
භාවනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඒ සඳහා ඉතාමත්ම සුදුසු වේලාවක් තෝරාගත යුතුය. රැකියාවට ගොස් නිවසට පැමිණ සියළු කටයුතු නිමා කොට නින්දට පෙර කාලය ඔබ තෝරාගන්නේ නම්, ආධුනික අයෙක්ට එය සුදුසු නොවනු ඇත. මන්දයත් වෙහෙස වී කයත් සිතත් සොයනුයේ නින්දකි. එවිට ඔබ භාවනාවේදී නින්දට යටවී ඔබට භාවනා එපා වීමට පුළුවන.
භාවනා කිරීමට නම් කාය විවේකයද අත්‍යවශ්‍යය. දවස පුරා වෙහෙසී ඔබ භාවනාවට ඉදගත්විට කයේ වෙහෙස නිසා නිදිමත එන්නට හැකියාව වැඩිවේ. දවස පුරා බොහෝ කාර්යයන්හි නියැළී, බොහෝ පිරිස් ඇසුරුකර, ගමන් බිමන් ගොස්, ඔබට භාවනාව සාර්ථක කරගත නොහැක. එවිට සිත පිටයෑම පුදුමයක් නොවේ. ඒ කළ කී දෑ ගැන සිත දුවයි. ඔබ කිසිදා දැක නැති, අසා නැති ,විඳ නැති දෙයක් ගැන ඔබට සිතිවිලි ඇති කරගත හැකිද ? නොහැකිය. ඔබ එය දැක ඇති , අසා ඇති, දෙයක් හා යම්තමින් හෝ සමාන කරගනිමින් සිතිවිලි ඇති කරගයි. එසේ නම් අපට සිතිවිලි ඇතිවන්නේ අප ආයතන වලින් හසු කරගන්න දේවල් කෙරෙහිමය. ඒ අරමුණු වැඩි වන්නට වැඩි වන්නට අප සිත පිට යන්නට ආයුධ සපයනවාක් මෙනි. ඔබ අද දවල් රණ්ඩුවක් වුනා යැයි සිතන්න. ඔබ භාවනාවේදී එය මෙනෙහි වන්නට ඇති සම්භාවිතාවය වැඩිය. මේ අරමුණු කිසිවක්ම නැත්නම් හිත පිට යන්නේම නැත යන බවක් නොවේ මෙහි පවසන්නේ. සම්භාවිතාවය පිළිබඳවය. බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය ගත වීමට, ශුන්යාගාරගතවීමට, වෘක්ෂ මූලීක වීමට කීවේ ඇයිද යන්න ඔබටම අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. ඔබ දවසම උත්සවයක නටමින් දගලමින් සිට ඇවිත් භාවනාවට වාඩි වූ විට , අර ශබ්ද කනට ඇසෙන්නාක් මෙන් දැනේ. ඒ වේගය සිතේ පවතින්නක් මෙනි. නමුත් ඔබ බෝ මළුවක සෙමින් සක්මන් කරමින් සිට පැමිණ භාවනාවට වාඩිවෙන්න. වෙනස ඔබටම දැනෙනු ඇත.
ඔබේ සිතේ ශාන්තිය සුවය ඇති කරවාලන පරිදි අවට පරිසරයද පැවතේ නම් භාවනාවට එය රුකුලකි. බුදුරජාණන් වහන්සේ “සේඛ පරිහාණි සූත්‍රයේදී” භාවනා යෝගීන් පිරිහෙන කරුණු හතක් දක්වන ලදී. නව කර්මාන්ත ඇරබීම,පිරිස් ඇසුරේ වැඩියෙන් යෙදී සිටීම ආදී දේවල් උන් වහන්සේ දැක්වූයේ ඒවායින් වෙන අයහපත දන්නා නිසාය. එහෙයින් කායික විවේකය මෙන්ම මානසික විවේකයද භාවනාවට අවශ්‍යයය .
