සිත යනු පුරුදු කළ යුතු දෙයකි. පුරුදු කළ හැකි දෙයකි. එය හරියට හීලෑ නැති සත්වයකු හීලෑ කරන පරිදිය. මිනිමරුවකු වීමටත්, සොරකු, වංචා කාරයකු වීමටත්, සිල් ගුණ දම් රකින ගුණවතකු වීමේ සිට සියළු කෙලෙස් දුරු කළ අරිහත්, සමා සම්බුදු යන උත්තම තත්වයන්ට පත්වීමටත් කළ යුත්තේ සිත ඒ ආකාරයෙන් හැඩගස්වා ගැනීමය.
සොරුන් අසලට වැටුණු ගිරා පෝතකයාත්, තවුසන් අසලට වැටුණු ගිරා පෝතකයාත් දෙයාකාරයකට වැඩුණේ ඔවුන්ගේ සිත් වලට වැටුණු දේවල් නිසාය. නිරන්තර කරුණාබරිත, සුවච මෘදු දේවල් ඇසුරෙහි වර්ධනය වන්නාත්, සැර පරුෂ, වංචනික සිත් ඇති අයවලුන් සමීපයෙහි වර්ධනය වන්නාත් අතර අහසට පොළොව මෙන් වෙනසක් දැකිය හැක. එසේ වන්නේ සිතට ලැබෙන අරමුණු අනුව, සිත මෙහෙයවන ආකාරය , පුරුදු කළ හැකි බැවිනි.
රාගය උපදවන අරමුණක් හමුවේ කෙනෙක් රාගයෙන් මත්වන්නටත්, කෙනෙක් පිළිකුල් සංඥාවෙන් දැකීමත් අතර වෙනස වන්නේ ඔවුන් සිත් පුහුණු කළ ආකාරයයි. ඇතැම් අය උපතින්ම විරාගී, සුවච, සුමුදු ගුණයන් ඇති අයයි. එසේ වන්නේ සසර පුරා ඔවුන් පුරුදු කළ සිතයි. කුමන ලෙසින් ගත්තද, සිත පුරුදු පුහුණු කරන කාලය අනුව සිත ඒ අනුව හික්මෙයි.
බුද්ධ ධර්මය යනු සිත හික්මවා, දමනය කිරීමයි. සදාකාලික වශයෙන්ම සිත දමනය කරන අයුරුයි. සියළු දුක් ඉපදෙන්නේ සිතින් බැවින් සිතෙන් මිදී, දුකෙන් මිදෙන අයුරුයි.
ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලිය බුදු දහමේ මනා ලෙස උගන්වයි.
අප ඇසුරු කරන්නේ අපට වඩා ගුණයන්ගෙන් අඩු, රාග, ද්වේෂයන්ට බර, තණ්හා, උපාදානයන්ගෙන් යුතු පිරිසක්ම නම්, මේ ලෝකයේ පිරිසිදු සිත් ඇති මිනිසුන් සිටිනවාද යන්නවත් අප නොදනී. සුරාවෙන්, රාගයෙන් නිරන්තර වෙළී, මෝහයෙන්ම වැසී සිටින පිරිස් සිතන්නේ, ගැහැණියක්/පිරිමියෙක් දුටු විට රාගය, ආශාව පමණක් ජනිත වන බවයි. වංචාවෙන් පමණක් දිනිය හැකි බවයි. දඩුවමෙන්, සැරපරුෂ වීමෙන් පමණක් තමන්ට උවමනා දේ ලබාගත හැකි බවයි. ආත්මාර්ථය සඳහා පමණක්ම ඔවුන් වෙහෙසෙයි. ඔවුන් හොඳ, ගුණ යහපත් අය සිටිනවාද යන්න වත් නොදනී. එයට ප්‍රතිවිරුද්ධව කරුණාව, මෛත්‍රිය, පරාර්ථය, විරාගය, අලෝභය ආදී ගුණයන් අවශ්‍යයැයිද කියා වත් නොදනී. නොසිතයි. අවිද්‍යාව එතරම් ඝන බහුලව වැඩී ඇත. ලෝකය ඉදිරියට ගමන් කරන්නේම ඒ දිශාවටය.
