
පංචස්කන්ධය යනු ස්කන්ධ පහක් යන අර්ථයයි. ස්කන්ධ යනු ඉතා විශාල, රාශිය යන අදහසයි. එසේ කියන්නේ ඇයිද යන්න ඔබට අවබෝධ වනු ඇත. මේ ලෝකයේ සිටින සෑම සත්වයෙක්ටම ඇඟක් හා සිතක් තිබේ. ඇඟ, රූපය ලෙසින්ද සිත, නාමය ලෙසින්ද හඳුන්වන අතර එකට ගෙන ” නාමරූප” ලෙසින් හඳුන්වයි. නාමය තව දුරටත් සියුම්ව හඳුනාගත හැක. එනම් ඔබ පිට අය හඳුන්වන්නේ ” පවුල” යන සමූහ අර්ථයෙනි. නමුත් විස්තරාත්මකව බලන විට ඒ පවුල තුළ අම්මා, තාත්තා, නංගී, මල්ලී, අක්කා, අයියා ආදී සාමාජිකයන් සිටී. එලෙසින්ම “නාමය” විස්තරාත්මකව වේදනා, සංඥා, සංස්කාර, විඥාණ ලෙසින් හතරකින් යුක්ත වේ. ජීවියකු යනු මේ නාම රූප දෙකේ හෙවත් , තවත් ලෙසකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පහේ නොනවත්වා, අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියයි. මේ ක්‍රියාවලිය මුළුමනින්ම නතර වන්නේ පිරිනිවීමෙන්ම පමණකි. එක් ක්ෂණයක් තුළ මෙම නාම-රූප ඉතාමත් වේගයෙන් විශාල වශයෙන් ඇතිවෙමින් නැතිවෙමින් නොනවතින ක්‍රියාවලියක යෙදී සිටියි. ඔබ කිසියම් කෙනෙක් මේ මොහොතේ සිහි කරා යැයි සිතන්න. ඒ කාලය තුළ ඔබගේ නාම ධර්මයන් හා රූපය අති වේගයකින් විශාල වශයෙන් බිඳි බිඳී යයි. ගණනයකින් දැක්විය නොහැකිය. එසේ හෙයින් විශාල වශයෙන්ම ඇතිවි නැතිවී යන හෙයින් ඒවා ස්කන්ධ ලෙසින් හඳුන්වයි. රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාණ ස්කන්ධය යන පහම එක් වචනයකින් “පංචස්කන්ධය” ලෙසින් හඳුන්වයි.
නාමරූප කීවද, පංචස්කන්ධය කීවද, දෙවියෙක් කීවද, සතෙක් කීවද, මිනිසෙක් කීවද, ප්‍රේතයෙක්, යක්ෂයෙක් කීවද මේ සියල්ලෙන්ම අදහස් වන්නේ එකම දෙයකි. එය හරියට ලී වලින් ඇඳක් සැදුවද, පුටුවල් සැදුවද, අල්මාරියක් සැදුවද, ලි නිකම්ම තිබුණද සියල්ලම ලී බව මෙනි. නිපදවා ඇති ආකාරය හැඩය අනුව පමණක් නම වෙනස් වේ.
මෙම පංචස්කන්ධයේ එක් එක් ස්කන්ධය ගැන වෙන වෙනම කතා කිරීමට ප්‍රථම මේ සියල්ල එකට ගෙන ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් අදහසක් ගනිමු. ඇසට, කණට, නාසයට, දිවට, කයට, මනසට යම් බාහිර අරමුණක් හමුවූ විට මේ ස්කන්ධ ධර්ම පහ වේගයෙන් ක්‍රියාත්මක වේ. රූප දකිනවා, ශබ්ද අසනවා, රස දැනෙනවා ආදී ලෙසින් අප හඳුන්වන්නේ මේ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වීමයි.
