“The more you know, the more you realize you don’t know.”
Aristotle
අප ඉගෙන ගන්නා කාලයේදී වසරින් වසර උසස් පංති වලට සමත් වීමේදී අපේ බුද්ධිය වැඩිවුණි. දැනුම වැඩිවුණි. නමුත් ඒ ඒ වසරවලදී අපට සිතෙන්නේ අප ගොඩක් දේ දන්නවා කියාය. පහ වසරදී ශිෂ්‍යත්වය යනු ලොකු විභාගයකි. ඉන් පසු සාමාන්‍ය පෙළදී එය බැරෑරුම්ය. ඉන් පසු උසස් පෙළදී අනෙක් සෑම දෙයකටම වඩා එය බැරෑරුම්ය. එතකින් අධ්‍යාපනය නොනැවතී ඉදිරියට කරන කෙනාට විශ්ව විද්‍යාල උපාධි, පශ්චාත් උපාධි ආදී කඩයිම් පසු කරන විට පහළ පහළ මට්ටම් වලදී අපට තිබූ දැනුම අවබෝධය කුඩාවට හැඟෙයි. තව කොතරම් දේවල් දැනගැනීමට තිබෙනවාද කියා තමාවත් නොදනී. ඉහත දැක්වූ කියමනෙන් අදහස් කරන්නේ එයයි. අප දේවල් දැනගන්නට දැන ගන්නට අපට පසක් වන්නේ, මා සියල්ල දැන් දන්නවා කියා නොව, තව මා නොදන්නා දේවල් කොතෙක් තිබිය හැකිද යන්නයි. එය සත්‍යයකි. ලෞකික, ලෝකෝත්තර දෙපැත්තෙන්ම එය සත්‍යයකි. සියල්ල පිළිබඳව අඩුවක් නැතිව දන්නා, සර්වඥතා ඥාණයකින් යුතුවන්නේ මේ විශ්වයේ එකම එක පුද්ගලයෙක් පමණි. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පමණි. ලෝකයේ දැනගතයුතු දේවල් කොතෙක්ද සර්වඥතා ඥාණය එතෙක්ය. සර්වඥතා ඥාණය කොතෙක්ද ලෝකයේ දැනගත යුතුදැ එතෙක්ය.
මේ ලෝකයේ බොහෝ වටිනාකම් තීරණය වන්නේ සාපේක්ෂවය. දුප්පත් කෙනෙකුට කාලයකින් ලැබෙනා රස මසවුළු අගනේය. නමුත් දිනපතා ඒවා ලැබෙනා පොහොසතකුට එය අර තරම් අගයක් නොවේ. ඔබට නිතර ලැබෙන දෙය අගයක් නැති වේ. නමුත් එය අහිමි වූ පසු එහි අගය වටිනාකම දැනෙයි.ඒ මිනිස් සිතේ ස්වභාවයයි. සෑම දෙයකම අගය දැනෙන්නේ සාපේක්ෂවය. මේ මුළු ලෝක සත්වයාම මැනීම නම් වූ දෙය මත තම සිතට එක් එක් දේවල් වල අගයන් නිර්ණය කරදෙයි.
අප දන්නා වපසරිය මත අප යම් යම් දේවල් වලට දෙන වටිනාකම් වෙනස් වේ. ඔබ අවුරුදු පනහක කෙනෙක් නම්, අවුරුදු දහයක ළමයකු ජීවිතයේ ගෙවූ කාලය කොතරම් පොඩිද යන්න දනී. නමුත් ඒ දරුවාට එය එලෙසින් දැනෙන්නේ නැත. ඔබ පශ්චාත් උපාධියක් කරන ලද කෙනෙක් නම්, සාමාන්‍ය පෙළ කරන කෙනෙක්ට තව දැනගත යුතු දේවල් කොතෙක්ද යැයි දන්නා නමුත් ඒ දරුවා එය නොදනී. අප දන්නා වපසරිය මත වටිනාකම් තීරණය වන්නේ එබැවිනි.
