ශුන්‍යතාවය ඉක්මවා නිවන අවබෝධ කර ගන්නේ කෙසේද ?

අප ඇසුරු කරන පුද්ගලයන්, පරිහරණය කරන වස්තූන් කෙරෙහි අප සිත් තුළ ඇති වන හැඟීම් විවිධාකාර වේ. ඇතැම් දේවල් වලට අප ආශා කරන අතර ඇතැම් දේවල් කෙරෙහි එතරම් ආශාවක් නැත. පුද්ගලයාගෙන් පුද්ගලායටද එය විවිධ වේ. ඇතැම් කෙනකුට ඉඩ කඩම්, යාන වාහන ආදිය මහත් වටිනාකමකින් යුතු දේවල් සේ හැඟෙයි. තවත් කෙනෙකුට දරුවන් මහත් වටිනා දෙයකි. තවත් කෙනකුට රැකියාවන් ආදිය වටිනා දෙයකි. ලෝකෝත්තර සුවය අගය කරන කෙනකුට මේ එකක්වත් වටිනා කමකින් යුතු දේවල් ලෙස නොගන්නා අතර, එවැනි කෙනකුට වටිනා දේ ලෙස හැඟෙන්නේ, සමාධිය, ශීලය, ප්‍රඥාව වැනි දේවල්ය.

යම්දෙයක් කෙරෙහි අප සිත තුළ ඇති වටිනාකම් තීරණය වන්නේ අප එය හඳුනාගන්නා ආකාරය මතය. එසේ ඇතිවන වටිනාකම් වලට අනුව අප ඒ කෙරෙහි ඇතිවන ආශාව, තණ්හාව විවිධ වේ. නැවත නැවත ඒවා ලබාගැනීමට ආශා කරමින්, නොයෙකුත් සංස්කාර සිත තුළ ඇති කරමින් ඒවා තමාට උවමනා ලෙස පවත්වා ගැනීමට ජීවීත කාලය පුරාම වෙහෙසෙයි. මෙසේ ඇතිවන ආශාව තණ්හාව නිසාම ඒවා සිතින් අල්ලා ගනියි. එය උපාදානයයි. මේ උපාදානය නිසා විවිධ වූ කෙලෙස් ධර්මයන් ඇතිවෙයි. කුසල්, අකුසල් දෙකම සිදුවන්නේ මෙසේ සිතෙහි පවතින උපාදානය හේතුවෙනි. එසේ රැස් වන කුසල් අකුසල් හේතුවෙන් සංසාර ගමන දිගින් දිගට පැවතෙයි. සුගති, දුගති අතර දෝලනය වෙමින්, නිමක් නොමැති සසර ගමනක අප පැමිණෙන්නේ මෙලෙසින් සිතින් ඇති කරගන්නා උපාදාන හේතුවෙනි.

මේ සංසාර චක්‍රයෙන් මිදීමට කිසිඳු සත්වයකුට නොහැකි වන්නේ, සිත තුළ පවතින අවිද්‍යාව හේතුවෙනි. අවිද්‍යාව මුළිනුපුටා දැමූ පසු මේ සසර ගමන නිමා කළ හැකිය. එසේ අවිද්‍යාව නිරුද්ධ කරන මාර්ගය කුමක්දැයි පසක් කොට ගත හැකිවන්නේ බුදුවරයකුට පමණි. බුදුවරයකු සතු සර්වඥතා ඥාණයෙන් ලොව දත යුතු සියල්ල දැන ගෙන මේ සංස්කාරයන්හි යථා ස්වරූපය පිරිසිඳ දැන, අවිද්‍යාව සහමුළුමනින්ම දුරු කොට සංසාර ගමන නිමා කරලීමේ හැකියාව සියළු සත්වයන්ට උදා කර දේ.

තථාගතයාණන් වහන්සේලා විසින් මේ සංස්කාර ලෝකයේ යථා ස්වභාවය ලෝක සත්වයාට පෙන්වා දේ. ලොව පවතින සංස්කාර අනිත්‍ය වේ, දුක් වේ, අනාත්ම වේ. තවද මේ සංස්කාර ශුන්‍ය වශයෙන්ද, හේතු ඵල වශයෙන්ද, ආදී විවිධ ලෙසින් අවබෝධ කරගත හැක.එසේ අවබෝධ කරගන්නා විට සිත තුළ මේ සංස්කාර කෙරෙහි මහත් නිබ්බිදාවක් ඇතිවේ. සංස්කාර කෙරෙහි පවතින ආශාව ක්‍රමයෙන් දුරුවෙමින්, ඒවා සිතින් අත හැරීමට හැකියාව ලැබේ. කෙනකුට නිර්වාණය අවබෝධ වන්නේ එලෙසිනි.

මේ අතරින් ශුන්‍ය ලෙස බලන අයුරු සහ එය නිවනට යොමු වන්නේ කෙසේද යන කරුණ අප මේ ලිපිය තුලින් මතු කිරීමට උත්සාහ කරමු.

