අස්මිමානය

මේ විශ්වයේ සිටින සෑම කෙනකු තුළම “මම” යන හැඟීම පවතී. “මම කරනවා, මම සිතනවා, මම විඳිනවා” යනුවෙන් ඔවුන් තුළ හැඟීමක් පවතී. ධර්මයේදී මෙය හඳුන්වන්නේ ” අස්මීමානය ” ලෙසයි. මෙය තවත් පුළුල් ලෙස විග්‍රහ කර දැක්වූ කරුණකි.

මෙලෙස “මම” යන හැඟීමක් පවතින නිසා ඔවුන් තුළ තෘෂ්ණාව උපදී. එම තෘෂ්ණාව හේතුවෙන්ම යළි යළි සසර තුළ ඉපදෙමින් මැරෙමින් ගමන් කරති.
මෙම “මම” යන ගැඟීම ඇතිවන්නේ අවිද්‍යාව නිසාය. සරලව පවසනවානම් මෝඩකමයි. සරල උදාහරණයකින් දක්වතොත්, අපට අයිති නැති දෙයක් ගැන, මගේ දෙයක් කියා සිතීම මෝඩ කමකි. ඔබ පාරේ තිබෙන ගොඩනැගිල්ලක් දෙස බලා මේ ගොඩනැගිල්ල මගේ යැයි කියා සිතුවොත් එය කෙතරම් මෝඩ සිතිවිල්ලක් දැයි ඔබට වැටහෙනු ඇත. ඇත්ත දන්නා කෙනකුට ඔබ ගැන අනුකම්පාවක් ඇතිවනු ඇත.

“මම” යන හැඟීමත් එලෙසමය. ඔබට අයිති නැති, හේතුන් අනුව සැකසී ඇති මේ කය සහ සිත කෙරෙහි ඔබ තුළ ” මම, මගේ ” යනුවෙන් පවතින හැඟීම මෝඩකම නිසාම සිතේ ඇතිවෙන දෙයකි. නමුත් එය ඉතාමත් සියුම් අවිද්‍යාවකි. මන්දයත් එය කල්ප කෝටි, කෝටි ගණන් , අගක් මුලක් නොදක්නා මේ දීර්ඝ සසර පුරාම පැළපදියම් වී ඇති සිතිවිල්ලකි. අනෙක් අතට එය කලින් දැක්වූ උදාහරණය පරිදි සරලව එසේ නොවේ යැයි විදහා දැක්විය නොහැකි මෝඩකමකි. අප කෙනෙක්ට කීවොත් මේ කය සහ සිත ඔබේ නොවේ, ඔබ නොවේ කියා , ඔහු සිතන්නේ අපට පිස්සු කියාය. එම සත්‍යය ප්‍රඥවෙන් විමස විමසා බැලූ විට පමණක් අවබෝධ වන දෙයකි. සාමාන්‍ය කෙනකුට එය සිතා ගත නොහැක. කෙතරම් ප්‍රඥාවන්තයකුට වුවද තනිවම සිතා එම සත්‍යය අවබෝධ කර ගත නොහැක.

මේ සත්‍ය මුල්ම වරට ගවේෂණය කොට සොයා ගැනීමට හැකිවන්නේ ඉතාමත්ම ඉතාමත්ම ප්‍රඥාවන්ත, දුලභ මනුෂ්‍ය රත්නයකට පමණි. “සම්මා සම්බුද්ධ” නමින් හඳුන්වන දුලභ මනුෂ්‍ය රත්නයටයි. එයද කාලාන්තරයක් පුරා ප්‍රඥාව වඩවමින් කරන ලද ක්‍රියාවන්හි ප්‍රතිපලයක් ලෙසිනි. එම තියුණු වූ, සියුම් වූ සත්‍ය කිසිවකුගේ මග පෙන්වීමකින් තොරව තමන් විසින් තනිවම අවබෝධ කරගැනීමට එසේ මෙසේ සුළු පටු ප්‍රඥාවකින් නොහැකිය. එසේ සියුම් වූ සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමට උවමනා ප්‍රඥාව කල්ප ගණන් සසරෙහි පුරා, එයට අනුබල වශයෙන් දාන, ශීල, නෙක්ඛම්ම ආදී ධර්මයන්ද වඩමින් බොහෝ සේ සිත වැඩිය යුතුය. එසේ මෙම ගුණ ධර්ම හෙවත් පාරමී පූරණය කරමින් “සම්මා සම්බුද්ධත්වයට” පත්වීමට අප්‍රමාණ කරුණාවක්, අත් නොහරින වීර්යයක්, නිර්භීත බවක් ආදී අපමණ කැපකිරීම් සමුදායක් තිබිය යුතුය.

