
පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ අසිරිමත් බුදු ගුණ දේශනාවකට සවන් දෙමින් සමාධිමත් සිතින් සිටියෙමි. ටිකෙන් ටික සිත තවත් සමාධිමත් වුණි. අපමණ බුදු ගුණ සවනත වැකෙන්නට වැකෙන්නට සිත ප්‍රීතිමත් විය. කය නිවී සැහැල්ලු විය. සිත නිවී සැහැල්ලු විය…මහා සුඛයකින් ගත වෙළී ගියේය. ඒ බුදු පියාණන් මෙත් සිත පැතිරවූ අයුරු ස්වාමින් වහන්සේ දේශනා කරන කල්හි ඒ මහා මෙත් සිසිලසින් අපායේ ගිනිදැල් නිවී යන අයුරු සමාධිමත් සිතෙන් දුටුවෙමි. ඒ මහා බුදු ගුණය. බුදු බලය… මහ මෛත්‍රී ශක්තිය… හදවත පුරා මහා බලයක් දැනෙන්නට විය..
ක්‍රමයෙන් සිත ඉහළ ධ්‍යානයකට පත්විය. ඒ ධ්‍යාන සිතේ සිටියේ මඳ වෙලාවකි…!
එක්වරම හාත්පස හිරු දහසක් පෑව්වාක් මෙන් ඒකාලෝක විය.. මුළු විශ්වයම එයින් ආලෝකමත් විය. ඒ ආලෝකය මැදින් රන්වන් ආලෝක කදම්බයක් විහිදෙන්නට විය… ඒ කුමක්දැයි මා සිතද්දීම ඒ බුදු සිරිපතුල් රන්වන් පැහැයෙන් මා දෙනෙත් අභියස දිස්වන්නට විය.. අහෝ… මා මේ දකින්නේ කවර නම් ආශ්චර්යයක්ද…. ඒ බුදු හිමි සිරිපතුල් මා ඉදිරිපිටය… ඒ විශාල, මා කිසි දින දැක නොමැති ඉතාමත් ලස්සන රන්වන් පැහැ සිරිපතුල් මා ඉදිරිපිටය… මට මෙය අදහාගත නොහැක… මම බිම වැතිර නමස්කාර කළෙමි… ඒ බුද්ධ ආශ්චර්යය… මට වචනයෙන් විස්තර කළ නොහැක.. මගේ හදවත පැළී යන්නට විය.. මුළු විශ්වයම ඒ රන්වන් ආලෝකයෙන් ඒකාලෝක වී ඇත.. මා මේ කුමක්ද දකින්නේ. මට අදහාගත නොහැක… මම ක්‍රමයෙන් ටිකෙන් ටික ඉහලට හිස ඔසවා බැලීමි… ඒ බුද්ධ අසිරිය මා කෙසේ නම් වචන වලින් ඔබට විස්තර කරන්නද…!!!
ඒ බුදු රුව දෙස එක එල්ලේ බැලිය නොහැකියි… පිනක් ඇත්නම් ඔබ මෙය විශ්වාස කරනු ඇත…
ඒ සිවුරේ පැහැය…! මා මෙතෙක් ජීවිතයේ එසේ දිලිසෙන බබලන අති අලංකාර සිවුරක් දැක නැත.. ඔබ මා දකින සිවුරු මෙන් නොව.. ඒ බුද්ධ චීවරය….පින්වත් රාධ ස්වාමින් වහන්සේ විස්තර කරන වචනයක් වචනයක් පාසා මම දෙනෙතින් බුදු හිමි දකිමි… මට මෙය ඔබට වචන වලට ගළපා කියන්නට කිසිදා නොහැකි වනු ඇත… අහෝ මාගේ බුදු පියාණෙනි…! ඔබ වහන්සේගේ මුව කමල…මට මගේ පණ නල සිඳී යන තෙක් කිසිදා අමතක නොවන්නේමය….