ඔබ දන්නා වපසරිය කුඩායි නම් ලැබී ඇති දේ අගය ඔබට නොදැනේ. වසර ගණනක යුද්ධයකින් දුක් විඳි කෙනෙක්ට සාමයේ අගය දැනෙන ප්‍රමණයත්, කිසිම දිනෙක යුද්ධයකින් බැට නොකෑ කෙනෙක්ට එහි අගය දැනෙන ප්‍රමාණයත් වෙනස්ය. මේ සෑම දෙයක්ම සාපේක්ෂ බව ඔබට දැන් වැටහෙනු ඇත.
එසේ නම් අප අවබෝධ කරගත යුතු දෙය වන්නේ, අප දන්නා දේ සීමිත බවය. එයද මහත් වූ අවබෝධයකි. තමන් නොදන්නා බව දැනගැනීමම තමන්ට හිත සුව පිණිස පවතී. අපේ දැනුම සීමා සහිතය. එසේ නම් අප යම් යම් දේවල් වලට දෙන අගයන් ඒවායේ සැබෑම අගය නොවේ.
නමුත් ඔබේත් මගේත් වාසනාවට , සියල්ල පිළිබඳව සර්ව සම්පූර්ණ ප්‍රඥාවකින් යුතු බුදු රජාණන් වහන්සේගේ සරණ අපට හිමිවිය. අපට දැන් ඇත්තේ උන් වහන්සේ කියූ දේ පිළිගැනීමය. මන්ද යත් බොහෝ දේ අපටම පසක් කර ගැනීමට අපහසු බැවිනි.
දත යුතු සියල්ල දන්නා බුදු පියාණන් වහන්සේ සෑම විටම දේශනා කලේ මේ ධර්මයේ ඇති දුර්ලභ බවය. එය අපට වැටහෙන්නේ නැත්තේ අප දන්නේ මේ ජීවිතය ගැන පමණි. නමුත් උන් වහන්සේ අසුරු ගසන ක්ෂණයෙන් කල්ප ලක්ෂ ගණන් ආපස්සට බැලිය හැකි ජවන ප්‍රඥාවකින් යුක්තය.
ඔබ මොහොතකට ඇස් වසාගන්න. අද දිනය තුළ ආපස්සට මෙනෙහි කරන්න. උදේ අවදිවුණ වෙලාවේ සිට මේ දක්වා පැය කිහිපය තුළ, ඔබ ගැන පමණක් මෙනෙහි කරන්නට ඔබට කොපමණ කාලයක් ගියාද.. එසේ නම් බුදු පියාණන්ගේ ඒ අති ජවන ප්‍රඥාව ගැන සිතාගන්නට හැකිද.. මහ සාගරයේ ජලය කන් හැන්දකින් ප්‍රමාණ කරන්නේ කෙසේද.. ඒ බුදු පියාණන්ට අති වේගයෙන් කල්ප ගණන් ඈතට සංසාරය ආපස්සට බලද්දී පෙනෙන්නේ කුමක්ද ? අති වේගයෙන් චිත්‍රපට දර්ශනයක් මෙන් පෙනෙනවා ඇති වෙන්නට පුළුවන. උන් වහන්සේට අන්‍ය සත්වයන්ගේ ශබ්ද කනට ඇසෙයි . උන් වහන්සේ එසේ බලා අපට පෙරළා දේශනා කළ දෙයින් උන් වහන්සේට කුමක් පෙනෙන්නට ඇත්දැයි අප අවබෝධ කරගන්නට බලමු.
“නුඹලා අතීත සංසාරයේ විඳින ලද දුක් දන්නේ නම් හිස ගිනි ගත්තත් ඒ ගින්න නිවන්නට වත් නොවෙහෙසී චතුරාර්‍ය සත්‍ය අවබෝධයට වෙහෙසෙනු ඇත…”
“නුඹලා අතීත සංසාරයේ අපායන්හි දැවෙමින් විඳින ලද දුක කොතෙක්ද යන්න මට උපමාවකින්වත් විස්තර කළ නොහැකියි..”
“මේ සුගතිගාමි සත්වයන් ගණන මහපොළොව තරම් නම්, ඔවුන් අතරින් නැවත මරණින් මතු සුගති උපතක් ලබන්නේ මේ නිය සිලට ගත් පස් ප්‍රමාණය තරම් ඉතාමත්ම සුළු , සැසදීමට වත් නොහැකි සුළු පිරිසකි.”
