
ඔබ යමකට තදින් බැඳී ඇලී සිටින තාක් කල් එහි අනිසි පැත්ත නොපෙනේ. දුක වුවද දැනෙන්නේ සැපක් ලෙසටය. එය තණ්හාවේ ස්වභාවයයි. අප කෙනෙක්ට දැඩිව ආදරේ කරන්නේ නම් එම පුද්ගලයාගේ නුගුණ අපට නොදැනේ. නොපෙනේ. පෙනුණද ඒවා එතරම් තදින් සිතට බල නොපායි. ආශාව, තණ්හාව යනු ආදීනවය වසා ලන, ප්‍රඥාව නැමැති ඇස වසා දමමින් බඳින ලද කඩතුරාවකි.
අප මේ සසරේ මෙතෙක් නොනවතින ගමනක යමින් සිටින්නේ තණ්හාව නිසාය. “ආයේ නම් ඉපදීමක් එපා” යැයි කිව් පමණින්, ප්‍රාර්ථනා කළ පමණින් අපට නිවන් දැකිය නොහැකි වන්නේ සිතේ මුල් බැස පවත්නා තණ්හාව නිසාවෙනි. මේ ලිපිය කියවන ඔබ සියළු දෙනාට තණ්හාව මුළුමනින්ම නැති කොට නැවත සසරේ ඉපදීම නැති කරන්නට හදවත තුළින්ම මතුව ආ අවශ්‍යතාවයක් ඇතුවා විය හැක. එසේ දැඩිව ඕනෑ වූවද තණ්හාව ක්ෂය කරන්නට නොහැකි ඇයි ? එසේ වන්නේ අප නොදන්නවා වූවාට මේ තණ්හාව අපේ සිත් වල මුල් බැස ගෙන පැළ පදියම් වී පවතින බැවිනි. මේ මොහොතේ නොපෙනෙන , සැඟවි පවතින ඒ තණ්හාව අවස්ථාව ලද සැනින් මතුව එයි. ඒ තණ්හාව මූලික කරගනිමින් අනෙකුත් සියළු කෙලෙස් පැන නඟී. කෙලෙස් වල ස්වභාවය එයයි. පෙනේ සඟවා සිටින නයෙක් මෙනි. අවස්ථාව ලද සැණින් පෙනය පුම්බයි.
සිත යනු අනාත්ම ධර්මයකි. ඔබට අයත් නොවන දෙයකි. එය හේතු අනුව ක්‍රියා කරන දෙයකි. එහෙයින් ඔබට , මට තණ්හාව නැති කරන්නට උවමනාව තිබූ පමණින් එය නැති නොවේ. ඒ තණ්හාව ජනිත වන්නේද ඔබට මට ඕනෑ ආකාරයට නොවේ. හෙතුව හමුවූ විට එය ජනිත වේ.
මේ සිත මම නොවේයි, මගේ ආත්මය නොවේ යයි අප නුවණින්ම හදවතින්ම අවබෝධ කරගත යුතුය. එය හේතු අනුවම පමණක් ක්‍රියාත්මක වනවා මිස ඔබට මට ඕනෑ පරිදි ක්‍රියාත්මක නොවන්නේ එය අනාත්ම නිසාය. ඔබ සතු මෝටර් රථය ඔබ ” දැන් යමු” කියා සිතූ විට යන්නේ නැත. එයට අවශ්‍ය ඉන්ධන, ක්‍රියාත්මක භාවය ආදී හේතු සම්පාදනය කර විට පමණක් එය ධාවනය වෙයි. මෝටර් රථය ධාවනය වීමට හේතුව , ඉන්ධන සැපයීම සහ එය ක්‍රියාත්මක කරවීම මිස ඔබේ සිතිවිල්ල නොවේ. සිතද එලෙසය. ඔබ සිතුවාට ඔබට අවශ්‍ය පරිදි නොව, එයට අවශ්‍ය හේතු මත පමණක් එය ක්‍රියාත්මක වෙයි.