එවැනි බුදුවරයන් වහන්සේලාගේ ලොව පහළ වීම අති දුර්ලභය. එම බුදුවරයාණන් වහන්සේ නමක් විසින් පමණක් පළමු වරට මෙම “අස්මීමානය” හෙවත් “මම” යැයි කෙනකු සිටිනවා යන අවිද්‍යාව ලෝක සත්වයාට පෙන්වා දෙයි. එම අවිද්‍යාව මූලික කරගනිමින් ඇතිවන තණ්හා, උපාදාන ආදී අනෙකුත් සියළූම දේවල් විවරණය කරදෙන සේක. ආශාව, ලෝභය, තණ්හාව, උපාදානය, ද්වේෂය, අභිද්‍යාව ආදී මේ නොයෙකුත් දේවල් ධර්මයේ කෙලෙස් ලෙසින් හඳුන්වයි. මෙම කෙලෙස් සිතේ ජනනය වීම නිසා සත්වයා නැවත නැවත සසරේ ඉපිද මැරෙමින් නිමා නොවන ගමනක යෙදෙයි. නමුත් මූලය අවිද්‍යාවයි. අවිද්‍යාව නිසා සත්වයා කුසලුත් කරයි. අකුසලුත් කරයි. එම කුසල් අකුසල් වලට පොදුවේ “සංස්කාර” ලෙස හඳුන්වයි. එම සංස්කාර හේතුවෙන් නැවත නැවත සසර පවත්වයි. “පටිච්ච සමුප්පාද ධර්මය” යන දේ ඔබ අසා ඇත. මෙයින් බුදු රජාණන් වහන්සේ විදහා පෙන්වනුයේ මෙසේ සත්වයා දිගින් දිගට පැවතීමේ හේතුවයි. අවිද්‍යාව නිසා කුසල් අකුසල් යන සංඛාර කරයි. ( අවිජ්ජා පච්චයා සංඛාරා ) , එම සංස්කාර නිසා නැවත නැවත සිත් උපදියි ( සංඛාර පච්චයා විඥ්ඥාණං) …. මෙලෙසින් එය විස්තර කරයි. මෙසේ සරලව දැක්වූවද එය ඉතාමත් ගැඹුරු වූ, අති පෘථුල වූ ධර්මයකි. එහි අවබෝධය එක් එක් අයගේ ප්‍රඥාවේ පමණටය.

සසර මෙසේ පවතින්නට හේතුව සොයා දේශනා කළ බුදු පියාණන්, එම සසර නවතාලන ක්‍රමයද සොයාගත් සේක. පටිච්ච සමුප්පාද ධර්මයේ පරිදි මේ හේතුව නිසා මෙම ඵලය ඇතිවේ ලෙසින් විග්‍රහ කරන සේම , එම හේතුව නැති කල්හි මෙම ඵලයද නොමැතිවේ යන අවබෝධයෙන් ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදයද විස්තර කළ සේක.

යමක හට ගැනීම නතර කිරීමට නම් ඒ හටගැනීමට හේතුවූ කාරණය නැති කළ යුතුය. සත්වයාගේ සසර තුළ පැවැත්මට හේතුවූ තෘෂ්ණාව නැමැති හේතුව නැසීමෙන් යළි හට ගැනීමක් ඇති නොවේ. මෙම තෘෂ්ණාව නැසීමට නම් ඒ තෘෂ්ණාව හට ගන්නේ සත්‍ය නොදත් අවිද්‍යාව නිසා හෙයින් එම අවිද්‍යාව ප්‍රහාණය කිරීමම සසරෙහි නැසීමයි.
එම අවිද්‍යාව මුළිනුපුටා දමන විසඳුම උන්වහන්සේ සොයාගෙන ලෝකසත්වයාට දේශනා කළ සේක. එය නම් “චතුරාර්‍ය සත්‍යයි”. චතුර් නම් හතර යන්නයි. “සත්‍ය හතරක්” යනු එහි අදහසයි.

අප මෙලොවට බිහිවුණදා පටන් මේ දක්වා අපට හොද නරක කියා දුන් ගුරුවරු විශාල ප්‍රමාණයක් හිද ඇත. ලෝකය ගැන, විවිධ වූ කරුණු කාරණා පිළිබඳව අපට වඩා පුළුල් දැක්මක් අවබෝධයක් ඇති ඔවුන් විසින් අපට අප නොදත් බොහෝ දේ කියාදෙයි. අපට ඇතැම් දේවල් ඒ කාලයේදී අවබෝධ නොවන මුත් නුවණ මුහුකුරා යත්ම එදා ඔවුන් කියා දුන් දේවල ඇත්ත නැත්ත අපට අවබෝධ වෙයි. බුදුවරයකු යනු මෙලොව සිටින සෑම කෙනකුටම වඩා ඉහළින්ම සිටන ගුරුවරයාය. උන් වහන්සේ ලා විසින් අප වැනි අසරණ සත්වයන් කෙරෙහි කරුණාවෙන් අපට යතාර්ථය කියාදෙයි. බුදුවරු කියාදෙන මූලිකම දේ සසර ගමන නවතාලන දහමයි.

