වෙසක්

නොසේදූ තේ කෝප්පයකට එන කූඹි ගණන එම නිවසේ සිටින මිනිසුන් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයකි. ආලෝකයක් වටා එක්වන මෙරුවන් ගණන, කුණු ගොඩක් වටා සිටින මැස්සන්, පණුවන්, කපුටන් ගණන, සීත වනයක සිටින කූඩැල්ලන් ගණන, සමනලයන්, කුරුල්ලන් ගණනින් දැක්විය නොහැකි තරම්ය. වත්ත පහළ වැටී ඇති පොල් අත්තක් තුළ සිටින කූඹි ගණන ගමේ සිටින මිනිසුන් ගණනටත් වඩා වැඩිය. මහා සාගරයේ වෙසෙන සත්වයන් ප්‍රමාණය මෙතැකැයි කියා ගණනින් දැක්විය නොහැකි තරම්ය.

වසරින් වසර ජන සංගණන සිදු කරමින් ලෝකයේ ජනගහණය සංඛ්‍යාගත කරන මුත් ලොකු කුඩා සත්වයන් ගණන එසේ ගණන් කිරීමට නොහැකිය.
මිනිසුන් සංඛ්‍යාව ගණන් කොට වසරින් වසර එය ගණනින් ඉහළ යන බව අප දනිමු. නමුත් සත්වයන් සංඛ්‍යාව එසේ ගණන් කිරීමට පවා ක්‍රමවේදයක් නොමැත. මිනිස් කුලකය හා සත්ව කුලකය ගණනින් සැසඳීමට පවා නොහැකිය. ජන ගහණය වසරින් වසර ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් සත්වයන්ගේ ගහණයද වැඩිවේ. නමුත් අපට දත්ත තිබෙන්නේ එක් කුලකයක පමණක් බැවින් ඇතැමුන් අනුවණ ලෙස මේවා සංසන්දනය කිරීමට යයි.

මිනිස් උපතක් ලබා ගැනීම දුර්ලභ කරුණකි. මේ ජීවීතයේ අප මිය යන විට සිත තුළ ක්‍රියාත්මක වන අවසාන සිතිවිල්ල මත ඊළඟ භවය රඳා පවතී. කුසල සිතක පහළ වීමෙන් මිනිසත්, දිව්‍ය, බ්‍රහ්ම උපතක් ලබා ගත හැකිය. ලෝකය ක්‍රමයෙන් ගමන් කරන්නේ ගුණ දම් පිරිහෙමින් යන දිශාවටය. සම්මා දෘෂ්ටිය ක්‍රමයෙන් වියැකෙමින්, මිථ්‍යා දෘෂ්ටිය ප්‍රබල වෙමින් පවතී. මෙය අප ඇසට පෙනෙන මිනිසුන්, සතුන්ට පමණක් නොව අපේ දෘෂ්‍ය පරාසයෙන් එහා සිටින දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත, අසුර ආදී කවර සත්ව කොට්ඨාශයකටත් පොදු ධර්මතාවයකි. දිව්‍ය ලෝකයන්හි සිටින සත්වයන්ද ඒවායෙන් චුතව මිනිස්, තිරිසන් ආත්ම භාවයන් ලබා ගත හැක. එමෙන්ම අපායගත සත්වයන්ටද ඔවුන්ගේ අකුසල කර්මය ගෙවා නිමවූ පසු බොහෝ විට තිරිසන් ආදී උපතක් ලබා ගත හැක. මනුෂ්‍ය උපතක් ලැබෙන්නේ නම් අංගවිකල, ආදී අඩුපාඩු සහිත උපත් බොහෝ විට හිමිවේ.

මිනිස් ජනගහණය ක්‍රමයෙන් වැඩි වීම යමෙක් බුද්ධියෙන් සිතුවානම්, කොහේ සිට පැමිණෙන සත්වයන් නිසා මෙසේ මිනිස් ගහණය වැඩි වෙන්නේදැයි කල්පනා කළ හොත්, නැවත් උපතක් ඇති බව ඔවුන්ගේ බුද්ධියට වැටහෙනු ඇත.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැන වඳාළේ ඇසට පෙනෙන ලෝකය ගැන පමණක් නොවේ. මිනිස් ඇසට නොපෙනෙන අපා , දිව්‍ය, බ්‍රහ්ම ආදී අනේක විද තලයන්ද, මේ ලෝකයෙන් එහා පවතින අනන්ත වූ ලෝක සක්වලවල්ද උන් වහන්සේගේ බුදු ඇසට ගෝචරය. ළිඳේ සිටිනා මැඬියා දන්නේ එම ළිඳේ ප්‍රමාණය පමණය. නමුත් ළිඳට එහා පවතින අති මහත් වූ විශාල ලෝකයක් ඇත.අප සරණ ගිය බුදුපියාණන් වහන්සේට ඒවා අතැඹුලක් සේ දිස් වේ.

