වේදනා ස්කන්ධය

වේදනා ස්කන්ධය :

ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන්ට අරමුණක් හමුවූ විට පළමුව විඥාන ස්කන්ධයත්, එනම් එම හමුවූ අරමුණ පිළිබඳ දැනීම් මාත්‍රයක්ද ඉන්පසු ඒ අරමුණ හඳුනා ගන්නා සංඥාවද ඇතිවේ. මෙම සංඥාව ඇතිවූ පසු ඒ හඳුනා ගන්නා ආකාරය අනුව වේදනාව උපදී. එය වේදනා ස්කන්ධය ලෙස හඳුන්වන්නේ ඉතාමත් අසීමිත වූ ප්‍රමාණයන්ගෙන් වේදනාව ගණන් මිනුම් වලින් දක්වා නොදැකිවිය හැකි පරිදි ඇති වන හෙයිනි.

වේදනාව සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ වශයෙන් කොටස් තුනකි. ප්‍රිය, ලස්සන, හොඳ ආදී ලෙසින් හඳුනා ගත් විට සුඛ වේදනාවක්ද, නරක, අප්‍රිය, නපුරු,කැත ආදී ලෙසින් හඳුනා ගත් විට දුක් වේදනාවක්ද, මේ දෙකටම අයත් නොවන, මැදහත් බාවයෙන් යුතු හඳුනා ගැනීම් කෙරෙහි උපේක්ෂා වේදනාවක් හෙවත් අදුක්ඛම සුඛ වේදනාවක්ද ජනිත වේ.
ඇසට රූපයක් හමුවූ විට, විඥානයත්, සම්ඵස්සයත් හේතුවෙන් සංඥාව, වේදනාව ආදී නාම ධර්මයන්ගේ ඉපදීම සිදුවේ. “ඵස්ස පච්චයා වේදනා” යනුවෙන් පටිච්ච සමුප්පාදයේදී හඳුන්වන්නේ මෙම වේදනාවයි.

මෙසේ තුන් ආකාරයකින් වේදනාව ජනිත වූ විට නැවත නැවත ඒවාම අරභයා සංඥාවන් ජනිත වේ. ඒ සංඥා හේතුවෙන් නැවත වේදනාවන් ජනිත වේ. මෙය නොනවතින ක්‍රියාවලියකි. ඇසින් රූප බලනවා, කනින් ශබ්ද අසනවා, රස විඳිනවා යනු මෙලෙස සංඥාවන්, වේදනාවන් ආදී පංචස්කන්ධයේ නොනවතින ක්‍රියාවලියයි.

කනට ඇසෙන ශබ්දයක් උදාහරණයක් ලෙස ගනිමු. ඇතැම් ගායකයන්ගේ ගීත වලට සමහරුන් ප්‍රිය කරන අතර, ඇතැමුන් අප්‍රිය කරයි. ළඳරු අවධියේදි අප නැළවිලි ගීත වලට ප්‍රිය කරමු. ඒවා ප්‍රිය, හොඳ යන සංඥාව ඇති වූ නිසා සුඛ වේදනාවක් ජනිත විණි. නමුත් තරුණ කාලයට එත්ම වේගවත් සංගීතයට ඇතැමුන් ආසා කරයි. තවත් කෙනෙක් ඒවාට අප්‍රිය කරයි. සම්භාව්‍ය සංගීතය කැමැති පිරිස් වලට අමරදේව, කේමදාස වැනි අයගේ ගීත ඇසෙන විට සුඛ වේදනාවක් උපදී. මයිකල් ජැක්සන් වැනී අපරදිග, වේගවත් සංගීතය ඔවුන්ගේ සිතට ගෙන එන්නේ දුක්ඛ වේදනාවකි.

