
“අවිජ්ජා පච්චයා සංඛාරා”
අවිද්‍යාව හෙවත් මෝඩකම සත්වයාගේ සිත තුළ පවතින තාක් කල් ඔහු කුසල් අකුසල් සංස්කාර රැස් කරමින් සසර පුරා ගමන් ගනී. අවිද්‍යාව මුළුමනින් දුරු කරන ලද බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ සිත් තුළ යළි සංස්කාර ගලනයක් සිදු නොවන බැවින් නැවත් සසර දිගු වීමක් සිදු වන්නේ නැත. නමුදු අතීත භවයන්හි රැස් කරන ලද කර්ම ශක්තීන් විපාක දීම සිදුවේ. නමුත් අලුතෙන් රැස් වීමක් සිදු නොවේ.
පෘථග්ජන සිත් හි මෝහය පවතින නිසා නිරායාසයෙන් සිතිවිලි ගලනයක් පවතී. අවශ්‍ය වූවද, නැති වූවද කැමති වූවද , අකැමති වූවද එය පාලනය කළ නොහැක. තාවකාලික වශයෙන් සිතිවිලි යටපත් කරගත හැකි නමුදු , එය නිත්‍ය නොවේ.
භාවනාව හොදින් වඩන ලද යෝගාවචරයකුගේ සිත තාවකාලික වශයෙන් සමථයකට පත්වී තිබුණද කැළඹුණු ජලයක් පරිදි විසිරී යාමට ගත වන්නේද සුළු කාලයකි. මන්ද යත් බාහිර අරමුණු නිසා සෙලෙවෙන මනසක් ඇති බැවිනි.
මෙසේ සත්වයා අවිද්‍යාව නිසා කුසල්ද රැස් කර ගනී. අකුසල්ද රැස් කර ගනී.
නිවන දැකීමට උත්සාහ කරන නියම බෞද්ධයකු නම් කළ යුත්තේ හැකිතරම් කායික, වාචික, මානසික අකුසලයන් යටපත් කරගෙන , කුසල් දහම්හි නිරත වෙමින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩි දියුණු කර ගනිමින්, මේ ජීවීතයේදිම නිවන සාක්ෂාත් කර ගැනීමට වීර්යය දැරීමයි.
අප කරන සියළුම කුසල කර්මයන් සංසාර දුකින් අත් මිදී නිවන පිණිසම හේතු වේවා යන චේතනාවෙන් කළ යුතුය. නමුත් එසේ ප්‍රාර්ථනාවකින් හෝ බලාපොරොත්තුවකින් නිවන සාක්ෂාත් කළ නොහැකි බව යම්කිසි හෝ අවබෝධයක් ඇති කෙනකු දන්නවා ඇත. නමුත් බුද්ධත්වය පිණිස පාරමී පූරණය ආරම්භ වන්නේද මනෝ පණිධාය පූරණය කිරීමෙනි. එනම් ඔබේ අධිෂ්ඨානය, ප්‍රාර්ථනය තිබීම නොවැදගත් නොවේ. එම වීර්යය චිත්තය අවශ්‍යය. මන්දයත් ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට චන්ද, චිත්ත, වීර්යය, වීමංසා යන සතර සෘධිපාද ධර්මයන් අත්‍යවශ්‍ය වන බැවිනි..
චන්දය යනු කැමැත්තයි. චිත්තය යනු නිවන් දැකීම පිණිස එම පටිපදාව තුළ හික්මීම පිණිස ඇති කර ගනු ලබන සිතයි. වීර්යය යනු නොපසුබස්නා උත්සාහයයි. කුමන බාධකයන් පැමිණියද ආපසු නොහැරෙන වීර්යයකි. වීමංසා යනු ප්‍රඥාවයි.. ප්‍රඥවකින් තොර නිවන් අවබෝධයක් නොමැත.
අද සමාජයේ බොහෝ බෞද්ධයන් අනේක විද කුසල කර්මයන් සිදු කරයි. බෝධි පූජා, ධර්ම දේශනා, තිර පූජා, සත් බුදු වන්දනා, කොඩි පූජා, චෛත්‍ය වන්දනා, පලතුරු පූජා ආදී නොයෙක් විද පූජාවන් බුද්ධ රත්නය, ධම්ම රත්නය හා සංඝ රත්නය උදෙසා සිදු කරයි.
