ජීවීතයේ ඔබට සිදුවන සෑම දෙයක්ම, ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කමටහනක් කර ගන්න. හොද දෙයත්, නරක දෙයත්, සුභ දෙයත්, අසුභ දෙයත්, ප්‍රීතිමත් දෙයත්, දුක් සහිත දෙයත් සෑම දෙයක්ම ඔබව යම්කිසි හෝ අවබෝධයක් කරා ගෙන යන, වෙස්වළාගෙන පැමිණෙන ආශිර්වාදයන් සේ දකින්න.
දිව්‍ය තල වල සිටින දෙවිවරුන්ට ඇතැම් විට ධර්මය අවබෝධ කරගැනීමට අපහසු වන්නේ, ඔවුනට දුක්ඛ සත්‍යය වටහාගැනීමට අසීරූ බැවිනි. මන්දයත් ඔවුන් නිරන්තරයෙන් සැපයෙන් යුතුව සිටින හෙයිනි. නමුත් මනු ලොව උපන් සෑම සත්වයකුම කෙතරම් සැප වින්දත් අඩුම වශයෙන් රෝග දුකක්, ව්‍යාධි දුකක් , ප්‍රිය විප්පයෝගයක් නොවිඳපු කෙනකු නොමැත.
පැමිණෙන දුකට ගැටෙමින් සිටින්නේ නම්, ඔබ ධර්මයට පිටුපා යන්නෙකි. බුදු රජාණන් වහන්සේ මේ ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා පැවසූවේ සියලු සත්වයන්ට එය පොදු ධර්මතාවයක් බැවිනි. අෂ්ඨ ලෝක ධර්මය ඉදිරියේ සිත ශක්තිමත්ව තබා ගෙන අවබෝධයෙන්, උපේක්ෂාවෙන් මුහුණ දීමට ධර්ම මාර්ගයේ යන ඔබ පුහුණු විය යුතුය. සෑම සැපක් පසුපසම දුකක් රැඳී ඇතිවා සේම, සෑම දුකක්ම කිසිදාක නිත්‍ය නැත. සෑම දෙයක්ම විපාක දී අවසන් වනු ඇත. දුකද සැපද දෙකටම එය පොදුය.
ධර්ම අවබෝධයට යන මාර්ගය රෝස මල් යහනාවක් නොවේ. කිසිවකු එය ඔබට බන්දේසියක තබා පූජා නොකරනු ඇත. වීර්යය අවශ්‍ය වන්නේ එබැවිනි. අකුසලයක් කිරීමට ඔබට මහත් වීර්‍යයක් අවශ්‍ය නැත. නමුත් කුසලයක් සිදු කිරීමට ඔබට මහත් වූ වීර්යයක් අවශයය. ඇතැම් කුසල කර්මයන් දිවි පුදා, මහත් වූ දුෂ්කරතාවයෙන් කරනා තරමටම එයින් ලැබෙන විපාකයද එලෙසින්ම මහත් වේ..ඔබ කළ යුත්තේ පහසුවෙන්, කළ හැකි කුසල කර්මයන්ම පමණක් නොවේ. දුෂ්කරතාවයන් වලට මුහුණ දීමෙන්, කැපකිරීමෙන්, දුක් ගැහැට විඳිමින් කරගන්නා වූ කුසලයන් මුළු ජීවීත කාලයම මෙනෙහි කරමින් සතුටු විය හැක.
ඔබ නිවන අරමුණු කරමින් කරන බෝධි පූජාවක් වුවද, දානයක් වුවද, රකිනා ශීලයක් වූවද එලෙසින් දුෂකරතා, අභියෝග අභිබවමින් සිදු කිරීම ඔබගේ වීර්යය වඩවාලීමට හේතුවෙයි. නිවන් අවබෝධ කර ගැනීමට නම්, වීර්යයද ඉන්ද්‍රිය බල ධර්මයක් ලෙසින් දියුණු විය යුතුය..