ශුන්‍ය යන්න සරල ලෙස විග්‍රහ කරතොත් එහි අදහස හිස් යන්නය. යම් දෙයක ඇති නියම ස්වභාවය විමසා බැලීමේදී එහි ඇත්ත ස්වභාවය ඇති සැටියෙන් පෙනී ගොස් කිසිවක් ගැනීමට නැති බව පෙනී යාම ශුන්‍යතාවය ලෙස ගත හැක.

උදාහරණයක් ලෙස, වැලි ගොඩක් ගනිමු. කෙනකුට එය වැලි ගොඩක් සේ දිස් වුනද ළඟට ගොස් බැලූ විට ඇත්තෙන්ම එහි වැලි ගොඩක් නොව, සියුම් වැලි කැට පමණක් ඇති බව වැටහී යනු ඇත. තවත් ළංවී බැලූ අයෙකුට , එම වැලි කැටද කුඩු කළ පසු එහි දූවිලි අංශු පමණකි ඇති බවද, ඒවාද විසිරුවා හැර පසු එතන කිසිවක්ම නැති බව වැටහී යනු ඇත.. සරලවම දක්වනවානම් ශුන්‍යතාවය යනු මෙයයි. බැලූ බැල්මට යමක් තිබෙනවා යැයි පෙනෙන නමුදු, ළං වී , විමස විමසා බැලූ විට එහි කිසිවක්ම නොමැති බව ප්‍රත්‍යක්ෂ වී යයි.

අපගේ ඇස ගත් කල එය සෑදී ඇති කොටස් බැලු කල එහි ඇත්තේ තෙත ගතියක්, ඝන ද්‍රව්‍යමය ගතියක්,වායු කොටසක් සහ රස්නයක්, සීතලක් වැනි ස්වභාවයකි.ඇසක් ගත් කල එහි ඇති වායුව ඉවත් කර , තෙත ගතිය ඉවත් කළහොත් එහි ඉතිරි වන්නේ පිටි ගතියක් වැනි වියලි ස්වභාවයකි. එයද ඉතාම කුඩා කොටස් වලට කුඩු කර විසිරුවේ නම් අවසානයේ ඇස කියා ගැනීමට කිසිවක් ඉතිරි වන්නේ නැත. ඉතිරි වන්නේ හිස් ස්වභාවයක් පමණි. මේ අයුරින්ම ශරීරයේ අනික් කොටස් ගත කල ඒවාද පෙර ලෙසම විසුරුවා හැරූ විට එහි කිසිවක් ඉතිරි වන්නේ නැත. මුළු ශරීරයම මෙසේ පඨවි ,ආපෝ, තේජෝ, වායෝ ලෙස බෙදා වෙන් කල කල අවසානයේ ඉතිරි වන කිසිවක් නොමැත. ශරීරයක්, මිනිසෙක්, ලෙස ගැනීමට කිසිවක් ඉතිරි වන්නේ නැත.

අප අවට ඇති ගස් කොලන්, අනික් සත්වයින්, ගෙවල් දොරවල් ආදිය ගත් කල මේවාටද මේ කරුණ පොදුය. ගෙයක් ගත් කල එය සාදා ඇත්තේ ගඩොල්, සිමෙන්ති, වැලි, ලී උළු ආදී ද්‍රව්‍ය වලිනි. එම එක එක කොටසක් වෙන වෙනම ගලවා ගත් කල ගෙයක් කියා ගැනීමට කිසිවක් ඉතිරි වන්නේ නැත. එලෙසින්ම එම ගඩොල්, වැලි ආදී ද්‍රව්‍යද කුඩු කර විසුරුවා හැරියහොත් ගඩොල් වැලි ලෙස ගැනීමට කිසිවක් නොමැත. මහා විශාල සාගරය පවා අපෝ ධාතු (ද්‍රවමය ස්වභාවය) ලෙස ගෙන එම කුඩා ජල කොටස් සියල්ල වාෂ්ප වී යනවා සිතු කල එහි සාගරයක් කියා ගැනීමට කිසිවක් නොමැත. මේ සෑම කරුණකදීම අවසානයේ ඉතිරි වන්නේ හිස් ස්වභාවයක් පමණි. කිසිවක් නැති ස්වභාවයකි. මුළු විශ්වයේම සිටින සියලු ජීවී අජීවී රූප සියල්ලටම මෙම කරුණ ආදේශ කර බැලූ විට ඒ කිසිම දෙයක අවසානයේ ගැනීමට කිසිවක් ඉතිරි වන්නේ නැත. මුළු රූප ලෝකයම මෙසේ ධාතු වලට වෙන් කර බැලූ විට අවසානයේ ඇත්තටම ගැනීමට කිසිවක් ඉතිරි නොවී ඉතිරි වන්නේ හිස් ස්වභාවයක් පමණි. මෙය ශුන්‍යතාවයකි.