මෝටර් රථ කාර්මිකයා මෝටර් රථ ගැන මනා දැනුමක් ලබා ගත යුතුය. සෑම වාහනයක්ම එන්ජිම, ගියර් පද්ධතිය, බ්‍රේක් හා රෝද ආදී සියල්ල ඔහු දැන ගත යුතුය. නිවන් දැකීමට යන පුද්ගලයා මේ කය සහ සිත ගැන මනා සේ දැන ගත යුතුය. මන්දයත් නිවන අවබෝධ කරගත හැකි වන්නේ මේ කයේ සහ සිතේ යථා ස්වභාවය දැනගෙන ඒ කෙරෙහි ඇති කැමැත්ත, ආශාව, අල්ලා ගැනීම නැති කර දමූ විටය. දෙයක් ඇත හරින්නට නම් ඒ ගැන හොඳින් දැන ගත යුතුය.. ආශා කරන දෙයක් අත හැරීමට වඩා හොඳින් දැන ගත යුතුය. දැන ගන්නට දැන ගන්නට ඒ පිළිබඳ ආශාව අත හැරේ. මන්දයත් සත්‍ය යනු ආශා කිරීමට තරම් දෙයක් නැති බවය.
රූප ස්කන්ධය යනු සරලවම මේ ඇඟයි. සෑම සත්වයකුගේම එය සෑදි ඇත්තේ පඨවි , ආපෝ, තේජෝ, වායෝ යන මූල ධාතු හතරකිනි. ඉතාම කුඩා රූප කලාපයක වුවද මේ ධාතු හතරම පවතී. පඨවි යනු ඝන ස්වභාවයයි. ආපෝ යනු ගලා යන ස්වභාවයයි. තේජෝ යනු ශිත උෂ්ණ ස්වභාවයයි. වායෝ යනු වායුමය ස්වභාවයයි. නිර්මිත වී ඇති හැඩය , වර්ණය, ආදිය වෙනස් වූවද අඩු වැඩි වශයෙන් සැම සත්වයකුගේම රූපය නිර්මිතව ඇත්තේ මේ ධාතු හතරෙනි. එබැවින් ඒවාට මූල ධාතු යැයි කියයි.
නාම ස්කන්ධය පිළිබඳව දැක්වීමේදී, විඥානය යනු දැනීමයි. වේදනා ස්කන්ධය යනු සැප,දුක්, මැදහත් යන වේදනා තුනටය. සංඥාව යනු හදුනාගැනීමයි. සංස්කාර යනු මෙහි සිතිවිලියි. කුසල් හෝ අකුසල් හෝ ඕනෑම ආකාරයක සිතිවිලි සංස්කාර ලෙස මෙහිදී හදුන්වයි.
මේවා ක්‍රියාත්මක වන ආකාරය මෙලෙසින් හඳුනා ගනිමු.
උදාහරණයක් ලෙස ඇසට රූපයක් දැකීම ගනිමු.
ඇසට රූපයක් හමුවූ විට පළමුව විඥාන ස්කන්ධය පහළ වේ. එම රූපය දැක්කාට පසුව එම රූපය හඳුනා ගැනීම සිදුවේ. හොඳ කෙනෙක්, නරක කෙනෙක්, ලස්සන කෙනෙක්, කැත කෙනෙක්, තරුණයෙක්, තරුණියක්, හතුරෙක්, මිතුරෙක් ආදී විවිධ දෘෂ්ටි කෝණයන්ට අනුව එය හඳුනා ගනියි. මෙසේ හඳුනා ගැනීම සංඥා ස්කන්ධයේ පහළ වීමයි. අනතුරුව එම හඳුනා ගත් ආකාරය අනුව වේදනා ස්කන්ධය පහළ වේ. හොද, ලස්සන, මිතුරු ආදී ලෙසින් හඳුනා ගත්විට සුඛ වේදනාවක්ද, කැත, හතුරු, අප්‍රිය ආදී ලෙසින් හඳුනා ගත්විට දුක් වේදනාවක්ද, ඇතැම් විට උපේක්ෂා වේදනාවක්ද ලෙසින් වේදනා ස්කන්ධයේ පහළ වීම සිදුවේ. සුඛ වේදනාවක් ඇතිවූ විට ඇලීමක්ද, දුක් වේදනාවක් ඇතිවූ විට ගැටීමක්ද බොහෝ විට ඇතිවේ. එවිට ඒ අනුව නොයෙකුත් සිතිවිලි ගලන්නට පටන් ගනී. මෙය සංස්කාර ස්කන්ධයේ ක්‍රියාවයි.