මේ සා වූ අපිරිමිත සත්වයන් අතරින් මිනිසත් භාවයක් ලැබීම ඉතා දුර්ලභය. ඒ අතරින් මිථ්‍යා දෘෂ්ටියකට නොවැටී බෞද්ධයකු ලෙසින් උපතක් ලැබීම කෙතරම් වාසනාවක්දැයි ඔබත් මමත් අද ප්‍රත්‍යක්ෂව අත්දකිමින් සිටිමු. තමන්ගේ පණත් නසා, අනෙක් අයගේ පණත් නසා ස්වර්ගයට යෑමට කියා දෙන මිථ්‍යා දෘෂ්ටිකයන් අභියස, එසේ තමන් මරන්නට එන පුද්ගලයා කෙරෙහි හෝ සිත දූෂණය කර ගන්නේ නම්, එහි විපාකය යළි තමන් කරාම එන බවට, කර්මය හා කර්ම ඵලය ගැන අචින්ත්‍ය වූ ප්‍රඥාවක් ඇති බුදු පියාණන් අපට දේශනා කළ සේක. තම මව, පියා, දරුවන් එකට මැරී ස්වර්ගස්ථ වීමට හැක යන ඉතාමත් මෝඩ දර්ශනයක් කියා දෙන මිථ්‍යා දෘෂ්ටිකයන් අභියස බුදුවරු අතිශයින් දුර්ලභ වන්නේත්, එම බුදුවරු සරණ යැමට වරම් ලැබෙන්නේත් ඉතාමත්ම ඉතාමත්ම සීමිත අතලොස්සක් වූ ප්‍රඥාවන්තයන්ටම පමණි.
කෙතරම් පොතපතින් උගත් වූවද, ප්‍රඥාව යනු එය නොවන බව දැන් අප දනිමු.

මේ ලෝකයේ වෙසෙන සත්වයන්ගෙන් , “මහ පොළොවේ පස් ප්‍රමාණයෙන් නිය සිලට ගත් පස් ප්‍රමාණය තරම්” පිරිසක් නැවත සුගතියක උපදින බව බුදු රජාණන් වහන්සේ දේශනා කළේ කෙතරම් වූ සර්වඥතා ඥාණයකින් සහ ලෝකය විනිවිද දැකිය හැකිවූ දර්ශනයකින්ද.?
එසේ වූ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් සරණ යැමට තරම් වාසනාවක් ලැබුණේ නම්, මේ මහ පොළොව මත වෙසෙන අපරිමිත වූ සත්වයන් අතරින් ඔබ ඉතාමත්ම දුර්ලභය. ඒ අතරින්ද බුද්ධෝත්පාද කාලයක උපත ලබා, නිරන්තර සදහම් ශ්‍රවණය කරන්නට, දානාදි පින්කම් කරන්නට, සීලය, සමාධිය, ප්‍රඥාව වඩන්නට හැකි ක්ෂණයක උපතක් ලබන්නට හැකියාව ලැබීමද අතිශයින් දුර්ලභය.

එසේ වූ අය අතරින්ද ඇතැම්හු ගිලන්ව, අත පය වාරු නැතිව , ඇතැම් විට සිහිය දුර්වලව ආදී ලෙසින් ජීවිතය පවත්වා ගෙන යති. එසේද නොවී ඉතාමත්ම නීරෝගි ලෙසින්, කායික මානසික සුවපත් බාවයෙන් ඔබ මේ මොහොතේ, මේ ලිපිය කියවන්නේ නම් ඔබ කෙතරම් වූ පුණ්‍ය ශක්තියක් හිමි අතිශය උතුම් භාග්‍යවන්තයෙක්ද යන්න අවබෝධ කරගන්න.

