යෝනිසෝ මනසිකාරය

සෝවාන් වන්නට වීර්යය කරන පුද්ගලයකු පුහුණු කළ යුතු අංග හතරක් තිබේ. එනම්, කළ්‍යාණ මිත්‍ර සේවණය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යන හතරයි. ඉහත හතරම එකකට එකක් නොදෙවෙනි සේ ඉතා වැදගත් වේ. මෙම ලිපියෙන් යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද යන්න විමසා බලමු. යෝනිසෝ මනසිකාරය යනු සරලව දක්වනවානම් නුවණින් මෙනෙහි කිරීමයි. එනම් අරමුණෙහි මුලා නොවී ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. ඉතාමත්ම ප්‍රායෝගිකව මෙය විමසා බලමු. මන්දයත් නිවනට වඩා වැදගත් වනුයේ දැන ගැනීම නොව පිළිපැඳීමයි.

ඇස, කන, නාසය, දිව , ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ගෙන් අප ලෝකයෙන් අරමුණු ලබා ගනිමු. ඉන් පසුව ඒවා ඔස්සේ මනසිකාර ගලා යයි. 99% ක් ම වාගේ මේ ඇතිවන සිතිවිලි නිවනට උපකාරී වනවා නොව, සසර දික් කරවාලීමට පමණක් හේතු වේ. එකක් මත එකක් ගැට ගැසී ඇලීම බැඳීම වැඩිවන පැත්තට මිසක්, නො ඇලීම, නො ගැටීම පිණිස උදව් නොවේ. යෝනිසෝ මනසිකාරය පැවැත්වීම තුළින් සසර දිග්ගස්සවන සිතිවිලි උපදවා ගැනීම වෙනුවට විරාගය, නිබ්බිදාව වඩවමින් සසර කෙටි කරවාලන්නට උපකාරී වන ප්‍රඥා සම්ප්‍රයුක්ත මනසිකාර ඇති කරගන්නට හේතු වෙයි.යෝනිසෝ මනසිකාරය යනු එක පැයකට දෙකකට සීමාවන දෙයක් නොව අවදියෙන් සිටින සෑම මොහොතකම වැඩිය යුතු දෙයකි. එය මෙසේ විමසා බලමු.

ඔබ රැකියාවට යන්නට බසයට ගොඩ වුණා යැයි සිතන්න. ඔබට කොතෙක් නම් රූප දකින්නට ලැබෙයිද. ඒ දකින රූපයන් ගැන සිතට එන සිතිවිලි මොනවාද යන්න බලමු. එයා ලස්සනයි. ඇදුම ලස්සනයි. කොණ්ඩේ හරි නෑ. අහිංසකයි. කැතයි. නපුරු පාටයි. මේ ආදී බොහෝ විට බාහිර ස්වරූපයට සම්බන්ධ සිතුවිලි ගලා යයි. ඔබ කෙනෙක් හා කතා කරා සිතන්න. එවිට සිතට එන්නෙ මොනවාද. ඒ පුද්ගලයා හොදින් කතා කරේ නම්, ඔහු කරුණාවන්තයි. මට කැමති. මාව අගය කරා. ඔහු හොඳයි.. කෙනෙක් ඔබට බැන්නා නම්, ඇයි ඔහු මට බැන්නේ. කොච්චර සැරද.. නපුරුද.. මව පහත් කළා. නින්දා කළා. මම කරපු උදව් අමතකයි. ගුණමකුයි.. මාත් මෙයාට මෙහෙම කරනවා. ආදී සිතුවිලි ගලායයි. සිත දොම්නසට පත්වෙයි. ඉන්පසු හොඳ සුවදක් දැනුණා නම්… එය ආහාරයක් නම්.. ශා ප්‍රණීතයි.. මොකද්ද ඒ කෑම ..කන්න ඕන.. මාත් හදන්න ඕන ඒක. බඩගිනි. ඉවසන්න බෑ සුවඳ එද්දි.. සුවඳ විලවුන් වර්ගයක් නම්.. මාත් ගන්න ඕන.. ආසයි..මේක ගණන්ද.. කොහෙන්ද ගත්තේ.. මේ ආදී සිතුවිලි ඔබටත් මටත් ආගන්තුක නොවන බව ස්ථිරය. එයයි අප සසරේ පුරුදු කල සිත් වල ස්වභාවය.එසේම ගඳක් දැණුනා නම්, ඉවසන්න බෑ. මේවා සුද්ද කරන්නේ නැද්ද.. අප්පිරියයි.. මේ ආදී ගැටෙන සිතිවිලි ඇතිවෙයි. රසවත් දෙයක් දිවට දැනෙද්දී,, හරිම රසයි. ඕනතරම් කන්න පුළුවන්.. ලුණු, මිරිස් ගානයි..කොහොමද හදන්නේ. රස ඔබට අප්‍රියයි නම්… අපො කටේ තියන්න බෑ. ලුණුත් නෑ . මිරිසුත් නෑ. මෙහෙම කන්නේ කොහොමද. අප්පිරියයි.. ආදී අපමණ සිතිවිලි ඇතිවෙයි. කයට ප්‍රිය ස්පර්ශයක් නම්, රාග සිතක් දක්වා එය වැඩෙන සිතිවිලි ඇතිවෙයි. අප්‍රිය ස්පර්ශයක් නම් ගැටුම් වලින් පවා නිමා වෙයි.