“නුඹලා අතීත සංසාරයේ හරකෙකු වී ඉපිද බෙල්ල කපා මැරෙද්දී පමණක් ගලා ගිය රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩියි..”
“එකම මව මිය යද්දී හැඩූ කදුලු මහ සාගරයට වඩා වැඩියි..”
“නුඹලාට ගෙවා ආ සසර තුළ මවක් නොවුණ පියෙක් නොවුණ කිසිවකුත් නොවේ..”
එකම කෙනෙක්ගේ සංසාර ගමන ආපස්සට බලන් යද්දී බුද්ධ ජීවිතය නිම වූවද ඒ පුද්ගලයාගේ සංසාර ගමනේ ආරම්භය දැකීමට නොහැකි තරම් අති දීර්ඝය.
සත්වයාගේ මහ ගෙදර සතර අපායයි. කොහේ ගියත් ටික කලකින්ම නැවත මහ ගෙදරටම එන්නාක් මෙන් සත්වය මිනිස්, දිව්‍ය, බ්‍රහ්ම තල වලට ගියද නැවත සුපුරුදු සතර අපායටම පැමිණෙයි.
මේවායේ තේරුම සරලව කුමක්ද ? ඒ තරම් අති වේගවත් පෙර භව දැකීමේ ඥාණයෙන් යුත් බුදු හිමියන් උදේ සිට හවස වන තෙක් නොව, දිනයක් නොව, මාසයක් නොව, වසර ගණනාවක් නොව… මුළු බුද්ධ ජීවිතයම පුරාම… වේගවත්ව …අති වේගවත්ව… මාගේ සංසාර ගමණ ආපස්සට බලනවා නම්.. කෙසේ පෙනෙනවා ඇත්ද…
‘නිමක් නොවන සතර අපායන් වල මා කෑ ගසමින් දුක් විඳිනවා.. කලාතුරකින් දෙව්, මිනිස්, බ්‍රහ්ම උපතක්..නැවත සුපුරුදු අපාය.. ‘
බිඳකට මේ මනසිකාරය පවත්වන්න..
සිතා ගැනීමට වත් පුළුවන්ද.. ඇදහිය හැකිද..
“අනේ ඒ මමම නොවේද.. වරෙක හරකෙක්ව සිට බෙල්ල කපා ලේ වගුරවමින් මිය ගියේ මම නොවේද… “
එසේ හරකෙකු වී ඉපිද බෙල්ල කපා මිය ගිය වාර ගණනම කොතෙක්ද.. මේවා විස්තර කර දක්වන්නට වචන වලින් හැකි වේද.. ඔබම සිතා බැලිය යුතු නොවේද.. ඔබට මේවා පිළිගන්නට නොහැකි නම්.. ඒවා ඒතරම් හදවතට නොදැනේ නම්… ශ්‍රද්ධාවේ අඩුව තේරුම් ගන්න. උදේ හවස බුදු පිළිමය ඉදිරියේ මල් පහන් දැල්වූවද… බුද්ධ පූජාව තැබූවද.. මේ උන් වහනසේගේ සර්වඥතා අවබෝධයෙන් යුතුව නිර්මල මුවින් පිටවූ වදන් වල සත්‍යතාවය හදවත පළාගෙන දැනෙන්නේ නැත්නම්…ඒ ශ්‍රද්ධාවේ අඩුව වටහාගන්න..මහා කාරුණික වූ බුදු පියාණන් කිසිදා අතිශයෝක්තියක් හුවා දක්වමින් සත්වයන් බිය වැද්දූවේ නැත. ඒ සත්‍යය දකින්න. ඒසේ වූ මහා කාරුණිකයන් වහන්සේ මෙසේ පුන පුනා කියන්නේ කුමක්ද යන්න තේරුම් ගන්න.. එක පැයක් වැය කරන්න. එකිනෙක ගෙන මෙනෙහි කර බලන්න.. මේ මහා සංසාරයේ බය..හදවතින් දැනගන්න.. ඔබ වටේ සිටිනා අය නොයෙකුත් ලෞකික දේවල් වල පැටළී සුවසේ සිටිනු ඇත. ඒවා බලා ඔබට සිතෙනු ඇත
” ඇයි මං විතරක් බය වෙන්නේ. මේ අනිත් අය හොදට ඉන්නේ..”