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමි දම් පුරා බුද්ධත්වයට සපැමිණ අසංඛ්‍ය ගණන් සත්වයන් සංසාර දුකින් එතෙර කරවූ නිදුකාණන් වහන්සේ වෙත දෙවියන් , බඹුන් පවා සදෙව් ලොව තුළ සිට මදාරා පරසතු මලින් පවා පුද පූජා කළේ එකිනෙකා පරයමින්ය. මහා බ්‍රහ්මයා, සක් දෙවිඳුන් ආදී උත්තම චරිත පවා බුදු රජාණන් වහසේ අභියස , සත්කුලු පව්ව අභියස දුහුවිලි කැටයක් මෙනි. බුදු රජාණන් වහන්සේට පමණක් නොව උන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට පවා එක් දන් වේලක් පූජා කිරීමට දෙවිවරු වෙස් වළාගෙන පැම්ණියෝය.
උන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී අවසන් ගෞරවය දැක්වීමට දෙවිවරුන්, බ්‍රහ්මයන් පැමිණ සිටියේ ඉදිකඩු සිදුරු තරම් සියුම් ශරීර මවාගෙනය. එසේ වූවද එවැනි අයගෙන්ද අහස් තලය අතුරු සිදුරු නැතිව පිරී ගියේය..
එදා සිටි රජවරු උන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට අසදෘශ දානය දුන්නේ රජුත් රටවැසියනුත් තරගෙටය. අනේපිඩු සිටුතුමා තමන් සතු ධනය සිඳී යනතෙක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා දන් දුන්නේය. විශාඛාව ආදිය දන් දුන් ආකාරය විස්තර කිරීමට මෙවැනි ලිපියකින් කිසිසේත්ම නොහැකිය.
බුදු කෙනකුන්ගේ අගය දන්නා දෙව් මිනිසුන් බුද්ධ රත්නයට ගරු බුහුමන්, ආදර ප්‍රණාමය දක්වන්නේ එලෙසිනි. ඒ පින බලාගෙනම නොවේ. තමන් ලයෙහි උපන් පිරිසිදු ශ්‍රද්ධා ගෞරව භක්තිය හේතුවෙනි. එයට ගරහන්නෝ හතු පිපෙන්නාක් මෙන් අද සමාජයේ බිහි වූවද , පින්වත් වූ, ඔබ සිත් කලඹවා ගත යුතු නැත. තමන් රැස් කරගන්නා දේ තමන්ට වන බැවිනි.
කර්මය කිසි විටෙකත් අසාධාරණ නැත. ඔබ තිදොරින් රැස් කරගන්නා දේ ඔබට හිමි අතර අන් අය සිතන පතන දේ අනුව ඔවුන්ට හිමි වනු ඇත. ඔබ වෙහෙසිය යුත්තේ ඔබේ සිත රැක ගැනීමටය.
එදා ප්‍රඥාවෙන් අග තැන්පත් සැරියුත් මහ රහතන් වහන්සේ පැවසූවේ,
“ස්වාමීනී මහා සාගරයේ ජලය කිසිසේත් මිනිය නොහැකියි, නමුත් කෙනකු එයද මැන දැක්වූවද , ඔබගේ සර්වඥතා ඥාණය මිනිය නොහැකිය” ආදී ලෙසින් උපමා ගෙනහැර දක්වමින්ය. එවිට උන්වහන්සේගේ සිත තුළ බුද්ධ රත්නය පිළිබඳ උපන් ශ්‍රද්ධාව හේතුවෙන් උන් වහන්සේට රැස් වූ කුසලයද එලෙසින්ම මිනිය නොහැකි බවත් නමුත් උන් වහන්සේ අර්හත්වයට පත්ව සිටි බැවින් නැවත් ඉන් විපාකයක් නොලැබෙන බවත් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. අග්ගපසාද සූත්‍රය පුරාම පවතින්නේ යමෙක් අග්‍ර වූ බුද්ධ රත්නය පිළිබඳ සිත් පහදවා ගැනීමෙන් අග්‍ර වූම කුසල් රැස් කරගන්නා බවය..
එදා සිටි රජවරු බුදු ගුණ ශ්‍රවණය කරේ වරු ගණන් පුරා නිදිවර්ජිතව, සිටගෙනය..