එමෙන්ම සිතට නැඟෙන මනසිකාර කොපමණද.. ප්‍රිය/ අප්‍රිය ශබ්ද, රූප , රස, ස්පර්ශ අරඹයා ඇතිවන සිතිවිලි… අතීතය අනාගතය අරඹයා ඇතිවන සිතිවිලි… මේවා නැවත නැවත සිතමින් ආශාවෙන් ඇලෙයි. නැත්තම් ගැටෙයි..කෙටියෙන්ම දක්වනවානම්, ඉන්ද්‍රියන් හරහා අපට ප්‍රිය අරමුණු ලැබෙද්දී ඒවා කෙරෙහි ඇලීමත්, අප්‍රිය අරමුණු ලැබුණු විට ඒවා කෙරෙහි ගැටීමත් සිදුවේ. මේ ඇලීම් ගැටීම් දෙක අතර දෝලනය වෙමින් ඔහේ ජීවිතය ගෙවුණි. ඒ සිතිවිල්ලක් පාසා, වචනයක් පාසා, ක්‍රියාවක් පාසා නැවත නැවත භවය එතනම එතනම ගොඩ නැගුණි. නිමාවක් කවදා නම් දකින්නද..!යෝනිසෝ මනසිකාරය තුළින් මේ ඇලීම් ගැටීම් සිතුවිලි එන එන තැනම කප කපා දමමින් ප්‍රඥා සම්ප්‍රයුක්ත සිතිවිලි ඇති කරවාගන්නට හැකි වේ.කවර රූපයක් දැක්කත් එය විනිවිද දැකීමට පුරුදු විය යුතුය. ක්‍රම ගණනාවකින් රූපයක් ඇත්ත ඇති සැටියෙන් දැකිය හැක. මේ රූපයත් මාගේ රූපය මෙන්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගෙන් සෑදී ඇත. ඒවා මොහොතක් මොහොතක් පාසා අනිත්‍යයට, නිරෝධයට පත්වෙයි. මේ දකින රූපය ඊළඟ මොහොතේ නොපවතියි. නමුත් එය ප්‍රඥාවෙන් පමණක් දැකිය හැකියි. දිනෙක මේ රූපය මුළුමනින්ම විනාශ වී මහ පොළොවට එකතු වෙයි. ධාතූන් ධාතුන්ටම උරුම වේ. සිත කයින් නිරුද්ධ වේ. අසවලා, මම, මගේ කියා සංඥාවෙන් තාවකාලිකව හඳුනා ගෙන සංස්කාර ජනිත කර ගත්තාට සැබෑ තත්වය මෙයයි. මේ වස්ත්‍රයට යට වී තිබෙන්නේ මේ ලෝකයේ කාටත් පොදු දෙතිස් කුණපයන් පමණි.