ලස්සන සුරතල් දරුවකු දුටු විට ඔබට ඉබේම ආශාවක්, ආදරයක් කැමැත්තක් ඇතිවෙයි. එනම් තෘෂ්ණාව ක්‍රියාත්මක වෙයි. එය ඔබ සිතා මතා නොව ඉබේම වෙයි. නමුත් එය ඉබේම නොව, දරුවා නැමැති අරමුණ ඔබේ ආයතනයන්ට හමුවීම නිසා ඔබේ සිතේ තණ්හාව නැමැති ක්ලේශය සැඟව පැවති නිසා අවස්ථාව ආ විගස එය මතුවෙයි. ඔබ අකමැති දෙයක් හමුවූ විට පටිඝයක් ( ගැටීමක් ) ජනිත වන්නේද මෙසේය. ඔබ “දැන් මට තරහා ඇතිවෙන්න” කියා සිතුවේ නැත. එය හේතුව අභියස ඵලය ඇතිවීමකි.
අනාත්මය අවබෝධයෙන්, එය ප්‍රත්‍යක්ෂව දැකීමෙන් නිවන් අවබෝධ කර ගත හැකිය. ඒ සඳහා මේ ශෘතමය ( අසා, කියවා ගන්නා ) හා චින්තාමය ( තමන්ගේම අවවබෝධය ) ඥාණය අවශ්‍යයය. ඒ නිසා මෙසේ මේ සිතට කෙලෙස් ජනිත වන ආකාරය සිදුවන ආකාරය නුවණින් දකින්න. ඒ සඳහා සතිය අවශ්‍යය. මෙය චිත්තානුපස්සනාවකි. යෝනිසෝ මනසිකාරයකි.
තෘෂ්ණාව අපේ සිතින් මෙලෙස අපට ඕනෑකම තිබූ පමණින්, සිතූ පමණින් නැති නොවන්නේ අනාත්ම ධර්මයක් ලෙස සිත ක්‍රියාත්මක වන බැවිනි. එහෙයින් තෘෂ්ණාව නැති කිරීමට නම් අප තෘෂ්ණාව ඇතිවීමට බලපාන හේතු නැති කළ යුතුය. ඒ මාර්ගය අනුගමනය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුපස්සනා වැඩිය යුතුය. ඔබේ දරුවා විශ්ව විද්‍යාලයට යවන්නට ඕනෑ නම් ඔබ ඔහුව පෙර පාසලට මුලින් ඇතුළත් කළ යුතුය. ඉන් පසු පිළිවෙලින් ඔහු ඉහළට යා යුතුය. ධර්මයත් එලෙසමය. බුදු රජාණන් වහන්සේ දේශනා කළ මාර්ගය අප අනුගමනය කළ යුතුය. ඉක්මන් නිවන් මාර්ග බහුල මේ කාලයේ මේ පටිපදාවන් ඉක්මනින් වැසී යයි.
බුදු රජාණන් වහන්සේ වඳාළ අනුපස්සනාවන් ක්‍රමයෙන් වැඩීම තුළින් අපට නිවන් මාර්ගය කෙළවර නිවන අත්දැකිය හැකි වනු ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, නිබ්බිදාව, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය යන අනුපස්සනා බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළේ නිවන් දකින්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් සිතේ බහුලව අනුපස්සනා ලෙසින් වැඩිය යුතු ආකාර හතකි.
අජ්ජත්තක ( තමාගේ- අභ්‍යන්තර ) හා බාහිර සංස්කාර ධර්මයන් අනිත්‍ය ලෙසින් දකිමින් වාසය කළ යුතුය. දුක් ලෙසින් දැකිය යුතුය. අනාත්ම ධර්ම ලෙසින් දැකිය යුතුය.. ඒවා කෙරෙහි නිබ්බිදාව වඩවා ගත යුතුය. ඒවා කෙරෙහි විරාගය වඩවා ගත යුතුය. ඒ සංස්කර නිරුද්ධ වී යන අයුරු නුවණින් විමසිය යුතුය. අවසානයේ ඒ සියළු සංස්කාරයන් කෙරෙන් සම්පූර්ණයෙන්ම මිදිය යුතුය. එය පටිපදාවයි. මේ පටිපදාවේ සතියෙන් හික්මෙන් කෙනා ඉන්ද්‍රිය ධර්මයන් වඩවාගනී. මේ හේතු සම්පාදනය කරන කල්හි , නිසි කාලය එළඹි කල්හි ඵල දරන්නාක් මෙන් චිත්ත සන්තාණය තුළින් කෙලෙස් ගිලිහී නිවන් අවබෝධය ලබයි.
