ලෝකය ගවේෂණය

මේ ලෝකයේ විවිධ ස්ථාන වල සංචාරය කිරීමට කවුරුත් කැමැත්තක් දක්වයි. විවිධ දර්ශන නැරඹීමටද විවිධ ගොඩනැගිලි හෝ නගර නැරඹීමටද නැතහොත් ගස් වැල් පිරි මහ වනාන්තර බැලීමට යෑමට බහුතරයක් මිනිසුන් ප්‍රියතාවයක් දක්වයි. ඒ ඒ ස්ථාන වලට ඇති ආවේණික ඉතිහාසය හෝ තාක්ෂණය හෝ සුන්දරත්වය දැනගැනීම සාමාන්‍ය ජීවිතයේ යෙදීම් වලදී වැදගත් වේ. සාමාන්‍ය මිනිසුන්ට යෑමට නොහැකි අභ්‍යාවකාශය හෝ ගැඹුරු මුහුද තරණය කිරීමට විවිධ ශේෂ්ත්‍ර වල විද්‍යාවේදීහූ උත්සහයක යෙදී සිටී. ඔවුන් නව ග්‍රහ ලෝක හා කිසිවෙකුත් මින් පෙර නොඇසූ විරූ ප්‍රදෙශ සොයා යමින් සිටී. එම දැනුම නවීන විද්‍යාවේ නිපැයුම් සදහාද නැතහොත් වෙනත් දේ සදහාද යොදා ගැනේ.

මෙම සංචාර හෝ පරියේෂණ චාරිකා වල අවසානයක් ඇත්ද? මෙම සොයා ගැනීම් කවදා අවසන් වේද? මෙසේ සංචාරය කරමින් සොයා යන්නේ අප ඇසට, කනට, නාසයට, දිවට හා සමට දැනෙන හා පිනවන බාහිර ලෝකයයි. එහි කෙළවරක් නැත. එසේම නිතරම වෙනස් වෙයි. අද අප සංචාරය කරන ස්ථානය තව මාස කිහිපයකින් හෝ අවුරුදු කිහිපයකින් වෙනස්ම ආකාරයක් ගනු ඇත. එවිට අප කලින් සංචාරය කරපු මොහොතේ තිබූ ස්ථානය යලි එහි දැකිය නොහැක. එම ස්ථානයේ දැන් පවතින අලුත්ම තත්වය බැලීමට අප යළි එහි යා යුතුය.

මෙයට කාලයත් සම්බන්ධ කර සිතුවොත්, මුලින්ම සංචාරය කරන විට පැවති “වර්තමාන මොහොතේ” දුටු ස්ථානය දැන් පවතින්නේ අතීතයේය. මේ දැන් පවතින මොහොතේ අදාල ස්ථානයේ තත්වය නැරඹීමට මේ දැන් පවතින “වර්තමාන මොහොතේ” එම ස්ථානයට යායුතුය. එසේම අනාගතයේ දවසක එම ස්ථානයේ තත්වය දැකීමට අනාගතයේ එලැඹෙන “වර්තමාන මොහොතේ” එම ස්ථානයට යායුතුය. එසේනම්.. මේ සෑම පවතින වර්ථමානයක්ම අතීතට එකතුවෙමින් අප සංචාරය කරන ස්ථානයත් වෙනස් වෙමින් විවිධ විපරිණාම වලට භාජනය වෙමින් අනිත්‍යට යනසැටි දැකිය හැක. මේ සංචාරයන්ට කෙළවරක් නැත. එකම ස්ථානය වුවත් සිතින් උපාදාන කරමින් නිතර නිතර නරඹමින් පරියේෂණයේ යෙදෙමින් සිටිය හැක. මෙම සංචාරය කරන ස්ථාන වෙනුවට අප හමුවීමට යන හෝ ආශ්‍රය කරන පුද්ගලයන් යොදා සිතා බලන්න. මෙහි කෙළවරක් නැති බව ඔබට වැටහෙනු ඇත. නිතර වෙනස්වන ස්ථාන හා සත්වයින් (පුද්ගලයින්) කොතරම් නැරඹුවත්.. නැතහොත් රැකගැනීමට වෙහෙසුනත් ඵලක් නැතිබව තෙරුම් ගත යුතුය. ඒවා ස්භාවයෙන්ම විපරිණාම වෙමින් විනාශය කරා යයි. මෙම වෙනස්වීම කාලය නැමැති මිනුම් දණ්ඩෙන් මනී.

