විදර්ශනාව වඩමු

අපේ සිත සෑම විටම බාහිර ලොව සමඟ බැඳී වෙළී ගැට ගැසී පවතී. ඇසින් දකින, දුටු දෙයක් ගැන හෝ, ඇසූ, අසෙන දෙයක් ගැන හෝ, විඳින, විඳි දෙයක් ගැන හෝ ආදී ලෙසින් සෑම විටම පාහේ මේ කය සහ සිත ඇසුරු කරගෙන පිට ලෝකයෙන් ලැබූ අරමුණක් කෙරෙහි ඇලෙමින් හෝ ගැටෙමින් පවතී. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හයෙන් , මුල් කී පහෙන්ම විඳීමක් ලැබෙන්නේ මේ මොහොතේ පමණි. ඒවා එතනම එතනම නිරුද්ධ වී යයි. නමුත් මනස එසේ නොවේ. අනෙක් ආයතන පහෙන් සහ මනසෙන් විඳින ලද අරමුණු නැවත නැවත මෙනෙහි කරමින් විඳින්නට මනායතනයට හැකියාව ඇත.

ඔබ ඊයේ රාජකාරී ස්ථානයේදී වූ සිදුවීමක් සිතන්න. කෙනෙක් ඔබට බැන්නා යැයි සිතන්න. ඒ මොහොතේ ඒ බැනුම එතනම ඉවර විය. නමුත් අදත් ඔබ එය මතක් කරමින් දුක් වෙන්නේ, ඔබේ කනට නැවත එම ශබ්දය ඇසෙන නිසා නොවේ. මනස මගින් ඒ සිදුවීම නැවත නැවත මෙනෙහි කරමින් නැවත නැවත විඳීම් සකස් කරවයි. මෙලෙසින් සිතා බැලුවහොත් ඇස ,කන , නාසය, දිව, ශරීරය යන කයට සම්බන්ධ ආයතන පහ මඟින් අපව අතීතයට හෝ අනාගතයට ගෙන යන්නේ නැත. නමුත් මනස නම් වු ආයතනය මඟින් ඔබව අතීතයට, අනාගතයට මහත් වූ දුරක් ගෙන යා හැක.දැනට අවුරුදු 40-50 කට පමණ වූ දුරක් වුවද එයට යා හැක.

මෙසේ වූ අති ධාවන සිතද මේ මොහොත තුළ පමණක් රඳවා ගන්නට හැකි නම්…!

එය කරන්නට ඉතාමත් අපහසුය. නමුත් කළ හැක. එය ක්‍රමානුකූලව කළ යුතුය. එහා මෙහා දුව පනින දඟකාර කුඩා ළමයකු එක තැන නතර කරන්නට එක් වරම බැරි අයුරිනි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයම යනු සිත එලෙසින් හික්මවා ගෙන සිත අවබෝධ කරගෙන, එයින් නිදහස් වීමය. මන්දයත් මුළු සංසාරයම ගොඩ නැඟෙන්නේ සිත පෙරටු කරගෙනය.

සිත එසේ දමනය කර ගන්නට නම්, පළමුව හොද උවමනාවක් තිබිය යුතුමය. කවුරුත් කීවාට නොව, තමන්ගේම හදවත තුළින් එන සැබෑ උවමනාවක් තිබිය යුතුය. එක් එක් අරමුණු ඔස්සේ අතීතයට , අනාගතයට දුවමින් නොයෙකුත් කෙලෙස් සිතිවිලි ඇති කරගනිමින් සසර දිගු කරවන සිත හික්මවා ගන්නට ඔබ තුළින්ම උනන්දුවක් ආ යුතුමය.

සතිය යනු මේ මොහොතේ ඔබ තුළ වන දෑ පිළිබඳව සවිඥාණික බවයි. සරලව සිහිය ලෙසින්ද යොදාගත හැක. ඇතැම් විට අප කරන, කියන, සිතන දේවල් ගැන අපට දැනීමක් ඇතිවන්නේ එහි විපාකය එද්දීය. “මම මෙහෙම කරාද, කිව්වද, සිතුවද” ආදී ලෙසින් අප පසුතැවෙයි. ඇතැම් විට ඔබ සිතුවේ, කිව්වේ, කරේ ඔබට ඕනෑ දේවල් නොවේ. “ඇයි මම එහෙම කිව්වේ, අපරාදේ” ලෙසින් අප පසුතැවෙයි.

බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම සරල ලෙසින් සතිය පවත්වා ගත යුතු අයුරු පෙන්වා දී ඇත .

අප විසින් අපගේ කය පිළිබඳව සතිය පවත්වා ගත යුතුය. මේ මොහොතේ කයේ පවතින ඉරියව්ව ගැන සිහියෙන් සිටිය යුතුය. ඇවිදින විට ඇවිදිනවා ලෙසින් ඔබ දැන සිටිය යුතුය. කෑම කන විට, නාන විට, වාඩිවී සිටින විට ආදී ලෙසිනි. ඔබ දැන් කල්පනා කර බලන්න. ඔබ ස්නානය කරන විට සිත පවතින්නේ ඒ මොහොතේ කය පිළිබඳවද.? බොහෝ විට එසේ නොවේ. ඔබ සිතින් මෙනෙහි කරන්නේ පෙරදා නැරඹූ නාට්ටියක් ගැන විය හැක. මේ අයුරින් එකින් එක මෙනෙහි කර බලන්න. අප බොහෝ කාර්යයන් කරද, සිත එතන පවත්වා ගෙන නැත. මෙසේ කය ගැන සතිය පවත්වා ගැනීම සරල ලෙසින් ආරම්භ කර ගැඹුරින් වුවද කළ හැක. පළමුව කරන කාර්යයන් ගැන සිහිය පවත්වා ගන්නට උත්සාහ කරන්න. මෙය ඔබ සාමාන්‍ය ජීවීතයේදී කළ යුතු දෙයකි. ඒ ඒ වෙලාවට කයේ පවත්නා ඉරියව් ගැන සිහිය පවත්වා ගැනීමයි.