අද කාලයේ නම්, සීලයක් රැකීමට, භාවනාවක් වැඩීමට, පුණ්‍ය කර්මයක් සිදු කිරීමට මහත් වූ වීර්යයක් තිබිය යුතුමය. මන්ද යත් අද සමාජයේ ඒවාට ලැබෙන්නේ අගය කිරීමක් නොව, පහත් කිරීමකි.. අපහසුවෙන් වූවද ධර්ම මාර්ගයේ යන කෙනකු දිහා බලන්නේ අපහාසයෙනි. භාවනා කරන කෙනකු දිහා බලන්නේ අවඥාවටය. ඒවා කෙරෙහි අප මැදහත් විය යුතුය. එක් එක් අය ලෝකය දකින අයුරු විව්ධය.. අපද කල්ප ගණන් අතීත සංසාර වල එලෙස සිල් රකින්නවුන්ට, ධර්ම මාර්ගයේ යන්නවුනට අවඥා සහගතව බලන්නට ඇත.. බාධා කරන්නට ඇත. ඒවායේ විපාකය අපට අද විඳින්නට සිදුවේ. සියල්ල හේතු ඵලයකි..
අප ඒවාට ගැටිය යුතු නැත. අවශ්‍ය වන්නේ වීර්යය හා චිත්ත ධෛර්යය පමණි.
එදා ක්ෂාන්තීවාදී ජාතකයේදි බෝධිසත්වයන්ගේ අතපය, කෑලි කෑලි වලට කපා දමද්දීත් එකදු තරහ සිතක් වත් නොගෙන මෙත් සිතින් වැඩ සිටියේය. බුදු වන ආත්මයේදී දේවදත්තයන් සෑම විටම දුෂ්ඨකම් කරමින් පසුපසින් රැඳී සිටියේය. අවසානයේ ශ්‍රී මහා බෝධි මූලයේදි බුද්ධත්වයට පත්වන අවස්ථාවේ මාර සේනාවම පැමිණ අභියෝග කරමින්, කල හැකි සියළු බාධාවන් සිදු කළද, මහ පොළොව කම්පා කරවන තරම් වූ චතුරංග සමන්නාගත වීර්යයයෙන් උන් වහන්සේ වැඩ සිටි සේක..
ලෝකය කිසිදිනක වෙනස් වූයේ නැත.. බාධා කම්කටොළු වෙනස් වූයේ නැත.. ලෝකයේ පවතින අරමුණක් අරමුණක් පාසා සලිත වන සිත, කිසිදු අරමුණකට නොසැලෙන සේ සකසා ගත හැකි තැනකට අප මේ සිත රැගෙන යා යුතුය..
කිසිඳු බාහිර බලවේගයකට නොසැලෙන , ලෝකයෙන් විමුක්ත වූ සිතක් කරා ඔබ යා යුතුය.
ධර්මයෙන් ඔබට යා හැකි උතුම්ම තැන එයයි.. මෙලොව පවතින පරම සුඛය එයයි. අජරාමර නිවන යනු එයයි.
ඒ සඳහා ඔබ තුළ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව ඉන්ද්‍රිය බල ධර්මයන් ලෙසින් වර්ධනය විය යුතුය.
මේ ලෝකයේ සත්වයන් කාමාශාවන්ට ලොල්වී ඒවා අභිනන්දනය කරමින් සිටින්නේ, මේ ලොව තුළ නිවන් සුවය යන උත්තම සුවයක් පවතින බව නොදත් මෝහය නිසාවෙනි. යම්විටක කෙනකු සෝවාන් ඵලය අත් දකිමින් හෝ නිවන ස්පර්ශ කරයිද, යළි එවැනි ආර්ය පුද්ගලයකු තුළ මේ භවය කෙරෙහි ආශාව අල්ප වී යනු ඇත. එබැවිනි එවැනි කෙනකු භව 7 ක් ඇතුළත සසර නිමාකරවන බව නියත බව බුදු පියාණන් දේශනා කළේ.
මහත් වූ ලෝකෝත්තර සැපයක් බලාපොරොත්තු වන ප්‍රඥාවන්තයා අල්ප වූ කාම සැපයක් අත හරින්නේය.
සියළු බාහිර අභියෝග අභිබවමින් ධර්මයෙන් යා හැකි උත්තම සිථානයට මේ ජීවීතයේදිම යාමට ඔබ සියළු දෙනාට වරම් ලැබේවා.
~~~ අමා සුව ~~~