සම්මා සම්බුද්ධො

සම්මා සම්බුද්ධ බුදු ගුණය

“ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරෝපදේශ රහිතවම, ස්වයංභූ ඥානයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක!”. අප සැවොම දන්නා සම්මා සම්බුද්ධ බුදු ගුණය කැටි කර දක්වන පාඨය එයයි. එය ඉතා සරලව එසේ දැක්වුවත් විස්තර වශයෙන් විමසා බලන කළ එය ඉතා ගම්භීරය.

චතුරාර්ය සත්‍ය අතරින් පළමු වැන්න දුක්ඛ ආර්ය සත්‍යයයි. සියලුම ලෝක සත්වයා දුක්ඛ ආර්ය සත්‍යයට යටත්ය. අප සියලු දෙනාම මේ ජීවිතය තුළ නොයෙකුත් දුක් විඳ ඇත්තෙමු. එහෙත් අප තුළ පවතින දුක්ඛ සත්‍යය පිලිබද දැනුම ඉතා අල්පය. පෙර සංසාරයේ පටන් අප විදි දුක් අපට අමතක වී ඇති බැවින් අප දන්නා දුක්ඛ සත්‍යය මෙම ජීවිතය තුළ අප අත් දකින ලද දුක අනුව සීමා වේ. එහෙත් බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත් දුක්ඛ සත්‍යය සියලු සීමාවන් ඉක්මවා යයි. බුදු රජාණන් වහන්සේ පෙර සංසාරයේ තමා විදි දුක් පමණක් නොව සියලුම ලෝක සත්වයන් විදි දුක් ද, වර්තමානයේ ඔවුන් විදින්නා වූ දුක්ද අනාගතයේ ලෝක සත්වයාට විදින්නට සිදුවන දුක් ද, විවිධ වූ ලෝක වල උත්පත්තිය ලැබූ විට විදින්නට සිදු වන දුක් ද යනා දී වශයෙන් තුන් කල්හිම පවත්නා දුක්ඛ සත්‍යය අතැඹුලක් සේ පිරිසිද දත් සේක. ඕනෑම සත්වයෙකුගේ පූර්ව ආත්ම භාවයන් සහ ඉදිරි ආත්ම භාවයන් අවශ්‍ය තරමක් පිටුපසට හෝ ඉදිරියට බැලීමට බුදු රජාණන් වහන්සේට හැකිය. උන් වහන්සේ දේශනා කරන පරිදිම එක් සත්වයෙකු අතීත සංසාර ගමනේ හරකෙකු වශයෙන් පමණක් ඉපිද බෙල්ල කපා මරා දැමීමේදී පිටවී ගිය ලේ එකතු කලහොත් එය මහා සාගරයේ ජලයට වඩා වැඩිය. මේ අයුරින්ම කුකුලකු වී, එලුවෙකු වී හෝ ඌරෙකු වී බෙල්ල කපා මිය යාමේදී ගලා ගිය ලේ එකතු කල හොත් එය ද මහා සාගරයේ ජලයට වඩා වැඩිය. අතීත සංසාරයේදී එකම අම්මා කෙනෙකු මිය යාමේදී ඒ වෙනුවෙන් හැඩූ කදුලු එකතු කලහොත් එයද මහා සාගරයේ ජලය පරදයි. එක් කල්පයක් තුළ පමණක් එක් සත්වයෙකු ඉපදී ඇති ආත්ම භාවයන්හි ඇට සැකිලි එකට එකතු කර ගොඩ ගැසුවහොත් එය වේපුල්ල පර්වතයට වඩා විශාල වනු ඇත. තිරිසන් ලෝක, ප්‍රේත ලෝක සහ නිරයන්හි සත්වයන් විදින දුක් අති මහත්ය. මේ සියල්ලම බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙනි. බුදු රජාණන් වහන්සේගේ සර්වඥ්‍යතා ඥානයට මේ සියලු දේ විනිවිද දැකිය හැකිය. දුක්ඛ සත්‍යය සම්බන්ධයෙන් බුදු රජාණන් ගේ අවබෝධය අන් කිසිවෙක් හා සම නොවේ. තවත් බුදු කෙනෙකුන් සමග පමණක්ම සම වේ. එය විවිධ වූ ලෝකයන්හි පවතින දුක් විවිධ වූ පැතිකඩ ඔස්සේ දකින, සත්වයන්ගේ දුක් විනිවිද දකින, එක් එක් ආකාරයේ දුක් තව තවත් අතු පතර බෙදෙමින් තව තවත් පුලුල්ව දකින සියලු සීමාවන් ඉක්මවා යන ආකාරයේ අවබෝධයකි. දුක්ඛ සත්‍යය පිළිබද අපගේ අවබෝධය ඉදිකටු තුඩක් තරම් නම් බුදු රජාණන් වහන්සේගේ අවබෝධය මේ මහා විශ්වයටත් වඩා වැඩිය. එක් එක් පුද්ගලයාගේ ප්‍රඥ්‍යාව අනුව දුක්ඛ සත්‍යය වැටහෙන ප්‍රමාණය වෙනස් වේ. දුක්ඛ සත්‍යය වැටහීම යනු වචන වලට පමණක් සීමා නොවන හදවතින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගන්නා දෙයකි. බුදු රජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍යය කිසිවෙකුගේ ගුරු උපදේශ රහිතවම ස්වකීය ඥානයෙන්ම අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක!

