මේ ලෝකය පිළිබඳ අප දත යුතු කරුණු තුනකි. එනම් ලොව පවතින සියළු ජීවී, අජීවී දෑ අනිත්‍ය බව, දුක් බව හා අනාත්ම බවයි. ත්‍රිලක්ෂණය ලෙස ඒව හඳුන්වන්නේ එබැවිනි. සියළු දෑ කෙරෙහි පවතින සත්‍ය වූත්, පොදු වූත් ලක්ෂණ තුන එය වේ. යමෙක් මේ ලක්ෂණ තුන පසක් කොට, ප්‍රත්‍යක්ෂ ලෙස නුවණින් අත්දකින්නේද, එතෙකින් ඔහු මේ සංසාරය තුළ ගමන නිමා කරන්නේය.
මේ ලක්ෂණ තුන පිරිසිඳ දැකිය නොහැකි නිසා අසංඛ්‍ය ගණන් අපිරිමිත වූ සත්වයන් අති දීර්ඝ නිමා නොවන සසර ගමනක නිමග්නව සිටී. සසර යනු නිමා නොවන ගමනකි. එය නිමවන්නේ නිර්වාණය අවබෝධ කර, පිරිණිවීමෙන්ම පමණකි. නිර්වාණය අවබෝධ කිරීමට නම් ලොව පවතින සියළු දෙයට පොදුවූ මෙම ලක්ෂණ තුන පිරිසිද දැකිය යුතුය.
ලොව කලින් කලට පහළ වන මනස දියුණු කළ අය මේ සසරින් එතෙරට යන මාර්ගය ගවේෂණය කළහ. තම මනස දියුණු කිරීමෙන් මේ සංසාර ගමන නිමා කළ හැක යන දේ ඔවුන් දැන සිටියහ. හුදෙකලා වෙමින්, නොයෙක් සමථ භාවනාවන්හි නිරත වෙමින් ඔවුහු මේ සත්‍ය ගවේෂණය කිරීමට වෙහෙසුණහ. අනිත්‍යය, දුක යන කරුණු ඔවුන් දැන ගෙන සිටියද, අනාත්මය යන්න පිළිබඳව ඔවුන් තුළ හැඟීමක් නොවීය.
අති දීර්ඝ වූ කාලයක් පුරාවට, ප්‍රඥාව වඩවමින්, පාරමී ධර්මයන් පූරණය කරමින්, ලොව පහළ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනකු පමණක් මෙම අනාත්මය පිරිසිඳ දැක ලොවට ප්‍රකාශ කරන සේක. එලෙසින් නිවන් මාර්ගය ලෝක සත්වයාට හෙළි පෙහෙළි වන්නේය. සත්වයාගේ සංසාර ගමන නිමා කරලීමට අවශ්‍ය මාර්ගය ලොවට හෙළි කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනකු පමණි. සෙසු ආධ්‍යාත්මික ශාස්තෘවරයන් විසින් සිත දියුණු කරන ක්‍රමයන් ලෝකයට හෙළි කළද , මෙම ත්‍රිලක්ෂණය මනා කොට දේශනා කරමින්, නිර්වාණ ගාමිණී පටිපදාව විවර කරවන්නේ තථාගතයාණන් වහන්සේ කෙනකු පමණි. එසේ මාර්ගය හෙළි වූ තැන් පටන්, එම සම්බුද්ධ ශාසනය නොනැසී පවතින තාක් කල්, අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් සත්වයන් එම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කොට සසර ගමන සදාකාලිකවම නිම කරති.
මෙසේ දිගින් දිගට, නිමාවක් නොමැති සසරක සත්වයන් ගමන් කරන්නේ ඇයි?
කුමක්ද මෙසේ නොනැවතී පැවැත්මට හේතු වන්නා වූ කරුණ?
කෙනකුගේ සිත තුළ තෘෂ්ණාව පවතින තාක්, ඔහු සසර ගමනක නියැළෙයි. තණ්හාව කොටස් තුනකින් ක්‍රියාත්මක වෙයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙනි.
කාම තණ්හා යනු කාම වස්තූන් කෙරෙහි සිත තුළ පහළ වන තෘෂ්ණාවයි. ජීවී හෝ අජිවී හෝ වේවා තම සිත තුළ ආශාව, ලෝභය, කැමැත්ත ඇතිවන සියළු දෑ කාම වස්තූන් වේ. යාන වාහන, ඉඩ කඩම්, රැකියා, දූ දරුවන්, මිතුරන්, ආදී ලෙසින් කාම වස්තූන් නිමක් නොවේ. ආශාවෙන්, රාගයෙන්, මේවා කෙරෙහි ලෝක සත්වයා බැඳී සිටියි. මෙය සිත තුළ ක්‍රියාත්මක වන කාම තණ්හාවයි.
භව තණ්හාව යනු, මේ භවය තුළ රැඳී සිටීමට ඇති ආශාවයි, කැමැත්තයි. නිවන් අවබෝධ කරගෙන සසරින් එතෙර වීමට බහුතරයක් දෙනා කැමති නැත. ඔවුන් තමන් කැමති දේ සදාකාලිකවම අත හැර, නිවන් දැක සසරින් එතෙර වීමට කැමති නැත. එය සිත තුළ පවතින භව තණ්හාවයි.