හදවතට තට්ටු කර ශ්‍රද්ධාව ගැන ප්‍රශ්න කරන්න. මේ මහා බය අතිශයෝක්තියක් නම් නොවේ. ඔබට පිහිට වන්නට ඒ අය එන්නේ නැත. සිත දියුණු කර බොහෝ අයට පෙර භව දැකීමේ නුවණ පහළ වෙයි. සාමාන්‍යයෙන් සීමිත භව ගණනක් හෝ දැකිය හැකි කෙනෙක්ට වුව …මේ සසරේ භයානක බව පෙනෙනු ඇත.
මහා සාගරයේ ජලයත්, ඉදිකඩු තුඩට ගත් ජලයත්…සැසදිය හැකිද… මේ ලද මිනිස් ජීවිතයේ දුලභ බවත් එසේමය. කණ කැස්බෑවා විය සිදුරෙන් සද බැලුවාක් මෙන්ම දුර්ලභය.. එයත් සසර දෙස බැලූ බුදු පියාණන් සර්වඥතා ඥාණයෙන්ම දෙසූ උපමාවකි. එසේ නම් ඒ දුලභ මනුස්ස ජීවිතය තුළ ධර්මය අසන්නට ලැබීම..බුද්ධ ශාසනයක උරුමය විඳින්නට ලැබීම.. මේවා අති දුර්ලභ කරුණුය.. මහා ඝන අන්ධකාර ලෝකඹු නිරයකට, කල්ප කෝටි ගණනකින් එක් ක්ෂ්ණයකට ආලෝකයක් පහළ වූවාක් මෙනි. ඊටත් වඩා දුලභ වනු ඇත.. මේවා ඔබ හදවතින් අවබෝධ විය යුතුය.
දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුවද… අබුද්ධෝතොපාද කාලයක නම්.. බණ පදයක් ඇසිය හැකි වේද… දහම්සොඬ රජු ජීවිතය බිළිදී පර්වත මුදුනේ සිට යකුගේ කටට පැන්නේ ඒ වැටෙන කාලය තුළදී වුව බණ පදයක් ඇසීම වටිනා බව දත් නිසාය. ඒ තරම්ම දුර්ලභ කරුණුය.
බුදු පියාණන් දේශනා කළේ යම්කිසි කෙනෙක්ට උදේටත් කස පහර සියයක්, දහවලටත් කස පහර සියයක් , රාත්‍රියටත් කස පහර සියයක් ආදී ලෙසින් ජීවිත කාලයම කස පහර කමින් ජීවත් වෙන්නට සිදු වෙනවා නම්, නමුත් ඒ අවසානයේ ධර්මය අවබෝධ වනවා නම්, පුද්ගලයකු විසින් ඒ කස පහර කමින් ජීවත් වීමට වුව කැමති විය යුතුය යන්නය. සිතා බලන්න අල්ප මාත්‍ර වූ පාරමි ශක්තියක් ඇති කෙනෙකු වුව දුකෙන් මුදවන්නට යොදුන් ගණන් දුර වැඩි, රැ නොනිදා ගස් ගල් මුල නිදි වැරූ අපමණ කරුණාවෙන් යුත් බුදු හිමියන් එසේ කියන්නේ මේ සසරේ රැඳී සිටීම එතරම්ම බයානක හෙයින් නොවේද !.