මේ රූප වලට අප විවිධ නම් භාවිතා කරමු. අම්මා, තාත්තා, ගෙදර, කාරය ආදී ලෙස අනාදිමත් කාලයක සිට විවිධ නම් භාවිතා කරමු. මේ සියල්ල සිතේ ඇති හැගීම් පමණි. ඇති වී නැති වී යන සිතිවිලි මාත්‍රයක් පමණි. අප ඇසින් රුපයක් දුටු විට සිත තුල දැනීම් මාත්‍රයක් ඇති වේ.එය ඇතිවී නැතිවී යයි. එසේ ඇතිවන දැනීම ඉන්පසු අපි විවිධ අයුරින් හඳුනා ගමු. ඉන්පසු ඒ පිලිබඳ විවිධ සිතිවිලි සිත තුලින් ගලන්නට ගනී. ප්‍රිය අරමුණක් ලෙස හඳුනා ගත්තේ නම් සුඛ වේදනාවක්, අප්‍රිය ලෙස ගත් කල දුක් වේදනාවක් මෙන්ම ආදරය, රාගය, මෛත්‍රිය , කරුණාව ආදී විවිධ සිතිවිලි සිත තුලින් ගලන්නට ගනී. මේ සියලු සිතිවිලි ඒ මොහොතේම ඇතිවී නැතිවී යයි. එසේ එම සිතිවිලි නැතිව ගිය විට ගැනීමට කිසිවක් ඉතිරි වන්නේ නැත. එම සිතිවිලි නිරුද්ධ වී ගිය විට ගැනීමට කිසිවක් ඉතිරි වන්නේ නැත. හිස් බවක් නැතහොත් ශුන්‍ය බවකට සිත පත්වේ.

අප විසින්, මම මගේ යැයි කියා අල්ලා ගත් ලෝකය, යනු සැබවින්ම ධාතු ස්වභාවයක් සහ ඇති වී නැති වී යන සිතිවිලි මාත්‍රයක් පමණකි. මෙතෙක් කල් මම මගේ කියා සිතින් අල්ලා ගත්තේ මෙම ධාතු කොටස් සහ සිතිවිලි මාත්‍ර පමණි. රාගයෙන් බැඳුනේ, ද්වේශයෙන් දැවුනේ, මෝහයෙන් යටවුයේ මෙවැනි කිසි වටිනාකමක් නොමැති ධාතු කොටසකටය. මේ කරුණ නොදත් කම නිසා අනේක කාලයක් පුරා සසර දුක් විඳිමින් අපා ගත වෙමින් අප පැමිණියෙමු. එක් රාග සිතක් නිසා කල්ප ගණන් සමහර විට අපා ගත වී දුක් විඳින්නට ඇත.

මෙලෙසින් මේවා හදවතට වැටහී යන අයකුට සියළු සංස්කාරයන් කෙරෙහි නිබ්බිදාව හදවත තුළින් ජනිත වේ. ඒවා කෙරෙහි පවත්නා නන්දිය, රාගය ක්‍රමයෙන් සිතින් ගිලිහී යයි.

ලෝකයක් යනු පංචස්කන්ධ ධර්මයන්ගේම පැවැත්ම හැර අන් දෙයක් නොමැති බව භාවනාවක නිරත වන යෝගාවචරයකුට සමාධිමත් සිතකින් දැකිය හැක.
මෙලෙසින් සංස්කාරයන්ගේ යථා ස්වරූපය අවබෝධ කරගත් කෙනකු විසින් සමාධිමත් සිතකින් භාවනාවක නිරත වීමේදී, ඔහුගේ සිතින් සියළු රූපි සංඥා ගිලිහී ගොස් සිත හිස් අවකාශයක රැඳෙන්නා බඳු වූ ශුන්‍යබාවයකට පත්වේ. මෙසේ වන්නේ සිත තුළින් රූපයන්ගේ යථා ස්වරූපය මැනවින් අවබෝධ කරගෙන, සමාධියද අවශ්‍ය පමණට වඩවාගෙන සිටින කෙනකුට පමණි. නිවන් දැකීමට තරම් පාරමී ශක්තිය වැඩී ඇති යෝගාවචරයකුට, එවිට ඉතිරි වී පවතින නාම ධර්මයන්ගේද නිරෝධය අත්දැකිය හැකි නම්, සියළු නාම රූප ධර්මයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකිමින් සිත නිවනට පත්විය හැක.ශුන්‍යතාවය ඉක්මවා යමින් මෙලෙසින් සිත නිවනට පත්කර ගැනීමට නම් ඔහුගෙ හදවත තුළ ශ්‍රද්ධා, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව වැනි ඉන්ද්‍රිය බල ධර්මයන් අවශ්‍ය පමණට වැඩී තිබීම අත්‍යවශ්‍ය වේ.

ඔබ සැමටද කෙදිනක් හෝ මෙම කරුණු මැනවින් අවබෝධ කර සිත නිවනට පත් කර ගැනීමට හැකියාව උදා වේවා!

තෙරුවන් සරණයි!
~~~ අමා සුව ~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.