
තමන් හා අනුන් සසඳා බලා තමන්ට අනුන්ට වඩා උසස්ව යම් යම් දේවල් ඇතැයි සිතද්දී සතුටක්, ආඩම්බරයක් ද, අනුන්ට වඩා අඩුවෙන් දේවල් ඇතැයි සිතද්දී දුකක්, හීන මානයක්, ද්වේෂයක් ද ඇතිවීම කෙලෙස් සිත් වල ස්වභාවයය.. රූපය, ඉඩ කඩම්, වාහන, රැකියාව, හැකියාව, පාසල, කුලය, පවුල් පසුබිම, දරුවන් ආදී ලියා නිමකළ නොහැකි ලැයිස්තුවක් තිබේ. මෙවැනි භෞතික දේවල් පමණක් නොව, තමන් සතු ගුණ ධර්මද අනුන් හා සසඳා එලෙසින්ම සතුට, මානය වඩවා ගනී. මෙවැනි කෙලෙස් අප ක්‍රමයෙන් අඩු කරගත යුතුය.
අල්පේච්ඡ භාවය වඩවාගත්ම සිත සැහැල්ලු වෙයි. බාහිර අල්පේච්ඡ භාවය පමණක් නොව අභ්‍යන්තරව, මානසිකව අල්පේච්ඡ විය යුතුය. බාහිරින් පමණක් අල්පේච්ච වූ විට එය ගැන පවා මානයක් එයි. මම අවමවාදීව ජීවත් වෙන කෙනෙක් යැයි අන් අය එසේ නොවේ යැයි සිතයි. එහෙයින් සිතේ අල්පේච්ච භාවය ගොඩනැඟිය යුතුය. තමන් සතු ගුණ ධර්ම තමන්ටය.
අප බුදු රජාණන් වහන්සේගේ , රහතන් වහන්සේලාගේ චරිතාපදාන ඇසුරු කළ යුතුය. උන් වහන්සේලා සතුව තිබූ නිහතමානී බාවය, මෘදු බව, අල්පේච්ඡ බව ගැන අසද්දී ඇඟ කිළි පොළා යයි.. අප ගැනම ලැජ්ජා වෙයි.. අප සමාජය දුවන්නන් වාලේ නොදිවිය යුතුය. මන්ද සමාජය දුවන්නේ නිරයටය.. අප යා යුත්තේ නිවනට වැඩි උතුමන් පසුපසය.
එවැනි උසස් චරිත ගැන දැන ගන්නට දැන ගන්නට අපට අපේ චරිතය පෙනෙයි.. තමන්ට තව කොතෙක් දියුණු කරගන්නට තිබේදැයි පෙනෙන්නේ එවිටය..
තමන්ට ඇති කුඩා දෙයක් හුවා දක්වමින් මානය වඩවන සමාජය තුළ, තමන්ට ඇති මහා ගුණයන් පවා ළඟ ඉන්න කෙනාවත් නොදැන ජීවත් වූ ඒ උතුමන් වහන්සේලා ගැන අසද්දී ඇස් වලින් කදුළු කඩා හැලෙයි.. අප වඩවාගත යුත්තේ එවැනි උත්තම ගුණ දම්ය..
අපි ජීවත් විය යුත්තේ අපේ අඩුපාඩු දකිමින්ය. අපි අපේ සිත, ඇතුලට හරවා ගත යුතුය. මේවා ලෙහෙසියෙන් කල නොහැක . නමුත් වීර්‍යයෙන් සතියෙන් කළ යුතුය. ඒවා හදාගන්නට වීර්යය වැඩෙන්නේ එවැනි උසස් චරිතයන් ඇසුරු කරද්දීය..
ලෝකයට පෙනෙන්නට කුමක් තිබුණද පලක් නැත.. තමන් සිත තුළ ඒ සහනය නොමැති නම්…
අද සිටින කෙනා හෙට නැත.. අද අපව මතක කෙනාට හෙට අපව මතක නැත. නමුත් අප අපේ සිතත් සමඟ ජීවත් වුවහොත්, අපේ ගුණ දම් අපේ යහපත පිණිසම දියුණු කරගත හොත්, එයින් සැනසෙන්නේ – නිවෙන්නේ අපේ සිතමය..
අත හැරීම පුරුදු කරමු..
සිතේ කෙලෙස් එකින් එක වීර්යයෙන් යුතුව අත හරිමු..
සැනසීම නියත වශයෙන්ම උදා වෙනු ඇත…!!!