ඔබට මේ ක්ෂණ සම්පත්තිය ලැබුණේ නිකම් නොවේ. ඔබගේ පරම්පරාවෙන් ඔබට ලැබුණු දායාදයක් නොවේ. ඔබ විසින්ම පෙර සසර තුළ සිදු කරන ලද කර්මයන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ නම් ඔබ ඔබ ගැනමත්, ඔබට ලැබී ඇති මේ දුලබ ක්ෂණ සම්පත්තිය ගැනත් මනා සේ අවබෝධයෙන් සිටිය යුතුය. මන්ද යත් එයද කර්ම විපාක ශක්තියකි. විපාක දී අවසන් වන, අනිත්‍යට යන ධර්මතාවයකි. මහා ඝන කලුවර රාත්‍රියක, යොදුන් ගණන් දුරින් ඇති, ඉලක්කයට ඔබ දැන් දුන්න හා ඊතලය සූදානම් කරගෙන පවතී. අකුණු සරක එළියෙන් ඔබ ඒ ඉලක්කය වෙත ඔබේ ඊතලය මුදා හල යුතුය. දැන් මේ ඔබට ලැබී ඇත්තේ එම අකුණු සැර එළිය පවතින අතිශය දුර්ලභ ක්ෂණයයි. මහා අනන්ත වූ සසර සමඟ ගලපන කල මේ ලත් දුර්ලභ වූ උපත එයයි. තවත් වටපිට බලමින්, කල් මරමින් සිටින්නට මේ මොහොත නොවේ..ඒ අකුණු සැර එළිය ඊළඟ ක්ෂණයේදී නිවී ගියහොත් ඔබ නැවතත් මහා අන්ධකාර ආගාධයේය. ඔබ අපහසුවෙන් සකස් කරගත් ඉලක්කය ඔබට කල්ප ගණනකට අහිමි වනු ඇත. එසේ හෙයින් අප්‍රමාදී වන්න.

මේ අපට ලක් වැසියන් ලෙසින් රටේ මුහුණ පාන්නට සිදුවී ඇත්තේ සම්මුති වශයෙන් ගත් කළ මහත් වූ අවාසනාවන්ත කාලයකටය. පාලකයන්ගෙ අදූරදර්ශී බාවය සහ ආත්මාර්ථය , බල ලෝභි බව නිසා රට වැසියන් ලෙසින් ඉතාමත්ම අසීරූ තත්වයකට අප සැවොම මුහුණ දෙමින් සිටිමු. නමුත් නිවන් මඟ යන්නකුට කෙදිනකවත් කිසිවක් බාධාවන් නොවේ. සියල්ලක්ම කමටහන් පමණි. මේ අවස්ථාව නම් නිදා සිටි බොහෝ දෙනා අවධි කරලීමට මේ රට රකින, සම්බුදු සසුන රකින දෙවි, නා , බඹුන් විසින් දුන් කම්මුල් පහරක් වැනිය.

එක් එක් අසත්පුරුෂයන්ට සිතූ සිතූ ලෙසින් විනාශ කිරීමට තරම් මේ භූමිය සාමාන්‍ය එකක් නොවේ. එය බුදු රජාණන් වහන්සේ විසින්, මහ රහතන් වහන්සේලා විසින් අධිෂ්ඨාන පිහිටවූ, අර්හත්, චේතෝ විමුක්තින්ට සම වඳිමින් , පිරිසිදු චිත්ත ශක්තීන් කැටි කර පෙවූ භූමියකි. මේ භූමියේ පය තබන්නටත් කෙනෙක්ට වාසනා මහිමයක් තිබිය යුතුමය.
තමන් අතට පත් තියුණු කඩුවෙන් තම ගෙළම සිඳලා මිය යන්නට කෙනෙක්ට සිදු වන්නේ යම්සේද, එලෙසින්ම මේ පුණ්‍ය භීමියේ ඉපිද මහත් වූ පව් රැසක් කරගන්නට බහුතරයක් නායකයන් ඇතුළු මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිදුවන අයුරු අපට දැකගත හැකිය.
එනමුත් ප්‍රඥාවත වූ අප විසින් මේ සියළු දෑ කෙරෙහි උපේක්ෂා වී, ඉවසීමෙන් නමුත් ප්‍රඥාවෙන් සහ දුර දක්නා නුවණින් කටයුතු කළ යුතුය. ඉවසීමට සීමාවක් නැත. ඉවසමින් ඉවසමින් සිට තව දුරටත් ඉවසීමට නොහැකි වූ යම් තැනක් වේද, ඔබ ඉවසිය යුතුම තැන එයයි. ඉවසීම යනු නිවට කමක්, මෝඩ බවක් නොවේ. ඉවසීමෙන් යුතුව කළ යුතු දෑ කළ යුතුය. රටක් වශයෙන් ඉවසීමෙන් ක්‍රියා කළ නිසා අපට වන්නට ගිය මහත් ව්‍යසනයක් සහ අලාභයක් නැතිවිණි. අප වඩන ගුණ දම්හි ප්‍රතිවිපාක අප අත්දකිමින් සිටිමු.