නමුත් ගුණ දහමින් යුතු පුද්ගලයන්ම ඇසුරු කරන්නේ නම්, ඉතාම සුලු වූ වරදක් කිරීමට පවා මැලි වෙයි. සිත හැකිළෙයි. බිය වෙයි.
බොරුවක් කීමට, වංචාවක් කිරීමට සිතට ආ විට පවා සිත හැකිළෙයි. ලැජ්ජාවට පත්වෙයි.
එසේ තමන්ගේ ආධ්‍යාත්මීය ගුණයන් වඩවාලීමට උදව් වන පිරිස් කළණ මිතුරන් ලෙසින් හඳුන්වයි.
සිත යනු අනාත්ම දෙයකි. සිත ගැන විශ්වාසය තැබිය නොහැකිය. ඔබ අවුරුදු ගණනාවක් සමාධිය වඩවා තිබුණද, ධ්‍යාන සුව වින්දද, ඒවා ඔබ නොසිතන මොහොතක සියල්ල පිරිහී යා හැක. ඔබ සීලය කොතරම් වඩවා තිබුණද, අහඹු දෙයකින් ඔබේ සීලය බිඳී ඔබ නොසිතන කෙනෙකු බවට ඔබ පත්විය හැක. අෂ්ඨ සමාපත්තීන් වඩා අහසින් ගිය අය පවා, කාන්තා කටහඬකට ඇලී ගොස් සියළු සමාධීන්ගෙන් පිරිහී ඉතාම පහත් තත්වයට පත්වූ අයුරු ධර්මයේ සඳහන්ය. එයයි සිතේ ස්වභාවය. අද සිල් ගුණ දම් පුරමින්, ගුණවතුන්ගෙන්, සිල්වතුන්ගෙන් ප්‍රශංසා ලබන ඔබ, හෙට වන විට සියළු ලෝකයෙන් නින්දා ලබන කෙනකු විය හැක. මේ සිතට , ඔබව එවැනි තත්වයකට වුව පත් කළ හැක.
අනිත්‍යයි, අනාත්මයි ලෙසින් අප අවබෝධ කරගත යුත්තේ බාහිර ලෝකයේ ගස්, කොළන්, ගොඩනැඟිලි, මිනිසුන්, බැඳීම් පමණක් නොව, ඔබේම සිතයි. අනුන්ගේ සිත් අනිත්‍යයි, රූප අනිත්‍යයි ලෙසට නොව, තමාගේම සිත මොහොතක් පාසා අනිත්‍යයට, පත්වන හැටියි.
වයසක කෙනෙකු දුටු විට, අනිත්‍යයි කියා සිතීම කිසිඳා නිවන් දකින කෙනෙකුට ප්‍රමාණවත් නොවේ. තමාගේම රූපයත් මෙලෙසයි, මටත් මෙයයි වන්නේ, කියා හදවතින් දැනිය යුතුයි.. කෙනෙකු වරදක් කළ විට, නින්දාවට පත් වූ විට, “අනේ ඔහුට වුණු දේ” කියා නොව, “මටත් මේ දෙයම විය හැකියි” කියා නුවණින් දැකීමය.
අප මේ දරා සිටින්නේ අපට අයිති කයක්, සිතක් නොව. අපේ මුලාවට අපි සිතන්නේ, මගේ රූපය, මගේ සිත කියායි. හේතු අනුව ඇතිව නැතිවන දෙයක් බව අපට නොහැගෙයි. රූපලාවන්‍යාගාරයකට ගොස්, ෆේශල් එකක් කොට, කොණ්ඩය හදා ගන්නා විට අපට හැඟෙන්නේ රූපය මම ලස්සන කරගත්තා, මගේ වසඟයේ කියායි. නමුත් එහි ස්වභාවක ක්‍රියාවලියම නම් ජරාවට, අනිත්‍යයට පත්වීම බවත් එලෙසින් ඒවා අනිත්‍යයට යන නිසාම අපට වෙහෙස වී ඒවායේ ස්වභාවික ක්‍රියාවලියට විරුද්ධව දේවල් කරමින් එය තාවකාලිකව නඩත්තු කළ යුතු බවත් අවබෝධ නොවෙයි.