විභව තණ්හාව යනු, දිගින් දිගට පවත්නා සසරක් නැත යන අදහසින්, මේ ජීවීතය තුළ සියළු සැප සම්පත් විඳ සතුටින් ජීවත් විය යුතුයි යන අදහසින් භවයට පවත්නා ආශාවයි. මරණින් මතු ජීවීතයක් නැත, මේ ජීවිතයේ කා බී සතුටින් ඉමු , පව් පින් නැත යන අදහසින් ජීවත් වන සමහරුන් අප අනන්තවත් දැක ඇත. මොවුන්ගේ සිත් තුළ පවතින්නේ බොහෝ විට විභව තණ්හාවයි.
මෙසෙ තණ්හාව ක්‍රියාත්මක වෙයි. එම නිසා සත්වයා සසර තුල නොනවත්වා ගමන් කරයි. මේ තණ්හාව සිතේ ඇතිවන්නේ අවිද්‍යාව හෙවත් මෝඩකම හේතුවෙනි. සත්‍ය නොදන්නා අවිද්‍යාව සිත තුළ පවතින තාක් තෘෂ්ණාව ක්‍රියාත්මක වෙයි. කුමක් නොදැනීමද? චතුරාර්‍ය සත්‍ය පිළිබඳ නොදන්නා කමයි.
එනම් සියල්ල දුක් සහගත බව,එම දුකට හේතුවක් ඇති බව, එම දුක නැති කිරීමක් සහ, නැති කරන මාර්ගයක් ඇති බව යන කරුණු සතර නොදැනීමයි.
කොතෙකින් නම් ලෞකික ප්‍රඥාවෙන් උසස් වූවද මෙම චතුරාර්‍ය සත්‍ය නොදක්නා තෙක් ඔහු ඉන්නේ මෝහ අන්ධකාරය තුළය.
යමක් සුඛයි, සුඛයි කියා, ආශ්වාදය විඳින තාක් කල් අප එයට තණ්හාවෙන් බැඳී සිටිමු. නමුත් යම් දිනක එයින් අපට දුකක්, පීඩාවක් උදාවන්නට පටන් ගත් කල්හි අර ආශ්වාදය ක්‍රමයෙන් සිතෙන් ගිලිහී, එය කෙරෙහි පවතින තණ්හාව ටිකෙන් ටික අඩු වී යයි. කුඩා ළමයෙක් ගින්දර අල්ලන්නට ආශා කරයි. කොතෙක් එපා කීවද ඔහු එයට ආශා කරන්නේ එය ඇල්ලීමෙන් වන භයානක ප්‍රථිඵලය නොදන්නා නිසාය. එය ඔහු සිත තුළ පවතින නොදන්නාකමය. යම්විටක ඔහු ගින්දර අල්ලා අත පුළුස්සා ගත් පසු, නැවත ගින්දර ඇල්ලීමට ඔහුට ආශාවක් එන්නේ නැත.ඒ වෙනුවට ඔහු සිත තුළ ඇතිවන්නේ භියකි. එයින් ඈත්වී සිටීමට උත්සාහ කරයි. එනම් ඒ පිළිබඳ තිබූ නොදන්නා බව වෙනුවට, එහි යථා ස්වරූපය අවබෝධ වීමකි.
මේ සසරද එලෙසමය. බුදුවරු ලොව පහළ වී මේ සංසාරයේ ඇති භයානක බව, දුක් සහගත බව පිලිබඳ අපට දේශනා කරති. මේ සසර තුළ අසුර ගසන ක්ෂණයක් රැඳී සිටීම අගය නොකරති. ඒ අවබෝධය අපට ලබා දෙන්නෙ බුදුරජාණන් වහන්සේලාය. අපට ඒ පිළිබඳ ඇත්තේ නොදැනීමකි. ඒ අනවබෝධය දුරු කර, තෘෂ්ණාව සිතින් දුරු කිරීමෙන් ම සසරින් මිදිය හැක.
සසර තුළ රැඳී සිටීමේ භයානක කම, නිරර්ථක බව කෙනකුට අවබෝධ වූවද, හිතුන ගමන් ඔහුට නිවන් දැකිය නොහැක. කොතෙක් උවමනාව තිබුණද තණ්හාව එක රැයින් සිතින් ගලවා දැමිය නොහැක.
අපට අවශ්‍ය නොබැඳී, සිටීමටය. නමුත් උවමනා වූ පමණින් එසේ වන්නේ නැත.
මන්දයත් මේ අති දීර්ඝ වූ සංසාරය පුරාවටම අප පැමිණියේ තෘෂ්ණාව වඩවා ගනිමින්ම පමණක් මිස, එයින් මිදෙන මාර්ගයේ නොවන බැවිනි. අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් වූ අබුද්ධෝත්පාද කාල වල සත්වයන් අතින් සිදු වූයේම රාග, ද්වේෂ , මෝහ සිත් වැඩීම පමණකි. බුද්ධෝත්පාද කාලයකත්, බහුලව සිදුවන්නේ එය නම් අනෙක් කාල ගැන අපට සිතා ගැනීමටවත් නොහැකිය.