ඉන් පසු මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන යන්න. එනම් කයේ සිදුවන චලනයන් ගැනද සිහිය පවත්වා ගන්න. කෑම කන විට, අනන බව, ඇනූ බත් පිඩ මුවෙහි දා ගැනීම, හැපීම, ගිලීම ආදී ලෙසින් කයේ ක්‍රියාව කොටස් වලට කඩමින් සිහියෙන් බලන්නට පුරුදු වන්න. මේවා කිරීම මුලදී ඉතාමත්ම අපහසුය. නමුත් පුරුදු වූ විට අපහසු නැත. සිත එක එක අරමුණු ඔස්සේ ගොස් විඩාවට පත් නොවී ඔබේ කයේ ක්‍රියාවන් පිළිබඳ සතියෙන් සිටී නම් එය සිතට සැනසුමකි.

අප මෙසේ සිත පුරුදු කරන්නේ සැමදා කය දෙස බලා සිටීමට නොව, සිත මේ මොහොත තුළ රඳවන්නට පුරුදු කිරීමටය. මෙසේ සතිය පුරුදු කරන ඔබ අවසානයේ භාවනාවකට යොමු වූ විට හිත පිට නොයා ඒ භාවනා ආරම්මණයෙහි මනා ලෙස පිහිටයි. ඒ භාවනා අරමුණ තුළින්ද සිදුවන්නේ දසත විහිදෙන සිත එකම අරමුණක් තුළ රඳවා තබා ගැනීමය. එයද අවසානය නොවේ. එම අරමුණ මඟින් සමාධිමත් වන සිතින් අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දැක අවබෝධ කරගන්නටය. ඒවා පියවි ඇසට පෙනෙන දේවල් නොව, ප්‍රඥාවට දැනෙන දේවල්ය. ඒවා එසේ අවබෝධ කරගන්නට තියුණු වූ සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබිය යුතුමය. සරල ලෙසින් ආරම්භ කරන ගමනක අවසාන අග්‍ර ඵලය වූ නිවන අත්දකින්නට මෙසේ මූලික තැන සිට පටන් ගත යුතුය.

කය ගැන සිහිය පවත්වා ගැනීම ක්‍රමයෙන් ගැඹුරින් ගැඹුරට කළ හැක. සිත තුළ සතිය වැඩෙත්ම නිරායාසයෙන් ඔබව ඊළඟ පියවරවල් සඳහා යොමුවෙයි. ඇවිදින විට මුලින් ඇවිදිනවා යන්න පමණක් සතියෙන් සිටි ඔබට, එය පුහුණු වු පසු “වම් කකුල ඉදිරියට තැබුවා, දකුණු කකුල” ආදී ලෙසින් සතිය තවත් සියුම්ව පවත්වා ගැනීමට හැකි වනු ඇත. තවත් පියවරක් ඉදිරියට යමින් වම් කකුල ඔසවන විට ඔසවන බවත්, තබන විට තබන බවත් ආදී ලෙසින් අනු ක්‍රියාවන් පිළිබඳවද සිතට වැටහේ. පෙර ඇවිදින විට වෙනත් දේවල් හිතමින් ගිය සිත ඒ සියළු දෙයින් මිදී ඒ කරන ක්‍රියාව තුළ පමණක් පැවතීමෙන්ම ඔබ සිතට අත්වන සහනය ඔබට දැක ගත හැකිවනු ඇත.

අප විසින් සතිය පවත්වා ගත යුතු අනෙක් තුන නම්, වේදනාව, සිත, ධම්ම යන තුනයි.

අපේ කයට හා සිතට නොයෙක් සැප දුක් මැදහත් වේදනාවන් දැනෙයි. සියළු කායික වේදනාවන් විඳින්නේද මනසිනි. සිත නැත්නම් කිසිදු කායික වේදනාවන් දැන්නේ නැත. සිහි නැතිව ඉන්නා විට ශරීරයට කුමක් කළත් අපට ඒ වේදනාව නොදැනේ. කෙසේ වුව අප විසින් අපේ කයට දැනෙන විඳීම් කෙරෙහිත් සිතට දැනෙන විඳීම් කෙරෙහිත් සිහියෙන් සිටින්නට පුරුදු විය යුතුය. පිහියකට අත කැපුණු විට දැනෙන කායික දුක්ඛ වේදනාව කෙරෙහිත්, ඔබ හිස කැක්කුමකින් සිටින විට හිස සම්භාහනය කරන විට දැනෙන කායික සුඛ වේදනාවත්, කෙනෙක් ගැන ඔබට එන ඉරිසියාව නිසා දැනෙන මානසික දුක්ඛ වේදනාවත්, ඔබව කෙනෙක් ඇගයූ විට දැනෙන මානසික සුඛ වේදනාවත් ආදී ලෙසින් වේදනාව ගැන සිහියෙන් සිටිය යුතුය. මේ දෙකටම අයත් නොවන මැදහත් වේදනාවන් ගැනද මෙලෙසින්ම සිහිය පවත්වා ගත යුතුය. මෙයද කලින් දැක්වූ ලෙසින්ම,ආරම්භයේ සරලව පටන් ගෙන ක්‍රමයෙන් සියුම් ලෙසින් සිදු කරනට හැකි වේ. අවසානයේදී ඔබ භාවනාවකදී දැනෙන කායික සුඛ වේදනාවන් හා මානසික සුඛ වේදනාවන් සතියෙන් දකින්නටත් , ප්‍රඥාව තුළින් මේ සියලු සුඛ දුක් වේදනාවන් ජනිත කරවන වේදනා ස්කන්ධයේ යථා තත්වය අවබෝධ කරගන්නටත් මෙසේ පුහුණු වීම අත්‍යවශ්‍යයය.

