සෑම කෙනෙකුගේම සිත තුළ මම බවත්, මගේ බවත් පවතින බව අපි දනිමු. මෙම “මම වෙමි” යන හැඟීම ( අස්මීමානය ) දුරු වන්නේ රහත් වීමත් සමඟමය. එතනින් එහා සෑම කෙනෙකු තුළම මම යන හැඟීම පවතියි. “මම- මගේ” යන හැඟීම නිසා සියළුම සංස්කාර රැස් කරගනී. “මම” යන හැඟීම නැති කර ගැනීමට අසීරූ වුවද, “මගේ බව” යන හැඟීම අඩු කර ගැනීමට උත්සාහ කිරීමට හැකිය. එවිට එදිනෙදා ජීවීතයේදි සිත මැදහත්ව සැහැල්ලුවෙන් තබා ගැනීමටත්, අනවශ්‍ය ආකාරයෙන් කෙලෙස් ගලා යෑම අවම කර ගැනීමටත් හැකිය.
මගේ අම්මා, තාත්තා, අයියා, අක්කා, මල්ලී, නංගී යන තැනින්ම ඇරඹෙන මගේ යන හැඟීම ඉන්පසුව අස්සක් මුල්ලක් නෑරම පවතී. මගේ පාසල, මගේ ගුරුවරු, මගේ ගම, මගේ රට, මගේ ආගම, මගේ ජාතිය, මගේ භාෂාව, මගේ සංස්කෘතිය, මගේ ගෙදර, මගේ දරුවෝ, මගේ බිරිඳ/සැමියා/පෙම්වතා.. මගේ වාහන, මගේ ඉඩකඩම්. මගේ කියා තනිව ගත නොහැකි දේ අපේ කියා ගනී. අපේ රට, අපේ පාසල, අපේ කාර්යාලය.. මෙසේ මගේ , අපේ ලෙසින් දක්වන්නේ අයිතිය ස්ථාපිත කිරීමටය. සම්මුතියෙන් මේවා මෙසේ ව්‍යවාහර කළ යුතුමය. එසේ නොමැතිව අපට ජීවත් විය නොහැක.
රහතන් වහන්සේ කෙනෙකු වුවද, සම්මුතිය තුළ ජීවත් වෙද්දී මම, මගේ, අපේ කියා ව්‍යවහාර කරයි. නමුත් මෙහිදි අප සැලකිලිමත් විය යුත්තේ සිතේ ඇති උපාදානය පිළිබඳවය.
පෘථග්ජන පුද්ගලයන් විසින් මෙසේ මම, මගේ ලෙසින් අයිතියක්, බැඳීමක් සිතේ තදින් ඇති කරගනී. මගේ, අපේ දේවල් ඔවුන්ට අයිති දේවල්ය. අනෙත් ඒවා අයිති නැති දේවල්ය. මගේ අපේ දේවල් ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට දිවා රෑ වෙහෙසෙයි. ඒවා තමන්ට ආසා පරිදි පවත්වා ගැනීමට ජීවීතයම කැප කරයි.
බොහෝමයක් හැඟීම් රඳා පවතින්නේ මේ අයිතිය මතය. මගේ , අපේ බව සිතේ සීමාවය. සතුට, දුක, බය , ඊර්ෂ්‍යාව, වෛරය, මුදිතාව, කරුණාව, ඉවසීම සෑම දෙයම මෙම මගේ, අපේ සීමාවෙන් වෙනස් වෙයි.
එය හරියටම සිත වට කර බැඳ ඇති වැටක් බඳුය. හරියටම එම සීමාවෙන් එහා හා මෙහා හැඟීම් වෙනස් වේ. වත්තේ වැටක් හෝ තාප්පයක් බැඳ ඇත්නම්, එම වැට හෝ තාප්පය ඔබේ සිතේද බැඳ ඇත. වැටෙන් එහා ගසක් කැපූ විට සිතට හැඟීමක් නැත. එය මගේ නොවේ. වැටෙන් මෙහා ගසක් කැපූ විට එය සිතට බලපායි. එය මගේය.