මේ ධර්මය ඇසීම එතරම්ම දුර්ලභ බැවිනි. ඔබට අද සතර දෙසින් ධර්මය ඇසෙන්නේ ඔබ කරන ලද පුණ්‍ය බලය නිසාවෙනි. ඇතැම් විට ඒ ඇසෙන ධර්මය ඔබට ගැළපෙනම ඔබේ සිතට උචිතම පරිදි දේශනා නොකරනු ඇත. එය රඳා පවතින්නේ දේශකයාණන් වහන්සේගේ හැකියාව මතයි. නමුත් පැය ගණන් කටේ කෙළ සිඳී යන තෙක්, එකම ඉරියව්වෙන් ඔබගේ සිත යහපතෙහි පිහිටුවාලමි යන පරාර්ථකාමී කරුණා සිතුවිල්ලෙන් යමෙක් ඔබට ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් ධර්මය බිඳුවක් හෝ දේශනා කළේ නම් එයට නිසි ගෞරවය දැක්විය යුතුය. එය පහත් කොට නොසිතිය යුතුය. මේ ධර්මය ශ්‍රවණය එතරම්ම දුර්ලභ නිසාය. ඔබ යම් දිනෙක එසේ ධර්මයට සිතින්, වදනින්, කයින් යම්කිසි උපවාදයක් කළේ නම්, ඒ දේශකයාණන් වහන්සේ කෙනෙක් ගැන පහත් කොට සිතුවේ නම් එය ඔබේ අයහපත පිණිසම පවතී. මන්දයත් ඒ ඔබ නිගා කරන්නේ යම්කිසි පුද්ගලයකුට නොව ධර්මයටමය.. ඔහුගේ අවබෝධයටමය.. මේ ධර්මය කණට අමාවක් බඳු වන්නේ එය ශ්‍රද්ධා පූර්වක සිතින්, නුවණින් විමස විමසා ශ්‍රවණය කරන්නාටය. තමන්ගේ වරද දැක නිවැරදි කර ගන්නට තරම් නිහතමානී සිත් ඇත්තවුන්ටය..
අද ඔබට සුලභ දේ හෙට දුලබ දෙයක් වන්නට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. සක්විති රජ පදවිය ලැබූ එකම කෙනෙක්වත් නොහැකි නම් අප අතර… මේ සසරේ අපට විය නොහැක්කක් තිබේද.. මේ ලැබූ දුලභ මනුසත් බව…දුර්ලභ සම්බුදු ශාසනය… ඉන් උපරිම පල නෙලා ගත යුතුය. එය හදවතින් පැමිණෙන තෙක් ඔබ ලෝකයේ අන් අය යන අතටම යමින් දුගතිගාමි වන්නටම මාවත සකස් කර ගනු ඇත.
මේ අනන්ත සසරේ අප සතර අපා වල පැසෙමින් තිරිසන් ආත්මයන් ලබමින් රාග , ද්වේශ, මෝහයේම පැටළී සිටියෙමු.
” මම නම් එහෙම නෑ. මට එහෙම වෙන්නෙ නෑ” කියා කියන්නට කිසිවකුටත් නොහැකිය. එසේ කිව හැක්කේ අවම වශයෙන් සෝවාන් ඵලය වත් සාක්ෂාත් කර ගත් කෙනෙක්ට පමණි. ඒ සෑම භවයකදීම කුසලයක් කරගන්නට හැකියාවක් නොලැබ, අකුසල් සිත්ම පමණක් පහළ කරගනිමින්..ගෙවූ කාලය කොපමණද…
“චුන්ද, අවම වශයෙන් කුසල සිතිවිලි මාත්‍රයක් හෝ ඇති කර ගැනීමම මම මහත් කොට සලකමි..”
යැයි බුදු රජාණන් වහන්සේ එදා දෙසූ වේ මේ සත්වයන්ගේ සිත් තුළ පහළ වන අපමණ අකුසල් සිතිවිලි කන්දරාව දකිමින්ය. මේ ලෝකයේ දුර්ලභ කරුණු ඔබේ හදවතට අවබෝධ නොවන තාක් කල් ඔබ ඒවායින් ප්‍රයෝජනයක් නොගනී.. මැණික් ගල් ඔබේ පයට පෑගී යනවා ඔබේ අන්ධ දෙනෙතට නොපෙනෙනවා ඇත.