මෙම සසර ගමන හෙවත් යළි යළි ඉපදීම නැවතිය යුත්තේ මන්ද යන්න අප දැන ගතයුතුය. යමකින් සිදුවන්නේ හොද දෙයක්, යහපතක් නම් එය නතර කරලීමට අවශ්‍ය නොවේ. එසේ නතර කිරීමට අවශ්‍ය ඇයි යන කරුණ පළමුවන චතුරාර්‍ය සත්‍ය ධර්මයෙන් විස්තර කරයි.

“දුක්ඛාර්‍ය සත්‍යය” හෙවත් දුක්ඛ සත්‍යයි. එනම් මේ ලෝකයේ යම් සංස්කාරයක පැවතීමක් වේද එය දුකෙහි පැවතීමමයි. මෙහිදි සංස්කාර යනු හේතුවෙන් හටගත් සියල්ල යනුයි. බුදුවරු තරම් දුක ගැන අවබෝධයක් ඇති කෙනකු මේ විශ්වයේ නොමැත. බැලිය යුතු, දැකිය යුතු, ඇසිය යුතු, අවබෝධ කර ගත යුතු යම්තාක් සත්‍යන් වේද , බුදුවරු ඒ සියල්ල එලෙසින්ම දත් සේක. ඇසි පිය ගසන ක්ෂණයකින් කල්ප අනූවක් තරම් ඈත කාලයක් තුළ විශ්වය තුළ ඉපිද ඉපිද මිය ගිය සියළූම සත්වයන් දිවැසින් දැකිය හැකි තරම් වූ ජවන ප්‍රඥාවක් ඇති, දිව්‍ය චක්ඛු, දිව්‍ය ස්‍රෝත ආදී සෘධි බල ඇති බුදුවරයකු විසින් මුළු බුද්ධ ජීවීතයම නිමා වනතෙක් එකම පුද්ගලයකුගේ සසර ගමන පමණක් ආපස්සට බැලූවද , එම බුද්ධ ජීවීතය අවසන් වූවද එම පුද්ගලයාගේ සසර ආපස්සට බලා නිමකළ නොහැකි වේ.

මෙතරම් සර්වඥතා ඥාණයකින් හෙබි බුදුවරු මේ සියල්ල පිරිසිඳ දැක දේශනා කළේ, ” අසුර ගසන ක්ෂ්ණයක කාලයක් තරම්වත් භවයේ රැඳී සිටීම වර්ණනා නොකරන බවයි”. තවද “හිස ගිනි ගත්තද එම ගින්න නොනිවා අවබෝධ නොකළ ධර්මය අවබෝධ කොටගෙන සසරින් නික්මෙන ලෙසයි”. මෙසේ අති දීර්ඝ වූ සසරක මනුෂ්‍ය උපතක් ගැන උන් වහන්සේ දේශනා කළේ, ” කණ කැස්බෑවකු විය සින්දුරින් අහස බලන්නාක් මෙන්” ඉතාමත් දුර්ලභ බවයි. එක් ඇසක් පමණක් පෙනෙන, වසර 100 කට වරක් ජලයෙන් උඩට එසවෙන කැස්බෑවකුට, මහා සාගරයට විසි කරන ලද හීයක සිදුරෙන්, පසළොස්වක දාට පමණක් පායන සඳ දැකිය හැකි සම්භාවිතාවය කොපමණ දැයි ඔබට නුවණින් සිතා බැලිය හැක. ඇත්තටම එය සිදු නොවන අහඹු දෙයක් මෙනි. සත්වයාගේ මහගෙදර සතර අපාය ලෙසින් හඳුන්වන්නේ එහෙයිනි. පසුකරන් ආ අති දීර්ඝ සසර පුරාම අප සිටියේ තිරිසන්, ප්‍රේත, අසුර, නිරය ආදී සතර අපායන්හිමය. ඉතාමත්ම කලාතුරකින් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම උපතකට ගියෝය. සතර අපායන්හි දුක් විඳින සත්වයන්ගේ එම අඳෝනා විලාප බුදු පියාණන්ට ශ්‍රවණය කළ හැක. අපටත් වඩා අප ගැන කරුණාව ඇති බුදු පියාණන් මේ සසර දුක දත යුතු පරිදිම දැක, එක අනුමාත්‍රයක සැපයක් නොදකින හෙයින් , වහා එයින් මිදී යන ලෙස දේශනා කළ සේක. දුක්ඛ සත්‍ය යනුද එක් එක් අයගේ ප්‍රඥාවේ පමණටම අවබෝධ වන බැවින් එය පුළුල් ලෙස දත යුතුය.
මෙය යම් හැඳින්වීමක්ම පමණි.