අනෙක් සතිය පවත්වා ගත යුතු තැන නම්, සිතයි. අපේ සිතට එන යන අනන්ත අප්‍රමාණ වූ සිතිවිලි ගැන සිහියෙන් සිටිය යුතුය. බොහෝ විට තරහක් ඇවිත් අප විසින් දෙයක් කළ පසුවයි අපට සියල්ල පෙනෙන්නේ. මරණයන් සිදුකළ බොහෝ දෙනා පසුතැවෙයි. ඔවුන් ඒවා කරන්නට සිතා සිටියේ නැති බවත් හදිසියේ සිත පාලනය කරගත නොහැකිව දේවල් සිදුවූ බවත් ඔවුන් පවසයි. අපටද එදිනෙදා ජීවීතයේ අනන්තවත් මෙවැනි දේවල් වලට මුහුණ දීමට සිදුවෙයි. මදුරුවෙක් මැරීම යන ක්‍රියාව සිදුවන්නේද කය ගැනවත්, සිත ගැනවත් සතිය නොපවැත්වූ බැවිනි. අප සිතට තරහ ඇවිත් යම් යම් දැ කියවෙයි. දෝෂාරෝපණය කරයි. නමුත් අපට ඒවා ගැන හරි සිහිය එනවිට පමා වැඩිය. රාගයද එලෙසින්මය. හදිසියේ වැරදි ක්‍රියාවලට යොමුවෙයි. නමුත් පසුව ඒවා ගැන දුක්වෙයි. සිතට එද්දිම දෙයක් හඳුනා ගන්නට හැකියාව තිබේ නම් අපට ඒවා පාලනය කර ගැනීමට හැකි වේ. හරියට කෙනෙක් අපේ නිවසට එද්දිම ඔහු හොරෙක් බව දන්නේ නම් අපට පරෙස්සම් විය හැක. නමුත් නොදැන සිටියොත් අලාභ සිදුවේ. සිතත් මෙලෙසිනි. සිතේ ඇතිවන සියළු හොද නරක සිතිවිලි කෙරෙහි සතිය පවත්වා ගත යුතුය. මෙය එදිනෙදා ජීවීතය ඉතාමත් සාර්ථකව පවත්වා ගැනීමටද මහත් උපකාරී වේ. නමුත් මෙහි අග්‍ර ඵලය නම් සිතේ ජනිත වන සංඥාව, වේදනාව, සංස්කාර, විඥණ නම් නාම ස්කන්ධය සමාධිමත් සිතින් දක්නට, එහි උදයවය( ඇතිවීම් නැතිවීම්) දැකීම ආදී ලෙසටම දියුණු කර ගැනීමය.

අනෙක් සතිය පවත්වා ගත යුත්තේ ධර්මතාවයන් ගැනය. එනම් පංචස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම ස්වභාවය ආදී දේ පිළිබඳවද හේතුන් අනුව ඵලයන් ඇතිවෙන හැටි ආදී ලෙසින් සංස්කාර ලෝකය තුළ පවත්නා ධර්මතාවයන් ගැන සතියෙන් සිටීමය. කෙනෙක් දුටු විට ඒ කෙරෙහි ඇලීම, ගැටීම් ආදි දේ නොව, ඔහු ඇඳ පැළඳ සිටින දේ ගැන නොව,ඔහුගේ අඩුපාඩු , ලස්සන කැත ආදී දේවල් නොව අප සිතිය යුත්තේ. දෙතිස් කුණප ලෙසින්, මොහුත් අනිත්‍යයට යන අයුරු, ලෙඩ රෝග වලට ගොදුරු වන අයුරු, දුක් ගොඩක උරුමකරුවෙක් වන බව ආදී ලෙසින් ධර්මතාවයන් පිළිබඳව මෙනෙහි කළ යුතුය. මෙය විදර්ශනාවට බර වූ දෙයකි. මෙයි ලැබෙන අග්‍ර ඵලය නම් ඔබ සමාධිමත් සිතින් භාවනාවේ සිටින විට දක්නා සියුම් සංස්කාරයන්හි යථා ස්වරූපය අවබෝධ කරගැනීමට හැකිවීමයි. සංස්කාරයන්හි අනිත්‍ය බව,දුක් බව, අනාත්ම බව ආදිය දැකීමට ඔබේ සිත පුරුදු කර ඇති නිසා සමාධිය ඉක්මවා යමින් නිවනට සිත පත්වීමට මෙය ඉවහල් වේ.

සාමාන්‍ය ජීවිතයේදී අප මෙසේ සතිය පුහුණු කිරිම තුළින් භාවනාවද ඉතාමත් ඉක්මනින් සාර්ථක වේ. සතර සතිපට්ඨානය යනු මෙයයි. භාවනා ආරම්මණයකදී ද සිදුවන්නේ මෙයයි. ආනාපාන සතියේදි කයට හුස්ම රැල්ල එන යන විදිය දැකීමෙන් කායානුපස්සනාවත්, ඒ තුළින් කයට දැනෙන සියුම් සුඛ වේදනාව අවබෝධ කරගැනීම වේදනානුපස්සනාවත්, කය ඉක්මවා ගොස් නාමය පමණක් දැනෙන මොහොතේ චිත්තානුපස්සනාවත් එසේ නොමැතිනම් කය දැනෙන මොහොතේ වුව කයේ දැනීම් අත්දැක්කේ සිතින් බැවින් ඒ ආකාරයෙන් මෙනෙහි කරමින් චිත්තානුපස්සනාවත්, සියළු දැනීම් වල ධර්මතාවයන් හෙවත් අනිත්‍ය, දුක්, අනාත්ම, ආදීය දැකීම තුළින් ධම්මානුපස්සනාවත් ආදී ලෙසින් සතර සතිපට්ඨානයම වර්ධනය වේ. නිවන අවබෝධ කරගැනීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ඇයිද යන්න ඔබට අවබෝධ වන්නට ඇත.

