සෝවාන් වීම !

සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් නැවත කිසිදා නූපදින අන්දමින් නිරුද්ධ වේ. පඤ්චස්කන්ධ ධර්මයන් ආත්ම වශයෙන් ග්‍රාහණය කිරීම සක්කාය දිට්ඨියයි. විචිකිච්ජා යනුවෙන් හැඳින්වෙන්නේ ත්‍රිවිධ රත්නය, පෙර භව, පසු භව, පෙර පසු භව පටිච්චසමුප්පාද ධර්ම හා ත්‍රිශික්ෂාව පිළිබඳව පහල වන සැකයයි. සීලබ්බත පරාමාස යන දුකින් නිදහස් වීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් නොකර වෙනත් ලබ්ධි වල එල්බ ගෙන කරනු ලබන විවිධ ක්‍රියාවන් ය.

පඤ්චස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගෙන සති සමාධි ප්‍රඥා දියුණු කරමින්, විදර්ශනා භාවනාවක නියැලෙමින් පංචස්කන්ධයේ ඇති වීම් නැති වීම් බල බලා සිටීමෙන් පාරමී ශක්තියක් ඇති කෙනෙකුට පහසුවෙන් නිවන් අත්දැකිය හැකි වනු ඇත.

විදර්ශනා භාවනාවක යෙදෙන සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට පංචස්කන්ධයේ ඇතිවීම් නැතිවම් ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දැකිය හැකිවේ. අප අත පයක් හිරි වැටී දිග හැරිය පසු ඒ අතපය නලිය නලියා වෙනස් වන හැටි කායික වශයෙන් ප්‍රත්‍යක්ෂ ලෙසම තේරෙන්නා සේ, සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට තමන්ගේ ශරීරය කිව නොහැකි තරම් අතිශය වේගයකින් ඇතිවී ඇති වී නැතිවී නැතිවී යන ආකාරය ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යයි. සමහර අවස්ථාවලදී ඒ රූප බිදි බිදි යන හඩ පවා හ්හ්ම් හ්හ්ම් හ්හ්ම් යන හඬින් තමාගේ පියවි කනට පවා ඇසේ.
ඒවා දකිනා සිත් ද එලෙසින්ම අති වේගයකින් ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරයද ඔහු දකී. එසේ වහ වහා බිඳී බිඳී යන නාම රූප ‘මම’ – ‘මගේ’ -‘මගේ ආත්මය’ ආදී ලෙසින් ගැනීමට කිසිවක් ඉතිරි නොවීම නිරුද්ධ වී යාම ද එවැනි කෙනෙකුට අවබෝධ වේ. මේ මොහොතේ පවත්නා රූප කොටස් ඊළඟ මොහොත වන විට නැතිවී නිරුද්ධ වී යන බැවින් ආත්ම වශයෙන් ගැනීමට කිසිවක් ශේෂ නොවන බව දැක අනාත්ම ලක්ෂණ ප්‍රකටව හා ප්‍රත්‍යක්ෂ ලෙස දක්නා කෙනෙකුට රූපය සිතට නොපෙනී ගොස් රූප නිරෝධයකට සිත පත්කර ගත හැකිය. මෙවිට තමාගේ ශරීරය සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී ගොස් හිස් අහසක් බදු ශූන්‍ය තත්ත්වයකට සිත පත්වේ. ඒ අවස්ථාවේදී රූපය තුළ ආත්මයක් ඇත යැයි ගැනීමට රූපයක් විද්‍යාමාන වන්නේ නැත.