දිනයක් පිරිසිදු නොකළහොත් ගඳ ගසන, දැකීමට පිළිකුළ් ශරීරයයි. ඕනෑම මොහොතක දරුණු ලෙඩ දුක් වලට යටත් විය හැකි, එසේ වූ කළ හඳුනා ගන්නට පවා නොහැකි වී යන තරම්ම අනිත්‍ය වූ රූපයකි. ශක්තිමත් දෙයක් ඇඟේ ඇවිත් වැදුණොත් බිත්තර කටුවක් මෙන් කුඩුපට්ටම් වී යන ශරීරයකි. මදුරුවෙක් කෑවත් රිදුම් දෙන ශරීරයකි. මදුරුවෙක්ට පවා විනාශ කළ හැකි ශරීරයකි. කුඩා ස්නායුවක වෙනස් වීමෙන් මුළු ජීවිතයම වුව සිහිකල්පනාව නැතිවී යන්නට පවා හැකි ශරීරයකි. මේ අලංකාර සළුවෙන් වැසී පවතින්නේ මොහොතකින් දුක් ගොඩක් බවට පත්විය හැකි ශරීරයකි. කර්ම විපාකයකට තෝතැන්නකි. මේ සළුවෙන් යටවී වැසී පවතින්නේ කර්ම විපාක ගුලියකි. අවස්ථාව ආ සැණින් පහර දෙන්නට බලා සැඟවී සිටින සතුරෙක් වැනිය. මේ ශරීරයට ඇලුම් කරමින් සසර පුරා රැස් කරගත් කර්ම සංස්කාර ගොඩ අනන්තය අප්‍රමාණය. ඒවා ගෙවන්නට නැවත මට මේ ශරීරයම උරුම විය. අන් අයගේ ශරීර වලට හානි කරමින් මා සසරේ උරුම කරගත් අකුසල සංස්කාර ගොඩ කොතෙක් විය හැකිද.. මා ආහාරය පිණිස මරන ලද , හානි කරන ලද සත්වයන් ගණන් කොතෙක් විය හැකිද.. මේ ජීවිතය, මේ සංසාරය පුරා මරන ලද මදුරුවන් ගණනම කොතෙක් විය හැකිද.. ඒවායේ විපාක අඩු වැඩි වශයෙන් මට උරුම වීම ඒකාන්තයය.. ඒවා විපාක දීමට උරුම වූ ශරීරයකි.. ඇලෙනු වෙනුවට , ගැටෙනු වෙනුවට අත්මිදිය යුතු, නොපැතිය යුතු කුණු කයකි. මාගේ ශරීරයත් අන් අයගේ ශරීරත් මෙසේමය. වෙනසක් නොවේ. නළුවෙකු නාට්‍යයෙන් නාට්‍යයට විවිධ චරිත රංගනය කරනවා මෙන් මේ සංසාරය පුරා මා රඟ දැක්වූ චරිත ගණන අනන්තය..අපරිමාණය.. සතර අපායේ සිට බ්‍රහ්ම ලෝකය දක්වා එය දිවයයි. ඉතින් තවත් චරිත රඟ දැක්විය යුතුද…අද මා ඇලුම් කරන ශරීරය බුදු රජාණන් වහන්සේ දේශනා කළේ පයින් වත් ස්පර්ශ කිරීමට අකමැතියි කියාය.

