දුක හා දුකට හේතුව

අනමතග්ග සංසාරය පුරා ගමන් කරන සත්වයින් නිරන්තරයෙන්ම පිහිටියේ දුකේමය. වරක් බුදුරජාණන්වහන්සෙ දේශනා කලේ අතීත සංසාරයේ නුඹලා විසින් විඳින ලද දුක දන්නේ නම් හිස ගිනි ගෙන තිබුනද මේ අවබෝධ නොකළ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කරනු ඇති කියාය. උන්වහන්සේ මෙවන් උපමාවක් ගෙන හැර පෑවේ සසරේ සතවයින් විසින් විඳින දුක පිලිබඳ ඉතා පැහැදිලි නිරවුල් අවබෝධයක් සහිතව ඒ මහා දුක තම සිතින් දක්නට හැකියාවක් සහිතවය. වරක් සෘධිමත් රහතන් වහන්සේ නමකගෙන් කෙනෙකු අපායේ ඇති දුක කෙලෙසදැයි විමසීය. උන්වහන්සේ ඒ මිනිසා ලවා අමු මහා දර කොටන් රාශියක් ගොඩක් සේ ගස්සවා අපායේ ඇති එක ගිනි පුලිඟුවක් ගෙන එම අමු දර ගොඩ මතට දැමීය. ඒ මහා දර ගොඩම පිලිස්සී අළු වී ගිය බව එම කතාවෙහි දැක්වේ. මේසා සිතීමටවත් නොහැකි දුක් සහිත අපායවල් වල අප කල්ප ලක්ෂ කෝටි ගණනකට වඩා දුක් විඳ ඇත. සාමාන්‍ය උණුවතුර ටිකකින්, ගිනි පෙලෙල්ලකින් සිදුවන තත්පර කිහිපයක පිළිස්සුම පවා දරා ගත නොහැකි අප මෙවන් දුකක් කෙසේ නම් විඳින්නට ඇතිදැයි සිතා ගත පවා නොහැක.

අපා දුක විස්තර කරන විට අවීචි මහා නිරයේ පැති හයකින් ගින්දර නිකුත් වන බව දක්වා ඇත එක කෙලවරකින් පටන් ගන්නා ගින්දර අනික් කෙලවර දක්වා විහිදී යයි. මෙලෙසින් හය දෙසකින් අනික් ප්‍රතිවිරුද්ධ දිශාව දක්වා විහිදෙන ගිනි කඳන් මැද සත්වයෝ පිළිස්සෙමින් සිටිති.සම් මස් නහර ඇට පිළිස්සෙමින්, ඇට කටු වලින් දුම් දමමින් මේ සත්වයෝ දුක් විඳිති. එහි වැටීමට සිදු වූ කර්ම ශක්තිය අවසන් වන තුරු ඒ සත්වයෝ නැවත නැවතම එහිම ඉපදෙමින් මේ මහා දුක විඳිමින් සිටිති. අපායේ ආයුෂ දක්වා ඇත්තේ කල්ප ගණනිනි. කල්පය වරක් බුදු රජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සැතපුම් දාසයක් දිගින්, පළලින් සහ උසින් යුතු පර්වතයක් වසර සියයකට වරක් කසී සළුවකින් පිස දමා, යම් දිනක ඒ පර්වතය ගෙවී ගියද කල්පය ගෙවී නොයන බවය. මෙවැනි කල්ප ලක්ෂ ගණනින් අවීචි මහා නරකයේ අප සියලු දෙනාම දුක් විඳ ඇත. සෝවාන් වත් නොවුනහොත් තව දුරටද එවන් දුක් විඳින්නට ලැබෙනු ඇත.

ප්‍රේත ලෝක වලට වැටුණු සත්වයින් විඳින දුකද ඉමහත්ය. සමහර ප්‍රේතයින් ගේ කට ඉඳිකටු තුඩක් වැනිය. බඩවල් අති මහත් විශාලය. කෙදිනකවත් කුස පුරවා ගැනීමට ලැබෙන්නේ නැත. සමහර ප්‍රේතයින් ගේ ශරීර ගිනි ගෙනය. සමහරුන්ව අනිකුත් ප්‍රේත සත්වයින් විසින් කඩා ගෙන කනු ලබන්නෝය. මේ ප්‍රේතයින් බොහෝ විට සිටින්නේ කුසගින්නේය. ආහාර ලෙස සෙම ටිකක් සොටු ටිකක් පවා ලැබෙන්නේ කලාතුරකින්ය. මෙවැනි විවිධාකාර වූ දුක් මේ සත්වයෝ විඳින්නෝය. අපද මෙවන් දුක් අනන්ත වාර ගණනින් විඳ ඇත. අප නොගිය අපායක් නොමැත. නොවිඳි දුකක් නොමැත. අද මිනිස් භවයක් ලබා සිටියද අප අතරින් නැවත සුගතියකට යන්නේ නිය උඩට ගත පස් ටිකක් වැනි පිරිසක් බව බුදු රජාණන් වහන්සේ දක්වා ඇත. මහ පොලවේ පස් තරම් ප්‍රමාණයක් නැවත දුගති වලටම යනු ඇත. දුගතිය අපගේ මහ ගෙදර වැනිය.

