සත්වයකුගේ ඇඟ සහ සිත නාමරූප වශයෙන් හඳුන්වයි. මෙහි නාමය යනු සිතයි. රූපය යනු ශරීරයයි.
සත්වයෙක් පුද්ගලයෙක් යනු මෙම නාම රූප දෙකේ ක්‍රියාවලියයි.
සිතේ ප්‍රධාන වශයෙන් කොටස් 4 කි. වේදනා-සංඥා-සංඛාර-විඥාණ ලෙසින් ඒවා දැක්වේ.
මෙම නාම ධර්ම හතර සහ රූපය ඉතාමත් වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යයි. එක් ක්ෂණයක් තුළ මේවා අති විශාල ප්‍රමාණයක් ඇතිවෙමින් නැතිවෙමින් යන බැවින් ස්කන්ධ ලෙස හඳුන්වයි.
නාම-රූප දෙක, රූප ස්කන්ධය-වේදනා ස්කන්ධය-සංඥා ස්කන්ධය-සංස්කාර ස්කන්ධය-විඥාණ ස්කන්ධය යන ස්කන්ධ පහක් ලෙසින් හඳුන්වන්නේ එබැවිනි. මෙම ස්කන්ධ පහට පංචස්කන්ධය කියා කියනු ලැබේ.
දෙවියකුගේ ,බ්‍රහ්මයකුගේ, මනුෂ්‍යකුගේ, සත්වයකුගේ , අමනුෂ්‍යකුගේ හෝ කවරකුගේ හෝ වේවා, සිදුවන්නේ සෑම විටම මෙම ස්කන්ධ පහේ ක්‍රියාත්මක වීමයි.
විඥානය යනු දැනීමයි.
වේදනා ස්කන්ධය යනු සැප,දුක්, මැදහත් යන වේදනා තුනටය.
සංඥාව යනු හදුනාගැනීමයි.
සංස්කාර යනු මෙහි සිතිවිලියි. කුසල් හෝ අකුසල් හෝ ඕනෑම ආකාරයක සිතිවිලි සංස්කාර ලෙස මෙහිදී හදුන්වයි.
මේවා ක්‍රියාත්මක වන ආකාරය මෙලෙසින් හඳුනා ගනිමු.
උදාහරණයක් ලෙස ඇසට රූපයක් දැකීම ගනිමු.
ඇසට රූපයක් හමුවූ විට පළමුව විඥාන ස්කන්ධය පහළ වේ. එම රූපය දැක්කාට පසුව එම රූපය හඳුනා ගැනීම සිදුවේ.හොඳ කෙනෙක්, නරක කෙනෙක්, ලස්සන කෙනෙක්, කැත කෙනෙක්,තරුණයෙක්, තරුණියක්, හතුරෙක්,මිතුරෙක් ආදී විවිධ දෘෂ්ටි කෝණයන්ට අනුව එය හඳුනා ගනියි. මෙසේ හඳුනා ගැනීම සංඥා ස්කන්ධයේ පහළ වීමයි. අනතුරුව එම හඳුනා ගත් ආකාරය අනුව වේදනා ස්කන්ධය පහළ වේ. හොද, ලස්සන, මිතුරු ආදී ලෙසින් හඳුනා ගත්විට සුඛ වේදනාවක්ද, කැත, හතුරු, අප්‍රිය ආදී ලෙසින් හඳුනා ගත්විට දුක් වේදනාවක්ද, ඇතැම් විට උපේක්ෂා වේදනාවක්ද ලෙසින් වේදනා ස්කන්ධයේ පහළ වීම සිදුවේ. සුඛ වේදනාවක් ඇතිවූ විට ඇලීමක්ද, දුක් වේදනාවක් ඇතිවූ විට ගැටීමක්ද බොහෝ විට ඇතිවේ.එවිට ඒ අනුව නොයෙකුත් සිතිවිලි ගලන්නට පටන් ගනී.මෙය සංස්කාර ස්කන්ධයේ ක්‍රියාවයි.
