මුළු බුද්ධ දේශනාවේම හරය යනු අතහැරීමයි. කුමක්ද අත හැරිය යුත්තේ?
ඇයි අත හැරිය යුත්තේ?
අත හැරීමට නම් අප සතුව යම් දෙයක් තිබිය යුතුය.
කුඩා කල සිටම අප යම් යම් දේ එකතු කරන්නට පුරුදු වී සිටිමු. බෝනික්කන්, සෙල්ලම් බඩු, මුද්දර, ලස්සන පිංතූර, කතා පොත්, ලස්සන ගල් කැට, මල් වර්ග, කොළ වර්ග, මුල් වර්ග ආදී එකි මෙකී නොකී සෑම දෙයක්ම අප එකතු කරන්නට පුරුදු වී සිටියෙමු. අප ඒ දේවල් එකතු කළේ ඒවාට කැමති වූ නිසාවෙනි. ඒවා අපට වටිනා දේවල් වූ බැවිනි.
නමුත් වයසින් වැඩෙත්ම අපේ ආසාවල් වෙනස් විය. අපගේ වටිනාකම් වෙනස් විය. මල් ,කොළ, මුද්දර වෙනුවට ඇතැම් විට නළු නිළියන්ගේ රූප එකතු කරන්නට වීමු. නවකතා පොත්, පත්තර, ගීත පොත් ආදිය එකතු කරන්නට වීමු. සුවඳ වුලවුන් වර්ග, ලස්සන සමරු පලාක, ඇදුම්, සපත්තු, බෑග් වැනි දෑ එකතු කරන්නට වීමු.
මෙලෙස කාලයෙන් කාලයට අපේ සිතුම් පැතුම් වෙනස් වෙත්ම, අප අගය කරන දෑ වෙනස් වත්ම, එකතු කරන දෑ ද වෙනස් වන්නට විය. අප අකමැති දෙයක්, අපට අගයක් නොමැති දෙයක් අප කෙදිනකවත් එකතු කළේ නැත. අප අකමැති නළු, නිළියකගේ රූප අප එකතු කලේ නැත. අකැමති සුවඳ විලවුන් වර්ග ළඟ තබා ගත්තේ නැත.
ඒ ඒ කාලයට, අපගේ සිතුම් පැතුම් අනුව , අපට වටිනවා යැයි හැඟුන දේවල් අප එකතු කළෙමු. පරෙස්සම් කළෙමු.
මෙලෙසින් අප යම් දෙයක් රැස් කරන්නේ අප ඒ දේට ආශා කරන හෙයිනි. අපේ සිතේ ඒ දේවල් වටිනවා යන හැඟීම තිබෙන නිසාවෙනි.
කුඩා කල අප මුද්දර එකතු කල නමුත් දැන් එසේ කරන්නේ නැත. දැන් අපට ඒවා කෙරෙහි ආශාවක්, වටිනවා යන හැඟීමක් නැත. මෙලෙස යම් දෙයක් කෙරෙහි ඇති අගය නොමැති වූ කළ අප ඒවා ඉවත් කරනෙමු. නැතහොත් අතහැර දමමු. කුඩා කල අප එකතු කළ මුද්දර දැන් කොහිද කියාවත් අප දන්නේ නැත. ඒවා විනාශ වී ගොස් ඇති වුවද අපට හැඟීමක් නැත. නමුත් කුඩා කාලයේදී එසේ වූවා නම් මහත් දුකක් දැනෙණු ඇත.
දැන් ඔබ ළඟ එකතු කරගෙන ඇති යම් දෙයක් නැතිවූවොත් ඔබට එලෙසින් දුකක් දැනෙනු ඇත. ඔබ කැමති, වටිනා සුවඳ විලවුන් බෝතලය බිඳී ගියහොත් ඔබට දුකක් දැනෙණු ඇත. මුද්දර කෙරෙහි තිබූ ආශාව නැති වී ගොස් , එම ආශාව දැන් සුවඳ විලවුන් බෝතල කෙරෙහි ඇතිවී ඇත.