එසේ අති දීර්ඝ සසර පුරා වඩවමින් පැමිණි ක්ලේශ ධර්ම එක රැයින් සිතින් ගලවා දැමීම කෙසේවත් කළ නොහැක. ඒ සඳහා ගමන් කළ යුතු මාර්ගයක් ඇත.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු එයයි.
තණ්හාව, ආශාව සිතින් ගලවා ගැනීමට නම් කෙසේ සිත හැසිරවිය යුතුද ?
අප යමක් කෙරෙහි ආශාවෙන් බැඳෙන්නේ එයින් ලැබෙන ආශ්වාදයට, සතුටට වහල් වීගෙනය. එයින් ලබෙන ආදීනවය වැඩි නම් අප සිත තුළ එයට ඇති ආශාව ක්‍රමයෙන් අඩු වී යයි. සත්‍ය කරුණ නම් ලොව පවතින යම්තාක් ධර්ම වේද ඒවා සියල්ල දුක් සහගත බවය. අනිත්‍ය බවය. අනාත්ම බවය.
කෙදිනකවත් කිසිම දෙයකින් නිත්‍ය වූ, ස්ථිර වූ සුවයක්, සතුටක් අපට ලැබෙන්නේ නැත. ඉදිකඩු තුඩක තරම් ආශ්වාදයක් අද විඳින විට අහසක් තරම් දුකක් අප සතු කර ගෙන හමාරය. එම දුක අපට එම මොහොතේදීම නොලැබෙනු ඇත. ඇතැම් විට කල්ප ගණනකට පසුව වූවද දුක පසු පසින් පැමිණ විපාක දෙනු ඇත. එදාට අපට අප කළේ කුමක්ද යන්න පිළිබඳව හැගීමක්වත් නොපවතිනු ඇත. සංස්කාරයන් දුක් සහගත බව යන කරුණ එතරම්ම සියුම්ය.
දුක පිළිබඳ අවබෝධය කොතෙක් ලැබූවද, සත්‍ය වශයෙන්ම පවතින දුක අපට කිසිදා අවබෝධ කොටගෙන සිතා නිම කළ නොහැකිය. කල්පාන්තර ගණන් අවීචි දුක් නොවිඳපු කෙනකු නැත. එලෙසින්ම සක්විති රජ පදවිය නොලබපු කෙනකුන්ද නොමැත. මේවා බුදු රජාණන් වහන්සේ විසින් සර්වඥතා ඥාණයෙන් පිරිසිඳ දැක දේශනා කොට වඳාළ කරුණුය.
“මහණෙනි නුඹලා අතීත සංසාරයේ විඳින ලද දුක දන්නේ නම්, හිස ගිනි ගත්තත්, එම ගින්න නිවීමට නොව, අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කොටගෙන මේ සසරින් නික්මීමට නුඹලා වෙහෙසෙනු ඇත”
ලෙස උන්වහන්සේ දේශනා කොට ඇත. ඒ තර්ම් වූ කටුක වූ දුක්ඛ සත්‍යක් අප පසු පසින් ඇත.
එසේ මේ සංසාර ගමන පිළිබඳ දුක්ඛ සත්‍ය යමෙක් අවබෝධ කර ගන්නේද, ඔහුගේ සිත තුළ මේ භවයේ දිගින් දිගට රැඳී සිටීමේ ආශාව ක්‍රමයෙන් සිතින් ගිලිහී යනු ඇත.
කුමක් කළත් කිසි දෙයක් නිමාවක් නැත. අප ඉගෙන ගත්තේ, රැකියා කළේ, දූ දරුවන් හදා වඩා ගත්තේ මේ ප්‍රථම වතාවට නොවේ. ගෙවා ආ සසර තුළ අප මවක්, පියෙක් නොවූ කෙනකු නැත. එකම මවක් වෙනුවෙන් හැඩූ කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩිය. හරකෙක් වී බෙල්ල කපන විට පමණක් මිය ගිය විටදී, ගැලූ ලේ ප්‍රමාණය මහා සාගරයේ ජලයට වඩා වැඩිය. මේවා සරල උපමා ලෙස සිතූවද, මනසින් විමස විමසා බැලූ විට මේ සසරේ ඇති භයානක කම වටහා ගැනීමට එය වුවද ප්‍රමාණවත්ය.
අප ඉපදුණේ හරකුන් පමණක් වී නොවේය. අනන්තවත් සත්ව ආත්ම භවයන් අප ලබා ඇත. හරකකු වී ඉපදුණද, මැරුණේ බෙල්ල කැපීමෙන්ම පමණක් නොවේ. මැරෙන ක්‍රම අපමණය. ඒ අතරින් බෙල්ල කපා මැරෙන්නේ මිනිසුන් ආශ්‍රයේ ජීවත් වූවොත් පමණි. එසේ බෙල්ල කපා මැරෙන විට යන ලේ ප්‍රමාණය බාල්දි 10 ක් යැයි සිතූවද, මහා සාගරයේ ජලය පරදවන්නට නම් කොතෙක් ලේ ප්‍රමාණයක් හලන්නට ඇත්ද?