දෙවන චතුරාර්‍ය සත්‍යයෙන් එම දුක් ඇතිවීමේ හේතුව වූ, තෘෂ්ණාව පිළිබඳව අති පෘථුල ලෙසින් විස්තර කරයි. තෘෂ්ණාව යනු අතු පතර විහිදී ගිය දෙයකි. එක් වචනයකින් මෙලෙස කැටි කොට දක්වන තෘෂ්ණාව, සත්වයාගේ සියොලඟ වෙළා ගත් සර්පයකු මෙනි. තෘෂ්ණාවට දාසයකු වෙමින් සත්වයා කල් ගෙවයි. තෘෂ්ණාව සැපයක් ලෙසින්ද ඇතැම්හු දකියි. අල්ප වූ ආශ්වාදයක් හේතුවෙන් එසේ බොහෝ දෙනා මුලාවී ඇත. තණ්හාව යනු නොසිඳී පවත්නා උල්පතක් මෙනි. නොනවත්වා ගලයි. එක් දෙයකින් තෘප්ත වූ කලි, වෙනත් දෙයක් කෙරෙහි සිත ඇලෙයි. ඇතැම් දේවල් කෙරෙහි සසර පුරාම ඇලී සිටියි. මෙසේ සුළුවෙන් විස්තර කර නොහැකි තෘෂ්ණාව සිඳලූ විට උදාවන නිර්වාණය නැමැති සත්‍යද, ඒ සඳහා අනුගමනය කළයුතු මාර්ගයද , තෙවන හා හතරවන චතුරාර්‍ය සත්‍ය ධර්මයෙන් විස්තර වේ.

සසර ගමන නිමා කළ යුත්තේ ඇයි යන නිවැරදි අවබෝධයත්, එසේ සසරක සත්වයන් නොනැවතී ඉපිද මැරෙමින් යන්නේ ඇයි යන හේතුවත්, එම දුක්ඛිත සසර නවතාලමින් නිවනින් සැනසිය හැකි බවත්, ඒ සඳහා කළ යුතු දෙයත් , මුල , මැද , අග සුපැහැඳිළිව, කුමන කාලයටත් ගැළපෙන , අකාලික ලෙසින්, ඕනෑම කෙනකුට ආරම්භ කළ යුතු මූලීකම තැන පටන් ඉතාමත් නිරවුල්ව උන් වහන්සේ දේශනා කොට සේක.
ලොව දුලභ ලෙසින් පහළ වන සෑම බුදුවරයකුගේම බුද්ධ කෘත්‍යය එය වේ. එලෙසින් දේශනා කොට වඳාරණ ධර්මය අනුව කටයුතු කොට සූවීසි අසංඛ්‍ය ගණන් සත්වයන් එක් බුදුවරයකු විසින් සසරින් එතෙර කරවන බව ධර්මයේ සඳහන් වේ. එය සාමාන්‍ය ව්‍යවහාරයේ බුද්ධාගම ලෙසින් හැඳිවූවද ඇත්තෙන්ම මෙය ලොව පවත්නා සත්‍ය විඳහා දක්වනකි. එයට සම්මුති වශයෙන් දර්ශනයක් ආදී ලෙසින් කුමන ආකාරයකින් හැඳින්වූවද, ඇත්තෙන්ම එය පරම සත්‍යය විවරණය කිරීමකි.

බුද්ධ දේශනාවේ මාර්ග සත්‍ය යනු, නිර්වාණය දක්වා කළ යුතු, වැඩිය යුතු මාර්ගයයි. උදාහරණයක් ලෙසින් දැක්වූවොත් ඔබ පළමු වසරට ඇතුළත් වී අධ්‍යාපනය හඳාරයි. ඔබගේ අභිලාෂය, ගමන්නන්තය විශ්ව විද්‍යාලයට ප්‍රවිශ්ඨ වීම නම්, එක වසර සිට ඒ දක්වා ඔබ ඉගෙන ගනිමින්, කරනා සියළූම වැඩ කටයුතු ඒ කාරණාවේදී, මාර්ගයයි. නිවන නම් වු සත්‍ය ස්ථානයට යෑම සඳහා ඔබ කරන සියළූම දේ මාර්ග සත්‍ය වැඩීමයි. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍ය යනුවෙන් එය හඳුන්වයි. ඔබේ ගමනාන්තය, සියළු කෙලෙසුන්ගේන් මිදුණු උතුම් ආර්‍ය තැනකි. එහෙයින් එය “ආර්‍ය සත්‍යයි”.

මුළු බුද්ධ දේශනාවේ සියළූම ඉගැන්වීම් වල ඉලක්කය සිතයි. මන්දයත් මේ සසර පැවතීමට හේතුවන සියළුම කෙලෙස් ජනතිවන තැන සිතයි. සදාකාලිකවම දුකෙන් නිදහස් වීමට නම් සිතෙන් නිදහස් විය යුතුය. යම් යම් සැපතවල්, ප්‍රීතියවල් ලබා ගත හැකි ආකාර උගන්වන ක්‍රම ලොව බොහෝ ඇත. ආගම් , දර්ශන ලෙසින් ඒවා හඳුන්වයි. නමුත් මේ දර්ශනයන් තුළින් ලබා දෙන සහනය, සුවය, දුකෙන් නිදහස් වීම තාවකාලිකය. යම්කිසි කාලයකට සිදු කරන යටපත් කිරීමක්ය. පාලනය කිරීමක්ය. සදාකාලික වශයෙන්ම දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් කියා දෙන එකම ධර්මය දේශනා කරන්නේ බුදුවරයකු පමණි. අන් සියළු ශාස්තෘවරයන් විසින් එදා සිට අද දක්වා යම්කිසි දහමක් විස්තර කරයිද, ඒවා සියල්ල තාවකාලික සැනසුම් පමණි.