අප දෙයක් එකතු කරන්නේ, රැස් කරන්නේ අප සිත තුළ ඒවා කෙරෙහි ඇති ආශාව, අගය හේතුවෙන් වන අතර, අප ඒවා ඉවත් කරන්නේ අත හරින්නේ අපගේ සිත තුළ ඒවා කෙරෙහි ඇති ආශාව නැතිවූ විට, අගය නැති වූ විටය. ඇතැම් විට අප ඒ දේවල් අත හරින්නේ ඒවා එලෙස රැස් කරගෙන සිටීම නිරර්ථක ක්‍රියාවක් බව අවබෝධ වූ විටය. නැතහොත් එසේ ඒවා රැස් කරගෙන සිටීමෙන් විඳින්නට වන කරදරය අවබෝධ වීමෙන්ය.
උදාහරණයක් ලෙස ආදරය කරන දෙදෙනෙකු ගනිමු. මුලදී දැඩිව ආදරය කරන, ආශා කරන, මහත් වටිනා දෙයක් සේ හැඟෙන ඒ ආදර සම්බන්ධතා නවතා දැමූවේ ආකාර දෙකකටය. ඇතැම් විට එම දෙදෙනාටම එය නොගැළපෙන බව, දුක් සහිත බව, කරදරකාරී බව අවබෝධ වීමෙන්ය. නැතහොත් වැඩිහිටියන් මැදිහත් වීමෙන් ඒවා නොගැළෙපෙන බව, ඒවායින් වන අනර්ථය පෙන්වා දීමෙන්ය. එනම් ඒ අවස්ථා දෙකේදීම වූයේ එම බැඳීමේ අනර්ථය නිසා , කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අතහැර දැමීමය.
මේ ආකාරයෙන්ම අප විසින් අල්ලා ගෙන සිටි ඇතැම් දේවල් අපේම අවබෝධයෙන් හෝ, නැතිනම් අපට වඩා දැනුම් තේරුම් ඇති අයගේ මැදිහත් වීම නිසා හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප විසින් අත හරින ලදී. එලෙස අත හරින සෑම දෙයක්ම අප අතහැරියේ හෝ අත හැරීගියේ ඒවා කෙරෙහි තිබූ වටිනාකම් ගිලිහී ගිය බැවිනි. නැතහොත් ඒවායින් වන අනර්ථය අවබෝධ වී ගිය හෙයිනි. එසේත් නැතිනම් අපට ඕනෑ වුවත් ඒවා අපෙන් ගිළිහී ගිය බැවිනි.
කෙසේ හෝ අප විසින් මේ ජීවීත කාලය පුරාවටම කලින් කලට විවිධ වූ දේවල් රැස් කරමින්, අත හරිමින්, සිටින්නෙමු. එක් දෙයක් කෙරෙහි ඇති ආශාව, අගය නැතිවත්ම එය අත හැර වෙන දෙයකට ආශා කරමින් රැස් කරන්නට වන්නෙමු. ආශාව යනු අත්තෙන් අත්තට පනිමින් යන වඳුරකු වැනිය. යම් දෙයකට ආශා කරයි. කල් යත්ම ඒ ආශාව නැතිවී යයි. ඉන් පසු වෙන දෙයක් කෙරෙහි ආශා වෙයි. එයද කල්යත්ම එපා වී යයි.
ආශාව යනු කිසිදා සංතෘප්තියට පත් නොවන දෙයක් බව අවබෝධ කර නොගන්නා තෙක්, මෙලෙසින් අප විසින් බාහිර අරමුනු වෙනස් කරමින් , වෙනස් කරමින් අශාව සංසිඳලා ගැනීමට නිරර්ථක වූ වෙහෙසක යෙදෙයි. සංසාරය පුරාවටම කරන්නේ මෙයයි. සංසාරය පුරාවටම කරන එකම කාර්යය මෙයයි.
ජීවීත කාලයටම විවිධ වූ දේවල් රැස් කළඳ අපේ සිතේ ඇති ආශාව සංසිඳි ඇත්ද ?
