බුදුගුණ භාවනාව

සසර කෙටි කර ගැනීමට යන මේ ගමන තුල එල්ල වන බාධා අපමණය. අප්‍රමාණය. යම් සතර බ්‍රහ්ම විහරණ සිත් දරා නැති අයෙක් නිවැරදිව මාර්ගය වටහාගෙන තමා සසර කෙටි කරගැනීමට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සිතුවිලි සිතෙහි ඇතිකර ගත් දා පටන් මාරයා ගේ උදහසටත් නොයෙකුත් තාඩන පීඩනයන්ට ලක්වීමට සිදුවේ. එදා බෝධි මුලයේදී අප බෝසතුන් වහන්සේ කොපමණ නම් මාර සේනාවන්ගේ බාධාවන්ට ලක් වූවාද ? එදා මාරයා බෝසතුන් වහන්සේ සිටි ඉසව්වට සුලි කුණාටු ඇතිකර මහ වැසි වස්සවා උන්වහන්සේගේ දැහැන බිදීමට නොයෙකුත් අකටයුතුකම් කලේය. අවසානයේ උන්වහන්සේගේ පහව යමින් තිබූ කෙලෙස් උලුප්පා දැමීමට තණ්හා, රතී, රඟා යන මාර දුවරු පිටත් කර හැරියේය. මෙවන් ශීලයෙන් කුසලයෙන් පින් මහිමෙන් අග්‍ර වූ උන් වහන්සේටත් මෙවන් කරදර ආවානම් අපට මාර බලපැම් නො ඒවී යැයි සිතිය හැකිද? අද සමාජයේ බොහෝ ධර්මය හදාරන අය මාර්ගය වැඩීමේ දී චතුර් කමටහන් භාවනාවට දෙන්නේ අඩු වටිනාකමකි. එය එසේ වන්නේ මෙම භාවනාවල තිබෙන හරය හරි ආකාරව නොහඳුනන නිසාය. යම් යෝගාවචරයෙක් මාර්ගය වැඩීමට සිත් පහළ කරත්ම ඊට බාධා කරන බොහෝ බලවේග ඔහු වටා රැස්වීමත් තමන් මින් පෙර අත් නොවිඳී කරදර බාධා ළඟාවීමත් ලෝක ස්වභාවයක් ලෙස දත යුතුය. මේ බාධාවන් ගෙන් ගැලවීමට නම් ඉතා හොදින් අපි මෙම අරක්ෂක භාවනා වැඩිය යුතු බව තරයේ අදිටන් කරගත යුතුය.

යුද්ධයට යන සෙබලෙකු කෙතරම් උසස් ශාරීරික හා මානසික සෞඛ්‍යය තිබුණත් ඔහු අත දරණ ආයුධ මුවහත් නොවේ නම් සිදුවන්නේ අවනඩුවකි. එම නිසා සතර කමටහන් භාවනා වශයෙන් මෛත්රිය , බුදුගුණ , අසුභය,මරණානුස්සතිය යෝගාවචරයෙක් වැඩිය යුතුය.
තියුණු කඩුවක් දරා සිටින සතුරාට ලී දණ්ඩකින් පහර දී මෙල්ල කීරීමට යාමේදී සතුරාට වැඩි වාසී අත් වන්නාසේ රාග සිත් ඇති විටකදී මෙත් සිතින් එය මැඩලීමට යාම විඩාවටත් පසුබෑමටත් ඇතැම්විට හේතු වනු ඇත. කඩුවක් දරා සිටින සතුරාට තවත් කඩුවකින් හා පලිහකින් පිලිතුරු දෙන්නා සේ රාග සිත් ඇතිවිට අසුබයෙනුත්, මරාණානුස්සතියෙනුත් පිලිතුරු දීම තම සන්තානයේ ඇතී රාග ක්ලේශයට අභියෝගයක් කළ හැක. මෙයින් පෙනීයන්නේ යෝගාවචරයකුට එක් ආරක්ෂක භාවනාවක් පමණක් තිබිම ඇතැම් විට ප්‍රමාණවත් අරක්ෂාවක් නොපමුනණ බවයි. මෙසේ ද්වේශයට මෙත්සිතත්, භයට බුද්ධානුස්සතියත්, ලෝභ කෙලෙස් ඇති සිතට මරණානුස්සතියත් , කෙලෙස් සිතිවිලි වලට අනුරූපව පැවැත්වීම තුලින් ක්ලේශයන්ට යටවීමට යන සිතක් බේරාගත හැක. එක් ආරක්ෂක භාවනාවක් පමණක් ප්‍රමාණවත් නොවන්නේ මෙහෙයිනි.
චතුර් ආරක්ෂක භාවනාවේ සිදුකරන ආකාරය එකනෙකක් ගෙන පහතින් විස්තර කරන්නෙමු.