අප රකින්නට කිසිඳු පාලකයෙන් පැමිණෙන්නේ නැත. එවිට අපට දැනෙන අසරණ හැඟීම කොතෙක්ද..භිය කොතෙක්ද… මගේ ආරක්ෂාව මමම සාදා ගත යුතුය යන්න අපට කා වැඳී ඇත. ඔබ මොහොතකට සිතුවාද…සසරද මෙලෙසින්මය..
“අත්තාහි අත්තනෝ නාථෝ..කොහි නාථෝ පරෝසියා.”
තමාගේ සරණ තමාමය..කවරකුගේ පිහිටක්ද.
” අත්තදීපා විහාරෙථ..”
“මහණෙනි තමන්ට තමන් දූපතක් කරගෙන වාසය කරන්න”.
මේ බුදු වදන් දෙසවන් තුළ රැව් පිළිරැව් දෙන්නේ නොවේද …

අප කරන පව් වල විපාකය ගෙවන්නට වන විට අපට මව, පියා කාගෙන්වත් සරණක් බලාපොරොත්තු විය නොහැක. ගොනා පසුපස එන කරත්තය මෙන් ඒවා මේ සසර පුරා අප පසුපස පැමිණේ. අපායන්හි පැසෙන විට අප මුදවා ගැනීමට පාලකයෙක් එන්නෙ නැත. මහා කරුණික වූ බුදු පියාණන්ටවත් අපට එවිට පිහිට විය නොහැක. ඇතැම් අවස්ථාවන්හි ධර්මය දේශනා කරන විට බුදු රජාණන් වහන්සේ පවසන්නේ, ” මහණෙනි මේ අවස්ථාවේ රහත් වීමට තරම් පාරමි ඇත්තන් මොහොතක අප්‍රමාදී බව නිසා අපායෙහි පැසෙති. ” එනම් ඔවුන් තුළ වූ පින යටපත් වී ඇත. අප කරන ලද මහත් වූ පින් පව් අනන්ත ප්‍රමාණයක් ඇත. අවස්ථාව හා පරිසරය එළඹ සිටින විට ඒවා විපාක දෙයි. අප විසින් රැස් කරන ලද වඩන ලද සියලු කුසල්, අවසාන චුති සිතෙන් යටපත් වී අපව අපායකට ඇඳ දැමිය හැක. අප විසින් මේ ගතවන මොහොතක් පාසා, සිත ස්ථිරව හික්මවන පටිපදාවේ ගමන් කළ යුත්තේ එබැවිනි. සසර එතරම්ම භයානකය. අවම වශයෙන් අසුර ගසන ක්ෂණයක තරම් කාලයක් වත් භවයේ රැඳී සිටීම බුදු පියාණන් වර්ණනා නොකලේ එවැවිනි.

ධර්මය අත්දකින්නට ලද මහඟු කමටහනකි මේ අවස්ථාව. තව තවත් ප්‍රමාද වී ආශ්වාදයට ගිජු වී සිටිමින් නිවන ප්‍රමාද කරන්නේ නම්, එහි ඇති මෝඩකම සහ භයානක බව ඔබ දැන්වත් තේරුම් ගත යුතුය.

තව නොබෝ දිනකින් එළඹෙන්නේ අප බුදු පියාණන්ගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවීම යන තේමඟුල සිහි කරන උතුම් වෙසක් මංගල්‍යයයි. සැදැහැවත් බෞද්ධයකු විසින් ධර්ම සංවේගය උපදවා සිහිපත් කළ යුතු අවස්ථාවන්ය. මේ මහා විශ්වය තුළ යම්කිසි අද්භූත, විරල දෙයක් වූවා නම් ඒ බුදුවරයාණන් කෙනෙකුගේ පහළ වීමමය.. කෙලෙස් සහිත ලොව තුළ බුදුවරයකුගේ පහළවීම දුර්ලභය. උන්වහන්සේ ස්කන්ධ, ක්ලේශ පරිනිර්වාණයෙන් සියළු දුක් කෙලවර කිරීම පෘථග්ජන අපට වාවනු නොහැකි වූවද එය උන් වහන්සේට මංගල්‍යයකි. මන්ද සියලු දුක් සදාකාලිකවම නිමවන තැනකි. ඉපදීම, බුදුවීම, පිරිනිවීම තෙමඟුල ලෙස හඳුන්වනුයේ එබැවිනි.