කෙතරම් නම් අති දීර්ඝ සසරකද මේ අප පැමිණෙන්නේ.. මෙතනින් මතුද ඒ ගමන නිමාවක් නැත. අද අප මේවා අවබෝධ කරගන්නට තරම් ප්‍රඥවක් සහිතව ඉපදුණද, ඉදිරියේදි එසේ නොවන්නට ඇති ඉඩකඩ වැඩිය. සත්වයන් අතරින් නැවත මිනිසත් වැනි සුගති ආත්මයක් ලබන්නේ මහපොළොවේ පස් තරම් වන සත්වයන් අතරින්, නිය සිලට ගත් ප්‍රමාණයක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. එසේ ඉපදුණද සම්මා දිඨ්ටියකට වැටී මේවා අවබෝධ කරගන්නට තරම් සුදුසු ජීවීතයක් අපට ලැබේ යැයි කෙසේ නම් අපේක්ෂා තබන්නඳ? නියත විවරණ ලබා සිටි බෝධි සත්වයාණන් වහන්සේද මිථ්‍යා දෘෂ්ටි කුලයක ඉපදුණි නම්, අප වැනි අය ගැන කවර විශ්වාසයක් තබන්නද? එදා කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය හේතුවෙන් මහා පාපයකින් මිදී සුමගට යොමු වීමට බෝධිසත්වයන්ට පුණ්‍ය ශක්තිය තිබුණද, එසේ කළ්‍යාණ මිතුරන් අපට කවදා සංසරයේ හමුවේදැයි අප නොදන්නෙමු. මේ සංසරය ඒතාක් භයානකය.
මේ කරුණු ස්වල්පය වුවද මනා විදර්ශනා නිවණකින් විමසා බලන කෙනකුට මේ සසරේ රැඳී සිටීමේ තණ්හාව සිතින් දුරු වී යාමට ප්‍රමාණවත්ය.
කොතෙක් ආශාවෙන් රැස් කළද සියල්ල දිනක නිමා වන්නේමය. ඇතැම් විට අප ආශාවෙන් ගොඩ ගසා ගන්න දේවල් අපට අහිමි වී යන්නේ අනපේක්ෂිතවමය. අප සිත තුළ ඒ කෙරෙහි තිබූ ආශාව, බලාපොරොත්තු ඉතා අධික නම් ඒවා අහිමි වෙද්දී අප සිත් මහත් පීඩාවකට එසේ නැත්නම් උමතු භාවයට වූවද පත් විය හැක. ස්වභාවිකව හෝ අනපේක්ෂිතව අකාලයේ හෝ කෙදිනක හෝ සියල්ල විනාශ වී යන්නේමය. ඒවා එදිනටත් අප සිතින් තදින් තණ්හාවෙන් අල්ල ගෙන සිටියහොත් අපට ලැබෙන දුක දරා ගැනීමට නොහැකි වනු ඇත. සබඳතා බිඳී යා හැක. ප්‍රිය වූවන් මරණයට පත් විය හැක. දේපළ විනාශ වී යා හැක. ප්‍රිය වූවන් අප්‍රිය වනු ඇත. නොයෙක් ලෙසින් අප ආශා කර ලැබූ දේවල් වෙනස් වී, විනාශ වී යා හැක.
මේවා කෙදිනකවත් බලාපොරොත්තු නොවී, තණ්හාවටම දාසයකු වී සිටි කෙනකුට මේවා මහත් ව්‍යසන, කම්පන ලෙසින් දැනෙනු ඇත. බොහෝ මානසික රෝගීන්ගේ එම රෝග වලට මූලය අධිකව යම් යම් දේ අල්ලා ගෙන, ආශාවෙන්, තණ්හාවෙන් බැඳී සිටීමත්, ඒවා අනපේක්ෂිතව අහිමි වී යාමත්ය. මෙසේ මේ ලෝකයේ පවතින අනිත්‍ය සවභාවය, වෙනස් වී යන ස්වභාවය පිළිබඳ නොදන්නා කම සිත් තුළ මුල් බැස ගෙන සිටින තෙක් සත්වයාගේ සිත තුළ තණ්හාව රජ කරයි. යමෙක් මේ ලෝකයේ පවතින අනිත්‍ය ස්වභාවය ගැන අවබෝධ කර ගන්නට , කර ගන්නට ඔහුගේ සිතින් තණ්හාව ක්‍රමයෙන් දුරස් වී යයි.
තවද මේ ලෝකයේ පවතින එකම එක දෙයක්වත් අපට උවමනා පරිදි නොපවතී. බාහිර, අභ්‍යන්තර, ජිවී, අජීවී කිසිඳු ධර්මයක් අපට උවමනා පරිදි, අපේ වසඟයේ නොපවතී. මෙය ලෝකයේ පවතින අනාත්ම ස්වභාවය හෙවත්, මම මගේ , මගේ ආත්මය ලෙස කිසිවක් ගත නොහැකි ස්වභාවයයි. මෙය ලොවට බුදුවරයකු පහළ වී මතුකර දෙන සත්‍යකි. එතෙක් කිසිම සත්වයකුට මෙය නම් අවබෝධ කර ගත නොහැක. බාහිර ලෝකයේ පවත්නා කිසිඳු දෙයක් අපට අපේ වසඟයේ පවත්වා ගත නොහැකිය. අප සිතූ පමණින් කිසිවක් නොපවතී. ඒවා ස්වභාවිකව ඒවාට අවශ්‍ය පරිදි පවති. හේතු ඇති වූ කල්හි ඇතිවී, පැවතී, හේතු නිරුද්ධ වී ගිය කල්හී , ඒවා නැති වී යයි. මේ හැර වෙන කිසිඳු ලෙසකින් ඒවා නොපවති.