මෙසේ බුදු ගුණ අසන්නට සිදු වේ නම්, ජීවීත කාලය පුරාම වුවත් සිටගෙන සිටිය හැකි බව එම රජවරු කියා සිටියෝය. එක් බුදුවරයකු විසින් කල්පයක් මුළුල්ලේම දේශනා කලත්, කල්පය නිම වී ගියද බුදු ගුණ නිමක් නොවේ. මෙසේ අනන්ත වූ බුදු ගුණ දරන බුදුවරයකුට ජීවීත පරිත්‍යාගයෙන් පූජා කිරීමට සුදුසුය. “අරහං” ගුණය ගැන පමණක්ම හෝ දන්නා යමෙක් වේද, මෙය අවබෝධ වනු ඇත.
නමුත් කොතෙක් බුද්ධ පූජා, ආමිස පූජා පැවැත්වූවද බුද්ධ දේශනයේ හරය නම් නිවනයි. පිරිනිවන් මංචකයේදි දෙවියන්, බ්‍රහ්මයන් මදාරා පරසතු මලින් උන් වහන්සේ පුදද්දී, උන් වහන්සේ දේශනා කළේ,
” ආනන්ද නියම බුද්ධ පූජාව නම් මාගේ ධර්මය අවබෝධ කොට, ප්‍රතිපත්තියෙන් පූජා කිරීමයි ” ලෙසටයි.
ඔබ සිදු කරනා අනේක විද බුද්ධ පූජාවන් විදසුන් ඇසින් දකින්න. කල්ප ගණන් පාරමී පුරමින්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අනූන බුද්ධ ශරීරයත් පොළොවට පස් වී ගිය සේක. උන් වහන්සේගේ නාමයද , ඒ ධර්මයද තව වසර ගණනාවකින් සත්වයන් අතුරින් ගිලිහී ගොස් කල්ප ගණන් අබුද්ධෝත්පාද කාල එළඹෙනු ඇත. එදාට මෙම ධර්මයද වැළලී යනු ඇත. උන් වහන්සේට එදා ආමිසයෙන්, ප්‍රතිපත්තියෙන් පූජා කළේ අසංඛ්‍ය ගණනින්ය. එදා උන්වහන්සේගේ අනුගාමිකයන් ගණන අසංඛ්‍ය ගණන්ය.. අද ඒවා සියල්ල ඉතාමත් සුළු ප්‍රමාණයකට සීමා වී ඇත.
බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මය මෙයයි. හේතුන් නිසා හටගත් සියළු සංස්කාරයන් අනිත්‍යයට , වැයවීමට , විනාශයට බඳුන් වෙයි. ඒවා දුක් සහිතය. කිසිවක් තමන් වසඟයේ නොමැත. මම, මාගේ, අපේ කියා ගත නොහැකිය. සියල්ල පාවී හමා යන සුළඟක්, ගලා යන ගංගාවක් පරිදි ඒවා ඒවාගේ පාඩුවේ ඇති වී නැති වී යයි. එම අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම සංස්කාර ‘මම’, ‘මගේ’ ලෙසින් ග්‍රාහණය කරගනිමින් සත්වයා සංස්කාර උපදවා ගනිමින් නොනිමි භව ගමනක් සකසා ගනී.
කුමන කුසලයක් කලද එය පෙරත්, සිදු වන විටත්, එය සිදුවී අවසන් වූ පසුත්, ඒවා වැයවී, විනාශ වී ගිය ආකාරය විදසුන් ඇසින් බලා ප්‍රත්‍යවේක්ෂා කොට නිවන් මඟ සකසා ගැනීමට ඔබ දක්ෂ විය යුතුය.
ඔබ එසේ කිරීමට හැකියාවක් ඇත්නම් හෝ, උත්සාහයක් දරන්නේ නම්, ඔබේ ආමිස පූජාව, ප්‍රතිපත්ති පූජාවක් කොට බුදු පියාණන් වහන්සේට උතුම්ම පූජාව සිදු කිරීමට ඔබ භාග්‍යවත් වනු ඇත.
අසදෘශ දානය දුන්නද, එක් කෂ්ණයක් තුළ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් උපදවා ගන්නා කුසලය බලවත් වනුයේ, එය සසර තුළ ඔබ අප්‍රමාද කරන බැවිනි.
අප බුදු රජාණන් වහන්සේට නියම බුද්ධ පූජාවක් කළා යැයි ඔබට සතුටු විය හැක්කේ, ඒ තුළ ඇති පරම සත්‍ය ධර්මයද අවබෝධ කර ගැනීමට උත්සාහ දැරිමෙනි.
සියළු සත්වයෝ සුවපත් වේවා..!!!