එකම පුද්ගලයාට වුවද විවිධ වූ කාල වලදී ප්‍රිය, අප්‍රිය කරන සංගීතයන් වෙනස් වේ. පෙර ප්‍රිය කරන ලද ගීත දැන් අප්‍රිය වේ. මෙලෙසින් එකම ශබ්දය එකම පුද්ගලයාට වූවද අවස්ථාව අනුව, ඔහුගේ මනසේ ස්වභාවය අනුව සැප, දුක් හෝ මැදහත් වේදනාවන් ජනිත කර දෙයි. අපගේ සිත තුළ වේදනාව ඇති කර දීමට බාහිර ශබ්දයට හැකියාවක් නොමැත. එසේ වුණි නම් සියළු දෙනාටම ඉන් ලැබෙන වේදනාව එකම විය යුතුය. අනෙක් අතට සෑම කාලයකදීම ඉන් ලැබෙන වේදනාව එකම විය යුතුය. නමුත්, කාලය, අවස්ථාව අනුව ඉන් ඇතිවෙන වේදනාව විවිධ වේ.

ඇසට හමුවන රූපද මෙලෙසින්ම වේ. පෙර ආදරයෙන් වෙළී සිටි කෙනකු දැකීමේදී ඇතිවන්නේ ප්‍රිය බවකි. සුඛ වේදනාවකි. නමුත් එම සම්බන්ධතාවය බිඳ වැටුණු පසු පෙර සුඛ වේදනාවක් ගෙන දුන් එම රූපයම දුක් වේදනාවක් ගෙන දෙයි. ඇතැම් පුද්ගලයන් සම්මුති වශයෙන් රූපයෙන් කැත වූවද, අපගේ සිත් ඇඳී බැඳී ගිය පසු හෝ, ඔවුන්ගේ ගතිගුණ හොඳ වූ විට, අපට ඔවුන් ලස්සනට පෙනේ. මෙය එම රූපයේ දෙයක් නොව අපේ සිතේ ඇතිවූ නාම ධර්ම වල ක්‍රියාවයි.

කයට දැනෙන ස්පර්ශයන්ද එසේමය. අප ඇස් වසාගෙන සිටින විට කවුරුන් හෝ අපේ ශරීරයේ ගෑවෙනවා යැයි සිතමු. අප ආදරය කෙනෙක් යැයි අප සිතින් සිතා සිටි විට, එම ස්පර්ශය අපට සුඛ වේදනාවක් ගෙන දෙයි. නමුත් එය අප අකැමැති කෙනෙක්ගේ යැයි දැනුන විට අපට එම ස්පර්ශයම දුක් වේදනාවක් , පිළිකුලක්, ගැටීමක් ගෙන දෙයි.

එදිනෙදා ජීවීතයේදී බොහෝ විට මැදහත් වේදනාවන් ජනිත වේ. බොහෝ පුදගලයන්, බඩු භාණ්ඩ දුටු විට, ශබ්ද, ස්පර්ශ ආදීය දැණුන විට අපට සැපකුත්, දුකකුත් නැති මැදහත් වේදනාවන් ජනිත වේ. ගමනක් බිමනක් යන විට පාරේ පහුවන මිනිසුන්, ගොඩනැඟිලි ආදිය දකින විට කිසිඳු හැඟීමක් ඒවා පිළිබඳ ඇති නොවන තරමටම අපට සිතේ. නමුත් සියුම් ලෙස මැදහත් වේදනාවන් ඒවා නිසා ජනිත වේ.