ප්‍රායෝගික වශයෙන් ජීවත් වීමේදි ඇතිවන තත්වයන් නොව, මෙහිදී විමසන්නේ සිත පිළිබඳවය.
මගේ දරුවා ලෙඩ වන විට ඇති වන තරම් දුකක්, බයක්, කරුණාවක් , මගේ නොවන දරුවකු ලෙඩ වන විට ඇතිවන්නේ නැත. මගේ පාසල ජයක් ලබන විට එන හැඟීම, වෙනත් පාසලක් ජයක් ලබන විට එන්නේ නැත. ඇතැම් විට ප්‍රතිවිරුද්ධම හැඟීමක් එනු ඇත. මගේ දරුවා විභාගට සමත් වීමේදී සතුටකුත්, වෙන දරුවෙක් සමත් වීමේදී ඊර්ෂ්‍යාවකුත් ඒමට පුළුවන.
මෙය බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා හැර අනෙක් සියළුම දෙනාගේ සිත් වල පවතින හැඟීමකි. කෙලෙස් ගලා යන්නේ එබැවිනි. මමත්වය නැසූ එවැනි උතුම් අයගේ සිත් තුළ මම, මගේ බවක් නැත. සියළු සත්වයන් කෙරෙහි සම මෙත් කරුණා ඇතිවන්නේ එබැවිනි. බුදු රජාණන් වහන්සේට තම පුත් රාහුල කුමාරයාණන්ද, සෝපාක කෙරෙහිද නැගුණු කරුණාව එකමය. තම ගිහිකළ දේවිය යශෝධරා කෙරෙහිද, පටාචාරා කෙරෙහිද , දේවදත්ත කෙරෙහිද නැගුණු කරුණා මෛත්‍රී සිත එකය. එනමුත් ඒ ඒ අය සසර වැඩූ පාරමිතා, ගුණ ධර්ම, කර්මයන්, අනුව ලැබෙන දේ වෙනස් වේ. නමුත් බුදු රජාණන් වහන්සේගේ සිතේ කිසිදු වෙනසක් නැත. රහතන් වහන්සේලාද එසේමය.
අප විසින්ද මෙම මෝහ හැඟීම හැකි තරම් අවම කර ගැනිමට උත්සාහ කළ යුතුය. මගේ බව වැඩි වත්ම ඒ හා සම්මිශ්‍රිතවම අනෙකුත් කෙලෙස්ද වැඩිවේ. බැඳීම වැඩ්වේ.. දුක වැඩිවේ. එක් එක්කෙනාගේ සිත් වෙනස්ය. ඇතැම් අයට මෙම හැඟීම සිතේ කා වැදී මුල් බැස ගෙන ඇත. ඇතැම් අයට එතරම් තදට නැත. ඇතැම් අය මගේ පාසල යන්න කෙතරම් තදින් උපාදාන කරගෙන ඇත්ද යන්න, ඔවුන් වයසට ගියද ඒ හැඟීම නැති නොවේ. මගේ පාසල, මගේ රට, වෙනුවෙන් යුද්ධ කරති. හතුරන් ඇති කර ගනිති.
නමුත් මේ මගේ අපේ බව සිතේ අති ඉතාමත් සියුම් හැඟීමක් බවත්, යම්තම් එහා මෙහා වුණා නම් ඒ මගේ , අපේ බවද වෙනස් වන බවත් අප නුවණින් දැකිය යුතුය. ඔබ විභාගයේදි ගන්නා එක ලකුණක් වෙනස් වුණා නම්, මගේ පාසල, මගේ නොවනු ඇත. ඔබ උපදින විට රෝහලේදී මාරු වුණා නම්, “මගේ මව, මගේ පියා” වෙන දෙදෙනකු වනු ඇත.