ඔබ මේවා සිතට මහත් බරක් ගෙන කළ යුතු නොවේ. දැන් කායානුපස්සනාව, දැන් වේදනානුපස්සනාව ආදී ලෙසින් සිත වෙහෙස කල යුතු නොවේ. මේ මොහොතේ සිත පවත්වා ගැනීම පමණි ඔබ අවසානයේ කළ යුත්තේ. එයට යොමුවීම පිණිස එක් එක් සරල තැනින් ආරම්භ කළ හැක.

මෙසේ සතිය මැනවින් පුහුණු කිරීමෙන් සමාධිය වැඩීම අපහසු කරුණක් නොවන බව ඔබටම අත්දැකීමට හැකිවනු ඇත. නමුත් භාවනා කිරීමට නම් කාය විවේකයද අත්‍යවශ්‍යය. නාමයත් රූපයත් අනෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාරී වෙමින් ක්‍රියාත්මක වෙයි. දවස පුරා වෙහෙසී ඔබ භාවනාවට ඉදගත්විට කයේ වෙහෙස නිසා නිදිමත එන්නට හැකියාව වැඩිවේ. දවස පුරා බොහෝ කාර්යයන්හි නියැළී, බොහෝ පිරිස් ඇසුරුකර, ගමන් බිමන් ගොස්, ඔබට භාවනාව සාර්ථක කරගත නොහැක. එවිට සිත පිටයෑම පුදුමයක් නොවේ. ඒ කළ කී දෑ ගැන සිත දුවයි. ඔබ කිසිදා දැක නැති, අසා නැති ,විඳ නැති දෙයක් ගැන ඔබට සිතිවිලි ඇති කරගත හැකිද ? නොහැකිය. ඔබ එය දැක ඇති , අසා ඇති, දෙයක් හා යම්තමින් හෝ සමාන කරගනිමින් සිතිවිලි ඇති කරගයි. එසේ නම් අපට සිතිවිලි ඇතිවන්නේ අප ආයතන වලින් හසු කරගන්න දේවල් කෙරෙහිමය. ඒ අරමුණු වැඩි වන්නට වැඩි වන්නට අප සිත පිට යන්නට ආයුධ සපයනවාක් මෙනි. ඔබ අද දවල් රණ්ඩුවක් වුනා යැයි සිතන්න. ඔබ භාවනාවේදී එය මෙනෙහි වන්නට ඇති සම්භාවිතාවය වැඩිය. මේ අරමුණු කිසිවක්ම නැත්නම් හිත පිට යන්නේම නැත යන බවක් නොවේ මෙහි පවසන්නේ. සම්භාවිතාවය පිළිබඳවය. බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය ගත වීමට, ශුන්‍යාගාරගතවීමට, වෘක්ෂ මූලීක වීමට කීවේ ඇයිද යන්න ඔබටම අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. ඔබ දවසම උත්සවයක නටමින් දගලමින් සිට ඇවිත් භාවනාවට වාඩි වූ විට , අර ශබ්ද කනට ඇසෙන්නාක් මෙන් දැනේ. ඒ වේගය සිතේ පවතින්නක් මෙනි. නමුත් ඔබ බෝ මළුවක සෙමින් සක්මන් කරමින් සිට පැමිණ භාවනාවට වාඩිවෙන්න. වෙනස ඔබටම දැනෙනු ඇත.

ඔබේ සිතේ ශාන්තිය සුවය ඇති කරවාලන පරිදි අවට පරිසරයද පැවතේ නම් භාවනාවට එය රුකුලකි. බුදුරජාණන් වහන්සේ සේඛ පරිහාණි සූත්‍රයේදී භාවනා යෝගීන් පිරිහෙන කරුණු හතක් දක්වන ලදී. නව කර්මාන්ත ඇරබීම,පිරිස් ඇසුරේ වැඩියෙන් යෙදී සිටීම ආදී දේවල් උන් වහන්සේ දැක්වූයේ ඒවායින් වෙන අයහපත දන්නා නිසාය. එහෙයින් කායික විවේකය මෙන්ම මානසික විවේකයද භාවනාවට අවශ්‍යයය .

කයින් කෙතරම් විවේකීව සිටියද සිතින් විඩාපත්ව සිටී නම් භාවනාව සාර්ථක නොවේ. සිතින් හැමවිටම ලෞකික ලෝකයේ දේවල්ම අල්ලාගෙන ඒවා ගැනම සිතමින් සිහින දකිමින් සිටින කෙනෙකුට භාවනාව සාර්ථක නොවීම පුදුමයක් නොවේ. ඇතැම් අය කාර්යාල වල දේවල් වලට සිතින් බොහෝ ඇලෙයි. ගැටෙයි. ඒවැනි පීඩාකාරී සිතිවිලි බහුල නම් සිතට විවේකයක් නැත. භාවනාවට යොමු වීමටත් මූලිකවම සිතේ යම් කිසි හෝ අත හැරීමක්, පැවතිය යුතුය. මේ ලෞකික දේවල් කෙරෙහි නිබ්බිදාවක්, විරාගයක් පැවතිය යුතුය. සිතේ තණ්හාව බහුල නම්, ඔබ විසින් නොයෙක් දේවල් හා පුද්ගලයන් කෙරෙහි ඇලීම, ගැටීම ආදී සිතිවිලි නිරතුරුව සිතේ පවත්වා ගනී. ලෞකික දේවල් කෙරෙහි බලාපොරොත්තු ආශාවන් පොදි බැඳගෙන නිවන් දකින්නට නොහැකි බව ඔබ තේරුම් ගත යුතුය. නිවන යනු සියල්ලම අතහැරීමයි. එක අතකින් අල්ලා ගෙන අනෙක අතින් අත හැරිය නොහැක.