බොහෝ විට සැප වේදනාවක් දැනුණ විට එය කෙරෙහි ඇලීමත්, දුක් වේදනාවක් දැනුණ විට ගැටීමත් සිදුවේ. ලස්සන කාන්තා රූපයක් දුටු විට පිරිමි කෙනකුගේ සිත තුළ සුඛ වේදනාවක් ජනිත වේ. මෙම වේදනාවට ඇලීම ඇතිවීම නිසා නැවත නැවත සංඥා ඉපදීම සිදුවේ. ඒ ඉපදෙන සංඥාව කෙරෙහි නැවත නැවත සුඛ වේදනාව ජනිත වේ. සුඛ වේදනාව කෙරෙහි ඇතිවන ඇලීම, රාගය, ආශාව, තණ්හාව , ලෝභය ආදී විවිධ නම් වලින් හැඳින්වේ. එසේම එම කාන්තා රූපය කෙරෙහිම අප්‍රිය ආදී ලෙසින් සංඥාවන් කෙනකුට ඇතිවන්නේ නම්, ඔහු තුළ ඇතිවන්නේ දුක්ඛ වේදනාවකි. එම දුක් වේදනාවට ගැටීම සිදුවේ. නැවත නැවත ගැටෙන සිතිවිලිම ජනිත වේ. දුක් වේදනාව ගැටීම, පටිඝය, ඊර්ෂ්‍යාව ආදී විවිධ ස්වරූප වලින් ඉස්මතු වේ.

මෙසේ එකම රූපයක්, ශබ්දයක්, ගන්ධයක් ආදී අරමුණු තුළින් ඇතිවන වේදනාවන් විවිධය.

මනසට නැඟෙන සිතිවිල්ලක් ගනිමු. රුවන්වැලි සෑය සිහිපත් කරන විට බෞද්ධයකුගේ සිතට ප්‍රිය, හොඳ සංඥාවක් ඇතිවේ. එම නිසා ඔහුට සුඛ වේදනාවක් ජනිත වේ. නැවත නැවත එයම මෙනෙහි කරමින් ශ්‍රද්ධාව ආදී යහපත් චෛතසික ජනනය වේ. නමුත් අන්‍ය ආගමික කෙනකුට එය තුළින් දුක්ඛ වේදනාවක් හෝ, උපේක්ෂා වේදනාවක් ඇති වනු ඇත. තමන් විසින් පෙර කරන ලද කුසල කර්ම, අකුසල කර්ම මෙනෙහි කිරීමේදීද වන්නේ මෙයයි. කුසලයක් සිහිපත් කරමින් නැවත නැවත සුඛ වේදනාවන් ජනිත වේ. අකුසලයක් මෙනෙහි කරන විට නැවත නැවත දුක් වේදනාවන් ජනිත වේ. දෙකේදීම වන්නේ පංචස්කන්ධයේ ක්‍රියාවයි. එම පංචස්කන්ධය කෙරෙහි පෘථග්ජන සිත් වල උපාදානය ක්‍රියාත්මක වන හෙයින් ඇලීම හෝ ගැටීම නිරතුරුව ඇතිවේ. එහෙයින් කුසලයක් හෝ අකුසලයක් නැවත නැවත මෙනෙහි කිරීම තුළින් නැවත නැවත පංචුපාදානස්කන්ධය ක්‍රියාත්මක වේ.

මෙම වේදනා ස්කන්ධය පිළිබඳව මෙලෙස පැහැඳිළි විස්තරාත්මක අවබෝධයක් ලබා ගත් පසු, යෝනිසෝ මනසිකාරය තුළින් සාමාන්‍ය ජීවීතයේදී එය ඇතිවන ආකාරය අවබෝධ කරගත යුතුය. රූපයක් දැක ඇලීමක් ඇතිවීමේදී තමාගේ සුක වේදනාව ඇතිවූ බව සතියෙන් යුතුව විමසිය යුතුය. කෙනකු කෙරෙහි ගැටීමක් ඇති වූ විට, සංඥාවන් ඉපදුණු ආකාරය අනුව දුක් වේදනාව තමාගේ සිත තුළ ජනිත වූ බව දැකිය යුතුය. තරහක් ඇතිවූයේ නම් කෙනකු පිළිබඳව, මෛත්‍රී වැනි සිතක් ඇතිකරගෙන, තමාගේ සිත තුළ සංඥාව වෙනස් වූ විට වේදනාව වෙනස් වූ ආකාරය අවබෝධ කරගත යුතුය. ධර්මය නුවණින් දකිමින් වාසය කරනවා යනු එයයි. සතියෙන්, සිහියෙන් මෙලෙස ධර්මතාවයන් මෙනෙහි කළ යුතුය. ඔබේ නිවන් මඟ ඉක්මන් වන්නේ එවිටය.