ඇතැම් දේවල් කෙරෙහි ඇති ආශාව කෙදිනකවත් අපට වෙනස් නොවේ. හැමදාම බත් අනුභව කළඳ, බඩගිනි වූ විට අප සිත තුළ ඒ කෙරෙහි ආශාව උපදී. අප උපන්දා සිට මේ වන තෙක් ආහාරයට ගෙන ඇත්තේ සීමීත වර්ග වල ආහාර පානය. බත්, පරිපු, අල, බෝංචි, කැරට් , කේක්, පුඩිං, තේ, කෝපි..ආදී මේවා ටොන් ගණනින් අප විසින් අනුභව කර ඇත. නමුත් අප තවත් ඒවාට ආශා කරමු.
මෙලෙස බාහිර අරමුණු තුළින් සතපවාගන්නට වෙර දරන මුත්, කවදාවත් අපට මේ ආශාව සංසිඳලා ගැනීමට හැකිවී තිබේද ? එකම දෙයක් කෙරෙහි පවතින ආශාවක් සැමදාම නොපැවතුණු නමුදු, එක් එක් විලාශයෙන් එය පැමිණුනි. තව කෙනෙක් ආශා කරන දෙයට අනෙක් කෙනෙක් ආශා නොකළද , ඔහු ආශා කරන්නේ වෙනස්ම දෙයකටය. භෞතික දේවල් වලට ආශා නොකරන කෙනා ඇතැම් විට හුදෙකලාව, සංගීතය වැනි දේකට ආශා කරනවා විය හැක.
මෙලෙස කාලයෙන් කාලයට සිත තුළ පැන නඟින ආශාව සතපවාලීමට අප විසින් බාහිර අරමුණු කලින් කලට වෙනස් කරමින් ගන්න මේ උත්සාහය , හිසේ අමාරුවට කොට්ටය මාරු කරන්නක් මෙනි. හිස් කූඩයට වතුර පුරවන්නාක් මෙනි.. කොතෙක් කොට්ට මාරු කළඳ හිසේ අමාරුව සුව නොවේ. කොතෙක් ජලය පිරෙව්වද හිස් කූඩය නොපිරේ. එලෙසින්ම කොතෙක් බාහිර අරමුණු පසුපස දිව්වද ආශාව නොසංසිඳේ.
මන්දයත් මේ ආශාව ඇතිවන්නේ හෝ නැතිවන්නේ බාහිර අරමුණු නිසා හෝ බාහිර අරමුණු කෙරෙහි නොව, තමාගේම සිතේය. යම් දෙයක් කෙරෙහි ඇති ආශාව, අගය පවතින්නේ එම බාහිර දැයෙහි නොව තම සිතේය. කාලයෙන් කාලයට, පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒවා වෙනස් වන්නේ එහෙයිනි. බාහිර වස්තූන් කෙරෙහි ඇති දෙයක් නොමැත. තම සිතේ ඇතිකරගන්න සංඥාවට අනුවම වටිනාකම, ආශාව ජනිත වේ.
මෙසේ මේ ආශාව සන්තර්පණය කරන්නට සිතා බාහිර වස්තූන් අල්ලා ගැනීම, රැස් කිරීම නිරර්ථකය. එසේ ඒවා රැස් කිරීමෙන් අපට සිදුවන්නේ අනර්ථයකි. ආශා කරන දේවල් රැකබලා ගැනීමට වෙහෙස වන්නට සිදුවේ. ඒවා කැඩී බිඳී විනාශ වී යන විට දුකක් දැනේ. මන්දයත් අප සිතනුයේ අපට සතුටක්, අගයක් දැනුණේ එම බාහිර වස්තුවේ ඇති දෙයක් නිසා බවය.
නමුත් මේ සියළු ආශාවන්, ඇගයීම්, ගැටීම්, එපා වීම් පවතින්නේ සිතේම බව අවබෝධ වූ විට, අප රැස් කළේ, අල්ලා ගත්තේ මොනවාද ?