ඇසට රූපයක් දැක්කාට පසුව නාමධර්මයන් ක්‍රියාත්මක වන්නේ එලෙසිනි. නාමයට අනුකූලවම රූපයද ක්‍රියාත්මක වන බැවින් රූපස්කන්ධයේ ක්‍රියාවද සිදුවේ. මෙසේ පංචස්කන්ධ ක්‍රියාවලිය සිදුවේ.
කනට ශබ්දයක් ඇසුණ විටද ,නාසයට ගදක් සුවදක් දැනුණ විටද , දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට අරමුණක් ලැබුණ විටද පංචස්කන්ධය ක්‍රියාත්මක වන්නේ මෙලෙසිනි.
මේ සියළු නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම සිදුවූයේ සිත තුළ මිස බාහිරින් නොවේ. ඇසට රූපයක් දුටුවිට අප ඇලෙන්නේ බාහිර රූපයටයි. නමුත් එය ලස්සන ලෙසින් හඳුනා ගත්තේද සිතිනි. ඒ අනුව සුඛ වේදනාව ජනිත වූයේද සිතිනි. සියලු සිතිවිලි ගලා ගියේද සිතේමය. නමුත් මෝහය නිසා අප සිතනුයේ සුඛ වේදනාව ජනිත කර දුන්නේ බාහිර රූපය විසින් බවයි.
ඇතැම් කෙනකුට ලස්සන ප්‍රිය දේ තවත් කෙනකුට කැත, අප්‍රිය වන්නේ කෙසේදැයි දැන් ඔබට වැටහෙනු ඇත. බාහිර රූප තුළ කැත ලස්සන , ප්‍රිය අප්‍රිය බාවය පවතී නම් සියලු දෙනාටම ඒවායින් ලැබෙන වේදනාව, සංඥාව, සංස්කාර එකම ඒවා විය යුතුය.
අප ඇලෙන්නේද ගැටෙන්නේද, අපේ සිතේම ඇතිව නැතිවන ස්කන්ධ ධර්මයන් කෙරෙහිය. සිතේ ස්වභාවය අනුව එකම රූපය, ශබ්දය විවිධ අවස්ථා වලදී විවිධ වූ වේදනාවන්, සිතිවිලි ජනිත කර දෙන්නේය.
මෙම ක්‍රියාවලිය අවබෝධ කරගත් පසු බාහිර ලෝකයේ පවතින කිසිඳු රූපයක, ශබ්දයක, ගන්ධයක, ස්පර්ශයක ඇති වටිනාකමක් නොමැති බව අවබෝධ වේ.
අවිද්‍යාව පවතින හේතුවෙන් මෙම මුලාව දැකිය නොහැකිය. එබැවින් බාහිර ලෝකය නිරන්තරයෙන් උපාදාන කරගනිමින්, එය කෙරෙහි ඇලෙමින් ගැටෙමින් සංස්කාර රැස් කරගනිමින් සසර දික් කර ගනියි.
එය හරියට තම වලිගය අල්ලන්නට කැරකෙන පූස් පැටවෙක් මෙනි. තමන්ගේම නාම ධර්මයන් තමා විසින්ම උපාදාන කිරීමකි.
උපාදාන කිරීමට හෝ අත හැරීමට කිසිඳු බාහිර දෙයක් නොමැති බවත්, ඇත්තේ තමා තුළ ක්‍රියාත්මක වන නාම ධර්ම කෙරෙහි ඇති උපාදානය ඉවත් කිරීම පමණක් බවත් අවබෝධ කරගෙන එසේ උපාදානය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පිළිවෙත් පූරණය කිරීම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි.
මෙම නාමරූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂව අත්දකිනා විට නිවනට සිත පත්වන්නේ , සියළු උපාදාන ඇත්තේ මෙම නාමරූප තුළ මිස බාහිර ලෝකයක නොවන බැවිනි.
~~~අමා සුව~~~