වෙනස්වන පුද්ගලයින් හෝ ස්ථාන වලට ආදරය කරමින් උපාදානය කිරීමෙන් ඵලක් නැත. ඒවා තමන්ගේ කරගත් විට, එම ස්ථාන හෝ පුද්ගලයින් වෙනස්වීම නිසා පශ්චාත්තාපයට පත්වන්නේ තාමාමය. මෙහිදී “තමා” යනුවෙන් හඳුනාගන්නේ කුමක්ද යන්න සොයා බැලීම වටී. අප අපගේ ඇස, කන, නාසය, දිව හා සම තුලින් දැන ගන්නා රූප ලෝකය අරඹයා නාම ලෝකයක් ගොඩනගා ගනී. එනම් මේ මේ රූප සැප ගෙනදේය මේ මේ රූප දුක් හා උපේක්ෂා සිත් ගෙනදේය යනුවෙන් හඳුනාගනී. ඒ සිත් අරමුණු කරමින් තව තව චේතනා මනසිකාර, විතක්ක විචාර ඇතිකර ගනී. මෙහිද කෙළවරක් නැත. එකම සිතුවිලි සංස්කාර අරමුණු කර ගනිමින් තව තව සිතුවිලි ඇතිකර ගත හැක. උදාහරණයකට, අප සැමටම “අම්මා” යනුවෙන් හඳුනාගන්නා රූප සංස්කාරයක් ඇත, ඒ කෙරෙහි හඳුනා ගැනීමක්ද ඇත. ඒ සමඟම අවස්ථානුකූලව ඇතිවන තවත් සිතුවිලි සංස්කාර රැසක් ඇත. “අම්මා” යන හඳුනා ගැනීම අරමුණු කරමින්ම කොතරම් සිතුවිලි ඇතිකර ගත හැකිද? ඒවා අනාගතයටද අතීතයටද වර්තමානයටද.. තව නොයෙක් ආකාරයටද බෙදා වෙන් කල හැක. මේ ගත වෙන මොහොත ගැන සිතන්න. සිතින් යම් සිතුවිල්ලක් ඇතිවෙන සැටි දකින්න. එම සිතුවිල්ල ඇතිකල කිනම් හෝ සත්වයෙක් පුද්ගලයෙක් සිටියේදැයි බලන්න. ඇතිවූ සිතිවිල්ල නැතිවී ගියා හැර “තමා” යනුවෙන් කෙනෙක් නැතිබව වැටහෙනු ඇත. අප කෙනෙක් ගැන මෙත් සිතක් ඇතිකර ගත්තත් ද්වේෂ සිතක් ඇතිකර ගත්තත් ඒ ඇතිකරගන්න සිතිවිලි ඇතිවී නැතිවී යනවා හැර.. සිත් ඇතිකරගන්න “කෙනෙක්” නැතිබව පැහැදිලි වනු ඇත.

රූප ලෝකය සොයායෑමෙන් හෝ උපාදානය කිරීමෙන් ඵලක් නැත. නාම ලෝකයද සොයා යෑමෙන් හෝ උපාදානය කිරීමෙන් ඵලක් නැත. කල යුත්තේ වර්තමාන මොහොතේ සිත පිහිටුවා දකින රූප හෝ ඇතිවන නාම අතහරිමින්, යථා ස්වරූපය දකිමින් සත්වයෙක් පුද්ගලයෙක් නැති සංස්කාර ස්කන්ධයකින් පමණක් හෙබි මේ ගතවෙන මොහොත අවබෝධකර ගැනීමයි.

මෙම ලිපිය යථාභූත ස්වභාවය අවබෝධ කරගැනීමට ඒ තුළින් මතු දවසක නිවන කරා යැමට සැමට පිහිටක්ම වේවා.

තෙරුවන් සරණයි…

~~~ අමා සුව ~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.