අප දරා සිටින මේ ඇඟත් , සිතත් අපට අයිති දේවල් නොවේ. අතීත කර්ම විසින්, හේතු අනුව බිහිවූ ඵලයකි. මේ මොහොතේ අප රැස්කරගන්නා දේවල් අනුව ඉදිරියේදී සිතක්,කයක් ලැබෙනු ඇත.මලක් පූජාකොට, මහා පින්කමක් කොට අප මේ රූපය, මේ සිත ආත්මීය වශයෙන් ගනී. ඊළඟ භවයේ තවත් ලස්සන වේවා, තවත් සැප සම්පත් ලැබේවා ලෙසින් පතා, ඒවා එලෙසින්ම ලැබේ යැයි සිතයි. එසේ නම් ඔබ ධර්මාවබෝධයෙන් ඈතය. ඔබ කොතෙක් පින් කම් කළත් ඔබ ධර්මාවබෝධයෙන් ඈතයි නම් ඉන් ඵලක් නැත. සිතන, කියන, කරන දෙයට විපාක ඇත. අපේ සසර ගමනේ ඉන්ධන යනු ඒවායි. නමුත් ධර්මාවබෝධය, ප්‍රඥාව යනු, මේ සිදු කරන සියළු පින්, විපාක දී අවසන් වෙයි. කොතෙක් පින් කළද මේ සිතට මරණ මොහොතේ ඒවා සියල්ල අමතක වී, කරන ලද, සිතන ලද, කියන ලද ඉතා සුළු අකුසලයක් පමණක් පැන නැඟිය හැක. එසේ වී සතර අපායට වැටිය හැක. එවිට නැවත සුගතියක, නිවන් මඟ විවෘථ කාලයක උපදීම යනු, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීම වැනිය.
මේ සිතේ අනියත බව, අනාත්ම බව හදවතින් දකිනා කෙනෙකුට කිසිදින මාන්නයක්, තමා ගැන අධි තක්සේරුවක් , ස්ථිර බවක් නොදැනේ. සියල්ල අඩමානයේ පවතින දේවල් බව පසක් වේ. කිසිවක් ගැන ස්ථිර නිගමනයක් දිය නොහැකි බවක් දැනේ.
එසේ වූ විට කරන්නේ, ගෙවෙන සෑම මොහොතක්ම අවබෝධයෙන්, සිහියෙන්, යහපත්ව ගෙවමින්, වහ වහා ධර්මාවබෝධයට යොමුවීමයි. අහක බලන මොහොතක, දඟ කිරීමට බලා සිටින කුඩා දරුවකු මෙනි මේ සිත. සතිය ගිලිහී යන මොහොතක, ක්ෂ්ණයකින් කෙලෙස් වලින් වැසී යයි. සංසාරයම අනතුරක හෙලිය හැකි අකුසල් කිරීමට එවිට හැකි වනු ඇත. සතිය අත්‍යවශය වන්නේ, එය වැඩිය යුත්තේ එබැවිනි. මේ එකඳු ගුණයක්වත් ඉබේ වැඩෙන්නේ නැත. සියළු ගුණයන් අත මිට මොළවාගෙන අප ඉපදෙන්නේ නැත. ඒවා ක්‍රමයෙන් පුරුදු කළ යුතුය. වැඩිය යුතුය. සසර පුරාත් අප ඒවා වඩන්නට ඇත. ගුණයන් එක් පසකින් වඩද්දී, සමාධිය වඩද්දී, අනෙක් පසින් රාග , ද්වේෂ , මෝහයන්ටද යට වන්නට ඇත. මේ ජීවීතයේ සිදුවන පරිදිමය. පෙර වඩවා ඇති ප්‍රමාණයන්ට අනුව , මේ ජීවීතයේ අපේ ගමන වේගවත් වනු ඇත. පාරමී යනු ඒවායි.