මේ සා දුකක් අපට අත් දකින්නට සිදුවන්නේ කෙසේද? මේ සියලු දුක් දැනෙන්නේ කොතනටද? එයට ඇති එකම උත්තරය නම් අප සිතය. ලොව කුමන අන්දමේ දුක් තිබුනද අපගේ සිත තිබුනේ නැතිනම් ඒ එක් දුකක්වත් අපට විඳින්නට ලැබෙන්නේ නැත. අවීචි මහා නරකයේ සිටින සත්වයින් පවා එම දුක් විඳින්නේ සිතක් ක්‍රියාත්මක වන නිසාය. එම සත්වයින්ට ගිනි ගෙන දැවෙන ශරීර තිබුනද එම ශරීර තුලින් ලැබෙන දුක සිත ක්‍රියාත්මක වන්නේ නැති නම් දැනෙන්නේ නැත. ශල්‍යාගාරයක් තුල ශරීරය කපමින් විවෘත කලද අපව සිහි නැති කර ඇති බැවින් අපට එම කිසිවකින් දුකක් දැනෙන්නේ නැත. ඒ අපගේ සිත තාවකාලිකව ක්‍රියා විරහිත භාවයකට පත්ව ඇති බැවිනි. එබැවින් මේ සියලු දුක් අපට ලබා දුන්නේ සිතේ ක්‍රියාකාරීත්වය ඇති බැවිනි. එනම් නාමස්කන්ධය ලෙස ගත් කල, විඥාන, සඤ්ඤා, වේදනා, සංඛාර යන ස්කන්ධයන් ක්‍රියාත්මක වූ නිසාය. රුපස්කන්ධය තුලින් ලැබෙන සියලු දුක් අපට දැනුනේ වේදනා ස්කන්ධය තුලිනි. එම දුක් අප හඳුනා ගත්තේ සඤ්ඤා ස්කන්ධය ක්‍රියාත්මක වූ නිසාය. එම දුක් අපට ඇති වුයේ ප්‍රථමයෙන් දැනීමක් එනම් විඥානය ක්‍රියාත්මක වුනු නිසාය. එබැවින් සසරේ මේ තාක් කල් යම් තාක් දුක් වින්දා නම් ඒ සියලු දුක දැනුනේ අප සිතටය. අප මේ මොහොතේ අත් විඳින දුකක් ඇති නම් එය අත් වින්දේද අපගේ සිත තුලින්මය. අනාගතයේ යම් තාක් දුක් විඳීමට ඇති නම් ඒ සියලු දුක් විඳින්නේද මේ සිතේ ක්‍රියාකාරීත්වය තුලිනි. එම නිසා දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වුනේ කොතනදැයි බැලු කල අවසානයේ පෙනී යන්නේ අප සිතමය. මුළු විශ්වයේම යම් තාක් දුක් ඇති විය හැකි නම් ඒ සියලු දුක් අරමුණු වුයේ මේ සිතටය. මේ මහා දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වන්නේ අප සිතේය.