මහා කරුණාවේ උල්පත… !
මෛත්‍රීයේ කැඩපත…. !
මුදිතාවේ ද්වාරය…. !
තාදී ගුණයේ ප්‍රතිමූර්තිය….!!!!
ඒ නිල්වන් අභිනීල නෙතු සඟලේ මහා කරුණාව මා කෙසේ නම් වචනයට නඟන්නද…. ඒ බුදු දෙනෙත් මා දෙස බලා සිටිනවා නොවේද…. අහෝ හිමියනි මහ පොළොවටත් දරන්නට බැරිවූ මේ අසිරිමත් ගුණකඳ මා වැන්නෙක් කෙසේ නම් දරන්නද…! මාගේ හදවත පැළී යන්නට වෙර දරයි…. ඒ නිකෙලෙස් මුව මඬල වසා තිබූ තොල් සඟලේ අති පවිත්‍ර බව…!
ඌර්ණ රෝම ධාතුවේ අලංකාරය…
ඝන නිල් වන් කැරළි වී තිබූ කේශ ධාතූන්… මගේ ශබ්ද කෝෂය ඉතාමත් දුප්පත්ය…. !
ඒ සම විනිවිද යනවා මෙනි… එතරම්ම සියුම් ය… උපමාවකට නැගිය නොහැකිය…
අහෝ බුද්ධෝ… !
අහෝ බුද්ධෝ…!
අහෝ බුද්ධෝ..!!!
බිම වැතිර මම ඔබ වහන්සේගෙන් සමාව ගනිමි… සංසාර මාවතේ කවරදාක හෝ…. මාගෙ සිතින් හෝ වචනයෙන් හෝ ක්‍රියාවකින් හෝ….ඔබ වහන්සේට වරදක් සිදුව ඇත්නම්… මගේ බුදු පියාණෙනි..
මාගේ ජීවිතය පූජා කරමි… මට සමාව දෙන සේක්වා… !
ඔබ වහන්සේ මා ඉදිරිපිට වැඩි සේක…!!!
මේ සසර කතරේ අසරණව සිටි මා වෙතට ඔබ වහන්සේ වැඩි සේක…!
බුදු හිමියනි මා මෙය දරා ගන්නේ කෙසේද….!!! බුදු කෙනෙක්ගේ ඒ මහා කරුණාව.. දයාව… කෙසේ නම් වචනයට නඟන්නද…. එය දැනෙනවා පමණි…. අංගුලිමාල… පටාචාරා.. මට්ටකුණ්ඩලි. සුනීත….සෝපාක.. මේ මහා බුදු කරුණාව කෙසේ නම් දරාගන්නට ඇත්ද හිමියනි…!
අනේ මා වෙනුවෙන්ම මේ දුක්ඛිත සසරට බැසි ඔබ වහන්සේගේ මහා කරුණාව මම දෙනෙතින් දකිමි… හදවතින් විඳිමි… කරුණාව… මෛත්‍රිය… මුදිතාව… උපේක්ෂාව කුමක්දැයි මට තවත් කියා දෙන්නට ඇවැසි නොවේ…. මම එය ඔබ වහන්සේගේ මුව මඬලින් දුටුවෙමි..
වචන වලින් විස්තර කළ නොහැකි ඒ ගම්භීර බුදු ගුණ මම දකිමි… මා කෙසේ නම් ඔබ වහන්සේට පිටුපාන්නද… මට කිසිවකුත් පැමිණ නිවන් මාර්ගයට වීර්යය වඩන්නට යැයි යළි කියන්නට උවමනා නැත.. මම ඔබ වහන්සේ දුටුවෙමි…! ඒ නිසල නිවුණු ශ්‍රී මුව මඩල දුටුවෙමි..!!