කලයකට වතුර බින්දුව බින්දුව පිරෙන්නා සේ අපේ සිත තුළඳ පාරමී කෙමෙන් කෙමෙන් පිරී, නිසි වේලාවට ප්‍රඥාව සම්පූර්ණ වූ පසු නිවන අවබෝධ වනු ඇත.
භාවනා කළ පමණින්ම ඔබට නිවන ලැබෙන්නේ නැත. සමාධිය වැඩී තිබීම අත්‍යවශයය. නමුත් නිවන ලැබිය හැක්කේ ප්‍රඥාව තුළිනි. ප්‍රඥාව පමණක් තිබීමද ප්‍රමාණවත් නොවේ. ප්‍රඥාවෙන් දැකිය යුතු දේ දැකීමට සමාධිය අත්‍යවශ්‍යයය. ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන පංච බලයන්ම අත්‍යවශ්‍ය වේ.
නිවන ලැබීම යනු අපේ සිත අති පිරිසිදු තත්වයකට පත් කිරීමයි. සියළු කෙලෙස් තුළින් දුරු වීම යනු එයයි.
සිත එවැනි තත්වයකට පත්වන්නේ සිතේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙනි. එනම් සිතේ අනිත්‍ය බව, අනාත්ම බව, සිතේ පැවතීමේ දුක් බව යන ත්‍රිලක්ෂණය පසක් කොට දැකීමෙනි.
ඒ සඳහා යෝනිසෝ මනසිකාරය තුලින් සිත නිරතුරුව නිවැරදි මාවතේ පිහිටවිය යුතුමය.
ධර්මය යනු අනුන් සෑදීම, අනුන්ගේ වැරදි නිවැරදි කිරීමට දැඟලීම,
අන් අය අතරින් කැපී පෙනීමට වෙහෙසීම, අන් අයට වඩා උසස් ලෙස සිටීමට වෙරදැරීමට යන එකක්වත් නොව, තමන්ගේම සිත පිරිසිදු කර ගැනීමකි. මුළු ලෝකයම කෙරෙහි ඇති උපාදානය, වටිනාකම් සිතින් අත හැර සිත නිදහස් කර ගැනීමකි.
එවිට අන් අය අගය කරන දේවල් ඔබට අගයක් නොවෙනු ඇත. අන් අය වෙහෙස වී රැක ගැනීමට දඟලන දේවල් ඔබට හිස් දෙයක් වනු ඇත. මුළු ලෝකයාම එකම තරඟයක නියැලෙමින් , හැල්මේ දුවන ගමනින්, ඔබ මිදී සැනසුම් සුසුම් හෙළනු ඇත. සැබෑම සතුට, සුවය, මිහිර, නිදහස යනු කුමක්දැයි එදිනට ඔබ අත්දකිනු ඇත. සියළු ආශා, බැඳීම, මාන්නයවල් හිස් මත තබාගෙන, පවත්වාගැනීමට වෙහෙසෙන, ප්‍රතිරූපයන් සිතින් ගොඩනඟාගෙන වෙහෙසෙන සියළු දෙනා අතර, සියළු ප්‍රතිරූප බිඳ දමා, නිදහස් සුවයෙන් ඔබ සැනසෙනු ඇත.
සංසාරයක් පුරා කර පින්නාගෙන පැමිණි මේ මහා පංචස්කන්ධ දුක් බරින් මිදුණු උත්තම උත්තමාවියන් එදා ඒ නිදහස ලබද්දී උදාන වාක්‍ය පිට කරනු ලැබුවේ එහි ඇති අසීමිත සුවය නිසාවෙනි. එවන් වූ අපිරිමිත සැබෑ සුවයක් ලබන්නට අප්‍රමාදී වන්නට, ඒ සුවය කල් නොයවා විඳින්නට ඔබටත් මටත් හැකිවේවා…..!
~~~ අමා සුව ~~~
එසේම වේවා ! කුසල් රැස් වී පාරමී බල සම්පූර්ණ වී කෙලවර අමා මහ නිවනින් සැනසෙත්වා! 🙏🏽
LikeLiked by 1 person
තෙරුවන් සරණයි 🙏🙏🙏
Sent from my iPhone
>
LikeLiked by 1 person