තෘෂ්ණාවෙන් මිදෙන්නට හේතුවන උදව් වෙන ඉතාම වැදගත් අංගයකි නිබ්බිදාව සහ විරාගය. සරල සම්මුති ආකාරයෙන් සිතන්න. ඔබ ආශා කරන දෙයකින් ඔබට මිදිය හැක්කේ කෙසේද ? ඔබ එයට ඇලුම් කරමින් සිටියදී ඔබට වෙන්වන්නට සිදුවූවොත් එය මහා දුකකි. උදාහරණ ලෙස ඔබ ආදරය කරන කෙනා එක්වර මිය ගියහොත් .. ඔබව දමා ගිය හොත්.. ඔබ ආස භාණ්ඩයක් බිඳී ගියහොත්…ඔබට එය දුකකි. ඔබ අවබෝධයෙන් එයින් අයින් වූවා නොවේ. නමුත් ඔබ ඒ ඇලුම් කරමින් පැවති දෙය, පුද්ගලයා ගැන ඔබගේ සිතේ යම් කළකිරීමක්, එපාවීමක්, ඔහුගෙන් ලැබෙන දුක් ගැන මෙනෙහි කිරීමක් ඔබ කර ඇත්නම් ඔහුගෙන් වෙන් වීම ඔබට දුකක් නොවේ. ඔබ ඒ දෙයෙහි ආදීනවය හදවතින් දුටු විට එය කෙරෙහි රාගය වෙනුවට එන්නේ විරාගයයි. එයින්ම ඔබට ඒ දෙය සිතෙන් අත හැරී යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සංසාකාර ලෝකයේ යථා ස්වභාවය දකිමින් එය කෙරෙහි නිබ්බිදාව වැඩිය යුතු බවයි. ආදීනව මෙනෙහි කළ යුතු බවයි. ” සුභයි සුභයි” , “සුඛයි සුඛයි” කියන සංඥාව වෙනුවට අසුභය, දුක් සංඥා වැඩිය යුතුයි. එසේ අසුභ, දුක් ලෙසින් බැලිය යුතු වන්නේ ඒවායේ යථා ස්වභාවය එය බැවිනි. අපගේ තණ්හාවට ඒවා එලෙසින් ඉබේ පෙනෙන්නේ නැති බැවින් අප විසින් ඒවා එසේ බලන්නට පුරුදු විය යුතුය. මනස පුරුදු කළ යුතුය. ප්‍රඥාව විකසිත වන්නේ එලෙසිනි.
අද බොහෝ විට ඇසෙන්නේ ” හොඳට කාලා බීලා සතුටින් ඉන්න. ඒක තමයි නිවන.” මේවා සරණ යන්නට බොහෝ පිරිසක් සිටී. නමුත් මෙය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පටිපදාව නම් නොවන බව ඔබ දැනගත යුතුය. නිවන නම් වූ උතුම් සුවය, කාම සුවයකට ලඝු කළ හැකිද ? බුදුරජාණන් වහන්සේ නම් ඒවා උපමා කළේ අසූචී සුඛයන්ටය. අනෙක් අතට සසර පුරා දිව්‍ය සැප අනන්තවත් විඳ ඇති ඔබට ,මට මේ මිනිස් ජීවිතය තුළ ලබනා උපරිම සැපයක් වුව හිඟන සැපයකි. ගිහි ජීවිත ගත කරන අය නිවැරදිව උපයාගත් වස්තූන් පරිභෝගය වැරදි නොවේ. ඒ කාලයේ සිටුවරු , රජවරු පවා එසේ කොතෙක් නම් සිටියේද.. නමුත් ඒවායේ යථා ස්වභාවය නුවණින් දැකිය යුතුය. මාර්ගයට පිවිසෙන කොතෙක් නම් දෙනා මෙවැනි වදන් නිසා මුලාවට පත්වනවා ඇත්ද.. හොඳින් වගා කොට , කෑම බීම තමයි නිවන කියා මේ උතුම් පටිපදාව වරදවා ගන්නා කීදෙනෙක් ඇත්ද ?
සියළුම සංස්කාරයන් කෙරෙහි විරාගී වන්නට, කළකිරෙන්නට, ඒවා නොපතන්නට, ඒවායින් සදාකාලිකවම මිදෙන්නට මාර්ගය කියූ ශාස්තෘවරයාණන් වහන්සේ නමක් සරණ ගිය, ඒ ධර්මය දන්නා, අත්දක්නා කෙනෙක්ට නම් මෙවැනි කතා අසූචි මෙන් බැහැර කළ යුතු ඒවාය.