බාහිර ලෝකය පමණක් නොව තමන්ගේ රූපය හා සිත ගත්තද එය එලෙසින්මය. රූපය කෙසේ වත් අපේ වසඟයේ නැත. එය එසේ වුණි නම් අප සිතූ විට එය වෙනස් විය යුතුය. ලෙඩ නොවී, ජරාවට පත් නොවී පැවතිය යුතුය. මන්ද අප සියළු දෙනා කැමති සැමදා තරුණ භාවය පවත්වා ගැනීමටය. සැමදා පිරිසිදු භාවය, ලස්සන බව, රැක ගැනීමටය. කෙසේවත් එය එලෙසින්ම නොපවතී. උදයට ලස්සනට, පිරිසිදුවට පවතින රූපය හවස් වන විට පරවුණු මලක් වැනිය. අව්වේ මඳක් සිටියහොත් එය තවත් වෙනස් වේ. දාඩිය දමයි. අව පැහැ වෙයි. අප ගන්න ආහාර පාන අනුව රූපය වෙනස් වෙයි. ලස්සන වීමට නම් ගත යුතු ආහාර පාන වෙනස්ය. නීරෝගී වීමට නම් වෙනම ආහාර පාන වට්ටෝරුවකි. එක ලෙඩකට හොද ආහාරය තවත් ලෙඩකට අගුණය. මෙලෙසින් මේ රූපය නිසි ලෙස පවත්වා ගැනීමට ආහාර වලින් අනුබලය සැපයිය යුතුමය. ආහාර නැතිව දින ගණනක් සිටිය නොහැක. වතුර නැතිව සිටිය නොහැකිය. වාහනයක් ක්‍රියාත්මක වීමට ඉන්ධන සැපයීම අවශ්‍ය වන පරිදිම, මේ රූපය පවත්වා ගැනීමට ආහාර සැපයීම අත්‍යවශ්‍යමය.
ආහාර, ජලය නැතිව දිනක් දෙකක් ශරීරයට පැවතිය හැකි වූවද හුස්ම ගැනීමට නොහැකිව නම් විනාඩි ගණනකට වඩා සිටිය නොහැක. බාහිර පවත්නා වායු රැල්ලක් මත තනිකරම රඳා පවතින මේ රූපයේ කුමන මම භාවයක්ද, මගේ භාවයක්ද..එම කරුණම වුවද හදවතින් දක්නා කෙනකුට මේ රූපයේ ඇති අනාත්ම භාවය අවබෝධ කොට ගත හැකි වේ.
අද කුඩා දරුවකුව අප හඳුනා ගන්න රුපයක්, අවුරුදු 5 කින් පමණ දකින විට එදා සිටි කෙනාමදැයි හඳුනා ගැනීමටවත් නොහැක. අවුරුදු 60-70 ක් වන විට එය කෙසේවත් සිදු කළ නොහැක. තමාටවත් මේ තමාමදැයි සිතා ගත නොහැකිය. රූපයේ විපරිණාමය එලෙසින්ය.
අපගේ සිතිවිලි අනුවද මේ රූපය වෙනස් වේ. නිතර තරහෙන්, ඊර්ෂ්‍යාවෙන්, දුකෙන් සිටින කෙනකුගේ ස්වභාවයද, ප්‍රීතියෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන්, සිටින කෙනකුගේද පෙනුම ඉඳුරා වෙනස්ය. අපගේම රූපය වුවද වඩන සිත් අනුව වෙනස් වන බව අපටම දැක ගත හැකිය. ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් සිටින විට අපගේ පෙනුම වෙනස් ය. දුකෙන්, කලකිරිමෙන්, තරහෙන්, කලබලයෙන් සිටින විට පෙනුම තවත් එකකි. භාවනාවෙන්, සමාධියෙන්, නිවීමෙන් වාසය කරන කෙනකුගෙ පෙනුමද, කෙලෙස් බරිත කෙනකුගේ පෙනුමද ඉඳුරා වෙනස්ය. මුහුණ හදවතේ කැඩපතක් බව පවසන්නේ ඒබැවිනි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ගුණ ධර්මයන් පූරණය කරමින්, මෛත්‍රී, කරුණා චිත්තයන් වඩවමින්, සීල සමාධි, වඩවමින් පැමිණි අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපයෙන් සියළු ලෝකයාට අධිපති වූයේ කෙසේදැයි අපට අවබෝධ විය යුතුය. මෙසේ සිතට අනුවද රූපය වෙනස් වේ.
දේශගුණය , කාලගුණය ආදී බාහිර සාධක මතද මෙම රූපය වෙනස් වේ. වියළි කාලයට අපගේ පෙනුම වෙනස්ය. ශීත රටවල ජීවත් වන්නන්ගේ පෙනුම, සම වෙනස්ය. අප්‍රිකානු රටවල් ජීවත් වන අයගෙ සම, හිස කේ, ආදීය වෙනස් ය. මෙසේ සෘතු අනුවද රූපය වෙනස් වේ.