දුකක් ඇති වීමට නම් හේතුවක් තිබිය යුතුය. මෙය අප දුක්ඛ සමුදය සත්‍ය ලෙස නම් කරමු. දුක ඇතිවන හේතු බැලු කල අවිද්‍යාව හෙවත් නොදත්කම, තණ්හාව, රාගය, ද්වේශය, ආදී සියල්ල ක්‍රියාත්මක වන්නේ අපගේ සිතේය. අවිද්‍යාව සිත තුල ක්‍රියාත්මක වන නිසා අපට මේතාක් මේ සසර දුක නිම කරන්නට නොහැකි විය. ආනන්තරීය පාප කර්මයක් කර අපා ගත වී සිටින සත්වයෙකුට එම කර්මය කිරීමට සිතක් පහළ වුයේය. ඒ මොහොතේ ද්වේශය, තණ්හාව ආදී කරුණු නිසා ඔහු තුල ඇති වූ සිතිවිලි මාත්‍රයක් ඔහුව නතර කලේ අවීචි මහා නිරයේය. එදා දේවදත්තයින් සේරි වාණිජ ජාතකයේදී අප බෝධිසත්වයින් සමග වෛර බැඳ ගත්තේ සැබවින්ම තණ්හාවට, ලෝභයට යට වූ නිසාය. එක් වළල්ලක් ඒ කුඩා දරුවාට දී ඔහුට එම රන් තලිය ගත හැකිව තිබිණි. ඔහු එයට පවා ලෝභ විය. අවසානයේ සිදු වුයේ බෝධිසත්වයාණන් වහන්සේ නමක් සමග ජන්මාන්තර වෛරයක් ඇති කරගැනීමය. එදා ඇති වූ එම ලෝභ සිත නිසා පටන් ගත වෛරයෙන් අද අවීචියේ මහා දුක් විඳිමින් සිටින්නේය. මේ සා දුකකට මග පෑදුයේ සිතමය. සිත තුලින් හටගන්නා සිතිවිලිය. රාග, ද්වේශ, මෝහ ආදී සියල්ල ක්‍රියාත්මක වන්නේ සිත තුලමය. ජීවිත කාලයම කුසල් කරමින්ම සිටියද අවසන් මොහොතේ අකුසලයක් මතක් වුනි නම් දුගතියකට ඇද වැටෙන්නේය. සිතේ ස්වභාවය මෙලෙසය. සිතිවිලි ඇති වෙමින් නැති වෙමින් යෑමක් සිදුවේ.කුසල් අකුසල් කර්ම රැස්වේ. ඒවාට අනුකුලව විපාක ලැබේ. බඩගින්නට කෑමක් බීමක් කෙනෙක් සොරකම් කලේ නම් අප බොහෝ විට ඔහුට සමාව දෙනු ඇත. බඩගින්න නිසා සොරකමක් කලා මිස, සැමදා සොරකමේ යන කෙනෙක් නෙමේ කියා පවා කියනු ඇත. අවවාද කර යවනු ඇත. නමුත් අප සිත එසේ නොවේය. ජීවිතයේ කල එකම අකුසලය විය හැක. එයද ඉතා සුළු කිසිවකුට හානියක් නොවූ ක්‍රියාවක් විය හැකිය. නමුත් මරණ මොහොතේ එය මතක් වී නම් සමාවක් නොමැත. ඊට අනුකූලව අකුසල් සිතක් නම් දුගතියකට යනු ඇත. අප මේ මහා වටිනා දෙයක් යැයි සිතා සිටිනා සිත කොතරම් නම් භයානක දෙයක් දැයි අප වටහා ගත යුතුය.

මෙසේ සිත දුක්ඛ සමුදය සත්‍යක් වන්නේ කෙසේද? අපට දෙයක් අරමුණු වූ විට ප්‍රථමයෙන් දැනීමක් (විඥානයක්) පහල වේ. ඉන්පසු අප ඒ දෙය හඳුනා ගන්නා ආකාරය අනුව සිතිවිලි ඇති වේ. අප සතුරකු ලෙස හඳුනා ගත්තේ නම් තරහ සිතිවිලි ඇති වනු ඇත. අප ලබා ගැනීමට කැමති දෙයක් නම් රාග සිතිවිලි ඇති වනු ඇත. මේ අවස්ථා දෙකේදිහිම සිදුවුයේ සසර දුක් ලබා දිය හැකි අකුසල කර්ම රැස් වීමය. මෙහිදී සිදු වුයේ සඤ්ඤා තුලින් හොඳ, නරක ලෙස හඳුන්වා දීමය. වේදනා ස්කන්ධය තුලින් දුක්, සැප වේදනා ලබා දීමය. සංස්කාර ස්කන්ධය තුලින් ඇලීම් , ගැටීම් ආදී විවිධ සිතුවිලි ගැලීමය. අවසානයේ දුක ඇති කරන හේතු වුයේ මේ නාම ධර්මයන්මය. අප කරන මේ හැම ක්‍රියාවක්ම, සිතන සෑම සිතිවිල්ලක්ම සිදුවන්නේ දැනීම් මාත්‍රයක් ඇති වූ නිසාය. ඇසට රුපයක් අරමුණු වුනේ නැති නම් එම රුපය අරමුණු කරගෙන ඇතිවන කිසිදු සිතිවිල්ලක් ඇති වන්නේ නැත. කනට ශබ්දයක් අසුනේ නැති නම් එම ශබ්දය අරමුණු කරගෙන කුසල අකුසල් සිතිවිලි ගලන්නේ නැත. එම නිසා මේ විඥානයද අප ට දුක ඇති කරදෙන හේතුවක් විය. මව් කුස තුල ප්‍රතිසන්ධි විඥානය (ප්‍රථමයෙන් පහල වන සිත) ඇති වුයේ නැති නම් අප මේ තාක් විදින ලද කිසිදු දුකක් අපට ලැබෙන්නේ නැත. එම නිසා මේ විඥාන, සඤ්ඤා, වේදනා, සංස්කාර සියල්ල අප දුක ඇති කර දෙන හේතු ලෙස වටහා ගත යුතුය.