මේ ආලේපන, පිරිමැදීම් වලින්, සැරසිලි වලින් පෝෂණය කරන්නේ කය පමණක් නොවේය.. මගේ කෙලෙස් ය.සසර දුකට හේතුවන කෙලෙස්ය. ඉඳිකඩු සිදුරක ආශ්වාදයට උරුම වන්නේ අහසක් තරම් ආදීනවයකි. එය සාධාරණද අසාධාරණද යන්න මා නොදනී. නමුත් එයයි සදාකාලික සත්‍යය. මේ ශරීරයට ඇලෙන්නට, ගැටෙන්නට නොව බිය විය යුතුය. අත හැරිය යුතුය.මෙසේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගනිමින් ගලා එන මනසිකාර පවත්වන්නට සිත පුරුදු කල යුතුය. ඇසට දකින රූපයක් සේම අනෙක් ඉන්ද්‍රියන්ට හමුවන අරමුණුත් මේ ආකාරයට යථා ස්වරූපය විමසමින් ප්‍රඥාවෙන් දකින්නට සිත පුරුදු කරන්න. මුලදී මෙය නුහුරු විය හැක. නමුත් සසර පාරමී වැඩූවන්ට මෙය හිතා මතා කළ යුතු දෙයක් නොවේ. නිරායාසයෙන්ම මේ මනසිකාර පැමිණේ. බොරුව ඔබේ සිත මොහොතකට නළවනු ඇත. කෙසේ නමුත් නිවන් දකින්නට නම් ඇත්ත අවබෝධ කළ යුතුය. නිවන් අවබෝධ වනවා යනු සිත නිවී යෑමයි. සිත නිවී යන්නේ ඇත්ත දැනගත් දාටය. ඇත්ත දැනගන්නේ ප්‍රඥාවෙන් විමසා බලන විටය. යෝනිසෝ මනසිකාරය යනු ඉහත දැක්වූ කරුණු කිහිපය පමණක් යැයි වරදවා නොසිතන්න. තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අනුව එය පෘථුල වේ. ඉහත දැක්වූවේ ඕනෑම මට්ටමක කෙනෙක්ට වුව පහසුවෙන් අවබෝධ වන දේවල්ය. පහසුවෙන් අවබෝධවන නමුත් පුහුණු නොකළ නිසාම සිහියට නොඑනා කරුණුය. රූපය අපේ සිතට අරමුණු වන්නේ බාහිර රූපයත්, ඇසත් , ආලෝකයත් යන සාධක තුන ඇති විට ඒවා ස්පර්ශ වීමෙන් විඥාණය ඇතිවීම හේතුවෙනි. මේ එක් සාධකයක් හෝ නොපැවතුණා නම් අපට දිස්වන රූපයක් නැත. ලොව කොතෙක් රූප පැවතුණද ඒවා අපට සෑම විටම අරමුණු නොවේ. ඇසට දකින සෑම රූපයකටම විඥාණ පහළ නොවේ. ඉතින් ඉන් පසු ඇතිවන වේදනා ,සංඥා, සංස්කාරද ඇති නොවේ. අනෙක් අතට රූපයේ අපට පෙනෙන්නේ වර්ණය පමණි. ඉතිරි සියල්ලම මනසින් මවනා මායාවන්ය.. මේවා අවබෝධ වන්නට වන්නට මේ මායාවෙන් ගැලවී පැන දුවන්නට ඇත්නම් කියා සිතේ.

සත්‍ය වශයෙන් බොපවතින, නොදකින රූප අළලා සංසාරයක් පුරා ගිය දුර ! රැස් කරගත්, රැස් කරගනිමින් පවතිනා කෙලෙස් සාගරය.. මතකවත් නැති කර්ම වලට ගෙවන්නට තිබෙන විපාකය තව ඉදිරියට කොතෙක්ද.. මේ නොදන්නාකම නිසාම මේවා සිදුවුණා නොවේද..රට මෙච්චරක් ණයයි, ඉස්සරහට ඉපදෙන ළමයා පවා මෙච්චරක් ණයයි, අච්චරක් ණයයි කියා දෙස් දෙවොල් තියන ඔබ…ඔබට සසරේ ගෙවන්නට තිබෙන ණය දන්නවානම්…අනේ මට පිහිට වන්න කියා හඩා වැළපෙනු ඇත..මේ මෝහය තරම් භයානක තව දෙයක් ලොවේ නැත. මඩ වළක ගිළී මඬ නා ගනිමින් සිටින මී හරකෙක් එයින්ම සතුටු වන්නා සේම, අපද මේ මෝහයේ ගිලී නාමින් සිටිමු. ලෝක සත්වයා මේ මෝහ අන්ධකාරයේ කොතෙක් ගැඹුරට ගිලී සිටිනවාදැයි එදා බුද්ධත්වයට පත් බුදු රජාණන් වහන්සේ දුටු කල්හි උන් වහන්සේ සත්වයාට තමන් වහන්සේ සාක්ෂාත් කරන ලද සත්‍යය දේශනා කිරීමට පවා දෙවරක් සිතන්නට විය.. ලෝක සත්වයා මේ මෝහයෙන් මිදෙන්නටවත් සිතයිද යන්න , මේ සත්‍ය තෙරුම් ගන්නටවත් පෙළඹෙයිද යන්න උන් වහන්සේ සිතූ සේක. ඒතරම්ම ඝන බහුල කෙලෙස් වළක අප ගිලී සිටිමු. මුලාවේ සිටින සත්වයා සත්‍ය පිළිගන්නට අකමැතිය.