භාවනාව, නිවන යනු ඔබ තනිව සිදු කරන දෙයකි. ඔබ අවන්කව කරන තරමට ඔබට ප්‍රතිඵල ලැබේ. සසර භය තිබුණාට නිවන් දකින්නට නොහැක. සසරට භිය විය යුත්තේ යම් සේද එලෙසින්ම සසර කෙරෙහි කළකිරීමද ඇතිවිය යුතුය. තවත් නම් උපතක් එපා, පැවැත්මක් එපා ලෙසින් හදවතින්ම පැන නැගී ආ යුතුය. අද බොහෝ දෙනා වෙහෙසෙන්නේ සෝවාන් වීමටය. ඒ සසර අපා දුක් විදින්නට ඇති භිය නිසාය. අප කවුරුත් දුකක් විඳින්නට භිය වෙමු. එය දෙව්, මිනිස්, බඹුන්, තිරිසන්, ප්‍රේත, අපා ආදී කවර සත්වයකුටත් පොදු දෙයකි. සියළු සත්වයෝ දුක් වේදනාවන් විඳින්නට භිය වෙති. බොහෝ අය අපාය ආදීය ගැන විශ්වාස නොකරන නිසා ඔවුන් තුළ කිසි භියක් හට නොගනී. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිළිගැනීම ඇති අය අපාය ආදිය ගැන පිළිගනී. එසේ අපා දුක් විඳින්නට ඔවුන් සැබවින්ම භිය වෙති. අපායේ ඉපදීමට ඇති භිය පමණක් ඔබව නිවන් දකින්නට ප්‍රමාණවත් නොවේ. අපායේ ඉපදීමට භිය වූවත්, දිව්‍ය සම්පත් විඳින්නට බොහෝ අය කැමතිය. පින් කම් කිරීමට බොහෝ අය බහුලව පෙළබෙන්නේ එබැවිනි.

නමුත් නිවන් දැකීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. එයද තණ්හාව ක්‍රියාත්මක වීමකි. භවයක් ප්‍රාර්ථනා කරමින්, භවයෙන් නිදහස් වීමට නොහැක. ඔබ විසින් සතර අපා ආදියත් ඇතුළුව සියලු තැන්හි ඉපදීම කෙරෙහි කළකිරිය යුතුයමය. සිතේ ඇති තණ්හාව අඩු කරගත යුතුය. එක පසෙකින් තණ්හාව පෝෂණය කරමින් අනෙක් පසින් කොපමණ භාවනාව කරද තණ්හාව ප්‍රහීණ කරමින් අත්දකිනා නිවන අවබෝධ කරගත නොහැකිය. එය හරියට හිස් කූඩයකට වතුර පුරවනවාක් මෙනි. සැබෑ ලෙසම දේවල් කෙරෙහි ඇති ආශාව අඩු කර ගනිමින් අත් හැරීම පුරුදු කළ යුතුය. දානය දීම මඟින් අප පුරුදු කළ යුත්තේ එයයි.

නමුත් අද බෞද්ධයන් දානය දෙන්නේම තණ්හාව පෝෂණය කරමිනි. දානය දෙන්නේ අතහරිමි යන සිතිවිල්ල ප්‍රමුඛ කොට ගනිමින් නොව, දිව්‍ය සැප ලැබීමට හේතුවන පින නම් වූ සිත අල්ලාගෙනය . ඔබ විසින් කර්මය හා කර්ම ඵලය අදහාගෙන දානය දිය යුතුමය. කුසලයක් ත්‍රිහේතුක වීමට එය උපකාරී වන බැවිනි. නමුත් දානය යනු දෙන දෙයකි. ඔබට දෙයක් පෙරළා ලැබුණා හෝ නොලැබුණා විය හැක. නමුත් ඔබ සිතින් අත හරිමින් දෙන්නට පුරුදු විය යුතුය. තමන්ට පෙරළා කිසිවක් බලාපොරොත්තු නොවී දිය යුතුය. ඔබ අවන්කව බලන්න. ඔබ බොහෝ පින්කම් කරන්නේ කීර්තිය ප්‍රශංසාවට ආශාවෙනි. සමාජයට පෙනෙන්නට කරන්නට කැමතිය. එසේ තමන් කළ පින්කමක් අන් අයටත් අනුමෝදන් කරවීම උතුම් දෙයකි. එය අන් අයවත් එවැනි දේ සඳහා පෙළඹවීමකි. නමුත් මේ කියන්නේ ඔබේ සිතේ ස්වභාවය ගැනය. ඔබ ඔබටම අවංක වෙමින් දෙන දේ අත් හරිමින්ම දෙන්න. අත් හැරීය යුත්තේ දෙන ලබන වස්තුව නොව, ඒ වෙනුවෙන් ඔබේ සිතේ ඇතිවන තණ්හාව මිශ්‍ර සිතිවිලිය.
එසේ ඔබ විසින් තණ්හාව අඩු කරන මාර්ගයට අවතීර්ණ විය යුතුය.