ත්‍රස්තවාදීන් විසින් අපට වෙසක් සැමරීමට නොදුන්නා කියා ඔබ දුක්වන්නේ නම්…. ඔබ දුක්වන්නේ ඇයිද කියා මොහොතකට සිතන්න.. කාලය කා දමමින් ඔලු බක්කන් නැරඹීමට, වෙසක් කූඩු, දන්සැල් පෝලිම් වල සිටීමට නොහැකි වන නිසාද..? සිංදු කියමින් ලොරි වල ඉදගෙන නගර සංචාරය කිරීමට නොහැකි වන නිසාද…? එසේ නම් ඔබ ඔබගේ ශාස්තෲවරයාණන් වහන්සේට අවමන් කරන්නෙකි. ” මහණෙනි හිස ගිනි ගත්තද එම ගින්න නිවීමට තරම් වත් ප්‍රමාද නොවී අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වෙහෙසෙන්න” කියා දේශනා කළ බුදු වදන ඔබ එක් වරක් වත් අසා , කියවා තිබේද…

බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අසදෘෂය දානය දීමට වරම් ලබන්නේ එක් බුද්ධ ශාසනයක එක් සැදැහැති පුණ්‍ය වන්තයකුට පමණි. එය අප බුද්ධ ශාසන්යේ උරුම කරගත්තේ කොසොල් රජුත් මල්ලිකා දේවියත්ය.. එම දානය ගැන විස්තර මෙම ලිපියෙන් ලියා දැක්විය නොහැක. නමුත් ඔබ බෞද්ධයෙක් නම් අවම වශයෙන් ඒවා ගැන අසා කියවා තිබීම වටී. අද නිවසේ බුද්ධ පූජාවට බත් හැන්ඳක් බෙදනු දැක , නාස්තිය, දුගියන්ට දුන්න නම් මන්ද කියා කෑ ගසන අය එදා මිනිසුන් දන් දුන් අයුරුත් මහා කරුණාවෙන් ඒවා ඉවසා සිටි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ගැනත් දැන සිටීම වටින්නේය. අඩුම තරමින් ඒවැනි හිස් කතා කියන මිනිසුන්ගේ බස් වලට රැවටී නොසිටීමට හැකිවනු ඇත.
එවැනි වූ අසදෘෂ්‍ය දානයෙන් ලැබෙන අග්‍ර වූ කුසල් ශක්තිය අභිබවමින් , බවුන් වඩන සංඝයා වහන්සේ නමකට කුටි සෙනසුනක් කරවා පූජා කිරීමද ඊටත් වඩා පංච සීලය නිති සිරැකීමද, ඊටත් වඩා මෛත්‍රී සිතක් වැඩීමද උතුම් බව බුදු පියාණන් දේශනා කොට ඇත. එසේ වූවද ඒ සියළු මහත් වූ කුසලයන් අභිබවා, එක් මොහොතක් අනිත්‍ය සංඥාව බහුලීකරණය කරමින් එය අත්දැකීමට තරම් සිත දියුණු කර ගැනීම උසස්ම කුසල කර්මය වන බව උන් වහන්සේ දේශනා කළ සේක.

එසේ නම් ඔබ මෙතෙක් කල් පාරවල් දිගේ කාලය කා දමමින් කළේ කුමක්ද කියා නුවණින් විමසන්න. පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් අප්‍රමාණ වූ කරුණාවෙන්, මවක් තම දරුවන් ආදරබර සෙනෙහෙවන්ත වදනින් අමතන්නේ යම්සේද ඊටත් වඩා මහා කරුණාවෙන් බුදු හිමියන් වඳාළේ,
“සියළු සංස්කාරයන් වහා නැසී යන සුළු බැවින් අප්‍රමාදීව කුසල් රැස් කරන ලෙසයි..” අප්‍රමාදීව කුසල් රැස් කරනවා යනු නිවන් මාර්ගය අප්‍රමාදීව සම්පාදනය කිරීම යන අර්ථයයි. ඉතින් අප මේ තාක් සංසාරයේ එසේ කළාඳ..? කලා නම් අප තවමත් සංසාරයේ ඇයි..?