කල්ප ගණන් පුරා රාගයට, ද්වේශයට, මෝහයට යටවෙමින් ඒවා පසුපසම දිවූ සිත, රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තොර කිරීම ලොව ඇති අසීරුතම කාර්‍යයි. සිත දමනය කිරීම යනු පියවරෙන් පියවර කළ යුතුය. එය නොහික්මුණු කුළු හරකෙකු වැනිය. අයාලේ යයි. විනාශයට ඇඳ දමයි. එක් වරම කුළු හරකා හීලෑ කිරීමට නොහැකිය. අදියරෙන් අදියර එය කළ යුතුය.

සසර පුරා මේ දීර්ඝ ගමන තුළ ඔබටත් මටත් හමුවී ඇති බුදුවරු ගණනද අසීමිතය. අප විසින් සෘධි බලයන් වඩවාගෙන අහසින් ගොස් ඇති වාර ගණන අසීමිතය. මෙත් සිත් වඩා, ධ්‍යාන උපදවා, දිව්‍ය සම්පත් විඳි වාර ගණන අසීමිතය. බොහෝ වූ පින්කම් කොට සක්විති රජ පදවි ලැබූ වාර ගණන අපමණය. කඩි රැළක් පෙන්වා, බුදු හිමියන් ආනන්ද තෙරුන්ට පැවසූයේ, ” ආනන්ද මේ කුහුඹුවන් අතරින්, සක්විති රජ නොවූ එකදූ කුහුඹුවෙක්වත් නොදකිමි ” ලෙසිනි. එසේ නම් ඔබත් මමත් බොහෝ උස් පහත් ස්ථාන වල හිඳි වාර ගණන ගණනකින් සීමා කොට දැක්වීමට අප නොදනිමු. එසේ හෙයින් අප නිවන් මාර්ගය ආරම්භ කරන්නට ඇත්තේ මේ ජීවීතයේදීම පමණක් නොවේ. අනන්ත වාරයක් ගුණ දහම් පුරමින්, බණ භාවනා කරමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඇත. නමුත් සෝවාන් මාර්ග සිතවත් උපදවා ගන්නට නොහැකිව යළි සතර අපායන්හි , දිව්‍ය, මනුස්ස ලෝකයන්හි ගත කරන්නට ඇත. “නියත ගති පරායනය” ලෙසින් බුදුවරයකු දක්වන්නේ අවම වශයෙන් සෝවාන් මාර්ග සිතවත් උපදවා ගත් කෙනකුය. නියත වශයෙන්ම ඔවුන් සතර අපායෙන් මිදුණාහුය. උපත් 7 ක් ඇතුළත් සසර නිම කරයි. එසේ නොවූ කිසිවකුත්, කොතෙක් පින්කම් කලද, කොතෙක් බණ භාවනා කළද සතර අපායෙන්, සසර දුකින් මිදී නැත.

එහෙයින් අප එක් එක්කෙනාගේ ඒ ජීවීතය තුළ ධර්ම මාර්ගයේ ගමන එකිනෙකාගෙන් වෙනස් වේ. විවිධ වූ ක්ලේෂයන්ගෙන් යුත් සත්ව ප්‍රජාව, බුදුවරයකුට එක් ක්ෂණයකදී වර්ග කොට බෙදා දක්වා බැලිය හැක. සෑම දෙනාටම අනුගමනය කළ හැකි මූලීකම තැන සිට උන් වහන්සේ මාර්ගය පෙන්වූයේය.
අප මාර්ගය අනුගමනය කරගෙන යත්ම අප සසරෙහි වඩා ඇති ධර්මයන් අප කෙරෙන් මතුව එයි. කෙනෙක්ට අවුරුදු පහකින් වැඩෙන සමාධිය ඇතැමෙක්ට සති දෙකකින් උදා කර ගත හැකි වනු ඇත. කෙනෙක්ට මේ සසර පිළිබඳ ඇතිවන බය, විරාගය තවත් කෙනෙක්ට ඇතිවීමට තවත් කාලයක් ගත වෙනු ඇත. එක බණ පදයක් අහද්දී මාර්ගඵල ලැබූ උතුමන් බොහෝ මේ ශාසනයේ හිඳ ඇත. නමුත් සෑම දෙනාටම එසේ නොහැක. වඩන ලද මහත් පාරමී බලයෙන් එසේ වෙයි.