තවත් තර්ක විතර්ක කරමින්, එහිම මියයන්නට , එහිම ගිලෙන්නට පොරකයි..මේ ලැබුණු අසුරු ක්ෂණය ගැන බුදු රජාණන් වහන්සේ පුන පුනා කියද්දි….ඒ වචන මායිමකටවත් නොගනී.“මහණෙනි මේ ගෙවා ආ සසරේදී නුඹලාට මවක් පියෙක් නොවුණ කෙනෙක් නොමැත”.. ඒ බුද්ධ වචන ඇසි ඇසීම තවත් දරුවන් , මව් වරුන්, පියවරුන්ම පතයි. සක්විති රජ නොවූ කිසිවකුත් නොමැති යන්න අස අසාම තවත් රුපියලක් හෝ ගොඩ ගසා ගන්නටම ජීවිතය පරදුවට තබයි. මෝහය කොපමණද…!!!

ඉන්ද්‍රියන්ගේ කවර අරමුණක් ස්පර්ශ වූවද සතියෙන් විමසන්නට පුරුදු වන්න. කල්ප ගණන් පුරා අති වේගයෙන් ධාවනය කළ කෙලෙස් ප්‍රවාහය එක් තිරිංග පහරකින් නවතී යැයි බලාපොරොත්තු නොවන්න. නිතර නිතර භාවිතා කරන්න. බහුලීකරණය කරන්න. මේ ජීවිතය අපතේ නොයවන්නට අධිඨනක් ගන්න. මොහොතක් පාසා ගෙවී යන්නේ බුද්ධෝත්පාද කාලයකි. දින ගණාවක මහා වර්ෂාවකට පසු එළඹි හොඳ හිරු රැස් පායන දිනක, රෙදි ටික වේලා ගන්නට තිබෙන හදිසිය ඔබට කල්ප කෝටි ගණනකින් පසුව උදාවූ බුද්ධෝත්පාද කාලයක ධර්මාවබෝධයට තිබේද ?මේ එකක්වත් නොදැනෙන්නේ මෝහය ඒතරම් ප්‍රබල නිසාය. ධර්මාවබෝධයට යොමු වූ අතීත, වර්තමාන සියල්ලන්ටම ඉතිරිව ඇති කාලය මඳ බව අවබෝධ වෙනු ඇත.

ගෙවෙන මොහොතක් පාසා කෙලෙස් වලට යට නොවී යෝනිසෝ මනසිකාරයෙන්ම සිත පවත්වමි “ සිතක් ඇති කරගන්න.ධර්මයට කැමැත්ත ඇතිකරගන්න. එය පළමුවන පියවරයි. නිවන් දකින්නට යන කෙනාට යෝනිසෝ මනසිකාරය තරම් පිහිටවන දෙයක් නොමැති තරම්ය.. අනෙක අතට ඇත්ත දකිමින් සිටීම තරම් සුවයක් නොමැත.. කෙලෙස් නම් වූ මහා සුළඟින් ඇවිස්සෙන සිතිවිලි නම් වූ දූවිලි…., ප්‍රඥා වැසි වස්සවා නිවා දමන්න.

යෝනිසෝ මනසිකාරය එහි පාදමයි..!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.