කයින් කෙතරම් විවේකීව සිටියද සිතින් විඩාපත්ව සිටී නම් භාවනාව සාර්ථක නොවේ. සිතින් හැමවිටම ලෞකික ලෝකයේ දේවල්ම අල්ලාගෙන ඒවා ගැනම සිතමින් සිහින දකිමින් සිටින කෙනෙකුට භාවනාව සාර්ථක නොවීම පුදුමයක් නොවේ. ඇතැම් අය කාර්යාල වල දේවල් වලට සිතින් බොහෝ ඇලෙයි. ගැටෙයි. ඒවැනි පීඩාකාරී සිතිවිලි බහුල නම් සිතට විවේකයක් නැත. භාවනාවට යොමු වීමටත් මූලිකවම සිතේ යම් කිසි හෝ අත හැරීමක්, පැවතිය යුතුය. මේ ලෞකික දේවල් කෙරෙහි නිබ්බිදාවක්, විරාගයක් පැවතිය යුතුය. සිතේ තණ්හාව බහුල නම්, ඔබ විසින් නොයෙක් දේවල් හා පුද්ගලයන් කෙරෙහි ඇලීම, ගැටීම ආදී සිතිවිලි නිරතුරුව සිතේ පවත්වා ගනී. ලෞකික දේවල් කෙරෙහි බලාපොරොත්තු ආශාවන් පොදි බැඳගෙන නිවන් දකින්නට නොහැකි බව ඔබ තේරුම් ගත යුතුය. නිවන යනු සියල්ලම අතහැරීමයි. එක අතකින් අල්ලා ගෙන අනෙක අතින් අත හැරිය නොහැක.
ඔබේ පෞද්ගලික ගති පැවතුම්, සිතේ ස්වභාවය, දවසේ කාලය ආදිය දන්නේ ඔබමය. එබැවින් භාවනාවට සුදුසුම වේලාව තෝරාගත යුත්තේ ඔබමය. සාමාන්‍යයෙන් අලුයම් කාලය භාවනාවට ඉතාමත් සුදුසුය . නමුත් ඔබ අළුයම අවධි වී පුරුදු නැති කෙනෙක් නම් භාවනාව පිණිසම එය ජීවිතයේ පළමු වරට කරන්නේ නම්, ඔබට නිදිමත දැනෙනු ඇත. එබැවින් ඔබම ඔබ පිළිබඳව විමසා ඔබට වඩාත්ම සුදුසු වේලාව තෝරා ගත යුතුය. බහුතරයක් දෙනා සුදුසු යැයි කියනා වෙලාව ඔබට මුලදී සුදුසු නොවන්නට පුළුවන. භාවනාව යනු සංසාරයේ ඔබ කරන උසස්ම වටිනාම දෙයයි. එයට ඔබේ දෛනික කාල සටහනේ වටිනාම වේලාව යොදවන්න. ඔබ ප්‍රමෝදවත්ව, අවධිවත්ව , ක්‍රියාශීලිව සිටින කාලය ඒ සඳහා යොදවන්න.
කැමති නම් මේ ක්‍රම දෙකෙන් ඔබට ගැළපෙන ආකාරය තෝරාගන්න.
දවසේ වඩාත්ම සුදුසු නියමිත වේලාවක් වෙන් කරගන්න. දිනපතාම ඒ වේලාවේදී භාවනාව සිදුකරන්න.
අනෙත් ක්‍රමය නම් ඔබේ සිත හොඳින් පවතින ඕනෑම වේලාවක භාවනාව සිදු කරන්න. එය ඇත්තෙන්ම කළ හැක්කේ භාවනාව සඳහා ඉතාමත්ම උනන්දුවක්, ආශාවක් ඇත්නම් පමණි. උදාහරණයක් ලෙස, ඔබ නිවසේ සිටින විට යම් කාර්යයක නියැලී සිටිනවා යැයි සිතන්න. ඔබේ සිතට ප්‍රීතියක් නිදහසක් දැනෙයි නම් කරමින් සිටින කාර්යය මඳක් ප්‍රමාද කොට භාවනාව කරන්න. මෙය ඉතාමත්ම සාර්ථකය. දිනකට එක් වරක් නොව කිහිප වරක්ම භාවනාවේ යෙදීමද සිදුවේ. නමුත් පවුල් ජීවීතය තුළ ගැටළු ඇති නොවන ආකාරයට මෙය බුද්ධිමත්ව සිදු කළ යුතුය.