බුදු රජාණන් වහන්සේ යනු සතර බ්‍රහ්ම විහරණයේ ප්‍රතිමූර්තියයි… බුදු සිතම යනු අත හැරීමයි… තණ්හා දිට්ඨි මානයෙන් තොර සීමා මායිමකින් ප්‍රමාණ කළ නොහැකි අප්‍රමාණ අතහැරුණු හිස් වී ගිය බුදු සිතයි.. ඒ අත හැරීමේ සුවය මා විඳිමි බුදු පියාණෙනි…! ඒ නිවීම මා විඳිමි…! මේ බුද්ධ බලය මාගේ ඇට නහර මිදුළු දක්වා කිඳා බැස ගලා යයි…
අහෝ මේ ශක්තිය සියළු ලෝ සතුනට දැනේවා..!!!
මේ සැනසීම ශාන්තිය ඔබත් අත් දකීවා…!!!
ඔබ සීලයෙන් ශක්තිමත් වන්න… ගුණයෙන් පොහොසත් වන්න… ඒ බුදු හිමි ඔබ දැකිය යුතුමය.. ඒ කාරුණික දෙනෙත් ඔබ දැකිය යුතුමය…
මේ මෝහ අන්ධකාරය තුළ ඔබ දකින එකම ආලෝකය එයමය… ඒ මහා නිවීමට මඟ පෙන්වන ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔබ දැකිය යුතුමය… ඒ මාගේ බුදු පියාණන් මම දෙනෙතින් දුටුවෙමි… කිසිදා ප්‍රතිමාවකින් නොදුටු, ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විසිතුරු වූ, වචනාර්ථය ඉක්මවා ගිය විශ්වයේ සුන්දරම දසුන, රූපය මම දුටුවෙමි…..!
සසර කරන ලද මහා පුණ්‍ය කර්මයක විපාකයකි…! ඒ බුදු රුව තුළින් මා දැක්කේ අත හැරීමමය… නිවීමමය…!
ඉතින් ඔබ නිවී යන්න…. ධර්මයෙන් බුදු පියාණන් දකින්න….!
දෙනෙතින් මා බුදු පියාණන් දුටුවෙමි… ජීවිත කාලයම විස්තර කළද.. අසරණ මා ඒ බුද්ධ අසිරිය, බලය කියා නිම කිරීමට අපොහොසත්ය.. මා වචන වලින් දුප්පත්ය….!!!
බුද්ධ බලය අනන්තය… අප්‍රමාණය…!
“අප්පමාණෝ බුද්ධෝ..”
අදහාගන්න ඒ බුද්ධ ශක්තිය…!
විශ්වය පුරා විහිදී ඇති අදටත් ජීවමාන ඒ අසීමිත බුද්ධ ශක්තිය මෙනෙහි කරන මොහොතක් පාසා…, මාගේ ඇඟ පුරා කිමිදී ගලා යයි… ඒ බලය විඳින්නට …ඒ සැනසීම විඳින්නට ඔබටත් හැකිවේවා යන්න මගේ අවංක පැතුමයි..!!!
සීලය වඩන්න…ගුණය වඩන්න… මෛත්‍රිය වඩන්න…. ශ්‍රද්ධාවෙන්, සීලයෙන් බලවත් ඔබේ සිතට දෙවිවරු වන්දනා කරන අයුරු ඔබම දකින්න…!
මේ සියල්ල හේතු ඵලයකි…!
ක්ෂණයක් ක්ෂණයක් පාසා අති වේගයෙන් ගෙවී නිරුද්ධ වී යන මේ සංස්කාරයන්ගේ අනිත්‍ය අනාත්ම බව මම හදවතින්ම දකිමි…
ලෝකයක් නැත… මමෙක් නැත… අල්ලන්නට තැනක් නැත. රකින්නට දෙයක් නැත…
හිස්ම හිස් ලෝකයකි…!
මායාවකින් වැසී ඇති ලෝකයකි…!
අවිද්‍යාවෙන් වැසී ඇති ලෝකයකි…!
ඔබත් මේ සත්‍ය දැකිය යුතුමය…!!!