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ මුළු ලෝක සත්වයාටමය. ඒ පටිපදාව ඕනෑම කෙනෙක්ට පිළිපැඳිය හැක. මේ ශාසන්යේ එක බණ පදය අසන විට රහත් වන අයත්, අවුරුදු ගණන් වීර්යය කොට සෝවාන් ඵලය සාක්ෂාත් කරනා අයත් සිටිනා ශාසනයකි. සාරා සංඛෙය්ය කල්ප ලක්ෂයක් පාරමී පුරා අවබෝධ කොටගත් ධර්මය, ඒ සර්වඥතා ඥණයෙන් ලොවට හෙළි කළ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය, යමෙක් තමන්ට හිතූ හිතූ පරිදි ලඝු කොට වෙනස් කරන්නේ නම්… එය කොතෙක් නම් බරපතල අකුසලයක් වනු ඇත්ද… ඔබ සරණ යා යුතු වන්නේ බුදු රජාණන් වහන්සේවය… බුදු කෙනෙක් යනු කවුද කියා දන්නේ වත් නැති අයට නම් බුදුවරු දැනුදු පහළ වී ඇතැයි කියා සිතා මුලාවන්නට හැක.
මේ මුළු විශ්වය අතැඹුලක් සේ දැකිය හැකි බුදු රජාණන් වහන්සේ නමක් දෙසූ මාර්ගය පිළිපඳින්න. එය නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේ නමක් වෙතින් උපදෙස් ලබාගන්න.
නිවන් ලබාගන්නට වෙහෙසෙන්නට පෙර බුදුරජාණන් වහන්සේ ගැන යම් හෝ අවබෝධයක් ලබා ගන්න. නිකෙලෙස් රහතන් වහන්සේලා යනු කවුරුන්දැයි සුළු හෝ අවබෝධයක් ලබා ගන්න. එවිට එක් එක් තැනින් මතුව බුදුන් තමන් යයි කියාගන්නා අයට හෝ මම රහත් යැයි කියාගන්නා අයට හෝ , නොරැවටී සිටීමට හෝ හැකිවනු ඇත.
මේ ශාසනයෙන් ඔබ ප්‍රතිඵල ලබා නොගන්නවා විය හැක. එනමුත් එයින් ඵල නෙලා ගනිමින් සසර දුක නිමා කරන්නට තව බොහෝ දෙනෙක් සිටී. ඉදිරියටත් එවැනි පින් ඇති අය බිහිවනු ඇත. දෙවියන් බ්‍රහ්මයන් ඇත. බුදු රජාණන් වහන්සේ බොහෝ විනය නීති පැනවූයේ මේ ශාසනය එක් දිනක් හෝ වැඩියෙන් පවත්වා ගන්නා මහා කරුණා සිතිනි. ඒ ඔබ මා කෙරෙහි උපන් මහා මෛත්‍රීයෙනි. කරුණාවෙනි.ශාසනයේ ආයුෂය විනයය. ඒ ශාසනයෙන් ඔබ නිවන් ලබා සසර දුක් නිමා නොකළඳ , ඔබේ දරුවා පින්වන්තයෙක් විය හැක. අප නොදකින ඉදිරි පරම්පරාවට මේ ශාසනය දූෂ්‍ය නොකොට අප භාරකළ යුතුය.
සීලයට ගරහන, විනයට ගරහන කෙනෙක් ඔබ සරණ ගොස් ඇත්නම්…ඔබේම නුවණින් විමසන්න..
ලෝක සත්වයා වෙනුවෙන්ම කල්ප ගණන් කැප කළ ඒ මහා උතුමාණන්, ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට දේශනා කළේ කරුණු දෙකකි.
“අප්‍රමාදීව නිවන් අවබෝධ කොට සසර දුකෙන් අත් මිදෙන්න “
“මේ ශාසනයේ අන්තිම පුරුෂයා නොවී මේ ධර්මය අන් අයටද දෙන්න” කියාය.
ධර්ම චාරිකාව උන් වහන්සේ ඇරඹූවේද,
“මහණෙනි බහුජන හිත සුව පිණිස ගම් නියම් ගම් සදහම් චාරිකාවේ යෙදෙන්න..දෙදෙනෙක් එක මඟ නොයන්න..”
ඒ උතුම් පණිවිඩය අපද අපගේ ශක්ති පමණින් ඉටු කරමු. තමන් පළමුව එගොඩ වී….. ලෝක සත්වයාත් එගොඩ කරන්නට දායක වෙමු…