මේවා ඉතාමත් සරල කරුණුය. එකම කරුණ විවිධ අය අවබෝධ කරගන්නේ එක් එක්කෙනාගේ ප්‍රඥාවෙ පමණටය. එකම පංතියේ ඉගෙනුම ලබන ළමයින් ගත් කළ සැම දෙනාම එකම දක්ෂතාවයකින් යුක්ත නොවේ. පංතියේ පළමුවෙනියා දක්ෂය. අන්තිමයා ඊට වඩා දුර්වල බව අප දනිමු. ධර්මයේදීද මෙලෙසින්මය. අවාසනාව නම් අප විසින් පෙර වඩන ලද ධර්මයන් දැකිය හැකි ඉන්ද්‍රිය පරෝපර්යප්ති ඥාණයෙන් හෙබි බුදු පියාණන් දැන් නොමැත. යම්කිසි හෝ ලෙසකින් අප වඩන ලද පාරමී ශක්තිය බලන්නට හැකි උතුමන් ගණන අල්පය. එසේ අය අපට හමුවීම ඊටත් වඩා අල්පය. එසේ හෙයින් අප කළ යුත්තේ මාර්ගය පිළිවෙළින් වැඩිමය. උදාහරණයක් ලෙස විශ්ව විද්‍යලයට යෑමට නම් ඔබ 1 වසරේ සිට උගත යුතුය. ඔබ 10 වසරෙන් ඇරභීම ඔබව අවුල් කරවයි. ඔබ දක්ෂ නම් ඔබ කඩිනමින් දේවල් ඉගෙන, මාර්ගය පූරණය කරයි. මෙය මෙසේ දැක්වූයේ ඇතැම් අය “භාවනා කරන්නට අවශ්‍ය නොවේ, සෝවාන් වන්නේ මෙසේයි” ආදී ලෙසින් කියනා දේවල් අසන්නට දකින්නට ලැබෙන හෙයිනි. බුදු පියාණන් සෝවාන් වීමට වෙනම මාර්ගයකුත්, එතනින් එහා මාර්ග ඵල සඳහා වෙනම මාර්ගයකුත් දේශනා කළේ නැත. අනෙක් අතට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් යනුද සම්මුතියෙන් යෙදූ නාමයන්ය.. ඔබ ගමේ සිට කොළඹ එද්දී පසුකරගෙන ආ අනෙකුත් නගර වැනිය. ඔබේ ඉලක්කය කොළඹය. එලෙසින්ම ඔබේ ඉලක්කය සසරින් මිදීමය. එයට පිළිපැඳිය යුතු එකම මාර්ගය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි.

“සසර, කුසල්-අකුසල්, නිවන” ආදිය ගැන යම් තරමක හෝ දැක්මක් මුළින් ඇතිවීම හේතුවෙන් අප සම්මා දිට්ඨියට වැටෙයි. කාගෙන් හෝ අසා දැන ගැනීමෙන්, කියවීමෙන් ලබා ගන්න ශෘතමය ඥාණයෙන් අපට මේ දැක්ම ඇතිවේ. මුලින්ම අපට නැවත ඉපදෙනවාද යන අවබෝධයවත් නොතිබෙන්නට පුළුවන. කුසල් අකුසල් යනු මොනවාද ගැන මනා දැක්මක් නොතිබෙන්නට පුළුවන. උදාහරණයක් ලෙස කොතෙක් පින් කළද මරණ මොහොතේ ඇතිවන සිතිවිල්ල මත අනෙක් ජීවීතය තීරණය වන බව ආදී කරුණු අප මුලින් නොදන්නවා විය හැක. අප විසින් “නැවත ඉපදීමක් නැත”, “මදුරුවන් මැරුවට ප්‍රාණගාතය නොවේ” ආදී මිථ්‍යා මතයන් තුළ නිග්මව සිටින්නට ඇත. බොහෝ විට අන්‍ය ආගම් අදහමින් සිටි, බෞද්ධාගමට පසුව පැමිණි අයට මෙය අඳාළ වේ. නමුත් බෞද්ධයන්ටද එසේම වේ. කෙසේ හෝ කළණ මිතුරු මාර්ගයකින් එම මූලික දැක්මට එළබෙන අප, නිවන් දැකිය යුතුය යන සම්මා දැක්මට පිවිසෙයි. මෙය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ පළමුවන අංගයයි. ආරම්භක පළමු මාර්ග අංගය මෙය වුණිද, සම්මා දිට්ඨිය සම්පූර්ණ වන්නේ අර්හත් ඵලයෙනි. එතෙක් සම්මා දිට්ඨිය පරිපූර්ණ නොවේ.