මේ ධර්මය හදවතින් දකින්නට මට වරම් දුන් මාගේ ගුරු දේවෝත්තම දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේටත්, පූජනීය ථෙරිකා මෑණියන් වහන්සේටත්… ජීවිතය පුදා වන්දනා කරමි…!!!
ගෙවෙන මොහොත අපතේ නොයවන්න…!
අප්‍රමාදී වන්න…!!!!
සිතක් සිතක් පාසා භවයක් සැදෙමින් පවතින බව දකින්න.
සාර අසංඛ්‍ය අසංඛ්‍ය කල්ප කෝටි ගණන් වෙහෙසවූ පා යුග…. අවසාන පිරිනිවන් මංචකයේ සතපවා… මහා කාරුණික දෙනෙත් දල්වා … වැතිර සිටිනා මාගේ බුදු පියාණන් මම දකිමි… දෙනෙතින්ද දකිමි… හදවතින්ද දකිමි….
ඒ විඩාබර වූවද .. රන්වන් රැස් විහිදෙන මුව මඬල විවර කොට මුළු විශ්වයක් සනසවා.. දෙසූ අවසාන මුණි වදන් මා හදවතට කැවී ගොස් අවසන්ය…
“වය ධම්මා සංඛාරා… අප්පමාදේන සම්පාදේත…”
ඉතින්… මා තවත් පමා වන්නේ කෙසේද….!
මා මරණයට භියක් නැත…!
මරණය මා වැළඳ ගන්නා තෙක් මඟ බලා සිටිමි…
මේ සංස්කාර ලෝකයේ, අවිද්‍යාවෙන් වැසී මුලාවී ගෙවන ජීවිතයේ කවර නම් හරයක්ද…!!!
සර්වඥතා ඥණයෙන් දෙසූ පසුවත්… අදහා ගන්නට තවත් නොහැකි නම් ඔබට ඒ සත්‍යය..
වරද ඇත්තේ කොතනකද යන්න හදවතින් විමසා බලනු මැන….!!!
ඒ බුදු පියාණන් කිසිදා අමතක නොකරන්න…! හදවතින් ගිළිහී යන්නට ඉඩ නොදෙන්න… ඊටත් වඩා ඔබට වටින්නේ කුමක්ද….!!!!
මහා විශ්වයට අචින්ත්‍ය වූ කරුණාවක්… සත්‍යයක්… මහා බලයක්… මුදා හැර…, කරුණාවෙන් තොරව එක් දිනක් වත් ලෝකය දෙස නොබැලූ… ඒ නීල නෙතු සඟල… ! කරුණාවෙන් තොරව එක වදනක් වත් පිට නොවූ…ඒ නිකෙලෙස් මුව මඬල සදාකාලිකවම පියවී ගියද….;
මාගේ බුදු පියාණෙනි…ඔබ වහන්සේ මාගේ හදවතේ ජීවමානය…!!!
ඔබ වහන්සේ දෙනෙතින්ද… හදවතින්ද දුටු දින… මාගේ මුළු හද මඬලම ඔබ වහන්සේට බුදු කුටියක් වූවා දන්නේ…. මමත්, ඔබ වහන්සේත් පමණි…!!!!!
ඔබ වහන්සේ වැඩ සිටිනා මාගේ නිර්මල හද මඬල යළි කිසිදා කිළිටි නොවන්නට මම ප්‍රතිඥා දෙමි…!
පතුරවමි මහා මෛත්‍රිය…. මුළු විශ්වයටම…. ඔබ වහන්සේගේ බුදු සිත මෙනෙහි කරමින්…
හැකිවේවා අත්දකින්නට සියළු සත්වයන්ට… මේ මහා අසිරිමත් බුදු ගුණ… බුදු බලය… ශක්තිය….!
එයයි මාගේ ප්‍රාර්ථනය….!!!!
එම අති උතුම් දේශනාව :