මෙසේ ගත් කළ කෙසේවත් මේ රූපය අපේ වසඟයෙ නොපවතින දෙයක් බව අපට අවබෝධ වී යායුතුය. රූපය මෙතෙකින් අනාත්ම වද්දී අපේ සිතේ අනාත්ම ස්වභාවය වඩ වඩාත් ප්‍රකටව වැටහී යා යුතුය. රූපය වෙනස් වීම ක්ෂණයක් පාසා අකණ්ඩව සිදුවුණිද , එය අපේ පියවි ඇසට නොපෙනේ. එසේ වූවද, සිත නම් එක මොහොතක් අපට වුවමනා පරිදි නොපවති. ඔබ භාවනාවට පිළිපන් අයකු නම්, ඔබට කොතෙක් උවමනා වූවද ඔබේ සිත එක අරමුණක සමාධිමත් කරලීම කෙතෙක් ආහසුදැයි ඔබට වැටහෙනු ඇත. අපට අවශ්‍ය ප්‍රීතියෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් අපේ සිත පවත්වා ගැනීමට වුවද, එය කෙසේවත් නිරතුරුවම අපට කළ නොහැක. එන එන අරමුණු අනුව එය වෙනස් වේ. ඇසට දකින අරමුණු අනුවද, කණට ඇසෙන ශබ්ද අනුවද ආදී ලෙසින් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු මත නිරන්තර සිතිවිලි වෙනස් වේ. කෙසේ නම් මේ සිත මගේ වසඟයේ පවතින, මගේ ,වන දෙයක්ද .මම ලෙසින් අප ගන්නේ මේ සිතයි. එය කොතෙක් මුලාවක්ද..??
මෙලෙසින් මේ ලෝකය පවතින සියළු දෑ මෙම ත්‍රිලක්ෂණය අනුවම අවබෝධ වෙද්දී සිත තුළ පවතින මෝහය ක්‍රමයෙන් දුරස් වී යයි. කොතෙක් ඇලී බැඳී සිටියද, තණ්හාවෙන් මත් වී සිටියද සියල්ල අවසානයේ ගෙන දෙන්නේ දුකක්, වෙහෙසක් පමණි. කිසිවක් මම, මගේ කියා නතු කර ගත නොහැක. තණ්හාව පෝෂණය කිරීම යනු හිස් කූඩයකට වතුර පිරවීම වැනිය. කොතෙක් සන්තර්පණය කළද තණ්හාව කිසි දිනක සැහීමකට පත් කළ නොහැක. ලබන්නට ලබන්නට තව තවත් ආශාවන් රැස් වෙයි. මොහොතින් මොහොත, පැයෙන් පැය, දවසින් දවස, වසරින් වසර, භවයෙන් භවය ආදී ලෙසට සසර තුළ සත්වයා සිරකරවයි.
ඉපදුණ දා පටන් මරණය තෙක් සත්වයා දුවන්නේ තණ්හාව පෝෂණය කරමින්මය. අයිතිකරගැනීමේ ආශාව යමෙක් තුළ පවතින තාක් කල් ඔහු මේ සසරට ගැට ගැසී, බන්ධනය වී ඇත. ඇත්ත ඇති සැටියෙන් නොදකින මෝහය ඔහුගේ සිත තුළ ඇති තාක්, ඔහුට සසරින් එතෙර වීමට සිතක් ඇති නොවේ.
මේවා නුවණින් දක්නා කෙනකුගේ සිත තුළ මේ ලෝකය පිළිබඳව ඇති ආශාව ක්‍රමයෙන් අඩු වී යයි. මෙහි දිගින් දිගට පැවත සිටීමට ඇති ආශාව අභිබවමින් එයින් මිදීමේ කැමැත්තක් ඇතිවේ. සසර පිළිබඳව කළකිරීමක් ඇතිවේ. මේ අවබෝධයෙන් ඇතිවන නිබ්බිදාවකි. සසර පිළිබඳව විරාගය නො ඇල්ම ,වැඩි වේ. මෙසේ වූ කෙනකු ඇත්ත වශයෙන්ම නිර්වාණ ගාමිණී පටිපදාවට බැසගත් අයෙකි.
මූලික සම්මා දෘෂ්ටියට ඔහු වැටී ඇත. ඇස, කණ, නාසාදි ඉඳුරන් පිනවමින් ලබා ගන්නා තෘප්තිය ඉක්මවමින් විමුක්ති වූ නිවන් සුවයක් සෙවීමට ඔහු වෙහෙසෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්තයකු ලෙස හඳුන්වන්නේ එවැනි අයෙකි.