බුදු ගුණ භාවනාව

මේ ලෝකයේ යම් තැනක වටිනාකමෙන් අධික යම් දෙයක් වී නම් එයට වටිනාකමක් ආරූඪ වනු යේ එහි ඇති දුලභ බව නිසාය. හට ගැනීමට බොහෝ කාලයක් වැයවන නිසාය. දැකුම්කළු නිසාය. රත්‍රන් ලෝකයේ දුලභය. දියමන්ති ලෝකයේ දුලභය. මාණික්‍ය ලෝකයේ දුලභය. බෞද්ධ අපට ලෝකයේ ඇත්තේ අසම සම එක වටිනා වස්තුවක් පමණි. අප තුළ අනිත් භෞතික සම්පත් වලට වටිනාකමක් පැවතියත් බුදු කෙනෙක්ගේ වටිනාකම සමඟ සසඳන විට එය පයට පැගෙන දූවිලි බඳුය.

බුදු කෙනෙකුගේ පහළ වීම කෙතරම් දුලභද? බුදු කෙනෙක් ලෝකය තුළ පහල වීමට මොන තරම් කාලයක් ගත වේ ද? අසංඛ්‍යය අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් බෝධිසත්වයන් වහන්සේ කෙනකු විසින් දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී ධර්මයන් පූරණය කරයි. ඇස්, හිස්, මස්, ලේ, අඹු දරුවන්, ජීවිත දන් දෙමින් දාන පාරමිතාව පූරණය කරයි. මහා සාගරයේ ජල ස්කන්ධය පරදාලන තරම් තම සිරුරින් ලේ දන් දෙයි. උන් වහන්සේ පාරමී පුරන කාලය පුරාවටම දන් දුන්නාලද වූ හිස් ප්‍රමාණය එකතු කළා නම් එය අකණිටා බ්‍රහ්ම ලෝකය තෙක් උසින් වෙයි. මේ ආකාරයෙන් අති දුෂ්කර වූත්, අසීරූ වූත් පාරමිතා පූරණය කරමින් උන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ, සත්වයා මේ ජරා, ව්‍යාධි, මරණ ආදී සංසාර දුකින් මුදවා සදාකාලික වූ නිර්වාණ සුවයෙන් සැනහී මේ සංසාරයෙන් සඳහටම නික්මී යාම පිණිස චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමා විසින්ම අවබෝධ කරගෙන සත්වයාට දේශනා කරලීමටය. බුදුවරයකුට හැර අන් කවරකුටවත් එය සිදු කළ නොහැකිය.

උන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධය කෙතරම්ද? දිනක් උන්වහන්සේ ඇට්ටේරියා වනයක් මැදින් ගමන් කරන කළ, අතට ගත් කොළ ස්වල්පයක් පෙන්වා ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කළේ, “තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මස්කන්ධය මේ ඇට්ටේරියා වනයම තරම් නම්, ලෝක සත්වයාට දේශනා කළේ මේ අතේ ඇති කොළ ස්වල්පය තරම් ප්‍රමාණයක් බවයි. නමුත් ඒ ප්‍රමාණයද සංසාර දුකෙන් මිදී ඉන් එතෙර වීම සඳහා කිසිඳු අඩුවක් නැති, පූර්ණ ධර්මයක් බවය”. එසේ නම් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන අපට සිතා ගැනීමටවත් හැකිද? මේ ලෝකයේ දත යුතු ධර්මතාවයන් කොතෙක් වීද, සර්වඥතා ඥාණයද ඒතාක් වෙයි. බුදුරජාණන්වහන්සේගේ සර්වඥතා ඥාණය කොතෙක් වීද, මේ ලෝකයේ දතයුතු ධර්මතාවයන් එතෙක් වෙයි. උන් වහන්සේ මේ ලෝකය පිළිබඳව නොදන්නා දෙයක් නොමැත. මේවා අතිශයෝක්තියකින් කියනා කාරණා නොවේ. වරෙක ප්‍රඥාවෙන් අග තැන්පත් සැරියුත් ස්වාමින් වහන්සේ බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණ පැවසූයේ, ස්වාමිනි මහා සාගරයේ ජලය මැන නිමකිරීමට නොහැකිය. නමුත් යම් කෙනකුන් විසින් එය කළද, ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මෙපමණකැයි කිසිවකුට මැන ප්‍රමාණ කළ නොහැකිය යන්නයි. මේ අයුරින් උන් වහන්සේ උපමා කීපයක් ගෙන හැර දක්වමින් කියා සිටියේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයේ ඇති ශ්‍රේෂ්ටත්වයයි. බුදුරජාණන්වහන්සේ ගේ සර්වඥතා ඥාණය මේ මුළු අහසම තරම් නම්, සැරියුත් ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව ඉඳිකඩු සිදුරකින් දකින අහස තරම් ප්‍රමාණයක් වේ. එතෙකින් නම් උන්වහන්සේගේ සර්වඥතා ඥාණය පිළිබඳව දත යුතුය. එය සැරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවේ අඩුවක් නොව, බුදු රජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණ්යේ ප්‍රමාණය විදහා දැක්වීමට භාවිතා වන උපමාවකි.