අපේම සිත නොවේද ? අපේම සිතිවිලි ධර්මයන්ය. අපේම විඥාණයයි. අපේම සංඥාවයි. අපේම වේදනාවයි. අපේම සංස්කාරයි. තමන්ගේම සිත තමන් විසින්ම අල්ලා ගැනීමකි. නැට්ට අල්ලන්නට කැරකෙමින් දඟලන පූස් පැටවෙකු මෙනි. ලිහා ගන්නට බැරි අවුල් වී ගිය නූල් බෝලයක් වැනි මායාවක සත්වයා පැටළී සිටින්නේ මේ නියම තතු නොදත් මෝඩකම සිතේ පවතින නිසාය.
බාහිර වස්තූන් කියා අප රැස් කළේ අපේම වේදනා, සංඥා, විඥාණ, සංස්කාර යන නාම ධර්මයන් හා ඒ අනුරූපවම ඇතිවන රූප ස්කන්ධයම නම්, අප විසින් පංචස්කන්ධයන්ම රැස් කළේය.
‘දුකක් දැණුනා යනුද, සතුටක් දැනුණා යනුද, ඇලුණා යනුද, ගැටුණා ‘ යනුද අපේම පංචස්කන්ධයේ ක්‍රියාව පමණමය.
එසේ නම් අප මෙතෙක් කල් බාහිර වස්තූන් කියා රැස් කලේ පංචස්කන්ධයන් නම්, අප විසින් අත හැරිය යුත්තේද පංචස්කන්ධයන්ම නොවේද ?
අපේම නාම රූප ධර්මයන් හෙවත් පංචස්කන්ධය මෙලෙස අල්ලා ගත් කළ එය පංච උපාදානස්කන්ධය ලෙසින් දක්වයි. මෙම නාම රූප ධර්මයන් කෙරෙහි අප විසින් කළකිරිය යුතු වන්නේ ඒවාට ආශා කරන ලද නිසා අප විසින් අතීත සංසාරයේ පටන් මේ දක්වාම විඳින ලද දුක් ගැන අවබෝධ කරගෙනය. තවද මේ සංසාරය පුරාම එම පංචස්කන්ධයක් උපාදාන කරමින් හිස් කූඩයකට වතුර පුරවමින්, ඒවා සන්තර්පණය කරන්නට අපමණ නිරර්ථක වෑයමක යෙදුණ හෙයිනි.
දැනුදු කරමින් සිටින්නේ එයයි.
පංචස්කන්ධ ධර්මයන් විසින් අපව කා දමනවා ලෙසින් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. දාසයකු මෙන් යටත්ව පංචස්කන්ධ ධර්ම කෙරෙහි සේවය කරන්නෙමු.
බාහිර ලෝකයක් අල්ලාගත්තා කියා සිතුවද අප විසින් ඇත්තෙන්ම අල්ලාගත්තේ අපේම පංචස්කන්ධ ධර්මයන්ය. එහෙයින් අප විසින් අත හැරිය යුත්තේද අපේම පංචස්කන්ධ ධර්මයන්ය. අල්ලා ගන්නට හෝ අතහරින්නට කියා බාහිර ලෝකය තුළ කිසිවක් නොමැත.
මහත් වූ ආදීනවය, දුක, නිරර්ථක බව දැක මේ පංචස්කන්ධයන් කෙරෙහි කළකිරී, විරාගී වී ඒවායේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අවබෝධ කර ගනිමින් ඒවා අත හරිය යුතුය.
පිස්සකු විසින් කර තබා යන කුණු දැක, නුවණැති කෙනෙකු අනුකම්පා කරන්නේ යම් සේද, සත්වයා විසින් උපාදානය නැමැති රැහැණින් බැඳ මේ කරතබාගෙන යන පංචස්කන්ධ බාරය දැක බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා තුළ මහත් වූ කරුණාවක් උපදී. මේ පංචුපාදානස්කන්ධ බාරයෙන් නිදහස් වන්නට අපට පාර පෙන්වන්නේ උන්වහන්සේලාය.
ඒ පෙන්වන මාවතේ ගොස්, මේ පංචස්කන්ධ බරින් සඳහටම නිදහස් වන්නට සියළු සත්වයන්ට හැකිවේවා…!!!!
~~~ අමා සුව ~~~