පෙර “මගේ පෙම්වතිය” අද “ඔහුගේ පෙම්වතිය” වනු ඇත. පෙර ඇය “මගේ” වූ නිසා තිබූ හැඟීම්, අද ඇතිවන්නේ අද ඔබ “මගේ” යැයි කියාගන්නා කෙනා කෙරෙහිය. මෙසේ පෙර මගේ වූ දේවල්, අද මගේ නොවන විට ඔබේ සිතද සපුරා වෙනස් වේ නම්, ඒ මගේ යන හැඟීම තිබුණේ ඒ බාහිර දේ තුළද ?
අතීත සසරේ මගේ වූ කෝටි ගණන් අය අද මගේ නොවේ. ඒ මගේ අය ගැන අද හැඟීමක්වත් නැත. මගේ අය නිසා රැස් කරගත් කුසල් අකුසල් පමණක් සසර නිමා වන තෙක් විපාක දෙයි. අද ඔබ ගෙවා දමන විපාක, ඔබ රැස් කරගත්තේ කා වෙනුවෙන්ද කියා වත් දන්නේ නැත. අද ඔබගේ පෙම්වතිය නිසා රැස් කරගන්නා අකුසල්, විපාක දෙන විට අද සිටින පෙම්වතිය වෙනත් කෙනෙකුගේ පෙම්වතිය විය හැක. නැතිනම් තිරිසන් සත්වයකු විය හැක. දෙවියකු, බ්‍රහ්මයකු, අපාගත සත්වයකු විය හැක. නැතිනම් රහත් වී සසරින් නික්ම ගොස් සිටිය හැක.
අංගුලිමාල ඇඟිලි කපද්දී ඔහු කෙරෙහි වෛරයෙන් මිය ගිය අය, උන් වහන්සේ රහත් වූ පසුද උන් වහන්සේ කෙරෙහි ද්වේෂය මුල් කරන් පළි ගැනීමට පැමිණි අයද අද අපායේ පැසෙන මුත් උන් වහන්සේ මේ සසර දුක නිමාකරමින් නිවනින් නිවී සැනසී පිරිනීවී ගිය සේක. දේවදත්ත තවමත් අපා දුක් විඳිද්දී බුදු පියාණන් මේ සසරෙන් නික්මී ගොස් අවසන්ය. ඔවුන් විපාක ගෙවන්නේ මේ ලෝකයේ යළි පහළ වන්නේවත් නැති වහන්සේලා වෙනුවෙන් රැස් කරගත් සංස්කාර කෙරෙහිය.
මෙය සියළු සත්වයන් කෙරෙහිම පොදු වූම ධර්මතාවයය. කර්ම ශක්තිය යනු එයයි. එය අසාධාරණ නොවේ.. ඒවා නුවණින් අවබෝධ කරගෙන හැකි තරම් මෝහයට යට නොවී සිටීමට උත්සාහ කළ යුතුය.
කිසිම බාහිර දෙයක “මගේ, අපේ” බවක් නැත. එය එසේ බාහිර දෙයක තිබුණා නම්, එය කාටවත් කිසිදා නැතිකර ගැනීමටත් නොහැකිය. එය සිත තුළ ඇතිවන ඉතාමත්ම සියුම්, මෝහ මූලික හැඟීමකි. මේ අනන්ත සසර පුර “මගේ , අපේ” වූ අය ගණන් කිරීමට ඉලක්කම් මදිය. මව නොවුණු, පියා නොවුණු කෙනෙක් නොමැති නම් අනෙක් අය ගැන කතා කිරීමෙන් පලක් නැත.
එක මොහොතක තීරණයකින්, ලකුණකින්, මගේ බව අපේ බව රඳා පවති. නමුත් ඉන් පසු ඇතිවන හැඟීම්, සංස්කාර නම් එලෙස සුළුවෙන් සැලකිය නොහැක.