මේ සියළු දේවල් කෙරෙහි නිබ්බිදාව , විරාගය සිතේ පැවැත්විය යුතුය.
නිබ්බිදාව යනු සාමාන්‍ය කළකිරීම නොවේ. ඒ කළකිරීම පටිඝ මිශ්‍ර සිතකි. කළකිරීම ඇතිවන්නේ අපට අසතුටු දෙයක් ඇතිවූ විට පමණි. ඔබට රාජකාරියේ වැඩක් කරගැනීමට නොහැකි විට, ඔබේ පෙම්වතා තරහා වූ විට ඔබට කළකිරීම ඇතිවේ. එය කාටත් එන කළකිරීමකි. නමුත් ඔබේ රාජකාරී වැඩ ඉතා හොඳින් වෙද්දී, ඔබට කීර්ති ප්‍රශංසා උසස්වීම, පඩි ලැබෙද්දී, ඔබේ පෙම්වතා සැමියා ඉතා හොදින් ආදරයෙන් ඉද්දී, ඔබට ආස යාන වාහන, ගෙවල් ලැබෙද්දී ඔබට කළකිරීම එයිද.. බොහෝ අයට නැත. නිබ්බිදාව යනු ඒ කළකිරීම නොවේ.
කුමන සැප සම්පත් මැද, සතුටින්, සිටියද ඒ සියල්ලේ ඇති නිස්සාර බව, හිස් බව අවබෝධ වෙමින් ඒ සියල්ලෙන්ම මිදී යන්නට තරම් ඇතිවන සියුම් විරාගි සිත නිබ්බිදාවයි.

සියළු දෙය අනිත්‍යය බැවින් කිසිවක් සදාකාලිකව පවත්වා ගත නොහැක. අප සතු රූපය, ධනය, වටිනාකම්, ආදරණීය පුද්ගලයන් කිසිම දෙයක් අප ළඟ සදාකාලිකව නොරැඳේ. සියල්ල තණ අග රැඳි පිණි මෙනි. ඊළඟ මොහොතේ නැතිවන්නට පුළුවන. සුනාමි, කොටි, සහරාන්, ආදි නොයෙක් සිදුවීම් ඇස් පණා පිට සිදුවෙද්දී මේ සියල්ල එක මොහොතකින් වෙනස් වන බව අප අවබෝධ කරගත යුතුය. අපට නොවේ යැයි කිසිවකුට කිව නොහැක. අතීත සංසාරයේ අප විසින් කරන ලද කර්ම ප්‍රමාණය අතිවිශාලය. ඔබේ ඉදිරි සසර ගමනම ඔබ ගොඩනගාගෙන, දැනුදු ගොඩනගමින් සිටියි.
එය හරියට ඔබේ පොතේ කෝටි දහයක් ඇතැයි සිතන්න. ඔබ සිතන්නේ රැකියාවක් නැතිව වුවද පොළියෙන් ජීවත් වීමට ඇති බව. එලෙසින්ම සංසාරයේ බැංකු ගිණුම වන කර්ම, ඔබ විසින් සාදාගෙන ඉවරය. දැනුදු ඊට එකතු කරගනිමින් සිටියි. මේ ලිපිය කියවන ගමන් ඔබ අතේ මදුරුවෙකු වැහුවේ නම් ඔබ ඌ මරා දැමුවේ නම්, ඔබ විසින් අනාගත සංසාරයටද එලෙසින්ම මිය යන්නට කර්මයක් එක් ක්ෂණයකදී ගොඩ නගා ගත්තේය. මේ සසර යනු එවැනි දෙයකි. ඉතින් ඒ සසර ගැන පැවැත්ම ගැන ඔබ භිය විය යුතුය. කළකිරිය යුතුය. විරාගී විය යුතුය. නිරර්ථක බව වටහා ගත යුතුය. ඔබට මට විපාක දීමට මොන අන්දමේ කර්මයන් ඇත්දැයි අප නොදන්නෙමු. අවස්ථාව ආ සැනින් ඒවා එළඹ සිටියි. කිසිවකුටත් නවතාළිය නොහැක.

එසේ මේ සංසාරය ගැන යළි යළි සිතමින් ඔබේ සිතේ ආශාව අඩු කරගත යුතුය. එසේ වූ සිතකින් ඔබ භාවනාවට හිඳගන්නේ නම්, ඔබේ සමාධිය වැඩීම තවත් පමා නොවනු ඇත..
කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන් යුත් කෙනා තුළ ප්‍රීතියක් පිහිටයි. ඔහු භාවනාවට හිදගන්නේ ඒ මොහොතේ සංසුන් සිතිනි. ඒ ප්‍රීතිය තුළින් භාවනාවෙදී ඔහුට ඵස්සද්දිය ජනිත කරවයි. කය නිවී, සිත සංසිදී යද්දී කයට මහත් වූ සුඛයක් දැනේ. මේ සියළු දේ මැද්දෙන් ඔහුගේ සිත සමාධිමත් වේ.

ඒ සමාධිමත් සිතේ විතක්ක, විචාරද ක්‍රමයෙන් සංසිදී ප්‍රීතිය, සුඛය ඒකග්ගතාවය පිහිටයි. ඒ සියලු දෑද ක්‍රමයෙන් ඉක්මවා යමින් ඒකග්ගතාවය පමණක්ද පිහිටන අවස්ථාවක් එයි. එහිදී සති ඉන්ද්‍රිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වේ. මේ සියළු රූපාවචර ධ්‍යානයන්ද ඉක්මවා යමින් කාය නිරෝධය ( එනම් කය නොදැනීම යමින්) අරූපාවචර ධ්‍යාන වලටද සමවදින්නට හැකිවේ. සියළු රූප නිමිති නිරුද්ධ වී ගොස් හිස් අහසක සිත පවතිනවා බඳු තත්වයකි. එම අහස යන සංඥාවද ඉක්මවා සිතට සිත පමණක් අරමුණු වන අවස්ථාවක්ද, ඒ සිත යන බවත් සිතේම සංඥාවක් බව අවබෝධ වෙමින් ඒ සංඥාද ඉක්මවා, සංඥාවක් ඇතිත්, නැතිත් යන ඉතාමත්ම සියුම් දැනීමක් වන නේවසංඥානාසංඥායතය නම් වූ අරූපාවචර ඉහළම ධ්‍යානයට වුවද සමවැදිය හැක. මේ ධ්‍යාන මට්ටමද ඉක්මවා යමින් නිරෝධ සමාපත්තීන් වැනි තත්වයන්ටද සමවැදීමට ඉහළ මාර්ගඵල ලාබී කෙනෙකුට හැකියාව ඇත.