මෙවිට ඉතිරිව ඇත්තේ ඒ ශූන්‍ය භාවයත් ඒ දක්නා දැනීමකුත් පමණි. තමාගේ ආත්මය වශයෙන් ගැනීමට ඒ අවස්ථාවේ දර්ශනය වන එකම දේ එයයි. යම් දෙයක් ඇති විට ඒ දේ ඇතැයි කිව හැකිය. උදාහරණයකට පහන් දැල්ලක් දැල්වෙන විට එය ඇතැයි කියා කිව හැකි ය. එහෙත් ඒ දැල්ල නිවී ගිය පසු ඒ ඇතැයි කියා කිව නොහැක. මේ අවස්ථාවේ දර්ශනය වන, ආත්මය වශයෙන් ගැනීමට ඉතිරි වී ඇති ඒ දර්ශනය පවා අනිත්‍යයට යන ආත්ම නොවන නාම ධර්මයකි; සංස්කාර ධර්මයකි. එය නැතිවී නිරුද්ධ වී ගිය විට එහි ආත්මය කියා ගැනීමට කුමක් නම් ඉතිරිවේද? මේ අවබෝධයෙන් යුතුව ඒ ශූන්‍යතාවය දෙස බලා සිටින විට ඒ දක්නා නාම ධර්මය ද නිරුද්ධ වී යාම එක් ක්ෂණයක දි දර්ශනය වී තවත් ගැඹුරු ශුන්‍යතා දර්ශනයක් ඇති වේ. එය ද අනිත්‍ය වූ අනාත්ම වූ මම මගේ නොවන සංස්කාර ධර්මයක් බව අවබෝධ වන විට, නාම රූප නිරෝධය අත්දැක නිවනට සිත පත්කර ගත හැකිය.

“සමහර අය කියනා නාම රූප නිරෝධය කියලා දෙයක් නැහැ – එහෙම එකක් බුදුහාමුදුරුවො කියල නැහැ” ආදී ප්‍රකාශ අපට අසන්නට ලැබේ. ඒ අය බුදුරජාණන් වහන්සේ විසින් විවිධ සූත්‍රවල ” රූප නිරෝධඤ්ච පජානාති” ආදී ලෙසින් දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය.

මෙසේ නාම රූප නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙස දක්නා පුද්ගලයා චතුරාර්ය සත්‍යය ද පැහැදිලිව දකී.

රූප නිරෝධයට පත් වූ අවස්ථාව සමඟ ඊට පෙර පැවැති රූපයේ පැවැත්ම සසඳා බැලීමේදී රූපය සිතට වැටහෙමින් පැවැති අවස්ථාව දුකකි. නාම ධර්ම සංසිදී ගිය අවස්ථාව සමඟ ඊට පෙර පැවැති නාම ධර්ම සංසන්දනය කර බලන විට නාම ධර්ම ක්‍රියාත්මකව අන්දමින් පැවතීම දුකක් බව වැටහේ. එබැවින් මෙම නාම රූප ධර්ම එනම් පංචස්කන්ධ ධර්ම පැවතීමම දුකකි. “සංඛිත්තේන පඤ්චුපාදානස්කන්ධා දුක්ඛා” කෙටියෙන් දුක කියන්නේ පඤ්චස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම ය. දුක්ඛ සත්‍ය යනු එයයි.

පංචස්කන්ධය ඇතිවීමේ හේතු වශයෙන් දුටු සමුදය, පංචස්කන්ධ සංඛ්‍යාත දුක ඇති කරනු ලබන දුක්ක සමුදය සත්‍යය වේ.

මේ නාම රූප නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙසම දක්නා ඔහු දුක්ඛ නිරෝධ සත්‍යය ද දකී.

නාම රූප නිරෝධය ලැබීමට අනුගමනය කළ විදර්ශනා භාවනාව දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්යසත්‍යය බව ඔහුට අවබෝධ වේ.

ඉහළ ඉහළ මාර්ග-ඵල ලබනා විට චතුරාර්ය සත්‍ය අවබෝධය වඩාත් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ ලෙස දැකිය හැකි වනු ඇත.

~~~නිවන් සුව මේ ජීවිතයේදීම~~~
පූජනීය දන්කන්දේ ධම්මරතන හිමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.