මේ ජීවීතය තුළදීම පමණක් ඔබ ගණනය කර බැලුවොත්, මගේ වූ කී දෙනෙක් හිඳ ඇත්ද.. එදා මගේ වූ ඒවායින් අද කීයක් ඉතිරිද ? එදා නාඳුනනම වූ අයගෙන් අලුතෙන් මගේ අපේ වූ කී දෙනෙක් ඇත්ද..ඒ මගේ බව ස්ථිරද ? ඒ හැඟීම ස්ථිරද ? මගේ පාසල ලෙසින්, මගේ විශ්ව විද්‍යාලය ලෙසින් ග්‍රාහණය කර ගනිමින්, මාන්නයෙන්, අනුන් හෙළා දකිමින්, රැස් කරගත් කෙලෙස් ප්‍රමාණය කොතෙක්ද ? මගේ බවත් සමඟම අත්වැල් බැඳගෙන ඇත්තේ සැසඳීමයි. මගේ පෙම්වතිය, අනෙක් කෙනාගේ පෙම්වතිය සමඟ සසඳයි. මගේ පාසල අනෙක් පාසල් සමග සසඳයි. මගේ රට උසස්ම රට ලෙස සසඳයි. ඇතැම් විට මගේ – මගේ අයම සසඳයි. කලින් පෙම්වතා මෙහෙමයි, දැන් කෙනා මෙහෙමයි. අරයගේ සැමියා මෙහෙමයි, මගේ සැමියා මෙහෙමයි.. මගේ ගෙදර, එයාගෙ ගෙදර.. ආදී අනේක විදියන්ගෙන් මගේ හා මගේ නොවන දේවල් සසඳයි. මා උපන් මගේ නගරය, අනෙක් නගර හා සසඳයි. එසේ සසඳමින් උස්, පහත් හැඟීම් ඇති කර ගනිමින් පෙළෙයි.
විටෙක ආඩම්බරයද, විටෙක හීන මානයද, විටෙක ඊර්ෂ්‍යාවද, දැඩි ලෝබයද ආදී අනේක විද අකුසල ධර්මයන් ඇති කරගනී.
නමුත් මේ මගේ- අපේ බව ඇතිවන අයුරු, වෙනස් වන අයුරු මොහොතක් නුවණින් විමසන්නේ නම්, මෙසේ තදින් අල්ලා ගන්නා මගේ දේවල් ගැන ලැජ්ජාවක් ඇතිවේ. ඇත්තෙන්ම මගේ , අපේ ලෙසින් මෙසේ ග්‍රාහණය කරගන්නා කිසිවක් ඇත්ත වශයෙන්ම මගේ, අපේ නොවන්නේය. ඒවා බාහිර දේවල්මය. නමුත් ඒවා නිසා ඇතිකරගන්නා සංස්කාර නම්, නොවැරදී මටම විපාක දෙන බව දැන ගත යුතුය. මා විසින් රැස් කර ගන්න දෙය නම් මටම විපාක දෙයි.
කාලයක් එකට සිටිද්දී, යම්තම් අප සිතට අනුකූලව ක්‍රියා කරද්දී, අපේ සිත තුළ නිරායාසයෙන් “මගේ” යන හැඟීම ඇතිවෙයි. එය හරියට අපව මුලා කරන හොරෙකු වැනිය. යම් යම් දේවල් අපට කැමති පරිදි වෙද්දී අප මුලාවට පවත්වන්නේ මට ඕනෑ ලෙසින් පවතිනවා යන ආත්ම දෘෂ්ටියට බැඳීමෙනි. මලක් උදේට පිපී හවසට පරවෙයි. එය කෙරෙහි අපේ මැදිහත් වීමක් නැත. එය එසේ පිපී, පරවෙන බව අපි දනිමු. මල පරවෙලා බිම වැටී තිබෙනු දැක අප හඩා වැළපෙන්නේ නැත. යළි ඒ මල ඉල්ලා හඩන්නේ නැත. ඒ මන්දයත් ඒ මලෙහි සුන්දරත්වය වින්දද, ඒ මල පිපෙන්නට අවශ්‍ය පොහොර, වතුර දමා රැක බලා ගත්තද , මගේ මල, මට ඕනෑ ලෙසින් තිබෙන්නට ඕන යැයි අප අල්ලාගෙන නැත. එය ස්වභාව ධර්මයට බාර කර ඇත. ස්වභාවිකව පිපී පරවෙන ක්‍රියාවලිය කෙරෙහි අප තුළ ගැටීමක් නැත. එය ඒ ආකාරයෙන්ම පිළිගෙන ඇත.
