නිවන් මගට යෙදූ මුල්ම පියවර !

නොමළ ගෙයකින් අබ මිටක් සොයමින්, මළ කිරිකැටියාත් තුරුළු කොටගෙන එදා ගෙයක් ගෙයක් ගානේ, කිසා ගෝතමිය දිව ගියේ උමතුවෙනි. සිය ප්‍රාණය මෙන් පෙම් කළ දරු දෙදෙනාත්, ස්වාමි පුරුෂයාත්, දෙමාපියන්ද අහිමිව ගිය පටාචාරාව බුදුරජාණන්වහන්සේ අභිමුවට පැමිණියේ ඇඳි වතත් අහිමිවය. 999 ක් මිනිසුන් මරා, තම මව මරා ආනන්තරීය පාප කර්මය කිරීමට ක්ෂණයකට පෙර අංගුලිමාලට එදා මහා වනයේදි බුදු පියාණන් නෙත ගැටුණි.දරු ගැබක් සහිතව සාසනයට ඇතුළු වූ කුමාර කාශ්‍යප මාතාව, සසුනෙන් පිටමන් නොකොට රැකවරණය ලබාදීමට බුදුරජාණන්වහන්සේ කටයුතු කළ සේක. ඇය විසින් බිහි කළ දරුවාද සාසනය තුළම රැඳෙමින් පිළිවෙත් පූරණය කළේය..අවසානයේ මොවුන් සියල්ලන්ම සිව් කෙලෙසුන් නසා, උතුම් රහත් බාවයෙන් සදහටම නිවී සැනසී ගියෝය.බුද්ධ විෂය අචින්තයය.. එය තවත් බුදුවරකුට හැර අන් කිසිවකුටවත් සිතා නිම කළ නොහැක. උන් වහන්සේගේ මහා කරුණා ගුණය එක් තැනකට කැටි කළොත් එය තබන්නට මේ මහා විශ්වයන් අසංඛ්‍යයක් එක් කළත් ඉඩ මඳය.

ඉහත උදාහරණයන් යනු සෑම දෙනාම දන්න ඒවාය. නොදන්නා කතා කොපමණ තිබෙන්නට ඇත්ද? සුනීත, සෝපාක, ආදී අයගේ සිට දේවදත්ත දක්වා උන් වහන්සේගේ කරුණා මහිමය විහිදී යයි. සියළුම සත්වයන් කෙරෙහි සම මෙත් කරුණා සිත් උන් වහන්සේ සතු විය. දෙව්, මිනිස්, බඹුන් මෙන්ම, අපා ගත තිරිසන් සත්වයන් කෙරෙහිද උන් වහන්සේ දැක්වූ කරුණාව මෙතැකැයි කියා සීමාවකින් දැක්වීමට කිසිවකුත් සමත් නැත. බෝධිසත්වයෙක්ව සිට පාරමි පුරණ කාලයේදී, උන් වහන්සේ වඳුරෙක්ව ඉපදුණේය. වළකට වැටී දුක් විඳිනා අසරණ මිනිසකු දැක ඉන් ගොඩ ඒමට ඒ වඳුරා උපකාර කළේය. ඒ වළෙන් ගොඩට පැමිණි වහාම, ඒ කෙළෙහි ගුණ නොදත් මිනිසා, කුස ගින්නට මේ වඳුරා ආහාරයක් කර ගනිමියි සිතා වඳුරාට ගලකින් ගසන ලදී.එය වඳුරාගේ අතක වැඳී අතින් ලේ ගලන්නට විය. නමුත් ඒ බෝධිසත්ව වඳුරා සතු කරුණා ගුණය නසන්නට ඒ ගුණමකු මිනිසා අසමත් විය. ඒ මිනිසා මහ වන මැද අතරමං වනු වළක්වනු පිණිස, වඳුරා එක අතකින් අත්තෙන් අත්තට පනිමින්, එම මිනිසාට වනයෙන් එළියට යෑමට මාර්ගය පෙන්වා දෙන ලදී. බෝධිසත්වයකු සතු අප්‍රමාණ කරුණා ගුණයෙන් බිඳකි ඒ.තවත් වරක්, පිය රජතුමා විසින් සංසාරගත වෛරයක් හේතුවෙන් තම පුත් කුමරාව මරන්නට නියෝග කරන ලදී. එහිදී එක් පසෙකින් ඉකිබිඳිමින් හඩන මෑණියන්ද, අනෙක් පසින් කඩුව අමෝරා ගත් වධකයාද, පසෙකින් කෝපයෙන් රත් වූ පිය රජාණන්ද විය. මේ බෝධිසත්ව කුමාරයා පැවසූයේ, ” මම බුදු වී ඔබ තිදෙනාම සසර දුකින් මුදවමි ” යන්නය.