සසර පුරා අනේක විද පාරමි ධර්මයන් පුරා පැමිණි උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ශණයන්ගෙන් හෙබි ශ්‍රී ශරීරය මොන තරම් දැකුම්කළුද? දුටු දුටුවන් වශීකෘත කරයි. එදා ඇතැම් අය මහණ දම් පිරූවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලා සිටීමට තිබූ ආශාව නිසාය.
සෑම අතින්ම උන් වහන්සේ අසම සමය. උන්වහන්සේ අසම වන්නේ තවත් බුදුකෙනෙකුට හැර අන් කවරෙකුටත් නොමැති මහා සර්වඥතා ඥාණයකින් සමන්නාගත වන නිසාය. අන් කවරකුටවත් නැති සෘධි විද ඥාණයන්ගෙන් සමන්නාගත නිසයි. මහා සමාධි ස්කන්ධයකින් , මහා කරුණා ගුණයකින් සමන්නාගත නිසයි. මෙකී නොකී බුදු කෙනෙකුටම පමණක් සුවිශේෂ වූ අති විශාල ගුණස්කන්ධයකින්, ඥාණ සම්පත්තියකින් හෙබි නිසාය. උන්වහන්සේ සම වන්නේ මෙතෙක් ලොව පහළ වුන සහ ඉදිරියේදී පහළ වීමට නියමිත බුදුරජාණන් වහන්සේලාට පමණකි. මෙවැනි අසම සම උත්තමයකු ගැන මෙනෙහි කිරීමෙන් ඇති වන කුසලය ගැන කවර නම් සැකයක්ද? අප නිතර කෙලෙස් බරිත සිත්වලින් කෙලෙස් පෝෂණය කරමින් සිටී. සාමාන්‍ය මනසක ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ ආයතන වලට ගෝචර වන අරමුණු මතය . අපි නිතරම රාග, ද්වේශ , මෝහ සිත් ඇතිව කාලය ගත කරයි . මෙවන් සිතක බුදුකෙනෙක් ගේ ගුණයන් මෙනෙහි කිරීමට සිත් ඇතිවීම කෙතරම් නම් භාග්‍යක්ද යන්න සිතා බලන්න.

බුදුගුණ සිහිකරමින් කරන භාවනාව අති මහත් වූ කුසලයකි. මක්නිසාද යත් අපි සිහිපත් කරන්නේ රාගය යේ මුල තමා විසින්ම සොයාගෙන එය ප්‍රහාණය කල උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි. ද්වේශයේ මුල තමා විසින්ම අවබෝධ කරගෙන එය ප්‍රහාණය කල උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි. මෝහයන් ගේ මුලයන් තමා විසින්ම අවබෝධ කරගෙන එය ප්‍රහාණය කළ උතුම් වූ ඒ බුදු රජාණන් වහන්සේගේ ගුණයි.