එළඹෙන මේ උතුම් වෙසක් පොහෝ දින අප යළි ආපස්සට අඩියක් නොතබන ලෙසින් මේ නිවන් මාර්ගය දෙසට හැරෙමු.
අප මහා තථාගතයාණන් වහන්සේගේ අසම සම ප්‍රඥා ගුණය සිහිපත් කරවමින්, අන්ධකාරය නසා ලොව එකළු කළ බුදු පියාණන්ගේ ඒ මහා ප්‍රඥාවට කළගුණ සැලකීමක් ලෙසින් , අන්ධකාරය දෙපළු කරමින් ආලෝකයෙන් පූජා කරමු. ඔබ විසින් ඔබේ නිවස ආලෝකමත් කරන්න. ඒ සෑම ආලෝකයක්ම බුදු පියාණන් වහන්සේම සිහි කරමින් පූජා කරන්න.
නමුත් සැබෑ ලෙසම පුදු පියාණන් වහන්සේ ප්‍රතිපත්තියෙන් පූජා කරන්න. උන් වහන්සේ වඳාළ දහම් මඟ එදිනට හෝ වඩන්න. භාවනා කරන්න. නිවන් මඟ යන්නට ඔබට කිසිඳු මුදලක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඔබේ නීරෝගී මනස පමණි. එසේ නම් එක්වන්න..කරුණා මෛත්‍රී සිත් පෙරදැරිව..අප සියළු දෙනා එක්ව ලෝකයට පෙන්වාලමු…අප තවමත් සැබෑ බෞද්ධයන් බව…

එදා කුසිනාරා නුවර පිරිනිවන් මංචකයේ උන් වහන්සේ සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටින විට, දෙවි බඹුන් ඉඳිකඩු තුඩු තරම් කුඩා රූපකාය මවාගෙන අතුරු සිදුරු නොමැතිව අහස වසා සිටියෝය. මදාරා පරසතු මලින් අවසාන වතාවට ශ්‍රී දේහය නහව නහවා පූජා පවත්වද්දී, මහා කාරුණික වූ මාගේ සම්මා සම්බුදු පියාණාන් ආනන්ද ස්වාමින් වහන්සේ අමතා දේශනා කළේ,
” ආනන්ද මදාරා පරසතු මලින් මා පුදන්නන් මට සැබෑම ගෞරවය දක්වන්නන් නොවේ. මා දෙශනා කළ නිර්වාණ මාර්ගයේ ගමන් කරමින් ප්‍රතිපත්තියෙන් මා පුදන්නන් සැබෑ ලෙසින්ම බුදුන් පිදුවෝම වන්නෝය..”

එසේ නම් එන්න…එ අමා මෑණි මහා කාරුණිකයන් වහන්සේව අප සැබෑ ලෙසින්ම පූජා කරමු..
අවුරුදු පන්දහසක් කල් සම්බුද්ධ ශාසනය රකින්නට මේ දෙරණේ උපන් ඔබත් මමත් බැඳී සිටිමු..
එන්න..අප අපගේ යුතුකම ඉටුකරමු…
අප ප්‍රතිපත්තියෙන් බුදුන් සරණ යමු..දහම් සරණ යමු..සඟුන් සරණ යමු…
සිත් පීඩාවන් දෙමින් වුවද, ධර්මය කෙරෙහිම තව තවත් ළං වන්නට අපේ ඇස විවර කර දුන් සියළුම සතුරු මිතුරු සත්වයන්ට පින් අනුමෝදන් කරමු..

අප සියල්ලෝම මේ සසර කතරේ අතරමන්ව ඇති අසරණයෝය..
ඉතින් අපගේ දුක නිවන්නට පහළ වෙනවානම් කෙනෙක්, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණි…
මඬ ගොහොරුවේ පිපී මඩෙහි නොගෑවි දිලෙන නෙළුම් මලක් සේ, කෙලෙස් සහිත සත්වයන් මැද ඉපිද ඔවුන් හා නො ඇලී නොගැටී සම්බුදුවරයාණන් වහන්සේත් උන් වහන්සේගේ ශ්‍රාවක රත්නයත් මෙදියත තුළ සදාකාලිකව දිඳුළන්නේ එබැවිනි.

ඔබේ සිතම පිරිසිදු නෙළුම් මලක්, මදාරා පරසතු මලක් වූ කල්හි…ඔබට හැකියි ජීවීතයම පූජා කරමින් බුදු පියාණන් පූජා කරන්න..

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා…!

තෙරුවන් සරණයි…!

~~~අමා සුව~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.