සැම ධ්‍යාන සිතකම අනිත්‍ය , අනාත්ම, දුක් බව විදර්ශනාවට නඟමින් ඒ සියළු ධ්‍යාන සිත් ඉක්මවා නිවනට සිත පත් කර ගැනීමට හැක. සෝවාන් වීමට නම් අඩුම වශයෙන් උපචාර සමාධියක් හෝ (පළමුවන ධ්‍යානයට පෙර අවස්ථාවක්) සමථ ආකාරයෙන් හෝ විදර්ශනා ආකාරයෙන් වඩා තිබිය යුතුය.

ධ්‍යාන වඩවමින් සමථ ආකාරයෙන් භාවනාව ප්‍රගුණ කරන ආකාරය එලෙස වන අතර පංචස්කන්ධය විදර්ශනාවට නඟමින් ත්‍රිලක්ෂණය දකිමින් විදර්ශනා භාවනාව මුල සිටම වැඩීමෙන්ද නිවන් ලබා ගත හැක. විදර්ශනා භාවනාවෙන්ද සමථයෙන් ලැබෙනා ධ්‍යාන උපදවා ගත හැක. උදාහරණයකට විදර්ශනා භාවනාවෙන් කය විදර්ශනා කොට කාය නිරෝධයකට සිත පත්වේ. එනම් කය සම්පූර්ණයෙන්ම සිතට නොදැනී නොපෙනී යයි. සිත පමණක් පවත්නා බව පෙනී යයි. මෙය සමථයෙන් ලබා ගන්නා පළමුවන අරූපාවචර ධ්‍යානයට සමවේ.

කුමන අයුරකින් කළද ප්‍රායෝගික වශයෙන් මේ ලබා ගන්නා අත්දැකීම් සඳහා ඔබ විසින් ප්‍රායෝගිකවම ධර්මය පුහුණු කළ යුතුය. ක්‍රමානුකූලව ඉතාමත් අවබෝධයෙන්, අවංකව , නිවන් දැකීමේ පරම අභිලාශයෙන් සිදු කළ යුතුය. බොහෝ අය භාවනා කරන්නේ ලෝකයට පෙනෙන්නටය. කීර්ති ප්‍රශංසාවටය. ඒ භාවනාවෙන් වන්නේ කෙලෙස් වඩවා ගැනීමකි. සිත යනු කෙලෙස් ඇති කිරීමටම උපන් දෙයකි.
අප විසින් භාවනාව වැඩිය යුතුවන්නේ කෙලෙස් වඩවාගැනීමට නොව, තිබෙන කෙලෙස් වියළා දැමීමටය.

ඇතැම් අය තමන් ලැබූ මාර්ග ඵල ලොවට කිය කියා , ඒ තුළින්ද ආත්ම තෘප්තියක් ලබයි. ඔබ නිවනක් අවබෝධ කළෙ නම් එහි සතුට ඔබටය. ඔබ සතර අපායෙන් මිදුණේ නම් එහි විපාකය ඔබටය. අනෙක් අයට ඉන් යහපතක් ලැබෙන්නේ ඔබ විසින් අන් අයවත් මේ නිවන් මාර්ගය තුළ පිහිටවීමට යම්කිසි හෝ උපකාරයක් කිරීමෙනි. පහළ මාර්ගඵල ලබාගත් අයගේ සිත් තුළ වුවද ඊර්ශ්‍යා, මාන්න, ද්වේශ, රාග ආදී කෙලෙස් පවතී. ඔවුන් උත්සාහ කළ යුත්තේ ඒවා නිරුද්ධ කිරීමටය.
කොතෙක් පොත් පත් කටපාඩමින් සිටියද ප්‍රායෝගිකව අත්දකිමින් ධර්මය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ලැබෙන දේ ඉඳුරා වෙනස්ය. අවබෝධය, දැනුම හා ප්‍රත්‍යක්ෂ දැනීම යනු මහත් වෙනස් දෙකකි. ඒ ධර්මය දැකීමෙන් එන ශ්‍රද්ධාව යළි සසරේ කිසිඳු දිනෙක බිඳී නොයයි. ජාතක කතා කියවා හෝ, බෝධියක කොඩියක් එල්වා අපට පිහිටක් ලැබුණු විට එන ශ්‍රද්ධාව හා ධර්මය දැකීමෙන් එන ශ්‍රද්ධාව සසදන්නේ නම් මහ සාගරයක් හා ළිඳක ඇති වතුර සසඳනවා මෙනි.

නිවනක් සාක්ෂාත් කරගනිමින් සියල්ලු විපරීත සංස්කාරයන්ගෙන් මිදී සිත ඒ මහා ශාන්ත වූ අමා මහ නිවනේ ගිලී නිවන් සුව විඳින විට….

“ඒතං සංතං ඒතං පණීධං යදිදං සබ්බ සංඛාර සමථො සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ, විරාගෝ, නිරෝධෝ නිබ්බානන්ති…”

සියළු සංස්කාර සංසිඳී ගිය, සියළු උපධීන් සමනය වූ, තණ්හාව ක්ෂය වු, කිසිවකට ඇල්මක් නැති, නිරුද්ධ වී ගියාවූ , නිවන ඒකාන්තයෙන්ම ශාන්තය..ඒකාන්තයෙන්ම. ප්‍රණීතය…!!!!!!