මෙසේ වේදනාව පිළිබඳ අවබෝධය ලැබූ පසු, ඒවායේ පවතින ධර්මතාවය අවබෝධ කරගත යුතුය. එනම් එම ස්කන්ධයේ පවතින ලක්ෂණ තුනයි. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බවයි.

කවර වේදනාවක් ඇතිවූවද එය ඇතිවූ ක්ෂණයේම නැතිවී යයි. සිතිවිලි පරම්පරාවක් වශයෙන් එකක් පසුපස එකක් ක්‍රියාත්මක වන නිසා එක දිගට පවතින වේදනාවක් ලෙස දැනුණද සැබවින්ම සිදුවන්නේ වේදනාව සිතීමටවත් නොහැකි වේගයකින් ඉපිද නිරුද්ධ වීමයි. එකදිගට පවතින වේදනාවක් නොමැත. භාවනාව දියුණු වූ අයකුට, සාමාන්‍ය ජීවීතයේදී වුවද කයට දැනෙන වේදනාවක වුවද මෙම අනිත්‍යතාවය අත්දැකිය හැක. ඒ සඳහා සතිය, සමාධිය දියුණු විය යුතුය. කවර වේදනාවක් වුව ඇතිව නැතිව යයි. එය වේදනාවේ අනිත්‍යබාවයයි. ක්ෂණික අනිත්‍යතාවය තේරුම් ගැනීමට පෙර, එය සාමාන්‍ය පරිදි අවබෝධ කර ගැනීම වටී. පෙර මහත් දුකක් ලෙස අත්දැකි වේදනා අද මතක මාත්‍රයක් පමණි. සිය දිවි හානි කරගැනීමට තරම් උසුලා ගත නොහැකි වූ දුක් වේදනාවන් ඇතැම් විට අද මෙනෙහි කරද්දී සිනහවක් ජනිත කරදෙනු ඇත. මවක් දරුවකු බිහි කිරීමේදී විඳින අසීමිත වේදනාව කාලයත් සමඟ සමේ ඉතිරි වූ කැළලක් පමණි. මතකයක් පමණි. මෙලෙස වේදනාව අනිත්‍යට ගිය ආකාරය දකින්න. ක්‍රමයෙන් ක්ෂණික අනිත්‍යතාවයද දකින්න. උදේ තරහෙන් දුක් වේදනාවක් ගෙන දුන් දෙය හවස් වන විට අනිත්‍යට ගොස් ඇත. මෙලෙස ක්‍රමයෙන් කාලය අවම කරගන්න. එවිට වේදනාව මේ මොහොතේ ඇතිවී නැතිවී යන අයුරු අත්දකින්නට තරම් ඔබේ සතිය දියුණු වනු ඇත.