මුලිකව බුදුගුණ වැඩීමට සැරසෙන ඔබ බුදු රජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇතිවෙන ධර්ම කතා හොඳින් කියවා සිතේ ධාරණය කරගන්න. කෙනෙකුට උන්වහන්සේ සත්වයාට කරුණාව දැක් වූ ආකාරය කියවීම ඇසීම ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩ වඩාත් ක්‍රියාත්මක වීමට හේතු වේ. තවත් අයෙකුට උන් වහන්සේ පුරුෂයන් දමනය කළ ආකාරය කියවීම ඇසීම ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඒ අයුරින් ක්‍රියාත්මක වීමට හේතු වේ. තවත් අයෙකුට උන්වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන ඇසීමෙන් සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් ලෙස ක්‍රියාත්මක වීමට හේතු වේ. මෙසේ ඔබ විසින් සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේගේ කිනම් හෝ ගුණයකට බොහො ළැදි කමක් දක්වන්නේද යන්න සිතා බලන්න. එසේ ඔබ කැමතිම බුදු ගුණය ගැන කරුණු කාරණා රැස්කර කියවා බලා උන් වහන්සේ මෙම ගුණය කෙසේ වඩන්නට ඇත්ද යන්න විමසිලිමත්ව මනසිකාර පැවැත්වීම ශ්‍රද්ධාව වැඩිවීමට උපකාර වේ.

මෙසේ කීහිපවිටක් විමසා බුදුගුණ නවය පිළිවෙලින් වෙන්වෙන්ව ඒවාහි තේරුම දැන සිතට නඟමින් භාවනා කරන්න.

අරහං
සම්මා සම්බුද්ධො
විජ්ජාචරණ සම්මපන්නෝ
සුගතො
ලොකවිදූ
අනුත්තරො පුරිසදම්ම සාරථි
සත්ථා දේවමනුස්සානම්
බුද්ධො
භගවා

ඔබ ඉදිරියේ බුද්ධ රූපයක් සිතින් මවාගෙන ඒ බුද්ධ රූපය වටා සිතට නඟන බුදුගුණය පැතිර ඇති ආකාරය සිතින් දැකීමද භාවනාව තුලින් සමාධියක් ලැබා ගැනීමට උපකාරීවේ.
සිතෙහි සිතුවිලි අඩූවී සිත පිට නොයා තරමක් සිත සමාධි වූ විට ඔබ වැඩියෙන්ම කැමති බුදුගුණය පමණක් නැවත නැවත මෙනෙහි කිරීම සමාධි සිත තවත් වැඩීමට උපකාර කර ගත හැක. මෙහිදීද යම් අවස්ථාවක ඔබගේ සිතේ සිතුවිලි හිස්වී ගොස් බුදුගුණ ගැන සිතුවිලි පහල කිරීමට අමතර අයාසයක් ගැනීමට සිදුවන අවස්ථාවක් පැමිණිය හොත් ඒ අවස්ථාවේ තිබෙන ප්‍රීතියත්, සුඛයත් දකිමින් ඒ දෙසම බලා සිටින්න. මෙය බුදුගුණ භාවනාවෙන් ලැබිය හැකි ඉතා සුළු සමාධි මට්ටමකි. ඇතැම් විට යම් ආලෝක සංඥාද තම සිත තුළ මේ අවස්ථා වේ ඇතිවිය හැක . තවත් අයෙකුට ඉතා පැහැදිලි බුද්ධ රූපයක් සිතේ විද්‍යමාන විය හැක. මෙම ආලෝක සංඥා හෝ රූප පාදක කොට ඒවා වශීකෘත කොට කරන්නාවූ භාවනා ක්‍රම ඇතත් ඒවා ගැන විස්තරයක් මෙහි සදහන් කරනු නොලැබේ. තවද බුද්ධ ජීවිතය තුල සිදු වූ විශේෂ අවස්ථා වලින් තමාට වඩාත් ශ්‍රද්ධාව ඇතිවූ අවස්ථාවක් සිහියට ගෙන එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ සිත තම සිතින් ස්පර්ශ කිරීම තවත් ඉතා සාර්ථක බුදු ගුණ භාවනා ක්‍රමයකි. අපට බුදු කෙනෙකුගේ සිත ස්පර්ශ කල නොහැකිය. එය කල හැක්කේ තවත් බුදු කෙනෙකුටම පමණි. නමුත් අපි මේ අවස්ථාවේ අපිට වැටහෙන ලෙස එම අවස්ථා සිතෙන් දැකීමට උත්සාහ කිරීම ඔබට විදර්ශනා වඩන කලකදි බොහෝ ප්‍රයෝජනවත් වේ. මෙහි සඳහන් කර ඇත්තේ බුදුගුණ භාවනා කරන කිහිප අකාරයක් පමණි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.