මනුසත් බව ලැබීම දුර්ලබය.. ධර්මය ඇසීම දුර්ලබය. නිවන්, මාර්ග ඵල, අවබෝධය දුර්ලභය. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය දුර්ලභය. පින් දහම්හි යෙදීමට අවස්ථාව දුර්ලභය. අවම වශයෙන් දානයක් හෝ දීමට ලැබීම පවා දුර්ලභය. ඔබ සිතනවා ඇති දන් දීමට අවශ්‍ය මුදල් පමණක් කියා. නැත.. මුදල්ද අඩුවක් නැතිව, ඒ සඳහා කැමැත්තද ඇතිව.. නමුත් දෙන්නට කෙනෙක් නැතිවත් ලතවෙන පිරිස් සිටින බව ඔබ දන්නවාද… බුදු පිළිමයක් අභිමුව මලක් පහනක් දල්වා ශ්‍රද්ධාවෙන් දෑත් එකතු කොට වඳින්නට ලැබීමම සසරේ කෙතරම් දුර්ලභ දැයි ඔබ සිතා ඇතිද… මේවා ඔබට ලැබී ඇත්නම් ඒවා හදවතින්ම අගය කරන්න.. පින්කමක් කරන්නට සිතුණු විට ඒ සඳහා මුදල්, පිරිස, හැකියාව, පරිසරය ඔබට ලැබේ නම් එහි අගය වටහාගන්න.. සිතුණු විට බණ පදයක් අසන්නට හැකි නම්.. ඔබ කොතෙක් පින්වන්තදැයි වටහා ගන්න. ඒවා අගය කරන්න. ඒවා නොලැබ අසරණ වූ සත්වයන් ගණන අනන්තය.. කොතෙක්ද කියනවානම් දෙවියන්ට පවා පින්කම් කරන්නට නොහැකිය. ඔවුන් මනුසත් ලොව පුණ්‍යවන්තයන් සිදුකරන පින්කම් වලට උපකාරී වෙමින් ඒවාට සාධුකාර දෙමින් අනුමෝදන් වෙයි. ඔබට කරන්නට නොහැකි පින්කම් දෙස බලා සතුටින් අනුමෝදන් විය හැකි තරම් සුන්දර සිතක් තනා ගන්න.
ලෝක විෂය අචින්තයය.. !
කර්ම විෂය අචින්තයය.. !
ඒවා විපාක දෙන්නේ ඔබේත් මගේත් ලෞකික ප්‍රඥාවට අනුව ගොඩ නඟාගත් තර්ක විතර්ක මත නොවේ.. සුළු වරදෙහි පවා බිය දකිමින් තිදොර සංවර කර ගන්නට අප වීර්යය කළ යුතුය..
මේ අති බිහිසුණු සසරින් එතෙර වන්නට එකිනෙකාට උපකාරී වෙමින්.. වීර්යය කළ යුතුය..
ඔබ දැල්වූ පහනෙන් ආලෝකය ලබන්නේ කවුද කියා ඔබ දැන නොගත්තාට කමක් නැත. ඔබ තැනූ පහුරෙන් එගොඩ වන්නේ කවුරුන්ද කියා ඔබට අදාළ නැත.
අවශ්‍ය වන්නේ පහන දැල්වීමය..
අවශ්‍ය වන්නේ පහුර දියත් කිරීමය..
මේ ඝෝර සංසාරයෙන් මමත් එතෙර වී අනුන්ටද එතෙර වීමට පහුරක් තනා දෙමි..
මේ අන්ධකාරයෙන් මමත් මිදී අනුන්ටද මිදෙන්නට වීමට පහනක් දල්වමි..
මේ ශාසනයේ එදා සිට පහළ වූ සත්පුරුෂයන් කළේ එයයි..
එළිය ලබන්නේ කවුද යන්න අදාල නොවේ.. කවුරුන් වූවද ඒ මේ මහා සංසාර සාගරයේ කුණාටු සුළඟට හසුව ගසාගෙන යන අසරණ ලේන් පැටවෙකි.. !!
දුර්ලභ වූ ක්ෂේම් භූමිය වෙතට ගොඩ වෙන්නට , උපකාර කළ හැකිනම්…එයයි මේ ජීවිතය තුළ ..
මේ ශාසනය තුළ ඔබේ කාර්යභාරය…