එසේ මාර්ගයට බට කෙනකු විසින් පළමුවෙන් මේ සංසාරය තුළ නැවතීමක් තැබීමට නම් කුමක් කළ යුතු දැයි සොයා ගත යුතුය. මේ සිත ඇතිවෙමින් නැවතෙමින් අඛණ්ඩ ගමනක නිරතව සිටී. ජීවිතයක් තුළ පවත්නා රූපය මරණයෙන් නැතිවී ගියද, සිත එලෙසින් නිමා නොවෙයි. එය ඊළඟ භවයක නැවත ඇතිවෙයි. එක දිගට පවත්නා සිතක් නොමැති අතර හේතු අනුව ඇතිවෙමින්, නැතිවෙමින් යන චිත්ත පරම්පරාවක් පවති. කලින් පැවති හිත අනුව ඊළඟ සිත ඇතිවෙයි. තරහාවෙන් බරිත වී ඇති සිතක් තුළ එක්වරම මෛත්‍රී සිතක් පහළ නොවේ. එය ක්‍රමයෙන් නිවී, උපේක්ෂිත වී, ඉන්පසු මෛත්‍රියකට, කරුණාවකට හැරේ. එසේ වන්නේ සෑම සිතක්ම ඊට කලින් තිබූ සිතේ ඵලයක් ලෙස ඇතිවන බැවිනි. හේතු ඵල ක්‍රියාවක්ම සිදුවේ. අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වී, තණ්හාව සිත තුළ පවත්නා බැවින් රූපය මිය ගියද සිත අන් තැනක උපදී. තණ්හාව සම්පූර්ණයෙන් ක්ෂය කළ විට , නැවත මිය යන සිතට අනුව සිතක් නූපදින අතර, එවිට නාමයත්, රූපයත් යළි ඇති නොවන අයුරින්ම, පහනක් නිවී යන්නා සේ නිවි යයි. එය සිදුවන්නේ පරිණිර්වානයේදීය.
මෙසේ පිරිණිවීමෙන් සදහටම නිවී යාමට නම්, කෙනකු විසින් අභ්‍යන්තර බාහිර ලෝක පිළිබඳව දතයුතු දෑ නිවණින් දත යුතුවේ. මේ බාහිර ලෝකය යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් සමන්විත, නිරන්තර අනිත්‍යට යන, විනාශයට යන දෙයකි. මෙසේ බාහිර ලෝකය තුළ හරයක් ලෙසින් ගත යුත්තක් නොමැති බව කෙනකු විසින් අවබෝධ කල ගත යුතුය.
ඉන්පසු අභ්‍යන්තරයට බැසගත යුතුය. තමන්ගේ රූපය යනුද ධාතු හතරකි. නාමය යනු , විඥ්ඥාණ, සංඥා, වේදනා, සංස්කාර යන ධර්මයන් පමණි. ඒ හැර වෙන සත්වයකු, පුද්ගලයකු, මමෙකු නැත. ඒ නාම ධර්මයන් හේතු අනුවම ඇති වී, හේතුව ගිලිහී යද්දී ගිලිහී යන අනිත්‍ය වූ , අනාත්ම වූ ධර්මයන්ය. ත්‍රිලක්ෂණය ඒවටද පොදුය .
සිතක ඉපදීමම දුකෙහි ඉපදීමයි. සිත නැත්තම් ලෝකයක් නොමැත. අප ලෝකයක් මවා ගන්නේ අපේ සිතිනි . යමක් හොදයැයි කියා ගන්නේත්, නරක යැයි කියා ගන්නේත්, දුක් ලෙස ගන්නේත්, සැප ලෙස ගන්නේත් සිතිනි. සිතිවිල්ලක ඉපදීම දුකෙහි ඉපදීමයි. සිතෙහි පැවතීමම දුකෙහි පැවතීමයි. දුක්ඛ සත්‍ය පවතින්නේ බාහිර ලෝකය තුළ නොව, තම සිතෙහිය. ජාති, ජරා ව්‍යාධි යන කෙළවරක් නැති දුක්ඛස්කන්ධයම ඉපදෙන්නේ සිතේ ඉපදීමත් සමඟය.
නිවීමක් අත්දකිනවා , නිවනක් අත්දකිනවා යනු සිතේ නිවී යාමටය. “නිබ්බාණං පරමං සුඛං” ලෙස දැක්වූයේ නිර්වාණය පරම සුඛයක් බවය. නිර්වාණය අත්දකින්නේ සිතෙනි. සිතේ නිවී යාමම නිවනයි. සිතේ පැවතීමම දුකය. ලෝකය යනු සිතයි.ධර්මය යනු සිතයි. ධර්මය දකින්නේ සිතෙනි. නිවන දකින්නේ සිතෙනි. නිවන යනුද සිතයි. යමක් ආශාවෙන් අල්ල ගනීද එතන ඉපදෙන්නේ දුකකි. ආශාව ඇතිවන්නේද සිතෙනි. ආශාව නැතිවන්නේද සිතෙනි. මේ අවබෝධය යම් කෙනෙක් ඇති කරගන්නේ නම්, නිවන වුවද අභිනිවේශනය කිරීමක් එවැනි කෙනකු තුළ නැත. “නිබ්බාණං නාභිනන්දිනි” යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. නිර්වාණය වුවද අභිනන්දනය නොකරන්න යන්න එහි අදහසයි. එසේ නම් එතනින් මෙහා පවතින එකඳු සංස්කාර ධර්මයක වත් අගයක්, වටිනාකමක්,අභිනන්දනය කිරීමක් සිදු කළ හැකිද..?
සිතිවිල්ලක ඉපදීම සසරක ඉපදීමයි. යමෙක් සිත පිරිසිඳ දකීද ඔහු ලෝකය පිරිසිඳ දකියි. බඹයක් පමණ වන ශරීරය තුළින්ම මේ ධර්මය අවබෝධ කළ හැක යන්න සත්‍යයකි. මන්දයත් ලෝකයක් පවතින්නේ සිතේ පැවත්ම ඇති තෙක් පමණි.
