මාර්ග ඵල ලාභී කෙනෙකුට ඵල සමවතට සම වැදීමෙන් නිවන් සුව මේ ජීවිතයේදීම අත්දැකිය හැකිය. එහෙත් සමහරුන් කියනා “ඵල සමවත් වලට සම වදින්නට බැහැ. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ” ආදී ප්‍රකාශ අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබේ. එවැනි අය අංගුත්තර දසක නිපාතයේ සමාධි සූත්‍රය සාරිපුත්ත සූත්‍රය, අංගුත්ත 11 වන නිපාතයේ 1-2-3-4 යන සමාධි සූත්‍රවල දක්වා ඇති කරුණු අවබෝධ කර ගැනීම යහපත්ය. අඩු තරමින් රතන සූත්‍රයේ දැක්වෙන “යෙ සුප්පයුත්තා … තෙ පත්තිපත්තා අමතං විගය්හ – ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා” යන ගාථාව වත් තේරුම් ගැනීම සුදුසුය. නොමිලයේ ලද අමා මහ නිවනට බැස ඵල සමවත් සුව විදින සංඝ රත්නය ගැන ඉන් කියැවේ.
ඵල සමවතට සම වැදිය හැක්කේ රැවටී සිටින අයට නොව සත්‍ය වශයෙන්ම මාර්ග-ඵල ලබා ඇති අයට පමණි. ඵල සමවතට සමවැදී වීමට නම් “මෙතෙක් වේලා ඵල සමවත උපදවා ගෙන ඉන්න ලැබේවා” යි අධිෂ්ඨාන කර පංචස්කන්ධයේ අනිත්‍ය අනාත්ම නිරෝධ ස්වභාවය බලමින් සිටිය යුතුය. සමහර කෙනෙකුට ඉතාමත්ම සුළු වේලාවකින් ඵල සමවතට සමවැදී සිටිය හැකි වේ. ඒ ඵල සමවත් සුවයේ මට්ටම රඳා පවතින්නේ මාර්ග ඵල ලබන අවස්ථාවේ පැවති සමාධි මට්ටම මත ය.
බාහිර ශබ්ද වැනි අරමුණු කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකිරීමත්, ඵල සම වතේම සිත පවත්වාගෙන යාමත්, නියමිත කාලයක් අධිෂ්ඨාන කර තිබීමත් යන කරුණු තුන ඵල සමවතේ සිටීමට උපකාරී වන හේතූන් වේ. පුරුදු පුහුණු වීමෙන් අධිෂ්ඨාන කළ මුළු කාලය පුරාම ඵල සමවතේ සිටීමට හැකි වනු ඇත.
ඵල සිතට අරමුණු වන්නේ නිවනය. ඵල සමවතේ සිටියදී වෙනත් අරමුණු කරා සිත නො දුවයි. සිත නිවෙයි. සංසිඳෙයි . ශාන්ත වේ. නිසල වේ. සීතල වේ. පරම නිරාමිස සුවයක් ලැබේ. “නිබ්බානං පරමං සුඛං” ඒ නිවන් සුවය හා සමාන තවත් සුවයක් නොමැත. ශරීරය තිබෙන බව පවා සිතට නොවැටහේ. එහෙත් ශරීරය තුලින් දැනෙන මෘදු ශාන්ත නිවුණු සීතල ස්වභාවය නිසා ඇතිවන සුවය සිතට දැනේ.
අධිෂ්ඨාන කළ කාලය පුරාම තමාගේ කිසිම උත්සාහයක් නොමැතිව ඵල සමවත පවතින අතර එම කාලය නිම වී නැගිටී පසුව වුවද ටික වේලාවක් ගත වන තුරු ශරීරය ඉතා සැහැල්ලු වේ. මෘදු වේ. ශරීරය අතින් අල්ලන විට පවා ඒ මෘදු බව දැනේ. ටික වේලාවක් යන තුරු සිත ද වෙනත් අරමුණු කරා නිරායාසයෙන් නුදුවා නිසල ව සන්සුන් ව ශාන්ත ව පවතී.
“ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං”
සියළුම සංස්කාර සමනය වූ කාම-ඛන්ධ- කිලෙස ආදි උපධීන් අතහැරී ගිය තණ්හාව ක්ෂය වූ ඇලීම ගිලිහී ගිය නාම-රූප සංස්කාර නිරුද්ධ වූ නිවන ශාන්තය. නිවන ප්‍රණීතය.
ඵල සමවතට සම වැදිය නොහැකි කෙනෙකුට ඵල සමවතක් පවතින විට ඇති සිතේ ස්වභාවය පහත දැක්වෙන කොටසින් තේරුම් ගත හැකිය.
අංගුත්තර 11 නිපාතයේ පළමු සමාධි සූත්‍රයේ දැක්වෙන කොටසක ඉතා සරල සිංහල අදහසයි මේ.
“ස්වාමීන් වහන්ස පඨවි ආපෝ තේජෝ වායෝ ආදි රූප සංඥා හෝ රූපාවචර ධ්‍යාන සංඥාවන් හෝ නොමැති අරූපාවචර ධ්‍යාන සංඥාවන් ද නැති මේ ලෝකය පිළිබඳ සංඥා ද නොමැති පරලොව පිළිබඳ සංඥාවන් ද නැති සිතින් පරීක්ෂා කරන ලද විමසන ලද පැමිණෙන ලද දේවල් පිළිබඳව හෝ ඇසීම බැලීම ආදී ඉන්ද්‍රිය පටිබද්ධ දේවල් පිළිබඳව වූ කිසිදු සංඥාවක් ද නොමැති එහෙත් සංඥාවක් පවත්නා සමාධි ප්‍රතිලාභයක් තිබේද?”
“තිබෙනවා මහණෙනි, සියලු සංස්කාර සමනය වූ සියලු උපධීන් අත හැරී ගිය තණ්හාව ක්ෂය වූ, ඇලීම ගිලිහී ගිය, නාම-රූප සංස්කාර නිරුද්ධ වූ නිවන ශාන්තය. නිවන ප්‍රණීත යැයි අත්දකින විට (ඵල සමවතේ සමවැදී සිටින විට ) රූප සංඥා හෝ රූපාවචර ධ්‍යාන සංඥාවන් ද නැත. අරූපාවචර ධ්‍යාන සංඥාවන් ද නොමැත. මේ ලෝකය පිළිබඳ සංඥාවන් ද නැත. පරලොව පිළිබඳ සංඥාවන් ද නැත. සිතින් පරික්ෂා කරන ලද විමසන ලද පැමිණෙන ලද දේවල් පිළිබඳව හෝ ඇසීම බැලීම ආදී ඉන්ද්‍රිය පටිබද්ධ දේවල් පිළිබඳව වූ කිසිදු සංඥාවක් ද නොමැත. එහෙත් නිවන අරමුණු වෙමින් පවත්නා වූ සංඥාව පමණක් පවතී.”
නිවන කියන්නෙ සිහි නැති වුනා සේ තද නින්දකට ගියා වැනි තත්ත්වයක් නොවන බව මෙයින් ඔබට අවබෝධ වී යනවා නොඅනුමානය.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ " නිවන් සුව මේ ජීවීතයේදීම " ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.
~~~ අමා සුව ~~~