
සෝවාන් වී සිටී යැයි රැවටී සිටිනා බොහෝ අය අද සිටිනා බැවින්, තමා ලබා ඇතැයි සිතා සිටිනා මාර්ගඵලය සත්‍ය වශයෙන්ම ලැබී ඇත්දැයි දැනගැනීම සඳහා “සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය ඉතා පැහැදිලිව පෙනේවා” යි අධිෂ්ඨාන කර, විදර්ශනා භාවනා කරමින් සක්කාය දිට්ඨිය නිරුද්ධ වී යාම ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දැකිය යුතුය. එය එක් ආකාරයකින් පමණක් නොව, ආකාර පහක් හයකින් අත්දැකීම වඩාත් සුදුසුය. ඊට අමතරව ඵල සමවතට සමවදිමින් නිවන් සුව අත්දැක, නිවන කියන්නේ මෙය යැයි ප්‍රත්‍යක්ෂ කරගත යුතුවේ.
සත්‍ය වශයෙන්ම සෝවාන් වී සිටිනා අයට සකදාගාමි මාර්ග ඵල ලබා ගැනීම සඳහා කටයුතු කළ හැකිය. ඒ සඳහා “මෙතෙක් කාලයකට ( උදා. මාසයකට, දෙකකට…) සෝවාන් ඵලයට මගේ සිත පත් නො වේවා” යි දැඩිව අධිෂ්ඨාන කරමින් සෝවාන් ඵල සිත ප්‍රතික්ෂේප කිරීම අත්‍යවශ්‍යය ය. නොඑසේ නම්, සකදාගාමි වීමේ අදහසින් භාවනා කරනා ඔහු කලින් ලබා ඇති සෝවාන් ඵලයට ම සිත පත්වීම නිසා, දෙවන මාර්ග ඵලය නොලබාම, සකදාගාමි වූයේ යැයි රැවටීමට ද ඉඩ ඇත. මාර්ග ඵලයක් නොලබාම, තමා මාර්ගඵල ලාභියෙකු යැයි සිතා සිටින අය හඳුන්වන්නේ අධිමානී පුද්ගලයන් ලෙසිනි. මාර්ග ඵලයක් ලබා ගත් කෙනකු පසුව ඉහළ මාර්ග ඵලයක් නො ලබා ම එසේ ලැබී ඇතැයි සිතනා අධිමානී තත්ත්වයට පත් නොවන බව පොත් වල දක්වා ඇතත්, එය සත්‍යයක් නො වේ. සාවද්‍යය ය.
සකදාගාමි වීමට උත්සාහ ගන්නා අය විසින් කාම රාගයේ සහ පටිඝයේ ආදීනවයන් ඉතා හොදින් ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය ය. භාහිර රූප-ශබ්ද-ගන්ධ-රස-පොට්ඨබ්බ ( කයට දැනෙන ස්පර්ශිත දේ) කෙරෙහි කාමරාගයක් හෝ පටිඝයක් ඇති නොවන බව පැහැදිළිව ම අවබෝධ කර ගත යුතුය.කාමරාගය හා පටිඝය ඇතිවන්නේ තමන්ගේ ම පංචස්කන්ධ ධර්ම කෙරෙහි විනා භාහිර අරමුණු කෙරෙහි නො වේ. කාමරාගයත්, පටිඝයත්, ඊට අරමුණු වන භාහිර අරමුණුත් සියල්ල ම ඇති වී නැති වී යන තම නාම ධර්ම හැර අන් දෙයක් නො වන බව දත යුතුය. මේ ආදී කරුණු අවබෝධ කර ගෙන පන්චස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බලා සිටිනා ඔහුට, සකදාගාමි මාර්ග ඵල ලැබීමට සුදුසු මට්ටමට සමාධි ප්‍රඥා දියුණු වී ඇති අනපේක්ෂිත අවස්ථාවක දී දෙවන මාර්ග ඵලය අවබෝධ කරගත හැකිය. එවිට ඕලාරික වශයෙන් පහළ වන කාමරාගය සහ පටිඝයත්, ඒ හා සම්ප්‍රයුක්ත අවිද්‍යාවත් නිරුද්ධ වී යයි. සකදාගාමී වූ අයෙකුට, මුලින් පැවති සෝවාන් ඵල සිත උපදවාගෙන සිටිය හැක්කේ ඉතා සුළු වේලාවකට පමණි.එහෙත් අධිෂ්ඨාන කර, සකදාගාමී ඵල සිත උපදවා ගෙන අධිෂ්ඨාන කළ කාලය නිම වන තෙක් සිටිය හැකි වේ.
~~~නිවන් සුව මේ ජීවිතයේදී ම.
පූජනීය දන්කන්දේ ධම්මරතන හිමි ~~~