් වත්තකට ගොස් අස් පස් කිරීම්, සාත්තු කිරීම් කරන්නේ නැත. තමන්ට අයත් නොමැති දෙයකට,තැකීමක් නොමැති දෙයකට වෙහෙසෙන්නේ නැත. මෙලෙසින්ම මේ ශරීරයද, සිතද, තමන්ට අයත් නොවන, රිසි ලෙස නොපවතින , නිරන්තරයෙන් වෙනස් වන, තනිකරම දුකක් වන දෙයක් බව අවබෝධ වූ විට මේවට තිබුණු බැඳීම් ලිහිල් වනු ඇත.මේවයින් මිදීමට සිත පහල වනු ඇත. තමන් සිටි මෝඩකම වැටහෙන විට සමහරක් විට තමන්ටම සිනහ පහල වනු ඇත. මේ අවබෝධ සමගම විදර්ශනා භාවනාවක් කර මේ කරුණු ප්‍රත්‍යක්ෂ ලෙස තම සිත තුලින් අත් දකින විට මේ වැටහීම් පුර්ණ අවබෝධ බවට පත් වනු ඇත. සිත තුලින් අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන ධර්මතා වැඩී ඉන් මතුවන අවබෝධාත්මක කලකිරීම තුලින් සිතින් මේ සියල්ල ගිලිහී යනු ඇත. සිතින් වටිනාකමක් දී තිබී පංචස්කන්ධ ධර්මයන් අතහැරී , ඒවායේ නිරෝධය දැකීමෙන් සිත නිවනට පත් කර ගැනීමට හැකි වනු ඇත.
මේ අප අත් දුටු යුතු ධර්මයයය. එහි සාරයය. එහි හරයය.
තෙරුවන් සරණයි!
~~~ අමා සුව ~~~