ඇසට රූපයක් දැක්කාට පසුව නාමධර්මයන් ක්‍රියාත්මක වන්නේ එලෙසිනි. නාමයට අනුකූලවම රූපයද ක්‍රියාත්මක වන බැවින් රූපස්කන්ධයේ ක්‍රියාවද සිදුවේ. මෙසේ පංචස්කන්ධ ක්‍රියාවලිය සිදුවේ.
කනට ශබ්දයක් ඇසුණ විටද ,නාසයට ගදක් සුවදක් දැනුණ විටද , දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට අරමුණක් ලැබුණ විටද පංචස්කන්ධය ක්‍රියාත්මක වන්නේ මෙලෙසිනි.
මේ සියළු නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම සිදුවූයේ සිත තුළ මිස බාහිරින් නොවේ. ඇසට රූපයක් දුටුවිට අප ඇලෙන්නේ බාහිර රූපයටයි. නමුත් එය ලස්සන ලෙසින් හඳුනා ගත්තේද සිතිනි. ඒ අනුව සුඛ වේදනාව ජනිත වූයේද සිතිනි. සියලු සිතිවිලි ගලා ගියේද සිතේමය. නමුත් මෝහය නිසා අප සිතනුයේ සුඛ වේදනාව ජනිත කර දුන්නේ බාහිර රූපය විසින් බවයි.
ඇතැම් කෙනකුට ලස්සන ප්‍රිය දේ තවත් කෙනකුට කැත, අප්‍රිය වන්නේ කෙසේදැයි දැන් ඔබට වැටහෙනු ඇත. බාහිර රූප තුළ කැත ලස්සන , ප්‍රිය අප්‍රිය බාවය පවතී නම් සියලු දෙනාටම ඒවායින් ලැබෙන වේදනාව, සංඥාව, සංස්කාර එකම ඒවා විය යුතුය.
අප ඇලෙන්නේද ගැටෙන්නේද, අපේ සිතේම ඇතිව නැතිවන ස්කන්ධ ධර්මයන් කෙරෙහිය. සිතේ ස්වභාවය අනුව එකම රූපය, ශබ්දය විවිධ අවස්ථා වලදී විවිධ වූ වේදනාවන්, සිතිවිලි ජනිත කර දෙන්නේය. මෙම ක්‍රියාවලිය අවබෝධ කරගත් පසු බාහිර ලෝකයේ පවතින කිසිඳු රූපයක, ශබ්දයක, ගන්ධයක, ස්පර්ශයක ඇති වටිනාකමක් නොමැති බව අවබෝධ වේ.
අවිද්‍යාව පවතින හේතුවෙන් මෙම මුලාව දැකිය නොහැකිය. එබැවින් බාහිර ලෝකය නිරන්තරයෙන් උපාදාන කරගනිමින්, එය කෙරෙහි ඇලෙමින් ගැටෙමින් සංස්කාර රැස් කරගනිමින් සසර දික් කර ගනියි. එය හරියට තම වලිගය අල්ලන්නට කැරකෙන පූස් පැටවෙක් මෙනි. තමන්ගේම නාම ධර්මයන් තමා විසින්ම උපාදාන කිරීමකි. උපාදාන කිරීමට හෝ අත හැරීමට කිසිඳු බාහිර දෙයක් නොමැති බවත්, ඇත්තේ තමා තුළ ක්‍රියාත්මක වන නාම ධර්ම කෙරෙහි ඇති උපාදානය ඉවත් කිරීම පමණක් බවත් අවබෝධ කරගෙන එසේ උපාදානය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පිළිවෙත් පූරණය කිරීම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම නාමරූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂව අත්දකිනා විට නිවනට සිත පත්වන්නේ , සියළු උපාදාන ඇත්තේ මෙම නාමරූප තුළ මිස බාහිර ලෝකයක නොවන බැවිනි.