නිර්වාණ මාර්ගයේ පිළිවෙළින් ගමන් ගන්නා කෙනකු ගේ සිත තුළ ක්‍රමයෙන් අනිත්තානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, විරාගානුපස්සනා, නිබ්බිදානුපස්සනා, පටිනිස්සාගානුපස්සනා, නොරෝධානුපස්සනා යන සත් අනුපස්සනාවන් වැඩෙයි. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අවබෝධ වත්ම ඔහු තුළ නිබ්බිදාව වැඩෙයි. විරාගය වැඩෙයි. පටිනිස්සග්ගය හෙවත් අත හැරීම වැඩෙයි. ඉන් පසු සියළු සංස්කාරයන්ගේ නිරෝධය දක්නා ඔහුගෙ සිත නිවීමට පත් වී, සියළු සංස්කාරයන්ගෙන් සිත මිදී උතුම් නිර්වාණයට පත්වෙයි.
පාරමී ධර්මයන් සිත තුළ වැඩී ඇති ආකාරයට අනුවම, ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥ්ඥාව යන පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩි සිටීමට අනුකූලවම ඔහු සෝවාන්, සකදාගාමී, අනාගාමි යන මාර්ගඵල සාක්ෂාත් කරමින්, ඒ ඒ මාර්ගයට අනුව අවිද්‍යාව දුරු කරලයි. රූප රාග, අරූප රාග, අස්මි මාන,උද්ධච්ච, ආදී සකල විධ ක්ලේශයන්ම නැසූ සිතක යළි අවිද්‍යාවට පිහිටන්නට තැනක් නොවූ කල්හි උපාදාන ආදිය සම්පූර්ණයෙන්ම දුරු කරලමින් කෙනකු සියළු මාර්ග ඵල පසු කරමින්, බ්‍රහ්මචාරී දිවිය නිමකරලමින්, උතුම් වූ අර්හත් ඵලය සාක්ෂාත් කරලමින්, ධර්ම මාර්ගයේ ගමන නිම කරලමින්, භවය සිඳ බිඳ දමයි.
අජ්ජත්තික, බාහිර ලෝකය තුළ මම යැයි, මගේ යැයි ගැනීමට කිසිවක් නොපවතින බවද, උපාදාන කරන්නට කිසිවක් නොපවතින බවද පසක් කොට දක්නා එවැනි කෙනකු, අතීත කර්ම ශක්තිය පවත්නා තෙක් ජීවීතේන්දිය රූපය පවතින බවද, එයද ගිලිහී ගිය පසු, තෙළුත්, වැටියත් ගෙවී ගිය කළ නිවී යන පහනක් මෙන් නාම රූප ධර්මයන් යළි නූපදින ආකාරයටම නිවී යන බව සමාධි ප්‍රඥාවෙන් පසක් කොට දකිමින්, හුදෙකලාව වාසය කරන එකළා ඇතකු මෙන් , අෂ්ඨ ලෝක ධර්මය හමුවේ උපේක්ෂිතව වාසය කරයි.
එවැනි කෙනකු ලත් ජයක් පරාජය කිරීමට මේ විශ්වය තුළ කිසිවකුටත් නොහැකි වේ. ධර්මය තුළින්ම බුදු රජාණන් වහන්සේ දැක ඇති එවැන්නන්, ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධ රත්නය ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කොට ඇත.
කායිකව දුෂ්කර වූ නිර්වාණ මාර්ගය නිවැරදිව ගමන් කරන්නකුට, එය කෙසේවත් මානසික දුකක් නොවනු ඇත. මන්දයත් දුක නිවීමටම යන ගමනක් බැවිනි. එකිනෙක ක්ලේශ ධර්මයන් සිතින් අත හරිමින් , අත හැරෙමින් සුන්දර වූ නිවන් මාර්ගය තුළ නිවැරදිව ගමන් කරන කෙනකු යළි එම මාර්ගයෙන් ඉවතට නොපැමිණෙන්නේ , ලොව මේතාක් කාලයක් පුරාවටම තමන් අත්දකින උතුම් වූත්, සුවදායි වූත් මානසික සුවය එයම වන බැවිනි. ගංගා ඉවුරේ සිට ගලන නදියක සුන්දරත්වය නරඹන අයකුත්, එහි බැස එම ගඟ දිගේ ගමන් කරන අයකුත් අත්දකින් දෙය ඉඳුරා වෙනස් වේ.
ගඟට බට කෙනාට විෂම වූ දේ අත්දැකිය හැක. වරෙක දුකද, වරෙක සතුටද ඔහු අත්දකී. නමුත් අවසානයේ ඔහු ළඟා වෙන්නේ ක්ෂේම භූමියකට නම්, ඔහුගේ ගමන නිරර්ථක නොවේ.
සංසාර ගිරි දුර්ඝ තරණය කරමින් මේතාක් දුරක් පුරා ඔබත් මමත් පැමිණි මේ අනවරථ සංසාර ගමන , නිමා කරලන උතුම් වූ නිර්වාණ මාර්ගයට බැසිමට මෙම ලිපිය ආරම්භයක්ම වේවා..!!!
~~~ අමා සුව ~~~