ඇත්තෙන්ම දක්වනවානම්, මුළු ධර්මස්කන්ධයම ඒ කුඩා කමටහන තුළ ඇත. පිපී පරවෙන මල දැක්කද ඔබ එය උපාදාන කළේ නැත. ඔබේ වත්තේ තිබුණද, ඔබම රැක බලා ගත්තද, ඔබ එය මගේ මල, මට ඕනෑ විදියට පිපෙන්නට ඕනෑ, පරවෙන්නා ඕනෑ යැයි සිතුවේ නැත. වෙනකෙනෙක් ඒ මල කඩා ගෙන ගියද ඔබ ඉවසා සිටියා මිස ඒ කෙනා සමඟ රණ්ඩුවට, වෛර කරන්නට ගියේ නැත. මෙය ඔබේ දරුවකුට ඔබට කරන්නට හැකිද.. කරනවා තබා සිතන්නටවත් බැරිය. ඔබ දරුවන් හදයි. කවයි. පොවයි. හොඳ අධ්‍යාපනයක් ලබා දෙයි. මේ සෑම දෙයක්ම කරද්දී දරුවා වැඩෙනවාට වඩා වැඩියෙන් ඔබ සිත තුළ උපාදානය වැඩෙයි. ඒ දරුවා ඔබට ඕනෑ ලෙසටම පැවතිය යුතු යැයි සිතයි. හදිසියේ වත් ඒ ළමයා මිය ගියහොත්, ඔබට පියවි සිහිය එළඹවා ගන්නටවත් හැකිද ? මලක් වෙන කෙනෙකු විනාශ කරද්දී දුකක් ආවත් , එය අත හැරදැමුවා සේ, ඔබට ඉන්නට හැකිද..සිතාගන්නටවත් බැරිය. ඔබේ පෙම්වතිය , පෙම්වතා වෙනස් වූවොත්.. ? ඔබට උපේක්ෂා විය හැකිද?
මෙසේ වන්නේ ඔබ මුලාවූ බැවිනි. මල කෙසේ ඔබ පෝෂණය කළත්,මල හවසට මිය යන බව ස්ථිරව ඔබ දනී. නමුත් දරුවා, පෙම්වතා මගේම වී හමාරය. ස්වභාව ධර්මතාවය ඔවුනට අදාළ කොට බැලීමට හිතන්නටවත් නොහැක. කාලයත් සමඟ, ඔබගේ සිත මුලාවූ බැවිනි. සත්‍ය දන්නා මුත් එය පිළිගැනීමට සිත පුරුදු කර නැත. දරුවා වුනත් ඕනෑම මොහොතක මිය යා හැකි බව, පෙම්වතිය වෙනස්විය හැකි බව, ඔබේ නිවස ගං වතුරෙන්, සොර සතුරන්ගෙන් විනාශ විය හැකි බව, ඔබේ වාහනය කැඩෙන බව ඔබ දන්නා නමුත්, හදවතින් පිළිගන්නේ නැත. ඒවා ඇත්තටම වෙද්දී ඔබ දුකෙන්, ද්වේෂයෙන් මුසපත් වෙයි. “මැරෙනවා කියා දන්නවා, ඒ වෙලාවට ඒකට මුහුණ දෙනවා, මම බය නැ, දුක් වෙන්නේ නෑ ” ආදී ලෙසින් කියා පානා අය , සැබවින්ම ඒ තත්වයට මුහුණ දෙන්නේ අනෙක් සෑම අයකුම පරිදිය.