එසේම මෙලෙස වේදනා ස්කන්ධයේ ජනිත වීම ඒකාන්ත දුකකි. දුක් වේදනාව ඇතිවීම දුකක් බව ලෙහෙසියෙන් අවබෝධ කරගත හැක. නමුත් සුඛ වේදනාවේ ඇතිවීමද දුකකි. සුඛ වේදනාව ලෙහෙසියෙන්, පහසුවෙන් ඉබේ ඇතිවන්නේ නැත. ස්වභාවයෙන් ඇතිවන්නේ දුක් වේදනාවයි. සුඛ වේදනාව ඇතිකරගැනීමට වෙහෙසක් දැරිය යුතුය. ආහාරයක රසයක් විඳීමට එය සොයාගත යුතුය. උයා පිහා ගත යුතුය. දරුවකු දැකීමෙන් එන සුඛ වේදනාව විඳීමට නම් එම දරුවා බිහිකර උස් මහත් කර අනේක විද කරදර වලට මුහුණ දිය යුතුය. නමුත් තෘෂ්ණාව නිසා එම දුක්ඛ සත්‍ය පෙනෙන්නේ නැත. රාගය නැමැති සුඛ වේදනාව ඇතිකර ගැනීමට එම වස්තූන් ලබා ගැනීමට උත්සාහ දැරිය යුතුය. ඒවා රැකබලා ගත යුතුය. එලෙසින්ම එම සුඛ වේදනාව නිසා අකුසල් සිදු කර ගනී. විපාක ලෙසින් අපා දුක් විඳීමටද සිදුවේ. සුඛ වේදනාවට යට වීම නිසා සත්වයන් විසින් සිදුකරනු ලබන අකුසල් ප්‍රමාණය නිමක් නැත. සිය දිවි හානි කරගැනීම්, මිනීමැරුම්, සොරකම් ආදී නොයෙක් දෑ සිදුවන්නේ සුඛ වේදනාව සොයා යැම නිසාය.මෙලෙස වේදනාව ඇතිවීමේ ආදීනවය දත යුතුය. එනම් වේදනා ස්කන්ධය දුක් ලෙසින් අවබෝධ කරගත යුතුය.

එලෙසින්ම වේදනාව අනාත්ම ලෙසින් දැකිය යුතුය. කවුරුත් කැමති සුඛ වේදනාවට, උපේක්ෂා වේදනාවට වුවද එය අපට කැමති ලෙසින් ඇතිකරගත නොහැකිය. හේතු ඇතිවූ කල්හි වේදනාව උපදී. කිසිවකු කෙරෙහි ගැටීමක්, ඊර්ෂ්‍යාවක් ඇති නොවී මෙත් සිතින්, මුදිතාවෙන් සිටීමට අප කැමති වුවත් අපට පාලනයක් නොමැති ලෙසින් පටිඝය, ඊර්ෂ්‍යාව, ආදී අකුසල් සිත් ඇතිවේ. තවද එම ඇතිවන වේදනාව අපට උවමනා කාලයක් පවතින්නේ නැත. හේතු අනුවම ඉපිද නිරුද්ධ වේ. මෙලෙසින් වේදනාව යනු හුදෙක් මම, මගේ, ආත්මීය වශයෙන් ගත නොහැකි අනාත්ම ධර්මයකි. “මම වේදනාව විඳිනවා” හෝ “මගේ වේදනාව” ලෙසින් ගැනීම මෝහයයි. ඇතිවන වේදනාව කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් ඇති කර නොගෙන මැදහත් සිතින් සිටීමට පුරුදු වීම තුළින් වේදනා ස්කන්ධය කෙරෙහි ඇති උපාදානය ක්‍රමයෙන් දුරු කර හැකිය.
රහතන් වහන්සේ කෙනකු තුළ කවර වේදනාවක් ඇති වුවද එය මනසට බලපාන්නේ නැත්තේ වේදනාව “මම, මාගේ” ලෙසින් මෝහයෙන් කරන උපාදාන දුරු කර ඇති හෙයිනි.

වේදනාව යනු අනිත්‍ය, දුක්, අනාත්ම වූ නාම ධර්මයක් බව නිරන්තර නුවණින් දකිමින් යෝනිසෝ මනසිකාරයෙන් ජීවත් විය යුතුය. සමාධිය දියුණු කිරීම තුළින්, මෙම වේදනා ස්කන්ධයේ ඇතිවීම් නැතිවීම් ප්‍රඥාවෙන් දැකිය හැකිවනු ඇත. එවිට වේදනාව යනු මගේ පාලනයේ ඇති දෙයක් නොව හේතු අනුව ඉබේ ඇතිවී නැතිවී යන අනිත්‍ය දෙයක් බව දැක, එහි නිරෝධය අත්දකින්නට හැකිවනු ඇත. නිවනට සිත පත් කර ගැනීමට එය අත්‍යවශ්‍ය වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.