කුමන ආකාරයකින් හෝ භාවනාවට වේලාවක් යොදාගත් පසු මෙලෙස කරන්න.
සිතට බාධාවක් එන අතරමඟ නවතන ලද කටයුතු තිබේ නම් ඒවා නිම කර භාවනාවට වාඩිවන්න. මන්දයත් ඔබේ සිත බාහිරින් නිදහස් කර තිබීම වැදගත්ය. නැත්නම් භාවනාව අතරතුර ඒ කළ යුතු කාර්යය පිළිබඳ සිතිවිලි ඇතිවිය හැක. ශාරීරිකව පිරිසිදු වී භාවනාවට වාඩිවන්න. පහසුවෙන් කය පිහිටුවා ගන්න. ඔබට කය සෘජුවම තබා ගැනීම අපහසු නම් පමණක් හේත්තු වූවාට කමක් නැත. ඉන් පසු කයට මඳක් සැහැල්ලුවීමට ඉඩ දෙන්න.
මේ ඔබ අරඹන්නට හදන්නේ බුදු පියාණන් ඉතාමත්ම අගය කළ, මහ රහතන් වහන්සේලා ආදී උතුමන් සියළු දෙනාම කරන ලද, සංසාර දුක නිම කරවන්නට ඉඳුරාම උපකාරී වන උතුම් කාර්යයකි. මෙතෙක් ජීවීතයේ හිස් වැඩ කරමින් සිටි ඔබ මේ විශ්වයේ සීමීත පිරිසකට පමණක් කළ හැකි සිත දියුණු කිරීම නම් වූ උතුම්ම කාර්යය ආරම්භ කිරීමටයි. ඔබ ඉතාමත්ම යහපත් වූ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමටයි මේ සූදානම් වන්නේ. මේ ආකාරයෙන් සිතා ඔබේ සිත සතුටු කරගන්න. අතීතයේ යම්තාක් වැරදි, අඩුපාඩු, අකුසල් කොතෙක් සිදුවී තිබුණද ඒවා අදාළ නොවේ. අපට මතක මේ ජීවීතයේ සිදු කරන ලද ඒවා පමණි. අතීත සංසාරයේ අප විසින් කරන ලද කුසල් මෙන්ම අකුසල්ද අති විශාල ප්‍රමාණයක් ඇත. එබැවින් අතීතය ගැන දුක් වීම, පසුතැවිලි වීම නිෂ්ඵලය. මේ මොහොතේ පටන් ඔබ අලුත් කෙනෙකි. මෙසේ තෘප්තිමත් වූ සිතින් පංච සීලය සමාදන් වන්න. දැන් ඔබ සීලයෙන් පිරිසිදුය. එයද ප්‍රීතිය ගෙන දෙන්නකි.
ඉන්පසු ඔබ ඉදිරියේ ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ සිටිනවා යන හැඟීමෙන් උන් වහන්සේට ජීවීතය පූජා කරමි යන සිත උපදවා ගන්නට උත්සාහ කරන්න. අතිත සංසාරයේ පටන් මේ මොහොත දක්වා ඔබගේ සිත, කය , වචනය යන තුන් දොරින් දැන හෝ නොදැන මෙතෙක් මේ විශ්වයේ පහළව සිටි සියළුම සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට සිදුවු සියළු පමා දෝෂයන්ට හදවතින්ම සමාව ගන්න. එලෙසින්ම ශ්‍රී සද්ධර්ම රත්නයෙන්ද, අෂ්ඨ පුද්ගල ආර්ය මහා සංඝ රත්නයෙන්ද, මාර්ග ඵල ලාභීන්ගෙන්ද, ධ්‍යාන ලාභීන්ගෙන්ද, සිල්වත් ගුණවත් උතුමානන්ලාගෙන්ද හදවතින්ම සමාව ගන්න. භාවනාවට යම් පළිබෝධ ධර්මයන් තිබේ නම් ඒවා හිරු දුටු පිණි මෙන් නැති වී යේවා යැයි අධිෂ්ඨාන කරන්න.