මෙතෙක් කල් කාම ලෝකයේ දේවල් පසුපසම යමින් ඒවාම අභිනන්දනය කරමින් විඳි සියළු රසයන්, සැපතන් නිවන් සුවය ඉදිරියේ අසූචි මෙනි. නිවන් සුවය දිට්ඨ ධම්ම සුඛ විහරණයකි. මරණින් මතුව පමණක් විඳින දෙයක් නොවේ.

බුද්ධාන්තර ගණන් පමණක්ද නොව, නිමක් නොවන සසරක විඳින්නට තිබූ අනන්ත අප්‍රමාණ දුකින් ගලවා,මේ මහා සුවයක සිත ගිල්වූ අමා මෑණී බුදු පියාණන්ට හදවත උතුරා ගලන ශ්‍රද්ධාව කිසිඳා පොතක් පතක් කියවා ලබාගන්නට නොහැක. ඉතිපිසෝ ගාථාව කෝටී වාරයක් කීවද ලැබෙන්නේ නැත. බුද්ධගයාව, රුවන්වැලිසැය, දළඳා මාලිගාව ඉදිරිපිට රැය නොනිදා පහන්කරමින් වැන්දද ඒ ඇතිවන ශ්‍රද්ධාවද ධර්මය දැකීමෙන් එන ශ්‍රද්ධාවට කිට්ටු කළ නොහැක.

මේ සුවය විඳින්නේ , මේ සැනසුම විඳින්නේ… එදා අසංඛ්‍ය ගණන් සසරේ ඇස් ගලව ගලවා දන් දෙමින්, මහ පොළොව පරයාලමින් මස් දන් දෙමින්, සත් සමුදුරු පරදාලමින් ලේ දන් දෙමින්, ගිජ්ජකූට පර්වතය පරයාලමින් හිස් දන්දෙමින් දාන පාරමිතාවද, ජීවිතය යද්දී පවා කඩ නොකර ශීල, නෙක්ඛම්ම, ඛන්ති, සච්ච, අධිට්ඨාන, ආදි පාරමිතා පුරමින් කිසිඳු දෙවියකුට,බ්‍රහ්මයකුට විඳිනවා තබා සිතන්නටවත් නොහැකි වූ තරම් අනන්ත අප්‍රමාණ දුක් විඳිමින්, කැපකිරීම් කරමින් පැමිණි, බුදුවන ජීවීතයේදීත් සය අවුරුද්දක් අධික වු උග්‍ර තපස් රකිමින්, පිපාසාවට තමන්ගේම මූත්‍රා බොමින්, ශරීරයේ සියළු මස් දියවී ගොස්, සම ඇටසකිල්ලේ ඇලෙන්නට තරම් වූ, කිසිවකුට සිතන්නටවත් නොහැකි ලෙස දුෂ්කර ක්‍රියා කරමින් බුද්ධත්වයට පත්වූ ඒ මහා කාරුණිකයන් වහන්සේ නිසා නොවේද යැයි හදවතට දැනෙද්දී, දැනෙන හැඟීම වචනයකට ගොනු කරන්නේ නම් “අහෝ බුද්ධෝ” ලෙසින් පමණි…!
ඒ මහා බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, ඒ ධර්මය අවබෝධ කරගෙන පිරිනිවී ගිය සහ දැනට ජීවත් වන සංඝ රත්නයට ජීවීතය පූජා කරමින් ශ්‍රද්ධාව ජනිත වේ..

ලෝකය යනු ඔබත් මාත් දකිනා මේ අපේ සීමාවේ පවත්නා දෙය පමණක් නොවේ. ඔබත් මාත් උගත් කරුණු පමණක් නොවේ. ලෝකය යනු රාග, ද්වේශ, මොහ සිත් ඇති සත්වයන් තුළින් සිතින් ගොඩනගා ගත් දේයයි. ඒ ලෝකය ඉක්මවා යමින් එතෙර විය හැක්කේද සිතින්මය. රාග, ද්වේශ, මෝහයන්ගේ ගොඩනැගුණු ලෝකය, විරාගය, අදෝෂය, අමෝහය තුළින් සිඳළිය යුතුය. එයට ඇති එකම කමටහන බඹයක් පමණ දිග වූ ඔබේ කය සහ සිතයි. ලෝකය මැවෙන්නේ එතැනිනි. ලෝකය සිඳිය යුත්තේද එතැනිනි. එයට මාර්ගය බුදු රජාණන් වහන්සේ පෙන්වා ඇත. කළ යුත්තේ එය පිළිපැඳීමකි. එය පාඩම් කරගෙන ඉගෙන ගැනීම නොව, එය ජීවීතයට ආදේශ කරගනිමින් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිපැඳීමකි.
ඉගෙන ගැනීම් අතරින් ශ්‍රේෂ්ඨ ඉගෙනීම ධර්මය ඉගෙන ගැනීමයි. එය අතිශ්‍රේෂ්ඨ වන්නේ තමන් එය ප්‍රායෝගිකව සිදු කරමින් ඉගෙන ගන්නවානම් පමණි.නැතහොත් එය සංඥා ගොඩගසා ගැනීමක් පමණි.
එවන් වූ සුන්දර නිවන් මාර්ගය පිළිපඳින්නට, එහි අග්‍ර වූම ඵලයෙන් නිවී සැනසෙන්නට ඔබටත් මටත් මේ ජීවීතයේදීම හැකි වේවා..!
🙏🙏🙏

තෙරුවන් සරණයි.

~~~අමා සුව~~~

One thought on “විදර්ශනාව වඩමු

  1. Sadu Sadu Sadu
    Compiled in a very simple and understandable manner with lot of compassion and blessings to help you fall into this valuable path and remain thereafter.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.