මෙසේ නිවැරදි දැක්මට එන අප තුළ සම්‍යක් සිතිවිලි ඇතිවේ. “සම්මා සංකප්ප” යන දෙවන මාර්ග අංගය එයයි. සම්මා සංකප්ප කියා ගත් කළ එය ඉතාමත් පුළුල් ය. නෙක්ඛම, අව්‍යාපාද, අවිහිංසා ලෙස එය වර්ග කර ඇත. අප සිත් තුළ නිවන අරඹයා පහළවන සියලු යහපත් සිතිවිලි මෙම කොටස් තුනෙන් කැටිකොට දක්වා ඇත. “නෙක්ඛම්ම” සිතිවිලි යනු නිවන ලබා ගැනීමට නම් පුහුණු කළ යුතු අතහැරීම දෙසට සිත යොමු කරවන සිතිවිලිය. සසර දුක් බව, පංචස්කන්ධ ධර්ම, ආයතන, ආදි විවිධ ධර්ම කරුණු අප හරියට අවබෝධ කරගත්තා නම් අප තුළ ඇතිවන්නේ නෛෂ්කර්මයයි. නමුත් ඇතැමුන් තුළ ඒවා ඉගෙනීමෙන් මාන්නය ආදී කෙලෙස් ධම්මද ඇතැම් විට වැඩේ. මෙසේ අත්හැරීම දෙසට යොමුවන මනසිකාර නෙක්ඛම්ම සිතිවිලි වන අතර, ද්වේශයෙන් මිදෙන මෛත්‍රී, කරුණා ආදී සිතිවිලි අව්‍යාපාද සිතිවිලියි. සියළු සත්වයන් සසර තුළ දුකෙහි ගිළී ඇතැයි යන අවබෝධය එත්ම ඔවුන් කෙරෙහි ඇතිවන කරුණා, මෛත්‍රි සිත් මේ ඝනයට අයත්ය. අවිහිංසා සිතිවිලිද, සත්වයන් කෙරෙහි හිංසනයෙන් තොර වීමට එන සිතිවිලියි. මෙය ඉතාමත් ගැඹුරු සම්මා සංකප්ප පිළිබඳ ඉතාමත් කෙටි අර්ථ දැක්වීමක් පමණි.

මෙසේ යහපත් සංකල්පනා, සිතිවිලි වලින් යුත් කෙනා , වචනය, කය ද යහපතෙහි යොදවයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ආදී ලෙසින් ශීලයෙන් පූරණය වෙයි.

නිවන් දැකීමට නම් මේ කයේ සහ සිතේ යථා ස්වරූපය මනා සේ ප්‍රඥාවෙන් දත යුතුය. ඒ සඳහා මනා “සමාධියක්” අවශ්‍ය වේ. සරල උදාහරණයකින් දක්වන්නේ නම්, ඔබ වේගයෙන් ගමන් කරන රථයක සිටියදී පිටත ඇති දෑ හඳුනා ගත නොහැක ඔබට බොහෝ දේ මඟ හැරේ. නමුත් එම රථය නතර කළ පසු ඔබට පැහැඳිළිව දැකිය හැක. තවද කැලඹුණු, මඩ, වර්ණ මිශ්‍රිත ජලයක පතුළේ ඇති දෑ නොපෙනෙන්නේය. එය සමාහිත වූ විට පතුළ පෙනේ. මෙලෙසින්ම නාමරූප (සිත සහ කය) ධර්මයන්ගේ යථා ස්වරූපය( අනිත්‍ය , දුක්ක, අනාත්ම) දකින්නට නම් සමාධිය අවශ්‍යය. ප්‍රඥාව වැඩෙන්නේ සමාධිමත් සිතකය.

සමාධිය වැඩෙන්නට නම් “සතිය” අවශ්‍යය. එනම් යහපත් වූ සිහියකි. කාය, චිත්ත, වේදනා, ධම්ම ආදී ලෙසින් සිහිය පැවැත්විය යුතු ස්ථාන 4 ක් වේ. “සතර සතිපට්ඨානය” යනු එයයි. සොරකමක්, මිනීමැරුමක් කරද්දිත් සිහිය මැනවින් ක්‍රියාත්මක වන නමුත් එය මිච්චා සතියයි. නිවනට අවශ්‍ය සම්මා සතියයි. ඇතිවීම නැතිවීම්, දකින්නට සිත පුහුණු කරන සතියයි. සතියෙන් තොරවූ සිතක් එකම අරමුණක් තුළ එකඟ කිරීම දුෂ්කරය. එය නිතරම විවිධ වූ අරමුණු ඔස්සේ ගලා ගෙන යයි. කාමාදී අරමුණු කෙරෙහි ගලායන සිතිවිලි සතියෙන් මැඩ පවත්වා ගත යුතු බව බුදු රජණන් වහන්සේ දේශනා කළ සේක. මෙලෙසින් සම්මා සතිය,සම්මා සමාධිය වැඩීමට නම් “වීර්යයක්” අවශ්‍යය. රාග, ද්වේෂ, මෝහ පසුපසුම යන සිත එයට ප්‍රතිවිරුද්ධව පුහුණු කිරීමට අවශ්‍ය වීර්යය “සම්මා වායාමයි”. ඉතාමත්ම කෙටියෙන් දැක්වූ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ග අංග මහා සාගරය සේ විස්තර කොට දැක්විය යුතු ඒවාය.

ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අට මෙලෙසින් දැක්වූවද, ඒවායේ එම අනුපිළිවෙළිහි අර්ථයක් ඇති වූවද, අප ප්‍රායෝගිකව මාර්ගය වඩද්දී මේවා එකක් වඩා අනෙකට යනවා ලෙසින් දෙයක් නැත. මාර්ග අංග අටම හෝ කීපයක් එකටම වාගේ ක්‍රියාත්මක වෙයි. උදාහරණයක් ලෙස, ඔබ භාවනාවට ඉඳගද්දී, ඔබට එය කිරීමට ඕනෑ වන්නේ නිවන් දැකීමටය. ඒ සම්මා දිට්ඨිය ඔබට ඇත. ඒ සඳහා ඔබ තුළ ක්‍රියාත්මක වන සිතිවිලි සම්මා සංකප්පයි. ඔබ විසින් කය, වචනය හික්මවමින් , එයටම සිත යොමු කරමින් කරද්දී සම්මා වාචා, සම්මා වායාම, සති, සමාධි ආදී අංගයන් පූරණය වේ.

ඔබ නොකළ යුතු වෙළඳාමෙන් වැළකී, දැහැමින් ධනය උපයන්නේ නම් සම්මා ආජීවය පූරණය කරන්නෙකු වේ. බොරු, කේළාම්, හිස්, පරුෂ වචනයෙන් මිදුණෙකු නම් සම්ම වචාවෙන් යුක්ත වේ. නිවැරදි කාය සමාචාරයෙන් යුතු, එනම් සොරකමෙන්, ප්‍රාණගාතයෙන්, අනිසි කාමයෙන් මිදුණෙකු නම් සම්මා කම්මන්තයෙන් යුතු වූවකි. කුසල් වඩන්නට වෙර දරමින්, අකුසල් වලින් දුරස් වන්නට වීරිය කරයි නම් සම්මා වායාමයෙන් යුතුවේ.
මෙසේ බොහෝ දෙනා එකක් හෝ අවම වශයෙන් පිළිපඳිනු බව අපට අවබෝධ වෙයි.

නමුත් නිවන් දකින්නට වෙහෙසෙන කෙනෙකු විසින්, මේ කයේ සහ සිතේ යථා ස්වරූපය දකින්නට නම්, නිවැරදි, කාය, වචී, සමාචාරයෙන් යුක්තව සති, සමාධි වැඩිය යුතුය. එනම් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටම වැඩීම කළ යුතුවේ. රහත් ඵලයෙන් එය පූරණය වේ.

නිවන් මාර්ගය දුෂ්කරය.
නමුත් සුන්දරය.
එයට කැපවෙන තරමට ප්‍රතිඵල අත්දැකිය හැක.

චන්ද, චිත්ත, වීර්යය , වීමංසා යන සෘධිපාද ධර්මයන්ද, ශ්‍රද්ධා, වීර්යය ,සති, සමාධි , ප්‍රඥා යන ඉන්ද්‍රිය බල ධර්මයන්ද ක්‍රමයෙන් වැඩෙත්ම එය වඩ වඩාත් සුන්දර වේ.
සාංදිට්ඨික වූ ධර්මයේ මිහිරි පලය කල් නොයවා අත්දැකිය හැක.
දුක් දොම්නසින් වෙළී , මැලවී, උකටලීව තිබූ සිත ධර්මාවබෝධයෙන් , කෙලෙස් ප්‍රහීණ වීමෙන් ප්‍රබෝධයට, ප්‍රීතියට පත්වන්නේ හිරු කිරණ වැදී විකසිත වන පියුමක් මෙනි.

ධර්මය නිවැරදිව වඩන කෙනකුගේ සිත තුළ ප්‍රීතිය රජයන්නේ එහෙයිනි. මාන්නය, ද්වේශය, ඊර්ෂ්‍යාව, රාගය, ලෝභය ආදී සියළූම කෙලෙස් දම් තුනිවී , කුරුලු පිහාටුවක්, මල් පෙත්තක් තරම් වූ සැහැල්ලු සිතක් ඇතිවන්නේ ධර්මය නිසාවෙනි.

ලෝකයට ලෝකය පාඩුවේ ගලන්නට ඉඩ දී, නිසංසලව, නො ඇලී, නොගැටී සිටින්නට හැකි සංසුන් මනසක්, සාමාකාමි මනසක්, නිකෙලෙස් හදවතක් ඔබට උරුම කර දෙන්නට මේ ධර්මයට හැක. එය කිසිදු බාහිර වස්තුවකට කළ නොහැක.
ධර්මය රත්නයක් වන්නේ එහෙයිනි.
උපන් සත්වයාට ධර්මය හැර සරණක් නොවන්නේ එනිසාය.

එම ධර්මය නැමැති පාරුවේ නැඟී, නිර්වාණය නැමැති ක්ෂේම භූමිය වෙත පැමිණ, පාරුවෙන් බැස එය පා කර හරින්නට ඔබටත් මටත් මේ ජීවීතයේදීම හැකි වේවා….!!!!

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

~~~ අමා සුව ~~~

One thought on “අස්මිමානය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.