
අද වටිනාකම් දී, ජීවීතයම පරදුවට තබා වෙහෙසවන සියළු දේ මිරිඟුවක්ම පමණි. එය අවබෝධ කරගැනීම ඉතා දුෂ්කරය. ප්‍රඥාවන්ත වූවෝ ඒ සියළු දෑ අතහැරියේ අළුයම ලූ කෙළ පිඬක් සේය. විමුක්තිය සොයා, මහා වන මැද බවුන් වඩමින් සැබෑ සුවය අත්පත් කර ගත්තෝය.බොහෝ දෙනා, ඒ ප්‍රඥාවන්තයන් අසූචි සේ ඉවත ලූ දේ, මහා වටිනා කම් දෙන දේවල් යැයි සිතා, කෙලෙස් ජාලයක පැටලෙමින්, දුර්ලභව ලැබූ ක්ෂණ සම්පත්තිය නාස්ති කොට, මරණයෙන් මතු කල්ප ගණන් දුගතියන්හි දුක් විඳියි..
අවුරුදු හැට හැත්තෑවක ජීවිතයක් වෙනුවෙන් රැස් කරගන්නා කෙලෙස් සාගරය කල්ප ගණන් භව සකස් කොට අවසන්ය. එකම පුද්ගලයකුගේ පමණක් ඉදිරියට ගෙවන්නට තිබෙන කර්ම ප්‍රමාණය තබන්නට මේ විශ්වයත් ඉඩ මදිය.මරණය යනු හුස්මක දුරින් ඇති දෙයකි. අවම වශයෙන් සෝවාන් ඵලයෙන් වත් නිවී නොමැති නම්, මහ පොළොවේ ඇති පස් අතරින් නිය සිලට පැමිණි මාර්ගඵල ලාභී, ධ්‍යාන ලාභී අයගෙන් මිදී අපායන්හිම ප්‍රමාද වන්නට සිදුවීම ඒකාන්ත සත්‍යයකි.සිත දියුණු කරගෙන, ධ්‍යාන උපදවා, උපදින මැරෙන සත්වයාගේ භව ගමන යන්තමින් හෝ දකින්නට හැකි නම්, උසස් මනසක් සහිත මිනිසාගේ පවා සිත් හි පවතින අදුරු කෙලෙස් ප්‍රමාණය දකින්නට හැකි නම්, අසුරු ගසන ක්ෂණයක් තුළඳී පහළව මියෙන් කෝටි ගණන් කෙලෙස් සංස්කාර ගණන දකින්නට හැකි නම්…; බුදු රජාණන් වහන්සේ, “හිස ගිනි ගත්තද නිවන පිණිසම වීර්යය වඩන්න” යැයි කීවේ මන්ද යැයි අවබෝධ වනු ඇත. මැරෙන මැරෙන අය සතර අපායටම යන බව විශ්වාස කරන්න.. එය පරම සත්‍යයකි. මාර්ගඵලයක් හෝ අවම වශයෙන් වශී කරගත් ධ්‍යාන සිතක්වත් නොමැති ඔබ මේ ප්‍රමාද කරන්නේ, කල්ප කෝටි ගණනකින් ලැබුණු, බුද්ධෝත්පාද කාලයේ අති දුර්ලභ වටිනා ක්ෂණයයි..
මැරෙන මොහොතේ ඔබට පිහිට වන්නට කිසිවකුත් නොමැත.. රැස්කරගෙන , පුරවාගෙන සිටින සංස්කාර තොගය.. අතහැර ගන්නට නොහැකිව දුක් විඳින්නේ ඔබමය.. අද මේ ගත කරන සැප මොහොත එදාට ඔබට උදා වන්නේ නැත. අද මේ සිනහව ඔබට හැඬූ කඳුලක් වනු ඇත. හුස්ම පොදට සටන් කරන ඔබට, බුදු රුව ඉබේ මැවී පෙනෙන්නේ නැත. ඉබේ අනිත්‍යය, දුක්ඛ , අනාත්මය ප්‍රකට වන්නේ නැත. සක්කාය දෘෂ්ඨියවත් දුරුකොට නොමැති, අනාත්මයක් අත්දැක නොමැති සිතකට ඉබේ මැවෙන බුදු රුවක් නැත. ඒ සඳහා හදවත පුදා තෙරුවන් සරණ ගොස්, සිතිවිලි මාත්‍රයකින් වත් පංච ශීලය නොකඩා තිබිය යුතු වේ. එසේ කළඳ එය අනිවාර්යයෙන්ම කිව නොහැක. කම්ම නියාමයට අනුව පෙර සසරේ කරන ලද කවර කර්මයක් හෝ ඉදිරියට පැමිණීම සිදු විය හැක..
මේ සත්‍ය නොදන්නා තාක්, දිය හැලියේ නටන කකුළුවන් මෙන්, සිනහ වෙවී, නටමින් කාලය ගත කරනු ඇත..ප්‍රඥාවන්තයන් සසරි මිදී නිහඬව නික්ම යනු ඇත.