අප සසරේ මේතාක් කල් ආශාවට යටවෙමින් පැමිණියෙමු. අද අප ආසා කරන්නේ යාන වාහන, ගෙවල් දොරවල්, අඹු දරුවන් ආදියටය. නමුත් ප්‍රේත භවයක් ලැබ සිටි විටදී අප ආශා කලේ සෙම, සොටු ටිකකටය. එය අපට අහාරය වූ බැවින් ඒවාම සොයා ගෙන ගියෙමු. තිරිසන් සතකුව සිටියදී ආශා කලේ සමහරක් විටක කුණු වී ගිය මස් ගොඩකටය. දුර්ගන්ධය නිසා මිනිසකුට ලඟට පවා යෑමට නොහැකි මළකුණු සතුන් විසින් කන අයුරු අප දැක ඇත. එම සත්වයාට එය ප්‍රිය අරමුණකි. මේ සෑම විටම සිත තුල ක්‍රියාත්මක වුයේ තණ්හාවය, ආසාවය. විටෙක පිළිකුල් කරන දෙය තවත් වරක අසාවෙන් අල්ලා ගනිමු. තණ්හාවේ ස්වභාවය මෙලෙසය. විවිධ අරමුණු හමුවේ ඒ ඒ අවස්ථාවට අනුව ක්‍රියාත්මක වෙමින් අපව සසරේම ඇද ගෙන යයි. තණ්හාව, ආශාව ආදී ධර්ම හොඳ දෙයක් ලෙස දකී නම් ඒ අපගේ නොදත්කම නිසාය. ඒවා කිසි දිනක අපව සසර දුකින් මිදවීම පිණිස කටයුතු කලේ නැත. මේ බව හොඳින් හඳුනා ගන්නා කෙනෙකු පුළුවන් තරමින් මේ තණ්හාව ආශාව සිත තුල ක්‍රියාත්මක වීමට දීම අඩු කල යුතුය.

අපගේ පරම සතුරාත්, හොඳම මිතුරාත් මේ සිතය. යහ මගට ගත් සිතක් තරම් මිතුරකු අපට තවත් නොමැත. මහා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය මේ සිත වනවා සේම අපව නිවන් මගට යොමු කල හැකි වන්නේද මේ සිතටමය. නිර්වාණය අවබෝධ වන්නේද මේ සිතටමය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සප්ත බෝජ්ජංග ධර්ම ආදිය වැඩෙන්නේ මේ සිත තුලමය. නිවන් මග ගමන් කර සසර දුක කෙලවර කිරීමට තැත් කරන අයකු විසින් මේ සිතේ ස්වභාවය මැනවින් අවබෝධ කර සිත අතහැරීම පැත්තට යොමු කල යුතුය. මේතාක් කල් සසරටම අපව ඇද දැමු සිත මෙල්ල කල යුතුය. සීල සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් සිත තුල වඩවා ගත යුතුය. පෙර හිස් ලු ලු ඇත දිවූ සිත සතියෙන් මෙල්ල කල යුතුය. පෙර කම් සැප වලින් වින්දනයන් සොයා ගිය සිත සමාධියෙන් පෝෂණය කර නිරාමිස සුවය දෙසට යොමු කල යුතුය. පෙර මෝඩකමට යට වී මහා වීරයකු සේ දුගති ගාමි වන ක්‍රියා සිදු කරමින් සිටි සිතට ප්‍රඥා ආලෝකය ලබා දිය යුතුය. ක්‍රම ක්‍රමයෙන් මහා ජරාවක් බඳු වූ මේ සිත පිරිසිදු කල යුතුය. පිරිසිදු කල සිත නැවත කිලිටි වීමට නොදී රැක ගත යුතුය. මෙලෙසින් සමථ , විදර්ශනා භාවනා කරමින් මැනවින් දමනය කල සිත දිනක ඔබව අමා මහා නිවන වෙත රැගෙන යනු ඇත.

~~~ අමා සුව ~~~

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.