මෙවැනි කරුණා, මෛත්‍රී ගුණයක් බෝධිසත්වයකු සතු නම් බුදුවරයකු සතු කරුණා ගුණය කොතෙක්ද කියා අපගේ ප්‍රඥාවට අනුව සිතා ගත හැක.අටලෝ දහම සැමටම පොදුය.. බුදු වූවද කර්ම විපාක වලට මුහුණ දිය යුතුමය. උන් වහන්සේටද හතුරන් සිටියෝය..දේවදත්ත මරණ මංචකය දක්වා උන්වහන්සේට ළඟින් හිද එදිරිවාදීකම් කළේය. දේවදත්තයන් එක සිතිවිල්ලක් සිතන විට අතීත, අනාගත, වර්තමාන සියළු දෑ දත් බුදු පියාණන් මහා කරුණාවෙන් නොසැලී සිටි සේක. තමන් වහන්සේ සංසාරගත කර්මයක විපාකයක් ගෙවන බවත්, දේවදත්ත අලුතින් කර්ම රැස් කරගන්නා බවත් දත් උන් වහන්සේ හැකි පමණින් ඔහුට පිහිට වූයේ මහා තාදී ගුණයකිනි..කරුණාවකිනි.එදා ජේතවනාරාමයේදී, මහත් පිරිසක් මැද ධර්මය දේශනා කරමින් සිටියදී, චිංචි මානවිකාව දරු ගැබක්ද සහිතව දම්සබා මණ්ඩපයට වැද, උන් වහන්සේට නින්දා කළාය. රැස්ව සිටි පෘථග්ජන පිරිසගේ සිත් තුළද කුකුස් ජනිත වන අන්දමින් ඇය හැසිරුණාය. ඇයගේ සිතද, රැස්ව සිටි පිරිසගේද සිත මැනවින් දත් බුදු පියාණන් වහන්සේ, ඇය විසින් සංසාරයට රැස් කරගන්නා මහත් වූ අකුසල් ප්‍රමාණය දැක ලයෙන් උපන් මහා කරුණා සිතින් ඇය අමතා වඳාලේ, ” නැගණිය, මෙහි සත්‍ය අසත්‍යතාවය දන්නේ ඔබත් මමත් පමණි ” යනුවෙනි.