ඒ ස්වභාව ධර්මතාවය ඔබ එතනදී මුහුණ දීමට අසමත්ය. කර්මය, ස්වභාවය කොතෙක් දන්නා මුත් එය හදවතින් පිළිගැනීමට නොහැකිය.
ධර්මය ගළපා ගත යුත්තේ එතනටයි. මලක් පිපී පරවෙන්නා සේ ඇතිවූ සියළු දෙයම , මට ඕනෑ මොහොතේ නොව, මගේ පාලනයේ නොව, ඕනෑම මොහොතක විනාශ වී යා හැකි බව පිළිගෙන, එයට නොසැලී මුහුණ දීමට සිත දියුණු කිරීමයි. අහස පොළොව දෙදරා ගියද, අකම්පිත සිතක් ඇති කරගන්නා අයුරු ධර්මයේ උගන්වයි.
මලක් පරවෙනවා දැක, ගින්නක් නිවී යනවා දැක, කපුටෙකු හඩලනවා අසා රහත් බාවයට පත්වන්නේ එලෙසින් නුවණින් දැකීමෙන්ය. වඩන ලද ප්‍රඥ්නාවෙන් යුතු උතුමන්ට “බුද්ධ” යන නාමය ඇසීමෙන්ම, සසර ශ්‍රද්ධාව මතුව ධර්මය මතුව එන්නේද, මෙවැනි කුඩා ස්වභාවික සංසිද්ධියකින් කෙලෙස් මූලය කඩා දැමිය හැකි වන්නේද එලෙසින්ය.
සාමාන්‍ය ජනයාට ඇලෙන බැඳෙන, ගැටෙන ,සිත රිදවන සිදුවීම්, ප්‍රඥාවන්ත උතුම් අයට කෙලෙස් බිඳින මහා කමටහන්ය. එකම අරමුණ කෙනෙක් සසරට බැඳෙන්නටත්, කෙනෙක් සසරින් මිදෙන්නටත් යොදා ගත හැකිය.
ප්‍රායෝගිකවම මේ ධර්මයන් නුවණින් දකිමින්, විමසමින්, ජීවීතයට අඳාළ කර ගනිමින්, මගේ, අපේ බව පමණක් නොව, ” මම” යන බවද නසමින්, උතුම් අරිහත්වයට පත්වන්නට හැකිවන්නේ එවිටය. මේ ධර්මය ස්වාක්ඛාතය. කල් නොයවා ප්‍රථිපල ලබා දෙයි. නමුත් කැපවීම, උත්සාහය සහ අවංකත්වය අප සතු විය යුතුය.
පොලිස් සුනඛයකු විසින් ඉව අල්ල අල්ලා සොරකු සොයා යන පරිද්දෙන්, සතිය හා ප්‍රඥාව නැමැති ඉව යොදා ගනිමිත් සිත තුල වංචනිකව සැඟවී ඇති කෙලෙස් නැමැති සොරා සොයා ගැනීමට හැක්කේ ඔබටම පමණි. බුදුවරු මාර්ගය පෙන්වනවා පමණි.
ගමන් කළ යුත්තේ ඔබමය.
සතර දෙසින් හමන මහා මේඝයට පවා බිඳකුදු නොසෙල්වෙන, මහා සාගරය මැද සිටවන ලද ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටිය හැකි, කෙලෙස් ගොහුරෙන් උඩට මතුව පිපුණු පියුමක් වන්නට මේ ජීවීතයේදීම හැකිවේවා…!!!
~~~ අමා සුව ~~~