චතුරාර්ය සත්‍ය ධර්ම අතරින් දෙවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය එනම් දුක් ඇති වීමට හේතුව, බුදු රජාණන් වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් සේක. සියලුම බුදු රජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වීමේදී පටිච්ච සමුප්පාද ධර්මයන් අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කර ගන්නා සේක. අවිජ්ජා පච්චයා සංකාරා, සංකාර පච්චයා විඤ්ඤාණං ආදී වශයෙන් ලෝක සත්වයාගේ නොනවතින සංසාර ගමන පෝෂණය කරන දොළොස් ආකාර පටිච්ච සමුප්පාද ධර්මය බුදු රජාණන් වහන්සේ අවබෝධ කර, අවිද්‍යාව මුලිනුපුටා දමා දුක්ඛ සමුදය ප්‍රහීන කල සේක. අවිද්‍යාවෙන් වැසුනු තණ්හාවෙන් බැදුනු ලෝක සත්වයා තුළ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ක්‍රියාත්මක වන ආකාරය බුදු රජාණන් වහන්සේට විෂය වන්නේය.

අනන්ත අප්‍රමාණ වූ ලෝක සත්වයා දෙස බලන බුදු රජාණන් වහන්සේට ඔවුන්ගේ චිත්ත සන්තානයන් තුළ කාම තණ්හා ඇති වන ආකාරයද, ඔවුන් තමාගේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කර ගනිමින් භවය සකස් කර ගන්නා ආකාරයද ඇතැමෙක් රූපය උපාදානය කරන අයුරුද, තවත් අයෙක් වේදනාව උපාදානය කරන අයුරුද, තවත් අයෙක් විඤ්ඤාණය උපාදානය කරමින් ආත්ම දෘෂ්ඨියට යට වන අයුරුද මේ ආදී වශයෙන් විස්තරාත්මකව දුක්ඛ සමුදය ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකිය. බුදු රජාණන් වහන්සේ දුක්ඛ සමුදය සම්පූර්ණයෙන්ම ප්‍රහානය කිරීමේදී සංයෝජන ධර්ම දුරු වූ ආකාරය, ක්ලේශ ධර්මයන් ක්ෂය වූ ආකාරය, රාග, ද්වේෂ, මෝහ දුරු වී නික්ලේශී, අති පාරිශුද්ධ වූ තත්වයට පත් වූ ආකාරය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගන්නා සේක. අනෙක් සත්වයන් එක් එක් මාර්ග ඵලයන්ට පත් වීමේදී එක් එක් සංයෝජන ධර්මයන් ක්ෂය වන ආකාරය බුදු රජාණන් වහන්සේට දැකිය හැකිය. මේ අයුරින් දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තමා විසින්ම අවබෝධ කළ ගත් බැවින් ද බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක!

බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය එනම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කල බැවින්ද සම්මා සම්බුද්ධ වන සේක. නිර්වාණ ධාතුව ප්‍රභේද වශයෙන් එනම් සෝවාන්, සකෘදාගමී, අනාගාමී, අරහත් ආදී වශයෙන්ද අනුපාදිසේස නිර්වාණය, සෝපාදිසේස නිර්වාණය ආදී වශයෙන්ද, අනෙක් පුද්ගලයන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල සාක්ෂාත් කිරීමේදී එක් එක් පුද්ගලයා අත් දකින නිර්වාණ ධාතුව විස්තරාත්මක වශයෙන්ද බුදු රජාණන් වහන්සේට දැකිය හැකිය. මාර්ග ඵල ලාභීන් ඵල සමවත් වලට සමවැදීමේදී අත් දකින ශාන්ත, සිසිල්, නිවී ගිය ස්වභාවය වෙන් වෙන් ආකාරයෙන් විස්තරාත්මකව දැකීමට බුදු රජාණන් වහ්න්සේට හැකිය. මේ ආකාරයෙන් බුදු රජාණන් වහන්සේ සතු දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිලිබද දැනීම ඉතා පුලුල්ය. නිවන් අවබෝධ කල ඕනෑම පුද්ගලයෙක් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන නමුත් එය කිසි සේත්ම බුදු රජාණන් වහන්සේ සතු දුක්ඛ ආර්ය සත්‍යය පිලිබද දැනුම හා සැසදීමටවත් තරම් නොවේ.

බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය අවබෝධ කල බැවින්ද සම්මා සම්බුද්ධ වන සේක. සරලව කිවහොත් එය අප සැවොම දන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නිර්වාණය සාක්ෂාත් කිරීම සදහා සත්වයකු විසින් වැඩිය යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව බුදු රජාණන් වහන්සේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කල සේක. එක් එක් සත්වයා තුල ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ්ඥා යන ඉන්ද්‍රිය ධර්මයන් වැඩී ඇති ප්‍රමාණය එක් ක්ෂනයකින් දැක එක් එක් සත්වයා විසින් නිවන් අවබෝධය සදහා වැඩිය යුතු කමටහන වෙන් වෙන්ව විස්තරාත්මකව පැවසීමට බුදු රජාණන් වහන්සේට හැකිය. බුදු රජාණන් වහන්සේ මහා සමය සූත්‍රය දේශනා කරන අවස්ථාවේදී දස දහසක් සක්වලින් පැමිනි දිව්‍ය, බ්‍රහ්ම සමූහයා ඉතා සියුම් සිරුරු මවා ගනිමින් මුලු අහස් කුස අතුරු සිදුරු නොමැතිව පිරී සිටියේය. බුදු රජාණන් වහන්සේ එක ක්ෂනයකින් ඒ අසංඛ්‍ය ගණනින් වූ සත්ව සමූහයා ඔවුන්ගේ සිත් වල ස්වභාවය අනුව ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ්ඥා ආදී වශයේන් වෙන් කර නිර්මිත බුදු වරුන් මවා එක් එක් සත්ව කොට්ඨාශයට ගැලපෙන ආකාරයෙන් දහම් දෙසා අසංඛ්‍ය ගණනක් සත්වයන් මාර්ග ඵල වල පිහිටවූ සේක. එය එසේ කල හැකි වූයේ බුදු රජාණන් වහන්සේ සතු විශ්මිත වූ දුක්ඛ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය ඥානය හේතුවෙනි.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් පුරා බුදු රජාණන් වහන්සේ අවබෝධ කර ගත් චතුරාර්ය සත්‍යය පිලිබද දැනුම අන් කිසිවෙක් හා සම නොවේ. තවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් හා පමණක්ම සම වේ. අපට කල හැක්කේ ඒ අප්‍රමාණ වූ සම්බුදු ගුණස්කන්ධය විස්තර වශයෙන් මෙනෙහි කරමින් බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීමය. ඔබ බුද්ධ රත්නය කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් උපදවා ගත්තද එය බොහෝ සැප පිනිස වන්නේය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපරිමිත වූ සම්මා සම්බුද්ධ බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා!!!
🙏🙏🙏

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.