මෙවැනි සිදුවීම් මෙනෙහි කරද්දී පවා තථාගතයාණන් වහන්සේ පිළිබඳව ඇතිවන ශ්‍රද්ධාව මෙතැකැයි කියා විස්තර කළ නොහැක.එදා රම්‍ය, සුරම්‍ය, සුභ වශයෙන් ඇති මාළිගා තුනක අපරිමිත සැපවත් ජීවිතයක් ගත කල සියුමැලි කුමරුන්, වසර කීපයකින් බුද්ධත්වය සාක්ෂාත් කොට පළමු ධර්ම දේශනාව පැවැත්වීමට බුද්ධගයාවේ සිට ඉසිපතනාරාමයට වැඩම කළේ ගව් යොදුන් පසු කරමින් පා ගමනින්මය. සය අවුරුද්දක් සිය අසූචී මුත්‍රා පවා වළඳමින්, ළඟට වැටෙන ගසක පත්‍රයකින්, කුස පුරවාගනිමින්, උග්‍ර තපස් රැක්කේය. එදා උන්වහන්සේ විඳි දුක් කන්දරාව පිළිබඳ යම් අවබෝධයක් ඉන්දියාවේ දුර්ගේශ්වරී පෙදෙසට ගොස් ඇති කෙනකුට යම්තාක් දුරකට හැඟීමක් ඇති කරගත හැක.. පිරිනිවන් මංචකය දක්වා මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනට පා ගමනින් වැඩම කළේ ලේ අතීසාරයෙන් පීඩා විඳිමින්, ක්ලාන්තය ඉවසා විඳ දරාගනිමින්ය..මේ සා දුෂ්කරතාවයන් තම බුද්ධ සිරුරට දරාගැනීමට උන්වහන්සේ ඉඩ හැරියේ මේ සංසාර ගිරි දුර්ගයෙන් සකළ සත්වයා මුදවා ගැනීමේ මහා කරුණා චිත්තයෙනි.උන්වහන්සේගේ මහා කරුණාව අභිමුව දමනය නොවූවකු නැත. අපද සංසාරයේ බුදුවරුන්ගේ මහා කරුණා දිය දහරින් සැනසීම ලබන්නට ඇත. නමුත් උන් වහන්සේලාගේ මහා ප්‍රඥා ආලෝකයෙන් එළියක් ලබා, අපේ ප්‍රඥාව අවධි කොට ගැනීමට තරම්, අප සිත් තුළ තිබූ තෘෂ්ණාව අපට ඉඩ නොදෙන්නට ඇත.

බුදුවරයකු ලොව පහළ වන්නේ කල්ප කාලාන්තරයකට පසුවය.. තුන් ලොවක් සනහා සනහා බිහිවන බුදුවරයකුගේ සියුමැලි පහස විඳින්නට මේ මහා පොළොව පුන පුනා බලා හිදී..සියළු ධර්මතාවයන්ගේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව ලොවට පසක් කර දෙන්නේ බුදුවරයකු පමණි. තෘෂ්ණාවෙන් වැළඳගත යුතු සසරක් නොව, අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවතලිය යුතු භියකරු සසරක අප මෝහයෙන් පැටළී සිටින බව උන් වහන්සේගේ නිර්මල මුවින් දේශිත අසූහාරදහසක් ධර්මස්කන්ධය පුරාම ගැබ් වී ඇත.. අත හැරිය යුතු තැන, අල්ලා ගන්නේ නම්, දුකක්ම නැවත නැවත අල්ලා ගත් බව දත යුතුය.අද සැපක් වන දේ හෙට දුකක් වනු නො අනුමානය. ” නච කිංචි ලොකේ උපාදීයති ” කිසිම සංස්කාරයක් උපාදානය නොකරන්න යනු බුද්ධ වදනයි.ඒ උපාදානයන්ගේ සිත මුදාගත් බුදුවරු, පසේ බුදුවරු, මහ රහත් මුනිවරු සංසාර චක්‍රය සිඳ බිඳ දමා, තෙලුත්, තිරයත් නිමා වූ පසු නිවී ගිය පහනක් මෙන් මේ සසරින් සදාකාලිකවම නික්ම ගිය සේක..නමුත් උන්වහන්සේලා ඉතිරි කර ගිය ධර්ම ශක්තිය තවත් කාලයක් පුරා මේ විශ්වය සනහාලමින් පැතිර පවතිනු ඇත.

ඒ අමා දම් සුවඳේ ගිලී , කෙලෙස් ගොහුරෙන් මිඳෙන්නට සිතක් පහළ කර ගත හැකිනම්, එයම නිවන් මගට යෙදූ මුල්ම පියවර වනු ඇත…!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.